Friday, February 18, 2022

Alborada - (2021)

"මම යන්නම් පැබ්ලෝ".. ඈ මෙතෙක් තමාට ඇතුළුවීමට අවසර නොතිබුණු රාජ්‍ය තාන්ත්‍රික නිල නිවාසයෙන් එපිටට පියවර තබමින් පැවසුවාය. ඔහු දොරකඩ නතරවී ඈ දෙස බලා සිටියි. "මම ආයෙත් එන්නෙ නෑ"...  ඇය වරක් ආපසු හැරුණාය. ඔහු වැළඳගෙන හඬන්නට වූවාය. ඇය ඔහුගේ හිසෙහි පටන් පාදාන්තය දක්වා සිඹින්නට පටන් ගත්තාය. අවසානයේ ඔහුගේ පා පතුල් මත නතරව කඳුළු වගුරන්නට වූවාය. ඒ කඳුළු ගලාගොස් ඔහු පාමුල එක් රැස් ව කඳුළු විලක් සෑදුණි. ඒ කඳුළු විල මැද ඔහු සෙල් පිළිමයක් සේ සිටගෙන සිටියේ ය. ඔහුගේ දෑසේ ඇඳුණේ තිගැස්මකි. ගැහැනියකගේ අසීමාන්තික ප්‍රේමාවේගය ඔහුව නිරුත්තර කර දමා තිබුණි. මනරම් යෞවනයෙකු වූ ඔහු බොහෝසේ ප්‍රේම කවි ලිවීය. එහෙත් ගැහැනියකගේ අනවරත කඳුළින් හා සුසුමින් ලියවෙන මේ විසල් ප්‍රේමය ඔහුව වික්ෂිප්ත කර දැමීය. ගැහැනු නම් සාගරයක් පිරවිය හැකි තරම් කඳුළුවලින් ද පර්වත සෙළවිය හැකි තරම් සුසුමින් ද සැදුණෝ වෙති. ප්‍රේමය ඇගේ සිරුර පුරා දිවයන රුධිරයයි. තම හදබස පුබුදුවාලන මිනිසෙකු වෙනුවෙන් ජීවිතය වුව පුදකිරීමට ඔවුන් පසුබට නොවේ. නොදැනුවත්වම එම කලාපයට පිවිසෙන පිරිමියෙකුට තම ජීවිතය පුරා ඒ ගැන පසුතැවෙන්නට සිදුවේ.

ලොවක ආදරය දිනාගත් පැබ්ලෝ නෙරුදා නම් චිලී ජාතික කවියා ඉතාම තරුණ අවධියේ (1928) චිලී රටෙහි රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස ලංකාවේ (එවකට සිලෝන්) සේවයකිරීමට පැමිණි කතාපුවත අප බොහෝ විට අසා තිබෙයි. Alborada නමින් අශෝක හඳගම සිනමාවට නගන්නේ මේ පැබ්ලෝ නෙරුදා ගේ ලංකා වාසයෙන් කොටසකි. Alborada ප්‍රධාන වශයෙන් ස්ත්‍රී චරිත තුනක් මුල්කරගෙන දිගහැරයි. එයින් ඔහුගේ අනුරාගික දිවි පැවැත්මේ පැතිකඩ තුනක් නිරූපණය වෙයි. ජොසී බ්ලිස්, පැබ්ලෝට මුණගැසෙන්නේ බුරුමයේදී ය. රැකියාවක් සොයමින් යන විසි තුන් වයස් තරුණයෙක් වුණු පැබ්ලෝට බුරුමයේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු ලෙස සේවය කිරීමේ අවස්ථාවක් හිමිවේ. බුරුමයේදී ඔහු මුහුණ දෙන්නේ අතිශ්‍ය පීඩාකාරී තත්ත්වයකටයි. ප්‍රමාණවත් වැටුපක් හෝ හරිහැටි ඉඳුම් හිටුම් හෝ නොලබන පැබ්ලෝ බුරුමයේ ජීවත්වන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට වඩා තැන තැන සැරිසරන්නෙකු ලෙසයි. පැබ්ලෝ යටත් විජිතවාදය ප්‍රතික්ෂේප කල අයෙකි. හුදෙකලාවේ නාඳුනන රටක තනිවීම පැබ්ලෝට මහත් වේදනාවක් ගෙනදෙයි. බුරුමයට පැමිණීමට පෙර පැබ්ලෝ තමන්ගේ ප්‍රථම කවි එකතුව "ප්‍රේම කවි විස්සක් සහ ශෝඛ ගීයක්" නමින් පළ කර තිබුණි. පැබ්ලෝ ප්‍රේමණීය මිනිසෙක් විය. තරුණියන් ආශ්‍රයට ඔහු ඉතා ප්‍රිය කලේය. පැබ්ලෝට ජොසී මුණගැසෙන්නේ මේ අතරය. ඈ දුඹුරු සමක් ඇති, ඉංග්‍රීසි කතා කළ බුරුම ජාතික කාන්තාවක වූවාය. සමහර තැනක ඇය ලේකම්වරියක් ලෙස සේවය කල බව සඳහන් වෙයි. ඈ ඔහුගේ කවි වලට ප්‍රිය කලාය. තනිකමින් පීඩාවිඳිමින් සිටි ඔහුගේ හද ඈ ආදරයෙන් පුරවා දැමුවාය. එය එක්තරා ආකාරයක ආලයෙන් උමතුවීමකි. ඇය ඒ වනවිට තම ජීවිතය ඔහු වෙනුවෙන් කැපකර තිබුණි. ඔහුගේ සියලු ආශාවන් සපුරාලීම ඇය තම ජීවිතය කරගෙන තිබුණි. නමුත් එය වියරු ආලයකි. පැබ්ලෝට වෙනත් කිසිවෙකුට ලං වීමට ඇය ඉඩ නොදුන්නාය. ඇය මහත් ඊර්ෂ්‍යාවෙන් ඔහුගෙ වැඩකටයුතු වලට මැදිහත් වන්නට පටන් ගත්තාය. මෙය පැබ්ලෝට ගෙනදුන්නේ මහත් පීඩාවකි. බුරුමයේදී නම් ඇයව අතහැර යාම කිසිසේත් කල නොහැකි බව ඔහු වටහාගෙන තිබුණි. ඒ නිසා ඇයටත් රහසින් ඇය අතහැර වෙනත් රටකට යාමට ඔහු සැලසුම් කලේය. පෙබ්ලෝ නෙරුදා ලංකාවට පැමිණෙන්නේ එළෙසයි.

ජොසී බ්ලිස් ට රහසින්, චිලී රටෙහි තනාපතිවරයෙකු ලෙස ලංකාවට පැමිනෙන පැබ්ලෝට වැල්ලවත්තේ වෙරළබඩ නිල නිවාසයක් හිමිවෙයි. ඉංග්‍රීසි විලාසිතාවට අඳින පළඳින පැට්සි නම් තරුණිය ලංකාවේදී ඔහුට මුණගැසෙයි. පැට්සි ඔහුගේ කවි පද කිහිපයක් කටපාඩමින් දනියි. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ඇරඹෙන්නෙ එළෙසයි. පැට්සි සහ පැබ්ලෝ දෙදෙනා එක්ව සංගීතයට සවන්දෙයි, මධුපානයෙන් මත්වෙයි, නර්තනයේ යෙදෙයි, ප්‍රේමාලිංගනයේ හැසිරෙයි. නමුත් මොහොතක ආශාව සංසිඳුවාගැනීමට එහා  ගැඹුරු ප්‍රේමයක් දෙදෙනා අතර හට නොගනියි. ජොසී බ්ලිස්, පැබ්ලෝ සොයාගෙන බුරුමයේ සිට ලංකාවට පැමිණෙන්නේ මේ අතරයි. තමන් කල ක්‍රියාවේ බරපතළ කම ඔහුට වැටහෙයි (නමුත් ඔහු එයින් පාඩමක් ඉගෙනගන්නා බව අපි දකින්නේ නැත) ජොසී වෙනුවෙන් පැබ්ලෝගේ නිවසේ දොර විවර නොවෙයි. ඈ දොරකඩ පැදුරක් එලාගෙන දිගු පිහියක් අත තබාගෙන ඔහු ඇය කැඳවන තුරු එහිම නැවතී සිටියි. නමුත් දැන් ඔහු තවත් ගැහැනියක් සමග පෙම් දමින් බැඳී සිටින බවද, සැබවින්ම ඇයට ප්‍රේම කර නැති බව ඇය වටහා ගනියි. කොයිතරම් ප්‍රේම කලද එක බිඳුවක් වත් ආදරය නොලැබෙන තැන කිසිදු ගැහැනියක් රැඳෙන්නේ නැත. එවැනි තැනක් ඇය හැරදමා යන්නේ සදහටමය. ඒ ඇය ඒ තත්ත්වයට ඇද දැමූ කවරෙකුට වුව කිසිදා සුවකරගත නොහැකි වේදනාවේ කැළලක් ඉතිරි කර තබමිනි.

චිත්‍රපටයේ වඩාත් අනුවේදනීය කොටස එළඹෙන්නේ එහි අවසානයේදීයි. යටත් විජිත සමයේ පැවතුණේ බාල්ද කක්කුස්සි නම් වැසිකිළි ක්‍රමයකි. එහිදි වැසිකිළියේ වළක් තුල පිහිටි බාල්දියකට එය භාවිත කරන කෙනෙකු මළපහ කර අතර "සක්කිලි' නමින් හැඳින්වෙන මිනිසුන් පැමිණ ඒ මළපහ ඉවත් කර වැසිකිළිය සුද්ධ පවිත්‍ර කරයි. සිංහල හෝ දමිල මිනිසුන් මේ කටයුත්ත සිදුකිරීමට අකමැති වූ නිසා බ්‍රිතාන්‍යයන් ඉන්දියාවේ අඩු යැයි සම්මත කුලයක මිනිස් සමූහයක් මේ කටයුත්ත වෙනුවෙන් ගෙන්වාගන්නා ලදී. සක්කිලි නමින් හැඳින්වෙන්නේ ඔවුනුයි. දිනක් තම නිවස අසල මහ රාත්‍රියේ ඇසෙන ගිගිරි නාදයකින් ඇහැරෙන පැබ්ලෝ දකින්නේ තම වැසිකිළිය සුද්ධ පවිත්‍ර කිරීමට පැමිණෙන සුරූපී "සක්කිලි" ලඳකි. රුව දැක ඈ කෙරෙහි සිත බැඳෙන පැබ්ලෝ ඇය දිනා ගැනීමට නොයෙක් දේ කරයි. එහෙත් ඒ කිසිම දෙයකට අනුකූලත්වයක් දක්වන්නේ ඇය නොවෙයි. අවසානයේ බලහත්කාරයෙන් ඇය තම කුටියට ගෙන යන පැබ්ලෝ ඇය ලවා තම ආශාව සංසිඳුවාගනියි. පසුව මෙම සිද්ධිය ගැන සඳහන් කරන පැබ්ලෝ නෙරුදා කියා සිටින්නේ ඇය තමාට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ගල් පිළිමයක් සේ සිටි බවකි. කෙසේ වුවද මේ සිදුවීම පැබ්ලෝ නෙරුදා ගේ නමට සටහන් වුණු කලු පැල්ලමකි. මෑතකදි චිලී රාජ්‍ය තමන් ගුවන්තොටුපලක් පැබ්ලෝ නෙරූදා ගේ නමින් නම් කරන්නට සැරසුණු මොහොතක එයට එරට යම් පිරිස් අතරින් විශාල විරෝධයක් මතුවූයේ ඔහු ස්ත්‍රී දූෂකයෙකු බව සඳහන් කරමින්. ඔහු සැබවින්ම කවුරුන් ද යන පැනයට මනා පිළිතුරක් අවසානයේ යක්ෂ වෙස්මුහුණක් පිටේ බැඳගෙන ඇවිදින කුඩා දරුවාගේ දර්ශනයෙන් පිළිබිඹු වෙයි. තවද එය පැබ්ලෝ නෙරුදා මතු නොව කලාකරුවන්, සුපිරි තරු ලෙස වැජඹෙන පුද්ගලයන් ඉතා පහසුවෙන් සමාජය වෙත නිරාවරණය වන සමාජ මාධ්‍ය යුගයක වෙසෙන අප කවුරුත් සිහිතබා ගතයුතු කරුණක් සංකේතමය වශයෙන් අවධාරණය කරවයි.

Alborada චිත්‍රපටය යටත් විජිත සමයේ ලංකාව පසුබිම් කරගෙන නිර්මාණය වූවකි. යටත් විජිතවාදය ප්‍රතික්ෂේප කල පැබ්ලෝ අතින් බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස්වීම වෙනුවෙන් කැපීපෙනෙන අරගලයක් සිදු නොකරන ලාංකිකයන් විවේචනයට ලක් වෙයි. බ්‍රිතාන්‍යයන් ලංකාවට අනන්‍ය දේශීය සංගීතය රළු පරළු නොදියුණු කලාමාධ්‍යක් ලෙස පහත්කොට සැලකූවත් එහි ඉන්ද්‍රජාලික සුන්දරත්වයට පැබ්ලෝ වසඟ වෙයි. නමුත් ඒ නොදියුණු ආවේගශීලී ගායනාවන් චිත්‍රපටයෙ අවසානයත් සමග සමපාත වෙන ආකාරය උත්ප්‍රාසාත්මකය. යටත් විජිත සමයේ වැඩවසම් සමාජ ධූරාවලිය තුළ ගර්භිත ජන කොට්ටාශයක් වූ සක්කිලි මිනිසුන්හට මෙවැනි අකටයුත්තකදී කිසිවෙකු සරණ වන්නේ නැත. පැබ්ලෝ ගේ ආවතේවකරු දමිල ජාතික රත්නයියා ද පැබ්ලෝ සහ පෙර කී තරුණිය අතර ඇතිවන සිදුවීම බලාසිටියා මිස ඇයව ඉන් මුදාගන්නට ඉදිරිපත් වන්නේ නැත. චිත්‍රපටයේ සක්කිලි අවමංගල්‍යක් දැක්වෙන තැනදී මෘතදේහය පෙරටුකරගත් මිනිසුන් බෙර වයමින් නටමින් ගමන් කරන්නේ ඇයි දැයි පැබ්ලෝ විමසන විට රත්නයියා කියාසිටින්නේ තමන්ගේ මිනිසෙකු මේ දුක්ඛිත ජීවිතයෙන් මිදීමේ සතුට වෙනුවෙන් අවමංගල්‍ය පෙරහරවලදී ඔවුන් මෙලෙස නටන බව ය. මේ මිනිසුගේ ප්‍රීතිමත් අවමංගල උත්සවය දකිට අපිට ඇති වන්නේ සියුම් දුකකි.

Alborada සමඟ අශෝක හඳගම ගේ මෑත කාලීන චිත්‍රපට වෙත අවධානය යොමුකළ විට (ඇගේ ඇස අග, අසන්ධිමිත්තා) තේමාත්මක ලෙස ස්ත්‍රීය ද ඇය අභිමුඛව පිරිමියා ද නිරාවරණය කෙරෙන බව පෙනී යයි. එමෙන්ම මේ චිත්‍රපට ආකෘතිකමය වශයෙන් එක්තරා ආකාරයකට යථාර්ථය ඉක්මවා යමින් මායාමය යාථාර්ථවාදී කලාපයක් ස්පර්ෂකරයි.  Alborada චිත්‍රපටයේ යථාර්ථය ඉක්මවන දර්ශනයක් අපට දැකගන්න ලැබෙන්නේ අවසාන තත්පර කිහිපයේ පමණි. ඒ හැර චිත්‍රපටය අනෙක් මුළු කාලයම රැඳී තිබෙන්නේ යථාර්ථවාදි ආකෘතිය තුළ ය. එතුළ සිටිමින් දෙබස් සහ සමහර දර්ශන හරහා සංකේතීය වශයෙන් අරුත් මතුකරගැනීමට අශෝක හඳගම තම සිනමා භාෂාව මෙහෙයවා ඇති බව පෙනෙයි.

චිත්‍රපටයෙ සංගීත භාවිතය අවස්ථාවන්ට ගැලපෙන ආකාරයට මැනවින් සිදුකර තිබේ. (සංගීත නිර්මාණය - අජිත් කුමාරසිර සහ නාමිනී පංචලා) චිත්‍රපටයෙ සියලු රඟපෑම් අතර වඩාත්ම කැපී පෙනෙන රංගයක් ඉදිරිපත් කර තිබුණේ ජොසී ගේ චරිතය ඉදිරිපත් කළ Anne-Solenne Hatte ය. සක්කිලි ලඳගේ චරිතය රඟපෑ රිතිකා කොඩිතුවක්කු ගේ අභියෝගාත්මක රංගනයද පැසසිය යුතුය. පැට්සිගේ චරිතය ඉදිරිපත් කල ශ්‍රීලාංකික රංගන ශිල්පිනියක වුණු Nimaya Harris ද තම කොටස මැනවින් සිදුකර තිබේ.

සමස්තයක් ලෙස Alborada අගය කලයුතු සිනමාපටයකි. වහාම ලඟම ඇති සිනමාහලට ගොස් චිත්‍රපටය නරඹන්නැයි සිනමාව ප්‍රිය රසිකයන්ගෙන් ඉල්ලා සිටිමි. අවසාන වශයෙන් ලක්මාල් ධර්මරත්න Alborada ගැන කියා තිබුණු වැකියකින් මේ සටහන නිමා කරමි. 

"...චිත්‍රපටිය බලන ඕනෑම පිරිමියෙකුට ආඩම්බරයටත්, බයටත් පත්වෙන්න පුලුවන් ලක්ෂයක් හම්බවෙනව...
ආඩම්බරය තමයි මහා ප්‍රේමණීය කවි පැබ්ලෝ නෙරූදා ඇතුලේ තමන් ඉන්නවා එයාට පේන්න ගන්න එක..." 



2 comments:

  1. හොද සටහනක්.හරිම ආසාවෙන් කියෙව්වා.

    ReplyDelete
  2. තාම බැලුවේ නම් නැහැ.. නමුත් ගොඩක් නෙගටිව් විවේචන දැක්කා මම ( හඳයාගේ අනිත් ඒවාට සාපේක්ෂව)

    ReplyDelete