ඉස්සර රූපවාහිනියෙ ගියා "පළිඟු මැණිකේ" කියල නාට්ටියක්. ඕකෙ හිටපු සූරසේන කියන චරිතෙ නිතරම කියන්න පුරුදු වෙලා හිටිය "පට් පට් ගාලා සම්තිං එකක්" කියන වචන ටික ඒ කාලෙ සෑහෙන ජනප්‍රිය වෙලා තියනව. 70 දශකෙ අන්තිමේ විවෘත ආර්ථිකය එක්ක ආව ධනවාදී ක්‍රමය ඇතුළෙදි ඒ වෙනකල් පැවතුණු පැරණි වැඩවසම් සමාජ වටිනාකම් ක්‍රමයෙන් අහෝසි වෙලා "ධනය" කියන දෙය කෙනෙකුගේ තත්ත්වය සහ සමාජ පැවැත්ම තීරණය කරන මූලික සාධකය වෙද්දී, ගමෙන් නගරයට ගිහින් ඉක්මණ් ක්‍රමවලින් මුදල් හම්බ කරගන්න පෙළඹුණු නාගරිකරණය වුණ තරුණයාවයි සූරසේන ගෙන් නියෝජනය වුණේ. අද වෙද්දි තමන් තනියම "ගේමක් ගහල ගොඩයන්න" හදන ව්‍යවසායක තරුණයා කියන්නෙ සූරසේනටම කියන තවත් නමක් තමයි. ධනවාදී ක්‍රමය අද වෙනකොට ගෝලීය සංසිද්ධියක් නිසා කාටවත් ඒකෙ බලපෑමෙන් ගැලවෙන්න බැහැ. පරම්පරාවෙන් උරුම වෙච්ච ලොකු සල්ලියක්, දේපළක් නැත්නම් ලෝකෙ කාටත් ජීවිතේ ගැටගහගෙන යන්න මුදල් හොයාගන්න "මොකක් හරි ගේමක්" ගහන්න සිද්ධ වෙලා තියනව. හැබැයි ඔයා ඇහැටකණට පේන තරුණ ගෑනු ලමයෙක් නම් ඔයාට තියනව කාටත් නැති විශේෂ අවස්ථාවක්. ඒ තමා ඔයාගෙ ශරීරෙට, තරුණකමට තියන ඉල්ලුම. ඒ ඉල්ලුමට සැපයුම දෙනව කියන්නෙ ලේසියෙන්ම ගොඩයන්න පුලුවන් මාර්ගයක්. Sean Baker ගෙ 2024 අවුරුද්දේ ආව Anora චිත්‍රපටියෙදි අපිට මුණ ගැහෙන, ඇමරිකාවේ බෲක්ලින්වල ජීවත් වෙන Anora නැත්නම් Ani කියන ගෑනු ලමයා Sex worker කෙනෙක් බවට පත්වෙන්නෙ එහෙම.
Friday, December 20, 2024
Anora (2024)
Tuesday, December 17, 2024
A Different Man (2024)
"A man's face is his autobiography. A woman's face is her work of fiction."
Monday, December 2, 2024
The Count of Monte Cristo (2024)
Thursday, November 28, 2024
We Live in Time (2024)
අපි ජීවත් වෙන්නෙ කාලය ඇතුළේ. නැත්නම් වෙනත් විදිහකින් කිව්වොත්, අපි ජීවත් වෙන්නෙ කොච්චරක්ද කියලා අපි නොදන්න නමුත් යම් සීමා සහිත කාලයක් ඇතුළේ. ජීවිතේ තියෙන මේ සීමා සහිත බව අපේ පැවැත්මට අගයක් එකතු කරනවා කියල මං හිතනව. පොඩ්ඩක් හිතන්න අපි අමරණීය මිනිස්සු වුණොත් මොකක් වේවිද? අපි ගෙවන මේ ජීවිතේට වටිනාකමක් තියේවිද? මේ වහා වියැකෙනසුළු, කෙටි කාලීන බව නිසා නේද ජීවිතේ මේ තරම් අරපරිස්සම් කරගන්න, ගොඩනගා ගන්න, වැඩිදියුණු කරගන්න අපි උත්සාහ දරන්නේ? සමහරු සාමාන්‍ය වශයෙන් මනුස්ස ජීවිතේකට උරුම උපරිම කාලය ගත කරලා නික්මී යනවා. තවත් සමහරු ඒ තරම් වාසනාවන්ත (හෝ අවාසනාවන්ත?) නැහැ. ඒ අය ජීවිතෙන් බාගයක්ම ගතවෙලා යද්දීම දැන ගන්නවා තමන්ට තවත් ඉතිරි වෙලා තියෙන්නෙ බොහොම ස්වල්ප කාලයයි කියලා. නමුත් කොහොම වුණත්, ජීවිතේ කියන්නෙ අවසාන මොහොත දක්වාම ජීවත්වෙන්න වටින සහ අන්තිම හුස්ම පොද දක්වාම සටන් කිරීමේ ප්‍රහර්ෂය අත්විඳගත යුතුම දෙයක් බව නම් ඇත්තක්.
Sunday, November 17, 2024
The Outrun (2024)
කාලෙකට පස්සෙ මතක හිටින චරිතෙකින් සීෂා (Saoirse Ronan) ව දැකගන්න ලැබීම සතුටක්. සීෂා කියන්නෙ පොඩි වයසකදිම Atonement සහ The Lovely Bones වගේ චිත්‍රපටවලින් සෑහෙන ජනප්‍රියත්වයක් ලබා ගත්තු වගේම ලොකු පරාසයක රංගන කුසලතාවක් ඇති බව ඔප්පු කර පෙන්නූ කෙනෙක්. පසුකාලීනව එයාව වැඩි පුර දැක ගන්න ලැබුණේ Lady Bird, Little Women වගේ Feminine Energy එක වැඩිපුර මතුකර පෙන්නුව චිත්‍රපටිවලින්. ඒ වගේම මේ අවුරුද්දේ සීෂාගේ Comeback එක වෙන්නෙත් ඒ වැනිම කතාපුවතක් මුල් කරගත්තු වැඩකින්. එක අතකින් මේක එයා වෙනුවෙන්ම ලියපු තිර රචනාවක් ද කියලා හිතෙනවා, අනෙක් අතින් එයා රඟපෑම දිහා බලා ඉන්න විතරක් ම බලන්න හැකි චිත්‍රපටියක් විදිහටත් නම් කරන්න ඕන නම් පුළුවන් කම තියනවා.
Saturday, November 2, 2024
Good One (2024)
Thursday, September 19, 2024
දේශපාලනයේ වම සහ දකුණ
18 වන සියවසේ ප්‍රංශ විප්ලවය අතරතුර එකල ප්‍රංශ ජාතික සභාවේ මන්ත්‍රීවරු ප්‍රධාන කොටස් දෙකකට බෙදී සිටියහ. ජාතික සභාවේ එක් පසෙක වාඩි වී සිටි බහුතරයක් පිරිස රට තුළ විප්ලවීය වෙනසක් සහ පීඩාවට පත්ව තිබූ ජන සමාජය තුළ සමානාත්මතාවයද, පොදු ජනතාවගේ අයිතිවාසිකම් සුරැකීමද වෙනුවෙන් පෙනී සිටිය අතර ඔවුන් රදළ පැලැන්තිය වෙනුවෙන් ලබා දී තිබූ අසීමිත වරප්‍රසාදවලටද එරෙහි වූහ. මීට වෙනස්ව අනෙක් පාර්ශවයේ සිටි මන්ත්‍රීවරු මීට විරුද්ධව රට ශක්තිමත් කිරීමට නම් රාජාණ්ඩුව සහ සාම්ප්‍රදායික බල ව්‍යුහය ශක්තිමත් කළ යුතු බව ප්‍රකාශ කළ හ. විප්ලවවාදී අදහස් දැරූවන් ජාතික සභාවේ වම් පසින් වාඩිගෙන සිටි නිසා ඔවුන් "වාමාංශිකයන්" ලෙස හදුන්වනු ලැබීය. ඊට එරෙහි රාජාණ්ඩුවාදී සම්ප්‍රදායික අදහස් දැරුවන් මේ නිසා "දක්ෂිනාංශිකයින්" ලෙස හැදින්විණ. පසුකාලීනව මෙම යෙදුම් වඩාත් විභේදනයන් සහිතව දේශපාලන ආස්ථානයන් පැහැදිලි කිරීම වෙනුවෙන් ලොව පුරා භාවිතයට ගැනුණි.
Wednesday, September 18, 2024
Dances with Wolves (1990)
කෙවින් කෝස්ට්නර් ප්‍රධාන චරිතය රඟපාන ගමන් අධ්‍යක්ෂණය කළ පැය හතරකට ආසන්න ධාවන කාලයක් සහිත Dances with Wolves (1990) චිත්‍රපටිය බලලා ඉවර කළේ බර වුණු හදකින් සහ බොඳ වී ගිය දෑස් යුගලකින්. චිතුපටියට ඇතුළත් වෙන්නේ 1800 යුගයේ ඇමරිකානු ප්‍රෙයරි තෘණ භූමියක හුදෙකලා වෙන හමුදා නිලධාරියෙක් ස්වදේශික "රතු ඉන්දියානුවන්" වාසය කරනා ගම්මානයකට පැමිණිලා අවසානේ ඔවුන්ගේම කෙනෙක් විදිහට ජීවත් වෙන්න පටන් ගන්නා ආකාරය ගැන කතා පුවතක්. චිත්‍රපටිය නිපදවෙන්නේ මෙනමින්ම ලියැවුණු නවකතාවක් අනුසාරයෙන්. Dances with Wolves, 1991 ඔස්කාර් සම්මාන උළලේ සම්මාන 7ක් ම දිනා ගන්නවා. විශේෂයෙන්ම 90 දශකයේ චිත්‍රපටිවලින් විතරක්ම අපිට දැනෙන නොස්ටැලිජියාත්මක සෞන්දර්යය මේකෙ අඩු නැතුව පිරිලා ඉතිරිලා තියෙනව. විශේෂයෙන් මේකෙ සංගීතය, භාවනාවකට සමවැදුණා වගේ අහන් ඉන්න පුළුවන් ඉතා මනරම් සංගීතයක්. කැමරාකරණයත් එහෙමමයි.
Saturday, September 14, 2024
How To Make Millions Before Grandma Dies (2024)
ලෙඩ දුක්, මහළු වයස, මරණය... මේ දේවල් තරම් ඇඟේ හැප්පිගෙන යන ගාණට අපිට සමීප ජීවිත යථාර්ථයන් තවත් නැතුව ඇති. ඒත් හැමදාම ලෙඩ දුක් හැදිලා මහළු වෙලා මිය යන අය ගැන අහුවත් දැක්කත් අපි පුරුදු වෙලා ඉන්නව එක මොහොතක දි ඒව ගැන කණගාටු වෙන අතරේ ආයෙමත් කිසි දෙයක් නොවුණු ගාණට හිත හදාගෙන ඉක්මණ්ටම එදිනෙදා ජීවිතේට ආයෙ හැරෙන්න. මං හිතන්නෙ අපේ මනසම එක්තරා රටාවකට අනුව හැඩගැහිලා තියනව මම සහ මගේ සුබ සිද්ධිය මූලිකත්වයෙ තියලා ඉන් එහා අනවශ්‍ය දාර්ශනික ප්‍රශ්න වලට අවධානෙ යොමු කරලා මනස වෙහෙසවා නොගන්න ආකාරයෙන් වැඩ කරන්න. ඔය මොනදේ සිද්ද වුණත් අපේ ලාබ පාඩු ගණන් හදන්න, වෙන්න තියන යුතුකම් හොයන්න බලන්න, මට වැඩියෙ වාසියක් වෙන්නෙ කාගෙන්ද කොහොමද කියල කල්පනා කරල බලන්න, ඔන්න ඔය දේවල් ඇතුළෙ තමා අන්‍තිමට අපි ඇවිත් නතර වෙන්නෙ. නමුත් අපේ ලෝකය ඇතුළෙන්ම හෙල්ලිලා යන එක මොහොතක් එනවා. අපි දැඩිව ආදරේ කරන අපේම කෙනෙක් අපේම හිතවතෙක් සුව කරන්න බැරි දරුණු රෝගයක් වැළඳිලා නැත්නම් මියගිහින් කියලා දැනගත්තම ඒ දේ අපිට සිද්ද වෙනවා. එක අතකින් ඒ පුද්ගලයාගෙ වියෝවෙන් ජීවිතේ ඇතිවෙන හෝ වෙන්න නියමිත හිස්කම ගැන සහ ඔහු හෝ ඇයට විඳින්න සිදුවෙන දුක්වේදනා ගැන සංතාපයත් අනික් අතින් ඒ වියෝගය නිසා ඉදිරියට මට මුහුණ දෙන්න සිදුවෙන වාසි සහගත සහ අවාසිසහගත තත්ත්වයන් මොනවද කියන ආත්ම මූලික සිතුවිල්ලත් අතරේ අරගලයක සිත පැටලෙනවා. විශේෂයෙන්ම පවුලක් ඇතුළෙ, දරුවන් දෙමාපියන් ක්‍රමයෙන් වයස්ගත වෙනකොට මෙවැනි දේවල් බහුලව සිද්දවෙන බව දැකගන්න පුලුවන්. 2024 අවුරුද්දෙ තායිලන්තයේ නිමැවුණු How To Make Millions Before Grandma Dies කියන්නෙ අන්න එවැනි කතා තේමාවක් ඇතුළත් චිත්‍රපටයක්.
Thursday, September 5, 2024
Kinds of Kindness (2024)
2007 - 2008 අවුරුදුවල යුරෝපයේ ග්‍රීක රාජ්‍යය "ග්‍රීක ණය අර්බුදය" නමින් ප්‍රකටව හැඳින්වෙන බොහොම බරපතළ මූල්‍ය බිඳ වැටීමට මුහුණදුන්නා. මේ නිසා එරටේ ආර්ථිකය විශාල අවපාතයක් දක්වා ගමන් කරන්න පටන් ගෙන අවසානයේදි වර්ෂ 2010 දී ග්‍රීසිය නිල වශයෙන් බංකොලොත් රාජ්‍යයක් බවට නිවේදනය කිරීම දක්වාම ගියා. මේ ආර්ථික කඩා වැටීමත් එක්ක ග්‍රීසියේ ජන ජීවිතය ක්‍රමක්‍රමයෙන් ඇද වැටුණේ විශාල අර්බුදයකට. රට තුළ ආදායම් අවම වීම, සේවා නියුක්තිය වැනි තත්ත්වයන් හටගෙන මත්ද්‍රව්‍ය භාවිතය, සියදිවි නසා ගැනීම් ඉහළ යෑම වැනි සමාජ ව්‍යසනයන්ට එරට ගොදුරු වුණා. උසස් වෘත්තිකයින් රට හැර ගියා. ජන ජීවිතය මුළුමණින්ම අපේක්ෂා භංගත්වයේ අඳුරු සෙවණැල්ලෙන් වැසී යමින් පැවතියා. ඔය අතරේ ජීවිත පැවැත්මේ තිබූ මේ අවුල වෙනත් ආකාරයට ග්‍රහණය කරගන්න උත්සාහ දැරූ පිරිසක් එහි සිටියා. ඔවුන් තමා ග්‍රීක සිනමා කරුවන්. තම රටෙහි ජන ජීවිතයේ ඇතිව තිබූ පීඩාකාරී බව සහ ජීවිත පැවැත්මෙහි අර්බුදකාරීබව තේමා කරගනිමින් සමස්ත ජීවන යථාර්ථයන් ප්‍රශ්නකෙරෙන චිත්‍රපට නිර්මාණය වීමේ ප්‍රවණතාවක් එහි හටගැනුණා. මෙය Greek New Wave නමින් හඳුන්වනවා(ග්‍රීක නව රැල්ලේ සිනමාව, මෙය Greek Wierd Wave විදිහටත් හැඳින්වෙනවා). සාම්ප්‍රදායික කලා අකෘතිවලින් බැහැරවීම, යථාර්ථයේ තාර්කික සීමාවන් ඉක්මවා යන පසුබිමක් උපයෝගී කරගැනීම සහ සමාජ සම්මුතීන් ගෙන් වියුක්ත වුණ අඳුරු, ගුප්ත ස්වභාවයක් ඇති චරිත භාවිත මෙකී සිනමාපටවල මූලික ලක්ෂණ විදිහට හඳුනාගත හැකියි. ග්‍රීක නව රැල්ල සමග කරළියට පැමිණි සිනමාකරුවන් අතරේ වඩාත් කතාබහට ලක්වන චරිතය බවට පත්වෙන්නේ Yorgos Lanthimos. ලැන්තිමෝස් ගේ සිනමාපට ජීවිතයේ අර්ථය සහ ලෝකය තුළ ඇති විපරීත බව පිළිබිඹු කරන විපරීතවාදී Absurdism දෘෂ්ටියට අනුගතවන සිනමාවක් බව හඳුනාගැනෙනවා. දාර්ශනික එළඹුමක් විදිහට Absurdism කියන්නෙ මොකක්ද කියලා මෙතනදී කෙටියෙන් පැහැදිලි කරගත්තොත් වටිනවා.
Tuesday, September 3, 2024
අම්මා මට කියාදුන් ගී
ඇමරිකා එක්සත් ජනපදයේ නෙබ්‍රස්කා ප්‍රාන්තයේ ඕමාහා නගරයේ ගොවිපළක් සහිත කුඩා නිවසක, ඉතා සාමාන්‍ය මාපිය යුවළකට දාව, සහෝදරියන් දෙදෙනෙකුට පසුව උපන් එක් කොලුගැටයෙකු සිටියා. කුඩාකාලෙ පටන් තිබුණු හිතුවක්කාරී ගති ගුණ නිසා මේ කුඩා කොලුවා දැඩි විනයක් සහිත හමුදා පාසලකට ඇතුළත් කරන්න ඔහුගේ මාපියන් තීරණය කරනවා. නමුත් එතැන කොහෙත්ම ඔහුට ගැළපෙන තැනක් වුණේ නෑ. ඒ නිසා එතනිනුත් ඔහුව පිටමං කෙරෙනවා. ජීවිතේ යෞවනත්වයට පත්වීම එක්ක ඔහු නිව්යෝක් රංගන පාසලට ඇතුළත් වෙන්නෙ ලොකු බලාපොරොත්තුවක් නැති ව. නමුත් ඔහු අවසානෙ නතරවෙන්නෙ ලොව මෙතෙක් බිහිවුණු අග්‍රගන්‍යම නළුවෙකු බවට පත්වෙමින්. ඔහු තමා මාලන් බ්‍රැන්ඩෝ. Songs my mother taught me කියන්නෙ බ්‍රැන්ඩෝ ගේ ජීවිත පුවත ඇතුළත් ඔහුගෙ චරිතාපදානය. එය සිංහලට පරිවර්තනය වෙන්නෙ "අම්මා මට කියාදුන් ගී" නමින්. පරිවර්තනය සිදුකරන්නෙ ලංකාවේ සිටින විශිෂ්ටතම කැමරා ශිල්පියෙකු විදිහට සැලකෙන එම්. ඩී. මහින්දපාල මහත්මයා විසින්. පොත කියවා බලද්දී වැටහෙන දෙය තමා මාලන් බ්‍රැන්ඩෝ කියන්නෙ හුදෙක්ම නළුවෙකුට එහා යන වටිනාකමක් ඇති සුවිශේෂ මිනිසෙක් බව.