17 වෙනි සියවසේ අග ස්විස් ජාතික වෛද්‍ය ශිෂ්‍යයෙක් වුණ Johannes Hofer යුරෝපයේ අනෙක් රටවලට කුලී හේවායන් විදිහට සේවයට යන ස්විස් සෙබළුන් තුල ඇතිවී තිබුණ අමුතුම රෝගයක් ගැන සොයාගන්නව. භෞතික වශයෙන් වෙනත් කිසිම දුර්වලතාවක් නොපෙන්වූ සෙබලුන් හිටි ගමන් දැඩි වෙහෙසට පත්වන බවක් පෙන්වූවා. ඒ වගේම නින්ද නොයෑම, හද ගැස්ම අසාමාන්‍ය ආකාරයට ඉහළයෑම, සාංකාව, අහේතුකව නිතර ශෝකයෙන් පසුවීම, උණ වැනි තත්ත්වයන් ඔවුන් තුළින් Johannes ට නිරීක්ෂණය කරන්න ලැබුණ. නමුත් මීට නිශ්චිත හේතුවක් ඔහුට සොයාගන්න ලැබුණේ නෑ. මේ රෝගී තත්ත්වය හටගත් සියලු දෙනාම වගේ ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරයේ ඈත ගම්මානවල ගොවිතැන් වල යෙදෙමින් සිටි අය. දිගුකාලයක් තමන්ට හුරුපුරුදු පරිසරයෙන් ඈත්ව වාසය කරන්න සිදුවීමෙන් ඇති වුණු යම් මානසික බලපෑමක් නිසා ඔවුන් මේ ආකාරයෙන් රෝගී වෙන්නට ඇති බව අනුමාන කරන Hoffer, මේ තත්ත්වය ගැන තමන්ගේ වෛද්‍ය නිබන්ධනයට ඇතුළත් කරනව. ග්‍රීක් භාෂාවෙන් "Nostos - නැවත ගෙදර ඒම" සහ "algia - රෝගය" යන පද දෙක එකතු කර "ගෙදර යෑමේ රෝගය" හෙවත් Nostalgia නමින් ඔහු මෙය නම් කලා. Nostalgia ව වැළඳුනු සොල්දාදුවන්ව හමුදාවෙන් බැහැර කිරීමට සිදුවුණා. නැවත ගම් බිම් බලා ගිය පසු ඔවුන්ගේ රෝග සුව වුණු බවයි වාර්තා වී තිබුණෙ. මේ නිසා හමුදාව තුළ ස්විස් ජාතික ගැමියන්ට තමන් උපන් ගම්බිම් සිහිගන්වන ඔවුන්ගේ ජන ගීත ගායනා කිරීමත් තහනම් වුණා. 17 - 18 සියවස්වල යුරෝපීයයන් බොහෝවිට දේශගවේෂණවල යෙදුණ. ඈත පෙරදිග රටවල් යටත් කරගනිමින් අධිරාජ්‍ය ගොඩනැගුවා. ඔවුන්ගේ ජනාවාස ව්‍යාප්ත කලා. මේ ආකාරයට තමන්ගේ උපන් බිම් වලින් බැහැරවීමට සිදුවූවන් බොහෝවිට නොස්ටැල්ජියාවෙන් පීඩාවිඳි බව ඔවුන් තබාඇති සටහන් ආශ්‍රයෙන් සොයාගෙන තිබෙනව.
19 සියවස මුල් භාගයේදී Nostalgia ව පිළිබඳ නිර්වචන සහමුලින් වෙනස්වුණා. එය මානසික අවපීඩනය (Depression) විෂාදය (melancholia) වැනි දිගු කාලීන අයහපත් ප්‍රතිවිපාක ඇතිකරන මානසික අසමතුලිතතාවක් බව පිළිගැනුනා. නමුත් ඒවන විටත් මෙය හඳුනාගෙන තිබුනේ දුරබැහැරව වාසය කිරීමෙන් නිවස අහිමිවීම නිසා ඇතිවන අඳුරු මනෝභාවයකට සමාන තත්ත්වයක් විදිහට (Homesickness). 1979 දි සමාජ විද්‍යාඥයෙක් වුණ Fred Davis මේ Nostalgia ව හුදු නිවසින් ඈත්වීමට වඩා අතීතයෙ යම් කාලයකට, අත්විඳින්නට ලැබුණ යම් ප්‍රසන්න අත්දැකීමකට, ළමා විය ගෙවු ආකාරයට තියෙන සුවිශේෂ බැඳියාවක් බව පෙන්වා දුන්නා. අද Nostalgia ව හඳුන්වන්නෙ මේ වැනි පුළුල් අර්ථයකින්.
ලෝක සිනමාවේ රුසියන් කවියා විදිහට හඳුන්වන Andrei Tarkovsky තමා උපන් රුසියන් භූමියෙන් පිටත නිපදවන පළමු සිනමා නිර්මාණය නම් කරන්නේ Nostalgia නමින්. 1979 දි ඔහු 18 වන ශතවර්ෂයේ රුසියාව පසුබිම් කරගෙන The first day නම් චිත්‍රපටයක් නිර්මාණය කරන්න සූදානම් වුණා. චිත්‍රපටයක් නිර්මාණය කරන්න නම් රුසියන් සිනමා කමිටුවට (Goskino) එහි පිටපත ඉදිරිපත් කර අනුමැතිය ලබාගත යුතුව තිබුණා. මෙතැනදි Tarkovsky චිත්‍රපටයට අනුමැතිය නොලැබීයාම වළක්වාගන්න එහි තිබුණ ආගම් විරෝධී තේමාවක් ඇතුළත් දර්ශන කීපයක් ඉවත් කර පිටපත අනුමැතිය සඳහා යොමු කලා. ඒ පිටපතට සිනමා කමිටුවේ අවසර ලැබුණ නමුත් චිත්‍රපටයෙ රූගතකිරීම් අඩක් නිමවී තිබෙද්දී, මේ නිර්මාණය වෙන්නෙ තමන්ට ඉදිරිපත් කල පිටපතේ තිබුණු ආකාරයට වඩා වෙනස් චිත්‍රපටයක් බව දැනගත් සෝවියට් සිනමා කමිටුව, The first day චිත්‍රපටය රූගත කිරීම තහනම් කලා. එයින් කෝපයටපත් Tarkovsky මෙතෙක් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කල සියලු දේ විනාශ කර දමා රුසියාවෙන් පිටවී ඉතාලිය බලා ගියා. ඉතාලියේදි Tarkovsky තමන්ගේ මිත්‍ර Tonino Guerra සමග එකතුවෙලා Nostalgia තිරපිටපත රචනා කරනව. ඉතාලියේදි ගෙවූ විප්‍රවාසී ජීවිතය තුළ තමන් උපන් රුසියානු භූමිය පිළිබඳ ඇතිවුණු අතීතකාමී හැඟීම් මේ චිත්‍රපටයට Tarkovsky තේමා කරගන්නව. 1983 වසරෙදියි අවසානෙ Nostalgia චිත්‍රපටය තිරගතවෙන්නෙ.
චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය නම් Andrei Gorchakov. ඔහු රුසියානුවෙක්, වගේම කවියෙක්. Andrei කලක් ඉතාලියේ ජීවත් වූ රුසියන් සංගීතඥයෙකු ගැන සොයමින් රුසියාවේ සිට ඉතාලියට පැමිණෙනව. ඔහුගේ ඉතාලි භාෂා දැනුම දුර්වල නිසා Eugenia නම් සුරූපී භාෂා පරිවර්තිකාව සමඟයි ඔහු පැමිණෙන්නෙ. Domenico මේ දෙදෙනාට මුණගැසෙන අමුතු ආකාරයෙ පුද්ගලයෙක්. සාමාන්‍යයෙන් සමාජ ව්‍යවහාරය අනුව නම් Domenico මානසික රෝගියෙක්. මොකද ඔහු සිතන පතන ආකාරය, ඔහු කරන දේ, සාමාන්‍ය මිනිසෙකුගේ ආකාරයෙන් බොහොම ඈතයි. මේ තුන් දෙනා වටායි චිත්‍රපටය ගොඩනැගෙන්නෙ. කලින් සඳහන්කලා වගේ, මාතෘ භූමියෙන් බැහැර වීමේ අතීතකාමී හැඟීම, පවුල සහ ආදරණීයයන් ගෙන් ඈත් වීමේ සාංකාභරිත මනෝභාවයන් චිත්‍රපටය ඇතුළෙ මතුවෙනව. මිනිසා තමන්ට කරදර විපත් පැමිණෙන මොහොතේ සරණ පතා යන්නෙ ආගම හමුවට. සැබෑවට ආගමෙන් මිනිසාට ඔහු පතන විමුක්තිය ලැබෙනවාද යන ප්‍රශ්නය චිත්‍රපටය තුළින් ඉතා සියුම්ව විමසා සිටිනව.
සාමාන්‍යයෙන් Tarkovsky ගේ චිත්‍රපට තේරුම් ගැනීමට අපහසු ඒවා බවයි පිළිගැනෙන්නෙ. ඊට හේතුවක් තිබෙනව. අපි යම් සිදුවීමක් තේරුම් ගැනීමට හුරුවී සිටින්නේ ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, එකිනෙක සම්බන්ධ සිද්ධිදාමයක් විදිහට. චිත්‍රපටයක් තුළින් යම් අරුතක් ජනනය කරගැනීමේ සමෝධානිත (Montage) සංස්කරණ රීතිය භාවිත වෙන්නෙ මේ ආකාරයට. එනම් එක් රූප රාමුවක් සහ ඊට අසම්බන්ධිත තව රූප රාමුවක් එක ලඟ, එකකට පසු එකක් වශයෙන් භාවිතාකිරීම මඟින් තුන් වන බලවේගය විදිහට යම් අරුතක් ජනනය කරගැනිමයි මෙතනදි සිද්දවෙන්නෙ. නමුත් Tarkovsky මේ සංස්කරණ රීතිය බැහැර කලා. ඔහු බොහෝ විට රූපරාමුව ජේදනය නොකර, එකම රාමුව තුල අසම්බන්ධිත වස්තුන් යම් ඉන්ද්‍රජාලමය ස්වරූපයකින් ස්ථානගත කිරීමෙන් වඩා භාවමය අරුතක් ජනනය වන ආකාරයට චිත්‍රපට නිර්මාණය කලා. උදාහරණයක් විදිහට Nostalgia චිත්‍රපටයෙ Andrei සහ Eugenia ඉතාලිය බලා ගමන් කරද්දි Eugenia අතරමග දේවස්ථානයක් දැක වාහනය නවත්වා එය නැරඹීමට පිටවී යනවා. නමුත් Andrei ඇය සමග යන්නේ නැහැ. ඔහු වාහනය අසල නතර වෙනව. එතැනදි ඔහු හිස මතට කුරුලු පිහාටුවක් පාවී ඇවිත් කඩා වැටෙනව. Andrei බිම වැටුණු පිහාටුව අහුලාගන්නව. ඒ සමගම පිටුපස බලන ඔහු දකින්නෙ ඔහුගේ බිරිඳ, දරුවන් සහ ගම්බද නිවාසය. මේ සියලු දේ දකින්න ලැබෙන්නෙ ඡේදනය නොවූ එකම රූප රාමුවක. Tarkovsky ගේ සිනමා භාෂාව එවැනි එකක්. ඔහු තමන්ගේ ස්වයං ලිඛිත චරිතාපදානය වන Sculpturing in time කෘතියේදී ඒ ගැන මෙහෙම සඳහන් කරනව.
.
.
මම එකින් එක බැඳුනු සිද්ධි දාමයක් ලෙස තිර පිටපත ගොඩනැංවීම ගැන උනන්දුවක් නොදක්වමි. ඒ වෙනුවට මම මිනිසෙකුගේ ඇදහිලි, විශ්වාසයන්, සංස්කෘතික බලපෑම් මත ගොඩනැගෙන ඔහුගේ ඇතුළාන්ත ලෝකය ප්‍රතිනිර්මාණය කිරීම ගැන වඩා උනන්දු වෙමි. තාර්කිකව සම්බන්ධ යම් පුවතක් නිර්මාණය කිරීම ආර්ථිකවශයෙන් වඩා වාසිදායක බව මම දනිමි. නමුත් මම කිරීමට උත්සාහ කරන දෙය එයින් වෙනස් වූවකි. මම මගේ සිනමාපට නිර්මාණය කිරීමේදී මිනිසුන්ගේ ඇතුළාන්තය නිරාවරණය කිරීමට වඩාත් උනන්දු වෙමි. මිනිසෙකු තුළ සමස්ත විශ්වයම සැඟව පවතී. ජීවිතයේ අරුත් සොයා අන් කිසිවක් සොයා යා යුතු නැත. එය මිනිසා තුළම පවතී. මේ මිනිස් ඇතුළාන්තය බොහෝ දෑ සිදුවන කැන්වස් තලයක් මෙනි.
.
.
තවදුරටත් ඔහු තම චරිතාපදානයේ තමන්ගේ සිනමාව ගැන මෙහෙම සඳහන් කරනව.
.
.
Nostalgia චිත්‍රපටයෙදි මා හට දුර්වල මිනිසෙක් නිරූපණය කිරීමට අවශ්‍ය වූයේය. නමුත් ඔහු දුර්වලයෙකු වශයෙන් හඳුන්වනු ලැබුවේ බාහිර සමාජය විසින් මිස ඔහු තමාගේම ජීවිතය තුළ දුර්වලයෙක් ලෙස මා දකින්නේ නැත. හුදු පිටස්තර සමාජය වෙනුවෙන් තමන්ගේ සැබෑ ස්වරූපය වෙනස් නොකරගන්නා මිනිසුන්ට මම කැමැත්තක් දක්වමි. මගේ චිත්‍රපට වල වීර චරිත දක්නට නොලැබේ. ඒවෙනුවට ඔවුන්ගේ ශක්තිය රඳා පවතින්නෙ ඔවුන්ගෙ ඇතුළාන්ත අවබෝධය තුළය. ඔවුන් තමන් ගෙන් අනෙක් අයට සිදුවිය යුතු වැඩකොටස ගැන වදවෙයි. ඔවුන් කුඩා දරුවන් වැනිය. බාහිරින් නිරීක්ෂණය කරන කල ඔවුන් දැකගන්නට ලැබෙන්නේ අතාර්කික, නිතරම සිහින දකින සහ මමත්වය අතහැරි අය ලෙසය.
.
.
මේ සිනමාවේදියාගේ දැක්ම කොයි ආකාරයෙ එකක් ද යන කාරණය ගැන ඔබට යම් අදහසක් එයින් ලැබෙන්න ඇති. මේ ආකාරයෙන් සිද්ධිවාචක ස්වරූපයෙන් බැහැරව, හැඟීම් මතුවන, සෞන්දර්ය පිරි රූපරාමු ගොඩනැංවීම මගින් යම් අරුතක් දැනවීමයි ඔහු තමන්ගේ මූලික කාර්‍ය විදිහට සැලකුවේ. ඒ නිසාම ඔහුගේ චිත්‍රපට රූපමය සෞන්දර්ය උතුරායන නිර්මාණ විදිහට හඳුනා ගන්න පුලුවන්. කවියේ ස්වභාවයත් මේ ආකාරයි. කවියක වචනයෙන් වචනය වෙන් කර තාර්කිකව ඒ අතර සම්බන්ධයක් සොයන්න උත්සාහකිරීමෙන් කිසිදාක කවියක් තේරුම් ගන්න බැහැ. මහ කවි ටී. එස්. එලියට් කියා තිබෙන ආකාරයට කවියක් රසවිඳිය යුත්තේ මලක සුවඳ විඳින ආකාරයට සියුම්ව සහ හැඟීමෙනුයි. Andrei Tarkovsky ගේ පියාත් ප්‍රමුඛ පෙළේ සෝවියට් කවියෙක්. සිනමාවටත් කවිමය ආභාසය ඔහුට ලැබුණේ කොහෙන්ද යන කාරණය පැහැදිලියි. නමුත් එයින් තමන්ට අනන්‍ය වුණු සිනමා භාෂාවක් ගොඩනඟා ගැනීමටත්. තමන්ගේ චිත්‍රපටවලට ආසක්ත, සෞන්දර්ය ලැදි සීමිත රසික සමාජයක් දිනාගැනීමටත් Tarkovsky සමත්වුණා. Nostalgia ඔහුගේ කෙටි නමුත් කාව්‍යමය සිනමා සැරියේ තවත් එක් වැදගත් සංධිස්ථානයක් විදිහට නම් කල හැකියි.
No comments:
Post a Comment