ෆේස්බුක් එකවුන්ට් එකක් පටන් ගන්න එක ඉතාම ඓතිහාසික සිදුවීමක් වේවි කියල කවදාකවත් හිතුවද? සාමුහික මිනිස් පැවැත්මක ඉළඟ පියවර තීරණය කරන අතිශ්‍ය වැදගත් මොහොතකට තමන් දායක වෙන්න යනව වගේ හැඟීමක් ෆේස්බුක් එකවුන්ට් එකක් හදාගන්න කිසි කෙනෙකුට කවදාකවත් තියෙන්න නැතුව ඇති. අනෙක් අතට අපි දේවල් කරන්නෙ ඉතිහාසය සටහන් කරන අරමුණෙන් නොවෙයි නෙ. අපි කරන්නෙ ඒ මොහොතෙ ජීවිතේ ගත කරන එක පමණයි. ඒත් ආපහු අපි පහුකරන් ආව අතීත සිදුවීම් දිහා හැරිල බැලුවම එදිනෙදා දෛනිකත්වය ඇතුලෙ අපේ වර්තමාන මේ මොහොත හැඩගස්වන තීරණාත්මක දේවල් තිබුණ නේද කියල හඳුනගන්න පුලුවන්. සමාජ මාධය සහ ඒක අපේ ජීවිතය ඇතුලෙ ස්ථානගත කරන්නෙ කොයි වගේ තැනකද කියල හිතල බැලුවොත් මේ බලපෑම ගැන අදහසක් ගන්න පුලුවන්.
කෞශල්‍ය කුමාරසිංහගේ "නිම්නාගේ ඉතිහාසය" නවකතාව ආරම්භ වෙන්නෙ, මේ කතාවේ කතා නායිකාව, "නිම්නා ද සිල්වා", කිරුළපන ප්‍රදේශයේ වාසය කරන අවුරුදු විසිපහක් වයස ඒ තරුණිය ගේ ෆේස්බුක් ගිණුම හිටිහැටියේ අතුරුදහන් වීමෙන්. මේ අතුරුදහන් වීමත් එක්ක නිම්නාගේ කතාව අපිට කියන කෞශල්‍යය කුමාරසිංහ, තමන්ගේ නමින්ම තමන් හඳුන්වා දෙමින්, නිම්නා සමග තමන්ගේ සම්බන්ධතාව පැහැදිලි කරමින් ඇය ගැන මූලික කරුණු කීපයක් අපි ඉදිරියට ගේනව. නවකතාවෙ තව ඉදිරියට වඩා විස්තරාත්මකව අපිට දැනගන්න ලැබෙන කාරණා කීපයක් ගැන මූලික දැනීමක් ඒ හඳුන්වාදීමේ ඇතුලත් වෙලා තියනව. ඉන්පස්සෙ මේ කතාව කියන කථකයා තමන් ගේ ස්වභාවයෙන් මිදිල අතීතය වර්තමානය සියලු දේ දකින, සහ මිනිස් සිතුවිලි බලට එබී බලන සර්වවේදීත්වයක් ලබාගනිමින්, නිම්නාගේ උපතේ පටන්, වරින් වර ඇගේ දෙමව්පියන්, මුතුන්මිත්තන්ගේ ජීවිතවලට දෑස් යොමුකරමින්, ඒ අතීත සිදුවීම් වර්තමානයෙ කැන්වස් තලය මත යලි චිත්‍රනය කරමින්, වයස විසිපහ වන තුරු නිම්නාගේ කතාව අපිට කියනව. "නිම්නාගේ ඉතිහාසය" ආඛ්‍යානමය වශයෙන් ගොඩනැගෙන්නෙ එහෙම.
කේන්ද්‍රීය වශයෙන් ගැහැනු ලමයෙක් වටා ගෙතුණු කතාවක් නිසා, "නිම්නාගෙ ඉතිහාසය" කියන්නෙ ස්ත්‍රීත්වය ආත්මය කරගත්ත කතාවක් කිව්වොත් වරදක් නැහැ. නිම්නාට අමතරව, මිලි නෝනා, චාලට්, ඇග්නස්, රමණී, විශ්මි, තාරා මේ කතාවෙ මුණගැහෙන අනෙක් ගැහැනු චරිත. ගැහැනිය දේශපාලනික නැහැ. ඇය අනුරාගිකයි, ඇයගෙ සිතුම් පැතුම්, ක්‍රියාවන් මූලිකවම පදනම් වෙන්නෙ ආදරය, විශ්වාසය, සුරක්ෂිතබව වගේ හැඟීම් මුල් කරගෙන. කාලයත් එක්ක වෙනස් වෙන සමාජ, දේශපාලනික, ආර්ථික ගතිකයන් ඇයට කරන බලපෑම කොයිවගේද කියන කාරණය මේ කතාවෙ සියුම් ව විවරණය වෙනව. ගෙදරට හොරෙන් ලියුම් ලියමින් ආදරය හුවමාරු කරගත් කාලයෙ පටන්, පෙම්වතා සමග විහාරමහාදේවි උද්‍යානයේ, ගාලුපාරේ ඇවිද යන, බැරිස්ටාවේ මුණහැහී කතාබහ කරන කාලය දක්වාම ප්‍රේම සබඳතා ඒ ඒ යුගයට අනුව හැඩගැන්වුණ ආකාරය, පිරිමියාට වඩා විචිත්‍ර විසිරුණු ඇගේ ලිංගික නම්‍යතාවන් දැඩි සංස්කෘතික විනය, වික්ටෝරියානු සදාචාරවාදී ක්‍රමය ඇතුලෙ විකසිත වන ආකාරය මේ නවකතාවෙ ඇතුළත්වෙලා තියනව. ඇය නම් වූ මේ අපූරු අරුමැසි දේශයේ භූ විශමතා කලාප ඇතුලෙ රස්තියාදු වීම මට නම් හරි අපූරු අත්දැකීමක් වුණා.
නිම්නා නියෝජනය කරන්නෙ නාගරික මද්‍යම පන්තික සමාජිය පැවැත්ම. ගෙදරට චීත්ත ගවුමක් එක්ක කොණ්ඩය කරල් දෙකට පීරල හැඩවෙන ඇය තවත් වෙලාවක කොෆීබීන් අවන්හලේ කැපුචිනෝ පානය කරන හැටිත්, මිනි ස්කර්ට් ඇඳල හයි හීල්ස් දාල රාත්‍රී සමාජ ශාලා වල ටිකිලා සමග වොඩ්කා බොමින් දුම්පානය කරමින් ඩී ජේ සංගීතයට නර්තනයේ යෙදෙන හැටිත් අපිට දකින්න පුලුවන්. ඇය උපදින්නෙත් ඉතිහාසගත දවසක. ඒ බර්ලින් තාප්පය බිඳ වැටුණු දවසෙ. යුරෝපයේත්, ලොව පුරාමත් පැතිරීගිය සමාජවාදී ෆැන්ටසික සිහින බිඳවැටීමත් නිදහස් වෙළඳපොල මුල් කරගත් ලිබරල් ධනේශ්වර ක්‍රමය ක්‍රමයෙන් ලොව පුරා පැතිරී යෑමත් මේ සිදුවීමෙන් නිරූපිත බව "නිම්නාගෙ ඉතිහාසය" ක්‍රමයට කියනව නම් "ඔබට ඕනෑ නම් කියන්න පුලුවන්" (මේ යෙදුම නවකතාව පුරා බහුලව දකින්න ලැබෙනව). නිම්නා ලිබරල් ධනවාදයේ දරුවෙක්. ඈ උපදින්නෙ සමාජවාදයෙ (අමර - නිම්නාගෙ තාත්තා) මරණයත් එක්ක. ඇගෙ රැකියාව අලෙවිකරණය. ඇගේ ජීවිත පැවැත්ම වඩා නිදහස්කාමියි. ඇය ආසක්ත වෙන්නෙ ගතානුගතික සහ ජාතිවාදි පණ්ඩුකට නොවෙයි, (නමුත් ඔහු ඇයගෙ මිතුරෙක්) ඇය ආසක්ත වෙන්නෙ බොහිමියානු අරවින්දට. ඇත්තටම ඇය ඉන්නෙ සතුටින් ද? තමන්ගෙම ජිවිත පැවැත්ම ගැන මහ හිස් හැඟීමක් ඇගේ හිත පුරා පැතිරී තිබුණ බව අපි කියවන්නෙ නැද්ද ? ඇත්තටම මේ ජීවිත රටාව ගැන ඒ විදිහට හිතන්නෙ නිම්නා පමණද?
"නිම්නාගේ ඉතිහාසය" යුගයන් කීපයන් නිරූපණය කරන නවකතාවක්. මුල මැද අග පිළිවෙලින් නොවුණත්, කතුවරයා වරින් වර උපතේ පටන් ඇගේ ජීවන කාල රේඛාව ඇතුලේ මේ අතීතයට එබිකම් කරනවා. යටත් විජිත සමයේ පටන් ක්‍රමික සමාජ විකසනය, හැත්තෑව අසූව යුගයේ වාමාංශික අරගල සහ දෙදාස් නවයෙ යුධ ජයග්‍රහණ උතකර්ශය දක්වා සහ ඉන් එපිටටත් අපි ඉදිරියෙ මැවෙනව. මම විශ්වාස කරනව "නිම්නාගෙ ඉතිහාසය" නවකතාවෙ මුඛ්‍ය අරමුණ මේ මොහොත තේරුම් ගැනීම කියල. මේ නිශ්චිත සමාජ දේශපාලන මොහොත කියන්නෙ අපි පහුකරගෙන ආව ඉතිහාසයෙම නිශ්පාදිතයක් මිස අනෙකක් නොවෙයි. ෆේස්බුක්, වට්සැප් වගේ සමාජ මාධ්‍ය ඇතුලෙ සැරිසරමින්, උදේ හවස වැඩට යමින් එමින්, කීයක් හරි වැඩිපුර හම්බකර ගන්න වෙරදරමින් අපි ගෙවන මේ මොහොත ඒ ඓතිහාසික පසුබිම සමග තුලනාත්මකව විවරණය කිරීමයි මේ නවකතාවෙන් සිද්ධවෙන්නෙ. නිම්නා උපත ලබන්නේ සමාජවාදය (වම) පරාජයට පත්වුණු මොහොතක වුණත්, මේ සමාජ ක්‍රමය වඩා යහපත් ආකාරයට, සියලු මනුශ්‍යයන්ට යුක්තිය සහ සාධාරත්වය සැලසෙන ආකාරයට වෙනස් වියයුතු බව විශ්වාස කරන වාමාංශික සුළුතරයක් අප අතරෙ ඉන්නව. නමු අපිට ඔවුන්ගෙ හඬ ඇහෙන්නෙ නෑ. සමාජය පුරා පැතිරිල තියන මහ වෙළඳ ඝෝෂාව ඇතුලෙ ඒ හඬවල් යටපත් වෙමින් තිබෙනව. පරිභෝජනය, ජීවිත අරගලය ඇතුලෙ සංස්කෘතික පැවැත්ම, සාහිත්‍ය කලාකෘතීන් විසින් නගන හඬ යටපත් වෙනව. හොඳ චිත්‍රපටයක් නරඹන්න, පොතක් පතක් කියවන්න, කවියක් රසවිඳින්න, ජීවිතය ගැන ගැඹුරින් හිතන්න අපිට විවේකී මනසක් නෑ, නැත්නම් ඒ කිසි දෙයක් ගැන අදහසක් අපිට නෑ. මම හිතන විදිහට මේ තමයි අපි ගතකරමින් ඉන්න "හුස්ම ගන්න බැරි තරම් අන්ධකාර මොහොත". බොහෝ වෙලාවට අපිට අපි කවුද කියන දෙය හරියට හඳුනාගන්න හැකියාවක් නැහැ. කැඩපතකින් බලන තුරුම අපිට අපිවම පෙනෙන්නේ නැහැ. "නිම්නාගේ ඉතිහාසයෙන්" සිදුකරන්නෙ මේ කැඩපත ඇල්ලීමේ කාර්‍ය. "නිම්නාගෙ ඉතිහාසය" ඒ ඥානනය කිරීමේ ක්‍රියාවලිය සර්ව සර්ම්පූර්ණ ආකාරයෙන් කරන බව මම කියන්නෙ නෑ. නමුත් ඉතා වැදගත් බලපෑමක් මේ නවකතාවෙන් කල හැකි බව ඇත්‍ත.
මම බොහොම දරුණුවට විශ්වාස කරන දෙයක් තමා හැත්තෑව අසූව කාලෙ ඒ අඳුරු යුගයෙදි වාර්ගික අරගලයෙදි අහිමි වුණු මිනිස් ජීවිත වලින් ඇති කරපු හිස් ඉඩ අපේ සමාජය පුරා පවතිනව කියන දෙය. දැනුමෙන් පොහොසත්, මේ ක්‍රමය වෙනසක් කල යුතුයි කියල හිතපු ඒ වෙනුවෙන් වැඩ කරපු, රටට ඇත්තට ආදරය කරපු ජීවිත දහස් ගණනක් නිස්කාරණෙ අපිට අහිමිවුණා. ඒ ජීවිත සුරැකුණා නම් රටට සමාජයට කොයිතරම් වැඩදායක වෙන්න තිබුණ ද? ඒ ජීවිත අහිමි වීමෙන් ඇති කරපු හිස් තැන අදටත් එහෙමම පවතිනව. මේ මොහොතේ අපි මේ විඳින අන්ධකාරය ඒ හිස්කමේ ගැඹුරු පතුලක ඉඳන් මතුව එන එකක් වෙන්න පුලුවන්.
මේ කරුණු කාරණා හැමදෙයක්ම එක්ක "නිම්නාගෙ ඉතිහාසය" "නාගරිකත්වය" වඩා සමීප සමාජයකට වැඩිපුර දැනෙන නවකතාවක් විදිහට හඳුන්වන්න කැමතියි. බොහොමයක් සිංහල නවකතා "ගැමිකම" මුල්කරගත්ත ඒව. නිම්නාගේත් අක්මුල් ගමෙන් මතුවුණත් ඇගෙ පරම්පරා ගණනාවක් මුතුන්මිත්තන් හැදී වැඩෙන්නෙ නාගරිකව. මාටින් වික්‍රමසිංහ මහත්මයගෙ "ගම්පෙරළිය" නවකතාවෙ, වෙළඳාම් කරන්න ගමෙන් පිටවෙන ජිනදාස ගැන ඉන්පස්සෙ කිසිම ආරංචියක් ලැබෙන්නෙ නෑ. මේ තියෙන්නෙ ගමෙන් නගරයට එන ජිනදාසලා ගෙ දරුමුණුබුරන් ගේ කතාව විදිහට මම හඳුන්වා දෙන්නම්. අපි දන්නව නාගරික පොළව මේ යුගයෙ සමාජ දේශපාලන නාටකයන් වේගයෙන් රඟදැක්වෙන තැනක් බව. ඒ නිසා ඒ නාගරික දෘෂ්ටිකෝණය සෑහෙන වැදගත් එකක් කියල මම හිතනව. ඉතාම සිත්ගන්න සුළු ආකාරයට භාෂාව භාවිත කරමින් සහ වෙන කොහේවත් කියන්න ලැබී නැති නැවුම් උපමා රූපක යොදාගනිමින් කතුවරයා මේ නවකතාව රචනා කර ඇති බව කියන්න පුලුවන්. කතාව කොටස් කීපයකට වෙන් කර තිබෙනව. මුල් කොටසෙ වැඩි ඉඩක් ලැබෙන්නෙ "නිම්නාගෙ ඉතිහාසයෙ" "ඉතිහාසය" කොටසට. "නිම්නා" සම්පූර්ණවශයෙන් මුණගැහෙන්නෙ තුන් වෙනි කොටසෙ. මම වැඩියෙන්ම ආසාවෙන් කියෙව්වෙ එතන ඉඳන්. නවකතාවෙ මුල් භාගෙ අර නිතර දක්නට ලැබෙන "ඔබට හිතන්න පුලුවන්" වාක්‍ය ඉන් පස්සෙ දකින්න ලැබුණෙ අඩුවෙන්. මම හිතනව ඒ යෙදුම කතාව කියවන්න තරමක් බධාකාරි එකක් වුණාද කියල. කොහොම වුණත් නවකතාව අවසන් වෙන්නෙ නිශ්චිත අවසානයකින්, අභිරහස් අනාවරණයකින්, මුල මැද අග ගැලපීමකින් තොරව. ජීවිතයත් ඒ වගේ නෙ. හැම විස්මයක්ම තියෙන්නෙ ගමන ඇතුලෙ මිස අවසානෙ නොවෙයි. ඉතින් විස්මයජනක අවසානයක් නොතීබීම නවකතාවෙ අගය අඩු කරන සාධකයක් නොවෙයි. කොහොම නමුත් කතුවරයා සෑහෙන වෙහෙසකින් අතීත කරුණු පොත වෙනුවෙන් සොයාගිහින් තියනව. ඔහුටත් පොත ප්‍රකාශයට පත් කල ප්‍රකාශකයින්ටත් ස්තූතියි කියන්න කැමතියි.
ඒ නිර්මාණාත්මක ශ්‍රමයට ආචාර කරන ගමන් කතුවරයගෙ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න සුබ පතමින් මේ සටහන අවසන් කරනව.
No comments:
Post a Comment