ප්‍රේම දඩයම නමින් සිංහලෙන් හඬකවල පෙන්වන ඉන්දියානු නට්‍ය නරඹල, ඒ නාට්‍යයෙ ඉන්න ශිවන්‍යා නම් චරිතය රඟපාන නිළියව මුණගැහෙන්න ගෙදරටත් නොකියා ඉන්දියාව බලා යන්න උත්සහ කල හොරොව්පතානේ දැරියන් තුන්දෙනෙකුගෙ කතාවක් මේ අවුරුද්දේ මුලම අහන්න ලැබුණා. මේ ගැහැනු ලමයි තුන්දෙනා ඉන්දියාවට යන්න උත්සාහ කරල තිබුණෙ බස් එකේ යාපනයට ගිහින් එතනින් ඉන්දියාවට ලඟ නිසා බෝට්ටුවකින් හරි එහෙට යන්න පුලුවන් කියන අදහසින්. යාපනේ යන අතරමගදී ගමේ දන්න හඳුනන කෙනෙක් මුණගැහෙන හින්දා කිසිම අතුරුආන්තරාවකින් තොරවම ආපහු ගෙදර එන්න ඒ දැරියන්ට ඉඩ ලැබෙනව. ඇයි එහෙම යන්න හිතුවෙ කියන ප්‍රශ්නය මතුවුණු මොහොතක ඒ අය අතරින් කෙනෙක් කියල තිබ්බ හැමදාම මේ කැලේට වෙලා ඉන්න බෑ නෙ කියල.
කොළඹ කෙහෙල්වත්තේ මුස්ලිම් ගැහැනු දරුවන් තුන්දෙනෙකුත් ඒවගේම ගෙදරින් පිටවෙලා ගිහින් වත්තල නැටුම් පන්තියකට ඇතුලුවෙන්න උත්සාහ කරල බැරිවුණු තැන බස් එකේ අනුරාධපුරයට ගිහින් එතනින් නුවරට ගිහිල්ල ආපහු කොළඹ ආපු කතාවකුත් ඒ කිට්ටුවම අහන්න ලැබුණා. තමන්ව හිරකරල තියන සංස්කෘතික බැමි කඩා බිඳ දමල නිදහස් වෙන්න ගත්ත අපූරු උත්සාහයක් වගේ ඒ සිදුවීම. එතකොට කැලේ කියන්නෙ හොරොව්පතාන විතරක් නෙමේ නෙ කොළඹත් කැලෑවක් නේද කියල ඒ සිදුවීම දිහා බැලුවම හිතෙනව. ඒත් එක්තරා ආකාරයට ලංකාවම එක්තරා ආකාරයක කැලෑවක් තමයි. අපිට පුලුවන් ඒ කැලෙන් පිටට අඩියක් තියන්න තමන්ට හැකි මට්ටමෙන් උත්සාහයක් දරපු ඒ ගෑනුලමයින් දිහා බලල ඒ අය කරන්න හදපු වැඩේ කොයිතරම් තේරුමක් නැති දෙයක්ද කියල හිනාවෙන්න. නැත්නම් තාත්තාගෙත් බාප්පගෙත් පහර දීම් දරාගන්න බැරුව මියගිය ගම්පොළ නුවන්තිකා, ඝාතනයටලක් වුණු සේයා, විද්‍යා සහ දහසකුත් එකක් තව ඒ වගේ ඛේදවාචකවලින් කෙළවර වුණු දරුවන්ගෙ ජීවිත ගැන මතක් කර කර අඬන්න. ලංකාව කියල හරි සුන්දර රටක් ගැන පොඩි කාලෙ කවි කතන්දර අහල තිබ්බට ඊට පස්සෙ පාරක තොටක යනකොට පොදු ප්‍රවාහන සේවාවන් ඇතුලෙ අත්විඳින්න ලැබෙන දේවල් සහ උදේ හවස තලුමර මර කියන සමහර ප්‍රවෘත්ති දිහා බලනකොට අර ලස්සන සුන්දර රට තියෙන්නෙ කොහෙද කියලයි හිතෙන්නෙ.
හැබැයි අවාසනාවට අපි ඒ අතින් ලෝකෙ තනිවෙලා නැහැ කියල දැනගන්න ලැබෙන්නෙ ගොඩක් වෙලාවට ආසියාතික රටවල ඇත්තම සමාජ ප්‍රශ්න කතාකරන සිනමාපට දිහා බැලුවම. ඉරානයේ සංස්කෘතික අධිපතිවාදය, ඉන්දියාවේ කුලපීඩනය.. මේවගේ කාරණා හමුවේ විශේෂයෙන් ගැහැනිය කොයිතරම් පීඩාවටපත්වෙනවද කියන දෙය පෙන්වා දෙනව. මෙයින් අදහස්වෙන්නෙ යුරෝපියානු රටවල මෙවැනි දේවල් සිදුවෙන්නෙ නැහැ කියන දෙය නෙමෙයි. ඔවුන් හිටියෙ අපිටත් වඩා පසුගාමී තැනක. බ්‍රිතාන්‍යයේ යටත් විජිත සමයත් එක්ක ලොවපුරා පැතිර ගිය වික්ටෝරියානු සදාචාරවාදය එක්ක ගැහැනිය නම් කිසිම අයිතිවාසිකමක් නැතිව කුස්සිය මුල්ලට වෙලා ගේදොර වැඩකටයුතු බලාකියාගෙන පමණක් සිටියයුතු තත්ත්වයකයි පැවතුනේ. මීට ප්‍රතිවිරෝධයක් විදිහට ස්ත්‍රීවාදය වගේ මතවාදයක් හැදිල දහසකුත් එකක් සටන්, විරෝධතාවන්, අරගල මැද්දේ තමයි බොහෝමයක් බටහිර රටවල් අද මේ දියුණු තත්ත්වයට පැමිණිලා තියෙන්නෙ. ආසියාතික රටවල බොහෝම වෙලාවට ආගමත් ගතානුගතිකත්වයත් බොහෝම අන්තගාමී විදිහට කරපින්නාගත්ත සමාජ කණ්ඩායම් වල තත්ත්වයත් අර අතීත යුරෝපියානු සමාජවලට සමාන කරන්න පුලුවන්. විශේෂයෙන් ඉස්ලාම් ආගමික අධිපතිත්වය තියෙන රටවල මේ තත්ත්වය දරුණුවට දැකගන්න ලැබෙනව. 2021අවුරුද්දේ තිරගතවුණු Yuni නම් ඉන්දුනීසියානු චිත්‍රපටයෙ ඇතුළත් වෙන්නෙත් එහෙම කතාවක්. ළමා විවාහ කියන දෙය බොහෝමයක් ඉස්ලාමික රටවල දැකගන්න ලැබෙන දෙයක්. Yuni චිත්‍රපටයෙත් කතා කරන්නෙ මේ සම්ප්‍රදාය නිසා යෞවනය අහිමිවෙලා යන ඉන්දුනීසියානු ගැහැනු ළමයින් ගැන.
චිත්‍රපටය ගොඩනැගෙන්නෙ Yuni නම් ගැහැනු ලමයෙක් වටා. Yuniට වයස දාහතයි. Yuni ඉගෙනගන්න හරිම දක්ෂයි. ඔය වයසේ හැම තරුණයෙක් තරුණියක් වගේම Yuni ආදරය ප්‍රේමය ලිංගිකත්වය වගේ දේවල් ගැන සෑහෙන කුතුහලයකින් පසුවෙන බවක් පේනව. Yuni ගෙ තිබුණ එක් විශේෂත්වයක්. ඒ තමා දම් පාට එක්ක එයාගෙ තියන අසාමාන්‍ය බැඳීම. Yuni දම්පාටට පුදුම විදිහට ආසා කලා. එයා පුලුවන් හැම වෙලාවෙම පිටට පේන වගේම නොපෙනෙන ඇඳුමුත් ඇන්දෙ දම් පාටින්. කවුරු හරි ලඟ දම් පාට මොකක් හරි දෙයක් තිබුණොත් ඒක හොරකම් කරල හරි තමන්ගෙ කරගන්නයි Yuni උත්සාහ කලේ. දම් පාට කියන්නෙ අධිපතිත්වය, උසස් බව හැඟවෙන වර්ණය. මේක Yuni එක්ක හොඳින්ම ගැලපෙනව. Yuni කියන්නෙ තමන්ට අවශ්‍ය විදිහට ජීවත්වෙන්න උත්සාහ කරන වගේම හැමදෙයක්ම ඉහළින්ම සම්පූර්ණ කරන්න උත්සාහ දරන චරිතයක්. අධ්‍යාපනයෙදි පවා එයා හැම විෂයකටම හොඳම ලකුණු ගත්ත. ඒත් එක විෂයයක් එයාට කොයිතරම් උත්සාහ කලත් එයාට ගොඩදාගන්න බැරිවුණා. ඒ තමා සාහිත්‍ය. කාව්‍ය විචාරය කියන්නෙ එයාට කරන්න බැරි ම වැඩක්. සාහිත්‍ය එක්ක අවුලට වැටිලා ඉන්න Yuniව එයින් ගොඩගන්න උදව්වෙන්නෙ ඉස්කොලෙම තවත් පිරිමි ළමයෙක්. එයා කවි ලියන කියවන රසවින්දනය හොඳට දන්න කෙනෙක්. එයා Yuni ට කාව්‍ය විචාර ලියල දෙනව. ඒ අතරෙ පොඩි කවි කෑලි කොලවල ලියල ඒවත් Yuni ට දෙනව.
Yuni ගෙ සමවයසේ සමහර ගෑනුලමයි ඉස්කෝලෙ යන අතරම විවාහ වෙලා. දරුවන් ලැබෙන්න ඉන්න අතරම ඉස්කෝලෙ ඇවිත් ඉගෙනගන්න ළමයිනුත් ඉන්නව. ඒ සම්ප්‍රදාය අනුව මනාල පාර්ශ්වය විසින් මනමාලියට ලොකු මුදලක් ගෙවන්න ඕන විවාහයකදි. ආර්ථික ප්‍රශ්න නිසා බොහෝම වෙලාවට මේ දරුවන්ව විවාහ කරදෙන බව හිතන්න පුලුවන්. Yuni ටත් එහෙම විවාහ යෝජනාවක් එනව. ඈ එය නම් එකහෙලා ප්‍රතික්ෂේප කරනව. සම්ප්‍රදාය අනුව විවාහ යෝජනා දෙකට වඩා ප්‍රතික්ෂේප කරන්න බැහැ. තුන්වැන්නා සමග අනිවාර්යයෙන් විවාහ වියයුතුයි. Yuni මේ ඛේදවාචකයට මුහුණ දෙන්නෙ කොහොමද.
Yuni චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන Kamila Andini ඉන්දුනීසියාවේ නැගී එන සිනමාකාරියක්. ඇය බොහෝම තරුණ වයසෙන්ම චිත්‍රපට නිර්මාණය කරන්න යොමුවුණු කෙනෙක්. Yuni ඇය අධ්‍යක්ෂවරියක් විදිහට වැඩකරන පස්වෙනි චිත්‍රපටය. Yuni ලෝකය පුරා අවධානය දිනාගන්න සමත්වුණු චිත්‍රපටයක්. 2022 ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් Indonesiaව නියෝජනය කරන්න නිල වශයෙන් තෝරාගත් චිත්‍රපටය Yuni. විශේෂයෙන් සඳහන් කළයුතුයි Yuni ගේ චරිතය නිරූපණය කරන Arawinda Kirana ගේ රඟපෑම ගැන. ඇය පුදුමාකාර විදිහට ඒ චරිතය තමන්ගේ කරගෙන ඒ තුළ ජීවත් වෙනව. ඈ රඟපාන බවක් නම් දැනෙන්නෙ නෑ. ඒ තරම් හොඳින් ඇය තමන්ගේ කාර්‍ය ඉටුකර තිබෙනව. Yuni ආගමත් ගතානුගතිකවයත් නිසා පීඩාවිඳින තරුණ ජීවිත විවරණය කරන සුවිශේෂ චිත්‍රපටයක් විදිහට නම් කළ හැකියි. මේ චිත්‍රපටයෙ ඇතුළත් වෙලා තිබුණ කවියක සිංහල පරිවර්තනය..
.
.
.
දවසක
මගෙ සිරුර තවදුරට
නොපවතීවි මේ ලොව..
ඒත් මේ කවියේ පේලි අතර
හිඳිවි මම හැමදාම
ඔයා ළඟම..
දවසක..
සදහටම නෑසී යාවි
මගෙ කටහඬ..
ඒත් මේ කවියේ පේලි අතර
ඇහේවි හැමදාමත් මාව
ඔයාට...
දවසක...
මැරී යාවි මගෙ හීන
සදහටම..
ඒත් මේ කවියේ පේලි අතර
ඔයාට හමුවේවි
මාව ..
No comments:
Post a Comment