Friday, August 28, 2020

සයුර සහ රළ

අතින් අත අල්ලගෙන
කිසිම දවසක
නැවතුනේ නැතත් ළඟින්
එක මොහොතකට..
කිරි කවඩි මුතු පබළු අහුරක්
වෙරළ දෝතට
තබා යනවාමයි
සයුරු රළ...



Monday, August 24, 2020

වර්ණ

පාට බඳුනක් අරගෙන
ඉර ඇවිත් උදෑසන
හීන් කෙදි පින්සල අගින්
ලා නිල් පාට ගෑවම
කොයිතරම් ලස්සනද අහසට..
මිමිණුවා උඳුපියලි පතක්
තම සගයෙකුට..

හතර අත විහිදුණ
ඉපල් අතු ඉති වහගෙන
ලා කොළ පාට සළුව ඇන්දම
මොනතරම් හැඩද ගහකට...
ගැයුවා පියාඹන කුරුල්ලෙක්
ගීයක..

තනි සුදුපාට තැවරුණ
සිනිඳු පෙති වටකරගෙන
පිපී එනකොට
කොයිතරම් අපූරු ද
අරලියා මලකට...
කියුවා මීමැස්සෙක්
තවත් වන මලකට..

"ඒ වුණත් මිත්‍රයා
පාට කියන්නෙත් සිතුවිලි වලට..
අපහසුම වුණත්
අවර්ණව පැවතීමයි
වැඩියෙන් සැහැල්ලුම"
වැහිබින්දුවක් මුමුණ හඬ
මුහුවුණා සුළඟට..



Friday, August 21, 2020

අවසන් මගියාද බැසගිය පසුව.....

 බැස ගිය පසු අවසන් මගියා ද

ඉතිරි ඔබ මම පමණි බස් රථය තුළ..


මල් වැවූ ගෙඋයන් සහිත
මග දෙපස කුඩා නිවහන්
දුර ඈත වෙල් එළියක පෙනෙන
සිතිජයක බොඳ වූ දසුන්
ජනේලෙන් නරඹන ඔබ
දුටුවාද නොදනිමි
පිටුපස අසුනක උන් මම..

කලක් අප ළංළංව උන් සමයක
පිටුපස අසුනක එකිනෙකා තුරුළුව
ගමන් ගත් මේ ඒ බස් රථයම ද..
දෑස් යුග අඩැසි බැල්මෙන්
බලා හිඳ මා දෙස
මෘදුව මා උරය සිපගත්
මේ ඒ ඔබම ද?
ඔබේ සියුමැලි අතැඟිලි
සෙමෙන් පිරිමැද
ගීයක් සවන මිමිණූ
මේ ඒ මම ම ද?

බස් රථය යයි පෙරටම
හරිත පැහැ ඉම් පෙදෙස්
නගර ගම් දනව්
නොයෙක් බිම් තීරු
මංසන්ධි පසුකර..

ඔබේ අසුනෙහි පසෙක
තිබෙන හිස් ඉඩ දැක
කියාගත නොහැකි යමකින්
බරවෙයි සිත.



Thursday, August 13, 2020

හිතනවද ඔබ එහෙම...

අන්තිම හමුවීමේ
අවසන් වැළඳගැන්ම අවසානෙ
ඔබ වෙන්වී ගියාට පස්සෙ
ආයෙමත් කොතැනක
කොයි විදිහකට 
හමුවෙවියි හිතනවද..

මහ පාරක බස් රථයක
කොහේ හෝ උත්සවයක
හරිම සාමාන්‍ය විදිහට
හිතනවද ඔබ
අහම්බෙන් හමුවෙන්න 

නැත්නම්
නවකතාවක කවිපොතක
කතුවර නම තිබෙන තැන
ඔබේ නම දකින්න..

රේඩියෝවේ අන්තර්ජාලෙ
දිවා රෑ යලි යලි ඇහෙන
අලුත්ම ගීයක
ඔබේ හඬ අහන්න..

ඉරිදා පත්තරේ
අර වැඩකට නැති පුංචි අතිරේකෙ
මුල් පිටුවක
දකුණතින් ඔහු ද
වමතින් පුංචි පුතු ද ගෙන
"ආදර්ශමත් බිරිඳ" නාමයෙන්
ඔබේ රුව දකින්න..

හිතනවද ඔබ
ඒ විදිහට 
මාව පුදුම කරන්න..



Tuesday, August 11, 2020

වැහිදාක අවන්හල් දොර අසල...

මන්දාරමේ අහස අඳුරුව
වැසි වැටෙයි නොනැවතී පුරවරයට
ගොඩනැගිලි පිස හමන සුළඟේ
හීන් වැහි තුඩු අනියි පපුවට...

දිගැරි කළු කුඩයෙ හෙවණ යට
වීදි දිග ගලා එන මඩ වතුර පැන
චිරිස් ගා දිය ඉහෙන තැන් ද මග හැර
හනි හනික ඇවිද යමි නිවස වෙත..

පසුකරන කල අවන්හල් දොර
නෙත් හැරිණ පුරුදු ලෙස ඒ දෙස
බීර වීදුරුවක් සමග තනි වුණ
දුටුමි කවුළුවෙන් මිනිසෙක් ඇතුළත..

අඩක් හිස් වුණු බඳුන හැර
යම් පොතක් විය ඔහුගෙ අත
ඝන රාමු උපැස් යුවළ සකසමින්
දුටිමි මා ඔහු සැරිසරන පිටු අතර..

වරින් වර කවුළුවෙන් බැලී ඒ මිනිසා
පිටත ඇදහැලෙන වරුසාව දෙස
සිහින් දිලිසුමක් වීය ඔහුගේ
කල්පනා භරිත නෙතු මත..

සුළගක් හැමීය එවිට වේගෙන්
පවසමින් රුදුරු වන බව මහ වැස්ස..

මා තුළම වුන් මම
වාඩි වූ පසු ඔහු පසෙක අසුනක
පය තැබිමි සමඟින් අනෙක් මම
යන ලෙසින් නිවෙස වෙත
සීත හී තුඩුව ඇද හැලෙන
වැහි බිඳු අතර...



Monday, August 10, 2020

 තරු පොකුර


සිහින් එළි බිඳු බිඳු පෙරා දී වළාකුළු අතර
දුරින් උන්නද මුළු රැය පුරා අහසේම වැතිර
අතින් පිස දැමුව පසු මඟ කියු තරු පොකුර
ඉමක් නොපෙනෙන හිස් ඉඩකි වැලි කතර