ගහක පත්‍රයක් කියන්නෙ හරි අපූරුවට මනුස්ස ජීවිතය එක්ක සමපාත කරන්න පුලුවන් දෙයකට. හටගැන්ම, වැඩී වර්ධනය වීම සහ අවසානයෙ ගිලිහීයාම කියන පැවැත්මේ අනිවාර්ය ජීවන චක්‍රය මිනිස් ජීවිතයට වගේම ගසක පත්‍රයකටත් බලපාන්නේ එකහා සමානවමයි. ඒ වගේම පත්‍රයකට නියමාකාරයෙන් පවතින්න බාහිර සාධක කිහිපයක් අවශ්‍යයි. සූර්‍යාලෝකය, ජලය මේ වගේ දේවල්. මේ සාධක ප්‍රමාණවත්ව නොලැබෙන තැන පත්‍රයකට පැවැත්මක් නැහැ. ඒ වගේම තවත් කාරණයක් තියනව. මේ පත්‍ර නිතර පරිසරයෙ සිදුවෙන ඍතු විපර්‍යාසයන්ට තදින්ම සංවේදීතාවක් දක්වනව. හිරු රැස් තදින් වැටෙන ගිම්හානයෙ කටුක බව නැත්නම් හිම පියලි ඇද හැලෙන සිසිරයෙ දරාගත නොහැකි ශීත හමුවේ පත්‍රයකට පවතින්න අපහසු තත්ත්වයක් උදාවෙනව. සමබර සූර්‍යාලෝකයත් වැස්සත් අරගෙන එන වසන්තය ගසකට වගේම පත්‍රයකටත් ජීවය උතුරා යන කාලයක් වෙනව. නමුත් වසන්තය හැමදාම තියෙන්නෙත් නෑ. දුෂ්කර වගේම සුවබර කාල පරිච්ඡේද පසු කරද්දි පත්‍රයක් විකසිත වෙමින් නැත්නම් ගිලිහිය යුතු තැන ගිලිහෙමින් පැවැත්මේදි පසුකරයාමට සිදුවෙන මේ ධර්මතාවන්ට අනුකූලව හැඩගැසිය යුතු වෙනව.
Saturday, May 1, 2021
The Father (2020)
ගසක පත්‍රයකට ජලය, හිරුඑළිය ඕන වගේ මනුස්සයෙකුට පවතින්න ආදරය ඕන. ආදරයක් නොලබ ජීවිත් වෙන්න කෙනෙකුට පුලුවන් ද එහෙනම්? අපොයි පුලුවන්, නමුත් ඒ ජීවිතය සමාන කරන්න පුලුවන් වෙන්න මොකකට ද? පත්‍ර ගිලිහුණු ගසකට? The Father චිත්‍රපටයේ අපිට දකින්න ලැබෙන, වයස අසූවක් වුණ ඇන්තනී මහත්මයට (Anthony Hopkins) දැනෙනව තමන් පත්‍ර ගිලිහුණු ගසකට සමාන බව. ඒත් ඇයි? ආදරණීය දියණියකගෙ පියෙක් වුණු, ඉංජිනේරුවරයෙක් විදිහට ගෞරවනීය වෘත්තියක යෙදුණු ඇන්තනී මහත්මය වගේ කෙනෙකුට කොළ හැලිච්ච ගහකට සමානව ජීවිතේ සැන්දෑකාලේ ඔහේ ගෙවා දමන්න සිදුවීම වෙන්න පුලුවන් දෙයක් ද?
ඇන්තනී මහත්මයා දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වුණත් ඒ දෙදෙනාගෙන් ඔහුගේ ප්‍රියතමයා වෙච්ච සදාදරණීය ලුසී හදිස්සි අනතුරකින් ජීවිතෙන් සමුගෙන යන්නෙ ඔහුට අනෙක් දියණිය ඈන් (Olivia Colman) පමණක් මේ ලෝකෙ ඉතිරි කරල. ඇන්තනි මහත්මය ඈන්ට, ලුසීට තරම් කැමත්තක් දක්වන්නෙ නෑ. ඔහු ඈන් ට ආදරෙයි, නමුත් ඈන්ට සිද්දවෙලා තියනව තමන්ගෙම ජීවිතේ ගැටලු ටිකක් විසඳාගන්න . සමහර හවස්වරුවල ඈන් ජනෙලෙන් එපිට යම් ගෙදරක විවාහ ජිවිතේ ප්‍රීතිය සමරන යුවළක් දිහා බලාගෙන කල්පනා කරනව තමන් ගැනම. පෝල් , ඈන්ගෙ ස්වාමියා. පෝල් ගේ කැමැත්තක් නෑ වයසක ඇන්තනී මහත්මය ව තමන්ගෙ නිවසේ නවත්වාගන්න. ඈන්ටත් තමන්ගෙ රැකියාව එක්ක පියාව රැකබලා ගන්න අපහසුයි. ඒ වගේම ඔහුව රැකබලාගන්න ඔහු ලඟින් ඇය තබා යන කිසිම කෙනෙක් ඔහු ළඟ වැඩි කාලයක් රැඳෙන්නෙ නෑ. එක් හේතුවක් තියනව එහෙම වෙන්න. ඒ ඇන්තනී මහත්මය ඩෙමෙන්ෂියා නම් තත්ත්වයෙන් පෙලෙන කෙනෙක් වීම.
මිනිස් මොළයක ක්‍රියාකාරීත්වය දුර්වල වීම නිසා ඇතිවෙන තත්ත්වයන් කිහිපයක් පොදුවේ ඩෙමෙන්ෂියා නමින් හඳුන්වන්නෙ. මෙතනදි මූලිකවම එදිනෙදා ජීවිතයට අවශ්‍ය මතකය හීන වී යාම සහ කල්පනා ශක්තිය අවම වී යාමයි සිද්දවෙන්නෙ. මේ නිසා කාලය ගැන අවබෝධයක් නොමැති වීම, නිතර සාංකාවෙන් පසු වීම, පුද්ගල නම් වගේ කුඩා තොරතුරු ගැන මතකය පැටලීයාම, ඉක්මනින්ම කෝපගැන්වීම සිදුවෙනව. ඇන්තනී මහත්මයටත් වෙලා තියෙන්නෙ ඒ දෙය. ඔහුගෙ තත්ත්වය ගැන සරලවම කියනව නම් හරියට ඉරි ඇඳුණු සීඩී තැටියක් වගෙයි. හිටපු ගමන් යන ට්‍රැක් එක මාරුවෙනව, එකම ට්‍රැක් එක ආයෙ ආයෙ වාදනය වෙනව. ඉතින් ඔහු වැනි කෙනෙක් එක්ක ගණුදෙනු කරන්න කොයිතරම් ලොකු ඉවසීමක් සංයමයක් අවශ්‍ය වෙනවද? ඔහුවත් රැකබලා ගෙන තමන්ගෙ වැඩකටයුතුත් කරගෙන පවුලෙ සමගිය සමාදානයත් ආරක්ෂා කරගන්න සිද්දවෙලා තියන ඈන්ට තමන් ගෙ පියා මියගියා නම් කොයිතරම් ලේසිද කියල හිතුණොත් අරුමයක් නෑ. ඒ සිතුවිලි හදවතේ කොහේ හෝ රැඳී තියෙන්න ඉඩ ඇරල ඈන් තමන්ගෙ පියාව ඔහුගේ කැමැත්ත අකැමැත්ත නොසලකා ඔහු වැනි අය රැකබලාගන්න රෝහලක නවතා තියන්න තීරණේ කරනව. ඒ ජීවිතය කොළ හැළුණු ගසකට තමන්වම සමාන කරන ඇන්තනී මහත්මයගෙ ජිවිතයට රුදුරු ගිම්හානයක් වේවිද වැස්ස ගේන වසන්තයක් වේවි ද?
මෑතකදි පැවැත්වුණු 93 වන ඔස්කාර් සම්මාන උලළේ හොඳම නළුවා වෙනුවෙන් පිරිනැමෙන සම්මානය හිමිවෙන්නෙ The Father චිත්‍රපටයෙ ඇන්තනී ගේ චරිතය නිරූපණය කරන sir ඇන්තනී හොප්කින්ස් මහත්මයාට (Father චිත්‍රපටයට පසුබිම් වෙන නවකතාව වගේම තිරපිටපත රචනා කරමින් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ ප්‍රංශ ජාතික නවකතාකරුවෙක් වුණු Florian Zeller විසින්. මේ ඔහුගෙ පළමු චිත්‍රපටය. ඔහු මේ ඇන්තනී චරිතය රචනා කරන්නෙ මහා නළු ඇන්තනී හොප්කින්ස් වෙනුවෙන්මයි) සැබෑ ජීවිතේ අවුරුදු 83 ක වයසේ පසුවෙන ඇන්තනී හොප්කින්ස් සම්මාන උළෙලවලට සහභාගි වෙන කෙනෙක් නොවෙයි. නමුත් දෛවෝපගත ආකරයට සම්මානය නිවේදනය කරන මොහොතේ දි ඔහු සිටියේ වෙල්සයේ තමන් ගේ පියාගේ සොහොන අසලයි. ඒ මොහොතේ සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරන ඇන්තනී හොප්කින්ස් මහත්මයා වේල්ස් ජාතික කවියෙකු වුණු ඩිලන් තෝමස් ගේ Dont go gentle into that goodnight කවියේ පද කිහිපයක් කියනව. කවියෙන් කියවෙන්නේ පියාගේ මරණ මොහොත අබිමුව සිටින මිනිසෙක් ගැන. අවසන් මොහොත දක්වාම ජීවත්වීමට වටිනා ජීවිතයක් ගතකල යුතු බවත් මරණයට නැත්නම් මහලු වයසට ඒ ජීවිතය යටපත් කරන්න ඉඩ නොදිය යුතු බවත් කවියෙ තේමාව වෙන්නෙ. මට දැනුණු ආකාරයට ඒ කවි සිංහලට පරිවර්තනය කරන්න දැරූ උත්සාහයක් මේ.
.............................................................................................
පාවී නොයනු මැන මෘදුව
ඒ සුවබර රාත්‍රිය වෙතට...
දවාහල යුතුය අවසන,
අරගල කල යුතුය
වියපත් බවට එදිරිව..
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය..
නුවණැති මිනිසුන්
දනියි ඒ බැව් හොඳින්
අවසන අඳුර එළඹෙන බව..
ගිනි අවුලුවන වදනින්
නොකීවත් ඔවුන් කිසිදින
නොයයි පාවී මෘදුව
ඒ සුබ රාත්‍රිය වෙතට...
අහිංසකයින්
අවසාන මොහොත වනවිට
හඬාවැටේ හද ශෝකයෙන්...
කොළ පැහැති තැනි බිම් දිගේ
සුළඟේ පාව යයි සිහින ඔවුන්ගේ....
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය....
සිත දැඩි මිනිසුන්ද
ගී ගැයූ සූර්‍යාලෝකයේ
ශෝකයෙන් පුරවාගනියි සිත
සැඳෑවෙහි හිරු ගිලීයන යුරු දැක
ඇදී යනු ඇත ඔවුනද අඳුර වෙත..
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය....
සැබෑ මිනිසුන්
දනියි ලංවන බව අවසානය
බොඳව යන විට දසුන...
කඩා වැටෙනා තරුවක එළියෙන්
එළිය වන කල නෙත් යුග,
කරති අරගල ඔවුන්,
නැගී සිටිති එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය....
අඳුර, වසාගනු මැනැවි මා
නිමක් නැති ඔබේ කඳුළුද සමග...
වැතිරී සිටියි මා පියාණන්
මරණයේ හෝරාව පැමිණෙනතුරු..
යදිමි මම එවිට
පාවී නොයනු මැන මෘදුව
ඒ සුවබර රාත්‍රිය වෙතට...
කරන්න අරගල, නැගී සිටින්න එරෙහිව
නොමියෙනා ලෙස ජීවිතාලෝකය..
Subscribe to:
Post Comments (Atom)
බාගෙන ඉන්නෙමි ෆිලුම බලන්නට
ReplyDeleteඉක්මන් වෙන්නට හිතුණ කියෙව්වම
වෙලාව එනතුරු මෙලොවින් යන්නට
මනුසත්කම ගැන තියෙයි හිතන්නට
කියවූ විට සිනමාපටය නරඹන්නට සිතෙන ලෙසට සටහන ලියවී තිබේ. සංවේදී තේමාවක් ගැන සංවේදී සටහනක්.
ReplyDelete