Friday, December 30, 2022

සැබෑ මෘදු බව

නිහඬයි සැබෑ මෘදු බව
වරදවා ගත නොහැකියි කිසි දින
එවැනිම වෙනත් යමකට...
පලක් නැහැ සැලකිල්ලෙන් ඔබ
වසාලන කළ සළුවෙන් මා දෙඋර...
උමතුවෙන් පළමු ප්‍රේමයේ
සිත්කළු වදන් තෙපළන විට....
පලක් නැහැ ඒ කිසිවක් පෙම්වත,
දැනසිටින කළ හොඳහැටි මම,
ඒ සියල්ලෙහි සැඟවුණු අරුත...

From the poem "True Tenderness" written by Anna Akhmatova



Tuesday, December 27, 2022

Aftersun (2022)

වේගයෙන් විදුලි එළි දැල්වෙන නිවෙන Dancefloor එකක්. ඒ මැද නෙහෙල්ලී හිටගෙන ඉන්න තරුණියක්. ක්ෂණයෙන් නිවෙන ආයෙ දැල්වෙන එළි මැද්දෙ ඇයට පේන්නෙ නටන මිනිස්සුන්ගෙ ඡායාමාත්‍රික රූප. ඒ මිනිස් රූප අතර එකවරම  ඇය දකින්නෙ හොඳ හැටි දැකල පුරුදු එක රුවක්. ඒ වෙන කවුරුත් නොවෙයි ඇගෙ පියා. ඇයට පෙනෙන්නෙ ඔහුගෙ තරුණ රූපකාය. දැන් ඇයගෙ වයසෙදි ඇයගෙ පියාගේ රුව ඇය දකින්නෙ. පීඩාවට පත් ඇස් දෙක, විඩාබර මුහුණ, ඔහු කවදාවත් තමන්ගෙ දියණිය ඉස්සරහ නිරාවරණය නොකළ වේදනාවන්, ඇය දකිනව මේ මිනිස් ගංගාව මැද්දෙ මැවී පෙනෙන ඔහුගේ මුහුණේ. ඇගෙ නම සොෆී. සොෆී අවුරුදු 14 දි තාත්ත එක්ක තුර්කියේ නිවාඩු නිකේතනයක දවස් කිහිපයක් ගත කළා. සමහර විට සොෆීට තමන්ගෙ තාත්ත ගැන තිබුණ අවසන් මතකය ඒක වෙන්න ඇති (ඒ බව අපිට දැනගන්න ඉඩක් නැහැ) නමුත් බොහෝම වෙලාවට සොෆීට තාත්ත එක්ක තියන හොදම මතකය ඒ දවස් ටික. ඇගේ මතකයේ සිතුවම් අතරේ සහ ඩිජිටල් කැමරාවක සටහන් වී තියන වීඩියෝ දර්ශන ඇතුළේ ඒ දවස් ගැන මතකයන් ආයෙම play වෙන්න පටන් ගන්නව. Aftersun චිත්‍රපටය පුරා අපි දකින්නෙ ළමා වියේ කෙළවර ඉන්න ගෑනුලමයෙක් වුණු සොෆී ඉතාම තරුණ වයසෙ පසුවුණු ඇගෙ පියත් එක්ක ගත කළ මේ දවස් කීපය. 

චිත්‍රපටය ගැන වැඩි යමක් නොකියා ඉන්නම්. නමුත් විශේෂයෙන් කියන්න ඕන දරුවෙක් සහ දෙමව්පියන් අතර තියන්න ඕන කොයි වගේ සම්බන්ධයක්ද කියන දේ ට හොඳ උදාහරණයක් Aftersun චිත්‍රපටය ඇතුළෙ තියන බව. සොෆී ගෙ අම්මයි තාත්තයි ජීවත් වෙන්නෙ එකිනෙකාගෙන් වෙන්ව. සොෆී හැදී වැඩෙන්නෙ අම්ම ළඟ. නමුත් චිත්‍රපටයෙ සොෆී ගෙ අම්මව අපි දකින්නෙ නෑ. චිත්‍රපටයට පදනම් වෙන්නෙ පියා සහ දුව අතර සම්බන්ධය. ඔහු ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙමින් ඉන්න, ඒවයින් මිදීමක්, සහනයක් හොයාගෙන යන කෙනෙක් (ඔහු ළඟ තියන භාවනාව සහ තාඕ දහම ගැන ලියවුණු පොත්පත් මීට උදාහරණ) ඒත් තමන්ගෙ දුවට ඒ කිසිවක් දැනෙන්න තාත්ත ඉඩ තියන්නෙ නෑ. නමුත් සොෆී ඒ ගැන දන්නව. නොදන්නව වගේ හිටියට සොෆී තවත් බොහෝ දේ දන්නව. එයාට වඩා වැඩිමල් තරුණ තරුණියන් කතාවෙන, කරන කියන, ආදරය ලිංගිකත්වය වගේ වැඩිහිටි දේවල් සොෆීටත් අහන්න දකින්න ලැබෙනව. කොහොම වුණත් යෞවනයට එළඹෙන වයසෙ දරුවෙකුගෙන් මේ දේවල් හංගන්න බෑ. ඔවුන් කොහොම හරි ඒව ඉගෙනගන්නව. සොෆී බොහෝම විවෘත තාත්ත එක්ක ඒ දේවල් ගැන කතා කරනව. ඇගේ තාත්ත ඇයව, ඇගේ වයසෙ ඉඳන් කෙනෙක් ලෝකය දකින හැටි ගැන ඉතාම හොඳින් තේරුම් ගන්නව. තමන් සහ තමන්ගෙ දියණිය අතර සම්බන්ධය නිතරම යහපත් මට්ටමෙන් පවත්වගෙන යන්න ඔහු සමත් වෙනව. පහුකාලීනව ජීවිතේ තරුණ වයස ගෙවීගෙන යන සීමාවක දි ඇයට එනව තමන්ගෙ තාත්තව හොඳ හැටි තේරුම්ගන්න පුලුවන් වෙන මොහොතක්. එතනදි තාත්ත ළඟ නැති අඩුව ඇයට දැනෙනව. බොහොම වෙලාවට ඔහු ඒ වයසෙදිම ජීවිතයෙන් සමුගෙන ගිහින්. ජීවිතේ විෂමාකාරී චක්‍රය කරකැවෙන්නෙ අපි නොහිතන විදිහට තමා. 

Aftersun අධ්‍යක්ෂවරිය Charlotte Wells ගේ පළමු සිනමා නිර්මාණය. සැකයක් නැතුවම වසරේ හොඳම ලසිස්තුවට නම් කරන්න පුලුවන් film එකක්. ළමා වයසේ සොෆී ගේ චරිතය රඟපාන Frankie Corio තෝරාගෙන තියෙන්නෙ ළමා නිළියන් 800ක් පමණ අතරින්. මේ ඇගේ පළමුවෙනි රඟපෑම. එක තැනක සොෆී තාත්ත ඉස්සරහ කියනව R.E.M කියන Alternative Rock බෑන්ඩ් එකේ 90 දශකයේ ජනප්‍රිය වුණු  Loosing my Religion සින්දුව. මෙතන දෙන්නටම සින්දුව කියන්න නියමිත වෙලා තිබුණත් තාත්ත එතනදි ඉදිරියට එන්නෙ නෑ. එන්නෙ සොෆී පමණයි. ඒ සින්දුවෙ අරුත සහ ඔහුගෙ ජීවිතේ එක්ක තිබුණ සම්බන්ධ කම හින්ද ඔහු සින්දුව කියන්න නොඑන බව අනුමාන කරන්න පුලුවන්. Chunking Express ෆිල්ම් එකේ California Dreamin, මේ අවුරුද්දේ ආව The Batman ෆිල්ම් එකේ Something in the Way වගේ ෆිල්ම් එකක තිබුණ අමතක නොවෙන සින්දුවක් මේක.

ආහ් ජීවිතේ විශාලයි
ඔබටත් වඩා විශාලයි
ඔබ කියන්නේ මම නොවෙයි...
දුර ඇවිද යන්නට හිතුවත් මම
ඒ දුර ඔබෙ දෑස් මානෙන් ඈතයි..

මමයි උන්නේ අඳුරු මුල්ලක 
මමයි ඒ උන්නේ
වේදිකාවේ ඔබට පෙනෙන්නට...
ඉක්මවා යමින් මගේ සීමාව....
තවත් ඔබ සමඟ රැඳෙන්නට,
දන්නෙ නැහැ හැකිවෙයිද මට..
කිව්වද මම යමක් වැඩිපුර..
නැහැ තවම කිසිවක් කීවෙ නෑ මම..

මම හිතුවෙ මට ඔබව ඇහුණ බව
මම හිතුවෙ මට ඇහුණ ඔබ ගයන හඬ
මම හිතුවෙ මම දුටුව ඔබ උත්සාහ කරන බව..

ඒත් හීනයක් පමණයි එය
හීනයක්..
හීනයක්ම පමණයි...



Thursday, December 22, 2022

Argentina 1985 (2022)

ආජෙන්ටිනාව ගැන මේ social media ඇතුළෙ යම් කතාබහක් ඇතිවෙලා තියන බව පෙනෙනව FIFA ජයග්‍රහණයත් එක්ක. ඒක රටකට ලබන්න පුලුවන් ඉහළම වටිනාකමක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වගේම ඉඩක් තියන තවත් ලෝක මට්ටමේ ජයක් සමහර විට ලබන අවුරුද්දේ ආජෙන්ටිනාව නමින් ලියවෙන්න. ඒ මේ අවුරුද්දේ තිරගත වුණු Argentina1985 චිත්‍රපටය නිසා. 2023 පවත්වන 95 වෙනි ඔස්කාර් සම්මාන උළෙල වෙනුවෙන් විදෙස් භාෂා අංශයෙන් ආජෙන්ටිනියානු නියෝජනය විදිහට තෝරාගැනෙන්නෙ Argentina 1985 චිත්‍රපටය. ඒ වගේම ඇමරිකානු සිනමා විචාරකයන් ගේ සංගමය මේ අවුරුද්දේ හොඳම චිත්‍රපට පහ අතරට Argentina 1985 ඇතුළත් කරල තියනව. ආජෙන්ටිනාව ගැන උනන්දු කෙනෙකුට වගේම ලෝක දේශපාලන ඉතිහාසයෙ වැදගත් සිදුවීම් ගැන සොයාබලන කෙනෙකුටත් අනිවාර්යයෙන් මගහැර නොගතයුතු චිත්‍රපටයක් මේක. ඒ වගේම අපේ රටේ දේශපාලනික වටපිටාව එක්ක සංසන්දනය කරල බලනකොට සෑහෙන වැදගත් දේවල් ටිකක් අපිට මේ චිත්‍රපටයෙන් ඉගෙනගන්න පුලුවන්.

1985 අවුරුද්දේ සැබෑවටම ආජෙන්ටිනාවේ වුණු වැදගත් ඓතිහාසික සිදුවීමක් චිත්‍රපටයට පාදක වෙන්නෙ. 1976 අවුරුද්දේ එතෙක් පැවති ඉසබෙල් පෙරෝන් රජය කුමන්ත්‍රණයකින් පෙරළා දමන එවකට ආජෙන්ටිනාවේ හමුදාපති ජෝර්ජ් රේෆියල් විඩේලා එතැන් පටන් එරට මිලිටරි රාජ්‍යයක් බවට පත් කරමින් ඒකාධිපති පාලනයක් ගෙන යනවා. (ඉසබෙල් පෙරොන්, ජනපති තනතුරට පත්වූ ලොව මුල්ම කාන්තාවන් අතර ඉන්නා තැනැත්තියක්. ඇය ජනපති තනතුරට පත්වෙන්නෙ 1974 එතෙක් ආජෙන්ටිනාව පාලනය කළ ඇගේ සැමියා වුණු ජුවාන් පෙරොන් ජනාධිපතිවරයා ගේ මරණින් පසුව පැවැත්වුණු මැතිවරණයකින් ජය ලැබීමෙන් පසුවයි. ඉසබෙල් පෙරෝන්, ජුවාන් පෙරොන් ගේ තුන්වෙනි බිරිඳ. ජුවාන් ගේ දෙවන බිරිඳ ආජෙන්ටිනියානු නිළියක වුණු ඊවා පෙරෝන්. ඇය ආජෙන්ටිනියානු සමාජයෙ සෑහෙන ජනප්‍රියත්වයක් දිනාගත්ත සමාජ ක්‍රියාකාරීනියක් වුණා. නමුත් පිළිකා රෝගයට ගොදුරු වීම නිසා වැඩි කාලයක් ජීවත්වෙන්න ඇයට වරම් ලැබෙන්නෙ නෑ. Evita නම් සුප්‍රකට හොළිවුඩ් චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ ඊවා පෙරෝන් ගේ ජීවිත කතාව ඇසුරෙන්. මැඩෝනා ගයන Dont cry for me Argentina ගීය ඇතුළත් වෙන්නෙ මේ චිත්‍රපටයෙ)

කුමන්ත්‍රණයෙන් බලය අල්ලාගන්න විඩේලා ඉන්පසුව ගෙන යන්න අතිශ්‍ය මර්ධනකාරී, දක්ශිනාංශික පාලනයක්. මේ අධිපතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වුණු ප්‍රජාතන්ත්‍රවාදය අගය කළ කණ්ඩායම් වාමාංශික කැරළි කරුවන් විදිහට නම් කරල ඔවුන්ව අමානුෂික විදිහට මර්ධනයට ලක්කලා. මානව හිමිකම් සංවිධාන පසුව සොයාගත් ආකාරයට, මේ මර්ධනය වෙනුවෙන්ම රට පුරා වධකාගාර 500 කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක කළ බව කියවෙනව. ඒ වගේම මේ පාලන සමයේදී පොලිස් සහ හමුදා අත්අඩංගුවේ සිටිද්දී අතුරුදහන් වූවන් විදිහට හඳුනාගත් පිරිස 30, 000 කට ආසන්න බවයි කියවෙන්නෙ. මේ අය අතර නොයෙක් සමාජ තරාතිරම්වලට අයත් පිරිසක් ඉන්නව. 4000 කට ආසන්න පිරිසක් ගුවන් හමුදාවට අයත් ගුවන්‍ යානාවලට නංවාගෙන ගොසින් නිරුවත් කර ගුවනේ සිට රියෝ දෙ ලා ප්ලාතා ගඟට අතහැරිය බව කියවෙනව. විඩේලා සමඟ පසුකාලීනව කල සම්මුඛ සාකච්ඡාවක් ඇසුරෙන් ආජෙන්ටිනියානු මාධ්‍යවේදී Ceferino Reato රචනා කළ Disposicion Final ග්‍රන්ථයේ ඔහු සඳහන් කරන විදිහට හමුදා පාලනය විසින් 8000 ක් පමණ දෙනා නිශ්චිත වශයෙන් මරාදැමුණු බවට විඩේලා සහතික කරනව. මේ ලේ වැකුණු භීෂණයේ පාලන සමය ගැන අහන්න ලැබෙන කතා මීටත් වඩා දරුණුයි. 

දවසින් දවස කඩා වැටෙන ආජෙන්ටිනියානු ආර්ථික පීඩනය සහ රජයෙ බල වියරුවෙන් පීඩනය එක්ක රජයට විරුද්ධ ජනතා නැගීසිටීම් ක්‍රමයෙන් උත්සන්න වෙනව. ඒ අතරෙ මිලිටරි රජය, බ්‍රිතාන්‍යට අයත් සහ ආජෙන්ටිනාව ආසන්නයේ තිබෙන ෆෝක්ලන්ඩ් දූපත ආක්‍රමණය කරනව. මීට බ්‍රිතාන්‍යයෙන් ලැබෙන ප්‍රතිප්‍රහාර හමුවේ ආජෙන්ටිනා හමුදාව දරුණු පරාජයක් ලබනව. මේ හැමදෙයක්ම එක්ක 1983 දී එරටේ මිලිටරි ආණ්ඩුව බලය අතහරිනව. ඒත් සමඟම පැවැත්වුණු ජනාධිපතිවරණයකින් අපේක්ෂක Raul Alfonsin ජනපති විදිහට  පත්වෙනව. පසුගිය මිලිටරි රජය විසින් සිදුකළ අපරාධ සහ මානව හිමිකම් කඩකිරීම් වෙනුවෙන් ආණ්ඩුවේ හිටපු ප්‍රබලයන් වුණු ඉහළම හමුදා නිලධාරින් කිහිප දෙනෙකුට එරෙහිව නඩු පවරන්න නව ජනපති ක්‍රියාකරන්නෙ ඉන් පසුව. පැමිණිල්ල මෙහෙයවන්න රජය විසින් තෝරා ගනුලබන්නෙ එරට ප්‍රමුඛ පෙළේ නීතීඥවරයෙකු වුණු Julio César Strassera ව. චිත්‍රපටය මූලික වශයෙන්ම ගොඩනැගෙන්නෙ Strassera ගෙ චරිතය මුල්කරගෙන. (Strassera ගේ චරිතය නිරූපණය කරන ලෝප්‍රකට ආජෙන්ටිනියානු රංගවේදී Ricardo Darin සුපුරුදු පරිදි අති විශිෂ්ට රංගනයක යෙදෙන බව නොකියා බැහැ) කාරණාව ඉතා බරපතළ සහ ඓතිහාසික වශයෙන් වැදගත් එකක් නිසා විත්තිකරුවන්ට එරෙහිව ගොඩනගන චෝදනාව ඉතා ප්‍රබල සහ නොසෙල්විය හැකි ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු යි. Strassera ඒ වෙනුවෙන් ගන්න උපාය මාර්ගය චිත්‍රපටය නැරඹුවොත් ඔබට දැකගන්න පුලුවන්. මේ සිදුවීම දෙවනි ලෝක යුද්ධය වෙනුවෙන් ජර්මනියේ නියුරම්බර්ග් නුවර පැවති නඩු විභාගයට පසුව පැවති විශාලම යුධ අපරාධ නඩුව විදිහට සැලකෙනව.

හමුදාව විසින් සිදුකළ අපරාධවලට  එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දි ආරක්ෂක අංශ කියන්නෙ කොයි ආකාරයෙන් වත් චෝදනාවට ලක්නොකළ යුතු ජාතියේ මුරදේවතාවුන් කියල හිතා ඉන්න කණ්ඩායම් ඊට එරෙහි වුණා. මොකද තමන්ගේ ලේ වැකුණු මර්ධනකාරී වැඩපිළිවෙළ සාධාරණීකරනය කරන්න මිලිටරි ආණ්ඩුව ගෙන ගිය ප්‍රචාරණය තමා මේ වාමාංශික විප්ලවකාරයින් මැඩපැවැත්වීමෙන් තොරව රට දියුණු කල නොහැකියි කියන කරුණ. මේව පිළිගත්ත මිනිස්සු ඒ රටේ හිටිය. නමුත් ඒ අපරාධකාරයින් ගේ සෑබෑ මුහුණු පෙනෙන්නට පටන් ගන්න මොහොතේ එහෙම මිලිටරිවාදී අදහස් දැරුවන්ට පවා තමන්ගේ මතය වෙනස් කරගන්න වුණු හැටි ඔබට දැකගන්න පුලුවන්. Argentina 1985 අවසන් වෙන්නෙ, නීතියෙ ආධිපත්‍යය වචනයට පමණක් සීමාවුණු රටක, මිලිටරිය දේවත්වයෙන් පුදන අන්ධභක්තික බහුතර ජනතාවක් ඉන්න රටක කොහොමද කවදාකවත් මේ වැනි දෙයක් බලාපොරොත්තු වෙන්නෙ කියන ප්‍රශ්නය අපිට අපෙන්ම විමසාගන්න ඉඩක් තබමින්. (යුධ අපරාධ වලට ගොදුරු වී තවමන් යුක්තිය ඉටුනොවුණු උතුරේ ජනතාව වෙනුවෙන් නීතිය? පාස්කු ප්‍රහාරය වෙනුවෙන් නීතිය?) වර්ගවාදයෙන් සහ නොදැනුවත් භාවයෙන් දෑස අඳ කරල තියන සමාජයක් අඩුවෙශයෙන් තමන්ගේ ජීවිත අගාධයට ඇදදමමින් ඉන්න මේ පාලකයින්ට එරෙහිව (ආයෙම වතාවක්?) නැගීහිටින්නෙ, මේ අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් යුක්තිය ඉටු වෙන්නෙ කවදාද කියන තැන ප්‍රශ්නාර්ථයක් පමණයි අවසානෙ ඉතුරු වෙන්නෙ..



Tuesday, December 20, 2022

The Banshees of Inishirin (2022)

2017 අවුරුද්දේ ආව Three Billboards Outside Ebbing, Missouri හොඳ films හොයාගෙන බලන කෙනෙකුට නම් අමතක වෙන්න ඉඩක් නෑ. මට නම් ඒ අවුරුද්දට ආව oscar worthy ම වැඩේ ඒක (හැබැයි හම්බුණේ වෙන එකකට). කොහොම හරි  ඒ script එක ලියල direct කරපු Martin McDonagh ගේ අලුත්ම Film එක The Banshees of Inishirin මේ අවුරුද්දේ release වුණා සෑහෙන හොඳ ප්‍රතිචාර මැද්දෙ. 2023 පවත්වන්න නියමිත Golden globes වලත් awards 8 කට ම nomination ලබාගන්න දැනටමත් The Banshees සමත් වෙලා තියනව. The Banshees කියන්නෙ slow burn, unsettling වැඩක්. ඒ කියන්නෙ ටිකක් මන්දගාමී, drama ගතිය වැඩි සහ නිශ්චිත අවසානයක් නැති කතාවක්. ඒවගේම සමහර තැන්වලදි කෙනෙකුට දැනෙන්න පුලුවන් too wired ගතියක්. මේක  විවේචනය කරන අය කියන්නෙ dull, boring සහ unsettling ගතිය නිසා over rated වෙච්ච වැඩක් කියල. මට දැනුණ විදිහට නම් මේක සෑහෙන interesting සහ විවිධාකාර පැති වලින් හිතන්න දේවල් ඉතුරු කරන චිත්‍රපටයක්.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1923 අවුරුද්දේ  අයර්ලන්තය සමීපයෙ තියන Inishire නම් කුඩා දූපත (මේ අවුරුද්දේ අයර්ලන්තය ගැන කතාකරනව වැඩි ද කියල හිතෙනව). මේක පොඩි දූපතක් නිසා ඇතුළෙ ඉන්නෙ එකිනෙකා හොඳට හඳුනන ටික දෙනෙක් පමණයි. දූපත්වාසින් ගේ ජීවිත රටාවත් බොහොම සරලයි. ඒත් කිසිම අලුත් දෙයක්, සිත්ගන්නාසුලු යමක් දූපතේ නම් නොවුණු ගාණයි. ඒ හින්ද දූපත්වාසී ජීවිතේ පොඩි ඒකාකාරී බවක් තිබුණා තමයි. පොඩ්‍රික් කියන්නෙ ඔය දූපතේ ඉන්න තවත් එක ගැමියෙක්. පොඩ්‍රික් ජීවත් වෙන්නෙ එයාගෙ එකම සහෝදරී ෂොබෑන් එක්ක. දෙන්නට අමතරව මේ ගෙදර හිටිය දෙන්නම බොහෝම ආදරෙන් හුරතලයට හදපු පොඩි බූරු පැටියෙක්. (පොඩ්‍රික් ගේ ගති සොබාවයන් ගැන සංකේතාත්මක නිරූපණයක් ????) දූපතේ පොඩ්‍රික්ට හිටපු හොඳම යාලුවා කොලම් නම් වයලීන වාදකයා. පොඩ්‍රික් දවසේ වැඩපල ඉවරකරල කොලම් එක්ක ගමේ පබ් එකට ගිහින් අයිරිෂ් ස්ටවුට් වීදුරුවක් තොලගාන ගමන් පොඩි කතාවක් දාගෙන ඉන්න පුරුදු වෙලා හිටිය. දවසක් පුරුදු විදිහට පොඩ්‍රික් ඇවිත් කොලම්ට පබ් එකට යන්න කතා කරත් එදා නම් කොලම් පොඩ්ඩක්වත් පොඩ්‍රික් ව ගණන් ගන්නෙ නැති බව එයා දැක්ක. දැන් මේක හරි ප්‍රශ්නයක්. එක පාරටම කිසි හේතුවක් නැතුව මෙහෙම තරහ වෙන්නෙ ඇයි කියල පොඩ්‍රික් කොලම් ගෙන් අහනව. එතකොට කොලම් කියනව පොඩ්‍රික් කතාකරන්න පටන් ගත්තම කියවන තේරුමක් නැති වල්පල් අහගෙන නිකම් නාස්ති කරන්න කාලයක් නැති බවත් තමන් වගේ කලාකාරයෙකුට මානසික නිදහස ඊට වඩා වටින බවත්. ඒත් ඊයෙ හොඳ යාලුවෙක් වගේ හොඳට කතා කරල අද අඳුරන්නෙ නෑ වගේ මගඇරල යන්න මනුස්සයෙකුට පුලුවන් ද එහෙම. පොඩ්‍රික් මේක ලේසියෙන් අතාරින්න සූදානම් වෙන බවක් පේන්නෙ නෑ. මේ 1923 අවුරුද්ද අයර්ලන්තයට ඉතාම වැදගත් කාලසීමාවක්. මොකද මේ කාලයෙ තමා බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලබාගැනීම වෙනුවෙන් අයර්ලන්ත නිදහස් සටන ඇවිලී ගියේ. Inishire දූවට නම් මේ යුද්ධය දැනෙන්නේ ඉඳහිට ඈත ඉඳන් ඇහෙන වෙඩි හඬවලින් විතරයි. හිතල බැලුවොත්, යාලුවො දෙන්න ගෙ විරසකයත්, ඒ පසුබිමේ ඈතින් ඇහෙන යුද්ධයත් කියන්නෙ එකිනෙක හොඳ හැටි පෑහෙන සිදුවීම් දෙකක්!

Martin McDonagh, 2017 Three Billboards වලට පසුබිම් කරගන්නෙ ඇමරිකාවේ මියූරි ප්‍රාන්තය වුණත් මෙවර ඔහු තෝරාගන්නෙ අයර්ලන්තය සමීපයෙ තියන Inishirin දූපත. කෙටියෙන් කිව්වොත් අයර්ලන්ත සංස්කෘතිය. අයර්ලන්ත සොබා සෞන්දර්ය ගැන කලින් පෝස්ට් එකකත් කිව්ව නිසා ඒ ගැන මොකවත් ආපහු කියන්නෙ නෑ. මේ චිත්‍රපටයෙත් ඒ දේවල් ඉතාම හොඳින් දැකබලා ගන්න ලැබෙන බව කියන්නම්. අයර්ලන්ත ජන සංගීතය තැන් කීපයකදිම ඔබට අහන්න පුලුවන්. Banshee කියන්නෙ අයර්ලන්ත ජනශ්‍රැතිවල එන විලාප දෙන ගැහැනු ආත්මයක්. Banshee කෙනෙකු ගෙන් සංකේතවත් වෙන්නෙ මරණය. ඒ අනුව Banshee කියන්නෙ කතාවෙ අන්තර්ගතය එක්ක පෑහෙන හොඳ රූපකයක්. 

චිත්‍රපටයෙ අධ්‍යක්ෂ ඇතුළු ප්‍රධාන රංගවේදින් සියලුම දෙනා අයර්ලන්තයේ හැදුණු වැඩුණු අය. ඒ නිසා කතාබහේ තියන අයිරිෂ් බව නිරායාසයෙන්ම ඔවුන්ට ලැබෙන්න ඇති. විශේෂයෙන් කියන්න ඕන පොඩ්‍රික් ගේ චරිතය කරන අයිරිෂ් නළු Colin Farrell ගේ රඟපෑම මේ අවුරුද්දේ දකින්න පුලුවන් හොඳ ම රංගනයක් බව. චිත්‍රපටය ගැන කතාකරන සෑහෙන දෙනා වැඩියෙන්ම අගය කරන කාරණාවත් Colin Farrell ගේ මේ සුපිරි ගණයේ රඟපෑම. කොහොමත් මේ අවුරුද්ද Colin Farrell ට නම් හොඳ එකක්ම වුණා. ඔහු රඟපෑව චිත්‍රපට තුනක් ම සාර්ථකව තිරගත වුණා (The Batman, Thirteen Lives, The Banshees of Inishirin). කොලම් ගේ චරිතය කරන Brendan Gleeson ගේ රඟපෑමත් අගය නොකර බැහැ. ඒ වගේම තමයි පොඩ්‍රික් ගේ සහෝදරිය ෂොබෑන් ගේ චරිතය කරන Kerry Condon සහ තවත් Inishirin ගැමි තරුණයෙක් විදිහට රඟපාන Barry Keoghan. මේ අය ගැන ළඟ එන Oscar season එකේ දි නම් නැවතත් අපිට අහන්න ලැබෙන බව සහතිකයි.

නිකම් යාලුවො දෙන්නෙක් තරහ වෙන සිද්දියක් මෙහෙම චිත්‍රපටයකට මාතෘකා කරගන්න ඕන ද? Martin McDonagh වගේ සිනමාකරුවෙක් මෙහෙම පුංචි සිදුවීමක් මෙතරම් බරපතළ විදිහට සිනමාවට ගේන්න හිතන්නෙ ඇයි. බුදු දහමෙ තියන "වෛරයෙන් වෛරය නොසන්සිඳේ" වගේ එක යෙදුමකට මුලු කතාවම ලඝු කරන්න පුලුවන් නේද කියල ඔබට හිතන්න පුලුවන්. නමුත් කලිනුත් කිව්ව වගේ පොඩි සිදුවීමක් ඇතුළෙ වුණත් හිතන්න සෑහෙන දේවල් ඉතුරු කරන චිත්‍රපටයක් මේ. උදාහරණ විදිහට කලාකරුවෙකුගේ ජීවිතය කොහොම එකක් විය යුතු ද කියන කාරණය ගැන කොලම් ට තියන දැක්ම සහ අතිශ්‍ය සාමාන්‍ය "එදාවේල" මනුස්සයෙක් වුණු පොඩ්‍රික් ට ජීවිතේ ගැන තිබුණ අදහස් එකිනෙක ගැටෙන මොහොත අරගන්න පුලුවන්. කලාකරුවෙක් කියන්නෙ සමාජයෙ අනෙක් මිනිසුන් අතර ඉන්න සුවිශේෂ කෙනෙකුට ද? නැත්නම් ඔහු තවත් එක සාමාන්‍ය මනුස්සයෙක් පමණ ද? ඔහු ගතකල යුතු සාමාන්‍ය ජීවිතයක් ද? එහෙනම් එදිනෙදා ජීවිතේ වෙනුවෙන් වෙහෙසෙන අතරෙ කෝ ඔහුට තමන්ගෙ කලාව වෙනුවෙන් වැය කරන්න වෙලාවක්? විවේක බුද්ධියක්? චිත්‍රපටය අවසානෙ, ප්‍රධාන තේමාවට අමතරව, ඔබට මේ කරුණු කාරණා ගැනත් විමසා බලන්න පුලුවන්. Cinematography, අති විශිෂ්ට ගණයේ රඟපෑම්, පසුබිම් සංගීතය වගේ දේවල් එක්ක The Banshees of Inishirin මේ වසරේ හොඳ ම චිත්‍රපටයක් විදිහට නම් කරන්න පුලුවන් ඒ නිසයි.



Tuesday, December 13, 2022

The Wonder (2022)

ඊයෙ දවසත් අදත් මුහුණු පොතේ නිවුස් ෆීඩ් එක පිරිල තියෙන්නෙ සඳකත් නම් තරුණයගෙ වීඩියෝව ගැන නොයෙක් අය කියා තිබුණු අදහස්වලින්. සඳකත් කාගෙ කවුද කියන්න ඔබ දැනටමත් දන්න නිසා ඒ ගැන කියන්නෙ නෑ. නමුත් අනිවාර්යයෙන් යම් පසුබිමක් ඇතුව එන කෙනෙක් බව ඔහු මෙතෙක් කරල තියන content වලින් පැහැදිලිවම පෙනෙන්න තියනව. (මේ ගැන තවමත් දන්නෙ නැත්නම්  යූටියුබ් එකට ගිහින් Anarchysaurus කියන චැනල් එකේ තියන "ආගමික චින්තනය" කියන වීඩියෝ එක බලන්න). සමාජය පුරා මිත්‍යාමත වපුරමින් බඩවඩාගන්නන්ට නිර්මාණශීලීව සහ හරි දැනුමක් ඇතුව උත්තර දෙන්න පුලුවන් පිරිසකගෙ අඩුවක් තිබුණ නම් ඩිජිටල් අවකාශෙ මේ සඳකත් වගේ කෙනෙකුගෙ ආගමනය ලොකු බලපෑමක් වෙන්න පුලුවන් ඒ හිස් තැන පුරවන්න. මොකද අපේ සමාජය ගිලිලා තියෙන්නෙ නොදැනුවත්කමේ මහ අඳුරක. කරුණු සහිතව හේතු සාධක මත පදනම් වෙලා හිතන්න තවමත් අපේ බහුතරයකට පුරුදු නැති නිසා ඊයෙ සඳකත් අතින් සිය වස්ත්‍රය ගලවා ගන්නට යෙදුණ මුතුගල ලා වගේ අයට බොහෝම ලේසියෙන් පුලුවන් ආගම සහ ජාතිකත්වයේ ලේබල් එක ඉස්සරහට දමාගෙන ඕනැම මිත්‍යාමතවාදයක් වපුරල සමාජයෙ වැජඹෙන්න. මේවට උදාහරණ පහුගිය කාලෙ විශේෂයෙන් 2019 ජනාධිපතිවරණය කිට්ටුව වගේ කාලෙක අපි ඕන තරම් දැක්ක සහ ඒ අයට උවමනා වෙලා තිබුණෙ මොකක්ද කියන දේ ත් හොඳ හැටිම දැකගන්න ලැබුණ. 

මෙහෙම ආගමික භක්තිය ඉස්සරහට දමාගෙන තමන්ගෙ අරමුණුවලට යන්න උත්සාහ කරන කණ්ඩායම් කොයි ආකාරයෙන් සමාජෙ ඉන්න පුලුවන්ද සහ මේ විශ්වාසයන්  overdose වෙලා මිනිස්සු කොයිතරම් අන්තගාමී තැනකට වැටෙන්න පුලුවන් ද කියන කාරණේ ගැන පෙන්නා දෙන්න පුලුවන් හොඳ ම උදාහරණයක් මේ අවුරුද්දේ තිරගත වුණ The Wonder චිත්‍රපට ය. The Wonder නිර්මාණය වෙන්නෙ මේ නමින්ම ලියා පළ වුණු නවකතාවක් මුල් කරගෙන. කතාවට පසුබිම් වෙන්නෙ 19 වෙනි ශතවර්ෂයෙ බ්‍රිතාන්‍ය යටතේ පැවතුණ අයර්ලන්තය.1845 ඉඳන් 1849 වෙනකම් කාලය අයර්ලන්ත ඉතිහාසයෙ සඳහන් වෙන්නෙ අඳුරු යුගයක් විදිහට. රට පුරාම පැතිරිලා තිබුණු සාගතය නිසා කන්න නැතුව මිනිස්සු බොහෝම දුක් පීඩා විඳපු කාලයක්. මේ සාගත යුගය අවසන් වෙනවත් එක්කම වගේ එක පිටිසරබද අයර්ලන්ත ගැමි ගෙදරකින් අහන්න ලැබෙනව අදහගන්න බැරි පුදුමාකාර සිදුවීමක්. මේ ගෙදර ඉන්න ඇනා නම් පුංචි ගෑනු ලමයෙක් මාස හතරක් තිස්සෙ කිසිම කෑමක් නොකා යාච්ඥාවේ බලයෙන් ජීවත් වෙන බව කියවෙනව. ඇනා ම කියන විදිහට ඇය ජීවත් වෙන්නෙ ස්වර්ගයෙන් ඇයට ලැබෙන මන්නා නම් දිව්‍යමය ආහාරයෙන්. පැරණි වික්ටෝරියානු සම්ප්‍රදාය අනුව පොඩි ගෑනු ලමයින්ගෙ මේ ප්‍රාතිහාර්‍ය පෑමෙ සිද්ධිවලට ලොකු තැනක් ලැබී තිබුණ. ඉතින් ඇනා ගේ මේ ප්‍රාතිහාර්‍යය නිරීක්ෂණය කරන්න මේ ගමේ ප්‍රධාන පූජකයා, වෛද්‍යවරයා සහ තව කීපදෙනෙක් එකතුවෙලා හදාගත්ත කමිටුවකින් එළිසබෙත් නම් තරුණ හෙදියව යොදවන්න තීරණය කරනව. එළිසබෙත් ට තියෙන්නෙ ඇනාව මුළුමනින්ම නිරීක්ෂණය කරමින් ඇය කිසිම ආහාරයක් නොගෙන ජීවත් වෙන බව තහවුරු කිරීමින් ඇනා යනු සැබෑම ප්‍රාතිහාර්‍යයක් බව සනාථ කරන්න දායක වීම. හෙදියක් සහ වෛද්‍ය විද්‍යාව ගැන දැනුමක් ඇති කෙනෙක් විදිහට කරුණු සහිතව හිතල බැලුවම ආහාර නොගෙන කෙනෙකුට ජීවත් වෙන්න මොනම ක්‍රමයක්වත් නැති බව දන්න එළිසබෙත් මෙතැන මොකක් හෝ වෙනත් යමක් ඇති බව සැක කරනව සහ ඇය ඒ ගැන හොයල බලනව. ඇත්තටම මෙතන වෙන්නෙ මොකක්ද කියල දැනගන්න නම් ඔබට The Wonder චිත්‍රපටය බලන්න වෙනව.

Elizabeth නම් හෙදිය ගේ චරිතය කරන Florence Pugh නම් නැගී එන හොළිවුඩ් රංගවේදිනිය නිසා චිත්‍රපටයට ටිකක් වැඩිපුර අවධානය ලැබුණ කියල හිතනව. ඇය සුපුරුදු විදිහට තමන්ගෙ කොටස හොඳින්ම කරනව. මේ අවුරුද්දේ ම ආව The Quite Girl චිත්‍රපටය වගේම අයර්ලන්ත ගැමි පරිසරය ඉතාම ලස්සනට කැමරාවට අල්ලගන්න මේ නිර්මාණකරුවන් සමත් වෙලා තියනව. අවසානයත් එක්ක චිත්‍රපටයෙ සැබෑම වටිනාකම මතුවෙනව කියල හිතනව. ස්වර්ගයෙන් ලැබෙන භෝජනයට වඩා සැබෑම ප්‍රාතිහාර්‍යයන් සිදුවෙන්නෙ මිනිස්සු තමන්ගෙ ජීවිතයටත් අනුන්ගේ ජීවිතවලටත් ආදරය කරන්න පුරුදු වෙන තැන.

"සිහින රුදුරු වේවි
උහුලාගමු අපම නේද අපගේ දෙවියන්"

The Wonder ඔබ තවමත් බලල නැත්නම් මිත්‍යාවත්, ආගමික චින්තනයත්, ආගම විකුණාගන්න ව්‍යාපාරිකයුනුත්, හේතු සහගත චින්තනයත් ගැන සංවාදයක් ඇතිවෙලා තියන මේ මොහොත චිත්‍රපටය බලන්න හොඳම මොහොත බව කියන්නම්. 



Monday, December 12, 2022

Triangle of Sadness (2022)

 මේ අවුරුද්දෙ Cannes Film Festival එකේ Palme d'Or දිනපු Triangle of Sadness බැලූ ගොඩක් දෙනා ඇත්තටම මේක Palme d'Or දිනන්න තරම් worthy ද කියන ප්‍රශ්නය මතුකරල තිබුණා. Nominate වුණු අනිත් films නොබලා ඒ ගැන මොකවත් කියන්න අමාරුයි. 2017 අවුරුද්දේ Palme d'Or දිනපු The Square ෆිල්ම් එකේ director and writer වුණු swedish ජාතික සිනමාකරු Ruben Östlund ම යි මේ අවුරුද්දේ Triangle of Sadness නිර්මාණය කරන්නෙත්. (හතරැස කින් ත්‍රිකෝණයට) මේක trialogy එකක් වෙන්න තවත් චිත්‍රපටයක් නිර්මාණය කරන බව ඔහු කියනව. Square බලල නැති නිසා ඒ ගැන මොකවත් කියන්න බෑ. Triangle of Sadness නම් Dark Comedy ගණයට වැටෙන්නෙ. Comedy කිව්වම ඇත්තටම හිනා යන සහ ගැඹුරක් තියන විහිලු එක්ක මොහොතක් වත් boring නොවී බලන්න පුලුවන් හොඳ entertaining වැඩක්.

මොකක්ද මේ Triangle of Sadness කියන්නෙ? චිත්‍රපටය මුල්ම ඒ ගැන සඳහන් වෙනව සහ අධ්‍යක්ෂවරයත් චිත්‍රපටය ගැන කතාකරන තැනක දී ඒ ගැන කියනව. Fashion industry එක ඇතුළෙ මේ නම භාවිත වෙන්නෙ මුහුණෙ යම් වේදනාවක දුකක හැඟීමක් මතුවෙන මොහොතේ ඇහිබැම දෙක අතරෙ ඇති වෙන කුඩා ත්‍රිකෝණාකාර සලකුණට. You have a deep triangle of sadness, කෙනෙක් දුකින් ඉන්න බව මුහුණෙන් ප්‍රකාශ වෙනව නම් මෙන්න මෙහෙම කියන්න පුලුවන්. 

නමුත් මේ නමින් අරුත් ගැන්වෙන විෂම ත්‍රිකෝණය වෙනත් යමක් වෙන්න බැරි ද? චිත්‍රපටයෙ අන්තර්ගතය ගැන සලකල ඒ ගැන තවදුරටත් හිතල බැලුවොත් මෙහෙම අදහසක් ගන්න පුලුවන්. සමාජයෙ බලය බෙදීයන ධූරාවලිය නිතරම පිහිටන්නෙ ත්‍රිකෝණාකාර ස්වභාවයකින්. සමාජයෙ අති බහුතරයක් දෙනා ඉන්නෙ පතුළේ. ඔවුන් තමයි වැඩිපුර පීඩාවට ලක්වෙන්නෙ අසාධාරණයට ලක්වෙන්නෙ. නමුත් ඉහළින් ඉන්න සියලුදෙනා පවතින්නෙ ඔවුන්ගේ කරමතින්. (මේ ආකෘතිය චිත්‍රපටයෙ "සුඛෝපභෝගී විනෝද බෝට්ටුව" එක්ක සසඳන්න පුලුවන්. පතුලෙ එන්ජින් කාමරවල වැඩකරන බහුතරය සහ උඩ තට්ටුවල උපරිම සැප විඳින ටික දෙනා). පතුලට පස්සෙ තියනව තව ස්ථරයක්. ඔවුන්ට අර පහළම කාණ්ඩයට වඩා ටිකක් වරප්‍රසාද තියනව. නමුත් ඉහළින් එන පීඩනයට ඔවුනුත් යට යි. ඉන්පස්සෙ ඉන්නව මුදුනේම වැජඹෙන ටික දෙනෙක්. ඔවුන් තමයි සමාජයෙ ඉහළින්ම ස්ථරවල ඉන්න කාණ්ඩය. ඔවුන් ගණනින් අඩුයි. නමුත් සියලුම වර්ප්‍රසාද සැප සම්පත් භුක්ති විඳින්න හැකියාව තියෙන්නෙ ඔය කාණ්ඩයට පමණයි. ඔය ඉහළ කාණ්ඩය අහසේ වළාකුළු වල පාවෙමින් ඉන්න කොටසක්. ඔවුන්ට පහළ පොළව ගැන දැනීමක් නෑ. එදිනෙදා ජීවිතේ ගැටගහගන්න අවශ්‍ය සරල දැනුම ඔවුන්ට නෑ. (එක අතකට, හදිස්සියකට සතෙක් දඩයම් කරගැනීම, කෝටු කෑල්ලකින් ගින්නක් පත්තු කර ගැනීම වගේ දැනුමකින් අද කාලෙ කාටද වැඩක් තියෙන්නෙ). චිත්‍රපටයෙන් මේ සුඛෝපභෝගී ජීවිත වල පළමු පැලැන්තියෙ අධි පරිභෝජනවාදී ජීවිතේ වගේම සමාජයෙ ඉහළට ඒමෙ ආශාවෙන් පෙළෙන පහළ පැලැන්තියෙ හැසිරීමත් එක වගේ උපහාසයට ගන්නව. (මේක ඕන නම් 2019 ආපු Parasite එක්ක සසඳන්න පුලුවන්. Parasite යන්නෙ Crime/ Thriller පැත්තට වුණාට මේක ඔය පන්ති විෂමතාව සහ දියුණුවීමේ අරගලය දකින්නෙ Comedy ඇහැකින්) පමණට වඩා දේශපාලනිකව නිවැරැදි වෙන්න උත්සාහ නොකර කාගෙ කාගෙත් සමාජ සමයං වලට එක වගේ පහර ගහන හරි අපූරු සිනමාත්මක වෑයමක් විදිහට Triangle of Sadness හඳුන්වාදෙන්න පුලුවන්.

චිත්‍රපටයෙ නම ගැන තවත් එක කියවීමක් තියනව. මූලික වශයෙන්ම මිනිස් ජීවිතයට බලපෑම් කරන්නෙ ප්‍රධාන සාධක තුනක් එනම් ධනය, බලය, ලිංගිකත්වය. ජීවිතය කියන්නෙ මේ කරුණු තුන වෙනුවෙන් කරන්න සිදුවෙලා තියන නොනවතින අරගලයක් විදිහට අරගෙන Triangle of Sadness කියන්නෙ ඒ ගැන පෙන්වා දෙන විවරණයක් විදිහට හඳුනාගන්නත් පුලුවන්.

චිත්‍රපටයෙ Main female role එක කරන දකුණු අප්‍රිකානු ජාතික නිරූපණ ශිල්පිනියක් වන Charlbi Dean චිත්‍රපටය තිරගත වෙන්නත් කලින් අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුඅරන් තියනව. ඇය වැනි තරුණ ආකර්ශණීය රූපකායක් සිනමාවට අහිමි වීම ලොකු පාඩුවක්. සමස්තයක් විදිහට හැම රංගන ශිල්පියෙකුගෙන්ම හොඳම output එක අරගන්න අධ්‍යක්ෂවරය සමත්වෙලා තියනව. අධ්‍යක්ෂවරය චිත්‍රපටය හැදුණු ආකාරය ගැන කතා කරද්දි නලු නිලියන්ට පිටිපතේ සමහර තැන් වෙනස් කරන්න ඔහු ඉඩ නොදුන්නත් සමහර තැන්වලදි පිටපතෙන් පිට තමන්ගෙම යමක් චරිතය වෙනුවෙන් එකතු කරන්න ඔහු ඉඩදුන් බව කියනව. චිත්‍රපටයෙ සමස්තයක් විදිහට විශේෂයෙන් නැව ඇතුළෙ දර්ශනවල cinematography ඉතාම ඉහළ මට්ටමක තිබුණ. සමහර විට මේ අවුරුද්දේ හොඳම අධ්‍යක්ෂණය විදිහට Ruben Östlund ගෙ නම Academy Awards වලට Nominate වෙන්න හොඳටම ඉඩකඩ තියනව.

මේ හැම දෙයක්ම එක්ක ලෝකයේ වැදගත්ම සිනමා සම්මාන උළෙලක් වුණු Cannes Film Festival එකේ වැදගත්ම සම්මානයක් වන Palme d'Or දිනන්න තරම් Triangle of Sadness වටිනවද කියන දේ ගැන යම් ප්‍රමාණයකින් හරි තීරණයකට එන්න චිත්‍රපටය නරඹන ඔබට පුලුවන්.



Friday, December 9, 2022

The Quiet Girl (2022)

අයර්ලන්තයේ ගම්බද වටාපිටාවක පැතිරගිය තෘණ භූමිවල තැවරුණු කොළ පාට වගේ, අතරින්පතර සරුවට වැඩුණු සුවිසාල ගස් අතු ඉති අගිසි වලින් බේරෙන රත්තරන් පාට ඉර එළිය වගේ හදවතට දැනෙන හරි සෞම්‍ය සිනමා අත්දැකීමක් The Quiet Girl කියන්නෙ. මේ අවුරුද්දට මෙතෙක් බලපු චිත්‍රපට අතරින් වැඩියෙන්ම හිතගත්තු එකක් බවට නම් කරන්න පුලුවන් සැකයකින් තොරවම. 2022 අවුරුද්දේ තිරගත වුණු චිත්‍රපට අතර The Quite Girl කියන්නෙ ඇස් බොඳවෙන තරම් සැර ආලෝකයක් නොදෙන, ඒත් බොහෝම සියුම්ව එළිය විහිදුවන සහ වටිනකමෙන් අඩුවක් නොවෙන මැණිකකට.

2023 අවුරුද්දේ පවත්වන්න නියමිත 95 වන  ඔස්කාර් සම්මාන උළලේ විදෙස් භාෂා අංශයේ අයර්ලන්ත නියෝජනය විදිහට තෝරාගැනෙන්නේත් The Quiet Girl ම යි. කියවන්න ලැබුණ තොරතුරුවලට අනුව නම් Quite Girl අයර්ලන්ත සිනමාපටයකට ලැබුණ ඉහළම ආදායම් වාර්තාව තියන්න සමත්වෙලා තියනව මේ වෙනකොට. ඒක එහෙම නම් සෑහෙන සතුටට කාරණාවක්. ඒවගේම චිත්‍රපටය IFTA (Irish Film & Television Academy Awards) ඇතුළු ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදී ම මේ වෙනකොට ඇගයීමට ලක්වෙලා තියෙනව. චිත්‍රපටය මූලිකවම ගොඩ නැගෙන්නෙ Cait නම් පුංචි ගැහැනු ලමයෙක් වටා. ඇයගෙ චරිතය රඟදක්වන Catherine Clinch නම් දැරිය ඉතාම අපූරුවට තමන් රඟදක්වන් චරිතය ඇතුළෙ ජීවත්වන ආකාරය චිත්‍රපටය බැලුවොත් ඔබට දැකගන්න ලැබේවි.

අයර්ලන්ත ලේඛිකා Claire Keegan රචනා කළ Foster නම් කෙටිකතාව ඇසුරෙනුයි චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ. මම හිතනව කෙටිකතාවේ තියන උණුහුම, මානුශික ගුණය එක්ක මුහුවුණු සාහිත්‍ය ඒ ආකාරයෙන්ම නැවත සිනමා භාෂාවෙන් ප්‍රකාශනය කරන්න මේ නිර්මාණකරුවන් සමත්වෙලා තියනව කියල. චිත්‍රපටියෙ කතාවත් ඉතාම සරල සුන්දර එකක්. ලොකු සංකීර්ණ දේවල්, මනස වෙහෙසවලා හිතල ප්‍රෙහෙලිකා විසඳන්න දේවල් මෙතන නැහැ. කුඩා සිදුවිමක් අරගෙන එය සෑහෙන හෘදය සංවේදී ආකාරයෙන් මතු කිරීම යි චිත්‍රපටයෙන් කරන්නෙ. කෙටිකතාවක් පදනම් කරගෙන නිර්මාණය කරල තියන හින්ද, කෙටිකතාව කියන සාහිත්‍ය ප්‍රවර්ගයටම අනන්‍යවෙන "ස්වල්පයකින් බොහෝ දේ කියවෙන" ගුණය චිත්‍රපටයටත් නිසඟයෙන්ම ආගමනය වෙලා තියනව කියල හිතන්න පුලුවන්. කොහොම වුණත් මේ කතාව ගැන වැඩිදුරටත් නොකියා චිත්‍රපටය බලන ඔබටම වටහ ගන්න ඉඩ තියන්නම්. දරුවන් ඉන්න දෙමව්පියෙක් නම්, නැත්නම් දරුවන් එක්ක වැඩිපුර ගැවසෙන කෙනෙක් නම් ටිකක් වැඩිපුර මේ කතාව ඔබට දැනේවි.  ශාමෙල් ජයකොඩි මහත්මිය ගෙ මෑතක කියවල ඉවර කරපු "කුමර කොබෙයි" පොතේ තිබුණු සහ මතකයෙ රැඳුණු එක කියමනක් පමණක් අවසානෙ සඳහන් කරන්නම්. මම හිතනව චිත්‍රපටයෙ ඇතුළාන්තය එක්ක මේ කියමන හොඳ හැටි ගැලපෙනව කියල. 

"දරුවෙක් ඉද්දි අපේ ජීවිත ලස්සන වෙන්නේ දරුවාගේ සුරතල් හින්දා වත් වයසට යද්දි දරුවො ළඟ ඉන්න හින්දාවත් නෙමෙයි. හැම හොඳ දේම දරුවකුට දෙන්න හදන ඒ හැඟීම තමයි මේ ලෝකයේ අපව උසස් තත්වයකට ගේන්නේ."