Tuesday, March 2, 2021

Ma Rainey's black bottom (2020)

සමහර නික්මයෑම් තියනව ඒව සිද්දවෙන්නෙ අපි කිසිසේත්ම අපේක්ෂා නොකරන මොහොතවල. සමහරු තමන්ගේ හැකියාවන්ගෙන් තමන්ගේ ජීවිතය ඇතුලේ සමාජයට, ලෝකයට ලබාදිය හැකි උපරිමය ලබා දී ඇති බව අපි වටහාගන්නෙ ඔවුන් මේ විදිහට නික්ම ගියාට පසුවයි. කලා ලෝකයෙ මේ වෙනුවෙන් අපිට උදාහරණ ගණනාවක්ම සොයාගන්න පුලුවන්. 2008 අවුරුද්දේ Heath Ledger ගේ මරණය මේ වෙනුවෙන්, බොහෝ දෙනා හඳුනන සිදුවීමක් විදිහට අරගන්න පුලුවන්. ඔහුගේ මරණින් පසුව තිරගත වුණු වගේම ඔහු අවසාන වරට රංගනයේ යෙදුණු Dark Knight චිත්‍රපටයෙ Joker ගේ චරිතය සිනමා ඉතිහාසයෙ නොමැකෙන සළකුණක් තැබීමට සමත්වුණු එකක් බව අමුතුවෙන් සඳහන් කල යුතු නෑ. Joker චරිතය Heath Ledger ගේ රංගන ජීවිතයේ උපරිමය සනිටුහන් කලා. නමුත් ඒ සමගම ඔහුගේ ජීවිතයත් අවසන් වුණා. 

2020 අවුරුද්දේ අපිට මෙවැනිම තවත් අවාසනාවන්ත සිදුවීමක් දකින්න ලැබුණා. ඒ Black Panther නම් සුපිරි වීර චරිතය නිරූපණය කරමින් ලොවපුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් Chadwick Boseman අනපේක්ෂිත ආකාරයට ජීවිතයෙන් සමුගැනීම. බොහෝ දෙනා නොදැන සිටියත් ඔහු පුරා වසර 4 ක් පිළිකා මාරයා සමග සටන් කරමින් සිටියා. ඔහු චිත්‍රපටවල රංගනයේ යෙදුනේ ඒ මාරයා සමග සටන් කරමින් සිටියදීම බව ඔහු හා රංගනයේ යෙදුණු සහෝදර රංගශිල්පීන් වත් දැන සිටියේ නැහැ. නමුත් කලා ලෝකයේ දිදුලමින් සිටි තාරකාවන් කීපදෙනෙකු ගේ ජීවිත අනපේක්ෂිත ආකාරයට උදුරාගන්න තරම් අකාරුණික වුණු 2020 වසර Chadwick ට කාරුණික වුණේ නැහැ. 2020 අගෝස්තු මාසයෙ 28 දා ඔහු ජීවිතයෙන් සමුගෙන යන්නේ තමන්ගේ නිවස තුළ දී ම යි. Chadwick ගේ අවසන් රංගනය ඇතුළත් Ma Rainey's black bottom චිත්‍රපටය තිරගත වෙන්නෙ ඔහුගෙ මරණින් පසුව 2020 දෙසැම්බර් මාසයේදි. Ma Rainey's චිත්‍රපටයෙ ඔහු නිරූපණය කරන්නෙ Levee නම් තරුණ ට්‍රම්පට් වාදකයෙකුගේ චරිතය. එතැනදි මේ අපි දකින්නේ Black panther සුපිරි වීර චරිතය රඟපෑ Chadwick ම ද කියා හඳුනාගත නොහැකි තරමට ඔහු Levee නම් උද්‍යේගිමත්, ආවේගශීලී, දියුණු වීමේ ආශාවෙන් පෙළෙන ට්‍රම්පට් වාදකයාට ආශක්ත වී ඇති ආකාරය දැකගන්න පුලුවන්. බාහිර ස්වරූපය, දෙබස් උච්චාරණය, අංග චලනයන්ගේ පටන් ඒ චරිතය ගොඩනැංවීමට අවශ්‍ය සියලු අනුපානයන් කිසිදු අඩුපාඩුවකින් තොරව ඔහු සපයා දී තිබෙනව. නමුත් දැනටමත් දෛවය විසින් ඒ ඔහුගේ අවසන් රඟපෑම බව තීන්දු කර අවසානයි. ඒ බව නොදැනීම හෝ ඒ අවසන් රංගනයෙන් ඔහු තමන්ගේ සිනමා ජීවිතේ මුදුන් කුල ට ලඟාවූ බව සැබෑවක්. බොහෝ දුරට මීලඟ ඔස්කාර් සම්මාන උළලේ, වසරේ හොඳම නළුවාට හිමි සම්මානය ඔහුට හිමිවෙන්න හැකියාවක් තිබෙනව. එහෙම වුණෝතින් මිය ගිය පසු හොඳම නළුවා සම්මානය දිනාගත් දෙවැන්නා ඔහු බව ඉතිහාසයේ සනිටුහන් වේවි. (පළමුවැන්නා 1976 The Network චිත්‍රපටය වෙනුවෙන් Peter Finch)

Ma Rainey's black bottom  චිත්‍රපටයෙ කේන්ද්‍රීය චරිතය, නැත්නම් Ma Rainey ගේ චරිතය නිරූපණය කරන්නෙ සුප්‍රසිද්ධ රංගවේදිනියක් වුණු Viola Davis විසින්. Viola ගේ රංගනයත් Chadwick ට දෙවනි නැහැ. Viola දැනට හොළිවුඩයේ සිටින සුවිශේෂීම රංගවේදිනියන් කිහිපදෙනා අතර සිටින කෙනෙක්. ඇය රඟපෑම වෙනුවෙන් ලොව පිදෙන උසස්ම සම්මාන තුන වුණු ඇකඩමි, ප්‍රයිම් ටයිම් එමී, ටෝනි යන සම්මාන තුන හෙවත් "රංගන ත්‍රිත්ව කිරුළ" දිනාගත් පළමු අප්‍රිකානු - ඇමරිකානු ජාතිකයා වීමට සමත් වුණා. නිව්‍ යෝර්ක් ටයිම්ස් පුවත්පත විසින් නම් කල, 21 වන සියවසේ ශ්‍රේෂ්ඨතම රංගවේදීන් 25 දෙනාගේ ලයිස්තුවේ 9 වන ස්ථානය ඇයට හිමිවුණා. ඇය කලු ජාතිකයන්ගේ මානව හිමිකම් වගේම කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සමාජ ක්‍රියාකාරිනියක් විදිහටත් ප්‍රකටයි. Viola මින් පෙර ඔස්කාර් සම්මානයෙන් පිදුම් ලබන්නෙ හොඳම සහාය රංගනය විදිහට 2016 වසරේ Fences චිත්‍රපටය වෙනුවෙන්. දෙවතාවක්ම ඇය හොඳම නිළිය විදිහට නිර්දේශ ලබා තිබෙනව. මෙවර අනිවාර්යයෙන් ඇය හොඳම නිළිය විදිහට නිර්දේශ ලබාවි. මෙවර සම්මානය, ඒ වෙනුවෙන් ඇය සමඟ තරග වැදීමට අපේක්ෂා කරන Frances McDormand, Carie Mulligan, Vanessa Kirby වැනි තවත් 2020 වසරේ මතක හිටින ආකාරයේ ප්‍රබල රංගනයන් ඉදිරිපත් කල අය අතරින් කාට හිමිවේවිද කියන කාරණය කාලය විසින් විසඳාවි.

Ma Rainey's black bottom චිත්‍රපටය නිර්මාණය  වෙන්නෙ ඇමරිකාවේ සැබවින්ම ජීවත් වුණ Ma Rainey නම් Blues ගායිකාව මුල් කරගෙන. චිත්‍රපටයට පසුබිම් වෙන්නෙ 1920 දශකය. Blues සංගීතය බිහිවෙන්නෙ ඇමරිකාවේ වහල් සේවය සඳහා අප්‍රිකාවෙන් රැගෙන ආ කලු මිනිසුන් ගේ ජන සංගීත නාද මුල් කරගෙන. 1800 යුගයේ අග භාගයේ Blues සංගීතය බිහිවෙන්නෙ ඇමරිකාවෙ දකුණුදිග ඇලබාමා, ජෝර්ජියා, ලුසියානා, මිසිසිපි, සවුත් කැරොලිනා ප්‍රාන්ත වලින්. Blues ස්වර රටාව (scale) නිර්මාණය වෙන්නෙ සංගීතයේ  මූලික ස්වර හතෙන් ස්වර පහක් අරගෙන නිර්මාණය වෙන pentatonic scale අතරෙ minor pentatonic  සවර රටාවෙ පස්වෙනි හෝ තුන්වෙනි ස්වරය flat වීමෙන්. Pentatonic සම්මත ස්වර රටාව blues scale එකක් බවට හැරවෙද්දි එයට මූලික ස්වර පහට අමතරව වැඩිපුර තව ස්වරයක් එකතුවෙනව. මේ අමතර ස්වරය blues note නමින් හඳුන්වනව. කොහොම වුණත් මේ blues සංගීතයේ තිබෙන්නෙ අසම්මත, අඳුරු, දුක් සහගත, විටෙක ආවේගශීලී බවක්. (මේ සංගීතයට Blues නම යෙදෙන්නෙත් මේ දුක්බර අඳුරු ස්වභාවය නිසා විය හැකියි) blues සංගීතයෙන් නික්මුණේ කලු ජාතියකයන් ගේ ජීවිතවලට ඒ වනවිට උරුම වෙලා තිබුණ අවාසනාවන්ත වේදනාත්මක බවේ ස්වරය. ඔවුන්ව මිනිසුන් විදිහට සැලකුණේ නැහැ. මිනිස් අයිතිවාසිකම් ඔවුන්ට හිමිවුණේ නැහැ. ඉතින් මේ කලු මිනිසුන්, තමන් විඳි අනන්ත දුක් ගැහැට blues සංගීතයේ ස්වර අතර මුහු කලා. පසු කාලීනව මේ Blues සංගීතය පදනම් කරගෙන Jazz, Rythem and Blues (R n B), Rock n Roll, Hard Rock, Psychedelic Rock වගේ ප්‍රධාන සංගීත ධාරාවන් බිහි වුණා.

1920 යුගය සංගීත තැටි වෙළඳාම ව්‍යාපාරයක් විදිහට දියුණු වෙමින් පැමිණි කාලය සීමාවක්. Blues නාදය මුසු ගීත තැටි වලට කලු සුදු භේදයකින් තොරව හොඳ ඉල්ලුමක් නිර්මාණය වී තිබුණ. Ma Rainey මේ Blues ගීත තැටි යුගයේ ආරම්භ ගායිකාවක්. ඇයව blues සංගීතයේ මාතාව (Mother of blues) නමින් හැඳින්වුනේ ඒ නිසා. 

Ma Rainey's black bottom චිත්‍රපටයට පාදක වෙන්නෙ ඇමරිකානු ජාතික නාට්‍ය නිර්මාණකරු August Wilson මේ නමින්ම 1980 දශකයේ නිර්මාණය කල වේදිකා නාට්‍යයක්. නාට්‍ය නිර්මාණය වෙන්නෙ Ma Rainey ගේ ගීත පටිගත කිරීමට සුදානම් වෙන මොහොතේ ඇතිවෙන, පැය කිහිපයකට සීමාවුණු සිදුවීම් කිහිපයක්. සීමිත කාලයක් ඇතුලත වෙන සිදුවීමක් ආශ්‍රයෙන් නිර්මාණය වී ඇති නිසා චිත්‍රපටයෙත් යම් වේදිකා නාට්‍ය ස්වරූපයක් දැකගත හැකියි. නාට්‍යකරු August Wilson කලු මිනිසුන්ගේ ජීවිත ඇසුරෙන් නාට්‍ය කිහිපයක්ම නිර්මාණය කර තිබෙනව. ඒවායින් නාට්‍ය දෙකක් දැනට සිනමාවට නැගී තිබෙනව. 2016 වසරේ තිරගත වුණු සහ සුප්‍රකට නලු Denzel Washington ගේ අධ්‍යක්ෂණයෙන් සහ රංගනයෙන් නිමැවුණු Fences ඉන් පළමුවැන්න. 2020 වසරේ Denzel Washington ගේ ම නිෂ්පාදනයක් විදිහට එළිදැක්වුණු Ma Rainey's black bottom එහි දෙවැන්න. තමාගේ අරමුණ August Wilson ගේ නාට්‍ය සියල්ලම සිනමාවට රැගෙන ඒම බවත් මේ නාට්‍ය මාලාවේ තුන්වැන්න රංගවේදි Samuel L Jackson යොදාගෙන නිර්මාණය කිරීමට තමා දැනටම සැලසුම් කරගෙන සිටින බවත් Denzel Washington මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. මේ තුන්වෙනි සිනමා නිර්මාණය හැකි ඉමණින් වගේම උපරිම සාර්ථකත්වයකින් දැකබලා ගන්න ලැබේවි යන බලාපොරොත්තුව සිනමා රසිකයන් විදිහට අපිට දැනට ඉතිරි වී තිබෙනව.



No comments:

Post a Comment