වේගයෙන් විදුලි එළි දැල්වෙන නිවෙන Dancefloor එකක්. ඒ මැද නෙහෙල්ලී හිටගෙන ඉන්න තරුණියක්. ක්ෂණයෙන් නිවෙන ආයෙ දැල්වෙන එළි මැද්දෙ ඇයට පේන්නෙ නටන මිනිස්සුන්ගෙ ඡායාමාත්‍රික රූප. ඒ මිනිස් රූප අතර එකවරම ඇය දකින්නෙ හොඳ හැටි දැකල පුරුදු එක රුවක්. ඒ වෙන කවුරුත් නොවෙයි ඇගෙ පියා. ඇයට පෙනෙන්නෙ ඔහුගෙ තරුණ රූපකාය. දැන් ඇයගෙ වයසෙදි ඇයගෙ පියාගේ රුව ඇය දකින්නෙ. පීඩාවට පත් ඇස් දෙක, විඩාබර මුහුණ, ඔහු කවදාවත් තමන්ගෙ දියණිය ඉස්සරහ නිරාවරණය නොකළ වේදනාවන්, ඇය දකිනව මේ මිනිස් ගංගාව මැද්දෙ මැවී පෙනෙන ඔහුගේ මුහුණේ. ඇගෙ නම සොෆී. සොෆී අවුරුදු 14 දි තාත්ත එක්ක තුර්කියේ නිවාඩු නිකේතනයක දවස් කිහිපයක් ගත කළා. සමහර විට සොෆීට තමන්ගෙ තාත්ත ගැන තිබුණ අවසන් මතකය ඒක වෙන්න ඇති (ඒ බව අපිට දැනගන්න ඉඩක් නැහැ) නමුත් බොහෝම වෙලාවට සොෆීට තාත්ත එක්ක තියන හොදම මතකය ඒ දවස් ටික. ඇගේ මතකයේ සිතුවම් අතරේ සහ ඩිජිටල් කැමරාවක සටහන් වී තියන වීඩියෝ දර්ශන ඇතුළේ ඒ දවස් ගැන මතකයන් ආයෙම play වෙන්න පටන් ගන්නව. Aftersun චිත්‍රපටය පුරා අපි දකින්නෙ ළමා වියේ කෙළවර ඉන්න ගෑනුලමයෙක් වුණු සොෆී ඉතාම තරුණ වයසෙ පසුවුණු ඇගෙ පියත් එක්ක ගත කළ මේ දවස් කීපය.
චිත්‍රපටය ගැන වැඩි යමක් නොකියා ඉන්නම්. නමුත් විශේෂයෙන් කියන්න ඕන දරුවෙක් සහ දෙමව්පියන් අතර තියන්න ඕන කොයි වගේ සම්බන්ධයක්ද කියන දේ ට හොඳ උදාහරණයක් Aftersun චිත්‍රපටය ඇතුළෙ තියන බව. සොෆී ගෙ අම්මයි තාත්තයි ජීවත් වෙන්නෙ එකිනෙකාගෙන් වෙන්ව. සොෆී හැදී වැඩෙන්නෙ අම්ම ළඟ. නමුත් චිත්‍රපටයෙ සොෆී ගෙ අම්මව අපි දකින්නෙ නෑ. චිත්‍රපටයට පදනම් වෙන්නෙ පියා සහ දුව අතර සම්බන්ධය. ඔහු ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමින් ඉන්න, ඒවයින් මිදීමක්, සහනයක් හොයාගෙන යන කෙනෙක් (ඔහු ළඟ තියන භාවනාව සහ තාඕ දහම ගැන ලියවුණු පොත්පත් මීට උදාහරණ) ඒත් තමන්ගෙ දුවට ඒ කිසිවක් දැනෙන්න තාත්ත ඉඩ තියන්නෙ නෑ. නමුත් සොෆී ඒ ගැන දන්නව. නොදන්නව වගේ හිටියට සොෆී තවත් බොහෝ දේ දන්නව. එයාට වඩා වැඩිමල් තරුණ තරුණියන් කතාවෙන, කරන කියන, ආදරය ලිංගිකත්වය වගේ වැඩිහිටි දේවල් සොෆීටත් අහන්න දකින්න ලැබෙනව. කොහොම වුණත් යෞවනයට එළඹෙන වයසෙ දරුවෙකුගෙන් මේ දේවල් හංගන්න බෑ. ඔවුන් කොහොම හරි ඒව ඉගෙනගන්නව. සොෆී බොහෝම විවෘත තාත්ත එක්ක ඒ දේවල් ගැන කතා කරනව. ඇගේ තාත්ත ඇයව, ඇගේ වයසෙ ඉඳන් කෙනෙක් ලෝකය දකින හැටි ගැන ඉතාම හොඳින් තේරුම් ගන්නව. තමන් සහ තමන්ගෙ දියණිය අතර සම්බන්ධය නිතරම යහපත් මට්ටමෙන් පවත්වගෙන යන්න ඔහු සමත් වෙනව. පහුකාලීනව ජීවිතේ තරුණ වයස ගෙවීගෙන යන සීමාවක දි ඇයට එනව තමන්ගෙ තාත්තව හොඳ හැටි තේරුම්ගන්න පුලුවන් වෙන මොහොතක්. එතනදි තාත්ත ළඟ නැති අඩුව ඇයට දැනෙනව. බොහොම වෙලාවට ඔහු ඒ වයසෙදිම ජීවිතයෙන් සමුගෙන ගිහින්. ජීවිතේ විෂමාකාරී චක්‍රය කරකැවෙන්නෙ අපි නොහිතන විදිහට තමා.
Aftersun අධ්‍යක්ෂවරිය Charlotte Wells ගේ පළමු සිනමා නිර්මාණය. සැකයක් නැතුවම වසරේ හොඳම ලසිස්තුවට නම් කරන්න පුලුවන් film එකක්. ළමා වයසේ සොෆී ගේ චරිතය රඟපාන Frankie Corio තෝරාගෙන තියෙන්නෙ ළමා නිළියන් 800ක් පමණ අතරින්. මේ ඇගේ පළමුවෙනි රඟපෑම. එක තැනක සොෆී තාත්ත ඉස්සරහ කියනව R.E.M කියන Alternative Rock බෑන්ඩ් එකේ 90 දශකයේ ජනප්‍රිය වුණු Loosing my Religion සින්දුව. මෙතන දෙන්නටම සින්දුව කියන්න නියමිත වෙලා තිබුණත් තාත්ත එතනදි ඉදිරියට එන්නෙ නෑ. එන්නෙ සොෆී පමණයි. ඒ සින්දුවෙ අරුත සහ ඔහුගෙ ජීවිතේ එක්ක තිබුණ සම්බන්ධ කම හින්ද ඔහු සින්දුව කියන්න නොඑන බව අනුමාන කරන්න පුලුවන්. Chunking Express ෆිල්ම් එකේ California Dreamin, මේ අවුරුද්දේ ආව The Batman ෆිල්ම් එකේ Something in the Way වගේ ෆිල්ම් එකක තිබුණ අමතක නොවෙන සින්දුවක් මේක.
ආහ් ජීවිතේ විශාලයි
ඔබටත් වඩා විශාලයි
ඔබ කියන්නේ මම නොවෙයි...
දුර ඇවිද යන්නට හිතුවත් මම
ඒ දුර ඔබෙ දෑස් මානෙන් ඈතයි..
මමයි උන්නේ අඳුරු මුල්ලක
මමයි ඒ උන්නේ
වේදිකාවේ ඔබට පෙනෙන්නට...
ඉක්මවා යමින් මගේ සීමාව....
තවත් ඔබ සමඟ රැඳෙන්නට,
දන්නෙ නැහැ හැකිවෙයිද මට..
කිව්වද මම යමක් වැඩිපුර..
නැහැ තවම කිසිවක් කීවෙ නෑ මම..
මම හිතුවෙ මට ඔබව ඇහුණ බව
මම හිතුවෙ මට ඇහුණ ඔබ ගයන හඬ
මම හිතුවෙ මම දුටුව ඔබ උත්සාහ කරන බව..
ඒත් හීනයක් පමණයි එය
හීනයක්..
හීනයක්ම පමණයි...
No comments:
Post a Comment