මිනිස්සු ජීවත් වෙන්නෙ මතකයන් එක්ක. ගොඩක් වෙලාවට අපි කෑවට බිව්වට හුස්ම ගත්තට ජීවත් වන බව දැනෙන්නෙ නම් මතකයන් නිසා කියන කාරණයට වැඩි දැනා එකඟ වේවි. එ් තරමට මේ මතකයන් මනුස්ස ජීවිතයට සමීපයි. සමහර මතකයන් හරි සුන්දරයි. විශේෂයෙන් ළමා කාලය ගැන කතා කරද්දි. විශාල ආදරයකින් අපිට එ් කාලය ගැන කතාකරන්න පුලුවන්. මොකද ඉතා ම සුන්දර මතකයන් විදිහට එ් දේවල් අපි ගාව තවම ඉතිරිවී තියන නිසා. නමුත් හැම මතකයක් ම එහෙම සුන්දරයි කියන්න බෑ. සමහර දේවල් තියනව ඒක එහෙම නොවුණනම් කියල හිතන. එ් සිද්දිය නැත්තම් එ් පුද්ගලය මගෙ මතකෙන් අයින් කර දාන්න පුලුවන් නම් මම එහෙම කරනව කියල සමහර අය මාත් එක්ක කියා තියනව. ඇත්තටම එහෙම තෝරාගත්ත මතකයක් අපිට සදහටම මකා දමන්න පුලුවන් නම් ඒක මොනවගේ වේවි ද... මෙහෙම හිතන්න..ඔයා මොකක් හරි ක්‍රමයකින් යම් කෙනෙක්ව ඔයාගෙ මතකෙන් අයින් කරදානව.දැන් ඔයාගෙ ජීවිතේ එහෙම කෙනෙක් ඉඳල නෑ. ඒත් අර පුද්ගලය ආයෙත් ඔයාගෙ ජීවිතේ ඇතුලෙ මුණගැහුණොත් අර අමතක කළ සිදුවීම ම නැවතවාරයක් නොවේවි කියාල ඔයා සහතික වෙන්නෙ කොහොමද? Eternal sunshine of the spotless mind කියන්නෙ එහෙම මතකය ඉවත් කළ පුද්ගලයන් කීපදෙනෙක් ගැන කතාවක්.
ජොඑල් කියන්නෙ බොහොම තැන්පත්, නිවිච්ච ගතිගුණ තියන, වැඩි කතාබහක් නැති චරිතයක්, දවසක් අහම්බෙන් වගේ මුණගැහෙන ක්ලෙමෙන්ටයින් කියන තරුණිය එක්ක ජොයෙල් සම්බන්ධතාවක් ඇති කරගන්නව. ක්ලෙමෙන්ටයින් නම් ජොයෙල් ගේ සම්පූර්ණයෙන් අනික් පැත්ත. ක්ලෙමෙන්ටයින් ආවේගශීලී ඉක්මණින් ම කේන්ති යන එසැණින් ආපහු නිවෙන උතුරා පිටාර යන චරිතයක්. ඉතින් මේ සම්බන්ධතාවය පීඩාකාරී තැනකට එන එක අරුමයක් නැහැ කියල හිතන්න පුලුවන්. ඒත එක අතකට බැලුවම හැම සම්බන්ධතාවක් ම එහෙමනේද කියන කාරණාව තමා මතුවෙන්නෙ. ඉතින් ජොයෙල් එක්ක තියන සම්බන්ධතාව අවසාන කරන්න හිතන ක්ලෙමෙන්ටයින් තීරණේ කරන්නෙ ඔහුව සදහටම තමන්ගෙ මතකයෙන් මකා දමන්න. ඒත් ඒක කරන්නෙ කොහොමද? මතකය මකන්නෙ මෙහෙමයි. ඒ වෙනකොට හොවාඩ් කියන එක්තරා වෛද්‍යවරයෙක් මතකය මකා දමන උපකරණයක් නිර්මාණය කරල තියනව එතනදි කරන්නෙ අදාල පුද්ගලයාට සම්බන්ධ හැම දෙයක්ම හැමතැනක්ම ඡායාරූපයට අරගෙන ඒ දේ දකිනකොට පුද්ගලයාගෙ මොළයේ ක්‍රියාත්මක වෙන තැන් හොයල ඒ තැන් වෙනස් කිරීමෙන්. එතකොට අදාල පුද්ගලයාට සම්බන්ධ හැම මතකයක්ම මොළයෙන් ඉවත් වෙනව. ඉතින් ඉන්පස්සෙ ජොඑල් දකින්නෙ දිසි දාක තමන්ව දැක නැති තමන්ව නාඳුනන ක්ලෙමෙන්ටයින් කෙනෙක්ව. මේ වගේ අවස්ථාවක ඔහු පත්වෙන්නෙ මොනවගේ තත්ත්වයකටද කියල අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නෑ නෙ. මේ වේදනාවෙන් ගොඩ එන්න ඔහු කරන්නෙ ඇයවත් මතකයෙන් මකා දැමීම. මතකය මකන කණ්ඩායමේ තරුණයින් දෙදෙනාත් තරුණියකුත් ජොයෙල්ගෙ ගෙදරටම ඇවිත් තමන්ගෙ මෙහෙයුම ආරම්භ කරනව. චිත්‍රපටය වෙනස්ම මානයකට යන්නෙ මෙතනදි. ජොඑල් සිහි නොමැති තත්ත්වයෙ හිටියත් ඔහුගෙ අවිඥානය තවම අවදියෙන්. ඉතින් ඇය ගැන මතකය ටිකෙන් ටික මැකී යද්දි ඈ ගැන මතකය රැකගන්න ජොඑල් ඔහු ඇතුලේම සටන් කරනව. මතකය පණ ඇති වස්තුවක් විදිහට අපි ඉස්සරහට ඇවිත් ඒ මතකය වෙනුවෙන් ඔවුන් කරන සටන තිරය මත ඇඳෙන්නෙ නැවුම් ආකාරයකට. මෙතනදි රූප රාමු පෙළගස්වල තියන විදිහ සහ කතාවෙ ගලා යාම සම්මත ආකාරයෙ බැහැරව යම් ඉන්ද්‍රජාලික ස්වරූපයකින් පෙනවන නිසා නුහුරු බවක් දැනුණත් කතාවෙ යටි පෙළ ගැන මෙතනින් මතු කරන්න හදන කාරණාව ගැන සංවේදීතාවකින් බැලුවොත් ඒ ගතිය මගහරවා ගන්න පුලුවන් වේවි. මේ අතර මතක මකා දමන කණ්ඩායමේ තරුණ තරුණියන් අතරෙත් සිදුවීමක් පසුබිමෙන් අපිට දකින්න ලැබෙනව. ජොයෙල් ගේ මේ උත්සාහය අවසානෙ සර්ථක වේවි ද?
Jim Carry සහ Kate Winslot මේ චිත්‍රපටයෙ ජොඑල් සහ ක්ලෙමෙන්ටයින් විදිහට රංගනයේ යෙදෙනව. චිත්‍රපටය රූගත කරද්දි Jim සහ Kate අතර හුවමාරු වන සමහර දෙබස් ඒ මොහොතෙම ඔවුන් අතරෙන් මතුවුණ ඒව බව තමයි සඳහන් වෙන්නෙ. මේකෙ දෙබස් ගැනනම් විශේෂයෙන් සඳහන් කරන්න ඕන, හොයාගෙන ගිහින් නැවත් නැවත කියවන්න හිතෙන තරම් දෙබස් මේ චිත්‍රපටයෙ අහන්න පුලුවන්. Kate Winslot තමන්ගෙ කැමතිම රංගනයක් විදිහට මේ චිත්‍රපටය හඳුන්වා දෙනව. මෑතක බලපු චිත්‍රපට වලින් මමත් පුද්ගලිකව වැඩියෙන් කැමති වුණ චිත්‍රපටයක් විදිහට හඳුන්වා දෙන්න පුලුවන්. ජොඑල් සහ ක්ලෙමන්ටයින් මගේ මතකයෙ මකන්න බැරි බොහොම ආදරණීය තැනක සටහන් වුණ බව කියන්න කැමතියි.