චිත්‍රපටියක් කියන්නේ එක අඩියක් මහපොළව මත තියාගෙන ගොඩනැගෙන හීන ලෝකයක්. අපි එදිනෙදා ජීවිතේ අත්දකින යථාවත් ෆැන්ටසියත් එක්ක මුහුවෙලා ගොඩනැගෙන වෙනම යථාර්ථයක්. කෙටියෙන්ම කිව්වොත් චිත්‍රපටියක් කියන්නෙ වෙනම විශ්වයක් . මේ සිනමා විශ්වය ඇතුලෙ අපිට නොයෙක් ආකාරයේ ජීවිත මූණට මුණ ගැහෙනව. මිනිස් පැවැත්ම ගැන තව දුරටත් කියවීමකට යන්න, අපිට අපි දිහා නැවත හැරිල බලන්න දොරක් ඇරල දෙනව. මූලිකව සිනමාවක කාර්ය වෙන්නෙ ඒකයි කියල මම හිතන්නෙ. ඉතාම මෑතක ඒකියන්නෙ 2019 අවුරුදේ පෙබරවාරි මාසෙ තිරගත වීම ඇරඹුව June, මලයාලම් චිත්‍රපටය නරඹන එක මට හරි අපූරු සුන්දර අත්දැකීමක් වුණා. ඒ මලයාලම් සිනමාවට ආවේණික සොබා සෞන්දර්ය ඉතිරෙන දර්ශන තල, කණට ඉතාම ප්‍රිය මිහිරි ඉමිහිරි සංගීතය June චිත්‍රපටය ඇතුලෙ මම උපරිමයෙන් වින්දා. මේ චිත්‍රපටය විශේෂ වන්නේ ඇයි? June කතාව නිර්මාණය වෙන්නෙ June Sara Joy කියන තරුණ ගැහැණු ළමයා මුල් කරගෙන. පාසල් වයසේ අන්තිම භාගයෙ ඉදන් උසස් අධ්‍යාපනය ඉන් පස්සෙ රැකියාවට එන කාලය දක්වා June Sara Joy ගේ ඇස් දෙකෙන් දකින ලෝකය තමා මේ සිනමා පටයෙන් අපි ඉස්සරහ මැවෙන්නෙ. ඉතින් June මේ ඇගේ කතාව!
ස්ත්‍රිය ගැන නිතරම කියැවෙන කතාව තමා ඇය කොහොමත් තේරුම් ගන්න බැරි කෙනෙක් කියන කාරණය. ඒක බොරුවක් නෙමයි. නමුත් එතන තේරුම් ගැනීමට වඩා දෙයක් තියනව. ස්ත්‍රිය ගැන සඳහන් කරන කොට ඕෂෝ නිතරම සදහන් කරන්නෙ ඇයව තේරුම් ගන්න කොහොමත් උත්සහ කරන්න එපා කියල. ඒ වෙනුවට ඇයට ආදරය කරන්න, ඇයට හොදින් සලකන්න, අවදානය දෙන්න කියල ඕෂෝ යෝජනා කරනව. බොහොමයක් වෙලාවට පිරිමියා අතරමං වෙන තැනක් තමා එතන. මොකද පරිණාමයත් එක්ක කාලාන්තරයක් තිස්සේ පිරිමි මොළය හැඩ ගැහිල තියෙන්නෙ කරුණු සහිතව තර්කානුකූලව හිතන්න. එතනදි පිරිමි මොළය ගණිත ක්‍රමයකට වැඩ කරන විශ්ලේෂක යන්ත්‍රයකට සමාන කරන්න පුලුවන්. සියුම් හැඟීම් හදුනා ගැනීම. චිත්තවේග වලට සංවේදී වීම. මේව ඔහුට ස්වභාවයෙන්ම නුහුරු නුපුරුදු දේවල්...ඒ නිසා ස්ත්‍රිය එක්ක කටයුතු කරද්දි ඔහුට ඒ සදහා විශේෂිත වුන දැනීමක් යම් සංවේදී කමක් අවශ්‍යවෙනව. බොහෝ වෙලාවට ගැහැණිය ගේ සමහර චර්යා රටාවන් පිරිමියාට පෙන්නෙ මහ ළද බොළද තේරුමක් නැති දේවල් විදිහට. නමුත් ඒ දේවල් ඇයට මහ මෙරක් වටිනව. උදාහරණයක් විදිහට මේ කතාවෙදි June ඇගෙ හැම පෙම්වතෙකුගෙන්ම අහන එක ප්‍රශ්නයක් තියනව. හිටිගමන් , නොහිතනම වෙලාවක ඈ මෙහෙම අහනව.
"ට්‍රීං .. ට්‍රීං...මේ ෆොන් එක ආන්සර් කරන්නකො"
දැන් ඉතින් පෙම්වතාට සිද්ධවෙනව ෆොන් එක ආන්සර් කරනව වගේ රඟපාන්න
"හොඳයි ..හිතන්නකො. අපි බැඳල, අද තමා අපේ විසි වෙනි ඇනිවසරි එක තියෙන්නෙ. මට කියන්න දැන් ඔයා මොකද කරන්නෙ"
බොහොමයක් පෙම්වත්තු ඒ වෙලාවට කටට එන දෙයක් කියල දානව. නමුත් ඒ අය දන්නෙ නෑ ඒ අය කියන දේවලින් ඇය ඔවුන් ගැන තක්සේරුකරුවට එන බව. ඒ අය තමන් ගැන කොච්චර දන්නවද තමන් ට කොච්චර ආදරේද කියල මනින බව ඒ අය දන්නෙ නෑ....
June කියන්නෙ ප්‍රේම චාරිකාවක්... ලං වෙන්න නැතත් දුර ඉඳන් බලා ඉන්න.. මගේ උනානම් කිය කිය හීන දකින.. ලඟින් ගියත් දවස් හතක් නින්ද යන්නැති ක්‍රෂ්මය (crush) ප්‍රේමය.. යෞවන වයසෙ නෑඹුල් සෙනෙහෙබර සිතුවිලි එක්ක පටන් අරගෙන පහුකාලීනව ජීවිතේ එක්ක ගැටෙනකොට සුරංගනා ලොවෙන් මහ පොළවට කඩා වැටිල බිඳී විසිරී යන ආදරය.. මොනදේ වුණත් ලඟින් ඉන්න.. එකිනෙකාගෙ සිතුම් පැතුම් ආශාවන් හඳුනා ගැනීම මත ගොඩනැගෙන.. අනෙකා වෙනුවෙන් ඇපවෙන කැපවෙන වගකීම් සහගත ආදරය.. මේ හැම මැද්දෙන් ඇවිදයන සුන්දර සංචාරයක් June..
මේ චිත්‍රපටය එහි අධ්‍යක්ෂ Ahammed Khabeer ගේ පළමු සිනමා නිර්මාණය විදිහට ඉතාම සාර්ථක එකක්. චිත්‍රපටය පුරාම රංගනයෙන් දායක වෙන බොහෝ දෙනා සිනමාවට ආවේණික අලුත් මුහුණු. ඒ අතරෙ මේ June Sarah Joy ගේ චරිතය රඟදක්වන Rajisha Vijayan ගේ රංගනය සුවිශේෂයි. ජීවිතේ අවධි තුනක් නිරූපණය කරන්නෙ ඇයමයි. එතනදි ඇය කිසිම විදිහක නවක බවක් නොපෙනෙන්න ඉතාම හොඳින් තමන්ගෙ කාර්‍ය කරල තියනව. සිනමාවෙ බොහෝ දුර ගමනක් යන්න පුලුවන් ලක්ෂණ ඈ දැන්ම පෙන්නුම් කරනව.
හොලිවුඩ්, බොලිවුඩ්, ඉරාන, ජපාන, ස්වීඩන ඇතුළු ලෝක සිනමාව දැකල පුරුදු ඇහැකට නම් මේ චිත්‍රපටය මහ ලොකු දෙයක් නොවෙන්න පුලුවන්. ඒක ඇත්ත. මේක ඇතුලෙ අපි එහෙම අමුතු කතාවක් දකින්නෙ නෑ. නමුත් කතාව පුරාම උතුරා යන තාරුණ්‍ය, ආදරය අපේ හදවත් උණුහුමකින් පුරවනව. පාසල් ප්‍රේමයක් තිබුණ කෙනෙකුට තමන්ගෙ අතීතය දිහා ආපහු හැරිල බැලුවකි. අතීතයක ඉඳන් පියවරෙන් පියවර ජීවිතේ මේ වෙනතුරු ගලා ආව හැටි මැදහත් සිතකින් ආයෙත් හිතල බැලුවකි. තමන් ළඟ ඉන්න ආදරණීයයෙකුගෙ අත පෙරටත් වඩා ආදරයකින් අල්ලාගත හැකි. අමුතු කතන්දර නැති සරල සුන්දර සිනමාවක අරුමය ඒක තමයි!