ජිවිතය සහ මරණය එකිනෙකාගෙන් වෙන් වෙන්නෙ බොහොම පටු සහ ඕනෑම මොහොත බිඳවැටිය හැකි ඉඩ ප්‍රමාණයකින් බව කිව්වොත් ඒක පැවැත්ම ගැන කරපු ඍණාත්මක ප්‍රකාශනයක් බව ඔබට කියන්න පුලුවන්. ඒත් මොහොතක් හිතල බැලුවොත්, තමන් බොහෝම සමීපව ආශ්‍රය කල සහ තමන් ආදරය කල කෙනෙක් ජීවිතයෙන් සමුගත්ත මොහොතක ඒ පුද්ගලය සමග ගතකරපු ජීවිතය මහ රෑක දුටු හීනයක ස්වභාවයෙන් එක මොහොතකින් නැතිවී ගිය එකක් බව ඔබට දැනේවි. සියලු දේ සැණෙකින් නැතිවී යා හැකි තැනක, අපිට හැමදෙයක්ම වෙනුවෙන් ඉතිරි වෙලා තියෙන, ජීවිතයත් මරණයත් අතර පවතින මේ හිස් අවකාශය පිරිල තියෙන්නෙ මොනවයින් ද? කෙනෙක් කියාවි සිහිනවලින්, බලාපොරොත්තු වලින්, ආශාවන්ගෙන්, දිනාගතයුතු අරමුණු වලින් බව. තව කෙනෙක් කියාවි බිඳ වැටුණු අපේක්ෂාවන්, ඉටුනොවුණු ආශාවන්, කළකිරීම්, දුක් දොම්නස් වලින් ඒ අවකාශය පිරිල ඇති බව. ඒ මොකක් වුණත් එදිනෙදා පැවැත්ම ඇතුලෙ ජීවිතේ අරගෙන යනව මිස මෙතනින් එහාට මොකක් වෙයිද, මේ කරපු කියපු දේවල් වලට, අපි ආදරය කල අයට වෙන්නෙ මොකක් ද කියල අපි හිතන්නෙ නෑ. ඇත්තටම ඇයි ඔය දේවල් හිතමින් කාලය නාස්ති කරන්න අවශ්‍ය..?
Wednesday, October 21, 2020
Jacobs Ladder (1990)
ඒත් යුධ බිමක් වගේ මේ මොහොතේ ජීවිතයත් ඊළඟ මොහොතෙ මරණයත් තීරණාත්මක වුණු අත්දැකීමකට මුහුණ දුන්න කෙනෙකුට පස්සෙ ඉන්පස්සෙ ගතකරන්න සිදුවෙන්නෙ කොහෙත්ම ඔහුගෙ පෙර තිබුණු ජීවිතය නම් නොවෙයි. ඔහු මරණයේ අඳුරු සෙවණැල්ල දුටුව කෙනෙක්. ඒ බියකරු බව අත්වින්ද කෙනෙක්. ඒ බිහිසුණු අත්දැකීම ඔහුගෙ ඊළඟ මුළු ජීවිත කාලයම වෙනස් කරන සුළු තරම් ප්‍රබලයි.
ජේකබ් වියට්නාම යුද්ධයට සහභාගි වුණු ඇමරිකානු සොල්දාදුවෙක්. යුද්ධයෙදි සිද්දවෙන යම් අනතුරකින් පස්සෙ ඔහු හමුදාවෙන් ඉවත්වෙලා වැඩිදුරටත් ඉගෙන ගෙන ආචාර්‍ය උපාධියක් ලබාගන්නව. ඒත් ඔහු තෝරාගන්නෙ තමන්ගෙ අධ්‍යාපනයට කිසිසේත් නොගැලපෙන විදිහට ලියුම් බෙදන්නෙකුගෙ රැකියාවක්. විවාහය ඇතුලෙ ඇතිවෙන ගැටලුකාරී තත්ත්වය නිසා ජේකබ් ජීවත් වෙන්නෙ බිරිඳ ගෙන් වෙන්ව සුන්දර තරුණියක් වුණු ජෙසබෙල් සමග.
යුද්ධයෙදි ලැබුව අත්දැකීම් ටිකෙන් ටික ඔහුට පීඩාකරන්න පටන් ගන්නව. නොයෙක් අත්භූත විකාර දර්ශන ඔහුට පේනව. කවුරුන් හෝ තමන්ව ලුහුබැඳ එන බවක් ඔහුට දැනෙනව. හමුදාවෙදි තමන්වත් තමන් සමග එකට යුදවැදි සොල්දාදු සගයින් වත් නොදැනුවත්වම යම් පරීක්ෂණයකට යොදාගෙන ඇති බව ඔහු හිතනව. තමන් පීඩාවට පත්කරන මේ විකාර දර්ශන ඒ පරික්ෂණයෙ ප්‍රතිඵලයක් බව ඔහු කල්පනා කරනව. ඒ ගැන වැඩිදුර හොයාබැලීමක යෙදෙන ජේකබ් ට කුමක් සිදුවේවි ද?
අනෙක් බොහෝ දේවල් වගේ අපේ සමාජෙ අවභාවිත වෙන "යුද්ධය" සහ "සොල්දාදුවා" කියන වචන දෙක ඇතුළෙ තියන වඩා අඳුරු සහ ඇත්ත ස්වභාවයන් චිත්‍රපටය ඇතුළෙ නිරාවරණය වෙනව. යුද්ධය යනු දිනාගත හැකි ක්‍රීඩාවක් ද? යුද්ධයෙ නිරතවෙන සොල්දාදුවා ඒ ක්‍රීඩාවෙ නියුතු වීරයෙක් ද? ඒක එහෙම නම් යුද්ධය කියන දේශපාලන ක්‍රීඩාව ඇතුලෙ අවභාවිත වෙන්නෙ මිනිස් ජීවිතයම නෙමෙයි ද?
Jacobs Ladder මේ කිසිම ගැටලුවකට උත්තර සපයන්නෙ නෑ. චිත්‍රපටය අවසානය එක්තරා ආකාරයක තිගැස්මක් ඇතිකරවනසුලු එකක් වුණත් මුලු චිත්‍රපටය පුරාම මොකක්ද ඒ වුණේ කියන දෙයට ඒ අවසානයෙන් නිශ්චිත විසඳුමක් දෙන්නෙ නෑ. චිත්‍රපටය පුරාම පැතිරිලා තියෙන්නෙ වටහගන්න බැරි ගුප්ත සහ සිහිනමය ස්වභාවය එක්ක, අවසානය සහ මුල මැද අග ගලපමින් හිතන ප්‍රේක්ෂකයෙකුට සෑහෙන කම්පනයක් ඇති කරනවන සුලු එකක් බව කියන්න ඕන. Tim Robins ගේ අද්විතීය රංගනයෙන්, Adrian Lyne අද්‍යක්ෂණයෙන්, Bruce Joel Rubin තිර රචනයෙන් නිමවුණ Jacobs Ladder, දේශපාලන බල අරගල ඇතුලෙ මිනිස් ජීවිත වල වටිනාකම අවප්‍රමාණයවී යන ආකාරයත්, තමන් ආදරය කරන අය, වඩාත් සමීප අය අහිමි වීම කොයිතරම් ජීවිතයට බලපෑමක් කරනවද කියන කාරණයත් පෙන්වා දෙන, සිනමාත්මක ගුණය අතින් ඉතාම ඉහළ ගණයේ චිත්‍රපටයක්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment