Thursday, November 25, 2021

A hidden life (2019)

"සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය. එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා, මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක. මරණය වැනි ගන’ඳුරු රුදුරු නිම්නය මැදින් ගියත්, ඔබ මා සමඟ බැවින්, මට කිසි බියක් නොවන්නේ ය."

(ගීතාවලිය 23: 1 - 4)
.
.

ඉතිහාසය නමැති පොතේ පිටු බොහෝ වෙලාවට පිරවෙන්නෙ ජයග්‍රාහකයන් ගේ නම්වලින්. නැත්නම් මහා ඛේදවාචක වලින්. දීර්ඝ කාලීන අඳුරු පරිච්ඡේදය වලින්. නමුත් මේ අඳුර ඇතුළේ තමන් විශ්වාස කරන ආලෝකය තුළම පැවතුණු, නපුරින් මුළු සමාජය වැහිල යද්දි යහපත් බවේ මුල් සිඳනොගත්තු කුඩා කුඩා තනි මිනිස් ජීවිත මේ ඉතිහාස පොතේ කතුවරුන්ට කවදාකවත් විෂය වුණේ නැහැ. ඒ ආලෝකයේ ජීවිත ගැන කොතැනකවත් මහාපරිමාණයෙන් සඳහනක් වෙන්නෙ නෑ. අද අපි අතරෙ යම් යහපත් කමක් ගැන අදහසක් රැඳිල තියනව නම් ඒ තමන්ගේ ජීවිතය කැපකරල ඒ යහපත වෙනුවෙන් පෙනීහිටි කුඩා හෝ මිනිස් සමූහයක් නිසාම බව අපිට බොහෝ වෙලාවට අමතකයි. සිනමාවේ ඇමරිකානු කවියා වෙන Terrence Malic තමන්ගේ A hidden life චිත්‍රපටයෙන් කරන්නෙ ඒ සැඟවුණු ජීවිත සොයාගෙන ගිහින් අනාවරණය කිරීමේ සුවිශේෂ කාර්‍ය.

දෙවන ලෝක යුද්ධය කියන්නෙ මෙන්න මේවගේ මිනිස් ඉතිහාසයේ ලියවුණු එක් අඳුරුතම සිදුවීම් මාලාවක්. විශේෂයෙන් යුරෝපයේ එය ලෙයින් නැහැවී ගිය කාල වකවානුවක්. Shindlers list වගේ මේ සිදුවීම් මුල්කරගෙන නිමැවුණු චිත්‍රපට නරඹා ඇත්නම් නාසිවාදී හමුදාව කොයිතරම් සැහැල්ලුවෙන් අහිංසක මිනිස්සුන් සමූහ වශයෙන් මරා දැම්මද, මිනිස් ජීවිතයක වටිනාකම කොයිතරම් හැල්ලුවට ලක්වුණාද කියන කාරණය දැක්ගන්න ලැබේවි. මේ සමයේදි ජර්මන් ඒකාධිපති හි'ලර් තමන්ගේ රටෙන් සහ තමාට හිතවාදි අනෙක් යුරෝපියානු රටවලින් නාසි හමුදාවට සෙබලුන් එක්රැස් කරන්න පටන්ගෙන තිබුණා. හමුදා සෙබලුන් තෝරාගත්තෙ සාමාන්‍ය ජනතාව අතරින්මයි. ටික දෙනෙක් පමණක් මේ යුද්ධයට තමන්ට දායක විය නොහැකි බව කියමින් මේ කැඳවීමට පිටුපෑව. A hidden life ඒ ආකාරයට නොමිනිස් යුද්ධයකට සහභාගි වීම ප්‍රතික්ෂේප කළ මිනිසෙකුගේ කතාවක්.

 ෆ්‍රාන්ස් සහ ඔහුගේ බිරිඳ ෆ්‍රාන්සෙස්කා ඔස්ට්‍රියාවේ ඇල්ප්ස් කඳුකරය පසුබිම් කරගත් ගමක ගොවිතැන් කරමින් ජීවිතේ ගත කළ සාමාන්‍ය යුවළක්. ඔවුන් අවට තිබෙන මේ කඳුකර පරිසරයත් ඉතාම සුන්දර එකක්. දෙදෙනාගේ ජීවිත ගතවුණේත් ඒ වගේම සුන්දරව ආදරයෙන් පිරී ඉතිරී යමින්. පහුකාලීනව දියණියන් තුන්දෙනෙක්ම මේ ආදරණීය පුංචි පවුලට එකතු වෙනව. දෙවනි ලෝක යුද්ධය ආරම්භ වෙන්නෙ ඔය අතර. ෆ්‍රාන්ස්ට අනිවාර්ය යුධ පුහුණුවකට ජර්මන් හමුදාවෙන් කැඳවීමක් ලැබෙනව. ටික කලකට හරි පවුලෙන් වෙන්වීම දුකක් වුණත් ඒ දුක ඉවසාගෙන ෆ්‍රාන්ස් මාස කිහිපයක් යුධ පුහුණුවට පිටත් වෙනව. අපසු ගමට එන ෆ්‍රාන්ස්ට දෙවනි වර කැඳවිම ලැබෙන්නෙ හමුදාසේවයට එක්වෙන්න නියම කරමින්. නමුත් මෙය බාරගන්න ෆ්‍රාන්ස් සූදානම් නැහැ. ඔහු භක්තිමත් කිතුණුවෙක්. අහිංසක මිනිසුන් මරා දමමින් ගෙනයන යුද්ධයකට දායක වෙනව කියන්නෙ ඔහුට අනුව තමන් විශ්වාස කරන වටිනාකම් වලට එරෙහිව යාමක්. මිනීමැරු ආඥාදායකයෙක් වෙනුවෙන් පෙනී සිටීම, ඔහු තම නායකයා විදිහට පිලිගැනීම ඔහුට කිසිසේත්ම කළ නොහැක්කක්. තමන්ගේ ආත්මය පාවාදෙමින් නාසි හමුදාවට එක්වීම ප්‍රතික්ෂේප කරන ඔහුට මොකක්ද වෙන්නෙ?

මෙතනදි ෆ්‍රාන්ස්ටත් ඔහුගෙ බිරිඳ වගේම දරුවන්ටත් සමාජයෙන් එල්ලවෙන පීඩනය බොහෝම තදබල එකක්. දහස් ගණනක් මිනිස්සු ජීවිතය පරදුවට තබල රටවෙනුවෙන් යුදවදින්න පිටවී යන අතරෙ ෆ්‍රාන්ස් එය නොකිරීම බයගුළු කමක් විදිහටයි ඔවුන් හඳුන්වන්නෙ. උපන් රටට ණයගැති දේශද්‍රෝහින් විදිහට හංවඩු ගැහෙන ෆ්‍රාන්ස්ටත් ඔහුගෙ පවුලටත් සිදුවෙන්නෙ ගමේ මිනිස්සුන්ගෙන් නොයෙක් හිරිහැර, අපහාස, උපහාස වලට ලක්වෙන්න. තමන් මැදිවෙලා ඉන්න මේ ගැටලුවට විසඳුමක් පතාගෙන ෆ්‍රාන්ස් යන්නෙ පල්ලියට. නමුත් එතනදිත් ඔහුට සහනයක් ලැබෙන්නෙ නැහැ. පල්ලිය පවා තියෙන්නෙ දේශපාලකයන්ගෙ බලයට අභියෝග නොකරන පසුගාමී තැනක. භක්තිමත් කිතුණුවෙක් සහ කිතුණු දහමේ වටිනාකම් බොහෝම තදින් තමන්ගේ ජීවිතේ පවත්වාගන්නා මිනිසෙක් වුණු ෆ්‍රාන්ස් මෙතනදි පත්වෙන අසරණ භාවය ගැන අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය නැහැ. මොන දේ වුණත් තමන් ගත් තීරණයේ නොසැලී ඉන්න ඔහු තීරණය කරන්නෙ මෙවැනි තත්ත්වයක් යටතෙ. 

A hidden life පැය තුනකට ආසන්න ධාවන කාලයක් තියන සහ බොහෝම ඉවසිලිවන්ත ව නරඹන්න ඕන සිනමාපටයක් බව කියන්නම්. කඳුවැටි, තැනිතලාබිම්, ගොවිපළ සත්තු, සීසෑම්, තණකොළ කැපීම්, මෙවැනි දර්ශන අධ්‍යක්ෂවරයා ඉතාම සංකේතාත්මකව චිත්‍රපටය ඇතුළෙ භාවිත කරල තියනව. Terrence Malic ගේ සිනමා භාෂාව මේවගේ සාහිත්‍යමය ගුණයෙන් පිරුණු එකක්. රූප සෞන්දර්ය උතුරායන දර්ශන තල,  භාවනාත්මකම විඳගතයුතු මන්දගාමී බව, මේවා Terrence Malic ගේ සිනමා භාවිතාවේ අනන්‍ය ලක්ෂණ.  A hidden life ඒ සියළු ගුණාංගවලින් පොහොසත්. 

A hidden life චිත්‍රපටයෙ කියවෙන්නෙ සැබෑ ජීවිත කතාපුවතක්. Franz Jägerstätter ඔහු සැබැවින්ම මෙලොව ජීවත්වුණු මිනිසෙක්. වර්ගවාදයත්, මිනිසත්කමට එරෙහි ප්‍රචණ්ඩත්වයත් ප්‍රතික්ෂේප කළ තැනැත්තෙක්. ආයුධ අතටගත් ඕනෑම කෙනෙකුට වීරයෙක් වෙන්න පුලුවන්. නැත්නම් තමන් වීරයෙක් බව තමන්ටම හිතාගන්න පුලුවන්. නමුත් ලෝකයෙන් මොන බලපෑම එල්ලවුණත් තමන්ගේ හදවතට එකඟව ජීවත්වීම කියන්නෙ ඊට වඩා ටිකක් අමාරු වැඩක්. බොහෝ වෙලාවට ටික දෙනෙක් විතරක් ඇතුළුවෙන පටු දොරටුවක්. වීරත්වය කියන්නෙ අන්න ඒ යහපත් බවේ කුරුස ගමනට මිස වෙන යමක් නොවෙන බවයි මේ සැඟවුණු ජීවිත රහසේම අපිට කියාදෙන්නෙ.


A hidden life 

Directed by
Terrence Malick

Written by
Terrence Malick

Starring
August Diehl
Valerie Pachner
Matthias Schoenaerts

Cinematography
Jörg Widmer

Edited by
Rehman Nizar Ali
Joe Gleason
Sebastian Jones

Music by
James Newton Howard



Wednesday, November 24, 2021

I want to be a witch.

මට ඕන මායාකාරියක් වෙන්න
දිගම දිග කැත නහයක් තියන...
පුංචි උන් බයකරමින්
"එයා මහ නපුරියක්" කියමින්
නෙක කතන්දර ගොතනා
ලෝකයෙන් නොපෙනී යන්න...

කළු කබායක් දවටන්
ඉන්ද්‍රජාලික කොස්සේ නැගිලා
වළාකුල් වලට එපිටින් පියාඹා
හයියෙන් හිනාවෙන්න...
මහ නපුරු හැඩැති 
මගෙ පුංචි ගෙපැලේ ඉඳගෙන
නෙලාගෙන ඇවිත් වනයෙ ඵලවැල
රසකර කන්න...

අඳුරු වනපෙතේ ගැඹුරේ
කණමැදිරි මාළිගාවේ තනිවෙන්න..
දුර අහසෙ දිළිසෙන තරුවලට
මගෙ කඳුළු නොපෙන්නා ඉන්න...

කඳු මත්තෙ නැවතිලා
මුදුනතේ සනීපෙට නිදියන්න..
අරුමැසි කැලෑවෙන් එපිට
රෑ තිස්සෙ ඇවිදලා හොඳට
රොබින් කුරුලු පිහාටු ඇහිඳලා
වසන්ත කබායක් මහගන්න..
මගේ හැම රහසක්ම
ඒ ඇතුළෙ හංගන්න..

මට ඕන මායාකාරියක් වෙන්න
පොත්වල ඉන්නවා වගේ
බොහෝම නපුරුවට..හරි අමුතුවට...
ඉතිහාසයක අලුතෙන් ලියවෙන්න..

ඉන්ද්‍රජාලික පළිඟු බෝලයෙන්
ඔබේ රුව දැකගන්න..
මේ ලෝකෙ කොහේ හරි තැනක 
ඔබ හොඳින් බව දැනගන්න..
ඉන්පස්සෙ විලෝ ගහක් වගෙ වැලපෙන්න..
ගඟක් වගේ හැමදේම අමතක කර
ආයෙමත් ගලාගෙන යන්න..

මට ඕන අන්න එහෙම
මායාකාරියක් වෙන්න..
.
.

Translated from a poem written by Rochelle Fernando



Tuesday, November 23, 2021

The Red Dress

මම හැම වෙලාවකම හිතුවා
මම හැම වෙලාවකම කිව්වා
වයසින් වැඩිලා මම
නිදහස් කෙනෙකු වුණ දවසට
මං ළඟ තියේවි ගවුමක් 
රතුම රතු පාට..
කවරදාකවත් කිසිකෙනෙක්
නොදුටුව තරම් ලස්සන..

වසන්තයෙ දවස් ආවම
බොහෝම හිමින් සැනසිල්ලේ අපි
ඇවිදින්න යන ගමන්වලදී
ඇඳන් ආවකි ඒ ගවුම මට...
හිඳීවි කෙනෙක් අතරමඟ
මුළු ලෝකයක් අමතක කර
මා දිහා පමණක්ම බලන...

එඩිතර කෙනෙක් විය යුතුයි ඔහු
ඇස් ඇතුළෙ තාරකා දිළිසෙන,
හිරුරැස් වැටිලා හිස මත්තේ 
ඝන හිසකෙස් බබළන,
උණුහුම් තොල් පෙති අගින්
කිසිදාක බොරු වචන නොකියන....

මම සිහින මැව්වා අපි ගැන
ගමේම ඉන්න ලස්සනම හොඳම
ගෞරවාන්විතම යුවළ විදිහට..
වයසින් වැඩුණු ගැහැනියක් දැන් මම
ඔව් මං ළඟ තියනවා ඒ මෝඩ ගවුම...
.
.
.

Dorothy Parker ගේ පැදියක් ඇසුරින්



Monday, November 22, 2021

The Little Boy and the Old Man

"සමහර වෙලාවට
මම මගෙ හැන්ද වට්ටගන්නවා"
කිව්වා පුංචි ළමයා...

"මමත් එහෙම කරනවා"
කිව්වා වයසක මනුස්සයා...

"සමහර වෙලාවට
මම මගෙ කලිසම තෙමාගන්නවා".
රහසින් කෙඳිරුවා පුංචි ළමයා..

"මමත් එහෙම කරනවා"
හිනාවුණා වයසක මනුස්සයා...

"මම නිතරම අඬනවා"
කිව්වා පුංචි ළමයා...

"මමත් එහෙම කරනවා"
ඔලුව වැනුවා වයසක මනුස්සයා...

"නරකම දේ තමා"
කිව්වා පුංචි ළමයා..
"වැඩිහිටි අය කවුරුත්
මාව ගණනකට නොගන්න එක"

"තේරුම්ගන්න පුලුවන් මට
ඔයා කියන දෙය"
කිව්වා වයසක මනුස්සයා
ඒ පුංචි ළමයට...
.
.
.

Shel Silverstein ගේ පැදියක් අසුරෙන්..



Wednesday, November 17, 2021

Chungking express (1994)

"අපි හැම කෙනෙක්ම හැමවෙලාවෙම ආදරයෙදි එකවගේ වාසනාවන්ත වෙන්නෙ නැහැ. මට එහෙම වුණාම මම කරන්නෙ ඇවිදින්න යන එක. ශරීරයෙ තියන වතුර සෑහෙන ප්‍රමාණයක් දහදිය වෙලා පිටවෙලා යනව එතකොට. කඳුළු බවට හැරවෙන්න ටිකක් වත් ඉතුරු වෙන්නෙ නෑ"

- Chungking Express 
.
.
.

හැම ආදර කතාවක්ම සුවිශේෂ යි. ඊටම අනන්‍යයි. සමහර කතන්දර ටිකක් වැඩිපුර අනන්‍යයි. සමහරු ආදරේ නිසා කවදාවත් කෙනෙකුට හිතාගන්න බැරි දේවල් අනෙකා වෙනුවෙන් කරන්න පෙළඹෙනව. ආදරේ නිසා ආදරෙයි කියල වචනෙන් නොකියා අනෙකා වෙනුවෙන් නිහඬව තමන්ගේ ජීවිතේ කොටසක් කැප කරනව. හැබැයි ඒ අර සින්දුවක තියනව වගේ සඳ එළිය සේ පිවිතුරු ආදරයක් බව නම් කියන්න බැහැ. ඒක ඇතුළෙ තියනව තමන් ආදරය කරන කෙනා වෙනත් විරුද්ධ ලිංගිකයෙක් එක්ක ලඟින් ඉන්නකොට ඇතිවෙන සියුම් ඊර්ෂ්‍යාව. ඒ වෙනුවෙන් ඒක පාර්ශ්වීයව විඳවීම. නමුත් නිහඬවම ඉඳගෙන අනෙකාගෙ සතුට වෙනුවෙන් කරන පොඩි දේවල් සහ දේවල්වලින් අනික් මනුස්සය ලබන සතුට දිහා බලන් ඉඳීම තමා මේ ආදරයේ තියන සතුට. ඒ ප්‍රේම කතා සුවිශේෂ වෙන්නෙ මේ හැම දෙයක්ම නිසා.

Chunking express කියන්නෙ ඒ වගේ කතන්දර දෙකක්. හැබැයි මේ කතා එකිනෙකට සම්බන්ධ බවක් පේන්නෙ නෑ. Qiwu හොංකොං නගරෙ තරුණ පොලිස් නිළධාරියෙක්. 1994 අවුරුද්දේ හරියටම අප්‍රියෙල් 1 වෙනිදා මෝඩයන්ගෙ දිනයයි කියන දවසෙදි එයා ගෙ පෙම්වතී May එයාව අතහැර යනව. ඉන්පස්සෙ දිගින් දිගටම Qiwu කරන්නෙ May ට කතාකරන්න උත්සාහ කරන එක. ඒ හැම උත්සාහයක්ම අසාර්ථක වෙන තැන Qiwu තීරණය කරනව මැයි පලවෙනිද වෙනකම් හරියට මාසයක් May ට කතා කරන්න උත්සාහ කරන්න. එතකම් එයා වෙන කිසිම ගෑනුළමයෙක් දිහා බලන්නෙවත් නෑ කියල තමාටම එයා පොරොන්දු වෙනව. May ආසම කෑම හොයාගෙන ගිහින් ඒව කනබොන Qiwu ඈ ගැන හිතමින් උත්සාහය අතනොහැර මාසයක් ගත කරනව. ඒත් May ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබෙන්නෙ නෑ. අවසානෙ හිතේ දුක නිවාගන්න අවන්හලක මධුබඳුන් අතරේ වෙරිමතින් කාලය ගෙවාදමන Qiwu හිතනව අවන්හල් දොරෙන් එන මුල්ම ගැහැනියට තමන් ආදරය කරන්න පටන් ගන්න බව. ඒ පළමුවෙනි කතාව.

Qiwu නිතරම May ට  ඇමතුම් ගන්න දුරකතන කුටිය ලඟ කෙටි කෑම කඩයක් තියනව. Qiwu ගෙ මේ උත්සාහය කඩේ අයිතිකාර මනුස්සය හැමදාම බලාගෙන උන්නෙ. ඔන්න ඕක අතඇරල වෙන කෙනෙක් හොයාගන්න කියල එයා නිතර Qiwu ට උපදෙස් දුන්න. මේ කෑම කඩේට අලුතෙන් වැඩට එනව තවත් ගෑනුලමයෙක්. එයා Faye. එයා කොයිවෙලෙත් සද්දෙට සින්දු අහන හරි සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් වගෙයි පේන්නෙ. කඩේ ගාවම රාජකාරි කරන අංක 663 තරුණ පොලිස් නිලධාරීයාව Faye ට දකින්න ලැබෙනව. Qiwu වගේම 663 ත් පරාජිත ප්‍රේමයක අමිහිරි මතක එක්ක කාලය ගතකරමින් එන්න කෙනෙක්. ඔහු හොඳ කඩවසම් තරුණයෙක්. Faye ට මේ පොලිස්කාර තරුණය ගැන පිළිබඳ හිතක් පහල වෙමින් තියෙන්නෙ. නමුත් ඈ ඒ බව කියන්නෙ නෑ. දවසක් අහම්බෙන් වගේ මේ තරුණයගෙ ගෙදර යතුරක් Faye ට හම්බ වෙනව. එතනින් මේ අප්‍රකාශිත ප්‍රේමය වෙනස්ම මානයකට පෙරළෙනව. ඔය දෙවනි කතාව. 

Faye තමා මේ කතාවෙ ඉන්න ආකර්ෂණීයම චරිතෙ. ඈ හරි අපූරු උණුහුම් දඟකාර චරිතයක්. ඈ තුළ පිරිලා තියෙන්නෙ මතක් වෙනකොටත් පපුව පිරිල යන ආදරණීය බවක්. මම හිතන්නෙ චිත්‍රපටය බලපු කෙනෙකුට නම් ඈ  අමතක නොවෙන කෙනෙක්.  Faye ගේ හැබෑ  ජීවිතේ නමත් මේ නමමයි. Faye හොංකොං වල සුප්‍රසිද්ධ පොප් ගායිකාවක්. චිත්‍රපටයෙ එන, cranberries සංගීත කණ්ඩායමේ Dreams ගීය ගායනා කරන්නෙත් Faye ම යි. 

Chungking Express අද්‍යක්ෂණය කරන්නෙ හොංකොං ජාතික සුප්‍රසිද්ධ සිනමාකරු Wong Kar-wai. බොහෝම කෙටි කාලෙකින් අඩු පරිශ්‍රමයකින් නිර්මාණය වුණු චිත්‍රපටයක් බව තමා අහන්න ලැබෙන්නෙ. Chungking Express කතා තුනකින් නිර්මාණය කරන්න Wong Kar-wai කල්පනා කලත් තුන්වෙනි කොටස වෙනම චිත්‍රපටයක් විදිහට (Fallen Angels) ඔහු නිර්මාණය කරනව. 

හොං කොං නගරය හඳුන්වන්නෙ ලෝකයෙ වැඩිම ජනගහනයක් වෙසෙන නගරයක් විදිහට. නොයෙක් රටවලින් පැමිණි සංක්‍රමණිකයන්, ගුවන් ගමන් අතර පැමිණෙන සංචාරකයන් මේ ආදි වශයෙන් නොයෙක් ආකාරයෙන් එක් රැස් වුණු මහා ජන ගංගාවක් හොං කොං නමින් හඳුන්වන්නෙ. Chungking Express කියන්නෙ මහ මාර්ග වල තදබද වෙන, කෙටි කෑම කඩ වලින් ආහාර ගන්න, ඉඩ පහසුකම් අඩු නවාතැන් වල ලැගුම් ගෙන ඉන්න, තාවකාලිකව එන යන මිනිස් සමූහයක් අතර ඇතිවෙන බිඳෙන මිනිස් සම්බන්ධතා චිත්‍රනය කරන කැන්වස් තලයක්. Faye, Qiwu, අංක 663.. මේ අය හරහා තමයි Wong kar-wai ජීවිතයේ නොයෙක් හැඩතල මේ කැන්වසයෙ සිතුවම් කරන්නෙ. මේ කතාවල එකට එකක් සම්බන්ධ වෙන බවක් හෝ යම් නිශ්චිත අරමුණක් වෙනුවෙන් ගලා යන ස්වරූපයක් දකින්න ලැබෙන්නෙ නැහැ. ඒත් හිතල බැලුවොත් ජීවිතයත් ඊට වඩා ලොකු වෙනසක් නැහැ නේ. අවසානෙ ලඟාවෙන යම් තැනකට වඩා මේ ගමන ඇතුලෙ අපි ලබන විඳීම් විඳවීම්මයි ජීවිතේ වෙන්නෙ. Chungking Express කියන්නෙත් අන්න එහෙම ගමනක්. මෙන්න මෙහෙමයි කියල වචනෙන් විස්තර කරන්න අමාරු අවිනිශ්චිත ප්‍රේම සංචාරයක්. 



Tuesday, November 16, 2021

Van Gogh cut off his ear

දවසක්දා වෑන්ගෝ
කපාගෙන තමන්ගෙම කන
දුන්නා එක ගණිකාවකට..
දැකපු ගමන් ඈ
මේ අරුම පුදුම තෑග්ග
වීසි කර දැමුවා
බොහෝම පිළිකුළෙන් ඈතට..
වෑන්ගෝ මිත්‍රයා,
ගණිකාවන්ට ඕන නෑ 
කන්පෙති
ඒ අයට ඕනෑ 
මුදල්..
තේරුණේ නෑ උඹට
කවදාවත්ම
මේ දේවල් හරියට...
අන්න ඒකයි මිත්‍රයා
අතිශ්‍රේෂ්ඨ කලාකාරයෙක් 
වෙන්නෙ උඹ...
.
.
.

Charles Bukowski ගේ පැදියක් ඇසුරෙනි



Friday, November 12, 2021

Bluebird

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් ඉඩ දෙන්නෙ නෑ මම ඌට
මම කියනවා
"ඔහොම ඉඳපන්,
මම ඉඩ දෙන්නෙ නෑ කාටවත්
දැක ගන්න උඹ ඔතන බව."

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් මම 
නෑවී යනකම් හලනවා ඌට
විස්කි වතුර..
වැහෙනකම් උරනවා
සිගරැට් දුම...
ගණිකාවො තැබෑරුම්කාරයො
කඩේ පොළේ අනික් මිනිස්සු
කවුරුවත් දන්නෙ නෑ
ඌ එතන ඉන්නා බව...

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් ඉඩ දෙන්නෙ නෑ මම ඌට
මම කියනවා
"හැංගිලා ඉඳපන් ඔහොම.
උඹ හදන්නේ මාව 
පිස්සෙක් කරන්නද?
මගේ වැඩ සේරම
අවුල් කරලාදාන්න ද?
හොඳ හැටි විකිණෙනවා
මගේ පොත් යුරෝපයේ.
උඹ හදන්නේ ඒකත් නැති කරන්න ද?

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් මම කල්පනාකාරියි හොඳ හැටි..
ඉඩ දෙනවා මම ඌට
සමහරදාට මහ රෑ
හැමකෙනෙක්ම
නිදා ඉන්නා වෙලාවට...
"මම දන්නවා
ඔතන ඉන්නා වග.
ඒ නිසා මොන දේටවත්
දුක් වෙන්න එපා උඹ.."
කියමින් එහෙම
අයෙමත් තියනවා 
හිටි තැනින් මම ඌව...
කුරුල්ලා යන්තමට
සින්දුවක් මුමුණනවා එතකොට...
ඉඩ දෙන්නෙ නෑ මම
මැරෙන්න ඌට..
ඉන්පස්සෙ අපි 
යනවා නින්දට
අපේ රහස් ගිවිසුම එක්කම..
ඒ ටිකම ඇති
වැඩුණු මිනිහෙක් අඬවන්න..
ඒත් මම අඬන්නෙ නෑ,
ඔබත් අඬන්නෙ නෑ නේද?
.
.
.
Charles Bukowski ගේ Bluebird පැදිය ඇසුරෙන් ...