Friday, December 9, 2022

The Quiet Girl (2022)

අයර්ලන්තයේ ගම්බද වටාපිටාවක පැතිරගිය තෘණ භූමිවල තැවරුණු කොළ පාට වගේ, අතරින්පතර සරුවට වැඩුණු සුවිසාල ගස් අතු ඉති අගිසි වලින් බේරෙන රත්තරන් පාට ඉර එළිය වගේ හදවතට දැනෙන හරි සෞම්‍ය සිනමා අත්දැකීමක් The Quiet Girl කියන්නෙ. මේ අවුරුද්දට මෙතෙක් බලපු චිත්‍රපට අතරින් වැඩියෙන්ම හිතගත්තු එකක් බවට නම් කරන්න පුලුවන් සැකයකින් තොරවම. 2022 අවුරුද්දේ තිරගත වුණු චිත්‍රපට අතර The Quite Girl කියන්නෙ ඇස් බොඳවෙන තරම් සැර ආලෝකයක් නොදෙන, ඒත් බොහෝම සියුම්ව එළිය විහිදුවන සහ වටිනකමෙන් අඩුවක් නොවෙන මැණිකකට.

2023 අවුරුද්දේ පවත්වන්න නියමිත 95 වන  ඔස්කාර් සම්මාන උළලේ විදෙස් භාෂා අංශයේ අයර්ලන්ත නියෝජනය විදිහට තෝරාගැනෙන්නේත් The Quiet Girl ම යි. කියවන්න ලැබුණ තොරතුරුවලට අනුව නම් Quite Girl අයර්ලන්ත සිනමාපටයකට ලැබුණ ඉහළම ආදායම් වාර්තාව තියන්න සමත්වෙලා තියනව මේ වෙනකොට. ඒක එහෙම නම් සෑහෙන සතුටට කාරණාවක්. ඒවගේම චිත්‍රපටය IFTA (Irish Film & Television Academy Awards) ඇතුළු ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදී ම මේ වෙනකොට ඇගයීමට ලක්වෙලා තියෙනව. චිත්‍රපටය මූලිකවම ගොඩ නැගෙන්නෙ Cait නම් පුංචි ගැහැනු ලමයෙක් වටා. ඇයගෙ චරිතය රඟදක්වන Catherine Clinch නම් දැරිය ඉතාම අපූරුවට තමන් රඟදක්වන් චරිතය ඇතුළෙ ජීවත්වන ආකාරය චිත්‍රපටය බැලුවොත් ඔබට දැකගන්න ලැබේවි.

අයර්ලන්ත ලේඛිකා Claire Keegan රචනා කළ Foster නම් කෙටිකතාව ඇසුරෙනුයි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මම හිතනව කෙටිකතාවේ තියන උණුහුම, මානුශික ගුණය එක්ක මුහුවුණු සාහිත්‍ය ඒ ආකාරයෙන්ම නැවත සිනමා භාෂාවෙන් ප්‍රකාශනය කරන්න මේ නිර්මාණකරුවන් සමත්වෙලා තියනව කියල. චිත්‍රපටියෙ කතාවත් ඉතාම සරල සුන්දර එකක්. ලොකු සංකීර්ණ දේවල්, මනස වෙහෙසවලා හිතල ප්‍රෙහෙලිකා විසඳන්න දේවල් මෙතන නැහැ. කුඩා සිදුවිමක් අරගෙන එය සෑහෙන හෘදය සංවේදී ආකාරයෙන් මතු කිරීම යි චිත්‍රපටයෙන් කරන්නෙ. කෙටිකතාවක් පදනම් කරගෙන නිර්මාණය කරල තියන හින්ද, කෙටිකතාව කියන සාහිත්‍ය ප්‍රවර්ගයටම අනන්‍යවෙන "ස්වල්පයකින් බොහෝ දේ කියවෙන" ගුණය චිත්‍රපටයටත් නිසඟයෙන්ම ආගමනය වෙලා තියනව කියල හිතන්න පුලුවන්. කොහොම වුණත් මේ කතාව ගැන වැඩිදුරටත් නොකියා චිත්‍රපටය බලන ඔබටම වටහ ගන්න ඉඩ තියන්නම්. දරුවන් ඉන්න දෙමව්පියෙක් නම්, නැත්නම් දරුවන් එක්ක වැඩිපුර ගැවසෙන කෙනෙක් නම් ටිකක් වැඩිපුර මේ කතාව ඔබට දැනේවි.  ශාමෙල් ජයකොඩි මහත්මිය ගෙ මෑතක කියවල ඉවර කරපු "කුමර කොබෙයි" පොතේ තිබුණු සහ මතකයෙ රැඳුණු එක කියමනක් පමණක් අවසානෙ සඳහන් කරන්නම්. මම හිතනව චිත්‍රපටයෙ ඇතුළාන්තය එක්ක මේ කියමන හොඳ හැටි ගැලපෙනව කියල. 

"දරුවෙක් ඉද්දි අපේ ජීවිත ලස්සන වෙන්නේ දරුවාගේ සුරතල් හින්දා වත් වයසට යද්දි දරුවො ළඟ ඉන්න හින්දාවත් නෙමෙයි. හැම හොඳ දේම දරුවකුට දෙන්න හදන ඒ හැඟීම තමයි මේ ලෝකයේ අපව උසස් තත්වයකට ගේන්නේ."



1 comment: