Tuesday, March 2, 2021

Forgotten (2017)

හතර වටින්ම කිසිම දෙයක් නොපෙනෙන විදිහට පැතිරුණු මහ අඳුරක්. ඒ අඳුරේ සෙමින් සෙමින් මතුවෙන පියවර හඬක්. යම් නුහුරු නුපුරුදු කටහඬකින් කෙරෙන අණකිරීමක්. එක්වරම සිදුවෙන විශාල පහරදීමක්.

Jin-seok එක්වරම තිගැස්සිල අවදිවෙනව. තමන් සිටින්නේ පවුලේ අයත් සමග මෝටර් රථයේ බව ඔහු දකිනව. සිහිනෙකින් වගේ ඒ පෙනුනෙ මොකක් වුණත් ඔහු හිටියෙ හොඳටම බයවෙලා. ශරීරයෙ දහදිය ගංගාවක් ගලායනව. Jin-seok ගේ අම්මා අනෙක් පැත්තෙ ආසනේ ඉඳන් ඔහුව සනසන්න උත්සහ කරනව. පියා තමයි වාහනය පදවන්නෙ. පියාගෙ අනෙක් පසෙන් වාඩිවෙලා ඉන්නෙ Jin-seok ගේ වැඩිමල් සොහොයුරා. ඔවුන් මේ පදිංචියට තෝරාගත්ත අලුත් නිවස බලා යමින් ඉන්නෙ. යම් නුහුරු නුපුරුදු බවක් තමන්ට දැනෙන්න පටන් ගෙන තිබුණත් ඒ කුමක්දැයි හරියටම වටහා ගන්න Jin ට හැකියාවක් නෑ. Jin-seok අවුරුදු 20ක් වයස තරුණයෙක්. අම්මාත් තාත්තාත් සහෝදරයාත් තමා ඔහුගෙ පවුලෙ සමාජිකයින් වෙන්නෙ. Jin-seok ගේ මේ වැඩිමල් සහෝදරයා සෑහෙන සුවිශේෂ චරිතයක්. ඔහු ඉගෙනීමට අතිදක්ෂයෙක්. කරන්නෙ මොන දෙයක් වුණත් එහි උපරිමයට යන හැකියාවක් ඇති කෙනෙක්. 

අවසානෙ ඔවුන් අලුත් නිවාසයට පැමිණෙනව. මේ නිවස දකින Jin-seok එක්වරම තිගැස්සෙනව. මේ නිවස ඔහුට හොඳින් දැක පුරුදු බවක් දැනෙන නමුත් ඒ කවදාක කොයි ආකාරයට දැයි මතක් වෙන්නෙ නැහැ. කොහොම වුණත් අලුත් නිවාසයෙ ඔවුන් ජීවිතය ආරම්භකරනව. මේ නිවසෙ එක කාමරයක් වසා අගුලුදමල තිබෙනව. මේ කාමරය විවර කරගන්න යතුරක් කිසි කෙනෙක් ලඟ නැහැ. නිවාසයෙ මොන දේ කලත් මේ වසා තිබෙන කාමරය නම් විවර නොකරන්නයි නිවසෙ කලින් අයිතිකරුවන් කියූ බවක් Jin-seok ගෙ පියා කියන්නෙ. Jin-seok ට මේ කාමරයෙන් දවසක් අමුතු ආකාරයෙ හඬවල් ඇහෙන්න පටන් ගන්නව. කාමරයෙ කුමක් හෝ අබිරහස් දෙයක් සැඟවී ඇති බව ඔහු හිතනව. ඉතාම සාමකාමීව ආරම්භ වුණු මේ පවුලේ ජීවිත රටාව ක්‍රමානුකූලව අමුතු ආකාරයෙ සිදුවීම් වලින් පිරෙනව. සිදුවෙන්නෙ කුමක්දැයි Jin-seok ට වටහාගන්න හැකියාවක් නෑ. නමුත් කොතනක හෝ වරදක් ඇති බව පැහැදිලියි. මේ අබිරහස් සොයා යන Jin-seok අවසානෙ නතරවෙන්නෙ සිහිනෙන් වත් නොසිතූ තැනක.

Thriller සිනමාපට නිර්මාණය කිරීම කලාවක් නම් ඒ කලාවේ පිකාසෝලා කොරියානු ජාතිකයන් බව පෙන්වාදෙන චිත්‍රපටයක් Forgotten.  මේ චිත්‍රපටය කොරියන් thriller කිව් සැනින් මතකයට එන Memories of murder, Old boy, I saw the devil, Chaser, Tale of two sisters වගේ සිනමාපට සමග එක පෙළට තැබිය හැකි මට්ටමේ නිර්මාණයක් බව කිව්වොත් වැරදි නෑ. චිත්‍රපටයෙ විශිෂ්ටත්වයෙ වැඩි කොටස රඳා පැවතිල තියෙන්නෙ පිටපතේ. ආරම්භයෙ කතාවෙ ස්වභාවය ගැන කුඩා කුඩා ඉඟි ලබා දුන්නත් ඇත්තටම ආරම්භයෙ පටන් සිද්දවෙන්නෙ මොකක්ද කියන දෙය කිසිසේත් කලින් අනුමාන කල නොහැකියි. මුල් භාගයෙදි චිත්‍රපටයෙ සැබෑම කතාපුවත ගැන කිසිවක් සිතාගත නොහැකි ආකාරයට පිටපත ගොඩනංවා තිබීම චිත්‍රපටයෙ සාර්ථකත්වට සෑහෙන දුරට බලපෑමක් කරනව. ඒවගේම අවුරුදු විස්සක තරුණයෙක් විදිහට ආරම්භ වෙන Jin-seok ගේ චරිතය ක්‍රමයෙන් වඩා සංකීර්ණ ඉසව්වක් කරා විකාශනය වීම ගොඩනඟා තිබුණු ආකාරය විශිෂ්ටයි. කතාවේ වැදගත් කරුණක් අනාවරණය කරන අවසාන දර්ශනය ඉතාම සංවේදී එකක්. විදුලි සැරයකට සමාන කම්පනයක් ඇතිකරවන ඒ ප්‍රභල අවසන් දර්ශනය කොරියානු සිනමාකරුවන් කොහොම මේ දේවල් පරිකල්පනය කරනවද කියන විස්මය ඉතිරි කරනව.

2017 අවුරුද්දේ නිකුත් වුණු Forgotten චිත්‍රපටය ඉන්පසුව Netflix ආයතනය මගින් ලොව පුරා රටවල් 190 ක තමන්ගේ නාලිකාව  හරහා බෙදා හැර තිබෙනව. Forgotten, එක මොහොතක් තිරයෙන් දෑස ඉවතට ගන්න නොහිතෙන Crime / Thriller වර්ගයෙ සිනමා අත්දැකීමක් ලබා දෙන අතරෙ සංවේදී කතා පුවතක් අපිට කියන ඉතාම හොඳ මට්ටමේ සිනමාපටයක් බව හැකියි.



No comments:

Post a Comment