Friday, November 12, 2021

Bluebird

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් ඉඩ දෙන්නෙ නෑ මම ඌට
මම කියනවා
"ඔහොම ඉඳපන්,
මම ඉඩ දෙන්නෙ නෑ කාටවත්
දැක ගන්න උඹ ඔතන බව."

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් මම 
නෑවී යනකම් හලනවා ඌට
විස්කි වතුර..
වැහෙනකම් උරනවා
සිගරැට් දුම...
ගණිකාවො තැබෑරුම්කාරයො
කඩේ පොළේ අනික් මිනිස්සු
කවුරුවත් දන්නෙ නෑ
ඌ එතන ඉන්නා බව...

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් ඉඩ දෙන්නෙ නෑ මම ඌට
මම කියනවා
"හැංගිලා ඉඳපන් ඔහොම.
උඹ හදන්නේ මාව 
පිස්සෙක් කරන්නද?
මගේ වැඩ සේරම
අවුල් කරලාදාන්න ද?
හොඳ හැටි විකිණෙනවා
මගේ පොත් යුරෝපයේ.
උඹ හදන්නේ ඒකත් නැති කරන්න ද?

නිල් කුරුල්ලෙක් ඉන්නවා මගෙ හදවතේ
එළියට එන්න වෙරදරමින්
ඒත් මම කල්පනාකාරියි හොඳ හැටි..
ඉඩ දෙනවා මම ඌට
සමහරදාට මහ රෑ
හැමකෙනෙක්ම
නිදා ඉන්නා වෙලාවට...
"මම දන්නවා
ඔතන ඉන්නා වග.
ඒ නිසා මොන දේටවත්
දුක් වෙන්න එපා උඹ.."
කියමින් එහෙම
අයෙමත් තියනවා 
හිටි තැනින් මම ඌව...
කුරුල්ලා යන්තමට
සින්දුවක් මුමුණනවා එතකොට...
ඉඩ දෙන්නෙ නෑ මම
මැරෙන්න ඌට..
ඉන්පස්සෙ අපි 
යනවා නින්දට
අපේ රහස් ගිවිසුම එක්කම..
ඒ ටිකම ඇති
වැඩුණු මිනිහෙක් අඬවන්න..
ඒත් මම අඬන්නෙ නෑ,
ඔබත් අඬන්නෙ නෑ නේද?
.
.
.
Charles Bukowski ගේ Bluebird පැදිය ඇසුරෙන් ...



No comments:

Post a Comment