Monday, October 28, 2019

The Constant Gardner (2005)



දිලීප ජයකොඩි ගෙ "ආර්‍යා" නවකතාව එළිදැක්වීමේ උත්සවයෙදි, දේශපාලනික ත්‍රාසය (political thriller) ශොනරයට අයිතිවෙන කලා කෘති ගැන බොහොම වටින කතාවක් කළ සරත් ධර්මසිරි මහත්මය තමන්ගෙ කතාවෙදි The Constant Gardner චිත්‍රපටය ගැන සඳහන් කරනව. ඒ වෙලාවෙ එතන හිටපු Luckshman Aranwala සහෝදරයාත් මේ චිත්‍රපටය බලන්න නිර්දේශ කරනව. Constant Gardner ගැන මම දැනගන්නෙ එහෙම. 2001 අවුරුද්දෙ බ්‍රිතාන්‍යය ලේඛකයෙක් වුණ John le Carrie විසින් මේ නමින්ම ලියා පළ කරන නවකතාව මුල් කරගෙනයි Constant Gardner චිත්‍රපටය නිර්මාණය වෙන්නෙ.

බ්‍රිතාන්‍යය රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් වුණ Justin Quayle ට අමුතු ප්‍රශ්න අහන, කිසිකෙනෙකුට බය නැති මධ්‍යවේදිනියක්, මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වුණ Tessa මුණගැහෙන්නෙ මාධ්‍ය හමුවක දි. ඈ තමන්ගෙ වෘත්තීය ජීවිතයම කරගත්ත, තමන් කරන කාර්‍ය උපරිමයෙන් කරන්න උත්සහ දරන කෙනෙක් බවයි පෙනෙන්නෙ. Justin කියන්නෙ බොහොම මිත්‍රශීලී, හැඩි දැඩි බවෙන් තොර නිවුනු පුද්ගලයෙක්. මේ අපූරු හමුවීම තවත් දුරදිග යන්නෙ ඔවුන් අතරෙ ප්‍රේම සම්බන්ධතාවක් ඇතිකරමින්. මේ අතර රාජකාරි කටයුතු සඳහා Justin ට අප්‍රිකාව බලා යෑමට සිදුවෙනව. තමන්වත් මේ ගමනට එකතු කරගන්න කියල Tessa තදින්ම ඉල්ලාහිටිනව. අවසානෙ ඔවුන් දෙදෙනා විවාහ වෙනව. අප්‍රිකාවට පැමිණෙමින් පස්සෙ Tessa තමන්ට සුපුරුදු ගවේෂණශිලී මාධ්‍යවේදිනියගේ චරිතයට ඇතුලත් වෙනව. නමුත් Justin තමන්ගෙ බිරිඳට උපරිම නිදහස ලබා දෙනව. ඔහු ඇගේ වැඩකටයුතු ගැන හොයා බලන්නෙ නෑ. ගෙවතු අලංකරණයේ යෙදෙමින්, විසිතුරු මල් පැල අතරෙ ඔහුගෙ විවේක කාලය ගතවෙන්නෙ. දවසක් Tessa තමන්ගෙ රියදුරත් සමග දුර බැහැරකට පිටවී යන්නෙ රාජකාරි කටයුත්තකට බව පවසමින්. නමුත් ඇය ආපසු එන්නෙ නෑ. Justin ට නැවත හමුවෙන්නෙ ඇගේ මළසිරුර. රියැදුරාව මේ ඝාතනයට සැකකලත් ඔහුගේ මළසිරුරත් සොයාගන්නව. ජීවත්ව සිටි කාලයේ සොයා නොබැලූ තමන්ගෙ බිරිඳගේ තොරතුරු සොයාගෙන ඇගේ මරණයේ අබිරහස සොයායන්න Justin තීරණය කරනව.

අප්‍රිකාව හඳුන්වන්නෙ අඳුරු මහද්වීපය නමින්. නොයෙක් ආකාරයේ ලෙඩ රෝග වසංගත, නූගත් කම, දරිද්‍රතාව මේ කලාපයේ ඉහවහ ගිහින් වගේම අන්ත දූෂිත දේශපාලනය, අක්‍රමිකතා, අධිපතිවාදය, ප්‍රචණ්ඩත්වය මේ කලාපයෙ පුරාම පැතිරිලා ගිහින්. අතීතයෙදි යුරෝපීයයන් මනුශ්‍යත්වටත් නිග්‍රහ කරමින් ඔවුන්ව වහලුන් විදිහට භාවිත කලා. මිනිසෙකුට තිබියයුතු අයිතිවාසිකම් කිසිවක් ඔවුන්ට තිබුණෙ නෑ. අදටත් මේ අසරණ මිනිස් කොට්ටාසයට උදව් කරන මුවාවෙන් නොයෙකුත් බලගතු ආයතන දේශපාලනයේ හෙවණැලේ සැඟවෙමින් ඔවුන්ගේ ජීවිත සොරාගනිමින් ඉන්නව. Constant Gardner චිත්‍රපටයේ Tessa ඉදිරිපත් වෙන්නෙ මෙවැනි අසාධාරණයක් මුලු ලොවටම නිරාවරණය කර පෙන්වන්න. නමුත් සතුරා පෙනෙනවාට වඩා බලගතුයි. උගේ අඬුපඬු දික්වෙනව නොහිතන තරම් ඈතකට. මේ හතුරා එක්ක හැප්පෙන්න කාටවත් පුලුවන් කමක් නෑ. Tessa වැනි කෙනෙක් ඉඳහිටක හෝ ඌට අභියෝග කලත් එවැනි අයගෙ ජීවිත කෙළවර වෙන්නෙ ඉතා සෝචනීය විදිහට. Constant Gardner චිත්‍රපටයේ අපි දකින්නෙ ලෝක දේශපාලනයේ මේ අමානුෂික මුහුණ.

Justin සහ Tessa ගේ කතාවත් ගලා යන්නෙ මේ දේශපාලන පලහිලව් අතරේ. Justin ඇගේ වැඩකටයුතු ගැන හොයා බලන්නෙ නෑ. ඔහු ඇය ගැන නිවැරදිව වටහගන්නෙ ඈ ජීවිතයෙන් සමුගත්තට පස්සෙ. ඇයට කල නොහැකිවුණු කටයුත්ත කෙසේ හෝ අවසන් කිරීම ඔහුගෙ අරමුණ වෙන්නෙ. ඇයට , ඇගේ මතකයන්‍ට, ඇය සමග බෙදාගත් ආදරය වෙනුවෙන් ඔහුට කල හැකි හොඳම දේ තමයි ඒ. නමුත් අවසානෙ ඔහුට අත්වෙන ඉරණම මොකක්ද?

ආදරයත්, දේශපාලකයත් වගේම අපි අතරම ජීවත් වෙන එක්තරා මනුශ්‍ය කොට්ටාසයක් මුහුණ දී තියෙන අභාග්‍ය සම්පන්න ඉරණම මේ චිත්‍රපටයෙන් පෙන්වා දෙන්නෙ හද කම්පා කරවන ආකාරයෙන්. අවසානෙ Luckshman සහෝදරයාට ස්තූතියි කියන්න කැමතියි මේ චිත්‍රපටය නිර්දේශ කිරීම වෙනුවෙන්.







Friday, October 25, 2019

සුපිරි වෙළඳසැලේ දී...


"ආයුබෝවන් 
අප ආයතනයට පැමිණි ඔබ
සාදරයෙන් පිළිගනිමු"
........................

එක්වරම
හාත්පස බොඳවී
මීදුමාරෙක සැඟවිණ..

කාලය
ඔරලෝසු කටු අතරින් පැන
නතරවී ගල් ගැසිණ..

ජීවිතේ කලෙක
දහසක් දුක් තැවුල් නිවූ
එක් සමීප හඬක්
යකඩ කටකින් නික්මිණ..

කොහි වෙත් ද ඒ රුව
සිසාරා බැලීමි අවට
කිසිවක් නොවී වෙන
හිස් හිස් ම මිස...

සොයන්නේ කොතැනින්ද
දෙනෝදහසක් මැද...
හමන්නේ ඇයි ද
පුරුදු මල් සුවඳක් ගෙන
සුළඟත් මා වට..
පැමිණියේ කෙළෙසද
මා මෙතැනට...
..............................

"කරුණාකර
පිටවීම සඳහා අංක දෙක දොරටුව භාවිත කරන්න"
.................................

අවනත වීමි
එවර මා ඇයට..



Thursday, October 24, 2019

Parasite (2019, භාෂාව - කොරියන් )


මේ ලෝකෙ "දුප්පත්" සහ "පොහොසත්" වශයෙන් මිනිස්සු වර්ග දෙකකට බෙදල තියනව. මේ බෙදුම් රේඛාවන් කොයි තරම් සාධාරණද සහ ඍජුවම මේ දෙකොට්ටාසයටම ඇතුලත් කරන්න බැරි අය හඳුන්වන්නෙ මොන නමින් ද කියන කාරණය පැත්තකින් තිබ්බොත්, ආර්ථික වශයෙන් මේ "ඇති" "නැති" පරතරය පැහැදිලිවම සමාජයෙ දැකගන්න පුලුවන්. "පොහොසත්" නමින් හඳුන්වන්නෙ පාරම්පරිකව විශාල ධනයකට උරුමකම් කියන නැතිනම් සාපේක්ෂ වශයෙන් ඉහළ ආදායමකට උරුමකම් කියන, උසස් යනුවෙන් සම්මත සමාජ තලයක වැජඹෙන්න හැකියාවක් ඇති පිරිසකට. මේ අය ගණනින් ඉතාම කුඩායි. ඒ අනුව "දුප්පත්" යනුවෙන් හඳුන්වන්නෙ පවුල් පසුබිමෙන්ම සමාජයෙ පහළ කොටසකට අයිති වෙන නැත්නම් සාපේක්ෂව අඩු අදායම් ලබන සමාජය පිලිගත් ජීවන තත්ත්වයක් පවත්වාගන්න අසමත් පිරිසකට. මේ අය ගණනින් බොහොම වැඩියි. අපි දන්නව අපි ජීවත් වෙන්නෙ පූර්ණ වශයෙන් නොවුනත් වෙළෙඳ පොළ මුල්කරගත්ත ධනවාදී අර්ථක්‍රමයක් ඇතුලෙ බව. මේ ක්‍රමය පවතින්නෙ තරඟකාරී වෙළඳපොල මත. මූලික අවශ්‍යතා සපුරාගන්න නැත්නම් සමාජය පිළිගත් ජීවන තත්ත්වයක් පවත්වාගන්න අවශ්‍ය භාණ්ඩ සේවා පරිභෝජනය කරන්න ඒ සඳහා නියමිත මිලක් ගෙවිය යුතුයි. කෙනෙකුගේ ජීවන තත්ත්වය තීරණය වෙන්නෙ මේ මිලදී ගැනීමේ හැකියාව උඩ. එතනදි පුද්ගලික දේපළ හිමිකාරත්වය ගැන රජයෙ මැදහත්වීම අවමයි. ඒ වගේම සමාජයෙ යම් ඉහළ තලයකට යන්න නම් කෙනෙක් ඒ සඳහා අභියෝගය ගණනාවක් ජයගන්න ඕන. රජය විසින් සහතික කරන්නෙ මූලික අවශ්‍යතාවන් කිහිපයක් පමණයි. කොමියුනිස්ට් ක්‍රමයකදි වගේ මෙතනදි හැම පුරවැසියෙකුටම ගෙයක්, වාහනයක්, රැකියාවක් රජය විසින් සහතික කරන්නෙ නෑ. ඉතින් මේ තරඟය ඇතුලෙ සාර්ථක වෙන සුලු පිරිසක් සමාජෙ ඉහළ තලයට ලඟා වෙනව. එතනදි අසමත් වෙන බහුතරය පතුලේම රැඳෙනව. මේක සෑහෙන ලොකු පංති විෂමතාවකට හේතුවෙනව. ධනවාදී ක්‍රමයට තියන ලොකුම විවේචනයක් තමා මේ පංති පරතරයක් බිහිවීම. මේ විෂමතාව සමාජ ගැටලු ගණනාවකට මුල් වෙනව. "නැති බැරි" මිනිස්සුත් පැවතිය යුතුයි. හිඟකමකින් තොරව දේවල් පරිභෝනය කරන්න ඔවුන්ටත් අවශ්‍යයි. ඉතින් මේ අයට තමන්ගෙ පැවැත්ම හදාගන්න නොයෙක් දේවල් කරන්න සිද්දවෙනව. සමහරු නීතියට පිටින් පවා යනව. Parasite චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ තමන්ගෙ නැතිබැරි කම් වලින් ගොඩ එන්න අපූරු උපක්‍රමයක් යොදාගන්න දුප්පත් පවුලක් හා බැඳුනු කතාවක්. 

"උගතුන්ගෙ දශකය ඉවරයි, දැන් ගතවෙන්නෙ දක්ශයින් ගේ දශකය"
කූඹියෝ නාට්‍යයේ බොහොම ප්‍රසිද්ධ දෙබසක් තමා ඒ. වර්තමානයෙදි කෙනෙකුගෙ පැවැත්ම තීරණය වෙන්නෙ ඔහුට තියන දැනුම, පාස් කරල තියන විභාග වලට වඩා ඔහුට දේවල් කරන්න තියන හැකියාව, භාෂාව පාවිච්චි කරල දේවල් මවා පෙන්වීමේ හැකියාව මත. අද වෙනකොට සමාජයෙ ඉහළට යන්න නම් මේ දේවල් තියෙන්නම ඕන. ජෙහාන් ලා වගේ Con Artist කලාව ප්‍රගුණ කල චරිත බිහිවෙන්නෙ මේ ධර්මතාව අනුව යමින්. රැවටීම, මුලා කිරීම අපේ බාසාවෙන් කොව්වොත් මිනිස්සු ඇන්දීම සමාජෙ පුරා පැතිරිලා ගිහින්. Parasite චිත්‍රපටයෙත් මේ තත්ත්වය අපිට හොඳින්ම බලාගන්න පුලුවන්. නමුත් එතනදි සමූහයක් විදිහට මේ ආර්ථික පීඩාව සමාජෙ කොච්චර ඔඩුදුවලද කියන දෙය හොඳින්ම නිරූපණය වෙනව.

Parasite අද්‍යක්ෂණය කරන්නෙ මේ වෙද්දි කොරියානු සිනමාවෙ ඉන්න විශිෂ්ඨයෙක් වුණ Bong - Joon-ho. (The host, Memories of Murders, Snowpirecer, Okja ඔහුගේ අද්‍යක්ෂණයෙන් බිහිවුණ නිර්මාණ). Parasite 2019 අවුරුද්දෙ සුප්‍රසිද්ධ කාන්ස් සිනමා සම්මාන උළලේ පිරිනැමෙන ඉහළම සම්මානය වෙන Palme d,Or සම්මානය දිනාගන්න සමත්වෙනව. Palme d,Or සම්මානය දිනාගන්න මුල්ම කොරියානු චිත්‍රපටය වෙන්නෙ Parasite. කැමරාකරණය, දෙබස්, රඟපෑම්, පිටපත සිනමාවෙ මේ තාක්ෂණික අනුපාන හැම දෙයක්ම ඉතාම හොඳින් භාවිතා කර තිබුණා. නරඹන්නන්ගෙ ආකර්ශණය දිනාගත්ත කොරියානු සිනමාපට ගණනාවකම රංගනයෙන් දායක වුණ Kang Ho-Song මේ චිත්‍රපටයෙ කතාවට මුල් වෙන දුප්පත් පවුලේ පියාගෙ චරිත‍ය රඟදක්වනව. උපහාසාත්මක බව වගේම කුතුහලයත්, හද කම්පා කරන අනුවේදනීය බවත් මුහුවෙලා තිබුණෙ අවස්ථාකුලව. Parasite විශාල වශයෙන් ප්‍රේක්ෂක, විචාරක ආකර්ශණය දිනාගන්න සමත්වෙන්නෙ නූතන සමාජ යථාර්ථය නිවැරදිව අල්ලගෙන, ඉතාම සිනමාරූපිව ප්‍රතිනිර්මාණය කර තිබෙන නිසා. 2019 අවුරුද්දෙ විතරක් නෙමේ මේ දශකයෙ බිහිවුණ හොඳම චිත්‍රපට අතරට සැකයක් නැතුවම එකතු කරන්න පුලුවන් පරිසමාප්ත සිනමා නිර්මාණයක් Parasite.











Bong - Joon-ho (දකුණු පස) සහ Kang Ho-Song (වම් පස)කාන්ස් සිනමා සම්මාන උළලේ Palme d,Or සම්මානය සමග



Tuesday, October 22, 2019

ගුම් - බටුවන්ගල රාහුල හිමි

මලින් මලට පියාඹායන මී මැස්සන් අපි අනන්තවත් දැක ඇති. ඒ වගේම ගස් අතු අතර ඉදි කර ඇති මී වද අපි ඕනෑ තරම් දැක ඇති. ඒත් මේ හැමදෙයක්ම පිටුපස තියෙන මී මැස්සන්ගෙ සංකීර්ණ සමාජ සංවිධානය ගැන අපි දන්නෙ මොනවද? හැම වෙලාවකම මී වදයක් ගොඩනැගෙන්නෙ "රැජිනක්" නමින් හඳුන්වන මී මැස්සියක වටා. ඈ වටා එකතු වෙන අනුගාමික පිරිසක් තමා මේ අපූරු නිමැවුම ඉදිකරන්නෙ. රැජින කවා පොවා පෝෂණය කිරීම, ආහාර සොයා යෑම, ලැබෙන මී පැණි නියමාකාරයෙන් තැන්පත් කර මී වදය ඉදිකිරීම, සතුරන්ගෙන් ආරක්ෂා කරගැනීම, මේ ප්‍රධාන වැඩකටයුතු හැමදෙයක්ම සිදුවෙන්නෙ ගැහැණු මැස්සන් අතින්. පිරිමි මී මැස්සන්ට අයිති එකම කාර්‍ය ගැහැණු සතුන් ගෙනෙන ආහාර වළඳමින් වර්ගයා බෝකිරීමට දායකවීම පමණයි!!

ගුම් නවකතාවෙන් මී මැසි ජීවිතය ගැන මේ වගේ අපූරු තොරතුරු බොහෝමයක් අනාවරණය වෙනවා. ඒ නවකතාවෙ මූලික කතාවට සමගාමීව. ප්‍රධාන වශයෙන් මේ නවකතාව ගොඩනැගෙන්නෙ ජයතුපාල කියන දුප්පත් අසරණ තරුණයෙක් මුල් කරගෙන. ජයතුපාල ගෙ මව්පියන් ඔහු ළබාල වයසෙදි ම අහිමි වෙනව. ඉන්න තිබුණ ගෙයත් ගමේ මුදලාලි කෙනෙකුට සින්න වෙනව. ජයතුපාලට කාත් කවුරුත් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ. ඔහුට ඉතුරු වෙන්නෙ ගම වටා පැතුරුණ ගණ කැලෑව පමණයි. කැලෑව කියන්නෙ ජයතුපාලට ගෙදර වගේ තැනක්. එතැන හැම සතෙක් සිව්පාවෙක්ම ගහක් කොළක් ම ඔහු හොඳින් හඳුනනව. චීන මහත්තයාව ජයතුපාලට මුණගැහෙන්නෙ කැලෑව ඇතුලෙ ඇවිදිමින් ඉන්නකොටයි. කැළෑව ඇතුලෙ අක්කර ගණනාවක් එළිකරන මේ අපූරු චීන ජාතිකයා හෙවත් චීන මහත්තයා මී මැස්සන් ඇති දැඩි කර මී පැණි නිෂ්පාදනය කරන කම්හලක් ආරම්භකරනව. මී මැසි පෙට්ටි වලට කඩා පනින වඳුරන් එලවන්න ඉදිරිපත් වෙන ජයතුපාල මී මැසි ගමේ ආරක්ෂකයා බවට පත්වෙනව. ඔහුට වාසස්ථානයකුත් මී මැසි ගමෙන් ම ලැබෙනව. වඳුරන් එළවන්න හදාගත්ත ගැට ඉන්නත් අතේ තබාගෙන මී මැසි ගම වටා කැලෑවේ ඇවිදීමෙන් ජයතුපාල ගේ කාලය ගතවෙන්නෙ. මී පැණි කම්හලේ වැඩට එන පබසරා, ජයතුපාල ගෙ ඇසගැටෙන්නෙ ඔය අතරෙ. දුර ඉඳන් බෙදාහදාගන්න හිනාවකින් පටන්ගන්න මේ අපූරු බැඳීම කෙළවර වෙන්නෙ ජයතුපාල ගෙ කැළෑ ගමන් වලට පබසරාත් එක්වීමෙන්. මෙහෙම කාලය ගතවෙන අතරෙ දවසක හැමදෙයක්ම වෙනස් වෙනව. මී පැණි කම්හල සීමිත සමාගමක් බවට පත්වෙනව. හැම දෙයක්ම තවත් ඔපමට්ටම් වෙලා තව ක්‍රමානුකූල වෙනව. ජයතුපාල ගෙ කබල් සරම නිල ඇඳුමකට හුවමාරු වෙනව. ගැට ඉන්න වෙනුවට තුවක්කුවක් අතට එනව. වැඩට එන වෙලාවට යන වෙලාවට අත්සන් කරන්න වෙනව. පබසරාටත් සීත කාමරයක වැදගත් රැකියාවක් ලැබෙනව. සරමක් පිටින් කැලෑවෙ ඇවිද ඇවිද හිටිය ජයතුපාලට මේක මහ වදයක්. තමන් හිරගෙදරක දැම්ම වගේ හැඟීමක් ඔහුට දැනෙන්නෙ. ඉතින් ජයතුපාල, පබසරා, චීන මහත්තයා ..මේ අයගෙ ඉරණම් කොහොමද විසඳෙන්නෙ..?

උදේම බස් කෝච්චි වල තෙරපි තෙරපී වැඩට ගිහින් හොදටම හෙම්බත් වෙලා හවසට ගෙදර එන ජනතාවක් විදිහට ජයතුපාල, පබසරා, චීන මහත්තයා ගැන අපිට හරි සමීප බවක් දැනෙන්නෙ ඒ අය තුලින් අපේම එදිනෙදා ජීවිත අත්දැකීම් නැවත අපිටම කියවාගන්න ලැබෙන නිසා. උදාහරණයක් විදිහට ජයතුපාලට වඳුරන් ගේ මළ සිරුරු වළදැමීමට සිද්ද වෙන තැන ඔහු කියනව මේ රස්සා කෙරුවාව අප්පිරිය වුණා කියල. ඒක බොහෝ වෙලාවට රැකියා ජීවිතය ඇතුලෙ අපෙත් අත්දැකීම එක්ක සමපාත වෙන දෙයක්. නමුත් වැඩකාර මැස්සන් වගේ ප්‍රශ්න කිරීමකින් තොරවම කොහොම හරි යාන්ත්‍රිකවම වගේ මේ දේවල් කරන්න අපි පුරුදුවෙලා. මෙතැනදි මේ වැඩ කරන ජනතාව මී වදයේ වැඩකරන මැස්සන් එක්ක හරි අපූරුවට සැසඳෙනව. මී වදයක ඉන්නෙ එක රැජිණයි. අවශේෂ මැස්සන් ගණනින් ඉතාම වැඩියි. නමුත් සහජයෙන්ම ඔවුන් රැජිණට කීකරුයි. ඒ වගේම මීමැසි ජනපද වල දි මිනිස්සු මී මැස්සන දුක් විදල නිපදවපු මී පැණි ඔවුන්ගෙන් උදුරාගනිද්දි මී මැස්සන් උත්සහ කරන්නෙ තමන්ගෙ වදය ආරක්ෂා කරගැනීමට උත්සහදැරීම පමණයි. මී මැසි ජනපදයේ සියලු මැස්සන් එකතු වුණ දවසට කිසිම කෙනෙකුට පරදවන්න බැරි බලවේගයක් නිර්මාණය වෙන බව ඔවුන් හිතන්නෙ නෑ. ඔවුන් එක්තරා අකාරයට පහුණු කරගත්ත සම්ප්‍රදායකට අනුව යාන්ත්‍රිකවයි ක්‍රියා කරන්නෙ. ඉතින් මේක අපිට පුලුවන් අපේ ජීවිත එක්ක සසඳා බලන්න.  ජීවිතේ සියලු කඩා වැටීම් හමුවේ ජයතුපාල තමන් කවුද කියල නිවැරදිව හඳුනා ගන්න තැන මේ කතාවේ සුවිශේෂි තැනක් විදිහට මම දකිනව. නමුත් එ තැනට එන්න ඔහුට පහු කරන්න සිද්ද වෙන සීමා කඩයිම් නම් ලේසි පහසු දේවල් නොවෙයි. එතනදි ඔහු අතේ තියන ගැට ඉන්න විශේෂ භුමිකාවක් රඟදක්වනව. කිසිම ප්‍රාණයක් නැති අජීවී වස්තුවක් ජීවිතය එක්ක ගලපල කතුවරයා ඉදිරිපත් කර ඇති ආකාරය අපූරුයි. කතුවරයා තම ජීවිත අවබෝධය මේ ප්‍රබන්ධය පුරා මුහුකර ඇති ආකාරය ඉතාම ආකර්ශණීයයි. අනවශ්‍ය තරම් දීර්ඝ නොවීමත් කෙටියෙන් නමුත් රසවත්ව කතාව ඉදිරිපත් කර තිබීමත් නිසා කියවීමට පහසුයි. ගුම් නවකතාව මම ඉතාම ඉහළින් රසවින්ද නවකතාවක් වුණා.




Thursday, October 17, 2019

රුව බැලීම


විල් පොකුණු මතින් නොව
ඉඳහිටක
අබලන්වු මාවතක
මහ වරුසාවකට පසු
ඉතිරි වැහි දිය රැඳි 
කුඩා දිය වළකින් ද
තම හැඩරුව බලයි සඳ..




Wednesday, October 16, 2019

One way street


සොඳුර මේ මඟ
තනි අතට දිවෙන මාවතකි..
ආපසු හැරීමක් නැත
පසු කළ තැන් වෙත
නැවත යෑමක් නැත..
බොහෝ උස ගොඩනැගිලි
තනි සුදු පිරියම් කළ නිවාස
පාලු තැනිතලා බිම් දෙස
ඒකාකාර බැල්මකින් බලමින්
ඉදිරියටම යනු මිස..




Monday, October 14, 2019

Midsommar (2019)


මෑතක ඉඳන් නිර්මාණයවෙන horror චිත්‍රපටි වලට එල්ලවෙන ලොකුම චෝදනාවක් තමා ඒවට බය හිතෙන්නෙ නෑ කියන එක. නමුත් මේ ඒකාකාරිත්වයෙන් මිදුණු සුවිශේෂි නිර්මාණ කීපයකුත් ඉඳහිට අපිට හමුවෙනව. Hereditary කියන්නෙ අන්න ඒ වගේ සිනමා රසිකයන් අතරෙ සෑහෙන ජනප්‍රියත්වයක් හිමිකරගත්ත සාර්ථක නිර්මාණයක්. Hereditary නිර්මාණය කළ Ari Aster ගෙ අලුත්ම සිනමාපටය Midsommar. Horror අත්දැකීම කිසිසේත්ම එවැනි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි පරිසරයකින් මතු කරගන්න ඉතාම සුවිශේෂී නිර්මාණයක් Midsommar. භීතිය කියන දෙය මට මේ චිත්‍රපටය ඇතුලෙ හොඳින්ම දැනුන. ඇත්තටම මම ඒකට බය වුණා....!

Dani කියන්නෙ උසස් පාසල් ශිෂ්‍යාවක්. ඇගෙ සහෝදරිය, දෙමව්පියන් මරා දමල තමනුත් දිවි නසාගන්නව. මේ සිද්ධිය Dani ට බොහොම තදින් බලපානව. ඇය සම්පූර්ණයෙන්ම මානසිකව කඩාවැටෙනව. මානව විද්‍යාව හදාරන ඇගෙ පෙම්වතා Christian ගෙන් ඇයට සහයෝගයක් ලැබෙන්නෙ නෑ. මේ අතර Christian ගෙ මිතුරු කණ්ඩායමෙන් කෙනෙක් වුණ ස්වීඩන් ජාතික Pele ගෙන් ඔවුන්ට ආරාධනාවක් ලැබෙනව. ඒ ස්වීඩනයේ එක් පිටිසර ගමක පැවැත්වෙන උත්සවයකට සහභාගිවෙන්න. Christian ඇතුලු මිතුරන් පිරිස මේ ඇරයුම බාරගන්නව. Dani ත් ඔවුන් එක්ක එකතුවෙනව. ස්වීඩනයෙ අදාළ ගම්මානයට යන මිතුරන් කණ්ඩායම දකින්නෙ තැනිතලා බිම් පුරා මල් පිපුණු ගහකොළ පිරුණු බොහොම සුන්දර පරිසරයක්. ඒ වගේම තනි සුදු ඇඳුම් ඇඳගත්ත මිත්‍රශීලී මිනිසුන් කණ්ඩායමක්. නමුත් ටික දවසක් මේ ගම්මානයේ වාසය කරද්දි ඔවුන්ට දකින්න ලැබෙන්නෙ එතන තව දුරටත් ඉන්න හිතෙන දේවල් නම් නොවෙයි....!

Midsommar පැය තුනකට ආසන්න කාලයක් පුරා දිවෙන දීර්ඝ චිත්‍රපටයක්. ඒ වගේම බොහොම මන්දගාමී ස්වභාවයෙන් මේ කතාව ගලා යන්නෙ. Horror චිත්‍රපට වල බොහෝවිට දකින්න ලැබෙන උද්වේගකාරී බව මේක ඇතුලෙ දකින්න නැති තරම්. ඒ වෙනුවට චිත්‍රපටය පුරා තැවරෙන්නෙ පාලු, මූසල, ශෝකී ස්වරූපයක්. හෙමින් සීරුවේ භාවනාවකය සමවැදෙන ආකාරයෙන් බලා ඉන්න හැකි රූපරාමු අතරේ සියුම්ව භීතිය ඇඟට දැනෙන්න පටන්ගන්නව. සයිකඩෙලික ලෝකයක අතරමං වෙන ආකාරයෙන් මේ මායාමය බියකරු බව එක්ක හුදකලා වෙන්න පුලුවන්. 

බියකරු බව එක්ක Midsommar ජීවිතයේ වේදනාකාරී ස්වභාවය නිරූපණය කරනව. දෙමව්පියන්ගෙ මරණය එක්ක ලෝකයේ හුදකලා වෙන Dani ට ඉතිරි වෙන්නෙ ඇගේ පෙම්වතා පමණයි. ඇයට අවශ්‍යයි ඔහුගෙ ආදරය. නමුත් ඔහු කැමති ඇයව යම් දුරකින් තබාගන්න. මේ දුරස්ථ බව ඇයට විශාල පීඩනයක්.. ඇයට ඕන ඔහුත් සමීපයේ ඉඳන් ආදරය ලබන්න, ආදරය විඳින්න. නමුත් ඔහුගේ නොසැලකිලිමත් ස්වභාවය නිසා ඇයට ඉතිරි වන්නේ බලාපොරොත්තු කඩවීම පමණයි. (කොහොම වුණත් චිත්‍රපටයෙ අවසාන දර්ශනයෙන් මට සමාජ පීඩනය හමුවේ ප්‍රතිවීර ස්වභාවයෙන් නැගී සිට තමන්ට සිනාසුණ සමාජයට පෙරළා සිනාසුණු මිනිසා Joker සිහි වීම නම් වළක්වන්න බැරිවුණා)

Midsommar චිත්‍රපටයෙ Cinematography එක සැකයක් නැතුවම මෑතක දැක්ක හොඳම Cinematography එකක්. රූපරාමුවක Emphasize වෙන ප්‍රධාන object වලට අමතරව පසුබිමේ Objects පවා රංගනයක යෙදෙනව. එයින් මැවෙන රූපරාමුව පැතලි ස්වභාවයෙන් මිදුණු, යම් ගැඹුරක් සහිත එකක්. චිත්‍රපටයෙ සාර්ථකත්වයෙන් වැඩි ප්‍රමාණයක් මේ cinematography එක දරා ඉන්නව. චිත්‍රපටයෙ බහුලව භාවිත කරන ඇහැට ප්‍රිය සුදු පැහැයට හුරු වර්ණ රටාවත්, මධ්‍යතන යුගයට සමාන පසුබිමත් නිසා මේකෙ සයිකඩෙලික බව තවත් වැඩිවෙනව. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕන මේකෙ සංගීතය. ඒ Horror බව තවත් දෙගුණ තෙගුණ කරවන්න සමත් එකක්..!

ලොව පුරා ප්‍රේක්ෂක විචාරක දෙපාර්ශවයෙන්ම පැසසුමට ලක්වුණු චිත්‍රපටයක් Midsommar. කලින් කිව්ව වගේ මේක ඉවසිලිමත් අවධානයක් ඉල්ලා සිටින චිත්‍රපටයක්. දීර්ඝ මන්දගාමී ස්වභාවය ඇතුලෙ බියකරු බව නියමාකාරයෙන් අත්විඳින්න ඒ ඉවසිලිමත් බව අවශ්‍යයි. නමුත් වෙනස්ම ආකාරයේ Horror අත්දැකීමක් විඳගන්න කැමති කෙනෙකුට නම් මේක බොහොම අපූරුවට ගැළපේවි.