Friday, October 30, 2020

Dead man walking (1995) - ආගම, ආධ්‍යාත්මය, සදාචාරය

 "ආගම" සහ "ආධ්‍යාත්මිකත්වය" බැලූ බැල්මට බොහොම එක සමානව පෙනුණත් මේ දෙක වෙනස් කාරණා දෙකක්. ආගම, මූලික වශයෙන්, සමූහයක් විසින් අනුගමනය කරන, පොදු ඇදහිලි, විශ්වාසයන්, සිරිත් විරිත්, පුද පූජා සහ ඒ සමග බැඳුණු සංස්කෘතිකාංග එක් රැස් කරගත් ආයතනික ස්වභාවයකින් ක්‍රියාකාරී වෙන යමක්. ආගමක ප්‍රධානම ලක්ෂණය, මිනිස් ස්වභාවයෙන් ඉහළට නැඟුණු, සහ සියලු දේ ගැන අධිපතිත්වය දරන යම් අදෘශ්‍යමාන බලවේගෙයක් පිළිබඳ විශ්වාස තැබීම සහ ප්‍රශ්න කිරීමකින් තොරව එය ඇදහීම. මේ තමා ආගමකට ඇතුළත් වෙන්න තියන මූලිකම කොන්දේසිය. මේ තනි තනි සහ විසිරුණු අදහන්නන් එකට එකතු කර ගැනීමෙන් සමූහයක් විදිහට වඩා බලවත්ව සහ එකිනෙකා අතර සහයෝගිතාවයකින් පවතින්න පුලුවන් කම ලැබෙනව. ඇදහීම, විශ්වාසය "ආගම" නම් ආයතනයක් බවට පත් වෙන්නෙ එහෙම. ආදි කල්පිත විශ්වාසයන් මත පදනම් ව, යම් පුරෝගාමී ශාස්තෲවරයෙක් විසින් දේශනා කරන ලද, ධර්මය, ලෝකය, මිනිස් පැවැත්ම පිළිබඳ අදහස්, පුද පූජා ක්‍රම පවත්වාගෙන ඒම සහ ප්‍රචාරණය කිරීමෙන් "සාමූහික බලය" ආරක්ෂා කරගැනීම "ආගම" නම් ආයතනයෙ මූලික කාර්‍යය වෙන්නෙ. ඒ නිසා ආගම සමාජීය සහ සම්මුතික, පොදු එකඟතාවයන් මත ගොඩනැගුණු යමක් විදිහට හඳුන්වන්න පුලුවන්.


"ආධ්‍යාත්මිකත්වය" ගැන කාලෙන් කාලෙට විවිධාකාර අදහස් පළවුණත්, ඒ ගැන නිශ්චිත අර්ථකථනයක් තවම නැහැ. අපේම අත්දැකීම සහ යම් කියවීමකින් අපිට ඒ ගැන සංසන්දනාත්මකව යම් අදහසක් ගන්න පුලුවන්. "ආගම" සමාජ කාරණාවක් වුණත් "ආධ්‍යාත්මය" පුද්ගලබද්ධයි. මේ මොහොතේ සැබෑ ජීවන අත්දැකීමට නිරාවරණය වීම සහ වඩා උත්තරීතර මනුශ්‍යභාවය ගැන සංවේදීතාව ආධ්‍යාත්මිකත්වයයි කියන්න පුලුවන්. "ආගම" සිරිත් විරිත් සහ සංකෘතීන් පිලිපැදීමට මුල්තැන දෙද්දි "ආධ්‍යාත්මිකත්වය" තමන්ගේම සිතුවිලි ගැන අවබෝධයත්, චර්‍යාවන් ආස්‍රයෙන් මනස ක්‍රියාත්මක වෙන ආකාරයත් ගැන සොයාබලන්නත් අවධානය දෙනව. ඒ වුණත් ආධ්‍යාත්මිකත්වය ට නිශ්චිත ප්‍රතිපදාවක් නෑ. ආගම ඇතුලෙ දි ස්වර්ගය, නිවන වගේ අවසාන නිශ්ටාවක් පොරොන්දු වෙන්නෙ නෑ. "ප්‍රඥාවන්තයෙකුගෙ අඩිපාරෙ ගමන් කලාට ප්‍රඥාවන්තයෙක් වෙන්න බෑ" මත්සුවෝ බැෂෝ ගෙ මේ කියමනේ සඳහන් වෙන ආකාරයට එය තමන්විසින් තමන්ගෙම  චින්තනය මෙහෙයවා පහදවාගත යුතු මානසික මට්ටමක් මිස අන්‍ යමක් නොවෙයි. 

ආගම තුළම කෙනෙකුට එහි උගන්වන වටිනාකම් අනුගමනය කරමින් ආධ්‍යාත්මික ජිවිතයක් ගත කරන්න බැරිද? නැත්නම් ආගමෙන් තොරව කෙනෙකුට ආධ්‍යාත්මිකව පවතින්න පුලුවන් ද යන කාරණය සෑහෙන විවාදාපන්නයි. ආගමෙන් තොරව නමුත් කෙනෙකුට වඩා අර්ථවත් ජීවිත පැවැත්මක් වෙනුවෙන් ශ්‍රාස්තෲවරුන්ගෙ ඉගැන්වීම් වලින් ආලෝකයක් ලබන්න් පුලුවන්ද, නැත්නම් ආගමෙන් තොර වුණු බව කියන කෙනෙක් හොඳ නරක ගැන සාදාචාරාත්මක තීරණයකට එන මොහොතෙ ඔහුට නොදැනි හොඳ නරක පිළිබඳ ආගමික ඉගැන්වීම් ඔහුට බලපෑමක් කරනවද කියන කාරණා අපිට පෙරළා ප්‍රශ්න කරන්න පුලුවන්.

Dead man walking (1995), ආගම, ආධ්‍යාත්මිකත්වය සහ සදාචාරයත් මේ අතර ඇතිවෙන සංවාද, විසංවාදයනුත් පෙන්වාදෙන ඉතාම සංවේදී සිනමාපටයක්. මරණ දඬුවමට නියම වුණු සිරකරුවන්ට ආධ්‍යාත්මික මඟ පෙන්වන්නියක් සහ මරණීය දණ්ඩයට එරෙහි සමාජ ක්‍රියාකාරිනියක් වුණු හෙලන් ප්‍රිජන් නම් ඇමරිකානු ජාතික කන්‍යාසොයුරියකගෙ සැබෑ ජීවිත අත්දැකීම් ආශ්‍රයෙන් ලියැවුණු Dead man walking කෘතිය පදනම් කරගෙනයි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. (සිරකරුවෙක් මරණ දඬුවම ලබාදෙන්න ගෙන යද්දි බන්ධනාගාර නිලධාරීන් "Dead man walking" කියමින් අපහාසාත්මකව හඬ නගනව. මේක ඔවුන් අතර පවතින සිරිතක්)

මැතිව් පොන්සිලොට්, තරුණයෙක් වෙඩි තබා ඝාතනය කිරීමටත්, ඔහුගෙ පෙම්වතිය දූෂණය කර මරා දැමීමටත් වරදකරු වී මරණ දණ්ඩනය නියමවූවෙක්. මැතිව් ලිපියක් මාර්ගයෙන් තමා වරදක් නොකල බව කියමින් මරණ දඬුවමෙන් බේරාගන්නැයි හෙලන් ප්‍රිජන් කන්‍යා සොයුරිය ගෙන් ඉල්ලා සිටිනව. ලිපියට ප්‍රතිචාරයක් ලෙස මැතිව් හමුවන හෙලන් සොයුරිය තමන් හඳුනන තීඥයෙකු ගෙ මාර්ගයෙන් ඔහුට උදව් කරන බවට පොරොන්දු වෙනව. ඉක්මණින්ම ඇය වටහ ගන්නව මැතිව් ඉතාම නොහික්මුණු ගති ඇති, ප්‍රියතාවයක් ඇති නොකරන, කලහකාරී මනුශ්‍යයෙක් බව. අනෙක් අතින් ප්‍රිජන් සොයුරිය මරා දැමුණු යුවල ගෙ දෙමව්පියන්ගේ වෛරයට ලක්වෙනව. ඇය දෙවියන් පවා පිලිකුල් කරන, මිනිසෙකුට වඩා යක්ෂයාට සමීප වුණු කෙනෙක් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඇය ආගමටත් නිග්‍රහයක් බවත් ඔවුන් කියනව. හෙලන් ඔවුන්ට අනුකම්පා කරනව. ඔවුන් සිටින තත්ත්ව ඇය තේරුම් ගන්නව. නමුත් මැතිව් වෙනුවෙන් සටන ඇය දිගටම ගෙන යනව.

පල්ලියෙන් ඇයට අවවාද කරන්නෙ මැතිව් කිතුණු දහමට අනුගත කරගෙන සිත් හැරුණු යහපත් කිතුණුවෙක් විදිහට මරණයට මුහුණ දෙන්න ඔහුව සූදානම් කරන්නැයි කියමින්. එහෙත් ඇය ඔහුව ආගමික මිනිසෙක් බවට පත්කරනවා වෙනුවට ඔහුගේ නොහික්මුණු ගති ස්වභාවයන් ඔහුටම තේරුම් ගන්න ඉඩ හරිනවා. තමන් වරදක් කර තිබෙයි නම් නොබියව එය පිළිගන්න ඔහුගෙ මනස සූදානම් කරනව. ඇය ඔහුට කාරුණික වෙනව, සැබෑම ආදරයෙ ප්‍රතිරූපය තමන් තුළින්ම ඇය ඔහුට පෙන්වා දෙනව. ඒ තමයි හෙලන් සොයුරිය ගෙන් ඔහුට ලැබෙන ආධ්‍යාත්මික මඟ පෙන්වීම. 

හෙලන් ප්‍රිජන් කන්‍යා සොයුරිය ගේ චරිතය Susan Sarandon සහ මැතිව් පොන්සිලොට් ගේ චරිතය Sean Penn විසිනුත් රඟ දක්වනවා. Susan එම රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබනව. Sean penn සම්මානයට නිර්දේශ වෙනව. ඔවුන්ගෙ රඟපෑම්, මුහුණෙන් පලවන ඉතා සියුම් භාවයන් ඒ රඟපෑමක් දැයි සිතාගත නොහැකි තරම්. මරණයට දින පැය නියම වුණු මිනිසෙක් ගෙ මුහුණ අපිට දකින්න ලැබෙන්නෙ කොයි ආකාරයෙන්ද ? සමාජ සම්මතයන් නොතකා, ජේසුස් වහන්සේගේ ජීවිත ආදර්ශය අනුගමනය කරමින්, මිනිසුන් අතර ඉතාම පහත් කරනු ලැබූ මිනිසෙකුටත් එක සමානව ආදරය කරන ගැහැණියකගෙ දෑස කොයිතරම් දයාබරිත ද? Sean සහ Susan තමන්ම ඒ චරිත බවට පත්වෙමින් චිත්‍රපටය තුල ජීවමාන වෙන බව කිව්වොත් වඩා නිවැරැදියි. Dead man walking පිටපත ලියා අද්‍යක්ෂණය කරන්නෙ සුප්‍රසිද්ධ හොලිවුඩ් නළු Tim Robbins (Shawshank Redemption, Jacobs Ladder, Mystic River) Robbins නලුකමට පමණක් නොවෙයි අධ්‍යක්ෂණයටත් එකසේ දක්ෂයෙක් බව මේ චිත්‍රපටය ඔප්පු කර පෙන්වනවා. Roger Deakins ගෙ Cinematography කරණයත් චිත්‍රපටයට තවත් ආලෝකයක් අරගෙන එනවා.

Dead man walking චිත්‍රපටයෙ සංගීතය සෑහෙන සුවිශේෂී එකක්. චිත්‍රපටයෙ පසුබිම් සංගීතය විදිහට බොහෝතැන් වල අපිට ඇහෙන්නෙ ඉන්දියානු සම්භාව්‍ය සංගීතයක්. නුසරත් ෆටේ අලි ඛාන් සහ රාහත් ෆටේ අලි ඛාන් යන පිය පුතු දෙපළ ගේ අසමසම ආලප් ගායනාවන් චිත්‍රපටයේ ඒ සිදුවීම් වල ශෝඛ රසය තවත් තීව්‍ර කරන්න සමත් වෙනව. Pearl Jam සුප්‍රසිද්ධ රොක් සංගීත කණ්ඩායමේ ගායක Eddie Vedder ගේ ගීයකුත් ඉන්දියානු සංගීතය සමග මුසුව චිත්‍රපටයට ඇතුළත් වෙනව. ඉන්දියානු කව්වාලි නාදයත් ඇමරිකානු ග්‍රන්ජ් රොක් හඬත් එකට හමු වෙන දුර්ලභ අවස්ථාවක් විදිහට Dead man walking හඳුන්වාදෙන්න පුලුවන්.

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙ තියන සාදාචාරාත්මක බව චිත්‍රපටයෙන් ප්‍රශ්න කරනව. වරදක් කිරීම දඬුවමට හේතුවෙන බව නොදන්නා කෙනෙක් නෑ. කෙනෙක් යම් වරද කරන්නෙ මොහොතක අතපසු වීමකින්,  නැත්නම් හදිස්සි ආවේගයෙන් ඒ සුලු මොහොතක් වෙනුවෙන් මිනිසෙකුට ජීවිතය අහිමි කරවීම කොයිතරම් සාධාරණ ද? අනෙක් කාරණාව ඇමරිකාවේ බොහෝ වෙලාවට මරණ දඬුවම ලබන්නෙ හොඳ නීතිඥවරයෙකුගෙ සේවය ලබාගන්න තරම් මුදල් නැති දුප්පතුන් සහ කලු ජාතිකයින්. සමාජයෙ අඳුරු සහ පහත් ස්ථරය විදිහට මේ අය අනන්තවත් අසාධාරණ‍යට ලක්වෙනව. (මෑතක George Floyd සිදුවීම) මේ අය වෙනුවෙන් පෙනී ඉන්නෙ කවුද? දඬුවම් ලබන්නෙ නීතියෙ සහයක් නැති අහිංසකයෙක් නම් (උදාහරණ Just Mercy චිත්‍රපටයේ සිදුවීම ) ඒ පාපය ආපසු හරවන්නෙ කොහොමද? දතට දත ඇසට ඇස, බයිබලයේ පුරාණ ගිවිසුමේ මෝසෙස් ගේ නීතිය වෙනුවට සමාව දීම සහ සිත් හැරීම මුල් කරගත්ත නව ගිවිසුමේ ජේසුස් වහන්සේගේ ඉගැන්වීම වෙනුවෙන් හෙලන් ෆ්‍රීජන් සොයුරිය මරණ දඬුවමට එරෙහිවෙන්නෙ  ඒ නිසා.

චිත්‍රපටයෙ අවසානය ඉතාම හද කම්පා කරවන සුලු එකක්. බොහො වෙලාවට කෙනෙකුට Green Mile චිත්‍රපටය මතක් වීම වලක්වන්න බැරි වේවි. සංස්ථාපිත ආගම නියෝජනය කරන සහ එහි වටිනාකම් වඩාත් මානුෂික ආකාරයෙන් ක්‍රියාත්මක කරන හෙලන් කන්‍යාසොයුරියට ආගම ගැන හැඟීමක් නැති මිනිසෙකුට ආවෙගයෙන් තොරව නිදහස් සහ විවෘත මනසකින්, ආදරය ලැබුවෙකුගෙ තෘප්තිමත් බවින් මරණයට මුහුණ දෙන්න සූදානම් කල හැකිද. නමක් දෙන්න බැරි, රොමාන්තික බවක් හෝ අනුරාගික බවක් ගෑවී නැති, ඔවුන්ගෙ මානුෂික බැඳීම අපිට කියා දෙන දේවල් කොයිතරම් ද.



1 comment: