Saturday, May 2, 2020

Planet Earth

සෞරග්‍රහ මණ්ඩලයෙ ඈත කෙළවරක පුංචි නිල්පාට තිතක් වගේ දිස්නෙ දෙන පෘථිවි ග්‍රහයාගෙ ඡායාරූපය ඔබ කවුරුත් දැකල ඇති. ජීවිතකාලෙ ඇතුලෙ කොටස් වලට බෙදාගෙන, එකිනෙකා කාකොටාගෙන තමන්ගෙ කියාගෙන අත්පත් කරගන්න උත්සහ කරන හැමදෙයක්ම තියෙන්නෙ මේ පොඩි තිතක් ඇතුලෙද කියල හිතනකොට දැනෙන්නෙ විස්මයක්. නමුත් ඇත්තටම මේ පුංචි තිත ගැන වුණත් මේකෙ සැකැස්ම ගැනත් පරිසර පද්ධතීන් ගැනත් අපිට අල්පමාත්‍ර තරමින් වත් දැනුමක් තියනවද? අපි පය ගහළ ඉන්න පොළව ගැන අපිට තියෙන්නෙ කොයි වගේ දැනුමක් ද..

BBC ආයතන 2006 අවුරුද්දෙ දි පෘතුවියේ විවිධාකාර පරිසර පද්ධතීන් ගැනත්, මෙතෙක් මිනිස් ඇසට ලක් නොවුණු ජීවි කාණ්ඩයෙන් ගැනත් රූගත කරල Planet Earth නමින් වැඩසටහන් පෙළක් නිෂ්පාදනය කරනව. මේ වැඩසටහන් මාලාවෙ පසුබිම් කථනය කරන්නෙ, ජාතික රූපවාහිනීයෙ "මිහිමත ජීවය" නමින් විකාශය වූ වැඩසටහන් පෙළ ඉදිරිපත් කල සහ ලෝක පූජිත කීර්තිමත් ස්වභාවධර්ම විද්‍යාඥයෙක් වුණ සර් David Attenborough මහත්මය.

Planet Earth වැඩසටහන පැයක කොටස් 11 කින් සමන්විත වෙනව.

1. From Pole to Pole

උත්තර ධ්‍රැවයේ ඉඳන් තයිගා, තුන්ද්‍රා බිම් හරහා සෘතු වෙනස්කම් සිදුවෙන පතනශීලී වනාන්තර පසු කරල සදාහරිත වැසිවනාන්තර දක්වාත් ඉන්පස්සෙ දක්ෂිණ ධ්‍රැවයටත්, පෘතුවියේ උතුරේ සිට දකුණට චාරිකාවක්. රුසියානු වනාන්තර වල වාසය කරන සහ මිනිස් ඇසට අසු නොවෙන අති දුර්ලභ "අමූර් දිවියන්" ගේ රූප පෙළක් මේ කොටසට ඇතුලත්.

2. Mountain

කඳු නැගීමේ සූරයන් වන එළු විශේෂයක් වුණ Ibex සතුන් වෙසෙන ඉතියෝපියානු කඳු, හුදෙකලා දඩයක්කරුවන් වුණ Puma දිවියන් වාසය කරන අන්දීස් කඳු ඇතුළු ලෝකයේ දකින්න ලැබෙන නොයෙක් ආකාරයෙ කඳුකර පරිසර පද්ධතීන්. සියළු කඳු අතර කිරුළු පළන් රජු වුණ හිමාලයේ එවරස්ට් කන්ද සහ එවරස්ට් කන්දටත් උඩින් පියාසරන කොකුන් මේ කොටසට ඇතුලත්.

3. Fresh Water

මෙලොව ඇති සියලු ජල ප්‍රමාණයෙන් මිරිදිය තිබෙන්නෙ 3% වගේ සුළු ප්‍රමාණයයි. මේ මිරිදියේ ජීවත් වන මසුන් සහ නොයෙක් ආකාරයෙ සතුන් මේ කොටසෙ දැකගන්න පුලුවන්. ලෝකයේ උසම දිය ඇල්ල වුණ වැනිසුවෙලාවෙ ඒන්ජල් ඇල්ල ගැනත් මේ කොටසෙ ඇතුළත්.

4. Caves

ගල් ගුහාවක් කියන්නෙ අන්ධකාරය තුළම වැසීගිය සහ අපිට හිතාගන්න බැරි ආකරයෙ අමුතුම ජීවීන් වාසය කරන තැනක්. ලෝකයෙ ගැඹුරුම ගල්ගුහාව විදිහට සැලකෙන අඩි 1300 ක් ගැඹුරු මැක්සිකානු Cave of Swallows ගල් ගුහාවත් ගුවන් යානයක් නවත්වා තැබීමට තරම් සුවිශාල බෝර්නියෝවේ Gomantong Cave ගුහාව ඇතුළු තවත් ගල් ගුහා පද්ධති ගණනාවක් මේ කොටසෙ දැකගන්න පුලුවන්.

5. Deserts 

කාන්තාරයක් කිව්වම මතක් වෙන්නෙ නිමක් නැති වැලි පොළවක්. ඒත් ගස් කොළ වැවෙන කාන්තාර පවා තිබෙන බව විශ්වාස කරන්න පුලුවන්ද. මේ කොටසට ගිණියම් වෙන තරම් ඉහළටත් හිම මිදෙන තරම් පහළටත් උෂ්ණත්වය වෙනස් වන, ජලය හිඟ, වැලි කුණාටු හමායන කාන්තරවල ජීවිතය පවත්වාගෙන යන්න හැඩගැහුණු ජීවීන් ගැනත් ලෝකයෙ නොයෙක් රටවල තියෙන කාන්තාර ගැනත් ඇතුළත්

6. Ice Worlds 

මේක මම දුටුව සංවේදීම කොටස

මහ සාගරය මැද ජිවිතය පවත්වාගන්න වල්රස් සතුන් පිරිසක් මැද හුදෙකලා සටනක යෙදෙන හිම වලසෙකු ගැන හද කම්පා කරවන දර්ශන පෙළක් මේ කොටසෙ ඇතුළත් වෙනව. 

නමින් කියවෙන ආකාරයට මේ කොටසෙ දකින්න ලැබෙන්නෙ උතුරු සහ දක්ෂිණ ද්‍රැවාසන්න හිම මිදුණු බිම් වල වාසය කරන සතුන් ගැන.

7. Great Plains

සැවානා, ස්ටෙප්ස්, තුන්ද්‍රා.. මේ නම් වලින් හැඳින්වෙන තැනිතලා බිම් ගැනත්, ඒවායෙ වාසය කරන බයිසන් ගවයින්, යැක් ගවයින්, වෘකයන් ආදි සතුන් ගැනත් මේ කොටසෙ ඇතුළත්. සොබාදහම ඇතුලෙ ජීවිතය කියන්නෙ සටනක්. සමහර සතුන් ජීවිත් වෙන්නෙ තව එකෙක් ආහාරයට ගැනීමෙන්. තැනි බිම් වල දඩයම් කරන්නෝත් දඩයමට ලක්වෙන්නෝත් ගැන බහුල වශයෙන් මේ කොටසෙ ඇතුළත්.

8. Jungles

හැමදාමත් කොළපාටින් බබලන සදාහරිත වැසිවනාන්තර වලටයි මෙ කොටසෙ ඉඩක් වෙන් වෙන්නෙ. වැඩි වනාන්තර කියන්නෙ ලෝකෙ වැඩිම ජෛව විවිධත්වයක් දකින්න ලැබෙන පරිසර පද්ධතියක්. නිව්ගිනියානු වැසි වනාන්තර, අප්‍රිකානු කොංගෝ වනාන්තරය ගැන මේ කොටසින් දැකගන්න පුලුවන්.

9. Shallow Seas

තල්මසුන්, ඩෝල්ෆින්, මුහුදු සිංහයින් ඇතුළු නොයෙක් සාගර ජීවීන් මේ කොටසෙ ඇතුලත්. වැඩි ඉඩක් වෙන් වෙන්නෙ තල්මසුන්ගෙ ජීවන රටාවන් වෙනුවෙන්. ඔවුන්ගෙ නොයෙක් ආකාරයෙ චර්‍යාවන් මේ කොටසෙ දැකගන්න පුලුවන්.

10 Seasonal Forrests

පෘතුවියේ සමකයට උතුරෙන් සහ දකුණෙන් නිරක්ෂ රේඛාවන් ආශ්‍රිතව පතනශීලී වනාන්තර දැකගන්න ලැබෙනව. මේ වනාන්තර වල විශේෂත්වය අවුරුද්ද පුරා පැහැදිලිව දැකගන්න පුලුවන් ඍතු මාරුවට ඔරොත්තු දෙන ආකාරයට අනුවර්තනය වී තිබීම. ජෛව විවිධත්වය අඩු නමුත් මේ කලාපයෙ දකින්න ලැබෙන සත්තවන් මේ කොටසට ඇතුළත්. ඒ වගේම පෘතුවියේ දැනට පවතින පැරණිම ශාඛ වර්ගයක් වෙන කැලිෆෝනියාවේ දැවැන්ත රෙඩ් වුඩ් ගස් ගැනත් මේ කොටසෙ විස්තර ඇතුලත් වෙනව

11. Ocen Deep

ගැඹුරු මුහුද කියන්නෙ වෙනම ලෝකයක්. තවමත් මිනිසාට මේ කලාපය ගැනත් එහි වාසය කරන ජීවීන් ගැනත් ලොකු අවබෝධයක් නෑ. ගැඹුරු මුහුදත් එහි අඳුරේ වැසී ඇති අභිරහස් ගැනත් මිනිසාට ඇති දැනුම අල්පයි. ඉතින් මේ කොටස ඒ අන්ධකාර සාගර ගැඹුරේ පවතින ජීවය සොයායන්න ගත්ත උත්සාහයක් විදිහට හඳුන්වන්න පුලුවන්.

Planet Earth වැඩසටහන් මාලාවෙ වැදගත් කම ආයෙත් අමුතුවෙන් පැහැදිලි කලයුතු නෑ. කොහොම රූගත කලාද කියල හිතාගන්න බැරි අති දුර්ලභ රූප රාමු ගණනාවක් ම මේ වැඩසටහනේ ඇතුළත් වෙලා තියෙනව. කෙනෙකුට ජීවිතයෙ ලබා ගන්න පුලුවන් මිල කල නොහැකි වටිනාම අත්දැකීමක් Planet Earth. හැකියාව ඇති හැම කෙනෙක්ම මගනොහැර මේක බලන්න.



Sir David Attenborough


No comments:

Post a Comment