Tuesday, December 20, 2022

The Banshees of Inishirin (2022)

2017 අවුරුද්දේ ආව Three Billboards Outside Ebbing, Missouri හොඳ films හොයාගෙන බලන කෙනෙකුට නම් අමතක වෙන්න ඉඩක් නෑ. මට නම් ඒ අවුරුද්දට ආව oscar worthy ම වැඩේ ඒක (හැබැයි හම්බුණේ වෙන එකකට). කොහොම හරි  ඒ script එක ලියල direct කරපු Martin McDonagh ගේ අලුත්ම Film එක The Banshees of Inishirin මේ අවුරුද්දේ release වුණා සෑහෙන හොඳ ප්‍රතිචාර මැද්දෙ. 2023 පවත්වන්න නියමිත Golden globes වලත් awards 8 කට ම nomination ලබාගන්න දැනටමත් The Banshees සමත් වෙලා තියනව. The Banshees කියන්නෙ slow burn, unsettling වැඩක්. ඒ කියන්නෙ ටිකක් මන්දගාමී, drama ගතිය වැඩි සහ නිශ්චිත අවසානයක් නැති කතාවක්. ඒවගේම සමහර තැන්වලදි කෙනෙකුට දැනෙන්න පුලුවන් too wired ගතියක්. මේක  විවේචනය කරන අය කියන්නෙ dull, boring සහ unsettling ගතිය නිසා over rated වෙච්ච වැඩක් කියල. මට දැනුණ විදිහට නම් මේක සෑහෙන interesting සහ විවිධාකාර පැති වලින් හිතන්න දේවල් ඉතුරු කරන චිත්‍රපටයක්.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1923 අවුරුද්දේ  අයර්ලන්තය සමීපයෙ තියන Inishire නම් කුඩා දූපත (මේ අවුරුද්දේ අයර්ලන්තය ගැන කතාකරනව වැඩි ද කියල හිතෙනව). මේක පොඩි දූපතක් නිසා ඇතුළෙ ඉන්නෙ එකිනෙකා හොඳට හඳුනන ටික දෙනෙක් පමණයි. දූපත්වාසින් ගේ ජීවිත රටාවත් බොහොම සරලයි. ඒත් කිසිම අලුත් දෙයක්, සිත්ගන්නාසුලු යමක් දූපතේ නම් නොවුණු ගාණයි. ඒ හින්ද දූපත්වාසී ජීවිතේ පොඩි ඒකාකාරී බවක් තිබුණා තමයි. පොඩ්‍රික් කියන්නෙ ඔය දූපතේ ඉන්න තවත් එක ගැමියෙක්. පොඩ්‍රික් ජීවත් වෙන්නෙ එයාගෙ එකම සහෝදරී ෂොබෑන් එක්ක. දෙන්නට අමතරව මේ ගෙදර හිටිය දෙන්නම බොහෝම ආදරෙන් හුරතලයට හදපු පොඩි බූරු පැටියෙක්. (පොඩ්‍රික් ගේ ගති සොබාවයන් ගැන සංකේතාත්මක නිරූපණයක් ????) දූපතේ පොඩ්‍රික්ට හිටපු හොඳම යාලුවා කොලම් නම් වයලීන වාදකයා. පොඩ්‍රික් දවසේ වැඩපල ඉවරකරල කොලම් එක්ක ගමේ පබ් එකට ගිහින් අයිරිෂ් ස්ටවුට් වීදුරුවක් තොලගාන ගමන් පොඩි කතාවක් දාගෙන ඉන්න පුරුදු වෙලා හිටිය. දවසක් පුරුදු විදිහට පොඩ්‍රික් ඇවිත් කොලම්ට පබ් එකට යන්න කතා කරත් එදා නම් කොලම් පොඩ්ඩක්වත් පොඩ්‍රික් ව ගණන් ගන්නෙ නැති බව එයා දැක්ක. දැන් මේක හරි ප්‍රශ්නයක්. එක පාරටම කිසි හේතුවක් නැතුව මෙහෙම තරහ වෙන්නෙ ඇයි කියල පොඩ්‍රික් කොලම් ගෙන් අහනව. එතකොට කොලම් කියනව පොඩ්‍රික් කතාකරන්න පටන් ගත්තම කියවන තේරුමක් නැති වල්පල් අහගෙන නිකම් නාස්ති කරන්න කාලයක් නැති බවත් තමන් වගේ කලාකාරයෙකුට මානසික නිදහස ඊට වඩා වටින බවත්. ඒත් ඊයෙ හොඳ යාලුවෙක් වගේ හොඳට කතා කරල අද අඳුරන්නෙ නෑ වගේ මගඇරල යන්න මනුස්සයෙකුට පුලුවන් ද එහෙම. පොඩ්‍රික් මේක ලේසියෙන් අතාරින්න සූදානම් වෙන බවක් පේන්නෙ නෑ. මේ 1923 අවුරුද්ද අයර්ලන්තයට ඉතාම වැදගත් කාලසීමාවක්. මොකද මේ කාලයෙ තමා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීම වෙනුවෙන් අයර්ලන්ත නිදහස් සටන ඇවිලී ගියේ. Inishire දූවට නම් මේ යුද්ධය දැනෙන්නේ ඉඳහිට ඈත ඉඳන් ඇහෙන වෙඩි හඬවලින් විතරයි. හිතල බැලුවොත්, යාලුවො දෙන්න ගෙ විරසකයත්, ඒ පසුබිමේ ඈතින් ඇහෙන යුද්ධයත් කියන්නෙ එකිනෙක හොඳ හැටි පෑහෙන සිදුවීම් දෙකක්!

Martin McDonagh, 2017 Three Billboards වලට පසුබිම් කරගන්නෙ ඇමරිකාවේ මියූරි ප්‍රාන්තය වුණත් මෙවර ඔහු තෝරාගන්නෙ අයර්ලන්තය සමීපයෙ තියන Inishirin දූපත. කෙටියෙන් කිව්වොත් අයර්ලන්ත සංස්කෘතිය. අයර්ලන්ත සොබා සෞන්දර්ය ගැන කලින් පෝස්ට් එකකත් කිව්ව නිසා ඒ ගැන මොකවත් ආපහු කියන්නෙ නෑ. මේ චිත්‍රපටයෙත් ඒ දේවල් ඉතාම හොඳින් දැකබලා ගන්න ලැබෙන බව කියන්නම්. අයර්ලන්ත ජන සංගීතය තැන් කීපයකදිම ඔබට අහන්න පුලුවන්. Banshee කියන්නෙ අයර්ලන්ත ජනශ්‍රැතිවල එන විලාප දෙන ගැහැනු ආත්මයක්. Banshee කෙනෙකු ගෙන් සංකේතවත් වෙන්නෙ මරණය. ඒ අනුව Banshee කියන්නෙ කතාවෙ අන්තර්ගතය එක්ක පෑහෙන හොඳ රූපකයක්. 

චිත්‍රපටයෙ අධ්‍යක්ෂ ඇතුළු ප්‍රධාන රංගවේදින් සියලුම දෙනා අයර්ලන්තයේ හැදුණු වැඩුණු අය. ඒ නිසා කතාබහේ තියන අයිරිෂ් බව නිරායාසයෙන්ම ඔවුන්ට ලැබෙන්න ඇති. විශේෂයෙන් කියන්න ඕන පොඩ්‍රික් ගේ චරිතය කරන අයිරිෂ් නළු Colin Farrell ගේ රඟපෑම මේ අවුරුද්දේ දකින්න පුලුවන් හොඳ ම රංගනයක් බව. චිත්‍රපටය ගැන කතාකරන සෑහෙන දෙනා වැඩියෙන්ම අගය කරන කාරණාවත් Colin Farrell ගේ මේ සුපිරි ගණයේ රඟපෑම. කොහොමත් මේ අවුරුද්ද Colin Farrell ට නම් හොඳ එකක්ම වුණා. ඔහු රඟපෑව චිත්‍රපට තුනක් ම සාර්ථකව තිරගත වුණා (The Batman, Thirteen Lives, The Banshees of Inishirin). කොලම් ගේ චරිතය කරන Brendan Gleeson ගේ රඟපෑමත් අගය නොකර බැහැ. ඒ වගේම තමයි පොඩ්‍රික් ගේ සහෝදරිය ෂොබෑන් ගේ චරිතය කරන Kerry Condon සහ තවත් Inishirin ගැමි තරුණයෙක් විදිහට රඟපාන Barry Keoghan. මේ අය ගැන ළඟ එන Oscar season එකේ දි නම් නැවතත් අපිට අහන්න ලැබෙන බව සහතිකයි.

නිකම් යාලුවො දෙන්නෙක් තරහ වෙන සිද්දියක් මෙහෙම චිත්‍රපටයකට මාතෘකා කරගන්න ඕන ද? Martin McDonagh වගේ සිනමාකරුවෙක් මෙහෙම පුංචි සිදුවීමක් මෙතරම් බරපතළ විදිහට සිනමාවට ගේන්න හිතන්නෙ ඇයි. බුදු දහමෙ තියන "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" වගේ එක යෙදුමකට මුලු කතාවම ලඝු කරන්න පුලුවන් නේද කියල ඔබට හිතන්න පුලුවන්. නමුත් කලිනුත් කිව්ව වගේ පොඩි සිදුවීමක් ඇතුළෙ වුණත් හිතන්න සෑහෙන දේවල් ඉතුරු කරන චිත්‍රපටයක් මේ. උදාහරණ විදිහට කලාකරුවෙකුගේ ජීවිතය කොහොම එකක් විය යුතු ද කියන කාරණය ගැන කොලම් ට තියන දැක්ම සහ අතිශ්‍ය සාමාන්‍ය "එදාවේල" මනුස්සයෙක් වුණු පොඩ්‍රික් ට ජීවිතේ ගැන තිබුණ අදහස් එකිනෙක ගැටෙන මොහොත අරගන්න පුලුවන්. කලාකරුවෙක් කියන්නෙ සමාජයෙ අනෙක් මිනිසුන් අතර ඉන්න සුවිශේෂ කෙනෙකුට ද? නැත්නම් ඔහු තවත් එක සාමාන්‍ය මනුස්සයෙක් පමණ ද? ඔහු ගතකල යුතු සාමාන්‍ය ජීවිතයක් ද? එහෙනම් එදිනෙදා ජීවිතේ වෙනුවෙන් වෙහෙසෙන අතරෙ කෝ ඔහුට තමන්ගෙ කලාව වෙනුවෙන් වැය කරන්න වෙලාවක්? විවේක බුද්ධියක්? චිත්‍රපටය අවසානෙ, ප්‍රධාන තේමාවට අමතරව, ඔබට මේ කරුණු කාරණා ගැනත් විමසා බලන්න පුලුවන්. Cinematography, අති විශිෂ්ට ගණයේ රඟපෑම්, පසුබිම් සංගීතය වගේ දේවල් එක්ක The Banshees of Inishirin මේ වසරේ හොඳ ම චිත්‍රපටයක් විදිහට නම් කරන්න පුලුවන් ඒ නිසයි.



No comments:

Post a Comment