" පිටත්වෙන්න සූදානම් වුණු දුම්රිය, වේදිකාවෙ නවත්වා තිබුණ. ගමන් බෑගය අතට ගත්ත ඔහු ගලා යන මිනිස් ගංගාව මැද්දෙන් පියවර තබමින් දුම්රියට ළඟාවුණා. මැදිරියේ දොර ළඟදී මොහොතක් නතරවෙලා ඔහු ආපසු හැරී බැලුවා. ඈතින් හිටිතැනම නොසෙල්වී ඈ තවමත් ඔහු දිහා බලා ඉන්නව. ඒ ඇස් බැල්මෙන් මිදෙන එක කොයිතරම් අමාරුයිද. නමුත් දැන් ආපසු හැරෙන්න පුලුවන්කමක් නැහැ. පිටත්වෙන බවට දැනුම්දුන් දුම්රිය ගමන ආරම්භ කලා. දීර්ඝ ගමනකට සූදානම් වෙලා මැදිරිය ඇතුළේ ජනේලය ලඟ ආසනයෙ ඔහු වාඩිවුණා. නමුත් එකවරම ජනේලය අසල මැවුණේ ඇගේ රුව. ඇයට උවමනා වුණා තව වතාවක් ඔහුගේ අතින් අල්ලා ගන්න. එකම වතාවක් පමණක් ඔහු සෙවණේ රැඳෙන්න. නමුත් ජනෙල් වීදුරුව මහ බාධකයක් වගේ ඔවුන් දෙදෙනා මගින් නැගී හිටිය. ඇයට පුලුවන් වුණේ යන්තම් ජනෙල් වීදුරුව මත අත තබන්න පමණයි. ක්‍රමයෙන් දුම්රිය ගමන් වේගය වැඩිකලා. ඇයට තවදුරටත් ඒ වේගයෙන් ඇවිද එන්න බැරිවුණා. දුම්රිය නොනවත්වා ඉදිරියටම ගමන් කළා. වහාම නැගීහිටි ඔහු දිවගියේ අවසාන මැදිරියේ පිටුපස ජනේලය ලඟට. තමන්ගේ ජීවිතයේ සතුට උදුරාගෙන යන දුම්රිය පිටුපස පොඩි එකෙකු වගේ දුවමින් එන ඇය දිහා ඔහු බලා සිටියා. හදවතින් මතුවුණු සියුම් වේදනාත්මක හැඟීමක් තමන්ගේ දෑස කෙළවරින් ගලා යන ආකාරය ඔහුට දැනෙන්න පටන් ගෙන තිබුණා"
Saturday, June 26, 2021
The secret in their eyes (2009)
Tuesday, June 22, 2021
නෙරූදාගේ ලියුම්කාරයා - Il Postino (1994)
ලියුමක් කියන්නෙ වර්තමානයෙ නම් ඒ තරම් බහුලව භාවිතවෙන මාධ්‍යයක් නෙමේ. රාජකාරීමය දේවල් ඇරුණම පුද්ගලික පණිවුඩයකට නම් ක්ෂණික සන්නිවේදන ක්‍රම දැන් ඕනෑතරම් තිබෙනව. අපිට මතක අපි කුඩා කාලයෙ මේ තත්ත්වය තිබුණෙ නෑ. ලියුමක් ලැබෙනකොට තියන කුතුහලය, කියවද්දි දැනෙන හෘදයාංගම බව අවසන් වතාවට දැනීගෙන ගිය පරපුර අපි වෙන්න පුලුවන් සමහරවිට. නමුත් ඊට කලින් පරම්පරාවල නම් මේ ලියුම් හුවමාරු හරියට සිද්දවුණා. කලින් කිව්ව වගේ ලියුම් බෙදන්නෙකුගේ සීනුනාදය ගෙදර ගේට්ටුව ලඟින් ඇහෙන්න ගන්නකොට ඇතිවෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. The postman චිත්‍රපටයත් මෙහෙම ලියුම් බෙදන්නෙකු ගැන කියවෙන කතාවක්. හැබැයි ඔහු ලියමන් ගෙනගියේ එසේ මෙසේ කෙනෙකුට නොවෙයි.
Monday, June 21, 2021
Care of kancharapalem (2018)
- රාජු හැමදාම උදේපාන්දර අවදිවුණා. ඉන්පස්සෙ පාරට ඇවිල්ල කිලෝමීටරයක් දෙකක් පයින් ඇවිදල අන්තිමට සූර්‍ය නමස්කාරය කලා. අවුරුදු හතලිස් නමයක් වයස වුණත් එයාට ඉහෙන් බහින රෝගයක් තිබුණෙ නෑ. තමන්ගෙ වයසෙ අනික් අය නොයෙක් ලෙඩ රෝග වලින් දුක් විඳිනකොට රාජු තවමන් හොඳ ෆිට් එකට ඉන්න එක ගැන එයා නිතරම ආඩම්බර වුණා. හැබැයි එක කාරණාවක් තිබ්බ රාජු ගේ හිත හොඳටම රිදෙව්ව. ඒ තමා එයා තවම විවාහයක් කරගෙන නොතිබීම. තනියම ඉන්න එක ගැටලුවක් නොවෙයි. ඒත් මිනිස්සු ඒ ගැන කියන කතන්දර...රාජුට තිබුණෙ ඒ ගැන දුකට වඩා කේන්තියක්. තමන්ගෙ තනිකඩකම ගැන කවුරු හරි කටකැඩිච්ච කතාවක් කිව්ව සැනින් ඒකට ප්‍රති පිළිතුරු දෙන්න එයා මොහොතක් වත් පසුබට වුණේ නෑ.
Saturday, June 19, 2021
ජීවිතයේ සතුට ඇත්තේ කොතැනද?
ජීවිතේ කියන කෙළවරක් නැති මේ දීර්ඝ ගමනේ එක මොහොතක් නතර වෙලා ඔබ ඔබෙන්ම අහල බැලුවොත් දැන් මම ඉන්නෙ සතුටෙන්ද කියල ඔබට ඒකට පිළිතුරක් තියේවි. සමහරවිට ඔබ කියන්න පුලුවන් ඔව් මම ඉන්නෙ සතුටින් කියල සමහරවිට එහෙම නොවෙන්න පුලුවන්. ජීවිතේ අපි කරන හැමදෙයකම වගේ පිටුපසින් තියෙන්නෙ මේ සතුට කියන කාරණාව. අවසානෙ හිතල බැලුවොත් අපි අපේ සතුට වෙනුවෙනුයි බොහෝ දේවල් කරන්නෙ. ඉතින් ඇත්තටම මේ සතුට ලැබෙන්නෙ මොනවගේ දේවල්වලින්ද? ඒ ගැටලුවටත් අපිට තියනව අපේම පිළිතුරක්.
Tuesday, June 15, 2021
පිකාසෝ සහ ගුවර්නිකා
1940 ජුනි 14 වෙනිදා ජර්මානු නාසි හමුදාව ප්‍රංශයේ පැරිස් නගරයේ බලය අල්ලාගන්න සමත් වෙනව. ඒ වෙනකොට සුප්‍රසිද්ධ ස්පාඤ්ඤ චිත්‍රශිල්පි පැබ්ලෝ පිකාසෝ පැරිස් නගරයෙයි වාසය කරමින් උන්නෙ. පිකාසෝගේ කලාවට නාසිවාදින් එතරම් කැමැත්තක් දැක්වුවේ නැහැ. ඔහුගෙ සිතුවම්, කලාව පිලිබඳ නාසිවාදී චින්තනයට ඉඳුරාම පටහැනි එකක් වුණා. අනෙක් අතට ඔහු යුද්ධය විවේචනයට ලක්කරමින් සිතුවම් ඇන්ද. මේ නිසා නාසි හමුදාවේ රහස් පොලීසිය හෙවත් ගෙස්ටපෝව පිකාසෝ ගැන විශේෂ අවධානයකිනුයි හිටියෙ. මේ නාසි පාලන සමය ඇතුලෙ තමන්ගේ චිත්‍ර ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරන්න ඔහුට ඉඩ ලැබුණෙ නෑ. වතාවක් ගෙස්ටපෝ නිලධාරීන් පිරිසක් පිකාසෝ ගේ නවාතැන පරික්ෂා කරන්න පැමිණියා. පිකාසෝගේ සුප්‍රසිද්ධ ගුවර්නිකා සිතුවමේ ඡායාරූපයක් නිවසේ බිත්තිය මත එල්ලා තිබුණා. ගුවර්නිකා සිතුවමේ ඉතාම සංකේතාත්මකව නිරූපණය වෙන්නෙ ස්පාඤ්ඤ සිවිල් යුද්ධයෙදි ගුවර්නිකා නගරයට බෝම්බ හෙළීමේ සිද්ධිය.
Sunday, June 13, 2021
Days of heaven (1978)
1978 අවුරුද්දේ, ටෙරන්ස් මලික් ගේ Days of heaven මුල්වරට තිරගත වෙන මොහොත වෙනතුරුම රූපමය සෞන්දර්ය අතින් ඊට සමාන වෙනත් චිත්‍රපටයක් තිරගත නොවී තියෙන්න ඇති. ඉන්පස්සෙත් ඊට සම කරන්න පුලුවන් "ස්වර්ගීය" සිනමා අත්දැකීමක් තියන චිත්‍රපටයක් නිර්මාණය වුණානම් සෑහෙන කලාතුරකින් වෙන්න ඇති. Days of heaven සැලකෙන්නෙ එදාමෙදාතුර නිර්මාණය වුණු සුන්දරතම රූප රාමු ඇතුළත් චිත්‍රපට කීපය අතරට. ඇමරිකාවේ, ටෙක්සාස් ප්‍රාන්තයේ කෙළවරක් නොපෙනන මහ සාගරය තරම් සුවිසාල තැනිතලා බිම්, ඒ මැද රන්වන් පාටින් බබලන තිරිඟු වගාකළ කෙත් වතු, තැනිබිම් වල ඇවිද යන මුවන්, බයිසන් ගවයින්, අසීමිත අහස, පියාඹා යන කුරුළු රෑන්, 1900 මුල් යුගයේ ඇමරිකානු කම්කරුවන්ගේ ජීවන රටාව. චිත්‍රපටය පුරා දැකගන්න ලැබෙන අසමසම රූපාවලිය සමන්විත වෙන්නෙ මෙන්න මේ දේවල්වලින්.
Days of heaven ඇමරිකානු සිනමාකරු ටෙරන්ස් මලික් ගේ දෙවන සිනමා නිර්මාණය. මලික් සිනමාවට ප්‍රවේශය ලබන්නෙ 1973 දි Badlands තිර රචනාකර අධ්‍යක්ෂණය කිරීමෙන්. ඉන්පසව ඔහු නිර්මාණය කරන Days of heaven 1976 දි රූගත කිරීම් අවසන් කළත් චිත්‍රපටය සංස්කරණය වෙනුවෙන් ඔහුට අවුරුදු දෙකක්ම වැය කරන්න සිදුවෙනව. 1978 Days of heaven වලින් පසුව පැරීසිය බලා යන ටෙරන්ස් මලික් ගැන 90 දශකය වනතුරුම තොරතුරක් ලැබෙන්නෙ නෑ. ඔහු සිනමාවෙන් ඈත්ව, අප්‍රසිද්ධව තමන්ගෙ පෙම්වතිය සමඟ පැරීසියෙ දිවිගෙවූ බවයි කියවෙන්නෙ. නැවතත් ටෙරන්ස් මලික් නම සිනමා ඉතිහාසයෙ සටහන් වෙන්නෙ 1998 වර්ෂයෙන්. ඒ සිනමා රසිකයන් අතර නොමඳව ජනප්‍රියත්වයක් ලැබුව Thin red line චිත්‍රපටයෙන්. Thin red line යුද්ධය පසුබිම් කරගත් චිත්‍රපටයක්. ඔහු මෙය නිර්මාණය කරන්නෙ නවකතාවක් ඇසුරු කරගෙන. නවකතාවක් ඉතාම සාර්ථකව සිනමාවට නැඟුණු එක් අවස්ථාවක් විදිහටයි Thin red line ඉතිහාසගත වෙන්නෙ. ටෙරන්ස් මලික් හාවඩ් සරසවියෙ දර්ශනවාදය පිලිබඳ උපාධිධාරියෙක්. ජර්මන් දාර්ශනික හෛඩැගර් ගේ ග්‍රන්ථ ඉංග්‍රීසි බසට පරිවර්තනය කල පරිවර්තකයෙක්. ටෙරන්ස් මලික් ගේ සිනමාව අපිට හඳුනාගන්න පුලුවන් මේ පසුබිම හරහා.Days of heaven චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1916 යුගයේ ඇමරිකාව. ඉක්මනින් කේන්තිගන්න කලහකාරී කම්කරුවෙක් වුණ බිල්, (Richard Gere) බිල්ගෙ බාල සහෝදරිය ලින්ඩා, (Linda Manz) බිල් ගේ ප්‍රේමවතිය ඇබී (Brooke Adams) සහ ඉඩම් හිමි ධනවතෙක් නමුත් හුදෙකලාවේ ජීවිතය ගෙවන තරුණයෙක් (Sam Shepard) මේ අය තමයි කතාවේ ප්‍රධාන චරිත බවට පත්වෙන්නෙ. මේ කතාව අපිට කියන්නෙ බාල සහෝදරිය ලින්ඩා. බැලූ බැල්මට ඉතාම සරල තුන්කොන් ප්‍රේමාන්දරයක් මිස චිත්‍රපටයෙ වැඩි යමක් දකින්න නැහැ. ප්‍රේම පුවතක තියෙන රොමාන්තික උත්කර්ෂය ටෙරන්ස් මලික් මේ චිත්‍රපටයෙ භාවිත කරන්නෙ ඉතාම අවමයෙන්. ඊට හේතුව මම හිතනව චිත්‍රපටය අපි දකින්නෙ කුඩා දැරියකගෙ ඇහින් වීම. වැඩිහිටියන්ගේ ලෝකය ළමා ඇසින් දකින ඇයට මඟ හැරෙන සහ ඇයට නොවැටහෙන දේ බොහොමයි. මම හිතනව කතාවේ මතුපිට සරල බවට හේතුව එය දකින්න ලැබෙන දෘෂ්ටිකෝණය නිසා බව. නමුත් නාට්‍යමය ගුණයට ඉහළින් චිත්‍රපටයෙ කැපීපෙනෙන්නෙ එහි රූප සෞන්දර්යය. හැම කුඩා දර්ශනයක්ම ඉතාම සුන්දරත්වයකින් නිර්මාණය කරන්න අද්‍යක්ෂවරයා සෑහෙන වෙහෙසිල තියෙනව. මෙතනදි අමතක කරන්න බැරිම චරිතය චිත්‍රපටයෙ cinematography අංශය භාරව කටයුතු කල Néstor Almendros. ඔහුගේ මේ විශිෂ්ට සිනමාකරණය ඒ අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළලේ පවා ඇගයීමට ලක්වුණා. ඒවගේම සිනමාකරණයට නොදෙවනි Ennio Morricone ගේ පසුබිම් සංගීතය ඒ ඒ අවස්ථාවන්වල හැඟීම් මතු කරන ආකාරයට යොදාගෙන තිබෙනව. මෙහි බිල් ගේ චරිතය සඳහා තෝරාගත් සුප්‍රකට රංගධරයින් වන ඩස්ටින් හොෆ්මන් සහ අල් පචිනෝ දෙදෙනාම එය ප්‍රතික්ෂේප කරතිබෙනව. ජෝන් ට්‍රැවල්ටා එය බාරගැනීමට කැමැත්ත පළකලත් ඔහු ඒවනවිට රූපවාහිනි නාලිකාවක් සමඟ ගිවිසුමකට එළැඹ සිටි නිසා ඒ අවස්ථාව ඔහුට ලැබෙන්නෙ නෑ. ඉන්පසුවයි රිචඩ් ගියර් මේ චරිතයට තෝරාගැනෙන්නෙ. රිචඩ් ගේ අතිශ්‍ය කඩවසම් තරුණ රූපකාය වගේම ඔහුගේ රංගනය ඒ චරිතය වෙනුවෙන් කොයිතරම් ගැලපෙනවද කියන කාරණය චිත්‍රපටය නරඹන ඔබටම තීරණය කරන්න පුලුවන්. Days of heaven චිත්‍රපටය ආදායම් අතින් අසාර්ථක එකක් බවට පත්වෙනව. නමුත් චිත්‍රපට විචාරකයින් සහ කලාත්මක සිනමාව අගය කරන ප්‍රේක්ෂක ප්‍රජාව අතින් පැසසුමට ලක්වෙන Days of heaven චිත්‍රපටයට සිනමා ඉතිහාසය ඇතුළෙ හිමිවෙන තැන අද්විතීය සහ අසමසම එකක් බව කිවයුතුමයි.කලින් සඳහන් කල ආකාරයට විස්තරාත්මකව බවින් අඩුව කතාව කීමේ ස්වභාවය නිසා මේ චිත්‍රපටයෙන් කියවෙන්නෙ මොනවගේ දෙයක්ද කියන කාරණය සෑහෙන මතභේදයට ලක්වුණු යමක්. මුදලත්, පරිභෝජනයත් මුල්කරගත් ධනේෂ්වර ඇමරිකානු ජීවනරටාවේ මුල් යුගය එයින් නිරූපිත බව ඔබට කියන්න පුලුවන්. ශ්‍රමය වගුරුවා වැඩ කරන පීඩිත කම්කරු පන්තියත් ඔවුන් ගේ ශ්‍රමය සූරාගෙන එය මුදලට හරවාගෙන සැපසම්පත් භුක්ති විඳින ධනපති පන්තියත් අතර සදාකාලික අරගලය එයින් නිරූපිත බව ඔබට කියන්න පුලුවන්. කොයිතරම් දේපල වස්තුව තිබුණත් ආදරය අහිමි ජීවිතයක ඉතිරි වෙන හිස්කම එයින් නිරූපිත බව කියන්න පුලුවන්. නැත්නම් එය යෞවනය දොරකඩ ඉන්නා දැරියක් ලෝකය දකින ආකාරය සහ ඇගේ ජීවන චාරිකාවෙන් කොටසක් බවත් කියන්න පුලුවන්. ටෙරනස් මලික් තමන්ගෙ දාර්ශනික ආභාසය සිනමාවට ගේන්නෙ මේ ආකාරයටයි. එනම් තනි රේඛීය කතා පුවතක් පැවසීමෙන් එහා, එක විට අරුත් කීපයක් ජනනය වන, දර්ශනවාදයෙන් කරන ආකාරයටම නැවත නැවතත් අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්නකල හැකි සහ එකිනෙකට වෙනස් එළඹුම් ගණනකින් පිවිසිය හැකි සිනමාපට නිර්මාණය කිරීමයි. ඔහුගේ Tree of life(2011) චිත්‍රපටයෙ මේ ගුණාංගය හොඳින්ම දැකගත හැකියි. නමුත් ඔහුගේ චිත්‍රපටවල අනන්‍ය වුණු වචනයෙන් විස්තර කළ නොහැකි කාව්‍යමය සුන්දරත්වය ඔහුව සුවිශේෂ සිනමාකරුවෙක් බවට පත්කර තිබෙනව.කරුණු කාරණා කොහොම වුණත් Days of heaven නම් මේ ස්වර්ගීය සිනමා අත්දැකීම කෙනෙක් ජීවිතය ඇතුලෙ වරක් හෝ විඳගතයුතු එකක් බව කියන්නම්.
Thursday, June 10, 2021
වෑන්ගෝගේ අහසයට..
Monday, June 7, 2021
Nobody knows (2004)
අපිට බොහෝ වෙලාවට අහන්න ලැබිල තියෙන්නෙ දෙවන ලෝක යුද්ධයෙන් බිංදුවටම ඇද වැටුණු සහ යළි ස්වෝත්සාහයෙන් දියුණුවී ලෝකයේ දියුණුම රටක් බවට පත්වුණු ජපානයක් ගැන. හැම දෙයක්ම ඉතාම පිළිවෙළට සිද්දවෙන, නීතිය හොඳහැටි ක්‍රියාත්මක වෙන, විනයගරුක මිනිස්සු ඉන්නා ජපානයක් ගැන. නමුත් කිසිදාක දැකල තියනවද දෙමව්පියන් විසින් තමන්ගේ දරුවන්ව අතහැරදමා යන ජපානයක් ගැන. පාසල් ශිෂ්‍යාවන් මුදලට විකිණෙන, කඩවලින් යම් යම් දේවල් සොරාගන්න කුඩා දරුවන් ඉන්නා ජපානයක් ගැන. ජපන් ජාතික සිනමාකරු Hirokazu Kore-eda ගේ චිත්‍රපට නැරඹුවොත් ඔබට මේ දේවල් දැකගන්න ලැබේවි. සංවර්ධනයේ යෝධ සෙවණැල්ලේ සැඟවී නොපෙනී යන අඳුරු කුඩා මිනිස් ජීවිත ඔබට පෙනේවි. අනෙක් අතින් Kore-eda ගේ සිනමාවේ පහසුවෙන්ම නිරීක්ෂණය කරන්න ලැබෙන්න සාධකය නම් ඒ චිත්‍රපට බොහෝවිට නිර්මාණය වෙන්නෙ පවුල මුල්කරගෙන වීම. පවුල කියන්නේ විශ්වීය සමාජ ඒකකයක්. ලෝකයෙ ඕනෑම තැනක ඕනෑම සංස්කෘතියක මේ පවුල තුල ඇතිවෙන ගැටලු සහ ඒ ඇතුලෙ ඇතිවෙන මානව සම්බන්ධතා සමූහය මූලික වශයෙන් අනෙක් සංස්කෘතීන් හා සමඟ බොහෝවිට එක සමානයි. ඒ නිසා කොයි යම් රටක වුණත් සිනමා රසිකයෙකුට ඔහුගේ චිත්‍රපට තමන්ගේ කරගෙන රසවිඳින්න හැකියි.