Thursday, December 12, 2019

තරු එළි බිඳ


හීනෙකින් හෝ හැබැහැට
නොලැබුවත් කිසි දවසක
ලං ලං ව පියාසරනා
බිඟු තුඩක
පහස

කාන්තාරෙක මැද වුණත්
අවදිවී හිනාවෙයි
මඳ සුළං දහරට
පතොක් මල්
දහස..

සීතලම සීතල
වැහි කඳුළු බින්දුවක
සඟවා එවූවත් පොළවට
වැහි වළාවක
රහස..

සඳ නොමැති රෑ මැද
තරු එළිය එක බිඳක්
නොදී ඉන්නට තරම් 
නපුරු නෑ
කිසි දාක 
අහස..





Tuesday, December 10, 2019

Amour (2012)


ආදරය, ප්‍රේමය ගැන ඕන තරම් නිර්වචන අපි අපේ ජීවිත කාලය ඇතුලෙ අහල ඇති. ආදරය ගැන කවි, සින්දු, චිත්‍රපට, නවකතා ඕන තරම් අපි දැකලා ඇති. තව ඉදිරියට තවත් අර්ථදැක්වීම් අපිට අහන්න දකින්න කියවන්න ලැබේවි. ආදරය කියන්නෙ වචනෙන් විස්තර කරල කියන්න බැරි දෙයක් බව තව කෙනෙක් කියාවි. මම කියන්නෙ ඒ හැම දෙයක්ම අර්ධ වශයෙන් ඇත්ත කියල. ඇයි එහෙම වෙන්නෙ? මම විශ්වාස කරනව ආදරය ගැන අපේ වටහා ගැනීම වයස, ජීවිත අත්දැකීම, ලෝක දැක්ම මේ හැම දෙයක්ම එක්ක වෙනස් වෙනව කියල. උදාහරණයක් විදිහට නවයෞවන වයසෙ ප්‍රේමය ගැන අපිට තිබ්බ ආකල්පය නෙමේ බොහෝ විට දැන් අපිට තියෙන්නෙ. අපේ ජීවිත අත්දැකීම එක්ක ඒ දේවල් වෙනස් වෙලා. යම් පොදු දේවල් ටිකක් නැහැයි කියන්න නෑ. ඒත් මම හිතනව මේ මොහෙතෙ අපි අත්විඳින ජීවිතය ඇතුලෙ ප්‍රේමය ගැන අපිට තියන කියවීම සුවිශේෂී, අපිටම අනන්‍ය එකක් කියල. ඒ හින්ද අර සුප්‍රසිද්ධ කියමන් ඇතුලෙ තියන දේවල් වලින් කොටසක් අපිට අදාළයි. අනිත් කොටස අපිටම අනන්‍යයි..

Amour වචනෙ තේරුම ප්‍රංශ බසින් "ආදරය" මයි. Amour චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නෙ එක්තරා ආකාරයක ආදරයක් තමයි. ඒත් මෙතනදි ආදරයේ අපිට වැඩිපුර දකින්න නොලැබෙන කලාපයක් ස්පර්ශ කරනව. විවාහ වෙලා දරුවන් ලබල, ජීවිතේ තරඟේ දුවල අවසානෙ වයස අසූ ගණන් වල ජීවිතේ පෑල දොර ගාව ඉන්න යුවළක් ගැන කතාවක් මේ චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ. ඇය පියානෝ ගුරුවරියක්. ඔහුත් ඇයත් ජීවත් වෙන්නෙ නිවාස සංකීර්ණයක වෙනම කුටියක. මහලු වයසේ කාටත් පොදු අපහසුතාවන් ගෙන් පෙළුනත් හදිස්සියෙම ඇගේ රෝගී තත්ත්වය ඉහළ යනව. වතාවක් රෝහල් ගත වෙන ඇය, තමන්ව ආයෙ කිසිදාක රෝහලකට ගෙනියන්න එපා කියල ඔහු ගෙන් ඉල්ලනව. ඇගේ ඉල්ලීමට ගරු කරන ඔහු ඇගේ හැම කටයුත්තක්ම තමන් තනිවම කරනව. වතාවක් ඇය ජීවිතේ නැති කරගන්න පවා උත්සහ කරනව. ඒ ඔහුත් නිදහස් කර තමනුත් නිදහස් වෙන්නයි. නමුත් ඒ උත්සහය සාර්ථක වෙන්නෙ නෑ..

Amour චිත්‍රපටය ආරම්භ වෙන්නෙ කතාවෙ අවසානයෙන්. ඒ කියන්නෙ අවසානෙ මොකක්ද වෙන්නෙ කියල ප්‍රේක්ෂකයා මුලදීම දැනගන්නව. ඒ නිසා කතාව ආරම්භ වෙන්නෙම කුතුහලය බිඳිමින්. චිත්‍රපටය විසින් තමාවම spoil කරගනිමින්. ඉන්පසුව අපි දකින්නෙ මේ මහලු යුවල ගෙ කතාව. එතන තියෙන්නෙ කුතුහලයකට වඩා ජීවිතේ කෙළවර සියලු දේ අවසන් වෙමින් යන තැන ඔවුන් බෙදාහදා ගන්නා ආදරය ගැන සමීපව බලා හිඳීමක්. ඇය සෙමෙන් සෙමෙන් නමුත් ඔහුට වඩා ඉක්මණින් අඳුර වෙත පාතබමින් ඉන්නෙ. ඔවුන් අතරෙ විසංවාදයක් නැතුවා නෙමෙයි. මතභේද ගැටුම් නැතුවා නොවෙයි. වසර හතළිහක් හෝ පණහක් විවාහ ජීවිතේ මෙතෙක් පැමිණියා වගේ ඇයට අවශ්‍ය අන්තිම පියවර කිහිපය ඒ ආදරය අත්විඳින්න. කොයිතරම් දුරක් පැමිණියත්, කොයිතරම් ආදරේ කළත් මේ අවසාන ගමන කෙනෙකුට යන්න වෙන්නෙ නම් තනියම. අවසන් මොහොත වේදනාවක් නම් ඉන්පස්සෙ ඒ වේදනාව උරුම ජීවත්වෙන කෙනෙකුටම යි. ඉතින් කෙනෙකුගේ මේ මහා දුක අවසන් කරන්න තමන් ඒ දුක බාර ගන්නව නම් ඒක ආදරය ද? තව විදිහකින් කිව්වොත් කෙනෙකුට ජීවිතය උහුලගන්න බැරි දුකක් වෙන තැන ඒ දුකින් ඔහු හෝ ඇය නිදහස් කරවීම "ආදරය" වෙන්න බැරි ද?

"ආදරය" අපේ නිර්වචන එහෙමම තියෙද්දි, අපේ අත්දැකීමෙන් තරමක් එහා ආදරයක් විඳගන්න Amour චිත්‍රපටය බලන්න...









Monday, December 9, 2019

සියොත් මිතුරේ..

මන්දාරමේ මීදුමේ
වැහි කළුවරෙන් බර ආකහේ
මග වරද්දාගෙන ඔහේ
පියා සරනා සියොත් මිතුරේ..

ළයේ සුසුමන් මුසුව
පද අරුත් අතරේ
ඔබෙ මුවින් නැගෙනා ගීය 
මට කියවාගත හැකියි...

සිතිජය ඉමෙන් මෙපිට
නැත මග කියන තරුවකුත් ඔබට
නොමැත අන් කිසිවක්
සිනිදු පෙඳ අවුස්සා
සීතලෙන් ගත පෙළන
බොල් සුළඟක් මිසක..

නොදන්නා නමුදු ඔබ
හිඳිමි මම මෙතැන
පැටලී වෙලී 
ඔබේ දසුනත් සමඟ..

උරුමව ඇතත් ඔබ හට අහස් කුස
මට පොලෝ ගැබ
වැටහෙන අරුම කිම මට ඔබේ හද බස..
මීදුමාරේ අඳුරේ දිනෙක
ඔබ සැඟව යනු පෙර
පියා සලපන් ඔබෙ ගීය ගයපන්
නොගොස් ඇස් මානයෙන් බෝ දුර..



Friday, December 6, 2019

පවුරු වළලු (1997)


වික්ටෝරියා රැජින බ්‍රිතාන්‍යය පාලනය කළ කාලය, වර්ෂ 1837 ඉදන් 1901, වික්ටෝරියානු යුගය විදිහට හැඳින්වෙනවා. මේ යුගය බ්‍රිතාන්‍ය සමාජය කැපී පෙනෙන වෙනස් කම් වලට ලක් වුණ කාල සීමාවක්. විශේෂයෙන් කිතුණු දහම විසින් හික්මවන ලද සදාචාරය, සභ්‍යත්වය, විනය ගැන අදහස් සමාජය පුරා පැතිර ගියා. ඇඳුම පැලඳුම, කතා බහ, හැසිරීම ඇතුලු ජීවිත පැවැත්ම පිළිගත් සදාචාරමය රාමුවක් ඇතුලෙ තිබිය යුතුයි කියන කාරණය සමාජයේ මුල් බැස ගත්තා. පිරිමින් පුළුවන් තරම් ධනය ඉපයීම, වැදගත් මහත්මයෙකු විදිහට හැසීරීමත් ගැහැණු උයන පිහන ගේ දොර වැඩ කිරීම.. යහපත් චරිතය රැකීම..ආගම දහමට යොමු වීම .. විනයානුකූලව හැසිරීමත් කල යුතු වුණා..ඇඳුමක් අඳිනව නම් එය ශරීරය පුලුවන් තරම් ආවරණය කරන සංවර එකක් විය යුතු යි. ආදරය, ප්‍රේමය, ලිංගිකත්වය මේව ගැන ප්‍රසිද්ධියේ කතා කිරීම අපරාධයක්, මහ නැහැදිච්ච කමක් විදිහටයි සැලකුණේ.. ඉතින් මේ වික්ටෝරියානු සදාචාරයෙන් ඒ වෙනකොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට යටත්ව තිබූ රටවල් ආසාදනයට ලක්වීම නොවැලැක්විය හැකි වුණා. අපේ රටටත් මේ අදහස් බොහොම තදින් බලපෑව. අද පවා යටත් විජිත සමයේ ඇතිවුණු මේ වික්ටෝරියානු සුචරිතවාදයේ බලපෑම අපේ සමාජයේ දකින්න පුලුවන්..

පවුරු වළලු සිනමාපටයට අවධානය යොමු කරන්න ඕන මෙන්න මේ කාරණය සැලකිල්ලට ගනිමින්. 60 දශකයේ ගාලු කොටු පවුර තුළ ජීවත් වෙන මධ්‍යම පාන්තික, කතෝලික ආගමික පවුලක් වටා චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. වයලට්, දියණියන් දෙදෙනෙකුගෙ මවක් වෙන මැදි වයසේ කාන්තාවක්. වයලට් ගේ විවාහක ස්වාමි පුරුෂයා ඇගෙන් නීත්‍යානුකූලව වෙන් නොවුණත් ඔහු ජීවත් වෙන්නෙ වෙනමයි. වයලට් ගේ වැඩිමහල් දියණිය විවාහ වෙලා දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නව. අනෙක් දියණියට දැනටම පෙම්වතෙක් ඉන්නව. ගෙදරදීම ඇදුම් මැසීමෙන් ලැබෙන මුදලින් වයලට් සහ බාල දියණිය ජීවත් වෙන්නෙ. මේ අතරෙ යෞවනයෙදි ඇගෙන් වෙන්වුණු පෙම්වතෙක් වුණ වික්ටර් අවුරුදු 25 කට පස්සෙ ඇයට නැවත මුණගැසෙනව. ඔවුන් දෙදෙනාගේ හමුවීමත් ඒ හමුවීම ඔවුන්ගේ ජීවිත වලට කරන බලපෑමත් මුල්කරගෙන ඉන්පසු කතාව ගලා යන්නෙ..

වයලට් නැත්නම් වයලා දරුවන් ඉන්න විවාහක මැදි වයසේ කාන්තාවක්. ඇයට පිටස්තර පිරිමියෙක් සමග කතා බහ කිරීම ඇසුරු කිරීම අකැප දෙයක් වෙලා. ඊට හෙතුව අර වික්ටෝරියන් සුචරිතවාදී සමාජ බලපෑම නිසා. ඇය ඒ තත්ත්වයට පත් වෙන්න එක හේතුවක් විවාහය ඇතුලෙ ඇයට ආදරය අහිමිවීම. ඇයට ස්වාමිපුරුෂයෙක් හිටියෙත් ඒ නමට පමණයි. ඔහුගේ ජීවිතය ඇතුලෙ ඇයට තැනක් හිමි වෙන්නෙ නෑ. ඉතින් ඒ හිස්කමත් යෞවනයේ අහිමි වුණ ඒ ආදරය ගැන ඇති නොස්ටැල්ජියාත්මක බැඳීමත් ඈ වික්ටර් වෙත ලංවෙන්න බලපා ඇති බවට සැකයක් නෑ. නමුත් මෙතනදි අනිවාර්යයෙන්ම සිදුවිය හැකි විදිහට අර සුචරිතවාදී පිටස්තර සමාජය ඇයව වටහා ගන්නෙ නෑ. ඇයව පව්කාර ගැහැණියක් විදිහට නම් කරන සමාජයෙන් ඇයට නැවත ලැබෙන්නෙ ගල් පහර පමණයි. ගැහැණියකට යෞවන වයසේ, විවාහ ජීවිතයේ, දරුවන් බිහිකිරීමේ, ඔවුන් හදාවඩා ගැනීමේ .. ජීවීතේ මේ නොයෙක් අවධීන් තුල විඳීමට සිදුවන අනන්ත අප්‍රමාණ දුක් ගැහැට චිත්‍රපටය පුරා සියුම්ව මුහුවී ඇති ආකාරය නිරීක්ෂණය කරන්න පුලුවන්.

නොයෙක් අපවාද, අපහාස, නින්දාවන් හමුවේ ඇයට විඳින්න සිදුවන පීඩනය වයලට් ගේ චරිතය රඟදක්වන නීටා ප්‍රනාන්දු රංගවේදිනිය ඉතාම මැනවින් නිරූපණය කරන්න සමත් වෙනව. ඇගේ මේ රංගනයට 1998 සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළලේදි ඒ අවුරුද්දේ හොඳම ආසියානු නිළියට හිමි සම්මානය හිමි වීම පුදුමයක් නෙමෙයි. පවුරු වළලු චිත්‍රපටයෙ වයලා, සිංහල චිත්‍රපටයක මං දුටු ප්‍රබලම කාන්තා චරිත නිරූපණයන් අතරට එක්වෙනවා. (නීටා ප්‍රනාන්දු මහත්මිය රගපෑමෙන් එක්වන "පාංශු" සිනමාපටයෙ ඇගේ රගපෑම් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදිම ඇගයීමට ලක්ව ඇති බව අහන්න ලැබෙනව. පාංශු තවම අපේ රටේ තිරගත කර නැහැ. එය ඉක්මණින්ම ප්‍රේක්ෂකයා හමුවට පැමිණිය යුතු සිනමාපටක්) ඇය ඇත්තටම අපේ රටට සම්පතක් බව කියන්නෙ ඉමහත් ගෞරවයෙන්. බාල දියණිය විදිහට සංගීතා වීරරත්නත්, වික්ටර් විදිහට ටෝනි රණසිංහත් ඉතාම හොද රංගනයක යෙදෙනව. 

පවුරු වළලු තිර රචනය ටෝනි රණසිංහ මහත්මයාගේ. "පවුරු වළලු" මේ දූපතේ යමක් කළ හැකි සිනමා කරුවන් අතරෙ ඉහළින්ම ඉන්න ප්‍රසන්න විතාගේ මහත්මයගෙ සිනමා වර්ණාවලියේ දීප්තිමත්ම වර්ණයක් බව සදහන් කළ හැකියි. (ඔහුගේ නවතම සිනමාපටය "ගාඩි" ඉදිරියේදි අපිට දැකගන්නට ලැබේවි) ඉතාම හොඳ මට්ටමක සිනමා භාවිතාවක් මේ චිත්‍රපටය පුරා දැකගන්න පුළුවන්. ගාලු කොටු පවුර ආශ්‍රිත පරිසරය..වේගයෙන් ඇවිත් පවුරේ හැපෙන මුහුදු රළ.. ඉර බැහැගෙන යන අහස... හුදෙකලාවේ ආලෝකය විහිදුවන ප්‍රදීපාගාර.... ඉහළින් මතුවී පෙනෙන පල්ලියේ කොත් මුදුන.. මේව රෑපමය වශයෙන් බොහොම ප්‍රබල ඇඟවුම් කාරකයන් විදිහට ගන්න පුලුවන් සංකේත. ඒ සංකේත රූප වලින් හොදින් වැඩ අරගෙන තිබුණ ආකාරය දැකගත හැකියි. ඒ අවසන් දර්ශනය මාව තදින්ම කම්පනයට පත් කළා. ඇයි ඇයට එහෙම වුණේ...ඇයි ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය මානව සම්බන්ධතාවක් විදිහට බාරගන්න සමාජයට බැරි.... ඔවුන් අවසානෙ කොහෙටද යන්නෙ.. ඇගෙ උමතුබව ඇත්තම එකක්ද .. කොහොම නමුත් කොටු පවුරෙන් මිදිල ඔවුන් යන රූපය ඔවුන් මේ වික්ටෝරියන් කොටු පවුරෙන් ඇත්තටම මිදුනාද කියන ගැටලුව පමණක් ඉතිරි කරනව... "පවුරු වළලු" ආදරය අහිමි වූ ජීවිතයකට සහ කිසිදා ලබාගත නොහැකි ප්‍රේමයකට උරුමකම් කියන ගැහැණියක් සමාජ, සංස්කෘතික බලපෑම හමුවේ විඳින අනන්ත දුක් පීඩාවන් නිරූපණය කරන සහ අපි වටා නැගීහිටින මේ පුහු සදාචාරවාදයේ දැඩි පවුර කලාත්මකව නිරූපණය කෙරෙන සිනමාකෘතියක් විදිහට හඳුනා ගත හැකියි.

ප.ලි. - "පවුරු වළලු" නරඹන්න කැමති අයට යූ ටියුබය හරහා චිත්‍රපටය නරඹීමේ හැකියාව තිබෙනව. මුලු චිත්‍රපටය ම යූටියුබයේ අන්තර්ගතයි..






Wednesday, December 4, 2019

සයුර ඔබ

ඉපිලෙමින් ඔබ රළ නඟන කල
බලා හිඳ මොහොතක් වෙරළත
සෙමෙන් පියවර තබා සපැමිණ
ගිලෙමි ඔබ තුළ, පිහිනමි සිතු ලෙස..

යළිත් ඇවිදින් වෙරළ මතුපිට
වෙහෙසකර අත පය සතපවා
සිතේ ඇමිණුන කුඩා කවියක්
කුරුටුගානා කළ
නොසන්සිඳෙනා දෑසින්
බලා හිඳී ඔබ 
තවමත් මා දෙස...

යළි පැමිණ
නොගොසින් ගැඹුරට
ඉඩ දෙමි
කිරි සුදු පෙණ වලට
සිපගන්න මා දෙපා
මුදුලෙස..

අසීමිත
සයුරකි ඔබ
පෙණ නගන
යළි හැපෙන
මුදු හඬින්
විසිරෙන..

කුඩා මිනිසෙක්මි මම
කුඩා කුඩා කවි 
කුරුටුගානා
වැලි මත..



Tuesday, December 3, 2019

The Last Temptation of Christ (1989)


සෝර්බා නම් ග්‍රීකයා (Zorba the Greek) නවකතාව ලියපු Nikos Kazantzakis ගේ මේ නමින්ම ලියවුණු නවකතාව ආශ්‍රයෙන් හැදුණ සිනමාපටය The Last Temptation of Christ. බයිබලයේ සුභාරංචි ග්‍රන්ථ වලින් යම් තරමකට බැහැරව, කතුවරයාගේ පරිකල්පනයෙන් ක්‍රිස්තු චරිතය ආන්දෝලාත්මකව නැවත ගොඩ නංවා තිබීම මේ කතාවෙ විශේෂත්වයක්. හුදෙක් ජේසුස් වහන්සේ ගෙ ජීවිත කතාව කියාපෑම වෙනුවට මනුෂ්‍යයක් විදිහට උන්වහන්සේ කල කී දෑ ඉදිරිපත් කිරීම මේ කතාවෙන් අපිට දැක ගන්න පුලුවන්. සතන් හෝ දෙවියන් වහන්සේ ගේ හෝ රඟමඬලක් වෙන මිනිස් සිතුවිලි ඔහුගේ ආශාවන්, බලාපොරොත්තු, ඔහුගේ එඩිතරත්වය, බිය, අවිශ්වාසය, ආත්ම ශක්තිය මේ හැම දෙයක්ම තුළින් ක්‍රියාකරන හැටි ජේසුස් වහන්සේගේ චරිතය තුළින් නිරූපණය කර තිබෙනවා. ආගමික දෘෂ්ටියෙන් බැහැරව කලා කෘතියක් විදිහට මේක ඉහළින්ම අගය කලහැකි නිර්මාණයක් බව වාදයක් නැහැ. විශේෂයෙන් පසුබිම් සංගීතය, කැමරාකෝණ, කතාව ගලායෑම මේ හැම ආකරයෙන්ම සිනමාරූපී බව හොඳින්ම පවත්වාගෙන තිබෙනවා. මේක Martin Scorsese ගේ චිත්‍රපටයක් බව කීම හොඳටම ප්‍රමාණවත් මං හිතන්නෙ. අපේ රට ඇතුලෙ ආගමික ශාස්තෘ වරයෙකුගෙ චරිතය අරන් මෙවැනි නිර්මාණයක් කළොත් සැකයක් නෑ, ඒ නිර්මාණකරුවන්ට නතර වෙන්න සිද්ධවෙන්නෙ හිරේ විලංගුවෙ වැටිල. ඉදිරියටත් මේ නිදහස අහුරන තත්ත්වය ලිහිල් වෙන බවක් නම් පෙනෙන මානෙක නෑ. ඒක කණගාටුවට කරුණක්. යම් නිර්මාණයක් කලා කෘතියක් පමණක් බවත්, තමන් ගෙ ආගමික විශ්වාසයන් රිදවූ පමණින් එය වාරණය කිරීම ප්‍රකාශනයේ නිදහසට වැට බැඳීම බවත් නිදහස වෙනුවට විලංගු ම ඉල්ලා හිටින මේ සමාජය කවදා තේරුම් ගනීවිද කියන ප්‍රශ්නාර්ථයක් පමණයි අවසානෙ ඉතුරු වෙන්නෙ.














Monday, December 2, 2019

පුංචි දිය කඩිති


නෙළුම් මහනෙල් ඕලු
හැරිලවත් බලන්නැති
දියකාවුන් කොකුන් සේරුන්
පළාතක යන්නැති
කෙකටියා කුමුදු කොඳ
කොයි පාට දැයි දන්නැති
පුංචි දිය කඩිති වල
අර බලන්න
මහ රෑට
බබළනා හැටි
දහස් ගණනක් සිහින් තරු එළි..