Saturday, May 15, 2021

Malcolm and Marie (2021)

ආදරය ගැන මොනතරම් නිර්වචන දෙන්න අපි උත්සාහ කලත් ඒ හැම එකකම අවසානෙ ඉතිරි වෙනව අසම්පූර්ණකමක්, වචනයෙන් තවදුරටත් පැහැදිලි කරගන්න බැරි යමක්. එහෙම වෙන්න හේතුව මම හිතනව ආදරය කියන්නෙ ජීවිතයෙන් වෙන් කරල අරගෙන වෙනම කතාකරන්න පුලුවන් මාතෘකාවක් නොවෙන නිසා කියල. කෙනෙකුගෙ වයස, අත්දැකීම්, ජීවිත දැක්ම මේවගෙ කාරණා එක්ක ආදරය ගැන එක් එක් අයට තියන කියවා ගැනිම වෙනස් එකක් බවට පත්වෙනව. අනිත් කාරණාව  ඉවසීම, ආවේගය, කෘතවේදීත්වය, බලාපොරොත්තු සහගතවීම ආදී දහස් ගණනක් මිනිස් ගුණාංගයන් එක්ක ආදරය අවියෝජනීයව බැඳිල තියන නිසා අපිට මෙන්න මේ ස්වභාවයන් හරහායි ආදරය අත්දකින්නට ලැබෙන්නෙ.  නමුත් මේ ආදරය අභියෝගයට ලක්වෙන්නෙ එය සම්බන්ධයක් බවට පත්වෙන තැනදි. මොකද අපි අනික් මනුෂ්‍යයා සමග සම්බන්ධ වෙන්නෙ ඔවුන්ට පරිබාහිරව. කෙනෙකුගෙ අභ්‍යන්තරය මුළුමනින්ම කොයිවගේද කියන්න තවත් කෙනෙකුට කිසිදාක අවස්ථාවක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා තවත් කෙනෙකු වෙනුවෙන් අපේ ජීවිතේ ඉඩක් වෙන් කරදීම ඇතුළෙ අපි සෑහෙන ලොකු අවදානමක් ගන්නව. මොකද අපි තුළට පිවිසෙන්න කෙනෙකුට ඉඩ ලබාදීම මගින් අපි ගැන ඔවුන්ට විශාල බලයක් ලබා දෙනව. අපිව විනාශ කර දමන්නට වුණත් හැකියාවක් තිබෙන බලයක්. මේ නිසා මිනිස්සු එකිනෙකා මුණගැහෙන වෙරළේදි ඔවුන් තුළ එකිනෙකා වෙනුවෙන් තිබෙන ආදරය නිතරම පරික්ෂාවට ලක්වෙනව. Malcolm and Marie චිත්‍රපටයෙන් අපි හමුවට එන මැල්කම් සහ මරී ගේ වගේම ආදරයෙන් බැඳෙන සෑම යුවළක් ම මේ පරික්ෂාව හරහා ගමන් කල යුතුමයි. 


මුළු චිත්‍රපටයෙම පැය දෙකකට ආසන්නව කාලය වෙන් වෙන්නෙ එක් රාත්‍රියකට. ඒ රාත්‍රිය මැල්කම් සහ මරීට වෙන කවදාකටත් වඩා සුවිශේෂ එකක් වුණා. විශේෂයෙන් සිනමාකරුවෙක් වුණු මැල්කම්ට. මොකද ඔහුගෙ අලුත්ම චිත්‍රපටයෙ මංගල දර්ශනය පැවැත්වුණේ ඒ රාත්‍රියේ නිසා. ප්‍රේක්ෂකයන්ගෙත් විචාරකයන්ගෙත් නොමඳ ප්‍රශංසාවට ලක්වෙන මැල්කම්, මරීත් එක්ක වාහනයෙන් ගෙදර එන්නෙ උතුරා යන ප්‍රීතියෙන්. ගෙදර ආ ගමන් මධු බඳුන් කීපයක් හිස් කරමින් මැල්කම් සතුට සැමරුවත් මරී තුළින් ඒ තරම් ප්‍රීතිදායක බවක් දකින්න ලැබෙන්නෙ නෑ. මේ බව ඔහුගේ ඇසට අසුවෙනව. ඔහු ඒ ගැන මරීගෙන් විමසනව. ඒත් ඇගෙන් ලැබෙන පිළිතුර නම් අතිශ්‍යයින්ම ප්‍රශ්නයෙන් පළායන සුළු එකක්. මැල්කම් කොයිතරම් ප්‍රශ්නකලත් ඔහුට ඇගෙන් හරිහමන් පිළිතුරක් ලැබෙන්නෙ නෑ. නමුත් ඒ අතරෙ මැල්කම් සහ මාරි අතර ඇතිවෙන සංවාද⁣ය දුර දිග ඇදී යන්නෙ ක්‍රමයෙන් දෙදෙනාගෙම ජීවිත ඇතුලෙ විවෘත නොවුණ කලාපයන් නැවත එකිනෙකා වෙත විවෘත කරගන්න ඉඩ සලස්වමින් . ප්‍රේමයෙන් පිරුණු උණුසුම් ආලිංගන, දරුණු වාදවිවාද මැද එදා ඒ  දෙදෙනාම ගතකරන්නේ අසම සම රාත්‍රියක්.

කලාකරුවෙක් සහ කලාකෘතියක් අතර තියන සම්බන්ධය කොයි වගේ එකක්ද කියන දෙය සෑහෙන විවාදාපන්නයි. එක අතකින් එය ඔහුගේ පුද්ගලික අත්දැකීමක් වෙන ගමන් අනික් අතින් එය පොදුවේ යම් පිරිසකට බෙදාහදාගෙන විඳිය හැකි යමක් බවට පත්විය යුතුයි. කවියක්, ගීතයක්, නවකතාවක්, චිත්‍රපටයක් මේ ඕනෑම කලා කෘතියකට අවශ්‍ය අමුද්‍රව්‍ය කලාකරුවෙක් තමන්ගෙම ජීවිතයෙන් වගෙම තමන් ඇසුරු කරන බාහිර සමාජයෙනුත් උකහා ගන්නව. නමුත් කලාකෘතිය ඇතුලෙ කලාකරුවා ගෙ ප්‍රතිරූපය පුලුවන් තරම් අවම වීමෙන් ඕනෑම කෙනෙකුට ඒ නිර්මාණය තමන්ගේ බවට පත්කරගන්න පුලුවන් ඉඩක් හැදෙනව. හොඳම උදාහරණයක් Malcolm and Marie චිත්‍රපටයෙන්ම අරගන්න පුලුවන්. මැල්කම් ගේ චිත්‍රපටය ඔහුගේ පෙම්වතිය කියවාගන්න ආකාරයට නොවෙයි සිනමා විචාරකයින් කියවාගන්නෙ. නමුත් මැල්කම්ට චිත්‍රපටය නිර්මාණය කරන්න බලපෑ හේතුව මේ නිර්වචන දෙකටම වඩා සම්පූර්ණයෙන් වෙනස් එකක්. චිත්‍රපටය ගැන අදහස මතවාදීමය එකක් වුණත් මැල්කම් සහ මරී ගේ ජීවිතවලට සම්බන්ධ වෙන නිසා එය මතභේදාත්මක තැනකට ඇදී යන ආකාරයයි චිත්‍රපටය ඇතුලෙ අපි දකින්නෙ.

Malcolm and Marie චිත්‍රපටය පුරාම දකින්නට ලැබෙන්නෙ මැල්කම් සහ මරී ගේ චරිත දෙක පමණයි. ඔවුන් ගේ ජීවිත පැවැත්ම, එකිනෙකාගේ චරිත ස්වභාවයන්, අරමුණු, සිහින, අදහස් මේ හැම දෙයක්ම දෙදෙනා අතර සිදුවන සංවාද හරහායි නිරූපිත වෙන්නෙ. Malcolm and Marie තිර රචනාව සහ අධ්‍යක්ෂණය තරුණ ඇමරිකානු සිනමාකරුවෙක් වෙන Sam Levinson ගෙ. ඔහු Rain main වැනි අතිසාර්ථක වුණු චිත්‍රපට අද්‍යක්ෂණය කල බැරී ලෙවින්සන් ගේ පුත්‍රයා. මැල්කම් ගේ චරිතය රඟදක්වන John David Washington සුප්‍රසිද්ධ නළු ඩෙන්සිල් වොෂින්ටන් ගේ පුත්‍රයා. Marie ගේ චරිතය නිරූපණය කරන්නෙ නවක නිළියක් විදිහට ජනප්‍රියත්වයක් ලබා ගනිමින් ඉන්නා Zendaya විසින්. මුහුණෙන් ඉතා සියුම් හැඟීම් ප්‍රකාශ කිරීම සහ දීර්ඝ දෙබස් මැනවින් ප්‍රකාශනය කිරීමේදි ඔවුන් ඉතාම හොඳින් තමන්ගේ කොටස ඉටුකර ඇති බව දැකගත හැකියි. චිත්‍රපටය සඳහා භාවිත කර තිබෙන්නෙ කලු සුදු මාධ්‍ය. Malcolm and Marie මූලිකවම චරිත දෙකක් අතර සිදුවන හැඟීම් හුවමාරුවක් පදනම් කරගත් චිත්‍රපටයක් නිසා බොහෝ විට වඩා හොඳින් භාවමය ප්‍රකාශනයන් මතුකරගත හැකි කලු සුදු මාධ්‍ය චිත්‍රපටයට යොදාගත්තා වෙන්න පුලුවන්. චිත්‍රපටය ගැන තියන අනෙක් සුවිශේෂම කාරණය මෙය කෝරෝනා වසංගත තත්ත්වය යටතේ ඇමරිකාව තුළ රූගත කර ප්‍රදර්ශනය වුණු මුල්ම චිත්‍රපටය වීම. රටේ පවතින නිරෝධායන නීති වලට යටත්ව චිත්‍රපටයෙ නිශ්පාදක කණ්ඩායම ඉතාම සීරුවෙන් රූගත කිරීමේ කටයුතු සිදුකර තිබෙනව. ඒ අතින් Malcolm and Marie චිත්‍රපටය සිනමාව ලැබූ එක්තරා ජයග්‍රහනයක්. චරිත දෙකක් සහ එක නිවසක් භාවිතයට අරගෙන, ප්‍රබල දෙබස් වලින් එකිනෙකාගෙ චරිත ස්වභාවයන් නිරූපණය කරමින්, ආදරය, සිනමාව, කලාව වගේ තේමාවන් ගනනාවක විහිදෙන ආකාරයට, වසංගත තත්ත්වය මැද්දේ වුණත් පර්‍යේෂණාත්මකව සිනමාත්මක ගුණය ඉහළින්ම පවත්වාගෙන නිමැවුණු සාර්ථක නිර්මාණයක් විදිහට Malcolm and Marie හඳුන්වාදෙන්න පුලුවන්.



No comments:

Post a Comment