ආදරය, ප්‍රේමය ගැන ඕන තරම් නිර්වචන අපි අපේ ජීවිත කාලය ඇතුලෙ අහල ඇති. ආදරය ගැන කවි, සින්දු, චිත්‍රපට, නවකතා ඕන තරම් අපි දැකලා ඇති. තව ඉදිරියට තවත් අර්ථදැක්වීම් අපිට අහන්න දකින්න කියවන්න ලැබේවි. ආදරය කියන්නෙ වචනෙන් විස්තර කරල කියන්න බැරි දෙයක් බව තව කෙනෙක් කියාවි. මම කියන්නෙ ඒ හැම දෙයක්ම අර්ධ වශයෙන් ඇත්ත කියල. ඇයි එහෙම වෙන්නෙ? මම විශ්වාස කරනව ආදරය ගැන අපේ වටහා ගැනීම වයස, ජීවිත අත්දැකීම, ලෝක දැක්ම මේ හැම දෙයක්ම එක්ක වෙනස් වෙනව කියල. උදාහරණයක් විදිහට නවයෞවන වයසෙ ප්‍රේමය ගැන අපිට තිබ්බ ආකල්පය නෙමේ බොහෝ විට දැන් අපිට තියෙන්නෙ. අපේ ජීවිත අත්දැකීම එක්ක ඒ දේවල් වෙනස් වෙලා. යම් පොදු දේවල් ටිකක් නැහැයි කියන්න නෑ. ඒත් මම හිතනව මේ මොහෙතෙ අපි අත්විඳින ජීවිතය ඇතුලෙ ප්‍රේමය ගැන අපිට තියන කියවීම සුවිශේෂී, අපිටම අනන්‍ය එකක් කියල. ඒ හින්ද අර සුප්‍රසිද්ධ කියමන් ඇතුලෙ තියන දේවල් වලින් කොටසක් අපිට අදාළයි. අනිත් කොටස අපිටම අනන්‍යයි..
Amour වචනෙ තේරුම ප්‍රංශ බසින් "ආදරය" මයි. Amour චිත්‍රපටයෙන් දකින්න ලැබෙන්නෙ එක්තරා ආකාරයක ආදරයක් තමයි. ඒත් මෙතනදි ආදරයේ අපිට වැඩිපුර දකින්න නොලැබෙන කලාපයක් ස්පර්ශ කරනව. විවාහ වෙලා දරුවන් ලබල, ජීවිතේ තරඟේ දුවල අවසානෙ වයස අසූ ගණන් වල ජීවිතේ පෑල දොර ගාව ඉන්න යුවළක් ගැන කතාවක් මේ චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙ. ඇය පියානෝ ගුරුවරියක්. ඔහුත් ඇයත් ජීවත් වෙන්නෙ නිවාස සංකීර්ණයක වෙනම කුටියක. මහලු වයසේ කාටත් පොදු අපහසුතාවන් ගෙන් පෙළුනත් හදිස්සියෙම ඇගේ රෝගී තත්ත්වය ඉහළ යනව. වතාවක් රෝහල් ගත වෙන ඇය, තමන්ව ආයෙ කිසිදාක රෝහලකට ගෙනියන්න එපා කියල ඔහු ගෙන් ඉල්ලනව. ඇගේ ඉල්ලීමට ගරු කරන ඔහු ඇගේ හැම කටයුත්තක්ම තමන් තනිවම කරනව. වතාවක් ඇය ජීවිතේ නැති කරගන්න පවා උත්සහ කරනව. ඒ ඔහුත් නිදහස් කර තමනුත් නිදහස් වෙන්නයි. නමුත් ඒ උත්සහය සාර්ථක වෙන්නෙ නෑ..
Amour චිත්‍රපටය ආරම්භ වෙන්නෙ කතාවෙ අවසානයෙන්. ඒ කියන්නෙ අවසානෙ මොකක්ද වෙන්නෙ කියල ප්‍රේක්ෂකයා මුලදීම දැනගන්නව. ඒ නිසා කතාව ආරම්භ වෙන්නෙම කුතුහලය බිඳිමින්. චිත්‍රපටය විසින් තමාවම spoil කරගනිමින්. ඉන්පසුව අපි දකින්නෙ මේ මහලු යුවල ගෙ කතාව. එතන තියෙන්නෙ කුතුහලයකට වඩා ජීවිතේ කෙළවර සියලු දේ අවසන් වෙමින් යන තැන ඔවුන් බෙදාහදා ගන්නා ආදරය ගැන සමීපව බලා හිඳීමක්. ඇය සෙමෙන් සෙමෙන් නමුත් ඔහුට වඩා ඉක්මණින් අඳුර වෙත පාතබමින් ඉන්නෙ. ඔවුන් අතරෙ විසංවාදයක් නැතුවා නෙමෙයි. මතභේද ගැටුම් නැතුවා නොවෙයි. වසර හතළිහක් හෝ පණහක් විවාහ ජීවිතේ මෙතෙක් පැමිණියා වගේ ඇයට අවශ්‍ය අන්තිම පියවර කිහිපය ඒ ආදරය අත්විඳින්න. කොයිතරම් දුරක් පැමිණියත්, කොයිතරම් ආදරේ කළත් මේ අවසාන ගමන කෙනෙකුට යන්න වෙන්නෙ නම් තනියම. අවසන් මොහොත වේදනාවක් නම් ඉන්පස්සෙ ඒ වේදනාව උරුම ජීවත්වෙන කෙනෙකුටම යි. ඉතින් කෙනෙකුගේ මේ මහා දුක අවසන් කරන්න තමන් ඒ දුක බාර ගන්නව නම් ඒක ආදරය ද? තව විදිහකින් කිව්වොත් කෙනෙකුට ජීවිතය උහුලගන්න බැරි දුකක් වෙන තැන ඒ දුකින් ඔහු හෝ ඇය නිදහස් කරවීම "ආදරය" වෙන්න බැරි ද?
"ආදරය" අපේ නිර්වචන එහෙමම තියෙද්දි, අපේ අත්දැකීමෙන් තරමක් එහා ආදරයක් විඳගන්න Amour චිත්‍රපටය බලන්න...
No comments:
Post a Comment