වර්ෂ 1827 මාර්තු 26 වන දා, වයස 56 ක් වුණු ඔහු ඇඳේ වැතිරී සිටියා. අක්මාවේ හටගෙන තිබුණු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු සිටියේ ඉතාම අසාධ්‍යව. ජීවිතය ක්‍රමයෙන් ඔහු වෙතින් පලා යමින් තිබුණා. තමන්ගේ අවසාන මොහොත අත ලඟ බව ඔහුට දැනෙන්න ඇති. හිතවතුන් කීප දෙනෙක් ඒ අවස්ථාවෙදි ඔහු වටා වටවී සිටියා. හවස් යාමයෙදි අහස අඳුරු පැහැ වුණේ වැස්සක් අතලඟ බව කියමින්. එක්වරම අකුණක් පිපුරුණේ මහ හඬක් නංවමින්. ඔහු තමන්ගෙ දකුණු අත ඉතාම වැර වෑයමෙන් නමුත් ඉහළට එසෙව්වා. ඊළඟ මොහොතේ ඔහුගෙ අවසන් හුස්ම වාතලයට මුහුවුණා. ලුඩ්විග් වෑන් බිතෝවන්, බොහෝ දෙනා හඳුනන ආකරයට, බිතෝවන් නම් ඒ බටහිර සංගීතයේ යුග පුරුෂයා සදහටම දෙනෙත් පියාගත්තා.
බිතෝවන් ගේ මළගම වෙනුවෙන් මහ විසාල ජනගංගාවක් ඔස්ට්‍රියාවේ වියානා නුවරට එක් රැස් වුණා. නගරයේ වීදි මං මාවත් අතුරු සිදුරු නැතිව පිරී ගිහින්. දස දහසකට අධික ජනතාවක් බීතෝවන් ගේ මළගමට සහභාගි වෙන්න වියානාවට එක් රැස් වුණු බව ඉතිහාසයෙ සඳහන් වෙනව!
බිතෝවන් මේ තරම් විශාල ජනප්‍රියත්වයක් දිනාගන්න සමත් වෙන්නෙ කොහොමද? ඒ ප්‍රශ්නයට පිළිතුර සැඟවිලා තියෙන්නෙ ඔහු නිමැවූව සංගීත නිර්මාණයන් තුළමයි. බටහිර සංගීතයේ යුග බෙදීමට අනුව බීතෝවන් සම්භාව්‍ය යුගය (Classical age, 1730 - 1820, මෝට්සාට්, හයිඩ්න්, බාක්, ෂූබර්ට් වැනි අය අයිති වන යුගය) සහ අරුමැසි යුගය (Romantic age, 1800 - 1910, ෂොපෑන්, බ්‍රාහ්ම්ස් වැනි අය අයිති වන යුගය) යන මේ යුග දෙකටම අයිති වන සංගීතඥයෙක්. ඔහුගේ නිර්මාණයන් අරුමැසි යුගය බිහිවෙන්න විශාල දායකත්වයක් දැක්වූ බව හැඳින්වෙනව. බිතෝවන් ගේ 5 වන සංගීත සංධ්වනිය ලෝකයෙ වැඩිම වාරගණනක් වාදනය වූ සහ එදා මෙදාතුර බිහිවුණු විශිෂ්ටතම සංගීත සංධ්වනිය විදිහට පිළිගැනෙනව. ඔහුව සලකන්නේ බටහිර සංගීතයේ වඩාත් මිනිස් හැඟීම් වලට සමීප සහ විචිත්‍රවත් නිර්මාණ බිහි කල තැනැත්තා වශයෙන්. මිනිසෙකුට තමන්ගේ සහජ කුසලතාවන් කොයිතරම් අසාමාන්‍ය තලයකට දියුණු කල හැකිද කියා පෙන්විය හැකි උදාහරණයක් බිතෝවන්.
බිතෝවන් උපත ලබන්නෙ වර්ෂ 1770 දෙසැම්බර් 16 වෙනිදා ජර්මනියේ බොන් නගරයේ දි. බිතෝවන් ගේ සීයා බොන් නගරයේ සුප්‍රසිද්ධ සංගීතඥයෙක්. බිතෝවන් ගේ පියාත් සංගීතඥයෙක් නමුත් ඔහු වඩා ප්‍රසිද්ධ වුණේ බීමත්කමට. බිතෝවන්ට කැස්පාර් සහ ජොහාන් නමින් සහෝදරයන් දෙදෙනෙක් සිටියා. බිතෝවන්, මොසාට් මෙන්ම ලමා විස්මයක් බවට පත්කර ප්‍රසංග පවත්වා මුදල් ඉපැයීමට පියාට වුවමනා වුණා. නමුත් ඔහු හිතූ තරම් සාර්ථකත්වයක් බිතෝවන් ලබාගත්තේ නැහැ. මේ නිසා දැඩිව කෝපයට පත්වුණු පියා පුංචි බිතෝවන්ට නිතර පහර දුන්නා. කාමරයක සිරකර තබා පියානෝ වාදනය ඉගෙනීමට බල කලා. මේ නිසා බිතෝවන් ගේ ලමා විය සෑහෙන දුක්බරිත සහ පීඩාකාරී එකක් වුණා.
යුරෝපයේ සංස්කෘතික සහ සංගීත මූලස්ථානය වුණු ඔස්ට්‍රියාවේ වියානා නුවර නැවතී සංගීතය හදාරන්න ඉතාම ළාබාල වයසේ දී ම බිතෝවන් ට අවස්ථාවක් ලැබෙනව. මේ නිසා ඔහුගෙ දෙමව්පියන් ඔහුව පාසල් අද්‍යාපනයෙන් ඉවත් කර පූර්ණවශයෙන් සංගීතය ඉගෙනීමට යොමු කරනවා.
සංගීත විද්‍යාලයේ දි දවසක් හරි අපූරු දෙයක් සිදුවෙනව. ඉතා උනන්දුවෙන් සංගීතය හැදෑරූ කුඩා බීතෝවන් ගේ පියානෝ වාදනයක් එවකට යුරෝපයේ සංගීත විශිෂ්ටයා වුණු මෝට්සාර්ට් ට අහන්න ලැබෙනවා.
"හොඳට බලන්න මේ දරුවා දිහා. දවසක මුළු ලෝකයම ඔහු ගැන කතා කරාවි"
මෝ'ට්සාට් ඒ මොහොතේ පැවසූ බව සඳහන්!
මවගේ මරණය හේතුවෙන් බොන් නගරය එන බිතෝවන් නැවත වියානාවට පැමිණෙන්නේ මෝ'ට්සාට් ගේ මරණින් පසුව. ඒ මොහොතේ යුරෝපයේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා යන නාමය ලැබුවේ ජෝෂප් හයිඩ්න්. බීතෝවන්, හයිඩ්න් යටතේ තවදුරටත් සංගීතය හැදෑරීමට යොමුවෙනවා.
නිර්මාණකරුවෙක් විදිහට ඔහු තමන්ගේ මුල්ම ස්වතන්ත්‍ර පියානො වාදනය ඉදිරිපත් කරන්නෙ 1795 දී. එය ඉතාම ජනප්‍රියත්වයක් ලබනවා. ඒත් සමග බීතෝවන් වියානාවේ උසස් සමාජයේ ගෞරවාදරය ලබාගැනීමට සමත්වෙනවා. 1800 දි වියානා නුවර රාජකීය රඟහලේදී තමන්ගේ මුල්ම සංධ්වනිය ඉදිරිපත් කරන බිතෝවන් ගේ ජනප්‍රියත්වය යුරෝප පුරා පැතිරීයනවා. විශිෂ්ටත්වය කරා ක්‍රමිකව ලංවෙන ඔහු මෝ'ට්සාට්, හයිඩ්න් වැනි අයගෙන් පසු ඒ තත්ත්වයට පැමිණිය හැකි අයෙකු විදිහට හඳුනාගැනෙනවා.
මිනිසුන් ආශ්‍රයේදි බිතෝවන් දැක්වූයෙ ඉතාම සීමාකාරී බවක්. සමාජ ආශ්‍රය ඔහු ප්‍රිය කලේ නෑ. ඔහු නිතරම මිනිසුන් සමග කලහයන් ඇති කර ගත්තා. ඉක්මනින්ම කෝපගැන්වී පහරදීමට පවා පෙළඹුනා. නිතර සිහිමඳ ගතියෙන් පෙලුණා. සංගීත නිර්මාණයන් කොයිතරම් අලංකාර වුණත් ඔහුගෙ ජීවිතයේ ඒ සුන්දරත්වය නම් අහලක වත් තිබුණේ නෑ.
කොහොම නමුත් බිතෝවන් ට සිදුවුණු විශාලතම ඛේදවාචකය ඔහුගේ ශ්‍රවණ හැකියාව ක්‍රමයෙන් නැතිවී යාම.
"මම පාපොච්චාරණය කල යුතුයි ඔබට. මම ගෙවන්නෙ ඉතාම දුක්බර ජීවිතයක්. මම ප්‍රසිද්ධ සමාජයට පැමිණීම ප්‍රතික්ෂේප කර දැන් දෙවසරක් පමණ වෙනවා. මම කොහොමද ඔවුන්ට කියන්නෙ මම බිහිරෙක් බව? මම වෙනත් වෘත්තියක නියැලුනා නම් මෙය ලොකු ගැටලුවක් නොවෙන්න තිබුණා. ඒත් සංගීතඥයෙක් විදිහට බිහිරි භාවයට පත්වීම මට මහ විශාල වේදනාවක්"
ඒ බීතෝවන් තමන්ගෙ හිතවතෙකුට ලියා යැවූ ලිපියකින් කොටසක්. බිහිරි භාවය අභියෝගයක් කරගන්නා බිතෝවන් එයින් නොසැලී මහත් වීර්‍යයකින් නොකඩවා තමන්ගෙ නිර්මාණ කටයුතුවල යෙදෙනවා. සංගීතය කොයිතරම් ඔහුගේ ආත්මයටම කාවැදි තිබුණාද කියන්න මේ සිදුවීම හොඳ උදාහරණයක්. බිතෝවන් ගේ නිර්මාණ ජීවිතයේ හොඳම කෘතීන් බිහිකරන්නෙ ශ්‍රවණ ශක්තිය අහිමි වූවාට පසුවයි ! ඔහුගෙ සංගීත කුසලතාවයෙ තිබෙන අසාමාන්‍ය විස්මයජනක බව පැහැදිලි කරන්න මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ.
1994 අවුරුද්දේ Immortal Beloved චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ බීතෝවන් ගේ චරිතය මුල් කරගනිමින්. ඒත් මුල මැද අග පිළිවෙලින් ඔහුගේ ජීවිත කතාව කියන ආකාරයට නොවෙයි.
බිතෝවන් තනිකඩ ජීවිතයක් ගත කල කෙනෙක්, ඔහු කවදාකවත් විවාහ වුණේ නෑ. මරණින් පසුව ඔහුගේ දේපළ, මුදල් සහ නිර්මාණ වල අයිතිය හිමිවියයුතු කාටදැයි ගැටලුවක් ඇතිවෙනවා. අවසාන ඉල්ලීම වශයෙන් තමන් සතු සියලු දේ ඔහු Immortal Beloved නමින් ආමන්ත්‍රණය කරන යම් ගැහැනියකට පවරා තිබෙනව. බීතෝවන් ගේ පෞද්ගලික ලේකම්වරයා වුණු Shindler, 1812 අවුරුද්දේ දි බිතෝවන් Immortal Beloved නමින් ඔහු ආමන්ත්‍රණය කරන තරුණියකට යැවූ ලිපි තුනක් සොයාගන්නව (මේ immortal beloved ලිපියේ කතාව සැබෑවක්. ඔහු රහසින් පෙම් කල තරුණියක් ඒ නමින් හඳුන්වා තිබෙනවා) Shindler ට මේ Immortal Beloved හෙවත් බිතෝවන් ගේ සදාතනික ප්‍රේමවන්තිය කවුදැයි හඳුනාගන්න ඊටවඩා හෝඩුවාවක් ලැබෙන්නෙ නෑ. ඔහු බීතෝවන් සමීපව ආශ්‍රය කල සහ ඔහුගේ පෙම්බරිය විය හැකි බවට සැක කරන ගැහැනුන් තිදෙනෙක් සොයා යුරෝපය පුරා සැරිසරනව. පළමුව ඔහුගේ සුප්‍රසිද්ධ Moonlight Sonata ව කැප කළ ගියුලීඩා ගියුචියාඩි සිටුවරිය. දෙවනුව, එම්පයර් කොන්සර්ටෝව ඉදිරිපත් කරමින් සිටින මොහෙතේ ඔහුගේ බිහිරි බව මුලින්ම ලොවට අනාවරණය වුනු විට ඔහුව වේදිකාවෙන් බිමට කැඳවාගෙන යෑමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ තරුණිය ඇනා මරියා සහ තෙවනුව තම සොහොයුරා කැස්පාර් ගේ බිරිඳ වශයෙන්. ඔහු සමග රහස් පෙම් දමකින් බැඳී සිටියේ, ඔහුගේ සදාතනික ප්‍රේමය බවට පත්වුණේ මේ තුන් දෙනාගෙන් කවුරුන් ද? බිතෝවන් ගේ හිතවතියන් විස්තර කරන ඔහුගේ චරිත ස්වභාවයෙන් ආශ්‍රයෙන් ඔහුගේ චරිතය අපි ඉදිරියේ මැවෙනව. ආදරය නොහඳුනන, දඩබ්බර කලහකාරී මිනිසෙකුගෙ ප්‍රේමයේ උරුමය සොයන ශින්ඩ්ලර් සමග අපිත් ඒකාත්මික වෙනව.
Gary Oldman නම්, හොලිවුඩයේ ඒ අතිවිශිෂ්ට චරිතාංග නලුවා තමන්ම බිතෝවන් බවට පත්වෙමින් ඉතාම ඉහළින් ඒ චරිතය නිරූපණය කරනවා. චිත්‍රපටයෙ ඇතුළත් බිතෝවන් ගේ පියානෝ වාදනයන් සැබැවින්ම Gary Oldman විසින් වාදනය කර ඇති බවයි කියවෙන්නෙ. ඒ චරිතය වෙනුවෙන් පමණක් ඔහු පුරා සති හයක් නොනැවතී දවසකට පැය හය බැගින් පියානෝව පුහුණුවී තිබෙනවා! ඒ අතිවිශාල කැපකිරීමේ ප්‍රතිඵල කොයිතරම් සාර්ථකද යන කාරණය චිත්‍රපටය නැරඹීමේදි ඔබට වටහාගත හැකියි.
සමාජය දකින බීතෝවන් ගේ නුරුස්නා ගුණාංගයන් පෙන්වාදීමෙන් ආරම්භවන චිත්‍රපටය අවසන් වෙන්නෙ ඔහු ඒ තත්ත්වයට පත්වුණේ ඇයි යන කාරණය පැහැදිලි කරමින් ඉතාම හද සංවේදීකරන ආකාරයෙන්. හුදෙකලා මිනිසෙකුගෙ අහිමි ප්‍රේමයේ සදාතනික ශෝකය ඉතිරි කරමින්.
චිත්‍රපටයෙ බීතෝවන් සහ ඔහුගේ ලේකම්වරයා අතරෙ සිදුවෙන දෙබසක් සංගීතය පමණක් නොව සමස්ත කලාව තුළම නිර්මාණයන් බිහිවීමේ පදනම පැහැදිලි කර දෙනව.
...
- සංගීතය කියන්නෙ මහ එපාකරපු දෙයක්. ඇත්තටම ඒ මොකක්ද ? මට තේරුම්ගන්න බැහැ. මොකක්ද සංගීතයෙන් කරන්නෙ ඇත්තට?
- මම හිතන්නෙ, සංගීතයෙන් කරන්නෙ අපේ හදවත් සතුටින් පුරවන එක
- මල විකාර! ඔයාට පාගමනෙ යන හමුදා කණ්ඩායමක සංගීතය ඇහුනම ඒකෙන් ඔයාගෙ හදවත සතුටින් පිරෙනව ද? නෑ.. ඔයා ඒ රිද්මට අනුව පාද තියන්න ඕන කියල දැනගන්නව. වෝල්ට්ස් සංගීතය ඇහුණම ඔයා මොකක්ද කරන්නෙ.. ඔයා ඒ තාලයට නටනව. පල්ලියෙ ගීතිකා ඇහෙනකොට මොකක්ද වෙන්නෙ? ඔයා දිව්‍යපූජාවට සූදානම් වෙනව. ඒ තමා සංගීතයේ බලවත්කම. කෙනෙකුගෙ මානසිකත්වය සංගීත නිර්මාණකරුවන්ට ඕනැ විදිහට මෙහෙයවන්න පුලුවන් වීම. සංගීතට සවන්දෙන කෙනෙකුට වෙන විකල්පයක් නෑ. ඒක හරියට මෝහනය කරගැනීමක් වගේ. දැන්..මොකක්ද තිබුණෙ මගෙ මනසෙ මම මේ සංගීතය ලියනකොට? එක මනුස්සයෙක් ඉන්නව ඔහු තමන්ගෙ ප්‍රේමවන්‍තිය හමුවෙන්න යමින් ඉන්නව. ඒත් මහ වැස්සෙ ඔහුගෙ අශ්ව රථය බිඳිල, රෝද ගොහොරු මඩේ එරිල, ඇය ඔහු එනතුරු මග බලා ඉන්නව. ඒත් ඔහුට යන්න විදිහක් නෑ ඇය හමුවෙන්න. මේ ඇහෙන සංගීතය. ඒ තමා ඔහුගෙ ආවේගයේ ප්‍රකාශනය. මෙහෙම තමා සංගීතයට අනුව ඔහුගෙ හදවතේ මතුවෙන හැඟීම් ප්‍රතිනිර්මාණය කරන්නෙ. ඔයාට හුරුපුරුදු විදිහට නොවෙයි. ඔයා හිතන ආකාරයට නොවෙයි. ඒත් මෙන්න මෙහෙමයි සංගීතයෙන් දේවල් කියන්නෙ....
Joseph Karl Stieler විසින් 1820 වසරේ නිමවන ලද බීතෝවන් ගේ සිතුවම
බිතෝවන් ගේ මළගම සිත්තර ඇසින්
Garry Oldman බීතෝවන් චරිතය නිරූපණය කරමින්..
+++ thanks. balanna one.
ReplyDelete