Monday, October 23, 2023

සෝබනකාරයා

දොස්තොව්ස්කි, ඇල්බෙයා කැමූ සහ සයිමා ඔඑසිස් තැබෑරුමේ එකම මේසයේ වාඩි වෙලා හිටියා. 

පළවෙනි කාරණේ, ඔඑසිස් තැබෑරුම කියන්නේ සයිමා අතිශ්‍ය ප්‍රිය කළ තැනක්. ඔඑසිස් කියන්නෙ ක්ෂේම භූමියට නේ. ඒක හරියට දවස පුරාම තරඟෙට දුවන මිනිස් කාන්තාරෙ මැද්දේ ඉදිකරපු ක්ෂේම භූමියක් වගේ සයිමාට දැනුණේ. අනිත් එක, සයිමා කියන්නෙ මෙයාගෙ ඇත්ත නම නෙමේ. සමහර විට සයිමා ඒ නම අරගත්තේ සයිමන් නවගත්තේගම ගෙන් වෙන්න පුළුවන්. 

"මේක ධවල රාත්‍රීන් කිට්ටුවෙන් යන එකක්" සයිමා කිව්වේ දොස්තොව්ස්කිට, තමන් දොස්තොව්ස්කිගේ "ධවල රාත්‍රීන්" කෙටි කතාවට කොච්චර කැමතියිද කියලා සයිමා කලින්ම කියලා තිබුණා. දොස්තොව්ස්කි කිසිවක් නෑහුණ ගාණට හිස් කෝප්පයට වොඩ්කා බෝතලය ඇල කළා. 

"මට ඒ කතාවම ආපහු ලියන්න බෑ නෙ තරුණයා, අනිත් එක මොකක්ද එහෙම ලියන එකේ තේරුම?" දොස්තොව්ස්කි කිව්වා.

"නෑ නෑ ඒකම නෙමෙයි, බැලූ බැල්මට ඒ වගේ පෙනුණට මේක ඒ කතාව නෙවෙයි."

දොස්තොව්ස්කි මධු බඳුනෙන් බිඳක් තොලගාලා ඔඑසිස් තැබෑරුමේ ජනේලෙන් එහා බලාගෙන උන්නා. 

ඒ අතර ඇල්බෙයා කැමූගේ සිගරට්ටුවෙන් නික්මුණ දුම් වළලු කීපයක් ඔවුන් අතර තිබුණු අවකාශයේ පිරිලා ක්‍රමයෙන්  බොඳවී ගියා.

"මට පිටස්තරයාව මේකට ගේන්න ඕන ලේඛකයෙක් විදිහට" සයිමා කිව්වා.

"ඉතින් තමුසෙට පුළුවන්නේ තමුසෙ ගැනම ලියන්න" කැමූගේ සුපුරුදු සෝපහාසී බැල්ම යොමුවුණා සයිමා දිහාට.

"එහෙම නෙවෙයි, ලේඛකයා මම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්, ඒත් පිටස්තරයාව ඇතුළෙ තමාවම දකින, පිටස්තරයාව ආදරෙන් වැළදගන්න ඕනැම කෙනෙකුට අනන්‍ය වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන මේ ලේඛකයා. "

කැමූ තව දුමක් ඉහළට ඇද්දා.
" තමුසෙට හරි අමුතු ඒව නේ හිතෙන්නෙ"

සයිමා දිගටම කතා කරගෙන ගියා.

"මේක ඇතුළේ මේන් නැරටිව් එකත් එක්කම තව පොඩි පොඩි ආඛ්‍යාන තැනින් තැන පිහිටුවලා තියෙනව. හරියට ලොකු අඳුරු වැහි වළාවක තැනින් තැන මතුවෙන අකුණු එළි වගේ සැරින් සැරේ ඒවා ක්ෂුද්‍ර ජීවිතාලෝක දල්වනවා. උදාහරණයක් විදිහට අපේ ගෙදර පිටිපස්සේ තියන අඹගහේ ඉන්න ලේනාව මේ පසුබිමට අරගෙන එන්න පුළුවන්. මේකෙ මූලික තේමාව ම තව ආකාරයකින් අරුත් ගැන්වෙන ආකාරයට ලේනාගෙ හැසීරීම් ටික මේකට ගන්න පුළුවන්.  හැබැයි ඒක ප්‍රධාන කතාවෙම එක අවශේෂ දෙයක්. ඕන නම් කෙනෙකුට මේක තනි ආඛ්‍යානයක් විදිහට නැතිව කුඩා කුඩා ආඛ්‍යාන සමූහයක් විදිහට බාරගන්නත් පුළුවන්"

සයිමා තවදුරටත් කිව්වෙ මේ දෙදෙනා හා එක්ව තමන් ලියන්නට අදහස් කරගෙන ඉන්නා නොවෙල්ලාව ගැන පැහැදිලි කරමින්.

ඔය අතරේ ඔඑසිස් තැබෑරුමේ පසුබිම් ගීත ලයිස්තුවේ ඇහෙමින් තිබුණ සේනක බටගොඩ ගේ "හීනවලට පණක් තියෙනවා" සින්දුව ඉවර වුණා. "හොඳම දේ තියෙන්නෙ හැංගිලා"  ඊළඟට වාදනය වෙන්න පටන් ගත්ත සින්දුව.

"තමුසෙට දොස්තරලා එක්ක මොකක් හරි තරහක් තියෙනවද?" කැමූ ඇහුවා. 

ඒකට නම් සයිමාට හිනා ගියා. 

"නෑ නෑ එහෙම එකක් නෑ. මට ඕන පිටස්තරයාවත් ධවල රාත්‍රියේ ඉන්න බලාපොරොත්තු විරහිත ප්‍රේමවන්තයාවත් එකට මුණගස්සන්න. ඒකට මං අඳින සැලැස්ම ඇතුළෙ තමයි ඔය ඔක්කොම චරිත මුණගැහෙන්නෙ. අනිත් එක  මම මේ අතුරු කතා ටික පෙළගස්වන්න හිතාගෙන ඉන්නෙ එක්තරා පිළිවෙළකට. ඒක ඇතුළෙ තියනව ට්‍රික් එකක්. හැබැයි මේක අලුත් වැඩක්. කවුරුත් මීට කලින් වැඩිපුර කරලා නැති විදිහේ දෙයක්."

"අලුත් වැඩක් කිව්වෙ රැසියන් කතාවක් සිංහලෙන් ලියන එකද?" දොස්තොව්ස්කි ඇහුවා.

"ඔව් ඒකත් එකක් තමා, අනිත් එක මෙහෙම වෙනස් ආඛ්‍යාන කිහිපයක් ඛණ්ඩනය කරලා සමාන්තරව පෙළගස්වන එක, හරියට කිරිහොදි සහ බෝල්ට් ඇණ වගේ වෙනස් කම් එක්ක, ඒත් එකිනෙක සම්බන්ධ කරමින්." තමන්ගෙ කටින් කියවුණ උපමාව ගැන පොඩි අපහසු ගතියක් සයිමාට ඇතිවුණා, මෑතක කියවපු "ජීවිතේ ඔයිල් පැල්ලම්" නවකතාව එක්ක සාමාන්‍ය කතාබහේදී සයිමාගෙ කටින් මේ වගේ උපමා එළියට පනින්න පටන් ගෙන තිබුණා.

"ඔහේ හරියට චිත්‍රපටි බලනව වගේ."

කැමූ ඇහුවා.

"ඔව් වෙලාවක් තියන වෙලාවට.."

"මොකක්ද කැමතිම චිත්‍රපටියය?"

"එකක් කියන්න අමාරුයි, කීපයක් තියනව, ෆයිට් ක්ලබ්, මෙමෙන්ටෝ, යූෂුවල් සස්පෙක්ට්ස්,  මිඩ් නයිට් ඉන් පැරිස්.. ඒවගේ"

ඔය අතරේ වටපිටාවේ උන්නු කීපදෙනෙක්ම තමන් දිහා අමුතු විදිහට බලන බව සයිමාට තේරුණා. ඒකෙන් සයිමා ඇතුළෙ වැඩෙමින් තිබුණ අපහසු ගතිය තව ටිකක් වැඩි වුණා වගේ දැනුණා. 

පසුබිම් ගීතය බටගොඩගෙන් සුනිල් පෙරේරාට මාරු වුණා. "..  අනේ උඹෙ ඩාලිං සයිමා කට්වෙලා...."

"මම චුට්ටක් එලියට ගිහිං එන්නං" සයිමා ඉක්මණින්ම එතනින් නැගිටල ගියා. සුදු පාට පෙණ කැටි උතුරා ගිහින් රත්තරන් පාටින් දිස්නෙ දුන්න බීර වීදුරුව මේසෙ උඩ තනිවුණා.

දොස්තොව්ස්කි එතන තිබ්බ බීර වීදුරුව දිහාත් තමන් අතේ ඇති වොඩ්කා බෝතලේ දිහාත් මාරුවෙන් මාරුවට බැල්මක් හෙලළා කැමූ දිහා බැලුවා. කැමූ ඇහැක් ඉඟිමරලා කට කොණෙන් හිනාවක් දැම්මා..
.
.
.
.

ප.ලි - ප්‍රභාත් විතානගේ ගෙ "සෝබනකාරයා" කියන්නෙ මරු වැඩක්. කෙටි නවකතාවක කුඩා පිටු ප්‍රමාණයක් ඇතුළෙ සංක්ෂිප්තව අදාළ සිදුවීම් මාලාව ගොනු කරලා තිබීමත් එක්ක, ඉක්මණින් කියවා අවසාන කරලා සෑහෙන වෙලා හිතන්න දේවල් ඉතුරු කරන පොතක්. කතාව ඉදිරිපත් කරන ආකෘතියෙ අලුත්බව එක්ක වෙනස්ම කියවීමේ අත්දැකීමක් අරගෙන එන පොතක්. ධනය සහ බලය මත බොහෝ දේ තීරණය වෙන තරඟකාරී සමාජයක ජීවිත පැවැත්මේ ඇති නිස්සාරත්වය ගැන සාංදෘශ්ටික හැඟීමක් කියවන්න තුළ ඇති කරන්න මේ ලිවීම සමත් වෙලා තියනව. පොතේ තියන "පැවැත්මක් නැති" ප්‍රේම වෘතාන්ත කිහිපය ගොඩනැගෙන්නෙ ඒ පසුබිම මත කියල හිතනව. ප්‍රභාත් මේ කතාව අරගෙන එන්නෙ ලේඛකයෙක් හරහා. ඒ නිසා ලිවීමේ යෙදෙන කෙනෙකුට, සාහිත්‍ය ප්‍රේමියෙකුට මේක ටිකක් දැනෙනව වැඩි වෙන්න පුළුවන්. කොහොම වුණත් ප්‍රභාත්ට සුබ පතනව ඉදිරි ලේඛක වැඩකටයුතු වෙනුවෙන්.

ප.ප.ලි - මුලින් ඇති හෑල්ල පොතෙන් උපුටාගත්තක් නොව, පොත කියවූවෙකුගේ මනසේ ඇඳුණු මනෝ විකාරයක් පමණක් බව සලකන්න.




1 comment: