වර්ෂ 1899 දී ගන්නා ලද මේ ඡායාරූපයේ සටහන් වන්නේ උන්මන්තකාගාරයක සිටිනා ෆ්‍රෙඩ්‍රික් නීශේ ගේ රුවයි. ඒ ඔහුගේ අසීමිත වූ බුද්ධිප්‍රභාව නිහඬ වී වසර දහයක් ගත වූ පසුවයි.
වතාවක් ඔහු දර්ශනවාදයේ පවුරු පදනම් සොලවාලූවේ ය.
ඔහු දෙවියන්ට ද, ආචාරධර්ම වලටද, බලයට සහ දුබල බවට ද එකසේ අභියෝග කළේ ය.
ඔහු ලියුවේ ගින්නක තරම් තියුණු බවකින් සහ අනනුකම්පිත වූ පැහැදිලිබවකින් යුතු ව ය.
නමුත් මෙහි ඔහු සිටිනුයේ පසුබා ගිය, දුර්වල, දුරස්ථ තැනැත්තෙකු ලෙසින් ය.
එහි ඇත්තේ ජයග්‍රහණයක් නොව,
නිහඬ විනාශයකි.
නීශේ ඔහුගේ ජීවිතයේ අවසන් වසර කිහිපය ගෙවා දැමුවේ කිසිවක් ලියාගත නොහැකිවයි. වතාවත් ඔහු කළ අයුරින් සිතන්නට නොහැකිවයි. ඔහු සිරුරින් ජීවත් ව සිටියද නූතන යුගය හැඩගැස්වූ ඔහුගේ ඒ හඬ නිහඬ වී ගොස් තිබුණි. මිනිසත් බවේ ප්‍රබලතාවන් ගැන ලියූ මිනිසා ඒ මනුශ්‍යත්වයේම දුර්වලකම හමුවේ ඇද වැටී තිබුණි.
සියල්ල ආරම්භ වූයේ 1889 ජනවාරි 03 වනදා ඉතාලියේ ටියුරින් නුවරින් ය.
ඇසින් දුටු සාක්ෂි අනුව ඔහු නගරයේ ඇවිද යමින් සිටිය අතර ඔහු දුටුවේ අශ්ව රථ රියැදුරෙකු තම අශ්වයාට දරුණු ලෙස කසයෙන් තලනා අන්දමයි. කසපහර කමින් සිටි අසරණ සතා එය දරාගත නොහැකිව බිමට ඇදගෙන වැටුණේ ය. මෙය දුටු නීශේ වහා දිවගොසින් අශ්වයාගේ ගෙල බදාගෙන කදුළු සලන්නට පටන්ගත්තේ ය. හැඬීම පාලනය කරගත නොහැකි වුණු ඔහු සෙමින් අශ්වයාගේ ගෙල සිපගත්තේ ය.
එයින් පසු ඔහුගේ ඇදවැටීම ආරම්භ විය.
මේ සිදුවීමෙන් පසු කිසිදාකවත් ඔහුට ඉන් පෙර සිටි මිනිසා බවට පත් වීමට නොහැකි විය.
මේ සිදුවීමේ මේ ආකාරයෙන්ම සිදුවුණාද යන කරුණ ගැන ඉතිහාසඥයන් අතර ඇත්තේ විවාදයකි. නමුත් ඉන් එහි බලපෑම් සහගත බව අඩු නොවෙයි. එයින් නිරූපිත වන දේ නිසා ඒ කතාව අද වන තුරු පවතියි, එනම් දයානුකම්පාවේ බලවත් කම නිසා අධිෂ්ඨානය, ඉවසීම සහ ශක්තිය වෙනුවෙන්ම කැපවුණු මනසක් සම්පූර්ණයෙන් බිඳ වැටී ගිය ආකාරය එයින් කියවෙයි.
ජීවිතයට දුෂ්කරතාවන් අවැසි බව කියූ දාර්ශනිකයාව කරුණාව විසින් යටපත් කරනු ලැබී ය.
ටියුරින් සිද්ධියෙන් පසු නීශේ නිහඬතාව වෙත පසුබැස ගියේ ය. ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහී යන්නට පටන් ගත් විට ඔහුගේ මව ද සහෝදරියද ඔහු රැකබලා ගත් හ. ඔහුගේ ජීවිතයේ අවසාන දශකය, වතාවක් ලෝකයකට අභියෝග කළ තියුණු බුද්ධියෙන් බොහෝ දුරස් ව රෝගී බවෙන් ද, හුදෙකලාවෙන් ද, ව්‍යාකූලත්වයෙන් ද ගෙවී ගියේ ය.
මේ ඡායාරූපය වචන වලින් තොරව ඒ සත්‍යය කියාපාන්නකි.
අපගේ විශ්ෂ්ඨතාවයන් අපව පරාජය කළ නොහැකි අනභිභවනීය අය බවට පත් කරන්නේ නැත.
අපේ ශක්තිමත් බව අපව මෘදු බවින් ආරක්ෂා කරන්නේ නැත.
තියුණුම මනසක් පවා මනුෂ්‍ය ස්වභාවයෙන් වෙන් කළ නොහැකිය.
නීශේ ගේ ඇදවැටීම අපට කියාපානුයේ දයාන්විත වීම දුර්වලකමක් නොවන බවයි. එය තමන්ව විනාශ කළ නොහැකි යැයි විශ්වාස කරන අයව පවා බිඳ දැමීමට තරම් බලවත් ය.
සමහර විට සියළු දේට වඩා වඩාත් මානුෂික වූ දර්ශනවාදය එය විය හැකියි.
~ Translated from the Page "Reece Ryan"
ප.ලි. - නීශේ සහ ටියුරින් අශ්වයා සම්බන්ධ සිදුවීම තහවුරු කරන්නට ඉතිහාසමය සාධක නොමැති අතර එවැන්නක් සිදුවූ බවට ඇති සාධක ඒ සම්බන්ධව ඇති කටකතා සහ ඉන් වසර ගණනකට පසුව පළ වූ පුවත්පත් වාර්තාවක් පමණි. නමුත් 1889 වසරේ ටියුරින් නගරයේ දී නීශේ මානසික වශයෙන් වශයෙන් දරුණු ලෙස ඇද වැටුණු බවත්, එයි පසු ඔහුගේ ජීවිතය අවසන් වන තුරුම සියළු ලිවීම් අතහැර දමා නිහඬව හුදෙකලාවේ ගෙවා දැමූ බවත් සත්‍ය කි. මේ සිදුවීම මුල් කරගෙන The Turin Horse නමින් සිනමාපටයක් 2011 වසරේ නිර්මාණය වී ඇත.

අනේ පව් නේද රන්දික මල්ලි
ReplyDelete