Thursday, October 23, 2025

The Roses (2025)

ලොකු පාටියක් දාලා විවාහයක් සමරන්න ඕන බඳින දවසට නෙමේ බැඳලා අවුරුදු විස්සක් විසිපහක් විතර ගිහිල්ලා දරුවොත් හදලා ඒ දරුවො හොඳ මිනිස්සු විදිහට සමාජගත කළායිනුත් පස්සෙයි කියලා ගයාන් පෙරේරා Hari tv එකේ ළහිරු එක්ක කරලා තිබ්බ ඉන්ටවිව් එකකදි කියලා තිබ්බා. එහෙම වෙන්නෙ මොකද පුලුවන් තරම් ලොකුවට වෙඩින් ගත්තට ගොඩක් අයගෙ ජීවිත වල ඒ ලස්සන ඊට පස්සෙ මැකිලා ගිහින් අන්තිමට නතර වෙන්නෙ මොන එකකට මේක කරගත්තද කියලා එකිනෙකාගෙන් වෙන් වෙන තැනටම ඇවිල්ලා. අවුරුදු ගාණක් වෙන් නොවී ඔය විවාහය පවත්වගන්න එක තමා එහෙම බැලුවාම සමරන්න කාරණේ වෙන්න ඕන. මොකද එක මනුස්සයෙක් එක්ක එකම ගෙදරක කාලාන්තරයක් තිස්සෙ එකට ජීවත් වෙනවාය කියන්නෙම අමාරු වැඩක්. ඒකට සෑහෙන ලොකු ඉවසීමක් ඕන. දෙන්නෙක් අතරෙ රොමාන්තික බැඳීමක් ඇති වෙන මුල් කාලෙ නම් හරි ලස්සනයි සුන්දරයි. මොකද ඔය රොමැන්ටික් කාල සීමාවේදි මොළයෙන් නිකුත් කරන රසායනිකයන් එක්ක අනිත් මනුස්සයාගෙ වැරැද්දක් තිබුණත් ඒක නොපෙනී යනවා, තමාගෙ වැරදි අඩු පාඩු අනිත් කෙනාගෙන් වසන් කරලා පරිපූර්ණ ප්‍රතිරූපයක් මවා පෙන්වන්න උත්සාහ කරනවා. නමුත් කාලයක් ගත වෙද්දි ඔය රසායනිකය නිකුත්කරන එක ශරීරයෙන්ම නතර වෙනවා. "පෙම් ලොව දී දුටු ඔහුමද මේ, මොහුටද මා අන්ධ වුණේ" කියල කියවෙන්නෙ එතකොට තමා. කොහොමත් කාලයක් එකට ජීවිතේ බෙදාහදා ගන්න දෙන්නෙකුට මේ රොමාන්තික යුගය ඉවර කරලා ගැටළුකාරී යුගයකට අඩිය තියන්න වෙනවා. අමාරු කාලෙ ඇතුළෙ නම් පවතින්න පුලුවන් වෙන්නෙ දෙන්නා අතර තියන අවබෝධය, ඉවසිලිවන්තකම, ස්වයං විනය වගේ දේවල් එක්ක. එතනදි තමන්ව දැනෙන සහ හරි තේරුම් ගැනීමක් තියන කෙනෙකුව තෝරාගෙන ඉන්න එක වැදගත්. අමාරු කාල එද්දි ඒව පහු කරගෙන යන්න තරම් හොඳ බැඳීමක් ඇති වෙන්නෙ එහෙම තෝරාගැනීමක් ඇතුළෙ තමා. කතාවටත් කියන්නෙ දෙන්න දෙමහල්ලො අතර ප්‍රශ්න ඇති වෙන්නෙ බත් හැලිය ඉදෙනකම් විතරයි කියල නේ. නමුත් කොහොම වුණත් විවාහ ජීවිතයක් කාලයක් පවත්වාගෙන යන්න වෙන්නෙ අමාරුකම් විඳ දරාගනිමින්මයි. විවාහයක් අවසාන වෙන තැනට එන්නෙ මේ දරාගැනීමේ සීමාව ඉක්මවා යද්දි සහ කෙනෙකුව තෝරාගන්නකොට තමන් සෑහෙන වැරදීමක් කරගෙන තියනව කියලා නැත්නම් සෑහෙන රැවටීමකට ලක්වෙලා තියනව කියලා තේරුම් යද්දි.


සුප්‍රසිද්ධ සිනමාකරු ඉන්ග්මාර් බර්ග්මාන් ගේ 1974 අවුරුද්දෙ තිරගත වුණ Scenes from a Marriage කියන චිත්‍රපටියෙ ඇතුළත් වෙන්නෙ අවුරුදු දහයක් සාමකාමී විවාහ ජීවිතයක් ගත කිරීම සමරන යුවළක් ගැන. චිත්‍රපටිය ඇතුළෙ මේ දෙන්නා ගෙ විවාහය දෙදරා යන්න පටන් ගන්නෙ අවුරුදු දහයක් ගෙවිලා ගියාට පස්සෙයි. ජීවිතේට දුෂ්කර කාල එන්නෙ නොහිතනම වෙලාවල් වල. 2025 ආව The Roses කියන්නෙත් මේ වගේම කතාවක් තියන චිත්‍රපටියක්. චිත්‍රපටිය ඇතුළෙ අපි දකින්නෙ තියෝ සහ අයිවි දෙන්නගේ විවාහයේ කතාව. තියෝ කියන්නෙ ගෘහ නිර්මාණ ශිල්පය තමන්ගෙ ආත්මය කරගත්ත මනුසයෙක්. දවසක් අවන්හලකදී එයාට මුණගැහෙනවා සූපශාස්ත්‍රය ආත්මය කරගත්ත එක්තරා ගැහැනියක්. මේ දෙන්නා අතර ඇති වෙන්නේ "දැක්ක ගමන් හිත බැඳුණා, වාසනාවෙ දොර ඇරුණා" වර්ගයේ ක්ෂණික බැඳීමක්. ඉන්පස්සෙ කාලය අවුරුදු ගණනාවක් රිවයින් කරලා බැලුවාම අපි දකින්නෙ සැමියා සහ බිරිඳ විදිහට එක ගෙදරක ජීවත් වෙන සහ කර දඬු උස් මහත් වෙන වයසේ ළමයි දෙන්නෙක් ඉන්නා තියෝ සහ අයිවි කෙනෙක්ව. දෙන්නා හරි ආදරෙන් සාමදානෙන් ජීවිතේ ගෙවන වගක් අපිට පේනවා. නමුත් කාලය ගත වෙන්නෙ නොහිතු විදිහෙ වෙනස් කම් දෙන්නාගේ ජීවිත ඇතුළේ ඇති කරලා, කිසි ප්‍රශ්නයක් නැති ව අවුරුදු ගණනාවක් එක වහළක් යට ජීවත් වුණු තියෝ සහ අයිවි එකිනෙකා නොරුස්සන දෙන්නෙක් බවට පත්කරලා. දෙන්නා දෙමහල්ලෝ අතරේ දිගින් දිගටම ඇදි ඇදී යන මේ විරසකය කොතනින් කොහොම කෙළවර වෙයිද කියලා තමා අපිට බලා ඉන්න තියෙන්නෙ.


මුලින්ම බර්ග්මාන්ගෙ Scenes from a Marriage චිත්‍රපටිය ගැන සඳහන් කළත් The Roses කියන්නෙ ඒවගේ බරසාර ෆිල්ම් එකක් නෙවෙයි. කොමඩි/ ඩ්‍රාමා ටයිප් එකේ වැඩක්. මේක කොමඩියක් වෙන්න පුලුවන් ද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්, විශේෂයෙන් දික්කසාදය වගේ සීරියස් මාතෘකාවක්. තමන්ට නැත්නම් තමන්ට හිතවත් කෙනෙකුට මෙහෙම අත්දැකීමක් තියනව නම් එහෙම හිතෙන එක වරදක් නෙවෙයි. ලංකාවෙ නීතිය අනුව මම දන්න තරමින් දික්කසාදය කියන්නෙ කාලයක් ගත වෙන අමිහිරි අත්දැකීමක්. හැමදාම ළඟින් ඉන්නා බවටත් දුකේ දීත් සැපේ දීත් අතනොහරින බවට පොරොන්දු වෙලා විවාහ වෙන අය පස්සෙ එකිනෙකාට විරුද්ධව එදිරිවාදීන් වෙලා උසාවියක් ඉස්සරහට එන එක ඉතාම අසුන්දර දෙයක්. The Roses කියන්නෙ එහෙම බැලුවාම අඳුරු ප්‍රහසනයක් විදිහට අරගන්න පුලුවන් චිත්‍රපටියක්. ෆිල්ම් එක බලලා අපි හිනා වෙනවා. නමුත් අපි හිනා වෙන්නෙ ජීවිතේ තියන ඇත්තම ඛේදවාචකයන්ට. 


The Roses බලන්න හේතුවක් වුණේ ප්‍රධාන චරිත රඟපාන  Benedict Cumberbatch සහ Olivia Colman මගේ ප්‍රියතම අය වීම. දෙන්නාම වර්තමානයේ සිනමාව ඇතුළෙ ඉහළින්ම නම තිබ්බ රංගවේදීන් දෙන්නෙක්. ඉතින් මේ දෙන්නගෙ සුසංයෝගය බලා ඉන්න අපූරු දෙයක් වුණා මට නම්. විශේශයෙන් දෙන්නගෙම බ්‍රිතාන්‍ය පන්නයේ ඉංග්‍රීසි කතා විලාසය. චිත්‍රපටිය නිර්මාණය වෙලා තියෙන්නෙ ස්වයං විනාශකාරී යුවළක් මුල් කරගෙන ලියැවී තියෙන The war of the Roses නම් නවකතාව මුල් කරගෙන. 1989 අවුරුද්දෙ මේ කතාවෙන් The war of the Roses නමින්ම චිත්‍රපටියක් නිර්මාණය වෙලා තියනවා, 2025 අවුරුද්දෙ ආව The Roses කියන්නෙ මේ නවකතාවෙන් හැදෙන දෙවනි චිත්‍රපටිය. (නවකතාවෙදි ප්‍රධාන චරිත දෙක නම් වෙන්නෙ Jonathan Rose සහ Barbara Rose නම් වලින්. කතාවෙ නම එන්නෙ මේ නම් වලින් කියලා මම හිතන්නෙ)


ෆිල්ම් එක ගැන ඉන් එහා යමක් කියන්නෙ නෑ. Romantic/ Comedy ශානරයට කැමති අයට මේක අල්ලලා යාවි කියලා හිතෙනවා. 




Monday, October 20, 2025

ආයු

පහුගිය කාලෙක කියවපු Mark Manson ගේ The Subtle Art of Not Giving a F*ck පොතේ තිබ්බ මගේ හිතගත්ත එක කියමනක් ආපහු මේ සයිබර් අවකාශ දි දැකගන්න ලැබිලා ආයෙමත් මගේ ඔලුව ඇතුළේ ඒක නිතර ඇහෙන්න පටන් අරගෙන තියනවා. කතාව මේකයි. Mark Manson කියනවා ජීවිතය කියන්නෙ වියමනක් කියලා. නොයෙක් වර්ගවල නූල් වලින් තමා මේක ගෙත්තම් වෙලා තියෙන්නෙ. දුක් වේදනාවන් කියන්නේ ජීවිත වියමනේ තියන තවත් එක නූලකට. හැබැයි මේක ගලවලා අයින් කරන්න බැරි තරමට ජීවිතේ එක්ක පෑහිලා තියෙන්නෙ. අපි දුක කියන මේ නූල ජීවිත වියමනෙන් ගලවලා දාන්න උත්සාහ කිරීමෙන් සිද්ද වෙන්නෙ ඒ වියමනම ලෙහිලා විනාශ වෙලා යන එක. අපි දුක්වේදනාවන් එක්ක පොරබදන තරමට අපි තවත් වේදනාවෙම ගිලිලා යනවා. අපි මේ අනිවාර්ය දුක් වේදනාවන්ට අනවශ්‍ය තරම් අවධානයක් නොදී ඉඳීමයි කළ යුතු වෙන්නේ කියන කාරණාව Mark එයාගේ පොත පුරාම පැහැදිලි කරනවා. ජීවිතේ සැනසීමේ, සංහිඳීමේ මාර්ගය වැටිලා තියෙන්නේ මේ දුකත් එක්ක ඇලීම, ගැටීම නතර කරන තැනින්. මේක එක්තරා ආකාරයකට බෞද්ධ දර්ශනය එක්කත් සම්බන්ධ කමක් තියනවා. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මම දන්න තරමට, දුක කෙළවර කිරීම ආරම්භ වෙන්නේ පැවැත්මේ තියෙන මේ අනිත්‍යතාව සහ ඒ හේතුවෙන් හට ගන්න දුක්සහිත බව මැදහත් සිතකින් තේරුම් ගැනීමත් එක්ක. මිනිස්සු වශයෙන් ස්වභාවයෙන්ම අපි ඇතුළේ තෘෂ්ණාවත්, කෙළස් සහගත බවත් පවතිනවා. ඒ නිසා අපි දුකක් බව දැන දැන වුණත් ජීවිතය ඇතුළේ නොයෙක් දේවල් එක්ක දැඩි ආශාවකින් බැඳෙනවා. ස්ථිරසාර විදිහට දුක නිදහස් වීම කරන්න පුළුවන් මේ කෙළෙස් ප්‍රහීන කරලා තෘෂ්ණාව දුරු කර ගැනීමෙන් බවයි බුද්ධ දේශනාවේ සඳහන් වෙන්නේ.

මේ දවස්වල තිරගත වෙන ආයු චිත්‍රපටිය බලද්දී මගේ මතකයට ආවෙ අර ජීවිත වියමනේ කතාව සහ දැන් වෙනකොට සරලවම පින් පව් කර්ම වගේ දේවල් එක්ක සමාජය ඇතුළේ ඇත්ත දාර්ශනික ගැඹුර අහිමි වෙමින් තිබෙන බුදු දහම. වේදනාවේ නූල් පටින් ජීවිතේ ඇතුලේ අඳුරු ගෙත්තම් මවද්දී නමුත් තමන්ගේ ඇතුළාන්ත ආලෝකය නැති කර නොගන්න වෙරදරන චරිත කිහිපයක් එක්කයි චිත්‍රපටිය ගලා යන්නේ. ආයු කියන්නේ රූපයම මාධ්‍යයෙන් ලියවුණු කවියක්. මේක ඇතුළේ කරන දෘශ්‍යමය ගොඩනැංවීම ඒ තරම් සෞදර්යාත්මකයි, සංකේතරූපියි. රූපය පමණක් නොවෙයි මේ චිත්‍රපටියේ සංගීතයත් ඒ වගෙයි. චිත්‍රපටියේ හිස්කම මකා දැමීමට එහා ගිහින් කතාව ඇතුළේ ඒ සියුම් භාවයන් මතු කරන ආකාරයෙනුයි චිත්‍රපටිය ඇතුළේ සංගීතය භාවිත වෙලා තියෙන්නේ. ලෝක සිනමාව ඇතුළේ මේ කාව්‍යමය සෞන්දර්ය අපි අත්විඳලා තියනවා තර්කොව්ස්කි, බර්ග්මාන්, කිසලොව්ස්කි, කොරීඩා, ටෙරන්ස් මලික් වගේ අයගේ සිනමාපට ඇතුළේ. අපේ රටේ මේ වගේ චිත්‍රපටියක් දකින්න ලැබෙන එක ලොකු සතුටක්. මොකද ලංකාවෙ සිනමාව පණගැහිලා නැගිටගෙන එන මේ කාලේ එක පැත්තකින් ප්‍රේක්ෂකාගාර පුරවන සිනමාවක් වගේම අනෙක් පැත්තෙන් ආත්මය පුරවාලන සිනමාවක් අපිට අවශ්‍ය නිසා. ආයු චිත්‍රපටිය ඉෂ්ට කරන්නේ ඒ බලාපොරොත්තුව. චිත්‍රපටිය බලන මුළු වෙලාවෙමත් චිත්‍රපටි ශාලාවෙන් නැගිටලා ගියායින් පස්සෙත් පුදුම තරම් සැනසිල්ලක් සංහිඳීමක් මට අත් විඳගන්න ලැබුණා. මම විශ්වාස කරනවා චිත්‍රපටිය බලන්න එන කෙනා නොවෙයි ශාලාවෙන් පිටවෙලා යන්නේ, දශමයක් හරි ඇතුළාන්තයෙන් නිවිලා කියලා. ඒක තමා මනස සුවපත් කරන මේ කාව්‍යමය සිනමාවේ මැජික් එක.


මං බොහොම තදින් විශ්වාස කරනවා සොබාදහම ආශ්‍රයෙන් අපිට මේ ජීවිත සත්‍යතාවන් බොහොම පැහැදිලිව තේරුම්ගන්න පුළුවන් කියලා. මොකද මනුස්සයා කියන්නේ ස්වභාව ධර්මයේම කොටසක්ම තමයි. අපේ ජීවිත යථාර්ථයන් ස්වභාවික ලෝකයේ ධර්මතාවන් එක්ක හරි ලස්සනට සමපාත වෙන හැටි ඒ ගැන හිතලා බැලුවොත් අපිට වටහාගන්න පුළුවන්. කලාවෙන් කරන්නෙත් මේ සත්‍ය එක්තරා රසවින්දනාත්මක ආකාරයකට නැවත ගොඩනැංවීම. ආයු කියන්නෙත් එහෙම නිර්මාණයක්. ප්‍රධාන වශයෙන්ම මුහුද ප්‍රබල සංකේතයක් විදිහට චිත්‍රපටිය පුරාම පවතිනවා. මුහුද කියන්නෙත් හරි අපූරු කතන්දර කියන්නෙක්. රැළි රැළි පෙරළිලා ඇවිත් කිරි සුදු පාටට වෙරළේ විසිරිලා යන හැටි, අප්‍රමාණ ගැඹුරක් හංගගෙන දියඹ ඈතට වෙලා නිහඬවම බලා ඉන්න හැටි, මතුපිටින් සුළිකුණාටු හට ගත්තත් පතුළේ මුතුඇට, කොරළ්පර, වෛවරණ මාළු හැංගිලා ඉන්න හැටි, වෙනම හිතලා බැලුවොත් මේවාත් එක්තරා ආකාරයක කතන්දර තමයි. ආයු චිත්‍රපටියට වස්තු විෂය වෙන්නේ මුහුදු වෙරළ ඉස්සරහා ගෙවිලා යන එක්තරා කෙනෙකුගේ, දෙන්නෙකුගේ ජීවිත කතන්දර. මේක සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වුණු බවට චිත්‍රපටය ආරම්භයෙදිම සඳහන් වෙනවා. මනුස්ස සම්බන්ධකම් වල ගැඹුරු මානයන් ඒ කතාව ඇතුළේ ඉසියුම්ව ස්පර්ශ වෙනවා. ඒ කතාව ගැන කිසිවක් නොකියා ඉන්නම්, මොකද චිත්‍රපටිය බලනවා නම් ඔබ ඒ කිසිවක් නොදැන හිස් වුණු මනසකින් සිනමාශාලාවට යන එක වඩාත් සුදුසු නිසා. ඒ කම්පනයත් වගේ නිවීමත් ඔබම විඳගත යුතු යි. නමුත් කතාවේ ඇතුලාන්තය ගැන මට දැනුණ මේ ටික කියන්නම්. මිනිස්සු විදිහට අපි ගොඩක් වෙලාවට ජීවිතය දිහා බලන්නේ තෘෂ්ණාවේ පැත්තෙන් හිටගෙන. අපි අපේ දියුණුවේ අනාගත සැලසුම් හදන්නේ, මිනිස්සු එක්ක නොයෙක් සම්බන්ධකම් හදා ගන්නේ මේ ආශාවේ තෘෂ්ණාවේ පැත්තෙන් බලලා. නමුත් එක මොහොතක් එනවා සියළුදේම අපිට අහිමි වෙලා යනවා කියලා දැනෙන. අපි අල්ලාගෙන ඉන්න ලෝකය අපේ අතින් ගිලිහිලා යනවා. එතකොට ලෝකය අල්ලා ගැනීමේ පැත්තෙන් බැලුවාම අපි දුක් මහන්සි වෙලා ගොඩනගා ගත්තු සියළුදේම අහිමි වෙලා යන්න නියමිත බව පේන්න පටන් ගන්නවා. අන්න එතකොටයි අපි අතහැරීමේ පැත්තෙන් ජීවිතය දිහා බලන්නේ. අතහැරෙන්න නියමිත දේවල් එක්ක සාමයෙන් පවතින්න පුළුවන් අපිට එතකොට විතරයි. තෘෂ්ණාවෙන් නොබැඳී අවබෝධයෙන් ජීවිතය දිහා බලන්න අපිට පුළුවන් වෙන්නේ එතකොටයි. චිත්‍රපටිය ඇතුළෙම දෙබසකින් ඒ ගැන කියවෙනවා මෙහෙම.


"භෟතික ජීවිතයයි මනසයි කියලා කියන්නේ එකම කාසියක දෙපැත්තක්. මිනිස්සුන්ට මොළයක් දීලා තියෙන්නෙ ඇයි? තේරුම් ගන්න තේරුම් අරන් ජීවත් වෙන්න"


චිත්‍රපටියේ රඟපෑම් ගැන මේ ටික නොකියා බෑ. ප්‍රධන චරිතය වුණ නිෂ්මි විදිහට රංගනයෙන් දායක වෙන සැන්ඩ්‍රා මැක් ඒ චරිතය වෙනුවෙන් හොඳ සාධාරණයක් කරනවා. සැන්ඩ්‍රා එයාගෙ ඉන්ටවිව් එකකදි කියනවා එයා කලින් 2002 අවුරුද්දේ වගේ බූඩි ගේ "සත්‍යා" ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කළා කියලා. එතකොට තමයි මම එයාව අඳුනගත්තේ. සත්‍යා ඒ කාලේ ගිය ටෙලි නාට්‍ය අතරින් වෙනස්ම වැඩක් විදිහට මගේ මතකයේ තියනවා. ඒ නාට්‍යයේ සැන්ඩ්‍රා ගේ රෑපකාය මට යන්තම් වගේ මතකයි. ඉන් අවුරුදු විසිගාණකට පස්සෙයි තිරයක් මත මම ආපහු එයාව දකින්නේ. සැන්ඩ්‍රා මේ නිශ්මි ගේ චරිතයට වෙනස්ම ආකර්ශණයක් අරගෙන එනවා කියලා මම හිතනවා. (සැන්ඩ්‍රා ගේ ඉන්ටවිව් එක වුණු "මතක පද" වැඩසටහන මුල සිට මම බැලුවා. මුළු වෙලාවෙම මම බලා හිටියේ එයා කතා කරන විදිහ දිහා, වචන පෙළගස්වන විදිහ දිහා, තමන්ගේ වෘත්තීය ඇතුළේ එයාට තිබ්බ passion එක දිහා, එයා හරි inspirational මනුස්සයෙක්. මට දැන් සැන්ඩ්‍රා හැර නිෂ්මි ගේ චරිතයට ගැළපෙන කෙනෙක් ඉන්නවද කියලා හිතාගන්න බැරි තරම්) ජගත් මනුවර්ණ මේ චිත්‍රපටියේ රඟපෑවද? මම නම් දැක්කේ සචින් කෙනෙක්ව, එයාගේ පෙනුම ජගත් මනුවර්ණ වගේ තමා. එතනින් එහාට ඒ රඟපෑම ගැන කියන්න දෙයක් නැහැ. සියළු අගය කිරීම් ඒ ඇතුළේ තියනවා කියලා මම හිතනවා. ලැබෙන සුළු කාල පරාසය ඇතුළේ වුණත් නලින් ලුසේනා, ප්‍රියන්ත සිරිකුමාර, අශාන් ඩයස්, තුමිදු දොඩංතැන්න මේ හැමෝම හොඳ රංගනයක් කරනවා. මාලනී ෆොන්සේකාව තිරය මත දකිද්දී සියුම් දුකක් දැනුණා. මේ ඇයගේ අවසාන රංගනයත් වෙන්න ඇති සමහර විට. 


හැකි තරම් කෙටියෙන් මේ ටික ලියුවේ තවමත් ආයු නොබැලූ කෙනෙක් ඉන්නව නම් ළඟම තියන සිනමා ශාලාවට ගිහින් මේක බලන්න කියන්න. ඒ නිවීම සැනසීම විඳගන්න කියන්න. 


මේ වැනි චිත්‍රපටියක් නිර්මාණය කිරීම ගැන අධ්‍යක්ෂ වරයා ඇතුළු සමස්ත කණ්ඩායමටම මගේ ආචාරය!!

.

.

.

"කෙලෙස් පිරිච්ච ජීවිතේ හරියට දූවිලි බාධක තියන පාරක් වගේ. කෙලෙස් අතහැරියාම දැනෙන්නේ අහසේ නිදහස් පියාඹන කුරුල්ලෙක් වගේ. කුරුල්ලොත් හුළං පාරට අහුවෙනවා. මෝසම් හුළඟට අහු වුණාම කුරුල්ලෝ යන්නේ වෙනම දේශයකට. කුරුල්ලෝ ඒ ගැන දුක්වෙන්නෙ නෑ. ඒක උන්ට වෙනම ලෝකයක්. උන් දන්නවා මේ ලෝකෙ කාටත් උන් ගැන ගාණක් නෑ කියලා."


- ආයු




Thursday, October 9, 2025

Both sides now

ජීවිතේ කියන්නෙ පරස්පරතාවන්ගෙන් පිරිච්ච තැනකට. ජීවිතේ ඇතුළෙ ඕනැම දෙයක් අරගත්තොත් ඊට ප්‍රතිවිරුද්ධ යමක් ඒත් එක්කම වෙන් කරන්න බැරි විදිහට බැඳිලා තියනව. හැම ආලෝකමත් යමක් පිටිපස්සෙම එයින් වෙන් කරන්න බැරි අඳුරකුත් තියනවම තමයි. හරියට හඳ වගෙයි. හඳ කිව්වම අපිට මතක් වෙන්නෙ අන්ධකාර රාත්‍රිය ඇතුළේ එළිය දෙන හරි සෞම්‍ය සුන්දර වස්තුවක් විදිහට නෙ. නමුත් ඇත්තටම ගත්තොත් හඳේ එක පැත්තක් එළිය වෙද්දි අනෙක් පැත්ත සම්පූර්ණ අඳුරෙන්ම වැහිලයි තියෙන්නෙ. හඳ එයාගෙ මේ අඳුරු මූණ පෙන්වනව කාලෙන් කාලෙට. ඒක එතකොට අර හඳ ගැන කවි සින්දුවලින් කියන සුන්දර වස්තුව නෙමේ. ජීවිතේ සම්බන්ධයෙනුත් දේවල් සිද්ධ වෙන්නෙ ඔය ආකාරයට. ආදරය ගත්තොත් උදාහරණයක් විදිහට, ආදරය හරි ලස්සන, සුන්දර, ජීවිතේට සැනසීම අරන් එන හැඟීමක් විදිහට ඒ ගැන කල්පනා කරද්දී අපි හිතනව. නමුත් ආදරයක් ජීවිතේ ඇතුළෙ පවත්වගෙන යද්දී ඒ වෙනුවෙන් ලොකු වැයවීමක්, කැපවීමක් අපිට දරන්න සිද්ද වෙනවා. අපි ආදරය කරන්නෙ යම් කෙනෙකුට නම් ඒ කෙනාගෙ අපි ආස ගති ගුණාංග වගේම අපි ඒ තරම් ආස නොකරන දේවලුත් තියනව. ඒ දේවල් එක්ක ගනුදෙණු කරන එක බොහොම වෙලාවට සුන්දර අත්දැකීමක් නෙමේ. නමුත් ඔය සුන්දර වගේම අසුන්දර දේවලුත් එකට බැඳිච්ච දෙයක් තමා ආදරය. මේ දෙක එකින් එක වෙන් කරලා අපි ආස දේ විතරක් බාරගෙන ආස නොකරන කොටස ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් නැහැ. එතනදි අනිවාර්යයෙන් ඔය දෙපාර්ශවයම සම සිතින් බාරගන්න අපිට සිද්ද වෙනවා. 

මේ ටික මෙහෙම ලියන්න හිතුණෙ Joni Mitchell ගෙ Both sides now සින්දුව කාලෙකට පස්සෙ අහපු හින්දා. Joni මේ සින්දුව ඇතුළෙ කියන්නෙ ජීවිතේ තියන මේ එකිනෙක ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් ගැන. එයා මුලින්ම පටන්ගන්නෙ වළාකුළු ගැන කියලා. එයා කියනවා එයා මුලින්ම වළාකුළු දැක්කෙ අහස පුරා පැතිරිච්ච මැජික්මය සෞන්දර්යක් තියන දෙයක් විදිහට කියලා. නමුත් ඒ වළාකුළුම තවත් වෙලාවක සූර්‍යාලෝකය වළක්වනවා. වැස්ස, හිම කුණාටු අරගෙන එනවා කියල එයා කියනව. එන්පස්සෙ එයා ජීවිතේ ගැනත් එහෙමම කියනවා. මුලින් ලස්සනයි සුන්දරයි කියලා පේන්න තියන දේවල් වල අඳුරු පැතිකඩ පහුකාලීනව අපිට පේන්න පටන් ගන්නවා. විශේෂයෙන් වයසත් එක්ක දේවල් වල සංකීර්ණ බව අත්දකින්න ලැබෙද්දී අපි දේවල් දිහා දකින විදිහ වෙනස් වෙනවා. Joni ගේ සින්දුව පුරාම තියෙන්නෙ ඒ අත්දැකීම් ආශ්‍රයෙන් එයා ලබන ජීවිතාවබෝධය, ජීවිතාවලෝකය. විශේෂයෙන් එයා සින්දුව කියන tone එක සහ සින්දුවෙ melody එකත් Music Arrangement එකත් එක්ක ජීවිතේ තිත්ත කටුක යථාර්ථයන් හමුවේ තමන්ගෙ හදවතේ ලස්සන නැති කර නොගත් සහ පැහැදුණු හිතකින් දේවල් දකින කෙනෙකුගේ නිවුණු මිහිරි ස්වරය සින්දුව පුරා ඇහෙනවා. ඒ බව අහන අපිටත් දනවන්න ඒ music එක සමත් වෙනවා. මේ සින්දුව මං අහන්නෙ ඔළුව ඇතුළෙ පැටලිච්ච මොකක්දෝ නමක් නොදන්නා අඳුරක් ලෙහාගන්න උත්සාහ දරමින් ඉන්න වෙලාවක. මේ අකුරු ඒ ලෙහා දැමීමේ වෑයමක කොටසක්. Music වල තියන සුවපත් කිරීමෙ ගුණය අමතක වෙමින් තියන කාලෙක Joni Mitchell ගෙ මේ සින්දුව ඒ වැහි බර අහසක් වගේ හිත පුරා පැතිරිලා තිබ්බ අඳුර මැද්දෙන් ආලෝක තිතක් ඇවිලුවා. කුඩා වුණත් ඒ ප්‍රහර්ශය බෙදාහදා ගැනීම වෙනුවෙන්මයි මේ කෙටි සටහන. සින්දුව අහල නැති කෙනෙක් ඉන්නව නම් අහල බලන්න. හිත අඳුරෙන් බර වෙලා තියන වෙලාවක, ඔලුව ඇතුළෙ පීඩාකාරී සිතුවිලි පැටලෙන මොහොතක, ජීවිතේ තේරුම් ගන්න බැරි හරස්පද ප්‍රෙහේලිකා විසඳලා හති වැටිලා ඉන්න වෙලාවක ඇහුම්කන් දීලා ඒ රිදුම් නිවාගන්න, සැහැල්ලු වෙන්න ඕනෑම කෙනෙකුට මම නිර්දේශ කරනවා මේ සින්දුව.




Friday, October 3, 2025

කාංසාව යටපත් කරගන්නේ කොහොමද?

 "How to cope with anxiety"  නමින් Olivia Remes විසින් සිදුකරන ලද TedTalk කතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය.

හිතන්න ඔයා පාටියකට යන්න ලෑස්ති වෙනව කියලා. ඔයාට පොඩි අපහසු ගතියක් දැනෙන්න පටන් ගන්නවා, ආමාශය හිරිවැටිලා යනවා වගේ තේරෙනවා, එතනදි මොකක් හරි නරක දෙයක් වේවි කියලා හිතෙනවා. ඔයා හිතනවා මෙහෙම, "මම එතනට ගිහින් කාටද කතා කරන්න ඕන. කවුරුවත් මාව ගණන්ගත්තෙ නැත්නම් මොකද වෙන්නෙ?", ඔයා පාටියට යනවා. ගිහින් මුණගැහෙන කෙනෙක් එක්ක කතා කරනවා. ඒ වෙලාවෙ ඔයාගෙ මනස හරියට කලබල වෙලා තියෙන්නෙ. හදවත ගැහෙන්න පටන් ගන්නවා වේගයෙන්. "පොඩ්ඩක් ඉවසීමෙන් වැඩකරන්න". ඔයා ඔයාටම කියාගන්නවා. ඒත් ඔයාට ඒක කරන්න බෑ. ටික වෙලාවකින් ඔයා එක්ක කතා කළ මනුස්සයා යන්න යනවා. ඔයාට දැනෙන්නෙ මහ පරාජිත හැඟීමක්. සමාජය ඇසුරෙදී ඔයාට මේක නිතර දැනෙනවා වෙන්න පුළුවන්. සෙනග ඉන්න තැනකට ගියාම ඔයාට හරි අපහසු ගතියක් දැනෙන්න පටන්ගන්නවා. මහ පිරිසක් මැද්දෙ වුණත් ඔයාට තනිකමක් පාළුවක් දැනෙනවා. ඔයාට තියෙන්නේ "කාංසාමය සංකූලතාවක්" (anxiety disorder). 


මම කියන්නේ මිනිස්සු හිතනවට වඩා කාංසාව හරි සාමාන්‍ය තත්වයක්. දැන් මේ මොහොතෙදි ලෝකයේ ඉන්න හැම 14 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් කාංසාමය සංකූලතාවයෙන් පෙළෙනවා. මේ නිසා ඇතිවෙන මානසික රෝගී තත්ව වලට ප්‍රතිකාර කරන්න අවුරුද්දකට ඩොලර් බිලියන 42 ට වඩා වැය වෙනවා. කාංසාව, විෂාදය (depression) ඇතිවෙන්න, වගේම සියදිවි නසාගැනීම්වලටත් හේතු වෙනවා. කාංසාවෙන් පෙළෙන කෙනෙකුට අවධානය දීලා වැඩක් කරන්න අපහසුයි. සම්බන්ධතා ඇතුළේ ඉන්න අපහසුයි. ඒත් මිනිස්සු ගොඩක් වෙලාවට මේ ගැන දන්නෙ නෑ. මේක නිකන්ම යටපත් කරලා දැමිය යුතු දුර්වල කමක් කියලා මිනිස්සු හිතන්නෙ ඒ හින්දා. කාංසාව ඊට වඩා ප්‍රබලයි. සාමාන්‍ය කාංසාව සහ කාංසාමය සංකූලතාවක් වෙන්කරලා හඳුනාගැනීම අවශ්‍යයි. පීඩාකාරී තත්වයක් ඇතුළේ අපිට දැනෙන අපහසු කම සාමාන්‍ය කාංසාව. එදිනෙදා ජීවිතේ වැඩ එක්ක, රස්සාවේ Deadlines ඇතුළේ වැඩකරනකොට ඔයාට දැනෙනවා අපහසු ගතියක්. මේක යහපත් එකක්. ඒකෙන් ඔයාට වෙන්නෙ හොඳක්. ඒත් සමහර වෙලාවට මේ කාංසාව සීමාව ඉක්මවා යනවා. ඇත්තටම තර්ජනයක් නැති වෙලාවටත් ඒක ඇතිවෙනවා. කාංසාමය සංකූලතාව කියන්නේ මෙන්න මේකට. මේ තත්වයෙන් පෙළෙන අය දේවල් සම්බන්ධයෙන් අනවශ්‍ය තරම් කරදර වෙනවා. මේ නිතර පසුතැවීම පාලනය කරගන්න එයාලට අමාරුයි. කලබලකාරී බව, බය වීම, නින්ද නොයාම, අවධානයෙන් වැඩ කරන්න බැරි වීම වගේ තත්ව වලින් ඒ අය පෙළෙනවා. ඔයාට දැනෙන කාංසාව මොකක් වුණත් ඒක අඩු කරගන්න ඔයාට පුළුවන්. 


ප්‍රතිකාර එක්ක මානසික රෝග සමනය කරගන්න පුළුවන් වුණාට කාලයක් ගතවෙද්දී ඒවා ආයෙම මතුවීමේ ඉඩකඩක් තියනවා. නමුත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙ අපි කරල තියන සමීක්ෂණවලට අනුව අපිට හොයාගන්න ලැබුණු දේ තමා ප්‍රතිකාරවලට අමතරව තමන්ගේ උත්සාහයෙන් කාංසාව යටපත් කරගැනීමේ ක්‍රමයක් සොයාගන්න වෙරදැරූ අයට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වුණු බව. අද මම කතා කරන්නේ ඒවගේ ක්‍රම තුනක් ගැන. 


පළවෙනි එක, ඔයාගේ ජීවිතේ පාලනය කරන්නේ වෙන කවුරුත් නෙවෙයි ඔයාමයි කියලා හිතන්න. තමාවම දමනය කරගන්න පුළුවන් පුද්ගලයාගෙ මානසික සෞඛ්‍ය බොහොම ඉහළ මට්ටමකයි තියෙන්නේ. සමීක්ෂණ වලින් අපි හොයාගත්තු විදිහට, තමාව පාලනය කර ගැනීමේ හැකියාව ඔයාට අඩුයි නම් ඒ හැකියාව ඔයාට ලබාදෙන අත්දැකීම් ඔයා වැඩිපුර ලබාගන්න ඕන. ඒ මොකක්ද කියලා මම ඔයාට පැහැදිලි කරලා දෙන්නම්. 


සමහර වෙලාවට ඔයා ගොඩක් දේවල් මගහරිනවා, මොකද ඒ දේට ඔයා සූදානම් නැහැ කියල ඔයා හිතනව. සමහර වෙලාවට ඔයාට කරන්නෙ මොනවද කියල තීරණේ කරගන්න බැහැ. කන්නෙ මොනවද, අඳින්නෙ මොනවද කියන තැන පටන් තෝරගන්නෙ මොන රස්සාවද කියන තැන දක්වා පරාසයක මේක විහිදෙනවා. කිසිම දෙයක් තීරණය කරගන්න බැරුව ඔයා සෑහෙන කාලයක් නාස්තිකරනවා. එහෙම වෙන්නෙ ඔයාට ඔයාගෙ ජීවිතේ පාලනය කරගන්න බැරි වුණාම. GK Chesterton  කියන ලේඛකයා මෙහෙම කතාවක් කියල තියනවා. "මොකක් හරි දෙයක් කරන්න තරම් වටිනව නම්, පළවෙනි පාර වැරදුණත් කමක් නෑ, ඒක කරන එක වටිනවා". මේ විදිහට හිතලා වැඩ කිරීම ඔයා දෙයක් පටන් ගන්න බැරුව කල්පනා කරමින් කාලය ගෙවා දැමීම වලක්වනවා. හැම තිස්සේම අපිට අවශ්‍ය සර්ව සම්පූර්ණ අය වෙන්න. අපි බලාපොරොත්තු වෙනවා පමණට වඩා දේවල්. නමුත් අන්තිමට අපි කිසි දෙයක් කරලා නැහැ. අපි නිතරම සර්ව සම්පූර්ණ වෙන්න උත්සාහ කළොත් ඉතුරු වෙන්නෙ පීඩනයක් විතරයි. වැරදුණත් කමක් නැහැ කියලා යමක් කරන්න පටන් ගන්න එක ඔයාට නිදහස් හැඟීමක් අරගෙන එනවා. අන්තිමට ඔයා හිතන තරම් ඒක නරක නැහැ. මේ විදිහට හිතලා වැඩ කරන්න පටන් ගත්තු කාංසාවෙන් පෙළුණු මගේ යාළුවෙක් මට මෙහෙම කිව්වා. "මේ කතාව හින්දා මගේ ජීවිතේම වෙනස් වුණා. මට හිතුවට වඩා ඉක්මණින් සමහර වැඩ ඉවර කරන්න පුළුවන් කියලා මම හොයාගත්තා. වෙනස් දෙයක් කරන්න, අවදානමක් ගන්න මට හැකියාව ලැබුණා. ඒකෙන් මගේ කාංසාවන් දියවෙලා ගිහින් මාව සතුටින් පිරුණා." ඒ නිසා වැරදියට හරි කමක් නෑ, යමක් කරන්න බය වෙන්න එපා. ඔයාට පුළුවන් ඒ දේ වැඩි දියුණු කරගන්න. 


දෙවනි ක්‍රමය, ඔයාටම සමාව දෙන්න. මේක ඔයා හරි විදිහට පාවිච්චි කරනව නම් සෑහෙන ප්‍රයෝජනවත් කාරණාවක්. කාංසාවෙන් පෙළෙන අය ගොඩක් කරදර වෙනවා එයාලට වරදින්නේ මොනවද කියලා. එයාලා අනවශ්‍ය තරම් දේවල් ගැන කණගාටු වෙනවා. හිතන්න ඔයාගෙ වැරදිම කියන යාළුවෙක් ඔයාට ඉන්නව කියලා. ඔයා පුළුවන් ඉක්මණට ඒ යාළුවගෙන් ඈත් වෙනවා, එහෙම නේද? කාංසාවෙන් පෙළෙන අය තමන්ටම කරගන්නෙත් ඕක තමයි. ඒ අය තමන්ට කාරුණිකව සලකන්නෙ නැහැ. ඉතින් අපි අපිටම කාරුණික වෙන්න, අපිටම සහය වෙන්න ඕන වෙලාව මේක තමයි. මීට ටික වෙලාවකට කලින් ඔයා අතින් වෙච්ච අත්වැරැද්දට වගේම දුර අතීතයක ඔයා කළ දේට ඔයාටම සමාව දීමෙන් තමයි මේක කරන්න පුළුවන් වෙන්නෙ. කෙනෙකුට යම් දෙයක් කියන්න ඔයාට තදබල උවමනාවක් තිබුණා, නමුත් ඔයාට ඒක කියන්න බැරි වුණා, දැන් ඒ ගැන දුක්වෙන්න එපා. ඒක අමතක කරලා දාන්න. ඔයාට ඔයා දිහාම කාරුණිකව බලන්න පුළුවන් වෙන්නෙ එතකොටයි. ඔයා මේක කරන්න පටන් ගන්න තුරු ඔයාට සුවපත් වෙන්න බැහැ. 


අන්තිම කාරණාව. ජීවිතයට අරමුණක් සහ අර්ථයක් ඇතිකර ගැනීම සුවපත් වීමේ වැදගත් ක්‍රමවේදයක්. ජීවිතේ ඇතුළේ අපි මොනවා කළත්, මොන වැඩේ අපි කෙරුවත්, කොයිතරම් මුදලක් අපි හම්බකරගත්තත් තව කෙනෙකුට අපිව ඕනැ කියලා දැනෙන තුරු, අපේ ඇසුර තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනව කියලා අපිට දැනෙන තුරු අපිට සම්පූර්ණයෙන් සතුටු වෙන්න බැහැ. ජීවත් වෙන බව දැනෙන්න නම් අපිට අවශ්‍ය අනික් අයගේ හොඳ වචන විතරක් නෙවෙයි. තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් අපි නොකරන තුරු අපේ මානසික තත්වය දුර්වල අඩියකට වැටෙන්න ලොකු ඉඩකඩක් තියනවා. සුප්‍රසිද්ධ ස්නායු විශේෂඥ Viktor Frankl මෙහෙම කියල තියනවා. "ප්‍රශ්නෙ තමා ජීවිතේට අරමුණක් නැහැ ජීවිතයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ කියන මිනිස්සුන්ට ජීවිතය ඒ අයගෙන් යමක් බලාපොරොත්තු වෙන බව තේරුම් කර දීම."


තවත් කෙනෙක් වෙනුවෙන් යමක් කරන එක අමාරු කාලවලදී ඔයාට ගොඩක් උදව් කරනවා. ඔයාගේ පැවැත්මට හේතුව ඔයා දැනගන්නවා, ඕනෑම දෙයක් විඳදරාගන්න ඔයාට හැකියාව ලැබෙනවා. 


ඉතින් ප්‍රශ්නෙ තමා ඔයා තවකෙනෙක් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නෙ? ඒක ස්වෙච්ඡාවෙන් කරන උදව්වක් වෙන්න පුළුවන්, නැත්නම් අද ඔයා ලබන මේ දැනුම තවත් කෙනෙක් එක්ක බෙදාහදා ගැනීම වෙන්න පුළුවන්, විශේෂයෙන්ම ඒක අවශ්‍යම කෙනෙකු එක්ක. ප්‍රතිකාර ගන්න හැකියාවක් නැති නමුත් කාංසාමය සංකූලතාවයෙන් පෙළෙන ගොඩක් අය ඉන්නවා. මේ දැනුම එයාලට දෙන්න. ඒක ඔයාගෙත් මානසික සෞඛ්‍ය ඉහළ නංවනවා. 


ඉතින් මං කැමතියි මේ කතාව මෙහෙම අවසාන කරන්න: ඔයා තවත් කෙනෙක් වෙනුවෙන් කරන්න පටන් ගන්න දෙයක් සමහර විට තව පරම්පරා ගණනාවකට ප්‍රයෝජනවත් යමක් වෙන්න පුළුවන්. සමහර විට ඔයා මිනිස්සු වෙනුවෙන් කළ දේවල් ඒ අය තේරුම් ගන්නෙ නැති වේවි. ඒකට කමක් නැහැ. මොකද ඔයාගෙ ජීවිතේ අර්ථාන්විත එකක් සහ සුවිශේෂ එකක් බව අවසානෙදි ඔයා වටහා ගනීවි.


ස්තුතියි.

.

.


.

~Translated by hAsH~