Tuesday, October 31, 2023

The fall of the House of Usher (2023)

ෂර්ලොක් හෝම්ස් අද කාලෙ ජීවත් වෙලා හිටියා නම් කොහොම වෙයිද කියන අදහස මුල්කරගෙන "Sherlock" TV series එක හැදුණා වගේ Edgar Allen Poe ගේ කෙටි කතාවල චරිත සහ සමහර සිදුවීම් වර්තමාන කලයට අනුගත කරලා හැදුණ, Netflix හරහා විකාශනය වුණ, horror/ thriller වර්ගයේ,  episode 8 ක drama mini series එකක් තමා The fall of the house of Usher කියන්නෙ. මේකෙ විශේෂත්වය තමයි නූතනත්වය කියන කාරණව මූලිකවශයෙන්ම තේමා කරගෙන නිර්මාණය කර තිබීම. ඒ කියන්නෙ අද ලෝකයේ වෙළඳපොළ ක්‍රමය මුල් කරගත්ත ධනවාදය සහ අධික පරිභෝජනය මත පවතින නූතනත්වය. ලෝකයෙ අති බහුතරයක් එදා වේල කන්න නැතිව හාමතේ දුක් විඳිද්දී තව සීමිත පිරිසක් ඩොලර් මිලියන බිලියන ගණන් වලින් එදිනෙදා ගනුදෙනු කතා කරන නූතනත්වය. තිමොති ෂලොමේ, බිලී අයිලිෂ් වගේ අය රඟපාන සින්දු කියන නූතනත්වය. මේ Tv series එක හැදෙන්නේ අර ඩොලර් මිලියන ගණන්වලින් වැඩ කරන අති සුඛෝපභෝගී ජීවිත ගත කරන සීමිත පිරිස මුල් කරගෙන. 

ඇලන් පෝ කියන්නෙ horror කතා කලාවේ පීතෲවරයෙක් විදිහටයි අද සැලකෙන්නෙ. මුල්ම රහස් පරීක්ෂක කතා, විද්‍යා ප්‍රබන්ධ සහ නිරීක්ෂණ ඔස්සේ නිගමන වලට එළඹෙන මුල්ම රහස් පරීක්ෂක චරිතය August Dupin නිර්මාණය කරන්නෙත් ඔහුයි. ඒ වගේම ඉංග්‍රීසි සාහිත්‍ය ඇතුළෙ ඔහු මුල් පෙළේ කවියෙක්. 1800 යුගයේ ලියවී තිබෙන මේ කතා අදටත් පාඨාකයින් අතරේ ඉතාම ජනප්‍රියයි. ඒ කතාවක තියන අමුතුම භයංකාර ගතිය අදටත් කියවන්නා භීතියෙන් ඇළලවන සුළුයි. ඇලන් පෝ ගෙ කතාවල horror අංගලක්ෂන අරගෙන ඒවා මේ අද ලෝකයට ගැළපෙන ආකාරයෙන් වෙනස් කර තිබෙනවා මෙතනදි. ඒ හින්දා Poe ගේ කතා කියවා තියන අයට මේක දැනෙනව වැඩියි. (Poe ගේ කතා බොහෝම දෙනා සිංහලට පරිවර්තනය කර තිබෙනවා. ඒ අතරින් නිර්දේශ කරන්නෙ අපට හිටි සුපිරිම ගණයේ පරිවර්තකයා K. G. කරුණාතිලක මහත්මයා පළ කළ "රන් මකුණා" නම් කෙටි කතා එකතුව) විශේෂයෙන්ම මුදල් මූලික සහ තරඟකාරී සමාජ ක්‍රමය මිනිස්සු තුළ ඇති කරන පීඩාවත්, ව්‍යාපාරිකත්වය ඇතුළේ සදාචාර සීමාවන් බිඳවැටී යාමත් ගෝලීය වශයෙන් කොයිතරම් විනාශකාරී විදිහට මිනිස් ජීවිතවලට බලපෑම් කරනවද කියන කාරණා මේ horror කතාවල යටි පෙළ වශයෙන් අන්තර්ගත වෙනවා. එතනදි මේ නිර්මාණකරුවන් කොයිතරම් නිර්මාණශීලී  වෙලා තියනවද කියන දේ ඇලන් පෝ ගේ කතා කියවා තියන කෙනෙකුට තේරුම් ගතහැකියි. Writing අතින් වගේම cinematography, music, acting මේ හැම අංශයකින්ම ඉහළින්ම තියන next level ගණයේ වැඩක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්!

පැරණි සාහිත්‍ය වුණත් අද ලෝකයට ගැළපෙන්න අනුවර්තනය කරලා කොයිතරම් නිර්මාණශීලීව ප්‍රතිනිර්මාණය කරන්න පුලුවන්ද කියන දේ තමයි මේකෙ තියන විස්මය ඇති කරවන වැඩේ. මේක නිර්මාණය කරන්නෙ The Hunting of the Hill House, Midnight Mass වගේ රූපවාහිනී නාටක සහ Hush, Before I wake, Ouija, Geralds game, Doctor sleep කියන චිත්‍රපට වගේ horror ගණයේ වැඩවලටම නම් දරාපු Mike Flangan. සාමාන්‍යයෙන් මම Planet earth, Prehistoric planet වගේ ඒව ඇරුණාම Tv series බලන්නෙ නැති තරම්. මොකද එපිසෝඩ් ගණන් එක දිගට බලන්න තරම් කාලයක් නැති නිසා. නමුත් මේක නම් කොහොම හරි කාලය හොයන් බලන්න තරම් හේතු වුණේ ප්‍රධානම හේතුව මම උග්‍ර Poe රසිකයෙක් හින්දා සහ මුල ඉඳන්ම වැඩේ තිබ්බ ගුණාත්මක බව හින්දා. Horror/ Thriller වලට කැමති අයට මේක Recommend කරනවා.

ප.ලි - කලින්ම කිව්ව වගේ මේක හොඳටම දැනෙන්නේ Poe ගෙ කතා කලින් කියවා තියන අයට. ඒ හින්දා highly recommend කරනවා Horror fan කෙනෙක් නම් Edgar Allen Poe ගේ කෙටි කතා හොයාගෙන කියවන්න කියලා!



Monday, October 23, 2023

සෝබනකාරයා

දොස්තොව්ස්කි, ඇල්බෙයා කැමූ සහ සයිමා ඔඑසිස් තැබෑරුමේ එකම මේසයේ වාඩි වෙලා හිටියා. 

පළවෙනි කාරණේ, ඔඑසිස් තැබෑරුම කියන්නේ සයිමා අතිශ්‍ය ප්‍රිය කළ තැනක්. ඔඑසිස් කියන්නෙ ක්ෂේම භූමියට නේ. ඒක හරියට දවස පුරාම තරඟෙට දුවන මිනිස් කාන්තාරෙ මැද්දේ ඉදිකරපු ක්ෂේම භූමියක් වගේ සයිමාට දැනුණේ. අනිත් එක, සයිමා කියන්නෙ මෙයාගෙ ඇත්ත නම නෙමේ. සමහර විට සයිමා ඒ නම අරගත්තේ සයිමන් නවගත්තේගම ගෙන් වෙන්න පුළුවන්. 

"මේක ධවල රාත්‍රීන් කිට්ටුවෙන් යන එකක්" සයිමා කිව්වේ දොස්තොව්ස්කිට, තමන් දොස්තොව්ස්කිගේ "ධවල රාත්‍රීන්" කෙටි කතාවට කොච්චර කැමතියිද කියලා සයිමා කලින්ම කියලා තිබුණා. දොස්තොව්ස්කි කිසිවක් නෑහුණ ගාණට හිස් කෝප්පයට වොඩ්කා බෝතලය ඇල කළා. 

"මට ඒ කතාවම ආපහු ලියන්න බෑ නෙ තරුණයා, අනිත් එක මොකක්ද එහෙම ලියන එකේ තේරුම?" දොස්තොව්ස්කි කිව්වා.

"නෑ නෑ ඒකම නෙමෙයි, බැලූ බැල්මට ඒ වගේ පෙනුණට මේක ඒ කතාව නෙවෙයි."

දොස්තොව්ස්කි මධු බඳුනෙන් බිඳක් තොලගාලා ඔඑසිස් තැබෑරුමේ ජනේලෙන් එහා බලාගෙන උන්නා. 

ඒ අතර ඇල්බෙයා කැමූගේ සිගරට්ටුවෙන් නික්මුණ දුම් වළලු කීපයක් ඔවුන් අතර තිබුණු අවකාශයේ පිරිලා ක්‍රමයෙන්  බොඳවී ගියා.

"මට පිටස්තරයාව මේකට ගේන්න ඕන ලේඛකයෙක් විදිහට" සයිමා කිව්වා.

"ඉතින් තමුසෙට පුළුවන්නේ තමුසෙ ගැනම ලියන්න" කැමූගේ සුපුරුදු සෝපහාසී බැල්ම යොමුවුණා සයිමා දිහාට.

"එහෙම නෙවෙයි, ලේඛකයා මම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒත් පිටස්තරයාව ඇතුළෙ තමාවම දකින, පිටස්තරයාව ආදරෙන් වැළදගන්න ඕනැම කෙනෙකුට අනන්‍ය වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන මේ ලේඛකයා. "

කැමූ තව දුමක් ඉහළට ඇද්දා.
" තමුසෙට හරි අමුතු ඒව නේ හිතෙන්නෙ"

සයිමා දිගටම කතා කරගෙන ගියා.

"මේක ඇතුළේ මේන් නැරටිව් එකත් එක්කම තව පොඩි පොඩි ආඛ්‍යාන තැනින් තැන පිහිටුවලා තියෙනව. හරියට ලොකු අඳුරු වැහි වළාවක තැනින් තැන මතුවෙන අකුණු එළි වගේ සැරින් සැරේ ඒවා ක්ෂුද්‍ර ජීවිතාලෝක දල්වනවා. උදාහරණයක් විදිහට අපේ ගෙදර පිටිපස්සේ තියන අඹගහේ ඉන්න ලේනාව මේ පසුබිමට අරගෙන එන්න පුළුවන්. මේකෙ මූලික තේමාව ම තව ආකාරයකින් අරුත් ගැන්වෙන ආකාරයට ලේනාගෙ හැසීරීම් ටික මේකට ගන්න පුළුවන්.  හැබැයි ඒක ප්‍රධාන කතාවෙම එක අවශේෂ දෙයක්. ඕන නම් කෙනෙකුට මේක තනි ආඛ්‍යානයක් විදිහට නැතිව කුඩා කුඩා ආඛ්‍යාන සමූහයක් විදිහට බාරගන්නත් පුළුවන්"

සයිමා තවදුරටත් කිව්වෙ මේ දෙදෙනා හා එක්ව තමන් ලියන්නට අදහස් කරගෙන ඉන්නා නොවෙල්ලාව ගැන පැහැදිලි කරමින්.

ඔය අතරේ ඔඑසිස් තැබෑරුමේ පසුබිම් ගීත ලයිස්තුවේ ඇහෙමින් තිබුණ සේනක බටගොඩ ගේ "හීනවලට පණක් තියෙනවා" සින්දුව ඉවර වුණා. "හොඳම දේ තියෙන්නෙ හැංගිලා"  ඊළඟට වාදනය වෙන්න පටන් ගත්ත සින්දුව.

"තමුසෙට දොස්තරලා එක්ක මොකක් හරි තරහක් තියෙනවද?" කැමූ ඇහුවා. 

ඒකට නම් සයිමාට හිනා ගියා. 

"නෑ නෑ එහෙම එකක් නෑ. මට ඕන පිටස්තරයාවත් ධවල රාත්‍රියේ ඉන්න බලාපොරොත්තු විරහිත ප්‍රේමවන්තයාවත් එකට මුණගස්සන්න. ඒකට මං අඳින සැලැස්ම ඇතුළෙ තමයි ඔය ඔක්කොම චරිත මුණගැහෙන්නෙ. අනිත් එක  මම මේ අතුරු කතා ටික පෙළගස්වන්න හිතාගෙන ඉන්නෙ එක්තරා පිළිවෙළකට. ඒක ඇතුළෙ තියනව ට්‍රික් එකක්. හැබැයි මේක අලුත් වැඩක්. කවුරුත් මීට කලින් වැඩිපුර කරලා නැති විදිහේ දෙයක්."

"අලුත් වැඩක් කිව්වෙ රැසියන් කතාවක් සිංහලෙන් ලියන එකද?" දොස්තොව්ස්කි ඇහුවා.

"ඔව් ඒකත් එකක් තමා, අනිත් එක මෙහෙම වෙනස් ආඛ්‍යාන කිහිපයක් ඛණ්ඩනය කරලා සමාන්තරව පෙළගස්වන එක, හරියට කිරිහොදි සහ බෝල්ට් ඇණ වගේ වෙනස් කම් එක්ක, ඒත් එකිනෙක සම්බන්ධ කරමින්." තමන්ගෙ කටින් කියවුණ උපමාව ගැන පොඩි අපහසු ගතියක් සයිමාට ඇතිවුණා, මෑතක කියවපු "ජීවිතේ ඔයිල් පැල්ලම්" නවකතාව එක්ක සාමාන්‍ය කතාබහේදී සයිමාගෙ කටින් මේ වගේ උපමා එළියට පනින්න පටන් ගෙන තිබුණා.

"ඔහේ හරියට චිත්‍රපටි බලනව වගේ."

කැමූ ඇහුවා.

"ඔව් වෙලාවක් තියන වෙලාවට.."

"මොකක්ද කැමතිම චිත්‍රපටියය?"

"එකක් කියන්න අමාරුයි, කීපයක් තියනව, ෆයිට් ක්ලබ්, මෙමෙන්ටෝ, යූෂුවල් සස්පෙක්ට්ස්,  මිඩ් නයිට් ඉන් පැරිස්.. ඒවගේ"

ඔය අතරේ වටපිටාවේ උන්නු කීපදෙනෙක්ම තමන් දිහා අමුතු විදිහට බලන බව සයිමාට තේරුණා. ඒකෙන් සයිමා ඇතුළෙ වැඩෙමින් තිබුණ අපහසු ගතිය තව ටිකක් වැඩි වුණා වගේ දැනුණා. 

පසුබිම් ගීතය බටගොඩගෙන් සුනිල් පෙරේරාට මාරු වුණා. "..  අනේ උඹෙ ඩාලිං සයිමා කට්වෙලා...."

"මම චුට්ටක් එලියට ගිහිං එන්නං" සයිමා ඉක්මණින්ම එතනින් නැගිටල ගියා. සුදු පාට පෙණ කැටි උතුරා ගිහින් රත්තරන් පාටින් දිස්නෙ දුන්න බීර වීදුරුව මේසෙ උඩ තනිවුණා.

දොස්තොව්ස්කි එතන තිබ්බ බීර වීදුරුව දිහාත් තමන් අතේ ඇති වොඩ්කා බෝතලේ දිහාත් මාරුවෙන් මාරුවට බැල්මක් හෙලළා කැමූ දිහා බැලුවා. කැමූ ඇහැක් ඉඟිමරලා කට කොණෙන් හිනාවක් දැම්මා..
.
.
.
.

ප.ලි - ප්‍රභාත් විතානගේ ගෙ "සෝබනකාරයා" කියන්නෙ මරු වැඩක්. කෙටි නවකතාවක කුඩා පිටු ප්‍රමාණයක් ඇතුළෙ සංක්ෂිප්තව අදාළ සිදුවීම් මාලාව ගොනු කරලා තිබීමත් එක්ක, ඉක්මණින් කියවා අවසාන කරලා සෑහෙන වෙලා හිතන්න දේවල් ඉතුරු කරන පොතක්. කතාව ඉදිරිපත් කරන ආකෘතියෙ අලුත්බව එක්ක වෙනස්ම කියවීමේ අත්දැකීමක් අරගෙන එන පොතක්. ධනය සහ බලය මත බොහෝ දේ තීරණය වෙන තරඟකාරී සමාජයක ජීවිත පැවැත්මේ ඇති නිස්සාරත්වය ගැන සාංදෘශ්ටික හැඟීමක් කියවන්න තුළ ඇති කරන්න මේ ලිවීම සමත් වෙලා තියනව. පොතේ තියන "පැවැත්මක් නැති" ප්‍රේම වෘතාන්ත කිහිපය ගොඩනැගෙන්නෙ ඒ පසුබිම මත කියල හිතනව. ප්‍රභාත් මේ කතාව අරගෙන එන්නෙ ලේඛකයෙක් හරහා. ඒ නිසා ලිවීමේ යෙදෙන කෙනෙකුට, සාහිත්‍ය ප්‍රේමියෙකුට මේක ටිකක් දැනෙනව වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රභාත්ට සුබ පතනව ඉදිරි ලේඛක වැඩකටයුතු වෙනුවෙන්.

ප.ප.ලි - මුලින් ඇති හෑල්ල පොතෙන් උපුටාගත්තක් නොව, පොත කියවූවෙකුගේ මනසේ ඇඳුණු මනෝ විකාරයක් පමණක් බව සලකන්න.




Tuesday, October 17, 2023

Anatomy of a Fall (2023)

මනුස්සයෙක් වැටෙනව කිව්වම ඒකට නොයෙක් විදිහෙ අර්ථකතන දෙන්න පුළුවන්. එකක් භෞතික වශයෙන් මොකක් හරි දෙයකින් බිමට ඇදගෙන වැටීම. අනිත් එක කෙනෙකුට මනුස්සයෙක් විදිහට මානසික වශයෙන් වැටෙන එක. පළවෙනි වැටීම බැලු බැල්මටම ඉතාම සරලයි, මතුපිටින් පේනවට වැඩි දෙයක් නෑ. දරුණු ගණයේ වැටීමක් නොවුණා නම්, ඇතිවෙන තුවාල ඉක්මණින්ම සුව කරගන්න හැකියාව තියනවා. ඒත් දෙවනි වැටීම එහෙම නෑ, ඒක ඉතාම සංකීර්ණයි, ඒක සමහර විට ජීවත කාලයක් පුරා ක්‍රමාණුකූලව වෙන සිද්ධි දාමයක ප්‍රථිඵලයක් වශයෙන් ඇති වෙන දෙයක්. හැබැයි එහෙම වැටුණාම ඉන්පස්සෙ ඇතිවෙන තුවාල සුව කරන්නත් ලේසි නෑ. 

Anatomy of a fall කියන්නෙ නමෙන් කියවෙන ආකාරයටම වැටීමක් සම්බන්ධ කතාවක්. නමුත්, කොයි ආකාරයකින් බැලුවත් සෑහෙන තීරණාත්මක ගණයේ වැටීමක්. මෙතනදී කලින් කියපු ආකාරයේ වැටීම් දෙකම සිද්ධවෙලා තියෙන ආකාරය අපිට හඳුනාගන්න පුළුවන්. මුලින්ම අපි දකින්නේ මනුස්සයෙක් තමන්ගෙම ගෙදර, ඉහළම තට්ටුවෙන් පහළට වැටිලා මියගිහින් තියෙන හැටි. ඒ තමා පළමු වැටීම. මේ භෞතික වැටීමේ යම් අපරාධමය ස්වභාවක් තියෙන්න පුළුවන් කියන සැකය අනුව, නීතියේ බලපෑමෙන්, මේ සිද්ධිය වැඩිදුර පරික්ෂා කෙරෙද්දී, ඒ වැටුණු පුද්ගලයාගේ පවුල ඇතුළේ තිබුණ යම් ගැටුම්කාරී තත්ත්වයන් ගැන අනාවරණය වෙන්න පටන් ගන්නවා. දෙවන වැටීමක් ගැන කරුණු එළියට එන්නේ එතනදී. Anatomy of a Fall කියන්නේ ඒ ඇදවැටීමේ ඉතිහාසය සොයා යන කතාව.

මේ ඉහළ ඉඳන් ඇදගෙන වැටෙන මනුස්සයා වැටෙන්නෙ ගෙදර ඉද්දීමයි. ගෙයකින් සංකේතවත් වෙනවා පවුලක්, පවුල කියන්නෙ කෙනෙකුගේ ජීවිතේ මානව සම්බන්ධතාවල කේන්ද්‍රය, ජීවිතේට වැඩිපුරම බලපෑමක් කළ හැකි කේන්ද්‍රය, මේ කේන්ද්‍රයේ දෙදරුම්, කම්පනයන් ඇති වෙද්දී ඒවාට සමගාමීව ඉරිතැලුම් ඇති වෙන්නේ ජීවිතේ ම තමයි. සමහර විට ලොකු දේවල් වෙන්න ඕන නෑ. දෛනික වශයෙන් සිද්ධ වෙන පොඩි පොඩි සිද්ධි, ඒවායෙ බලපෑම් ක්‍රම ක්‍රමයෙන් එකතු වෙලා, වැඩි වර්ධනය වෙලා, අවසානෙ පුපුරලා යන්නෙ නොහිතනම වෙලාවල, නොහිතනම තැන්වලින්. ගෘහස්ථ හිංසනය කියල කියන්නෙ ගොඩක් විට මෙහෙම දේවල්. මට මතක විදිහට ෆ්‍රොයිඩ් හරි කාල් යුංග් හරි කියලා තියනව අපිට ඇතිවෙන මේ පොඩි හිත් රිදවීම් හිතෙන් බැහැර වෙන්නේ නෑ කියලා. ඒව අපිට නොදැනී, අපේම මනසේ අවිඥානිකව, ඒ කියන්නේ එහෙම තියෙන බව අපි නොදන්නා ආකාරයෙන්, තැන්පත්වෙලා තිබිලා අපිම කරන කියන දේවල් එක්ක නොදැනීම එළියට එනවා කියලා. (මේ අවිඥානය, ඒ කියන්නේ මනසේ තියන අපේ දැනුමෙන් පරිබාහිර කලාපය, අපි කරන කියන දේවල් හැඩගස්වන්න ලොකු බලපෑමක් කරනවා. මිනිස්සු විදිහට අපි ජීවිතේ හැමදෙයක්ම කරන්නෙ හොඳට හිතලා අවධානයෙන් නොවෙයි, ස්වභාවිකවම අපි ඒ දේවල් කරන්න පුරුදු වෙලා තියෙන ආකාරයකටයි අපි දේවල් කරන්නේ, එතනදි අපි වැඩ කරන්නේ මනසේ අපේ අනුදැනුමෙන් තොරව පවතින අවිඥානික කලාපයේ බලපෑම මත බවයි කියවෙන්නේ. ෆ්‍රොයිඩ් සහ යුංග් තමා මේ ගැන මුලින්ම ලෝකෙට අනාවරණය කළ පුරෝගාමීන්)  විවාහය වගේ මූලික මිනිස් සබඳතාවක් වුණත්, සමාජෙ අතිශ්‍ය බහුතර දෙනාට තිත්ත කසායක් වෙලා තියෙන්නේ අපේ මේ ගති ස්වභාවයන් එක්ක කියලා මට හිතෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම, මේවා පුහුදුන් මිනිස් මනසේ ස්වභාවයන්. විවාහය කියන්නෙ දෙන්නෙක් එකිනෙකාට සමීප වෙන උපරිම සීමාව. අපේ ඇත්ත ගතිගුණවලට අනෙකා නිරාවරණය වෙන්න පටන් ගන්නෙ මෙතනදි. මේවත් එක්ක ලොකු ඉවසීමකින් වැඩ කරන්න තරම් හොඳ සංයමයක් නැති නම් මැරීඩ් married කියන්නෙ මැරි මැරී ජීවත් වීමක් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. 

ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා දෙකම ඇතුළත් වෙන Anatomy of a Fall මේ අවුරුද්දේ කාන්ස් සිනමා උළලේ ඉහළම සම්මානය වුණු Palme d'Or දිනාගත්ත හින්දා ගොඩ දෙනෙකුට මේ චිත්‍රපටිය ගැන උනන්දුවක් ඇති වෙලා තියන බව දැක්කා. හැබැයි සාම්ප්‍රදායික අපරාධ පරීක්ෂණ කතාවක් ඔලුවේ තියාගෙන මේක බලන කෙනෙකුට නම් වෙන්නෙ බලාපොරොත්තු කඩකර ගන්න. මොකද ඇත්තටම මේක අපරාධ පරීක්ෂණ කතාවල තියෙන ත්‍රාසය, කුතුහලය පිරුණු අබිරහස්මය ගතියෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා ජීවිතේ ගැන මනුස්ස හැගීම් ගැන සියුම්ව කතා කරන චිත්‍රපටයක් වීම නිසා. ලොකු කුතුහලයක් ඇති කරන්නේ නැති, බොහොම හෙමින් ගලා යන නාටකීය වර්ගයේ චිත්‍රපටයක්. courtroom දර්ශන වලදි නම් සෑහෙන උනන්දුවෙන් බලාගෙන ඉන්න පුලුවන් ගතියක් තිබුණා. courtroom drama වලට කැමති කෙනෙකුට නම් මේක හොඳටම හරියාවි. අවසානේ ලොකු Climax එකක් වෙලා අබිරහසක් විසදේවි කියලා මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අන්තිමට සියල්ලෝ සතුටින් විසිර යන අවසානයක් මෙකේ තිබුණට ඒත් ඇත්තටම ඒක එහෙමද කියලා හිතන්න ඉඩක් තියලා තියන විවෘත අවසානයක්. ඒ හින්දා slow burn, art house වර්ගේ චිත්‍රපටි දරාගන්න පුලුවන් කෙනෙකුට බලන්න වඩාත් හොඳයි කියලා නිර්දේශ කරනවා. 

මේ අවුරුද්දට මම මෙතෙක් දැකපු හොදම Female lead performance එක දැක්කේ මේ චිත්‍රපටයේ  Sandra Hüller ගෙන්. මේකෙ එක තැනක තියනවා සැමියා සහ බිරිඳ අතර ඇති වෙන කතාබහක් ක්‍රමයෙන් දුර දිග ගිහින් අවසානෙ ඉතාම උද්වේගකාරී තැනකට එන හැටි ඇතුළත් වෙන දර්ශනයක්. දීර්ඝ දෙබස් තියන සෑහෙන දීර්ඝ දර්ශනයක් ඒක. මුළු සීන් එකම වන් ටේක් අරගත්තද කියන්න දන්නෙ නෑ. හැබැයි එහෙම කළා නම් ඔච්චර දෙබස් ගොඩක් මතක තියන් ඔය සීන් එක කළාටම සම්මානයක් දෙන්න වටිනවා. (Marriage Story ෆිල්ම් එකෙත් ඔහොම දර්ශනයක් තිබ්බා වගේ මතකයි. Anatomy of a Fall බලනකොට සෑහෙන මතක් වුණා Marriage Story  ෆිල්ම් එක සහ ඒ වගේම බර්ග්මාන් ගේ scenes from a marriage. දෙකෙන්ම උත්සාහ කරලා තිබුණේ විවාහ ජීවිතේ අඳුරු පැත්ත ගැන කතා කරන්න.) 

Anatomy of a Fall ගැන කතා කරද්දි කෙනෙක් ලියලා තිබුණා "One has to grow into this movie" කියලා. ඇත්තට මේ චිත්‍රපටියෙන් කරන්නේ එක්තරා ආකාරයකට ජීවිත අත්දැකීමක් සමග මුහුණට මුණගැහෙන්න නරඹන්නාට ඉඩක් හදලා දීම. ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙන කතාව එක්ක තමන්ගේ ජීවිත අත්දැකීම් අනුව ඒකාත්මික වීම. හැම අභිරහසක්ම විසදෙන පරිපූර්ණ රහස් පරීක්ෂක කතාවක් අපිට මේකෙන් දකින්න නොලැබෙන්නේ ඒ නිසා. මොකද ඒ තමා ඇත්ත ජීවිතේ. ඇත්ත ජීවිතේදි ගොඩක් දේවල්වලට සදාකාලික විසඳුම් නැහැ. එකම දෙයක් මම දකින්නෙ එක විදිහකට, තව කෙනෙක් ඒක දිහා බලන්නේ වෙනස්ම ආකාරයකට, ඔතනදි තමා ගැටුම ඇති වෙන්නෙ. ෆිල්ම් එකේ courtroom සීන් වලදී මේ දෙන්නෙකුගේ දෘෂ්ටිකෝණ අතර වෙනස් කම සහ ඒවා එකිනෙක ගැටෙන හැටි, මිනිස්සු දේවල් තමන්ට අනුව සාධාරණීකරණය කරගන්න හැටි හරි අපූරුවට පෙන්නල දීලා තිබුණා. ඒ ගැටුම හැමදාටම එහෙම තියනවා. විවාහය, පවුල, අඹු දරුවෝ ගැන චිත්‍රපටි හදන, කතා ලියන අය කොයිතරම් කතන්දර ලිව්වත්, චිත්‍රපටි හැදුවත් ඉදිරියටත් තව ලියන්න කියන්න දේවල් ඉතිරි වෙලා තියෙනවා කියලා මම හිතනවා.



Monday, October 16, 2023

Sapta Sagaradaache Ello - side A (සප්ත සයුරෙන් එහා තැනක) (2023)

 කැසට් කියන්නෙ 80, 90 දශකවල ළමා කාලෙ ගත කෙරුව අපි කාටත් තියන නොස්ටැල්ජික මතකයක්. මං හිතන්නෙ ඔය කාලෙදි කැසට් පටි ඇදගෙන සෙල්ලම් නොකරපු, ටේප් රෙකෝඩර්වලින් අපේම කටහඬවල් රෙකෝඩ් කර කර නොඅහපු කවුරුත් නැතුව ඇති. ඒකාලෙ අලුත්ම ගායක ගායිකාවො, අලුත් සින්දු අපි අතරට ආවෙ කැසට්පීස් වලින්. ඉන්ටර්නෙට්, යූටියුබ් එන්න කලින් යුගයේ ඒ තරම් ජීවිතේ එක්ක සම්බන්ධ දෙයක් වෙලා තිබ්බා කැසට් එක අපිට. හැබැයි මේ වගේ කැසට් එකක් කෙනෙකුට ජීවිතේ තියන එකම වටිනම වස්තුව බවට පත්වෙන්න පුළුවන් සමහරවිට. ඒක වෙන්නෙ කොහොමද කියල දැනගන්න නම් Sapta Sagaradaache Ello - side A කන්නඩ චිත්‍රපටය බලන්න වෙනව.

මේ චිත්‍රපටියෙ ඉන්නව බොහෝම අගහිඟකම් මැද්දේ ජීවත් වුණත් තමන්ගේ ප්‍රේම සම්බන්ධය මල්ඵල ගැන්විලා දෙන්නා විවාහ වෙලා එකට ගතකරන ජීවිතයක් ගැන හීන දකින දෙන්නෙක්. මනූ සහ ප්‍රියා. මේ ජීවිතේ මේ මොහෙතේ අමාරුකම් එක්ක පීඩා විඳිද්දී ප්‍රියා කියනවා මනූට එයා ජීවිතේ ෆාස්ට් ෆෝවඩ් කරලා බලනව කියලා. කැසට් පීස් එකක් වගේ ජීවිතේ ෆාස්ට් ෆෝවඩ් කරන්න බැරි බව ඇත්ත. ඒත් ප්‍රියාගේ ඒ කතාවෙන් කියවෙන්නෙ ජීවිතේ ගැන අපිට තියන හීන ගැන. මිනිස්සු විදිහට අපි කාල බීල පැවතුණාට ජීවිතේ ඉස්සරහට ඇදගෙන යන්න හයිය දෙන්නෙ අපිට තියන හීන... විශේෂයෙන් ආදරේ කරන දෙන්නෙකුට.. ආදරේ කරන කාලෙ කියන්නෙම එකම හීනයක් තමා. හැබැයි ප්‍රියා අර විදිහට මනූ එක්ක කිව්ව වෙලාවේ එයාට ඇත්තටම ජීවිතේ ෆාස්ට් ෆෝවඩ් කරලා බලන්න පුළුවන් වුණා නම් එයාට දකින්න ලැබෙන දේ කොයිතරම් සෝචනීයයි ද කියන්නේ සමහර විය ඒ ෂොක් එකටම එයාගෙ හදගැස්ම ඒ මොහොතෙම නතරවෙන්නත් තිබුණා. 

අන්තිමට බැලුවම හීන තමයි හැමදේටම මුල....

Sapta sagaradaache ello - side A මේ අවුරුද්දට ඉන්දියාවෙ කන්නඩ සිනමාවෙන් ආව කවියක් වගේ ලස්සන සිනමාපටයක්. ඒත් ඇත්ත ජීවිතේ තිත්ත යථාර්ථයම පදනම් කරගෙන කතාව ගොඩනැංවිලා තිබීමයි මං මේකෙ දැකපු විශේෂත්වෙ. ඒ නිසාම වෙන්නැති මේ චිත්‍රපටයට සෑහෙන හොඳම මට්ටමේ ප්‍රතිචාර ලැබිලා තියෙන්නෙ.

 Rakshit Shetti (Charlie 777) ගේ අපූර්ව රඟපෑම සහ Rukmini Vasant ගේ මායවක් වගේ සෞන්දර්ය පිරුණු, ඉන්දියාවටන අනන්‍ය සුන්දරත්වයෙන් හැඩ වුණු රූප කාය නරඹන කෙනෙකුව ඇදබැඳ ගන්න මැජික් එකක් වගේ චිත්‍රපටය පුරා තැවරිලා තියනව. රුක්මිණිත් ප්‍රියාත් කියන්නෙ දෙන්නෙක් නෙමේ මට නම් එක්කෙනෙක්. මේකෙ Director and Screen writer වෙන්නෙ Andhadun මෑතකාලීනව ඉන්දියාවෙන් ආව සුපිරි ගණයේ thriller චිත්‍රපටයෙ තිර රචනාව කල Hemanth M. Rao ම යි. 

කැසට් එකක නම් අහන්න පුළුවන් පැති දෙකක් තියනවනෙ. මේ එක පැත්තක කතාව Side A. එතනින් ඔක්කොම ඉවරයි කියල හිතුවට ඉවර නෑ. තව තියනව. ඒ තමා Side B. කැසට් එකේ ඉතුරු කොටසෙ කතාව. ඒ චිත්‍රපටය එන්නෙ මේ මාසෙ අන්‍තිමට වගේ මතක විදිහට. මං හිතන්නෙ කෙටිම කාලයකින්, ඒකියන්නෙ මාස කීපයක් ඇතුළත චිත්‍රපටයක දෙවනි කොටසත් එන දුර්ලභ අවස්ථාවක් මේක..

තවමත් බලල නැත්නම්, ඉන්දියානු Romance/ Drama වලට ප්‍රියයි නම් මේක miss කරගන්න එපා. දැන් Side A කතාව බලලා ලබන මාසෙ වගේ කැසට් එකේ ඉතුරු කොටස Side B බලන්න ලෑස්ති වෙන්න..