Monday, March 15, 2021

පළඟැටි ගීතයත් රිදුමක්

සැඩ වැහි අකුණුවලින්
පහර ලැබු පසු පොළවකට
පළඟැටි ගීතයත් රිදුමක්


Thursday, March 11, 2021

හමු(නො)වීම

අවසන 
අපි වෙන්ව ගිය බව
ඔබ කියන විටදි

කිසිදාක
අපිට අපි
හමුවුණේවත් නැති වග
මම තනිව සිතමි...



Tuesday, March 9, 2021

The dig (2021)

2021ට අදාළව නරඹන පළමු සිනමා නිර්මාණය වෙන්න ඕන. 2021 අවුරුද්දේ දැනට චිත්‍රපට කීපයක්ම එළියට ඇවිත් තිබුණත් මේකම තෝරාගන්න හේතුවක් වුණා Ralph Fiennes සහ Carey Mulligan ප්‍රධාන චරිත නිරූපණය කර තිබීම. ඒ වගේම Periodic drama වලට ටිකක් වැඩිපුර කැමත්තක් තිබීම මේක ඉක්මනින්ම නරඹන්න තව හේතුවක් වුණ බව කියන්න පුලුවන්. කතාව පදනම් වෙන්නෙ 2007 අවුරුද්දේ මේ නමින්ම එළිදැක්වුණු නවකතාවක් මත (written by John Preston) මේ නවකතාව ලියවෙන්නෙ එංගලන්තයේ සිදුවුණු සැබෑම සිදුවීමක් මුල් කරගෙන. 

Edith Pretty, දෙවනි ලෝක යුදධ සමයේ එංගලන්තයේ Suffolk ප්‍රාන්තයේ ජීවත්වෙන ඉඩම් හිමි කුල කාන්තාවක්. Edith ජීවත් වෙන්නේ තමන්ගෙ එකම පුත්‍රයා සමග. ඇගේ ස්වාමියා යුද්ධයෙදි මියගිහින්. ඇය තමන්ට අයිති තැනිතලා බිමක තිබෙන අමුතු පිහිටීමක් නිසා මෙතැන යම් පුරාවස්තුවක් සැඟවී තිබෙන බව විශ්වාස කරනව. Edith මේ පොළව කැණල එහි යම් දෙයක් සැඟවී තිබෙනව නම් එය සොයාගැනීමේ රාජකාරිය පවරන්නේ පුරාවිද්‍යාඥ Basil Brown ට. Basil Brown විධිමත් ආකාරයට පුරාවිද්‍යාව හැදෑරූ කෙනෙක් නොවෙයි. ඔහු පාසල් අද්‍යාපනය අතර මඟ හැරදමා ගිය කෙනෙක්. නමුත් අසීමිතව පොත පත කියවන්න යොමුවීමේ පුරුද්ද නිසා ඔහුට ඉතිහාසය, පුරාවිද්‍යාව ගැන පමණක් නොවෙයි ලෝකයේ ඕනෑම විෂයක් ගැන තිබෙන්නෙ හොඳ දැනුමක්. Basil Brown ගේ පියාත් පුරාවිද්‍යාඥයෙක්. මේ නිසා කුඩා වයසෙදිම මේ ක්ෂේත්‍රයට යොමුවුණු Basil Brown ට තමන් නිරත වෙලා ඉන්න විෂය ගැන අත්දැකීමෙන් ලැබුණ පළපුරුද්දක් තිබෙනව. Edith පෙන්වන මේ බිමේ කුමක් හෝ යමක් ඇති බව ඔහු විශ්වාස කරනව. ඒ විශ්වාසය මත දිගටම පොළව කැණීමේ යෙදෙන Basil Brown අවසානෙ යමක් සොයාගන්නව. ඒ ක්‍රිස්තු වර්ෂ පස්වෙනි සියවසේ පමණ එංගලන්ත භූමියට පැමිණි ඇංග්ලෝ සැක්සන් වරුන්ට අයත් පුරාවස්තුවක්. වර්තමාන ඉංග්‍රීසි ජාතිය බිහිවෙන්නෙ මේ ඇංග්ලෝ සැක්සන් වරුන්ගෙන් බවට තමයි සොයාගෙන තිබෙන්නෙ. 

මේ සොයාගැනීම ඉතිහාසයෙ සිදුවුණු වැදගත්ම පුරාවිද්‍යාත්මක අනාවරණායක් බව හඳුනාගන්නව. මේ සොයාගැනීම ගැන අවධානයෙන් ඉන්න තවත් කණ්ඩායම් කැණීමේ බිමට පැමිණීමත් එක්ක ඔවුන්ගේ ජීවිතත් මේ සිදුවීම එක්කම ගලා යනව. Basil Brown සහ Edith Pretty සැබෑවටම ජීවත් වුණු චරිත වුණත් කතාවේ යම් සිනමාරූපී බවක් ඇති කරන්න පරිකල්පිත චරිත කිහිපයකුත් කතාවට එකතු කර තිබෙනව. 

1930 යුගයේ පරිසරය, ඇඳුම් ආයිත්තම්, වාහන, ගොඩනැගිලි අපූරුවට ප්‍රතිනිර්මාණය කර තිබීම, අඳුරු අළුපැහැයට හුරු වර්ණ භාවිතය, එංගලන්තයේ පිටිසරබද වටපිටාව ඉතාම සුන්දරව කැමරාවට හසුකරගෙන තිබීම වගේ කාරණා නිසා The dig ඇස් දෙකට සෑහෙන සනීප සිනමා අත්දැකීමක් බව කියන්න පුලුවන්. ඇස් දෙකට පමණක් නොවෙයි මේ කතා පුවත හිතටත් නිවුණු සනීපදායි හැඟීමක් ඇති කරවන එකක්. 

The dig - 

directed by Australian film and theatre director, writer and actor Simon Stone, 

Based on the novel, screen play was written by Moira Buffini



Friday, March 5, 2021

Black bear (2020)

නිර්මාණාත්මක දේවල් ලිවීම කියන්නෙ කෙනෙකුට ජීවිතය ඇතුලෙ වැඩිදියුණු කරගත හැකි අපූර්ව කුසලතාවක්. බොහෝවිට තමන්ගේම ජීවන අත්දැකීම් නැත්නම් සමාජයේ, ලෝකයේ අහන්න දකින්න ලැබෙන සිදුවීම් රසවින්දනාත්මක විදිහට යම් සාහිත්‍යමය නිර්මාණයක ආකාරයෙන් නැවත රචනා කිරීම එතරම් ලෙහෙසි පහසු දෙයක් නොවෙයි. නමුත් පු‍රුදු පුහුණු කරගත්තොත් එය ඉතාම සුන්දරව විඳිය හැකි යමක්. ලේඛනය කියන්නෙ එතරම් පහසු නොවෙන දෙයක් බව සඳහන් කළා. ලිවීමේ යෙදෙන අය අත්දකින Writers block නම් අභියෝගකාරී තත්ත්වය එහෙම වෙන්න එත් ප්‍රබල හේතුවක්  බව කිවහැකියි. වෘත්තිය වශයෙන් එහෙම නැත්නම් පුරුද්දක් විදිහට දිගුකාලීනව ලේඛනයේ යෙදෙන කෙනෙක් නම් අනිවාර්යයෙන් ජීවිතේ එක වතාවක් හරි writers block තත්ත්වයට මුහුණදීල ඇති. මේක ලෝක ප්‍රසිද්ධ ලේඛකයන් ගේ පටන් මුහුණු පොතේ අකුරු කරන ඔබ අපි දක්වා හැමකෙනෙක්ටම වෙනසක් නොමැතිව අත්විඳින්න සිදුවෙන තත්ත්වයක්. Writers block නමින් හඳුන්වන්නෙ කිසිම දෙයක් ලියාගන්න බැරිව, කිසිම ආකාරයේ අලුත් අදහසක් ඔලුවට එන්නෙ නැතිව, හිස් හැඟීමකින් පීඩාවිඳිමින් ගතවෙන කාලසීමාවක්. ඔබට ලියන්න අවශ්‍ය කෙටි කතාවක්, නවකතාවක්, කවියක්, චිත්‍රපට තිර පිටපතක් මේ ඕනෑම දෙයක් වියහැකියි. නමුත් කිසිවක් ඔබට ලියාගන්න බැහැ. ඔබට කතාකරන්න අවශ්‍යයි නමුත් වචන පිටවෙන්නෙ නැහැ. හරියට කවුරුන්හෝ ඔබේ නිර්මාණශීලී ආත්මය සොරාගෙන වගේ ඔබට දැනේවි. නමුත් ඔබට කිසිවක් කරන්න බැහැ. 

බොහෝමයක් ලේඛකයන් මේ තත්ත්වය නිසා සෑහෙන අපහසුතාවයට පත්වෙනව. සමහරු ලේඛනය අතහැර දැමීමට පවා පෙළඹෙනව. නමුත් writers block ඇතිවෙන්නෙ ඇයි කියන්න නිශ්චිත පැහැදිලි කිරීමක් නැහැ. විවිධාකාර හේතු මෙයට බලපාන්න පුලුවන්. ලේඛකයෙකුගෙ ජීවිතයේ ඇතිවෙන බිඳවැටීම්, වෙනත් කටයුතු සමග කාර්‍යබහුල වීම වගේම ලිවීමට අවශ්‍ය පෙළඹවීමක් (inspiration) නොමැතිවීම මේ තත්ත්වයට හේතුවෙන්න පුලුවන්. තෝරාගැනීමකින් තොරව හිතට එන ඕනෑම දෙයක් ලිවීම, මානසික සැහැල්ලු බව ඇතිකරගැනීම, පොත පත කියවීම, කාලය සමග ජීවිතේ ලබන අත්දැකීම් වලට ඉඩ දීම වැනි දේවල්වලින් writers block තත්ත්වය ජයගන්න කෙනෙකුට හැකියාව තිබෙනව.

මානසික පෙළඹවීම (inspiration) සහ පෙළඹවීමක් ඇති කරවන අත්දැකීම් ලේඛනයේ යෙදෙන කෙනෙකුට දිගින් දිගටම තමාගේ කාර්‍යයේ යෙදෙන්න සෑහෙන වැදගත් බලපෑමක් කරනව. සමහරවිට එවැනි යමක් සිදුවෙනතුරු සෑහෙන කාලයක් බලා ඉන්න සිදුවෙනව. ඒවගේම ඒ ලබන අත්දැකීම් ඒතරම් සුන්දර එවා නොවෙන්නත් ඉඩ තියනව. ජීවිතේ කොයිවගේ අත්දැකීමක් අපි ඉදිරියේ තබනවද. එය කලින් නිශ්චය කරගන්න බොහෝම වෙලාවට හැකියාවක් නැහැ. 

2020 අවුරුද්දේ තිරගත වුණු Black bear ඇමරිකානු Psychological/ Drama චිත්‍රපටයෙ මූලිකවශයෙන් කියවෙන්නෙ Writers block අත්දැකීමට මුහුණදෙන නිර්මාණකාරියක් ගැන. නමුත් චිත්‍රපටය ඇතුලෙ මේ කතාව දිගහැරෙන්නෙ තරමක් වෙනස් ආකරයකට.

 චිත්‍රපටය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනව. 

පළමු කොටස : ඇලිසන් තරුණ සිනමාකාරියක්. ඇය චිත්‍රපට කීපයක්ම රචනා කරල අධ්‍යක්ෂණය කරල තිබෙනව. අලුතින් යමක් නිර්මාණය කරන්න ඇලිසන් ට අවශ්‍යයි. නමුත් ඇයට ඒ ගැන කිසිම අලුත් අදහසක් එන්නෙ නෑ. ඉතින් ඇය වනගත ප්‍රදේශයක, විලක් අද්දර තිබෙන නිවසක වාසය සඳහා පැමිණෙනව. ගේබ් සහ බ්ලෙයාර් යුවලට තමයි මේ නිවාසය අයිති. ඔවුන් දෙදෙනාත් වාසය කරන්නෙ මේ නිවසේමයි. ඇලිසන්ව ගේබ් සහ බ්ලෙයාර් ගේ නිවසට සාදරයෙන් පිළිගන්නව. ඇලිසන් පැමිණි දවසේ රාත්‍රිය වයින් බඳුන් එකිනෙක පිරී හිස්ව යමින් ගේබ් සහ බ්ලෙයා සමග සුහද සංවාද⁣යේ යෙදෙමින් ගෙවී යනව. මේ කතාබහ ස්ත්‍රීවාදය, දේශපාලනය, ඉතිහාසය, සමාජ යතාර්ථය වගේ බරසාර මාතෘකාවලට හුවමාරු වෙනව. ක්‍රමයෙන් සංවාද⁣ය ඇතුලේ අරම්භයේ තිබුණ ප්‍රියජනක බව ගිලිහී ගිහින් ක්‍රමයෙන් අඳුරු සහ ආවේගශීලී පැත්තට හැරෙනව. බ්ලෙයාර් විසින් ගේබ් ට චෝදනා කරන්නෙ ඔහු යටි සිතින් ඇලිසන්ට ප්‍රේම කරන බව කියමින්. අනපේක්ෂිත ඛේදවාචකයක් මැදිනුයි කතාවේ පළමු කොටසේ අවසානය සනිටුහන් වෙන්නෙ.

දෙවන කොටස : ඇලිසන් නවක නිළියක්. ඇය විවාහවී ඉන්නෙ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වුණු ගේබ් සමග. ගේබ් ගේ අලුත්ම චිත්‍රපටය රූගත කිරීම් අතරේ චිත්‍රපටයෙ රඟපාන නිළියක් වුණු බ්ලෙයාර්ට ඔහු රහසෙන් ප්‍රේම කරන බව ඇලිසන් සැක කරනව. චිත්‍රපටයෙ අවසාන දර්ශනයත් රූගත කිරීමෙන් පස්සෙ සියලු දේ සාර්ථකව අවසාන වුණු ස්වභාවයක් දක්නට ලැබෙන්නෙ. නමුත් පළමු කොටසට එක්තරා ආකාරයකට සමපාත වෙන අවසානයක් එක්ක චිත්‍රපටයෙ දෙවනි කොටසත් අවසාන වෙනව.

මේ අතරේ රතුපාට නාන ඇඳුමකින් සැරසිලා නිහඬ විල් තලාව දිහා බලා ඉන්න. ඉන්පසු විල අද්දර නිවසට පැමිණිලා යමක් ලියන්න උත්සහයක යෙදෙන ඇලිසන් ගේ දර්ශනය අපිට දකින්න ලැබෙනව.

Black bear පිටපත ලියමින් අධ්‍යක්ෂණය කරන්නෙ ඇමරිකානු නිදහස් සිනමාකරුවෙක් වුණු Lawrence Michael Levine. ඇලිසන් ගේ චරිතය නිරූපණය කරමින් චිත්‍රපටය පුරාම කැපීපෙනෙන ‍රංගනයක් ඉදිරිපත් කරන්නේ Aubrey Plaza විසින්. Aubrey ගේ රංගනය 2020 වසරට අදාලව දකින්න ලැබුන හොඳම රඟපෑමක් බව නිසැකවම කිවහැකියි.

ඇත්තටම චිත්‍රපටය ඇතුළෙ සිද්දවෙන්නෙ මොකක්ද? මේ පළමු සහ දෙවන සිදුවීම් දෙකම එකවර සිදුවෙන්න ඉඩක් නැහැ. පළමු සිදුවීමට සැබෑවටම මුහුණදුන් ඇලිසන් දෙවන කොටස මනසින් මවාගත්තා විය හැකි ද? දෙවන කොටසට සැබෑවටම මුහුණදුන් ඇය ඉන්පසුව පළමුකොටස මනසින් මැව්වාද? නැතිනම් මේ කොටස් දෙකම විල දෙස බලාගෙන කල්පනාවේ යෙදෙන ඇලිසන් ගේ පරිකල්පනය පමණද? එහෙමත් නැතිනම් මේ හැම දෙයක්ම මනසින් මවාගන්නෙ ඇලිසන් නොවන වෙනත් කෙනෙක් ද? Black Bear චිත්‍රපටයෙ විශේෂත්වය නරඹන කෙනෙකුට මේ ප්‍රශ්නවලට පිළිතුරු තමන්ට කැමති ආකාරයකින් නිර්මාණය කරගන්න ඉඩ තබා තිබීමයි. වෙනත් ආකාරයකින් කිව්වොත් අවසාන නිර්මාණකරුවා වෙන්නෙ තමන්ගේ කල්පනා ශක්තිය මෙහෙයවන  ප්‍රේක්ෂකයාමයි. චිත්‍රපටය නරඹල පූර්වාපර සන්ධි ගලපල ඇත්තටම සිදුවුණේ මොකක්ද කියන දෙය තමන්ට දැනෙන ආකාරයෙන් නිර්මාණය කර ගැනීම වගේම මේ කතාවෙන් ජීවිතයට ලබාගත යමක් තියෙනවද එහෙනම් ඒ මොකක්ද කියන දෙය තීරණය කිරීම ප්‍රේක්ෂක ඔබට බාරයි.



Thursday, March 4, 2021

........................

පරවෙන්න පෙර මලක
ඉතිරි වී ඇති රොන් බිඳක් ගෙන දෑතට
පියාඹයි ඈත බඹර ජනපද වෙත
උදෑසන මීදුම මැදින් සුළඟ..

නොදන්නා බැවින් ලිපිනය
යා යුතු කිසියම් තැනකට
අහස ලියයි අත් අකුරෙන් ලිපියක්
හුදෙකලා වැහි වළාකුළක...

අවසාන හිරු රැස් කැරැල්ලෙන්
පිරිමැද තුරුහිසක මුදු බඳ
"ආයෙමත් එන්නම්" කියා රහසෙම 
නික්මෙයි කෙටි පියවර තබා හැන්දෑව...

"අන්න අර වංගුවෙන් හැරුණම මූද
දැන්වත් බොරුවට නාඬා ඉන්නවද"
ගංගාවකට කනට කර
මන්ද්‍ර ස්වරයෙන් කියයි ඉවුර...



Tuesday, March 2, 2021

Ma Rainey's black bottom (2020)

සමහර නික්මයෑම් තියනව ඒව සිද්දවෙන්නෙ අපි කිසිසේත්ම අපේක්ෂා නොකරන මොහොතවල. සමහරු තමන්ගේ හැකියාවන්ගෙන් තමන්ගේ ජීවිතය ඇතුලේ සමාජයට, ලෝකයට ලබාදිය හැකි උපරිමය ලබා දී ඇති බව අපි වටහාගන්නෙ ඔවුන් මේ විදිහට නික්ම ගියාට පසුවයි. කලා ලෝකයෙ මේ වෙනුවෙන් අපිට උදාහරණ ගණනාවක්ම සොයාගන්න පුලුවන්. 2008 අවුරුද්දේ Heath Ledger ගේ මරණය මේ වෙනුවෙන්, බොහෝ දෙනා හඳුනන සිදුවීමක් විදිහට අරගන්න පුලුවන්. ඔහුගේ මරණින් පසුව තිරගත වුණු වගේම ඔහු අවසාන වරට රංගනයේ යෙදුණු Dark Knight චිත්‍රපටයෙ Joker ගේ චරිතය සිනමා ඉතිහාසයෙ නොමැකෙන සළකුණක් තැබීමට සමත්වුණු එකක් බව අමුතුවෙන් සඳහන් කල යුතු නෑ. Joker චරිතය Heath Ledger ගේ රංගන ජීවිතයේ උපරිමය සනිටුහන් කලා. නමුත් ඒ සමගම ඔහුගේ ජීවිතයත් අවසන් වුණා. 

2020 අවුරුද්දේ අපිට මෙවැනිම තවත් අවාසනාවන්ත සිදුවීමක් දකින්න ලැබුණා. ඒ Black Panther නම් සුපිරි වීර චරිතය නිරූපණය කරමින් ලොවපුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් Chadwick Boseman අනපේක්ෂිත ආකාරයට ජීවිතයෙන් සමුගැනීම. බොහෝ දෙනා නොදැන සිටියත් ඔහු පුරා වසර 4 ක් පිළිකා මාරයා සමග සටන් කරමින් සිටියා. ඔහු චිත්‍රපටවල රංගනයේ යෙදුනේ ඒ මාරයා සමග සටන් කරමින් සිටියදීම බව ඔහු හා රංගනයේ යෙදුණු සහෝදර රංගශිල්පීන් වත් දැන සිටියේ නැහැ. නමුත් කලා ලෝකයේ දිදුලමින් සිටි තාරකාවන් කීපදෙනෙකු ගේ ජීවිත අනපේක්ෂිත ආකාරයට උදුරාගන්න තරම් අකාරුණික වුණු 2020 වසර Chadwick ට කාරුණික වුණේ නැහැ. 2020 අගෝස්තු මාසයෙ 28 දා ඔහු ජීවිතයෙන් සමුගෙන යන්නේ තමන්ගේ නිවස තුළ දී ම යි. Chadwick ගේ අවසන් රංගනය ඇතුළත් Ma Rainey's black bottom චිත්‍රපටය තිරගත වෙන්නෙ ඔහුගෙ මරණින් පසුව 2020 දෙසැම්බර් මාසයේදි. Ma Rainey's චිත්‍රපටයෙ ඔහු නිරූපණය කරන්නෙ Levee නම් තරුණ ට්‍රම්පට් වාදකයෙකුගේ චරිතය. එතැනදි මේ අපි දකින්නේ Black panther සුපිරි වීර චරිතය රඟපෑ Chadwick ම ද කියා හඳුනාගත නොහැකි තරමට ඔහු Levee නම් උද්‍යේගිමත්, ආවේගශීලී, දියුණු වීමේ ආශාවෙන් පෙළෙන ට්‍රම්පට් වාදකයාට ආශක්ත වී ඇති ආකාරය දැකගන්න පුලුවන්. බාහිර ස්වරූපය, දෙබස් උච්චාරණය, අංග චලනයන්ගේ පටන් ඒ චරිතය ගොඩනැංවීමට අවශ්‍ය සියලු අනුපානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව ඔහු සපයා දී තිබෙනව. නමුත් දැනටමත් දෛවය විසින් ඒ ඔහුගේ අවසන් රඟපෑම බව තීන්දු කර අවසානයි. ඒ බව නොදැනීම හෝ ඒ අවසන් රංගනයෙන් ඔහු තමන්ගේ සිනමා ජීවිතේ මුදුන් කුල ට ලඟාවූ බව සැබෑවක්. බොහෝ දුරට මීලඟ ඔස්කාර් සම්මාන උළලේ, වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමිවෙන්න හැකියාවක් තිබෙනව. එහෙම වුණෝතින් මිය ගිය පසු හොඳම නළුවා සම්මානය දිනාගත් දෙවැන්නා ඔහු බව ඉතිහාසයේ සනිටුහන් වේවි. (පළමුවැන්නා 1976 The Network චිත්‍රපටය වෙනුවෙන් Peter Finch)

Ma Rainey's black bottom  චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය, නැත්නම් Ma Rainey ගේ චරිතය නිරූපණය කරන්නෙ සුප්‍රසිද්ධ රංගවේදිනියක් වුණු Viola Davis විසින්. Viola ගේ රංගනයත් Chadwick ට දෙවනි නැහැ. Viola දැනට හොළිවුඩයේ සිටින සුවිශේෂීම රංගවේදිනියන් කිහිපදෙනා අතර සිටින කෙනෙක්. ඇය රඟපෑම වෙනුවෙන් ලොව පිදෙන උසස්ම සම්මාන තුන වුණු ඇකඩමි, ප්‍රයිම් ටයිම් එමී, ටෝනි යන සම්මාන තුන හෙවත් "රංගන ත්‍රිත්ව කිරුළ" දිනාගත් පළමු අප්‍රිකානු - ඇමරිකානු ජාතිකයා වීමට සමත් වුණා. නිව්‍ යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් නම් කල, 21 වන සියවසේ ශ්‍රේෂ්ඨතම රංගවේදීන් 25 දෙනාගේ ලයිස්තුවේ 9 වන ස්ථානය ඇයට හිමිවුණා. ඇය කලු ජාතිකයන්ගේ මානව හිමිකම් වගේම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක් විදිහටත් ප්‍රකටයි. Viola මින් පෙර ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්නෙ හොඳම සහාය රංගනය විදිහට 2016 වසරේ Fences චිත්‍රපටය වෙනුවෙන්. දෙවතාවක්ම ඇය හොඳම නිළිය විදිහට නිර්දේශ ලබා තිබෙනව. මෙවර අනිවාර්යයෙන් ඇය හොඳම නිළිය විදිහට නිර්දේශ ලබාවි. මෙවර සම්මානය, ඒ වෙනුවෙන් ඇය සමඟ තරග වැදීමට අපේක්ෂා කරන Frances McDormand, Carie Mulligan, Vanessa Kirby වැනි තවත් 2020 වසරේ මතක හිටින ආකාරයේ ප්‍රබල රංගනයන් ඉදිරිපත් කල අය අතරින් කාට හිමිවේවිද කියන කාරණය කාලය විසින් විසඳාවි.

Ma Rainey's black bottom චිත්‍රපටය නිර්මාණය  වෙන්නෙ ඇමරිකාවේ සැබවින්ම ජීවත් වුණ Ma Rainey නම් Blues ගායිකාව මුල් කරගෙන. චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1920 දශකය. Blues සංගීතය බිහිවෙන්නෙ ඇමරිකාවේ වහල් සේවය සඳහා අප්‍රිකාවෙන් රැගෙන ආ කලු මිනිසුන් ගේ ජන සංගීත නාද මුල් කරගෙන. 1800 යුගයේ අග භාගයේ Blues සංගීතය බිහිවෙන්නෙ ඇමරිකාවෙ දකුණුදිග ඇලබාමා, ජෝර්ජියා, ලුසියානා, මිසිසිපි, සවුත් කැරොලිනා ප්‍රාන්ත වලින්. Blues ස්වර රටාව (scale) නිර්මාණය වෙන්නෙ සංගීතයේ  මූලික ස්වර හතෙන් ස්වර පහක් අරගෙන නිර්මාණය වෙන pentatonic scale අතරෙ minor pentatonic  සවර රටාවෙ පස්වෙනි හෝ තුන්වෙනි ස්වරය flat වීමෙන්. Pentatonic සම්මත ස්වර රටාව blues scale එකක් බවට හැරවෙද්දි එයට මූලික ස්වර පහට අමතරව වැඩිපුර තව ස්වරයක් එකතුවෙනව. මේ අමතර ස්වරය blues note නමින් හඳුන්වනව. කොහොම වුණත් මේ blues සංගීතයේ තිබෙන්නෙ අසම්මත, අඳුරු, දුක් සහගත, විටෙක ආවේගශීලී බවක්. (මේ සංගීතයට Blues නම යෙදෙන්නෙත් මේ දුක්බර අඳුරු ස්වභාවය නිසා විය හැකියි) blues සංගීතයෙන් නික්මුණේ කලු ජාතියකයන් ගේ ජීවිතවලට ඒ වනවිට උරුම වෙලා තිබුණ අවාසනාවන්ත වේදනාත්මක බවේ ස්වරය. ඔවුන්ව මිනිසුන් විදිහට සැලකුණේ නැහැ. මිනිස් අයිතිවාසිකම් ඔවුන්ට හිමිවුණේ නැහැ. ඉතින් මේ කලු මිනිසුන්, තමන් විඳි අනන්ත දුක් ගැහැට blues සංගීතයේ ස්වර අතර මුහු කලා. පසු කාලීනව මේ Blues සංගීතය පදනම් කරගෙන Jazz, Rythem and Blues (R n B), Rock n Roll, Hard Rock, Psychedelic Rock වගේ ප්‍රධාන සංගීත ධාරාවන් බිහි වුණා.

1920 යුගය සංගීත තැටි වෙළඳාම ව්‍යාපාරයක් විදිහට දියුණු වෙමින් පැමිණි කාලය සීමාවක්. Blues නාදය මුසු ගීත තැටි වලට කලු සුදු භේදයකින් තොරව හොඳ ඉල්ලුමක් නිර්මාණය වී තිබුණ. Ma Rainey මේ Blues ගීත තැටි යුගයේ ආරම්භ ගායිකාවක්. ඇයව blues සංගීතයේ මාතාව (Mother of blues) නමින් හැඳින්වුනේ ඒ නිසා. 

Ma Rainey's black bottom චිත්‍රපටයට පාදක වෙන්නෙ ඇමරිකානු ජාතික නාට්‍ය නිර්මාණකරු August Wilson මේ නමින්ම 1980 දශකයේ නිර්මාණය කල වේදිකා නාට්‍යයක්. නාට්‍ය නිර්මාණය වෙන්නෙ Ma Rainey ගේ ගීත පටිගත කිරීමට සුදානම් වෙන මොහොතේ ඇතිවෙන, පැය කිහිපයකට සීමාවුණු සිදුවීම් කිහිපයක්. සීමිත කාලයක් ඇතුලත වෙන සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති නිසා චිත්‍රපටයෙත් යම් වේදිකා නාට්‍ය ස්වරූපයක් දැකගත හැකියි. නාට්‍යකරු August Wilson කලු මිනිසුන්ගේ ජීවිත ඇසුරෙන් නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කර තිබෙනව. ඒවායින් නාට්‍ය දෙකක් දැනට සිනමාවට නැගී තිබෙනව. 2016 වසරේ තිරගත වුණු සහ සුප්‍රකට නලු Denzel Washington ගේ අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් නිමැවුණු Fences ඉන් පළමුවැන්න. 2020 වසරේ Denzel Washington ගේ ම නිෂ්පාදනයක් විදිහට එළිදැක්වුණු Ma Rainey's black bottom එහි දෙවැන්න. තමාගේ අරමුණ August Wilson ගේ නාට්‍ය සියල්ලම සිනමාවට රැගෙන ඒම බවත් මේ නාට්‍ය මාලාවේ තුන්වැන්න රංගවේදි Samuel L Jackson යොදාගෙන නිර්මාණය කිරීමට තමා දැනටම සැලසුම් කරගෙන සිටින බවත් Denzel Washington මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මේ තුන්වෙනි සිනමා නිර්මාණය හැකි ඉමණින් වගේම උපරිම සාර්ථකත්වයකින් දැකබලා ගන්න ලැබේවි යන බලාපොරොත්තුව සිනමා රසිකයන් විදිහට අපිට දැනට ඉතිරි වී තිබෙනව.



Forgotten (2017)

හතර වටින්ම කිසිම දෙයක් නොපෙනෙන විදිහට පැතිරුණු මහ අඳුරක්. ඒ අඳුරේ සෙමින් සෙමින් මතුවෙන පියවර හඬක්. යම් නුහුරු නුපුරුදු කටහඬකින් කෙරෙන අණකිරීමක්. එක්වරම සිදුවෙන විශාල පහරදීමක්.

Jin-seok එක්වරම තිගැස්සිල අවදිවෙනව. තමන් සිටින්නේ පවුලේ අයත් සමග මෝටර් රථයේ බව ඔහු දකිනව. සිහිනෙකින් වගේ ඒ පෙනුනෙ මොකක් වුණත් ඔහු හිටියෙ හොඳටම බයවෙලා. ශරීරයෙ දහදිය ගංගාවක් ගලායනව. Jin-seok ගේ අම්මා අනෙක් පැත්තෙ ආසනේ ඉඳන් ඔහුව සනසන්න උත්සහ කරනව. පියා තමයි වාහනය පදවන්නෙ. පියාගෙ අනෙක් පසෙන් වාඩිවෙලා ඉන්නෙ Jin-seok ගේ වැඩිමල් සොහොයුරා. ඔවුන් මේ පදිංචියට තෝරාගත්ත අලුත් නිවස බලා යමින් ඉන්නෙ. යම් නුහුරු නුපුරුදු බවක් තමන්ට දැනෙන්න පටන් ගෙන තිබුණත් ඒ කුමක්දැයි හරියටම වටහා ගන්න Jin ට හැකියාවක් නෑ. Jin-seok අවුරුදු 20ක් වයස තරුණයෙක්. අම්මාත් තාත්තාත් සහෝදරයාත් තමා ඔහුගෙ පවුලෙ සමාජිකයින් වෙන්නෙ. Jin-seok ගේ මේ වැඩිමල් සහෝදරයා සෑහෙන සුවිශේෂ චරිතයක්. ඔහු ඉගෙනීමට අතිදක්ෂයෙක්. කරන්නෙ මොන දෙයක් වුණත් එහි උපරිමයට යන හැකියාවක් ඇති කෙනෙක්. 

අවසානෙ ඔවුන් අලුත් නිවාසයට පැමිණෙනව. මේ නිවස දකින Jin-seok එක්වරම තිගැස්සෙනව. මේ නිවස ඔහුට හොඳින් දැක පුරුදු බවක් දැනෙන නමුත් ඒ කවදාක කොයි ආකාරයට දැයි මතක් වෙන්නෙ නැහැ. කොහොම වුණත් අලුත් නිවාසයෙ ඔවුන් ජීවිතය ආරම්භකරනව. මේ නිවසෙ එක කාමරයක් වසා අගුලුදමල තිබෙනව. මේ කාමරය විවර කරගන්න යතුරක් කිසි කෙනෙක් ලඟ නැහැ. නිවාසයෙ මොන දේ කලත් මේ වසා තිබෙන කාමරය නම් විවර නොකරන්නයි නිවසෙ කලින් අයිතිකරුවන් කියූ බවක් Jin-seok ගෙ පියා කියන්නෙ. Jin-seok ට මේ කාමරයෙන් දවසක් අමුතු ආකාරයෙ හඬවල් ඇහෙන්න පටන් ගන්නව. කාමරයෙ කුමක් හෝ අබිරහස් දෙයක් සැඟවී ඇති බව ඔහු හිතනව. ඉතාම සාමකාමීව ආරම්භ වුණු මේ පවුලේ ජීවිත රටාව ක්‍රමානුකූලව අමුතු ආකාරයෙ සිදුවීම් වලින් පිරෙනව. සිදුවෙන්නෙ කුමක්දැයි Jin-seok ට වටහාගන්න හැකියාවක් නෑ. නමුත් කොතනක හෝ වරදක් ඇති බව පැහැදිලියි. මේ අබිරහස් සොයා යන Jin-seok අවසානෙ නතරවෙන්නෙ සිහිනෙන් වත් නොසිතූ තැනක.

Thriller සිනමාපට නිර්මාණය කිරීම කලාවක් නම් ඒ කලාවේ පිකාසෝලා කොරියානු ජාතිකයන් බව පෙන්වාදෙන චිත්‍රපටයක් Forgotten.  මේ චිත්‍රපටය කොරියන් thriller කිව් සැනින් මතකයට එන Memories of murder, Old boy, I saw the devil, Chaser, Tale of two sisters වගේ සිනමාපට සමග එක පෙළට තැබිය හැකි මට්ටමේ නිර්මාණයක් බව කිව්වොත් වැරදි නෑ. චිත්‍රපටයෙ විශිෂ්ටත්වයෙ වැඩි කොටස රඳා පැවතිල තියෙන්නෙ පිටපතේ. ආරම්භයෙ කතාවෙ ස්වභාවය ගැන කුඩා කුඩා ඉඟි ලබා දුන්නත් ඇත්තටම ආරම්භයෙ පටන් සිද්දවෙන්නෙ මොකක්ද කියන දෙය කිසිසේත් කලින් අනුමාන කල නොහැකියි. මුල් භාගයෙදි චිත්‍රපටයෙ සැබෑම කතාපුවත ගැන කිසිවක් සිතාගත නොහැකි ආකාරයට පිටපත ගොඩනංවා තිබීම චිත්‍රපටයෙ සාර්ථකත්වට සෑහෙන දුරට බලපෑමක් කරනව. ඒවගේම අවුරුදු විස්සක තරුණයෙක් විදිහට ආරම්භ වෙන Jin-seok ගේ චරිතය ක්‍රමයෙන් වඩා සංකීර්ණ ඉසව්වක් කරා විකාශනය වීම ගොඩනඟා තිබුණු ආකාරය විශිෂ්ටයි. කතාවේ වැදගත් කරුණක් අනාවරණය කරන අවසාන දර්ශනය ඉතාම සංවේදී එකක්. විදුලි සැරයකට සමාන කම්පනයක් ඇතිකරවන ඒ ප්‍රභල අවසන් දර්ශනය කොරියානු සිනමාකරුවන් කොහොම මේ දේවල් පරිකල්පනය කරනවද කියන විස්මය ඉතිරි කරනව.

2017 අවුරුද්දේ නිකුත් වුණු Forgotten චිත්‍රපටය ඉන්පසුව Netflix ආයතනය මගින් ලොව පුරා රටවල් 190 ක තමන්ගේ නාලිකාව  හරහා බෙදා හැර තිබෙනව. Forgotten, එක මොහොතක් තිරයෙන් දෑස ඉවතට ගන්න නොහිතෙන Crime / Thriller වර්ගයෙ සිනමා අත්දැකීමක් ලබා දෙන අතරෙ සංවේදී කතා පුවතක් අපිට කියන ඉතාම හොඳ මට්ටමේ සිනමාපටයක් බව හැකියි.