ඕනෑම කෙනෙකු මෙලොවට බිහිවන්නේ තනිවම. ඒ වගේම නැවතත් මේ ලොව හැරයන අවසාන ගමන යන්නෙත් තනිවම. නමුත් කිසිම කෙනෙකුට බැහැ ඒ අතරමැද කාලය තනිවම ජීවත් වෙන්න. ඇමරිකානු ජාතික Christopher McCandless නම් තරුණයාගේ සැබෑ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වුණු Into The Wild චිත්‍රපටය ඔබ නරඹල ඇති. තමන් සන්‍තක සියලු දේ අතහැරල ජීවිතේ හොයාගෙන වනගත වෙන Christopher ට නොහිතූ විදිහට මහ පාලු වනාන්තරයක් මැද්දේ තනියම මරණය වැළඳ ගන්න සිද්දවුණු මොහොතේ ස්වර්ගය කරා යොමු වුණු ඒ ඇස් දෙකේ ඇඳෙන්නෙ මහා ශෝකයක්. කැලෑව මැද්දේ ඵලවැල අනුභව කරමින් තනිව කාලය ගෙවන අතරේ තමන්ගෙ දිනපොතේ ඔහු ලියනව "Happiness is only real when shared" කියල. ජීවිතේ වැඩියෙන්ම සතුටින් ඉන්නෙ හොඳ ශක්තිමත් මානව සම්බන්ධතා පවත්වාගෙන යන අය කියල හාවර්ඩ් සරසවිය සියවසකට ආසන්න කාලයක් පැවතුණු සහ තවමත් පවත්වාගෙන යන ඒ පර්‍යේෂණයෙන් (Havard study of Adult Development) ඔප්පු කරගත් හැටි කලින් ලිපියක මම ලිව්ව. මිනිස්සු විදිහට අපි හැඩගැහිල තියෙන්නෙ එකිනෙකා අතර ඇතිවෙන සම්බන්ධතා මත ජීවිතේ පවත්වාගන්න. මිනිස්සු සෝෂල් මීඩියාවලට වැඩිපුර යොමුවෙන්නෙ, තමන්ට ලැබෙන ලයික්, කමෙන්ට් වගේ දේවල් වලට සෑහෙන අවධානයක් දෙන්නෙ ඔය තියන නැඹුරුතාව නිසා කියල මම හිතනව.
Monday, February 14, 2022
කිසිවෙකු තනිව මිය යා යුතු නැත - No one dies alone
කෙනෙකුට ජීවිතේ විඳින්න පුලුවන් ලොකුම වේදනාව තමන්ට කාත් කවුරුත් නැහැ කියල දැනගන්න ලැබීම. ආදරය ප්‍රේමය වගේ දේවල්වලට අපි මේ තරම් සැලකිල්ලක් දක්වන්නෙ ඒ නිසා. ඒවගේම මේ ලෝකෙ අවසාන ගමන ලංවුණාම දන්නා හඳුනන කිසිකෙනෙක් ලඟ නැතිව ඒ ගමන යන්න වුණොත් කොහොම වේවිද. අපි නොදන්නව වුණත් ලෝකෙ පුරාම එහෙම තනිවම මරණය වැළඳගන්න අය අප්‍රමාණව ඉන්නව. ඇමරිකාවේ Indiana ප්‍රාන්තයෙ මේ අය වෙනුවෙන් ආරම්භ වුණා එක් ස්වෙච්ඡා වැඩසටහනක් No One Dies Alone (NODA) නමින්. මෙතනදි වෙන්නෙ නෑදෑයෙක් හිතවතෙක් ලඟ නැතිව නමුත් මරණාසන්න තත්ත්වයට පත්වුවන් යම් මොහොතක අවසාන ගමන යන තෙක් ඔවුන් ළඟ හිඳීම.
NODA ආරම්භ වෙන්නෙ Oregon වෛද්‍ය මධ්‍යස්ථානයෙ ප්‍රධාන හෙදිය වුණු Sandra Clark ගෙන්. දවසක් ඇය වාට්ටුවක රෝගීන් පරීක්ෂාකරමින් ඉන්නා අතරෙ එක් වයසක මනුෂ්‍යයෙක් "මගෙ ළඟ ටිකක් වෙලා ඉන්න පුලුවන් දැයි" ඇගෙන් අසා තිබුණා. "ඔව් ඇත්තටම, මගෙ අනෙක් රාජකාරි ඉවරවුණු ගමන් මම එනව" ඇය ඒ මොහොතෙදි කිව්ව. ඇය ඔහු ලඟට පැමිණෙන මොහොතේ ඔහු ඇයට අතපෑව ආකාරයෙන්ම අත දිගුකරගෙන මියගොස් තිබුණා. මේ සිදුවීම ඇය තුළ ඇති කලේ විශාල කම්පනයක්. "ඔහුට තිබුණේ ඉතාම පහසුවෙන් ඉටුකිරීමට හැකියාව තිබුණු කුඩා ඉල්ලීමක් පමණයි" youtube ඔස්සේ තම අත්දැකීම විස්තර කරන Sandra කියා සිටිනව. තමන්ගේ රෝහලේ කිසිවෙක් තනිව මිය නොයා යුතු යැයි ඇය සිතුවා. රෝහලේ වැඩකරන සියලුදෙනා කැඳවල ඇය මරණාසන්න වූවන් ළඟ ඉන්න කැමති අය ඉදිරිපත් වෙන්නැයි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. සුලු සේවකයාගෙ පටන් බොහෝ අය ඊට කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මේ විදිහට පටන්ගන් NODA සේවාව සංවිධානාත්මකව දියත් වෙන්නෙ 2001 වර්ශයෙ. අදවන විට ඇමරිකාවේ වෙනත් ප්‍රාන්ත වලත් යුරෝපයේ රටවල් කීපයකත් මේ සේවාව ක්‍රියාත්මක වෙනව.
NODA සේවාව ලබාගන්නා බොහෝ අය පවුලෙන් වෙන්ව ජීවත්වූවන්, අවසාන මොහොතේ පවුලේ අය ලඟ ඉන්නවාට අකමැති වූවන් නැත්නම් නැදෑ හිතමිත්‍රයන් බොහොම දුරබැහැර වාසය කරන්නන්. මෙතනදි ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන්නන්ට පැවරෙන්නේ ඒ අය හිත සතුටුවෙන ආකාරයෙ ඕනෑම දෙයක් සිදුකිරීම. බයිබල් පාඨ කියවීම, ගීත ගායනය, ආවතේවකටයුතු කිරීම ආදී දේ සිදුකරන්න. ඕනෑම කෙනෙකුට මේ සඳහා ඉදිරිපත් වෙන්න හැකියාව තියනව. මෙය කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව සිදුකරන සේවයක්. කාත්කවුරුත් නැතිකමින් පීඩා විඳිමින් කිසි කෙනෙක් මිය නොයා යුතු බව මේ විදිහට ඔවුන් සහතික කරනව.
Jim Clerk නම් ස්වේච්ඡා සේවකයා NODA සේවාව ලබාදෙන්න ඉදිරිපත් වුණේ ඔහුගෙම පියා ඔහුගේම දෑතේ මරණයටපත් වූ පසුවයි. "අපි මිය යන විදිහ ඇත්තටම බලපෑමක් තියනව" ඔහු කියනව "මගේ තාත්ත තනිවම මිය ගියා නම් ඒක මට දරාගන්න බැරිවෙන්න තිබුණ" Jim දැනට විසි හතර දෙනෙකු වෙනුවෙන් තම සේවාව ලබා දී තිබෙනව. "එක් ගැහැනියකට මම කිව්ව බොහෝම සන්සුන්ව සැහැල්ලුවෙන් යන්න ඔයාගෙ යාලුමිත්‍රයන් එහෙදි ඔයාට මුණගැහේවි කියල. ඒක ඇයට උදව්වක් වුණා කියල මම හිතනව." ඔහු කියනව. Clark වැනි තවත් බොහෝ අය මේ විදිහට ජීවිතයෙන් නික්ම යන්නන්ට අවසාන මොහොත වඩා සුවපහසු එකක් බවට පත් කරන්න සැදීපැහැදී ඉන්නව. ඇත්තටම ලෝකය වඩා යහපත් තැනක් වෙන්නෙ මේවැනි අය නිසා නොවෙයි ද.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment