Thursday, September 27, 2018

Amadeus (1984)



18 වෙනි සියවසේ ඔස්ට්‍රියාවෙ සල්ට්ස්බර්ග් නුවර ජීවත් වුණ ලියෝපෝල්ඩ් කියන වයලීන වාදකයා දවසක් හරි අපූරු දර්ශනයක් දකිනව. එ් අවුරුදු පහක තරම් වයස තමන්ගේ පුංචි පුතා ගෙදර පියානෝව ලග වාඩි වෙලා කඩදාසියක මොනවද කුරුටු ගාමින් ඉන්න ආකාරය. මොනවද මේ පුතා කරන්නෙ? ලියෝපෝල්ඩ් පුතා ලගට ගිහින් අහනව. මම සංගීතය ලියනව තාත්තෙ. පොඩි එකා උත්තර දෙනව. පුංචි එකෙකුගේ තවත් විකාර වැඩක් කියල හිතන මේ ලියෝපෝල්ඩ් නිකමට පුතා ලියමින් හිටිය කඩදාසිය අරන් බලනව. එ් ඇත්තටම සංගීත ස්වර රචනාවක්! තමන්ගෙ පුතා ගෙ අසාමාන්‍ය කුසලතාව හදුනාගන්න තාත්තා ඔහුට තවදුරටත් සංගීතය ඉගෙනීමට යොමුකරනව. අවුරුදු හය වෙද්දි මේ පොඩි එකා සංගීත වාදන පවත්වමින් යුරෝපය පුරා ගමන් කරන්න පටන් අරගෙන. මේ ගමන නතර වෙන්නෙ එංගලන්තය, ඉතාලිය, ප්‍රංසය, ජර්මනිය ආදි රටවල් ගණනනාවක සංචාරය කිරීමෙන්. අවුරුදු අටේ දි මේ කොල්ල තමන්ගේ පළවෙනි සංගීත සංධ්වනිය ලියනව. අවුරුදු දහ අටක් වෙද්දි තමාගේම සංධ්වනි 30 ක් ඔහු නිර්මාණය කරල ඉවරයි. අවුරුදු තිස් පහක කෙටි ජීවිත කාලයක් ඇතුලෙ සංධ්වනි, කොනසර්ටෝ වාදන, දේවස්ථාන සඳහා ගායන, ඔපෙරා ඇතුලත්ව ස්වර රචනා 600 කට අධික ප්‍රමාණයක් ඔහු අතින් ලියවෙනව. මේ වෙන කවුරුවත් නෙමේ බටහිර සම්භාව්‍ය සංගීතෙ යුග පුරුෂයෙක් වුන Wolfgang Amadeus Mozart නැත්තම් අපි කවුරුත් දන්න විදිහට කිව්වොත් මෝ'ට්සාට්.  මෝ'ට්සාට්ගෙ ම සමකාලීන සංගීතඥයෙක් වුණ Joseph Haydn  කියපු විදිහට තව සියවස් ගණනකින් වත් මිනිස් ඉතිහාසෙ එ් වගේ දක්ෂ කමක් ආය පහළ වෙන එකක් නැහැ. 

 Amadeus  සිනමාපටය නිර්මාණය වෙන්නෙ මෝ'ට්සාට් ගෙ චරිතය මුල් කරගෙන වුණත් අපේ කතාවෙ කතා නායකයා නම් මෝ'ට්සාට් නෙමෙයි. වෙනත් පුද්ගලයෙක්. ඒ තමා ඒ වෙනකොට වියානාවෙ හිටිය ප්‍රධාන පෙළේ සංගීතඥයෙක් වුණ  Antonio Salieri. මොසාට් ගෙ මරණින් අවුරුදු ගණනාවකට පස්සෙ, මෝ'ට්සාට් ගෙ මරණෙට තමා වගකිවයුතුයි කියමින්, Salieri  උමතු රෝහලක ඉදගෙන කරන පාපොච්චාරණයක් විදිහටයි චිත්‍රපටයෙ  කතාව දිගහැරෙන්නෙ. Salieri  අත්දැකීම් බහුල දැනුමෙන් පොහොසත් සංගීතඥයෙක් වුණත්, ඔහු වඩා සාර්ථකත්වයට පැමිණෙන්නෙ, ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගන්නෙ ඔහුටත් වඩා වයසින් බාල තරුණයෙක් වුණ මෝ'ට්සාට්. මේ නිසා  Salieri හිත යටින් මෝ'ට්සාට් ගේ නිර්මාණ වලට ආශා කරන ගමන් ඔහුට බොහොම දරුණු විදිහට ඊර්ෂ්‍යා කරන්න පෙළඹෙනව නිර්මාණකරුවන් අතරෙ මේ ඊර්ෂ්‍යාව කොයිතරම් දුරට යන්න පුලුවන්ද කියල අපිට බලන්න පුලුවන්.

කලාකරුවෙක් තමන්ගෙ නිර්මාණ වලින් තවත් කෙනෙකුට රසවින්දනයක් ලබා දෙන්නෙ තමාත් එය රස විඳින ගමන්. මේ ‘රහ‘ ගැන සංවේදී තාවය ඔහුගෙ ජීවිතේ ඇතුළෙම තියෙන්න ඕන. ඒ කියන්නෙ උපරිමයෙන් ම ජීවිතේ විඳින කෙනෙකුටම තමා තවත් කෙනෙකුව සතුටු කරන්නත් පුලුවන්. මෝ'ට්සාට් තුලින් අපි දකින්නෙත් මේ වගේ උතුරල පිටාර යන මනුස්ස ජීවියෙක් ව. නිතරම දෙපැත්ත කැපෙන විහිලු කතා කියන, රාජ සභාවක වුණත් කෑ ගහල හයියෙන් හිනාවෙන, උත්සව සාද මිතුරු ආශ්‍රයෙන් අඩුවක් නැති, මුදල් වියදම් කරද්දි සීමාවක් නැති අතීශය විනෝදකාමි චරිතයක් විදිහට තමා මෝ'ට්සාට් හදුනාගන්න පුලුවන්. A Musical Joke නමින් උපහාසාත්මක ස්වර රචනාවක් පවා මෝ'ට්සාට් නිර්මාණය කර තියනව. Salieri ගෙන් නියෝජනය වෙන්නෙ මේකෙ ප්‍රතිවිරුද්ධ  අන්තය. ඔහුට අවශ්‍ය ජනප්‍රිය වෙන්න. සාර්ථකත්වය ලබා ගන්න. මිනිස්සු තමන්ගෙ නිර්මාණ ගැන කතා වෙන හැටි දකින්න. මේ ගමනට බාධකයක් විදිහට තමා ඔහු මොසාට් ව දකින්නෙ. ඒ නිසා ඔහු නිතරම මෝ'ට්සාට් ගැන ඊර්ෂ්‍යාවෙනුයි පසු වෙන්නෙ. මෝ'ට්සාට් සහ Salieri දෙදෙනා දෙපැත්තෙන් තියල ඔවුන් දෙදෙනාගෙ වෙනස්කම් එකිනෙකා සැසදෙන විදිහටයි චිත්‍රපටය ගලා යන්නෙ.
    
Amadeus තිරගත වුණ අවුරුද්දෙ ඒ කියන්නෙ 1984 හොදම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය ඇතුලු  තවත් සම්මාන 8 මේ චිත්‍රපටය දිනාගන්නව. ඒ වගේම සම්භාව්‍ය සංගීතය ඒ තරම් ජනප්‍රිය නොවෙන බටහිර රටවලින් පවා  ඉහළ මට්ටමේ  ආකර්ශනයක් ලබාගන්න සමත් වෙනව. මොසාට්ගෙ චරිතය වාර්තාමය ස්වරූපයෙන් නැවත ඉදිරිපත් කිරීමට වඩා නිර්මාණාත්මකව එය නිරූපණය  කිරීමයි අද්‍යක්ශවරයා ගෙ අරමුණ වෙලා තියෙන්නෙ. ඒ නිසා Amadeus කියන්නෙ මෝ'ට්සාට් ගේ හැබෑ චරිත ස්වභාවත් සමහර සිදුවීම් කිහිපයකුත් උකහාගෙන නිර්මාණය කල ප්‍රබන්ධයක්. මෝ'ට්සාට් ගෙ මරණය සිදුවෙන්නෙ අධික උණ රෝගය නිසා බව තමා ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ. නමුත් චිත්‍රපටයෙ දි ඒ මරණයට ලබා දෙන්නෙ වෙනස් අර්ථකථනයක්. ඒ වගේම Salieri පවා මෝ'ට්සාට් ගෙ රසිකයෙක් බව තමා සඳහන් වෙන්නෙ. මේ නිසා Amadeus කියන්නෙ හුදු චරිදාපදානයකට එහා ගිය නිර්මාණාත්මක වෑයමක් විදිහටයි අපිට හඳුනගන්න පුලුවන් වෙන්නෙ. Drama / Historical චිත්‍රපට රසිකයින් මේකට බොහොම ප්‍රිය කරාවි.  මෝ'ට්සාට් කොයි වගේ චරිතයක් ද කියල හොඳින්ම වටහගන්න පුලුවන් ඔහුගේ කියමනකින් මේ සටහන අවසාන කරනව 

(මෝ'ට්සාට් ගෙ මං කැමතිම වාදනයක් මේ සමග ඇති)

Neither a lofty degree of intelligence nor imagination nor both together go to the making of genius. Love, love, love, that is the soul of genius.

-Mozart

"විශිෂ්ටයෙක් බිහිකරන්නෙ ඉහළ ගණයේ බුද්ධිය වත්, පරිකල්පනයෙන් වත්, මේ දෙකම සම සමව වත් නෙමෙයි. ආදරය කරන්න.. ආදරය කරන්න , පුලුවන් තරමක් ආදරේ කරන්න. විශිෂ්ටත්වයෙ සාරය ඒක තමයි"

- මෝ'ට්සාට් 




මෝ'ට්සාට් by Barbara Krafft in 1819



වයස 14 දී මෝ'ට්සාට් by Saverio Dalla Rosa




6 comments:

  1. මේ ලිපිය ආසාවෙන් කියවද්දී මාව අතීතයට ගෙනගියා.මගේ තරුණවිය ගෙවුනේ ඉතාලියේ.නිර්මාණශීලී මිනිසුනට යුරෝපය තෝතැන්නක්.ඒ පරිසරය,නිසලබව,මිනිසුන්ගේ තැන්පත්බව මා දුටුවා.මා සමග හිටපු මිතුරු මිතුරියෝ ඔස්ට්‍රියාව,පෝලන්තය,ජර්මනිය,ස්විඩනය වගේ රටවලින් ආ අය.හිම වැටුනු පටු මාවත් දිගේ එන අපි අඩ අඳුරු අවන්හලකට යන්නේ උණු කෝපි හෝ තේ බොන්න.නැත්නම් අයිස් ක්‍රීම් කන්න.ඔවුන් සමග කතාවේදී කොතරම් සැහැල්ලුවක් හිතට එනවාද !එදා මම කල්පනා කලා මේ මිනිස්සු,පරිසරය,මෙවැනි අවන්හල් හරි අපූරු දේ නේද කියලා.යුරෝපයේ මේ අයගෙන් මොසාට් වැන්නෝ බිහිවීම අරුමයක් නොවෙයි.සංගීතයට ගරුත්වය දෙනවා යුරෝපයේ.කොපි කිරීම් වලින් තොර අලුත්ම දෙයක් කරන්න එයදෙස හිස උදුම්වා නොගෙන බලන්නත් ඔවුන් දන්නවා.පරිසරයේ හිතකරබව,සමාජ රටාව අපූරු පුද්ගලයෝ බිහිවෙන්න බලපානවා.ඔබේ ලිපියට බොහෝම ස්තූතියි !

    ReplyDelete
    Replies
    1. ඔබේ වටිනා කමෙන්ටුවට බොහොම ස්තූතියි....නිදහස් නිවහල් අදහස් දරන හදවත් වලින් තමා හොද නිර්මාණ බිහිවෙන්නෙ.... සහ කලාව රසවින්දනය වැදගත් තැනක සලකන සමාජ පරිසරයකුත් තිබිය යුතුයි...ඒ අතින් අපේ රටවල් දැක්කම කණගාටුවක් තමා ඇති වෙන්නෙ....

      Delete
  2. ඔබේ ලියැවිල්ල කියවලා මම මේ සිනමා සිත්තම බැලුවා ..... නියමයි ... දිගටම ලියන්න .. අපි රස බෙදාගනිමු... ඔබේ කවි වලටත් මම හරි කැමතියි .........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සතුටක් ඒය.... ජය!!!

      Delete