Wednesday, February 23, 2022

එළිය... අඳුර..

එළිය නම් නිතරම 
නික්ම එනුයේ යම් තැනකිනි..
වීදියක කෙළවර පහන් කණුවෙනි
තනි තරුවකිනි, කණමැදිරියෙකුගෙනි
සඳුගෙන් නොමැති නම් හිරුගෙනි
නැත්නම් වෙනත් ඕනෑම තැනකිනි
එනමුත් කිසිකලෙක 
ඔබට කිව හැකිද
කොතැන සිට නික්ම එන්නෙද අඳුර?



Friday, February 18, 2022

Alborada - (2021)

"මම යන්නම් පැබ්ලෝ".. ඈ මෙතෙක් තමාට ඇතුළුවීමට අවසර නොතිබුණු රාජ්‍ය තාන්ත්‍රික නිල නිවාසයෙන් එපිටට පියවර තබමින් පැවසුවාය. ඔහු දොරකඩ නතරවී ඈ දෙස බලා සිටියි. "මම ආයෙත් එන්නෙ නෑ"...  ඇය වරක් ආපසු හැරුණාය. ඔහු වැළඳගෙන හඬන්නට වූවාය. ඇය ඔහුගේ හිසෙහි පටන් පාදාන්තය දක්වා සිඹින්නට පටන් ගත්තාය. අවසානයේ ඔහුගේ පා පතුල් මත නතරව කඳුළු වගුරන්නට වූවාය. ඒ කඳුළු ගලාගොස් ඔහු පාමුල එක් රැස් ව කඳුළු විලක් සෑදුණි. ඒ කඳුළු විල මැද ඔහු සෙල් පිළිමයක් සේ සිටගෙන සිටියේ ය. ඔහුගේ දෑසේ ඇඳුණේ තිගැස්මකි. ගැහැනියකගේ අසීමාන්තික ප්‍රේමාවේගය ඔහුව නිරුත්තර කර දමා තිබුණි. මනරම් යෞවනයෙකු වූ ඔහු බොහෝසේ ප්‍රේම කවි ලිවීය. එහෙත් ගැහැනියකගේ අනවරත කඳුළින් හා සුසුමින් ලියවෙන මේ විසල් ප්‍රේමය ඔහුව වික්ෂිප්ත කර දැමීය. ගැහැනු නම් සාගරයක් පිරවිය හැකි තරම් කඳුළුවලින් ද පර්වත සෙළවිය හැකි තරම් සුසුමින් ද සැදුණෝ වෙති. ප්‍රේමය ඇගේ සිරුර පුරා දිවයන රුධිරයයි. තම හදබස පුබුදුවාලන මිනිසෙකු වෙනුවෙන් ජීවිතය වුව පුදකිරීමට ඔවුන් පසුබට නොවේ. නොදැනුවත්වම එම කලාපයට පිවිසෙන පිරිමියෙකුට තම ජීවිතය පුරා ඒ ගැන පසුතැවෙන්නට සිදුවේ.

ලොවක ආදරය දිනාගත් පැබ්ලෝ නෙරුදා නම් චිලී ජාතික කවියා ඉතාම තරුණ අවධියේ (1928) චිලී රටෙහි රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ලංකාවේ (එවකට සිලෝන්) සේවයකිරීමට පැමිණි කතාපුවත අප බොහෝ විට අසා තිබෙයි. Alborada නමින් අශෝක හඳගම සිනමාවට නගන්නේ මේ පැබ්ලෝ නෙරුදා ගේ ලංකා වාසයෙන් කොටසකි. Alborada ප්‍රධාන වශයෙන් ස්ත්‍රී චරිත තුනක් මුල්කරගෙන දිගහැරයි. එයින් ඔහුගේ අනුරාගික දිවි පැවැත්මේ පැතිකඩ තුනක් නිරූපණය වෙයි. ජොසී බ්ලිස්, පැබ්ලෝට මුණගැසෙන්නේ බුරුමයේදී ය. රැකියාවක් සොයමින් යන විසි තුන් වයස් තරුණයෙක් වුණු පැබ්ලෝට බුරුමයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස සේවය කිරීමේ අවස්ථාවක් හිමිවේ. බුරුමයේදී ඔහු මුහුණ දෙන්නේ අතිශ්‍ය පීඩාකාරී තත්ත්වයකටයි. ප්‍රමාණවත් වැටුපක් හෝ හරිහැටි ඉඳුම් හිටුම් හෝ නොලබන පැබ්ලෝ බුරුමයේ ජීවත්වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට වඩා තැන තැන සැරිසරන්නෙකු ලෙසයි. පැබ්ලෝ යටත් විජිතවාදය ප්‍රතික්ෂේප කල අයෙකි. හුදෙකලාවේ නාඳුනන රටක තනිවීම පැබ්ලෝට මහත් වේදනාවක් ගෙනදෙයි. බුරුමයට පැමිණීමට පෙර පැබ්ලෝ තමන්ගේ ප්‍රථම කවි එකතුව "ප්‍රේම කවි විස්සක් සහ ශෝඛ ගීයක්" නමින් පළ කර තිබුණි. පැබ්ලෝ ප්‍රේමණීය මිනිසෙක් විය. තරුණියන් ආශ්‍රයට ඔහු ඉතා ප්‍රිය කලේය. පැබ්ලෝට ජොසී මුණගැසෙන්නේ මේ අතරය. ඈ දුඹුරු සමක් ඇති, ඉංග්‍රීසි කතා කළ බුරුම ජාතික කාන්තාවක වූවාය. සමහර තැනක ඇය ලේකම්වරියක් ලෙස සේවය කල බව සඳහන් වෙයි. ඈ ඔහුගේ කවි වලට ප්‍රිය කලාය. තනිකමින් පීඩාවිඳිමින් සිටි ඔහුගේ හද ඈ ආදරයෙන් පුරවා දැමුවාය. එය එක්තරා ආකාරයක ආලයෙන් උමතුවීමකි. ඇය ඒ වනවිට තම ජීවිතය ඔහු වෙනුවෙන් කැපකර තිබුණි. ඔහුගේ සියලු ආශාවන් සපුරාලීම ඇය තම ජීවිතය කරගෙන තිබුණි. නමුත් එය වියරු ආලයකි. පැබ්ලෝට වෙනත් කිසිවෙකුට ලං වීමට ඇය ඉඩ නොදුන්නාය. ඇය මහත් ඊර්ෂ්‍යාවෙන් ඔහුගෙ වැඩකටයුතු වලට මැදිහත් වන්නට පටන් ගත්තාය. මෙය පැබ්ලෝට ගෙනදුන්නේ මහත් පීඩාවකි. බුරුමයේදී නම් ඇයව අතහැර යාම කිසිසේත් කල නොහැකි බව ඔහු වටහාගෙන තිබුණි. ඒ නිසා ඇයටත් රහසින් ඇය අතහැර වෙනත් රටකට යාමට ඔහු සැලසුම් කලේය. පෙබ්ලෝ නෙරුදා ලංකාවට පැමිණෙන්නේ එළෙසයි.

ජොසී බ්ලිස් ට රහසින්, චිලී රටෙහි තනාපතිවරයෙකු ලෙස ලංකාවට පැමිනෙන පැබ්ලෝට වැල්ලවත්තේ වෙරළබඩ නිල නිවාසයක් හිමිවෙයි. ඉංග්‍රීසි විලාසිතාවට අඳින පළඳින පැට්සි නම් තරුණිය ලංකාවේදී ඔහුට මුණගැසෙයි. පැට්සි ඔහුගේ කවි පද කිහිපයක් කටපාඩමින් දනියි. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ඇරඹෙන්නෙ එළෙසයි. පැට්සි සහ පැබ්ලෝ දෙදෙනා එක්ව සංගීතයට සවන්දෙයි, මධුපානයෙන් මත්වෙයි, නර්තනයේ යෙදෙයි, ප්‍රේමාලිංගනයේ හැසිරෙයි. නමුත් මොහොතක ආශාව සංසිඳුවාගැනීමට එහා  ගැඹුරු ප්‍රේමයක් දෙදෙනා අතර හට නොගනියි. ජොසී බ්ලිස්, පැබ්ලෝ සොයාගෙන බුරුමයේ සිට ලංකාවට පැමිණෙන්නේ මේ අතරයි. තමන් කල ක්‍රියාවේ බරපතළ කම ඔහුට වැටහෙයි (නමුත් ඔහු එයින් පාඩමක් ඉගෙනගන්නා බව අපි දකින්නේ නැත) ජොසී වෙනුවෙන් පැබ්ලෝගේ නිවසේ දොර විවර නොවෙයි. ඈ දොරකඩ පැදුරක් එලාගෙන දිගු පිහියක් අත තබාගෙන ඔහු ඇය කැඳවන තුරු එහිම නැවතී සිටියි. නමුත් දැන් ඔහු තවත් ගැහැනියක් සමග පෙම් දමින් බැඳී සිටින බවද, සැබවින්ම ඇයට ප්‍රේම කර නැති බව ඇය වටහා ගනියි. කොයිතරම් ප්‍රේම කලද එක බිඳුවක් වත් ආදරය නොලැබෙන තැන කිසිදු ගැහැනියක් රැඳෙන්නේ නැත. එවැනි තැනක් ඇය හැරදමා යන්නේ සදහටමය. ඒ ඇය ඒ තත්ත්වයට ඇද දැමූ කවරෙකුට වුව කිසිදා සුවකරගත නොහැකි වේදනාවේ කැළලක් ඉතිරි කර තබමිනි.

චිත්‍රපටයේ වඩාත් අනුවේදනීය කොටස එළඹෙන්නේ එහි අවසානයේදීයි. යටත් විජිත සමයේ පැවතුණේ බාල්ද කක්කුස්සි නම් වැසිකිළි ක්‍රමයකි. එහිදි වැසිකිළියේ වළක් තුල පිහිටි බාල්දියකට එය භාවිත කරන කෙනෙකු මළපහ කර අතර "සක්කිලි' නමින් හැඳින්වෙන මිනිසුන් පැමිණ ඒ මළපහ ඉවත් කර වැසිකිළිය සුද්ධ පවිත්‍ර කරයි. සිංහල හෝ දමිල මිනිසුන් මේ කටයුත්ත සිදුකිරීමට අකමැති වූ නිසා බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ අඩු යැයි සම්මත කුලයක මිනිස් සමූහයක් මේ කටයුත්ත වෙනුවෙන් ගෙන්වාගන්නා ලදී. සක්කිලි නමින් හැඳින්වෙන්නේ ඔවුනුයි. දිනක් තම නිවස අසල මහ රාත්‍රියේ ඇසෙන ගිගිරි නාදයකින් ඇහැරෙන පැබ්ලෝ දකින්නේ තම වැසිකිළිය සුද්ධ පවිත්‍ර කිරීමට පැමිණෙන සුරූපී "සක්කිලි" ලඳකි. රුව දැක ඈ කෙරෙහි සිත බැඳෙන පැබ්ලෝ ඇය දිනා ගැනීමට නොයෙක් දේ කරයි. එහෙත් ඒ කිසිම දෙයකට අනුකූලත්වයක් දක්වන්නේ ඇය නොවෙයි. අවසානයේ බලහත්කාරයෙන් ඇය තම කුටියට ගෙන යන පැබ්ලෝ ඇය ලවා තම ආශාව සංසිඳුවාගනියි. පසුව මෙම සිද්ධිය ගැන සඳහන් කරන පැබ්ලෝ නෙරුදා කියා සිටින්නේ ඇය තමාට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ගල් පිළිමයක් සේ සිටි බවකි. කෙසේ වුවද මේ සිදුවීම පැබ්ලෝ නෙරුදා ගේ නමට සටහන් වුණු කලු පැල්ලමකි. මෑතකදි චිලී රාජ්‍ය තමන් ගුවන්තොටුපලක් පැබ්ලෝ නෙරූදා ගේ නමින් නම් කරන්නට සැරසුණු මොහොතක එයට එරට යම් පිරිස් අතරින් විශාල විරෝධයක් මතුවූයේ ඔහු ස්ත්‍රී දූෂකයෙකු බව සඳහන් කරමින්. ඔහු සැබවින්ම කවුරුන් ද යන පැනයට මනා පිළිතුරක් අවසානයේ යක්ෂ වෙස්මුහුණක් පිටේ බැඳගෙන ඇවිදින කුඩා දරුවාගේ දර්ශනයෙන් පිළිබිඹු වෙයි. තවද එය පැබ්ලෝ නෙරුදා මතු නොව කලාකරුවන්, සුපිරි තරු ලෙස වැජඹෙන පුද්ගලයන් ඉතා පහසුවෙන් සමාජය වෙත නිරාවරණය වන සමාජ මාධ්‍ය යුගයක වෙසෙන අප කවුරුත් සිහිතබා ගතයුතු කරුණක් සංකේතමය වශයෙන් අවධාරණය කරවයි.

Alborada චිත්‍රපටය යටත් විජිත සමයේ ලංකාව පසුබිම් කරගෙන නිර්මාණය වූවකි. යටත් විජිතවාදය ප්‍රතික්ෂේප කල පැබ්ලෝ අතින් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වීම වෙනුවෙන් කැපීපෙනෙන අරගලයක් සිදු නොකරන ලාංකිකයන් විවේචනයට ලක් වෙයි. බ්‍රිතාන්‍යයන් ලංකාවට අනන්‍ය දේශීය සංගීතය රළු පරළු නොදියුණු කලාමාධ්‍යක් ලෙස පහත්කොට සැලකූවත් එහි ඉන්ද්‍රජාලික සුන්දරත්වයට පැබ්ලෝ වසඟ වෙයි. නමුත් ඒ නොදියුණු ආවේගශීලී ගායනාවන් චිත්‍රපටයෙ අවසානයත් සමග සමපාත වෙන ආකාරය උත්ප්‍රාසාත්මකය. යටත් විජිත සමයේ වැඩවසම් සමාජ ධූරාවලිය තුළ ගර්භිත ජන කොට්ටාශයක් වූ සක්කිලි මිනිසුන්හට මෙවැනි අකටයුත්තකදී කිසිවෙකු සරණ වන්නේ නැත. පැබ්ලෝ ගේ ආවතේවකරු දමිල ජාතික රත්නයියා ද පැබ්ලෝ සහ පෙර කී තරුණිය අතර ඇතිවන සිදුවීම බලාසිටියා මිස ඇයව ඉන් මුදාගන්නට ඉදිරිපත් වන්නේ නැත. චිත්‍රපටයේ සක්කිලි අවමංගල්‍යක් දැක්වෙන තැනදී මෘතදේහය පෙරටුකරගත් මිනිසුන් බෙර වයමින් නටමින් ගමන් කරන්නේ ඇයි දැයි පැබ්ලෝ විමසන විට රත්නයියා කියාසිටින්නේ තමන්ගේ මිනිසෙකු මේ දුක්ඛිත ජීවිතයෙන් මිදීමේ සතුට වෙනුවෙන් අවමංගල්‍ය පෙරහරවලදී ඔවුන් මෙලෙස නටන බව ය. මේ මිනිසුගේ ප්‍රීතිමත් අවමංගල උත්සවය දකිට අපිට ඇති වන්නේ සියුම් දුකකි.

Alborada සමඟ අශෝක හඳගම ගේ මෑත කාලීන චිත්‍රපට වෙත අවධානය යොමුකළ විට (ඇගේ ඇස අග, අසන්ධිමිත්තා) තේමාත්මක ලෙස ස්ත්‍රීය ද ඇය අභිමුඛව පිරිමියා ද නිරාවරණය කෙරෙන බව පෙනී යයි. එමෙන්ම මේ චිත්‍රපට ආකෘතිකමය වශයෙන් එක්තරා ආකාරයකට යථාර්ථය ඉක්මවා යමින් මායාමය යාථාර්ථවාදී කලාපයක් ස්පර්ෂකරයි.  Alborada චිත්‍රපටයේ යථාර්ථය ඉක්මවන දර්ශනයක් අපට දැකගන්න ලැබෙන්නේ අවසාන තත්පර කිහිපයේ පමණි. ඒ හැර චිත්‍රපටය අනෙක් මුළු කාලයම රැඳී තිබෙන්නේ යථාර්ථවාදි ආකෘතිය තුළ ය. එතුළ සිටිමින් දෙබස් සහ සමහර දර්ශන හරහා සංකේතීය වශයෙන් අරුත් මතුකරගැනීමට අශෝක හඳගම තම සිනමා භාෂාව මෙහෙයවා ඇති බව පෙනෙයි.

චිත්‍රපටයෙ සංගීත භාවිතය අවස්ථාවන්ට ගැලපෙන ආකාරයට මැනවින් සිදුකර තිබේ. (සංගීත නිර්මාණය - අජිත් කුමාරසිර සහ නාමිනී පංචලා) චිත්‍රපටයෙ සියලු රඟපෑම් අතර වඩාත්ම කැපී පෙනෙන රංගයක් ඉදිරිපත් කර තිබුණේ ජොසී ගේ චරිතය ඉදිරිපත් කළ Anne-Solenne Hatte ය. සක්කිලි ලඳගේ චරිතය රඟපෑ රිතිකා කොඩිතුවක්කු ගේ අභියෝගාත්මක රංගනයද පැසසිය යුතුය. පැට්සිගේ චරිතය ඉදිරිපත් කල ශ්‍රීලාංකික රංගන ශිල්පිනියක වුණු Nimaya Harris ද තම කොටස මැනවින් සිදුකර තිබේ.

සමස්තයක් ලෙස Alborada අගය කලයුතු සිනමාපටයකි. වහාම ලඟම ඇති සිනමාහලට ගොස් චිත්‍රපටය නරඹන්නැයි සිනමාව ප්‍රිය රසිකයන්ගෙන් ඉල්ලා සිටිමි. අවසාන වශයෙන් ලක්මාල් ධර්මරත්න Alborada ගැන කියා තිබුණු වැකියකින් මේ සටහන නිමා කරමි. 

"...චිත්‍රපටිය බලන ඕනෑම පිරිමියෙකුට ආඩම්බරයටත්, බයටත් පත්වෙන්න පුලුවන් ලක්ෂයක් හම්බවෙනව...
ආඩම්බරය තමයි මහා ප්‍රේමණීය කවි පැබ්ලෝ නෙරූදා ඇතුලේ තමන් ඉන්නවා එයාට පේන්න ගන්න එක..." 



Thursday, February 17, 2022

මේ වගේ ගින්නක් - This kind of fire

සමහර වෙලාවට මට හිතෙනවා
දෙවියෝ හිතාමතාම
තල්ලුකරමින් ඉන්නා බව මාව
ගින්නට..
මං හොඳ පද පේළියක්
ලියන හැටි බලා ඉන්නට...

දෙවියෝ ඉඩ දෙන්නෙ නෑ මට..
සැපසේ ඉන්න මගෙ විශ්‍රාම ජීවිතේ
හොඳ හැටි ඇඳපැළඳගෙන 
දේශනාවක් දෙන්න විශ්වවිද්‍යාලයක..

දෙවියන්ට ඕන
මාව රිදවල සතුටක් ලබන්න...

මම හිතන විදිහට
මං ඇර අනික් මිනිස්සු හැමෝම
එපා වෙලා එයාට හොඳටම..

දෙවියන්ට විතරක් නෙමේ
මටත් එහෙමයි වෙලාවකට..

දැන් මගෙ ලයිටරේ හිඳිලා
මම ඔහේ වාඩි වෙලා ඉඳගෙන
උත්සාහකලත් කොයිතරමට
ඒක පත්තු වෙන්නෙ නෑ...

ඒව එහෙම තමා
මේ වගේ ගින්දරක්
දෙවියෝ මට දෙන්නෙ නෑ...
.
.
.

- Charles Bukowski ගේ This kind of fire නම් පැදිය ඇසුරෙන්



Tuesday, February 15, 2022

Yuni (2021)

ප්‍රේම දඩයම නමින් සිංහලෙන් හඬකවල පෙන්වන ඉන්දියානු නට්‍ය නරඹල, ඒ නාට්‍යයෙ ඉන්න ශිවන්‍යා නම් චරිතය රඟපාන නිළියව මුණගැහෙන්න ගෙදරටත් නොකියා ඉන්දියාව බලා යන්න උත්සහ කල හොරොව්පතානේ දැරියන් තුන්දෙනෙකුගෙ කතාවක් මේ අවුරුද්දේ මුලම අහන්න ලැබුණා. මේ ගැහැනු ලමයි තුන්දෙනා ඉන්දියාවට යන්න උත්සාහ කරල තිබුණෙ බස් එකේ යාපනයට ගිහින් එතනින් ඉන්දියාවට ලඟ නිසා බෝට්ටුවකින් හරි එහෙට යන්න පුලුවන් කියන අදහසින්. යාපනේ යන අතරමගදී ගමේ දන්න හඳුනන කෙනෙක් මුණගැහෙන හින්දා කිසිම අතුරුආන්තරාවකින් තොරවම ආපහු ගෙදර එන්න ඒ දැරියන්ට ඉඩ ලැබෙනව. ඇයි එහෙම යන්න හිතුවෙ කියන ප්‍රශ්නය මතුවුණු මොහොතක ඒ අය අතරින් කෙනෙක් කියල තිබ්බ හැමදාම මේ කැලේට වෙලා ඉන්න බෑ නෙ කියල. 

කොළඹ කෙහෙල්වත්තේ මුස්ලිම් ගැහැනු දරුවන් තුන්දෙනෙකුත් ඒවගේම ගෙදරින් පිටවෙලා ගිහින් වත්තල නැටුම් පන්තියකට ඇතුලුවෙන්න උත්සාහ කරල බැරිවුණු තැන බස් එකේ අනුරාධපුරයට ගිහින් එතනින් නුවරට ගිහිල්ල ආපහු කොළඹ ආපු කතාවකුත් ඒ කිට්ටුවම අහන්න ලැබුණා. තමන්ව හිරකරල තියන සංස්කෘතික බැමි කඩා බිඳ දමල නිදහස් වෙන්න ගත්ත අපූරු උත්සාහයක් වගේ ඒ සිදුවීම. එතකොට කැලේ කියන්නෙ හොරොව්පතාන විතරක් නෙමේ නෙ කොළඹත් කැලෑවක් නේද කියල ඒ සිදුවීම දිහා බැලුවම හිතෙනව. ඒත් එක්තරා ආකාරයට ලංකාවම එක්තරා ආකාරයක කැලෑවක් තමයි. අපිට පුලුවන් ඒ කැලෙන් පිටට අඩියක් තියන්න තමන්ට හැකි මට්ටමෙන් උත්සාහයක් දරපු ඒ ගෑනුලමයින් දිහා බලල ඒ අය කරන්න හදපු වැඩේ කොයිතරම් තේරුමක් නැති දෙයක්ද කියල හිනාවෙන්න. නැත්නම් තාත්තාගෙත් බාප්පගෙත් පහර දීම් දරාගන්න බැරුව මියගිය ගම්පොළ නුවන්තිකා, ඝාතනයටලක් වුණු සේයා, විද්‍යා සහ දහසකුත් එකක් තව ඒ වගේ ඛේදවාචකවලින් කෙළවර වුණු දරුවන්ගෙ ජීවිත ගැන මතක් කර කර අඬන්න. ලංකාව කියල හරි සුන්දර රටක් ගැන පොඩි කාලෙ කවි කතන්දර අහල තිබ්බට ඊට පස්සෙ පාරක තොටක යනකොට පොදු ප්‍රවාහන සේවාවන් ඇතුලෙ අත්විඳින්න ලැබෙන දේවල් සහ උදේ හවස තලුමර මර කියන සමහර ප්‍රවෘත්ති දිහා බලනකොට අර ලස්සන සුන්දර රට තියෙන්නෙ කොහෙද කියලයි හිතෙන්නෙ.

හැබැයි අවාසනාවට අපි ඒ අතින් ලෝකෙ තනිවෙලා නැහැ කියල දැනගන්න ලැබෙන්නෙ ගොඩක් වෙලාවට ආසියාතික රටවල ඇත්තම සමාජ ප්‍රශ්න කතාකරන සිනමාපට දිහා බැලුවම. ඉරානයේ සංස්කෘතික අධිපතිවාදය, ඉන්දියාවේ කුලපීඩනය.. මේවගේ කාරණා හමුවේ විශේෂයෙන් ගැහැනිය කොයිතරම් පීඩාවටපත්වෙනවද කියන දෙය පෙන්වා දෙනව. මෙයින් අදහස්වෙන්නෙ යුරෝපියානු රටවල මෙවැනි දේවල් සිදුවෙන්නෙ නැහැ කියන දෙය නෙමෙයි. ඔවුන් හිටියෙ අපිටත් වඩා පසුගාමී තැනක. බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයත් එක්ක ලොවපුරා පැතිර ගිය වික්ටෝරියානු සදාචාරවාදය එක්ක ගැහැනිය නම් කිසිම අයිතිවාසිකමක් නැතිව කුස්සිය මුල්ලට වෙලා ගේදොර වැඩකටයුතු බලාකියාගෙන පමණක් සිටියයුතු තත්ත්වයකයි පැවතුනේ. මීට ප්‍රතිවිරෝධයක් විදිහට ස්ත්‍රීවාදය වගේ මතවාදයක් හැදිල දහසකුත් එකක් සටන්, විරෝධතාවන්, අරගල මැද්දේ තමයි බොහෝමයක් බටහිර රටවල් අද මේ දියුණු තත්ත්වයට පැමිණිලා තියෙන්නෙ. ආසියාතික රටවල බොහෝම වෙලාවට ආගමත් ගතානුගතිකත්වයත් බොහෝම අන්තගාමී විදිහට කරපින්නාගත්ත සමාජ කණ්ඩායම් වල තත්ත්වයත් අර අතීත යුරෝපියානු සමාජවලට සමාන කරන්න පුලුවන්. විශේෂයෙන් ඉස්ලාම් ආගමික අධිපතිත්වය තියෙන රටවල මේ තත්ත්වය දරුණුවට දැකගන්න ලැබෙනව. 2021අවුරුද්දේ තිරගතවුණු Yuni නම් ඉන්දුනීසියානු චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙත් එහෙම කතාවක්. ළමා විවාහ කියන දෙය බොහෝමයක් ඉස්ලාමික රටවල දැකගන්න ලැබෙන දෙයක්. Yuni චිත්‍රපටයෙත් කතා කරන්නෙ මේ සම්ප්‍රදාය නිසා යෞවනය අහිමිවෙලා යන ඉන්දුනීසියානු ගැහැනු ළමයින් ගැන.

චිත්‍රපටය ගොඩනැගෙන්නෙ Yuni නම් ගැහැනු ලමයෙක් වටා. Yuniට වයස දාහතයි. Yuni ඉගෙනගන්න හරිම දක්ෂයි. ඔය වයසේ හැම තරුණයෙක් තරුණියක් වගේම Yuni ආදරය ප්‍රේමය ලිංගිකත්වය වගේ දේවල් ගැන සෑහෙන කුතුහලයකින් පසුවෙන බවක් පේනව. Yuni ගෙ තිබුණ එක් විශේෂත්වයක්. ඒ තමා දම් පාට එක්ක එයාගෙ තියන අසාමාන්‍ය බැඳීම. Yuni දම්පාටට පුදුම විදිහට ආසා කලා. එයා පුලුවන් හැම වෙලාවෙම පිටට පේන වගේම නොපෙනෙන ඇඳුමුත් ඇන්දෙ දම් පාටින්. කවුරු හරි ලඟ දම් පාට මොකක් හරි දෙයක් තිබුණොත් ඒක හොරකම් කරල හරි තමන්ගෙ කරගන්නයි Yuni උත්සාහ කලේ. දම් පාට කියන්නෙ අධිපතිත්වය, උසස් බව හැඟවෙන වර්ණය. මේක Yuni එක්ක හොඳින්ම ගැලපෙනව. Yuni කියන්නෙ තමන්ට අවශ්‍ය විදිහට ජීවත්වෙන්න උත්සාහ කරන වගේම හැමදෙයක්ම ඉහළින්ම සම්පූර්ණ කරන්න උත්සාහ දරන චරිතයක්. අධ්‍යාපනයෙදි පවා එයා හැම විෂයකටම හොඳම ලකුණු ගත්ත. ඒත් එක විෂයයක් එයාට කොයිතරම් උත්සාහ කලත් එයාට ගොඩදාගන්න බැරිවුණා. ඒ තමා සාහිත්‍ය. කාව්‍ය විචාරය කියන්නෙ එයාට කරන්න බැරි ම වැඩක්. සාහිත්‍ය එක්ක අවුලට වැටිලා ඉන්න  Yuniව එයින් ගොඩගන්න උදව්වෙන්නෙ ඉස්කොලෙම තවත් පිරිමි ළමයෙක්. එයා කවි ලියන කියවන රසවින්දනය හොඳට දන්න කෙනෙක්. එයා Yuni ට කාව්‍ය විචාර ලියල දෙනව. ඒ අතරෙ පොඩි කවි කෑලි කොලවල ලියල ඒවත් Yuni ට දෙනව. 

Yuni ගෙ සමවයසේ සමහර ගෑනුලමයි ඉස්කෝලෙ යන අතරම විවාහ වෙලා. දරුවන් ලැබෙන්න ඉන්න අතරම ඉස්කෝලෙ ඇවිත් ඉගෙනගන්න ළමයිනුත් ඉන්නව. ඒ සම්ප්‍රදාය අනුව මනාල පාර්ශ්වය විසින් මනමාලියට ලොකු මුදලක් ගෙවන්න ඕන විවාහයකදි. ආර්ථික ප්‍රශ්න නිසා බොහෝම වෙලාවට මේ දරුවන්ව විවාහ කරදෙන බව හිතන්න පුලුවන්. Yuni ටත් එහෙම විවාහ යෝජනාවක් එනව. ඈ එය නම් එකහෙලා ප්‍රතික්ෂේප කරනව. සම්ප්‍රදාය අනුව විවාහ යෝජනා දෙකට වඩා ප්‍රතික්ෂේප කරන්න බැහැ. තුන්වැන්නා සමග අනිවාර්යයෙන් විවාහ වියයුතුයි. Yuni මේ ඛේදවාචකයට මුහුණ දෙන්නෙ කොහොමද.

Yuni චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන Kamila Andini ඉන්දුනීසියාවේ නැගී එන සිනමාකාරියක්. ඇය බොහෝම තරුණ වයසෙන්ම චිත්‍රපට නිර්මාණය කරන්න යොමුවුණු කෙනෙක්. Yuni ඇය අධ්‍යක්ෂවරියක් විදිහට වැඩකරන පස්වෙනි චිත්‍රපටය. Yuni ලෝකය පුරා අවධානය දිනාගන්න සමත්වුණු චිත්‍රපටයක්. 2022 ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් Indonesiaව නියෝජනය කරන්න නිල වශයෙන් තෝරාගත් චිත්‍රපටය Yuni. විශේෂයෙන් සඳහන් කළයුතුයි Yuni ගේ චරිතය නිරූපණය කරන Arawinda Kirana ගේ රඟපෑම ගැන. ඇය පුදුමාකාර විදිහට ඒ චරිතය තමන්ගේ කරගෙන ඒ තුළ ජීවත් වෙනව. ඈ රඟපාන බවක් නම්  දැනෙන්නෙ නෑ. ඒ තරම් හොඳින් ඇය තමන්ගේ කාර්‍ය ඉටුකර තිබෙනව. Yuni ආගමත් ගතානුගතිකවයත් නිසා පීඩාවිඳින තරුණ ජීවිත විවරණය කරන සුවිශේෂ චිත්‍රපටයක් විදිහට නම් කළ හැකියි. මේ චිත්‍රපටයෙ ඇතුළත් වෙලා තිබුණ කවියක සිංහල පරිවර්තනය..
.
.
.
දවසක
මගෙ සිරුර තවදුරට 
නොපවතීවි මේ ලොව..
ඒත් මේ කවියේ පේලි අතර
හිඳිවි මම හැමදාම 
ඔයා ළඟම..

දවසක..
සදහටම නෑසී යාවි
මගෙ කටහඬ..
ඒත් මේ කවියේ පේලි අතර
ඇහේවි හැමදාමත් මාව
ඔයාට...

දවසක...
මැරී යාවි මගෙ හීන 
සදහටම..
ඒත් මේ කවියේ පේලි අතර
ඔයාට හමුවේවි 
මාව ..



Monday, February 14, 2022

කිසිවෙකු තනිව මිය යා යුතු නැත - No one dies alone

ඕනෑම කෙනෙකු මෙලොවට බිහිවන්නේ තනිවම. ඒ වගේම නැවතත් මේ ලොව හැරයන අවසාන ගමන යන්නෙත් තනිවම. නමුත් කිසිම කෙනෙකුට බැහැ ඒ අතරමැද කාලය තනිවම ජීවත් වෙන්න. ඇමරිකානු ජාතික Christopher McCandless නම් තරුණයාගේ සැබෑ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුණු Into The Wild චිත්‍රපටය ඔබ නරඹල ඇති. තමන් සන්‍තක සියලු දේ අතහැරල ජීවිතේ හොයාගෙන වනගත වෙන Christopher ට නොහිතූ විදිහට මහ පාලු වනාන්තරයක් මැද්දේ තනියම මරණය වැළඳ ගන්න සිද්දවුණු මොහොතේ ස්වර්ගය කරා යොමු වුණු ඒ ඇස් දෙකේ ඇඳෙන්නෙ මහා ශෝකයක්. කැලෑව මැද්දේ ඵලවැල අනුභව කරමින් තනිව කාලය ගෙවන අතරේ තමන්ගෙ දිනපොතේ ඔහු ලියනව "Happiness is only real when shared" කියල. ජීවිතේ වැඩියෙන්ම සතුටින් ඉන්නෙ හොඳ ශක්තිමත් මානව සම්බන්ධතා පවත්වාගෙන යන අය කියල හාවර්ඩ් සරසවිය සියවසකට ආසන්න කාලයක් පැවතුණු සහ තවමත් පවත්වාගෙන යන ඒ පර්‍යේෂණයෙන් (Havard study of Adult Development) ඔප්පු කරගත් හැටි කලින් ලිපියක මම ලිව්ව. මිනිස්සු විදිහට අපි හැඩගැහිල තියෙන්නෙ එකිනෙකා අතර ඇතිවෙන සම්බන්ධතා මත ජීවිතේ පවත්වාගන්න. මිනිස්සු සෝෂල් මීඩියාවලට වැඩිපුර යොමුවෙන්නෙ, තමන්ට ලැබෙන ලයික්, කමෙන්ට් වගේ දේවල් වලට සෑහෙන අවධානයක් දෙන්නෙ ඔය තියන නැඹුරුතාව නිසා කියල මම හිතනව. 

 කෙනෙකුට ජීවිතේ විඳින්න පුලුවන් ලොකුම වේදනාව තමන්ට කාත් කවුරුත් නැහැ කියල දැනගන්න ලැබීම. ආදරය ප්‍රේමය වගේ දේවල්වලට අපි මේ තරම් සැලකිල්ලක් දක්වන්නෙ ඒ නිසා. ඒවගේම මේ ලෝකෙ අවසාන ගමන ලංවුණාම දන්නා හඳුනන කිසිකෙනෙක් ලඟ නැතිව ඒ ගමන යන්න වුණොත් කොහොම වේවිද. අපි නොදන්නව වුණත් ලෝකෙ පුරාම එහෙම තනිවම මරණය වැළඳගන්න අය අප්‍රමාණව ඉන්නව. ඇමරිකාවේ Indiana ප්‍රාන්තයෙ මේ අය වෙනුවෙන් ආරම්භ වුණා එක් ස්වෙච්ඡා වැඩසටහනක් No One Dies Alone (NODA) නමින්. මෙතනදි වෙන්නෙ නෑදෑයෙක් හිතවතෙක් ලඟ නැතිව නමුත් මරණාසන්න තත්ත්වයට පත්වුවන් යම් මොහොතක අවසාන ගමන යන තෙක් ඔවුන් ළඟ හිඳීම. 

NODA ආරම්භ වෙන්නෙ Oregon වෛද්‍ය මධ්‍යස්ථානයෙ ප්‍රධාන හෙදිය වුණු Sandra Clark ගෙන්. දවසක් ඇය වාට්ටුවක රෝගීන් පරීක්ෂාකරමින් ඉන්නා අතරෙ එක් වයසක මනුෂ්‍යයෙක් "මගෙ ළඟ ටිකක් වෙලා ඉන්න පුලුවන් දැයි" ඇගෙන් අසා තිබුණා. "ඔව් ඇත්තටම, මගෙ අනෙක් රාජකාරි ඉවරවුණු ගමන් මම එනව" ඇය ඒ මොහොතෙදි කිව්ව. ඇය ඔහු ලඟට පැමිණෙන මොහොතේ ඔහු ඇයට අතපෑව ආකාරයෙන්ම අත දිගුකරගෙන මියගොස් තිබුණා. මේ සිදුවීම ඇය තුළ ඇති කලේ විශාල කම්පනයක්. "ඔහුට තිබුණේ ඉතාම පහසුවෙන් ඉටුකිරීමට හැකියාව තිබුණු කුඩා ඉල්ලීමක් පමණයි" youtube ඔස්සේ තම අත්දැකීම විස්තර කරන Sandra කියා සිටිනව. තමන්ගේ රෝහලේ කිසිවෙක් තනිව මිය නොයා යුතු යැයි ඇය සිතුවා. රෝහලේ වැඩකරන සියලුදෙනා කැඳවල ඇය මරණාසන්න වූවන් ළඟ ඉන්න කැමති අය ඉදිරිපත් වෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. සුලු සේවකයාගෙ පටන් බොහෝ අය ඊට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මේ විදිහට පටන්ගන් NODA සේවාව සංවිධානාත්මකව දියත් වෙන්නෙ 2001 වර්ශයෙ. අදවන විට ඇමරිකාවේ වෙනත් ප්‍රාන්ත වලත් යුරෝපයේ රටවල් කීපයකත් මේ සේවාව ක්‍රියාත්මක වෙනව. 

NODA සේවාව ලබාගන්නා බොහෝ අය පවුලෙන් වෙන්ව ජීවත්වූවන්, අවසාන මොහොතේ පවුලේ අය ලඟ ඉන්නවාට අකමැති වූවන් නැත්නම් නැදෑ හිතමිත්‍රයන් බොහොම දුරබැහැර වාසය කරන්නන්. මෙතනදි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නන්ට පැවරෙන්නේ ඒ අය හිත සතුටුවෙන ආකාරයෙ ඕනෑම දෙයක් සිදුකිරීම. බයිබල් පාඨ කියවීම, ගීත ගායනය, ආවතේවකටයුතු කිරීම ආදී දේ සිදුකරන්න. ඕනෑම කෙනෙකුට මේ සඳහා ඉදිරිපත් වෙන්න හැකියාව තියනව. මෙය කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව සිදුකරන සේවයක්. කාත්කවුරුත් නැතිකමින් පීඩා විඳිමින් කිසි කෙනෙක් මිය නොයා යුතු බව මේ විදිහට ඔවුන් සහතික කරනව. 

Jim Clerk නම් ස්වේච්ඡා සේවකයා NODA සේවාව ලබාදෙන්න ඉදිරිපත් වුණේ ඔහුගෙම පියා ඔහුගේම දෑතේ මරණයටපත් වූ පසුවයි. "අපි මිය යන විදිහ ඇත්තටම බලපෑමක් තියනව" ඔහු කියනව "මගේ තාත්ත තනිවම මිය ගියා නම් ඒක මට දරාගන්න බැරිවෙන්න තිබුණ" Jim දැනට විසි හතර දෙනෙකු වෙනුවෙන් තම සේවාව ලබා දී තිබෙනව. "එක් ගැහැනියකට මම කිව්ව බොහෝම සන්සුන්ව සැහැල්ලුවෙන් යන්න ඔයාගෙ යාලුමිත්‍රයන් එහෙදි ඔයාට මුණගැහේවි කියල. ඒක ඇයට උදව්වක් වුණා කියල මම හිතනව." ඔහු කියනව. Clark වැනි තවත් බොහෝ අය මේ විදිහට ජීවිතයෙන් නික්ම යන්නන්ට අවසාන මොහොත වඩා සුවපහසු එකක් බවට පත් කරන්න සැදීපැහැදී ඉන්නව. ඇත්තටම ලෝකය වඩා යහපත් තැනක් වෙන්නෙ මේවැනි අය නිසා නොවෙයි ද.



Friday, February 11, 2022

Murder on the Orient Express (1974)

Agatha Christie නම් ඒ ලෝ ප්‍රකට රහස් පරීක්ෂක නවකතාකාරිය අවසාන වතාවතාවට ප්‍රසිද්ධ ස්ථානයක දැකගන්න ලැබෙන්නෙ 1974 වසරේ ඇගේම නවකතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු Murder on the Orient Express චිත්‍රපටයෙ එළිදැක්වීමේ උත්සවය තිබුණු දවසේ. ඉන් වසර දෙකකට පසුව 1976 දී 85 හැවිරිදිව තමන්ගේ නිවසේදී සාමකාමීව මරණය වැළඳගන්නාතුරු ඇය මෙවැනි කිසිම අවස්ථාවකට සහභාගි වුණේ නෑ. Agatha Christie අතින් රචනා වුණු රහස්පරීක්ෂක කතා කොයිතරම් ලෝකය පුරාම ප්‍රසිද්ධියට පත්වුණාද කියන දෙය ඔබ දන්නව. ඒ කතා ආශ්‍රය කරගෙන නිර්මාණය වුණු චිත්‍රපට, රූපවාහිනි නාටක ගණන අප්‍රමාණයි. නමුත් ඇය කියා තිබුණු විදිහට ඇය නරඹා තිබුණු ඒ හැම චිත්‍රපටයක් අතරින්ම ඇය වඩාත් තෘප්තිමත්වී තිබුණේ  Murder on the Orient Express චිත්‍රපටයෙන් පමණයි. ඒ වගේම ඒ කතා අතර ඇය අතින් උපත ලැබූ බෙල්ජියම් ජාතික රහස් පරීක්ෂක Hercule Poirot චරිතය වඩාත්ම නිවැරදිව ඉදිරිපත් කරතිබුණේ මේ චිත්‍රපටයෙන් බවත් ඇය කියා තිබුණා. Murder on Orient Express චිත්‍රපටය 12 Angry men, Dog Day Afternoon වැනි විශිෂ්ට ගණයේ සිනමා නිර්මාණ බිහිකළ අධ්‍යක්ෂවරයෙක් වුණු Sidney Lumet ගේ නිර්මාණයක්.

Orient Express නමින් හැඳින්වෙන්නෙ යුරෝපයේ නැගෙනහිර කෙළවර පිහිටි තුර්කියේ ස්තාන්බූල් නගරයෙ පටන් බටහිර අන්තයේ පිහිටි ලන්ඩන් නගරය දක්වා යුරෝපය හරහා ගමන්කල දුම්රියක්. බෙල්ජියම් සමාගමකට අයිති මේ දුම්රිය සේවාව 2009 අවුරුද්දේ ධාවනයෙන් ඉවත් වෙන තුරුම ක්‍රියාත්මකව පැවතුණා. රුසියාවට ආසන්න කලාපයෙ මේ දුම්රිය ගමන්කරද්දි අධික හිම පතනය නිසා බොහෝ වෙලාවට දුම්රිය මාර්ගය අවහිර වෙනව. ඒ නිසා ඒ අතරදි ටික දිනක් දුම්රිය ගමන ඇනහිටිනව. Agatha Christie තමන්ගෙ පරිකල්පනය මෙහෙයවන්නෙ මේ ආකාරයට නතරවුණු දුම්රියක සිදුවෙන අබිරහස් ඝාතනයක් කේන්ද්‍ර කරගෙන. 

Murder on the Orient Express කතාවට මුල්වෙන්නෙ  වර්ශ1935 කාලය. මැදපෙරදිග කලාපයේ බ්‍රිතාන්‍ය හමුදාවට අදාල ගැටලුවක් විසඳාදෙන රහස් පරීක්ෂක Hercule Poirot, Orient දුම්රියෙන් නැවත ලන්ඩනය බලායාමට සූදානම් වෙනව. එතනදි Poirotට මුණගැහෙනව තමන්ගේ පැරණි මිතුරෙක් වගේම Orient දුම්රිය සමාගමේ හිමිකරු වන Signor Bianchi. යුගොස්ලාවියාව වන තුරුම බාධාවකින් තොරව දුම්රියේ ගමන සිදුවෙන  නමුත් හිමවැස්මෙන් මාර්ගය අවහිරවී තිබෙන නිසා ගමන තරමක් පමාවෙන බවයි මගීන්ට දැනගන්න ලැබෙන්නෙ. ඒ අතරෙ දුම්රියෙ ගමන්ගත් ඇමරිකානු ව්‍යාපාරිකයෙක් වුණු Samuel Ratchett මහතාව ඝාතනයට ලක්වී ඇතිබව හදිස්සියේම අනාවරණය වෙනව. යම් තියුණු ආයුධයකින් ඔහුගෙ පපුවට දොළොස්වතාවක් ඇනීමෙන් මරණය සිදුකර තිබුණ. දුම්රියේ වෛද්‍යවරයා කියාසිටින්නේ මෙය නිසැකවම සැලසුම් සහගතව කල මිනිස් ඝාතනයක් බව. දුම්රිය හිමිකරු විදිහට Signor Bianchi ආරාධනා කරනව තමන්ගේ මිත්‍ර Poirotට මේ අභිරහස සොයාදෙන්න. ඝාතකයා අනිවාර්යයෙන් මගීන් අතර කෙනෙකු වියයුතු බවත් මේ මොහොතේ ඒ තැනැත්තා තමන් අතර සිටින බවත් Poirot කියනව. එක් එක් මගීන් ගෙන් වෙන වෙනම ප්‍රශ්න විමසමින් මේ ගැටලුව විසඳන්න Poirot උත්සාහ කරනව. 

Murder on the Orient Express සම්මාන ගණනාවකටම නිර්දේශ වුණත් කැපී පෙනෙන්නේ හොඳම සහාය නිළිය විදිහට Ingrid Bergman දිනාගත් ඔස්කාර් සම්මානය.  ඇගෙ රඟපෑම තිරයෙ දිස්වෙන්නේ තරමක කෙටි කාලසීමාවක. නමුත් කැපීපෙනෙන රංගනයක් ඉදිරිපත් කරන්න ඒ කුඩා ඉඩකඩ වුණත් සෑහෙන බවයි ඇය මේ විදිහට ඔප්පු කර පෙන්වන්නෙ. අනෙක් චරිත අතර Sean Connery, Anthony Perkins වැනි සුපිරි ගණයේ රංගවේදීන් දැකගත හැකියි. 

මැදපෙරදිග ආසන්නයේ පටන් බටහිර යුරෝපය දක්වා ගමන් කරන දීර්ඝ නමුත් සුන්දර Orient Express දුම්රිය මගීන් අතරේ මිනිස් ඝාතනයක් සිදුකරන්න තරම් හැකියාවක් ඇතියයි සැක කළ හැකි කෙනෙකු නැති තරම්. ඔවුන් හැම කෙනෙකුම වගේ සමාජයේ වැදගත් යයි සම්මත ගෞරවනීය මිනිසුන් සහ ගැහැනුන් මිස අපරාධයකට සම්බන්ධ බවට කොයි ආකාරයකින් වත් සැකකල හැකි අය නොවෙයි. නමුත්, අපරාධයක් කළ කාට වුණත්, තියුණු දෑස් ඇති සහ අතිශ්‍ය කල්පනාකාරී රහස් පරීක්ෂක Hercule Poirot ගෙන් ගැලවෙන්න ලැබේවි කියල හිතන්න නම් අමාරුයි.



Thursday, February 10, 2022

මරණය! මට මිය යා නොහැක!

නවතින්න මොහොතක්..
මරණය! 
මට මිය යා නොහැක!
මගෙ සොඳුරු ජීවිතේ මේ
මෝදු වන්නේ වසත් සමයකි...
පැහැබර යෞවනේ මාගේ
ඇසෙන්නේ කොවුල් ගීයකි...

නවතින්න මොහොතක්..
මරණය! 
මට මිය යා නොහැක!
ඉටු නොවී මා හදේ පැතුමන්..
නොවිඳි සතුටකි සිතේ මාගේ..
නොගැයූ ගීතයකි මා මුවේ..
නොහෙළූ කඳුළකි මේ දෑසේ..

නවතින්න මොහොතක්..
පිරී ඉතිරෙන තුරු මා..
ප්‍රේමයෙන් සහ ශෝකයෙන්..
මේ මහා පොළොව මත
මේ විසල් අහස යට
මිහිරිතම මතකයන්ගෙන්..
පිරෙන තුරු මා 
නොපිරූ මිනිස් හැඟුමන්..
මරණය! 
මට මිය යා නොහැක!
.
.
.
- Sarojini Naidu කිවිඳිය ගේ The poet to death නම් පැදිය ඇසුරෙන්




Monday, February 7, 2022

Pleasure (2021)

වෙනත් ඕනෑම වෘත්තියක් කරන කෙනෙකුට වගේම Porn artist කෙනෙකුට වුණත් තමන් කරන කාර්‍ය ගැන සතුටක් වගේම මේ මොන කරුමයක්ද කියල හිතන වෙලාවල් තියනව. Adult movies කියන්නෙ තවත් එක කර්මාන්තයක් විදිහට අරගත්තොත් ඒක ඇතුලෙ ඉන්නෙ නළු නිළියන් කියන්නෙත් එක්තරා වෘතිකයන් පිරිසක් පමණයි. සාමාන්‍යයෙන් රැකියාවක් කරන කෙනෙකුට ඒ ඇතුළෙ හොඳ ස්ථාවරයක් හදාගන්න නම් කරන්න ඕන මොනවද සහ ඒකට තියන අභියෝග මොනවද කියන දේ ගැන අවබෝධයක් තියනව. Porn artist කෙනෙකුටත් ඊට ලොකු වෙනසක් නෑ. මොන තැනක වුණත් රැඳී ඉන්න නම් ඒකට විශාල කැපවීමක් වගේම අරමුණක් තියෙන්න ඕන. ඇතුළාන්තයෙ ඇවිලෙන ගින්නක් තියෙන්න ඕන. මේ තදබල පෙළඹවීම තමා මිනිස්සුන්ව ඕනෑම දෙයකට ඇද බැඳ තබාගන්නෙ. Pleasure මේ වැඩිහිටි සිනමාපටවල කැමරාවෙන් පිටුපස නොදකින මානයක් නිරාවරණය කරන චිත්‍රපටයක් වගේ එය එක්තරා ආකාරයක character study එකක්. 

අවුරුදු විස්සක් වයස Linnéa, "Bella Cherry" නමින් අන්වර්ථ නාමයකින් ස්වීඩනයෙ ඉඳන් ඇමරිකාවට එන්නෙ තමන්ගේ එකම සිහිනය වුණු Porn star කෙනෙකු වීමේ සිහිනය සැබෑ කරගැනීමේ අරමුණෙන්. ඈ වැනි සුන්දර සුරූපී තරුණියකට මේ වැඩේ පහසුවෙන් කරන්න හැකි බව ඕනෑම කෙනෙකුට හිතන්න පුලුවන්. නමුත් කාරණාව පෙනෙන තරම් ලේසි පහසු එකක් නෙමේ. ක්ෂේත්‍රය ඇතුළේ තියෙන්නෙ දැඩි තරඟයක්. ලස්සන පමණක් ම තිබිලා හොඳ තැනකට එන්න පුලුවන් කමක් නෑ. මුලින්ම මේ Industry එක වැඩකරන ආකාරය ගැන අවබෝධයක් තියෙන්න ඕන. Industry එක ඇතුළෙ බලවත් චරිත එක්ක contacts හදාගන්න ඕන. කරන්න ඉතාම අපහසු තරම් extreme මට්ටමේ දර්ශන රඟදක්වන්න ඕන. මේක කොහෙත්ම ලේසි වැඩක් නොවෙයි. Pleasure චිත්‍රපටයෙ පෙනවාදෙන්නෙ Porn චිත්‍රපට පිටුපස තියන මේ කටුක යථාර්ථය.

Pleasure චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟදක්වන Sofia Kappel හැර අන් හැමකෙනෙක්ම ඇත්තටම Porn චිත්‍රපටවල රඟපෑම නියුතු අය වීම විශේෂයක්. මේ කතාව කොහොමත් සැර අඩුකරල කතා කරන්න බෑ. ඒ නිසා pleasure සාපේක්ෂය nude දර්ශන වැඩිවශයෙන් ඇතුළත් චිත්‍රපටයක්. 

Pleasure කියන්නෙ Porn සිනමා කර්මාන්තය වෙනුවෙන් පමණක් නොවෙයි ඕනැම වෘත්තියක් වෙනුවෙන් අදාළ කරගන්න පුලුවන් කතාපුවතක්. තමන්ගේ අරමුණ සහ මානුෂිකත්වය අතර ගැටෙන මොහොතක අපි කොහොමද වඩා නිවැරදිම තෝරාගැනීමක් කරන්නෙ කියන දේ චිත්‍රපටයෙ පෙන්වාදෙනව. ජීවිතේ අපිට වටිනාම දේවල් කැපකරගෙන සාර්ථකත්වය ලබාගත්තත් ඒ එක්කම අපිට අහිමිවෙන දේවල් නිසා ඇති වෙන හිස්කම වෙන කිසිම දෙයකින් පුරවාගන්න බැහැ. හිතේ සතුට සැනසීම අහිමිකරගෙන, වරදකාරී හැඟීමකින් පීඩාවිඳින්න නම් ඒ සාර්ථකත්වය මොකටද? Pleasure කියන්නෙ ඒ අතින් වැඩිහිටි සිනමාවෙන් එහාට යන ජීවිතය ගැන කතාපුවතක්.



Saturday, February 5, 2022

House of Gucci (2021)

විලාසිතා ලෝකේ ඉහළින්ම වැජඹෙන Gucci සන්නාමේ  සුඛෝපභෝගී සමාජේ ආදරේ ගෞරවේ හිමි කරගන්නේ සියවසක කාලයක පටන්මයි. 1921 දී ඉතාලියේ  ෆ්ලෝරන්ස් නගරයෙන් ආරම්භවෙන Gucci ආයතයේ කර්තෘවරුන් බවට පත්වෙන්නෙ විලාසිතා නිර්මාණ ශිල්පී Guccio Gucci සහ ඔහුගේ දෙටු පුත්‍ර Aldo Gucci. එතැන් පටන් පවුලේ ව්‍යාපාරයක්ව පැවතුණු Gucci ආයතනයේ හිමිකාරිත්වය අද පවතින්නේ Gucci පවුලෙන් පරිබාහිරවයි. මෙන්න මේ කාරණාව සිදුවෙන්න මූලිකව බලපෑම් කළ ඛේදජනක සිදුවීම් මාලාවයි House of Gucci චිත්‍රපටයට පාදක වෙන්නෙ. 

House of Gucci සෑහෙන අවධානයක් දිනාගන්න එක් හේතුවක් වෙන්නෙ මෙය Alien, Blade Runner, Gladiator, The Martian වැනි අතිවිශිෂ්ට ගණයේ චිත්‍රපට නිර්මාණය කළ Sir Ridley Scott ගේ අධ්‍යක්ෂණයක් වීම. දෙවන කාරණය Lady Gaga, Adam Driver, Al Pacino, Jared Leto, Jeremy Irons, Salma Hayek වැනි සුපිරි නළුනිළි කණ්ඩායමක් චිත්‍රපටයට රංගනයෙන් දායකවී තිබීම. Gucci ලෝකයේ අංක එකේ වෙළඳ සන්නාමයක් වීමත් මේ චිත්‍රපටයට මේ තරම් අවධානයක් හිමි වෙන්න හේතුවන්න ඇති. ඉතින් එවැනි කණ්ඩායමක දායකත්වයෙන් බිහිවෙන නිර්මාණයකට ලැබෙන්න ඕන කොහොම ප්‍රතිචාර ද? කණගාටුවට කාරුණ House of Gucci ඒ තරම් යහපත් ප්‍රතිචාර ලබාගත් චිත්‍රපටයක් නොවීම. චිත්‍රපටයට ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාර. අඩුපාඩුවක් විදිහට මම දුටු දේ නම් චරිත ගොඩනැංවීම තවත් ප්‍රබල ආකාරයෙන් සිදුවෙන්න තිබුණ බවයි. උදාහරණයක් විදිහට Jerad Leto රඟදැක්වූ චරිතය අපි දකින්නෙ අන්තිම අනුවණ මනුස්සයෙක් විදිහට. ඔහුගේ චරිතය ඒ සීමාවට කොටුවී තිබුණු බවක් දකින්න ලැබුණා. Lady Gaga රඟදැක්වූ චරිතයත් තවත් මතු වුණානම් හොඳ බවක් මට දැනුණෙ. නමුත් පිටපතේ තමාට ලැබුණු කොටස අනුව ඇය තම කාර්‍ය හොඳින්ම කර ඇති බවක් තමයි පෙනෙන්නේ. 2021 වසරට අදාලව ආකර්ෂණීයම රඟපෑමක් ඇගෙන් දුටුවේ. ඒ වගේම විශේෂයෙන් හොලිවුඩයේ නැගී එන තරුවක් වෙන Leto තමන්ගේ බාහිර ස්වරූපය පවා වෙනස් කරගෙන චරිතයට අනුගත වී තිබුණු ආකාරය අතිවිශිෂ්ටයි. මේ වැනි දස්කම් දක්වමින් ප්‍රේක්ෂකයන් ගේ හදවතේ රැඳුණු අයට ඉන්නෙ Christian Bale, Gary Oldman, Johnny Depp වැනි ටික දෙනයි. Jerad Leto ඒ අතරට පැමිණෙන්න නියමිතයි. House of Gucci සිනමාකරණයත් රූපමය ගොඩනැංවීමත් ආකර්ෂණීය මට්ටමක් තිබුණ. විලාසිතා සම්බන්ධ තේමාවක් නිසා රූපමය ආකර්ෂණය අඩුවක් නැතිව චිත්‍රපටයෙන් අත්විඳගන්න පුලුවන්. සමස්තයක් විදිහට කොයිතරම් ඍණාත්මක ප්‍රතිචාර ලැබුණත් House of Gucci ඇහැට බොහෝම ප්‍රිය සහ රසවින්දනාත්මක සිනමා අත්දැකීමක් බව කිවහැකියි.



Tuesday, February 1, 2022

බඹරු ඇවිත් (1978)

1977 කියන්නෙ ශ්‍රී ලාංකිකයෙකුට නම් මතක තියන අවුරුදක්. ඒ රටට විවෘත ආර්ථිකය හඳුන්වාදුන් අවුරුද්ද විදිහට. "විවෘත ආර්ථිකය" කියන වචනෙ තේරුම නොදන්න කෙනෙක් වුණත් මේ කාරණාව දන්නව. සරලවම කිව්වොත් 77 දි වෙන්නෙ එතෙක් ලංකාවෙ පැවති සමාජවාදී ක්‍රමයට අනුගත වුණු රාජ්‍ය ඒකාකාරී සංවෘත ආර්ථික ක්‍රමය වෙනස් කරල, ආනයන අපනයන වෙනුවෙන් රට විවෘත කිරීම. එතනදි ආර්ථිකය ඇතුළෙ රජයේ අධිපතිත්වය තරමකට අඩු වෙලා නිදහස් වෙළඳ පොළ ක්‍රමයක් රටේ ඇති වුණා. රටේ නිෂ්පාදන පිටරට යවන මහා පරිමාණ අපනයන ප්‍රවර්ධන කලාප විවෘත වුණා. පුද්ගලික ව්‍යවසායකත්වය වෙනුවෙන් ඉඩක් හැදුණ. ලෝකයේ පුරා සංසරණය වෙන නොයෙක් පාරිභෝගික භාණ්ඩ අපේ රටටත් එන්න පටන් ගත්ත. එතෙක් පැවති සමාජවාදී ආණ්ඩු විසින් පරිභෝජනය සීමා කරල තිබුණ නිසා සලාක ක්‍රමයට බෙදා දුන්න අවශ්‍ය බඩු භාණ්ඩ ලබාගන්න  මිනිස්සුන්ට පෝලිම් වල ඉන්න  වුණා. මේ ක්‍රමය රටේ පොදු ජනතාව ඇතුළෙ විශාල ආතතියක් ඇති කරල තිබුණ. ඒ හින්ද මැතිවරණයකදි පහසුවෙන්ම මේ ක්‍රමය වෙනස් කරන දේශපාලන කණ්ඩායමකට බලය ලබාගත හැකි තත්ත්වයක් රටේ ඇතිවෙලා තිබුණෙ. මේ වෙනකොට ලෝකයෙත් බොහෝ රටවල් සමාජවාදී ක්‍රමය අතහැරල නිදහස් වෙළඳපොළ ක්‍රමයකට යොමුවීමේ ප්‍රවණතාවක් ඇතිවෙලා තිබුණ. මේ කරුණු කාරණා එක්ක ලංකාව තුළ නිදහස් වෙළඳපළ ක්‍රමයක් අර්ධවශයෙන් හරි ඇතිවීම කියන්නෙ එක් ආකාරයකින් ඓතිහාසිකව සිදුවීමට නියමිත නොවැලැක්විය හැකි යමක් වුණා. 

නමුත් මේ විවෘත ආර්ථිකය හඳුන්වා දෙනවිට එය බාරගන්න සුදුසු පසුබිමක් රටේ තිබුණාද කියන කාරණය ගැටලුවක් වුණා. ඒ සමගම රටට මුහුණදීමට සිදුවෙන අර්බුද ගණනාවකටම විසඳුම් මේ ක්‍රමයෙ තිබුණාද කියන දෙයත් ගැටලුවක් වී තිබුණා. මේ කරුණු කාරණා ඔය ආකාරයෙන් සිද්දවෙන අතරේ ධර්මසේන පතිරාජ මහත්මයාගෙ "බඹරු ඇවිත්" චිත්‍රපටය 1978 දි නිකුත් වෙන්නෙ විවෘත ආර්ථික ක්‍රමයට රට අනුගත වෙමින් තියන මොහොතක. ලිබරල් වෙළඳපළ ක්‍රමය රටට පැමිණීම සහ "බඹරු ඇවිත්" අතර තියෙන්නෙ උත්ප්‍රාසාත්මක සම්බන්ධයක්. බඹරු ඇවිත් චිත්‍රපටයෙ මේ බඹරු එන්නෙ මුහුද අද්දර තියන එක් ධීවර ගම්මානයකට. මත්ස්‍ය සම්පත කියන්නෙ හොඳ හැටි ලාභ උපයන්න පුලුවන් වටින ව්‍යාපාරික අවස්ථාවක්. නමුත් ගමේ කටයුතු සිද්ද වුණේ එහෙම නොවෙයි. ගමේ ආධිපත්‍යය පතුරුවාගෙන හිටි ඇන්ටන් (ජෝ අබේවික්‍රම) ගමේ මිනිස්සු දුක් මහන්සි වෙලා මුහුදු ගිහින් අරගෙන මාළු අඩු ගාණට මිලදී අරගෙන කොළඹ යන ලොරිවලට විකුණුවා . ඇන්ටන් මේ හම්බකරගන්න මුදල් හොඳහැටි සුරාවෙන් සප්පායම් වෙන්නත් තමන්ගෙ හිතගත්ත ගැහැනුන් වෙනුවෙන් වියදම් කරන්නත් යොදාගෙත්ත. ගමේ ධීවරයෙක් ගේ පුතෙක් වුණු සහ කොළඹ හැදී වැඩුණු වික්ටර් නැත්නම් බේබි මහත්තය (විජය කුමාරතුංග) තමන් පොඩි කාලෙ හැදී වැඩුණු මේ ධීවර ගමට එන්නෙ ඔය අතර. බේබි මහත්තය ගමට එන්නෙ තවත් යාලුවො දෙන්නෙක් වුණු සනත් (අමරසිරි කලංසූරිය) සහ වීරසේන (විමල් කුමාර ද කොස්තා) එක්ක. බේබි මහත්තයගෙ අරමුණ ධීවර ගමේ ඉඳන් අලුත් ව්‍යාපාරයක් පටන් ගැනීම. මෙතුවක් කාලයකට අඩු මුදලකට ඇන්ටන්ට මාලු විකුණපු ධීවරයින්ට වඩාත් හොඳ මුදලක් දීල බේබි මහත්තය ඒ මාලු මිලදී ගන්නව. මේ නිසා ඇන්ටන් ගේ ව්‍යාපාරෙට පහර වදිනව. ඇන්ටන් සහ බේබි මහත්තය අතර ගැටුමකට මේ කරුණ හේතු වෙනව. 

හෙලන් (මාලනී ෆොන්සේකා) ගමේම ධීවරයෙකුගෙ දුවක්. ඈ දකින කෙනෙකුට දෙපාරක් හැරිල බලන්න හිතෙන තරම් රූප සුන්දරියක්. ඉතින් තරුණ වයසේ බේබි මහත්තයගේ හිත ඇය ලඟ නතරවීම අරුමයක් නෙමෙයි. නමුත් ඇයගෙ අතපතා ගෙන පෙරුම් පුරාගෙන ඉන්නව තවත් පුද්ගලයෙක්. ඔහු සිරිල් (සිරිල් වික්‍රමගේ) සිරිල් කියන්නෙ ඇන්ටන් ගේ ළඟම සහචරයෙක්. බේබි මහත්තය ටික ටික හෙලන්ට කිට්ටුවෙන බව සිරිල්ට තේරුම් යනව. මේ නිසා සිරිල් බේබි මහත්තයට වෛර කරන්න පටන් ගන්නව. ඒ වෛරය ඇන්ටන් සහ බේබි අතර තියන ගින්නට තවත් පිදුරු එකතු කරනව. සියදිවි නසාගැනීමක්, මිනි මැරුම් දෙකක් සහ පොලීසියක් නොතිබ්බ ගමේ පොලිස් ස්ථානයක් පිහිටුවීම දක්වා මේ ආරවුල දුර දිග යනව.

ගමට පොලීසියක් නැහැ කියන එක ලොකු සංකේතයක්. තමන්ගේ හදවතේ නීතිය මිසක වෙනත් යමක් ගැන ඒ මිනිස්සුන්ට වැටහීමක් නැහැ. තමන්ට අයුක්තියක් අසාධාරණයක් වෙනව නම් මාලු කපන පිහිය තමයි ඉස්සරහට එන්නෙ. ඒ වගේම ඇන්ටන් සහ ඔහුගේ කණ්ඩායමට ගමේ ආධිපත්‍යයක් තිබුණා. ඇන්ටන්ගේ වචනෙකට ඉහළින් යමක් කරන්න කිසිම කෙනෙකුට ඉඩක් තිබුණෙ නෑ. අනෙක් කාරණය එදිනෙදා හොඳ හැටි කාල බීල විනෝද වෙනව ඇරෙන්න මේ කණ්ඩායමට එහෙම ලොකු අරමුණක් ඇති බවක් පේන්න නැහැ. තමන්ගේ ලෝකෙ තමන් කාල බීල ඉඳල මැරිල යනව ඇර ඉන් එහාට ලෝකයක් නෑ. බේබි මහත්මය අඩිය තියන්නෙ ඒ බිමට. බේබි මහත්තයාගෙ අරමුණ ව්‍යාපාරිකත්වය. කෙටි කාලීනව පාඩු විඳගෙන හරි දිගු කාලීනව ලොකු ලාබයකට යන්නයි අරමුණ. බේබි මහත්තය අහන්නෙ බටහිර රොක් ඇන් රෝල් සංගීතෙ. බේබි මහත්තය කියන්නෙ ලිබරල් වෙළඳපළ ක්‍රමයට. එක් ආකාරයකට නොදියුණු සහ තමන්ගෙම ක්‍රමයට තමන්ගෙ ප්‍රශ්න විසඳගෙන පැවතුණ තැනකට මේ ව්‍යාපාරික බේබි ගේ ආගමනය සිද්දවෙන්නෙ. නමුත් ඒ ආගමනය කියන්නෙ තවත් අලුත් ප්‍රශ්න ගණනාවක මුලක්. නිතරම යුක්තිය, සාධාරණය, සමානාත්මතාව, ජීවිතේ සැබෑ අර්ථය වගේ දේවල් ගැන දේශනා කරන වීරසේනට මේ අවුල පෙනෙනව. මෙහෙම ලොකු ගැටලුවක් ඇති වෙන බව ඔහු කලින්ම කිව්ව. ඒත් වීරසේන කියන දෙයක් බේබි මහත්තය අහන්නෙ නෑ. ඇන්ටන් ඇතුළු ගැමියන්ට වීරසේන කියන දේ තේරෙන්නෙ නෑ. නැත්නම් ඒ අයට දැනෙන්න කතා කරන්න වීරසේන දන්නෙ නෑ. අන්තිමට කොළඹ යන බස් එකේ නැගල යන්නෙ වීරසේන තනියෙන්. එතැන තියෙන්නෙ වර්තමාන කාලෙටත් ගැලපෙන ලොකු කතාවක්.

බඹරු ඇවිත් චිත්‍රපටය ගැන කතාකරනකොට අමතක කරන්න පුලුවන් කමක් නෑ ප්‍රේමසිරි කේමදාස ශූරීන්ගේ සංගීතය. විශේෂයෙන් "උදුම්බරා හිනැවෙනවා" ගීතයෙ රූප රචනාව ඒ යුගයෙ නිර්මාණය වුණාදැයි හිතාගන්න බැරිතරම් සර්වකාලීනව විඳගත හැකි සෞන්දර්යක්. ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්, සුනිලා අබේසේකර මේ හඬවල් තුන කේමදාස මහත්මය යොදාගන්නෙ. මේ ගීයෙ එක හඬක් මතුවෙලා වියැකෙන මොහොතෙ තවත් හඬක් ඊට යටින් මතුවෙනව. තමන් ඒ ආකාරයෙන් හඬ භාවිතා කලේ මුහුදක රළ නැගෙන ආකාරය අනුව බව කේමදාස මහත්මය කියා තිබුණ. ඔහු අසමසම සංගීත වේදියෙකු බව පෙන්වාදෙන්න ඒ කරුණ ප්‍රමාවත්. උදුම්බරා ගීය ලියන්නෙ ඩබ්ලිව් ජයසිරි මහත්මය. සමාජයෙ සිද්දවෙන නොයෙක් විපරිනාමයන් හමුවේ ගැහැනියට අත්විඳින්න සිදුවෙන පීඩාකාරී තත්ත්වය ගීයෙන් මතු කරන්න උත්සහ කරන්නෙ. චිත්‍රපටයෙ හෙලන් ගේ චරිතයෙනුත් නිරූපණය කරන්නෙ මේ කරුණ. පිරිමින් ගේ බල අරගලයට මැදිවෙන ගැහැනියකගෙ ජීවිතය. ගැහැනිය පිරිමින් තමන්ගේ ආධිපත්‍යය වෙනුවෙන් පාවිච්චි කර ඉවත දැමිය හැකි භාණ්ඩයක් බවට පත්වීමේ ඛේදජනක ඉරණම. 

2020 අවුරුද්දේ Cannes සිනමා උළලේ Cannes classic අංශයෙන්, ලොවපුරා චිත්‍රපට අතර සංරක්ෂණය සඳහා තෝරාගත් සුවිශේෂ සිනමා කෘති 25 අතරට "බඹරු ඇවිත්" තෝරාගෙන තිබුණා. ඉතාම ඉහළ ප්‍රමිතියකින් සිදු කරන Cannes වැනි උළෙලක එවැනි නිර්දේශයක් ලැබීම ලෙහෙසි පහසු යමක් නොවෙයි. ලාංකික සිනමාව මේ දක්වා ලබපු ලොකු වටිනාකමක් විදිහට මේ නිර්දේශය නම් කරන්න පුලුවන්. ඒ වගේම 1997 රජය මගින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් තෝරාගත් ලාංකික සිනමාවේ බිහිවුණු හොඳම චිත්‍රපට 10 අතරින් 4 වෙනි ස්ථානය හිමිවෙන්නෙ "බඹරු ඇවිත්" චිත්‍රපටයට. ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් "රේඛාව" චිත්‍රපටයන් චිත්‍රාගාරයෙන් එළියට ගෙනා කැමරා ඇස මහපොළව මත මිනිසුන්ගේ සැබෑ ජීවිත වෙත යොමු කළ පුරෝගාමියෙකු විදිහටයි ධර්මසේන පතිරාජ හඳුන්වාදිය හැකි. පතිරාජ වැනි අය පෙන්වාදුන් මේ සමාජ අර්බුදය තව තවත් ඔඩු දුවමින් ලාංකික සමාජයම අඳුරෙන් අඳුරට ගමන් කරමින් තිබීම කණගාටුදායකයි. බඹරු ඇවිත් චිත්‍රපටයේ ගුවන්විදුලි ප්‍රචාරක දැන්වීමෙන් මේ කෙටි සටහන අවසන් කරන්නම් 

ඔබත් මමත් උපදින්නේ එකම වැල්ලක
පිහිනන්නේ එකම මුහුදක..
බඹරු ඇවිත්