Tuesday, October 17, 2023

Anatomy of a Fall (2023)

මනුස්සයෙක් වැටෙනව කිව්වම ඒකට නොයෙක් විදිහෙ අර්ථකතන දෙන්න පුළුවන්. එකක් භෞතික වශයෙන් මොකක් හරි දෙයකින් බිමට ඇදගෙන වැටීම. අනිත් එක කෙනෙකුට මනුස්සයෙක් විදිහට මානසික වශයෙන් වැටෙන එක. පළවෙනි වැටීම බැලු බැල්මටම ඉතාම සරලයි, මතුපිටින් පේනවට වැඩි දෙයක් නෑ. දරුණු ගණයේ වැටීමක් නොවුණා නම්, ඇතිවෙන තුවාල ඉක්මණින්ම සුව කරගන්න හැකියාව තියනවා. ඒත් දෙවනි වැටීම එහෙම නෑ, ඒක ඉතාම සංකීර්ණයි, ඒක සමහර විට ජීවත කාලයක් පුරා ක්‍රමාණුකූලව වෙන සිද්ධි දාමයක ප්‍රථිඵලයක් වශයෙන් ඇති වෙන දෙයක්. හැබැයි එහෙම වැටුණාම ඉන්පස්සෙ ඇතිවෙන තුවාල සුව කරන්නත් ලේසි නෑ. 

Anatomy of a fall කියන්නෙ නමෙන් කියවෙන ආකාරයටම වැටීමක් සම්බන්ධ කතාවක්. නමුත්, කොයි ආකාරයකින් බැලුවත් සෑහෙන තීරණාත්මක ගණයේ වැටීමක්. මෙතනදී කලින් කියපු ආකාරයේ වැටීම් දෙකම සිද්ධවෙලා තියෙන ආකාරය අපිට හඳුනාගන්න පුළුවන්. මුලින්ම අපි දකින්නේ මනුස්සයෙක් තමන්ගෙම ගෙදර, ඉහළම තට්ටුවෙන් පහළට වැටිලා මියගිහින් තියෙන හැටි. ඒ තමා පළමු වැටීම. මේ භෞතික වැටීමේ යම් අපරාධමය ස්වභාවක් තියෙන්න පුළුවන් කියන සැකය අනුව, නීතියේ බලපෑමෙන්, මේ සිද්ධිය වැඩිදුර පරික්ෂා කෙරෙද්දී, ඒ වැටුණු පුද්ගලයාගේ පවුල ඇතුළේ තිබුණ යම් ගැටුම්කාරී තත්ත්වයන් ගැන අනාවරණය වෙන්න පටන් ගන්නවා. දෙවන වැටීමක් ගැන කරුණු එළියට එන්නේ එතනදී. Anatomy of a Fall කියන්නේ ඒ ඇදවැටීමේ ඉතිහාසය සොයා යන කතාව.

මේ ඉහළ ඉඳන් ඇදගෙන වැටෙන මනුස්සයා වැටෙන්නෙ ගෙදර ඉද්දීමයි. ගෙයකින් සංකේතවත් වෙනවා පවුලක්, පවුල කියන්නෙ කෙනෙකුගේ ජීවිතේ මානව සම්බන්ධතාවල කේන්ද්‍රය, ජීවිතේට වැඩිපුරම බලපෑමක් කළ හැකි කේන්ද්‍රය, මේ කේන්ද්‍රයේ දෙදරුම්, කම්පනයන් ඇති වෙද්දී ඒවාට සමගාමීව ඉරිතැලුම් ඇති වෙන්නේ ජීවිතේ ම තමයි. සමහර විට ලොකු දේවල් වෙන්න ඕන නෑ. දෛනික වශයෙන් සිද්ධ වෙන පොඩි පොඩි සිද්ධි, ඒවායෙ බලපෑම් ක්‍රම ක්‍රමයෙන් එකතු වෙලා, වැඩි වර්ධනය වෙලා, අවසානෙ පුපුරලා යන්නෙ නොහිතනම වෙලාවල, නොහිතනම තැන්වලින්. ගෘහස්ථ හිංසනය කියල කියන්නෙ ගොඩක් විට මෙහෙම දේවල්. මට මතක විදිහට ෆ්‍රොයිඩ් හරි කාල් යුංග් හරි කියලා තියනව අපිට ඇතිවෙන මේ පොඩි හිත් රිදවීම් හිතෙන් බැහැර වෙන්නේ නෑ කියලා. ඒව අපිට නොදැනී, අපේම මනසේ අවිඥානිකව, ඒ කියන්නේ එහෙම තියෙන බව අපි නොදන්නා ආකාරයෙන්, තැන්පත්වෙලා තිබිලා අපිම කරන කියන දේවල් එක්ක නොදැනීම එළියට එනවා කියලා. (මේ අවිඥානය, ඒ කියන්නේ මනසේ තියන අපේ දැනුමෙන් පරිබාහිර කලාපය, අපි කරන කියන දේවල් හැඩගස්වන්න ලොකු බලපෑමක් කරනවා. මිනිස්සු විදිහට අපි ජීවිතේ හැමදෙයක්ම කරන්නෙ හොඳට හිතලා අවධානයෙන් නොවෙයි, ස්වභාවිකවම අපි ඒ දේවල් කරන්න පුරුදු වෙලා තියෙන ආකාරයකටයි අපි දේවල් කරන්නේ, එතනදි අපි වැඩ කරන්නේ මනසේ අපේ අනුදැනුමෙන් තොරව පවතින අවිඥානික කලාපයේ බලපෑම මත බවයි කියවෙන්නේ. ෆ්‍රොයිඩ් සහ යුංග් තමා මේ ගැන මුලින්ම ලෝකෙට අනාවරණය කළ පුරෝගාමීන්)  විවාහය වගේ මූලික මිනිස් සබඳතාවක් වුණත්, සමාජෙ අතිශ්‍ය බහුතර දෙනාට තිත්ත කසායක් වෙලා තියෙන්නේ අපේ මේ ගති ස්වභාවයන් එක්ක කියලා මට හිතෙනවා. ඊර්ෂ්‍යාව, වෛරය, පළිගැනීම, මේවා පුහුදුන් මිනිස් මනසේ ස්වභාවයන්. විවාහය කියන්නෙ දෙන්නෙක් එකිනෙකාට සමීප වෙන උපරිම සීමාව. අපේ ඇත්ත ගතිගුණවලට අනෙකා නිරාවරණය වෙන්න පටන් ගන්නෙ මෙතනදි. මේවත් එක්ක ලොකු ඉවසීමකින් වැඩ කරන්න තරම් හොඳ සංයමයක් නැති නම් මැරීඩ් married කියන්නෙ මැරි මැරී ජීවත් වීමක් වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි. 

ප්‍රංශ සහ ඉංග්‍රීසි භාෂා දෙකම ඇතුළත් වෙන Anatomy of a Fall මේ අවුරුද්දේ කාන්ස් සිනමා උළලේ ඉහළම සම්මානය වුණු Palme d'Or දිනාගත්ත හින්දා ගොඩ දෙනෙකුට මේ චිත්‍රපටිය ගැන උනන්දුවක් ඇති වෙලා තියන බව දැක්කා. හැබැයි සාම්ප්‍රදායික අපරාධ පරීක්ෂණ කතාවක් ඔලුවේ තියාගෙන මේක බලන කෙනෙකුට නම් වෙන්නෙ බලාපොරොත්තු කඩකර ගන්න. මොකද ඇත්තටම මේක අපරාධ පරීක්ෂණ කතාවල තියෙන ත්‍රාසය, කුතුහලය පිරුණු අබිරහස්මය ගතියෙන් සම්පූර්ණයෙන්ම බැහැර වෙලා ජීවිතේ ගැන මනුස්ස හැගීම් ගැන සියුම්ව කතා කරන චිත්‍රපටයක් වීම නිසා. ලොකු කුතුහලයක් ඇති කරන්නේ නැති, බොහොම හෙමින් ගලා යන නාටකීය වර්ගයේ චිත්‍රපටයක්. courtroom දර්ශන වලදි නම් සෑහෙන උනන්දුවෙන් බලාගෙන ඉන්න පුලුවන් ගතියක් තිබුණා. courtroom drama වලට කැමති කෙනෙකුට නම් මේක හොඳටම හරියාවි. අවසානේ ලොකු Climax එකක් වෙලා අබිරහසක් විසදේවි කියලා මේකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. අන්තිමට සියල්ලෝ සතුටින් විසිර යන අවසානයක් මෙකේ තිබුණට ඒත් ඇත්තටම ඒක එහෙමද කියලා හිතන්න ඉඩක් තියලා තියන විවෘත අවසානයක්. ඒ හින්දා slow burn, art house වර්ගේ චිත්‍රපටි දරාගන්න පුලුවන් කෙනෙකුට බලන්න වඩාත් හොඳයි කියලා නිර්දේශ කරනවා. 

මේ අවුරුද්දට මම මෙතෙක් දැකපු හොදම Female lead performance එක දැක්කේ මේ චිත්‍රපටයේ  Sandra Hüller ගෙන්. මේකෙ එක තැනක තියනවා සැමියා සහ බිරිඳ අතර ඇති වෙන කතාබහක් ක්‍රමයෙන් දුර දිග ගිහින් අවසානෙ ඉතාම උද්වේගකාරී තැනකට එන හැටි ඇතුළත් වෙන දර්ශනයක්. දීර්ඝ දෙබස් තියන සෑහෙන දීර්ඝ දර්ශනයක් ඒක. මුළු සීන් එකම වන් ටේක් අරගත්තද කියන්න දන්නෙ නෑ. හැබැයි එහෙම කළා නම් ඔච්චර දෙබස් ගොඩක් මතක තියන් ඔය සීන් එක කළාටම සම්මානයක් දෙන්න වටිනවා. (Marriage Story ෆිල්ම් එකෙත් ඔහොම දර්ශනයක් තිබ්බා වගේ මතකයි. Anatomy of a Fall බලනකොට සෑහෙන මතක් වුණා Marriage Story  ෆිල්ම් එක සහ ඒ වගේම බර්ග්මාන් ගේ scenes from a marriage. දෙකෙන්ම උත්සාහ කරලා තිබුණේ විවාහ ජීවිතේ අඳුරු පැත්ත ගැන කතා කරන්න.) 

Anatomy of a Fall ගැන කතා කරද්දි කෙනෙක් ලියලා තිබුණා "One has to grow into this movie" කියලා. ඇත්තට මේ චිත්‍රපටියෙන් කරන්නේ එක්තරා ආකාරයකට ජීවිත අත්දැකීමක් සමග මුහුණට මුණගැහෙන්න නරඹන්නාට ඉඩක් හදලා දීම. ස්ක්‍රීන් එකේ දකින්න ලැබෙන කතාව එක්ක තමන්ගේ ජීවිත අත්දැකීම් අනුව ඒකාත්මික වීම. හැම අභිරහසක්ම විසදෙන පරිපූර්ණ රහස් පරීක්ෂක කතාවක් අපිට මේකෙන් දකින්න නොලැබෙන්නේ ඒ නිසා. මොකද ඒ තමා ඇත්ත ජීවිතේ. ඇත්ත ජීවිතේදි ගොඩක් දේවල්වලට සදාකාලික විසඳුම් නැහැ. එකම දෙයක් මම දකින්නෙ එක විදිහකට, තව කෙනෙක් ඒක දිහා බලන්නේ වෙනස්ම ආකාරයකට, ඔතනදි තමා ගැටුම ඇති වෙන්නෙ. ෆිල්ම් එකේ courtroom සීන් වලදී මේ දෙන්නෙකුගේ දෘෂ්ටිකෝණ අතර වෙනස් කම සහ ඒවා එකිනෙක ගැටෙන හැටි, මිනිස්සු දේවල් තමන්ට අනුව සාධාරණීකරණය කරගන්න හැටි හරි අපූරුවට පෙන්නල දීලා තිබුණා. ඒ ගැටුම හැමදාටම එහෙම තියනවා. විවාහය, පවුල, අඹු දරුවෝ ගැන චිත්‍රපටි හදන, කතා ලියන අය කොයිතරම් කතන්දර ලිව්වත්, චිත්‍රපටි හැදුවත් ඉදිරියටත් තව ලියන්න කියන්න දේවල් ඉතිරි වෙලා තියෙනවා කියලා මම හිතනවා.



2 comments: