Monday, June 23, 2025

සින්දු දෙකක් ගැන යමක්

 මේ දවස්වල සෑහෙන දෙනා කතාබහ කරන මම කැමති සින්දු දෙකක් තියනව සනුකගේ "ඉතින් මම ඉන්නවා" සහ ගයාන්ගෙ " කවුරුත් ලොකු නෑ". මියුසික් පැත්තෙන් සනුකගෙ වැඩේ පොඩ්ඩක් ඉස්සරහින් තිබ්බත් මං personally මේ සින්දු දෙකටම බොහොම කැමතියි. මේ සින්දු දෙකම අරගෙන බැලුවොත් ප්‍රධානවශයෙන් ම චරිත දෙකක ආත්ම කථනයන් විදිහටයි ලියවිලා තියෙන්නෙ. ඒ කියන්නෙ මේ දෙන්නම කියන්නෙ එයාලගෙ ජිවිතේ ගැන තමන්ම ප්‍රකාශ කරන ආකාරයට.


ගයාන්ගෙ සින්දුවෙ නම් මේ චරිතයට ඉන්න සහ හිටපු යාලුවො, ප්‍රේම සම්බන්ධතා ගැන ලියවිලා තියනව. එයා කියනව එයා කාටවත් වදයක් වෙන්නෑ, කවුරුත් එයාට ලොකුත් නෑ, තමන්ගෙ පාඩුවෙ සින්දුවක් කියන් ආතල් එකෙ ඉන්නව කියල. ඒක වරදක් නෑ නෙ. එහෙම ඉන්න පුලුවන් නම් හොඳයි තමා.


සනුක ගෙ සින්දුවෙ තියෙන්නෙ ඊට හාත්පසින් වෙනස් වයිබ් එකක්. එයා වෙනත් කිසි දෙයක් කියන්නෙ නෑ. තමන්ට වුණු එක අත්දැකීමක් ගැනයි එයා කියන්නෙ. එතන ඉන්නවා "නුඹ" කියල හඳුන්වන එක් විශේෂ කෙනෙක්. එයාගෙ සින්දුව ලියවෙන්නෙ මේ "නුඹ" කියන චරිතය කේන්ද්‍ර කරගෙන. "කුණාටුව" "මාරුතේ" වගේ යෙදුම්වලින් මේ සින්දුවට අදාළ කතාවේ අවශේෂ චරිත ටිකක් සාහිත්‍යාත්මකව නිරූපණය වෙනවා.


වීඩියො එක පැත්තකින් තියලා lyrics විතරක් කියවද්දි සනුකගෙ සින්දුවේ ඉන්නව ආදරයක් අහිමි වීමේ විරහ දුක ජීවිතේ පුරා විඳින මනුස්සයෙක්. 


සදාතන පෙම් කතා අතරේ

අපේ පෙම මැකී යයි කතරේ

නුඹේ සුවඳින් පිරි හසරේ

හමා එමි හැම භවේ සසරේ


අනේ මං ආදරෙන් ඇදහූ

රුවින් රුදු වේදනා කැඳවූ...


සදාතන ප්‍රේමයක් කියලා යමක් ලෝකෙ තියනවද කියන දේ ප්‍රශ්නාර්ථයක් වුණත් මේ කියන්නෙ කිසිමාකාර කූටප්‍රාප්තියකට ලඟා නොවී අනපේක්ෂිතව නිමා කරන්න සිද්ද වෙච්ච ප්‍රේමයක් ගැන. ඒ නිසා ඔහු විඳින රිදුම් පරිමාණය ගැන.


නමුත් ගයාන් ගෙ කතාව මේකෙ සම්පූර්ණ අනික් පැත්ත. එයා කියන්නෙ එයා බඳින්නෙ නෑ ළමයි හදන්නෑ, එයාගෙ නමට ළමයි කොහෙ ඉන්නවද දන්නෑ, අද ඉන්න අය හෙට ළඟ නෑ වගෙ කතාවක්. බැලු බැල්මට එයා ජීවිතේ බොහොම සැහැල්ලුවෙන් බාරගන්න කෙනෙක්. එයා තමන්ගෙ ජීවිතේ ගැන මෙහෙම කියද්දි අපිවත් ඒ පැවැත්මට ආසක්ත වෙනවා. එත් එයාට ජීවිතේ මොකක්ම හරි දුකක් බරක් පතලක් නොදැනෙනව වෙන්න බෑ. මොකද එයා මනුස්සයෙක් නෙ. හැබැයි එයා දුමක් ඇදලා, යාලුවො එක්ක ෂොට් එකක් දාලා, සමාජෙට බැහැලා ඉන්න ජීවිත රටාව ඒ දුක තුනී කරන coping mechanism එකක් විදිහට වැඩ කරනවා කියල මම හිතනව. ගයාන් මේ සින්දුව හදල තියන regge පැත්තට බර style එකත් එයාගෙ පැවැත්මෙ තියන සැහැල්ලු බව දැනෙනව.


අනික් අතින් සනුකගේ සින්දුව ඇතුළේ ඉන්න මනුස්සයාගෙ කතාව ඇහුවාම හිතේ මැවෙන්නේ අර තරම් වැඩි සමාජ ඇසුරකට යන්නෙ නැති, නිහඬ සහ දේවල් ගැන ටිකක් වැඩිපුර සංවේදී වෙන, ටිකක් වැඩිපුර හිතන කෙනෙකුව. මොකද ආදරයක් අහිමිවීම කියන අත්දැකීම එයා බාර ගන්නෙ බොහොම බරසාර විදිහට. එයා ඒ ගැන කියන්න භාවිත කරල තියන භාෂාවත් ව්‍යංගාර්ථ ගොඩක් සැඟවුණු සාහිත්‍යමය එකක්. සනුක මේකට දාල තියන ඉන්දියානු රාගධාරී සංගීතයට බර මෙලඩි එකෙනුත් ඒ සංවේගදායක හැඟීම තව තීව්‍ර කරවනවා. එයා කෙනෙකුට මුළු හදවතින් ම, අවංකව ආදරේ කරන්න ඇති. මොකක් හරි හේතුවක් නිසා එයා වෙනත් කෙනෙකු එක්ක විවාහ වෙලා මේ තරුණයාව හැරදමා යන්න ඇති. ඒ අත්දැකීම නිසා මේ සින්දු ඉන්න මනුස්සයා සැපට දුක්විඳිනවා. දවසක සමහර විට මේ මනුස්සයා වෙන කෙනෙකුට ආදරේ කරලා විවාහ වේවි. ඒත් ජීවිතේ තියන තුරු අර මුල් පෙම ගැන මතකය හදේ දරා ගෙන සහ ඇයගෙන් ඈත්ව ඉන්න ඔහු තීරණේ කරනවා. "සඳේ මම ඉන්නවා, නුඹේ හඬ නෑසෙනා මානේ".


යම් කෙනෙක් හින්දා නැත්නම් යම් දෙයක් නිසා අපිට කවද හරි දුකක් දැනෙන්නේ ඒ පුද්ගලයා හෝ ඒ දේ ගැන මොකක් හරි වටිනා කමක් අපිට තිබිලා තියන හින්දා. මොකද අපිට වටින්නැති කෙනෙක් ගැන දුකක් දැනෙන්න හේතුවක් නෑ නෙ. ආදරයක් නිසා තදබල දුකක් දැනෙනව නම් කෙනෙකුට ඒ ආදරේ ජීවිතේ ඇතුලෙ ගැඹුරු තැනකට වැදිලා තියෙන්න ඕන. ආදරේ සහ දුක අතර තියෙන්නෙ එහෙම බැලුවම අනුලෝම සහසම්බන්ධතාවයක්.


මිනිස්සු මේ දුක බාරගන්න විදිහ වෙනස්. දුකත් එක්ක ආපහු recover වෙන විදිහ වෙනස්. මේ සින්දු දෙක දිහා සංසන්දනාත්මව බැලුවාම පේන්නෙ වෙනස් ජීවිත මාර්ග දෙකක ඉන්න පිරිමි දෙන්නෙක්. ජීවිතේ ප්‍රශ්න එක්ක, දුක එක්ක මේ දෙන්නා ගනුදෙනු කරන්නෙ සම්පූර්ණ වෙනස් විදි දෙකකට. ඒ මේ දෙන්නා ජීවිතේ ඇතුළේ පුරුදු වෙලා තියන හැටියට. සනුක ගෙ සින්දුවෙ ඉන්න අතිසංවේදී සීරියස් මනුස්සයා සහ ගයාන් ගෙ සින්දුවෙ වගේ චිල් එකේ ඉන්න ආතල් මනුස්සයා කියන මේ දෙන්න බැලුබැල්මට අන්ත දෙකක ඉන්න චරිත දෙකක් වුණත් අඩුවැඩි වශයෙන් අපි හැමෝම ඇතුළේ මේ දෙන්නම ඉන්නව. ජීවිතේට යම් ගැඹුරක් අර්ථයක් අවශ්‍ය වුණත් හැම තිස්සේම පමණට වඩා හිතන්න ගියොත් ඒ ජීවිතේ සෑහෙන පීඩාකාරි එකක් බවට පත්වෙනව, අර සැහැල්ලුව නිදහසත් අපිට ඕන වෙන්නෙ ඒ හින්ද. මොනාවුණත්, ගොඩක් වෙලාවට මෑත කාලීනව හැදෙන සින්දු වලට ඒ තරම් ලොකු කැමත්තක් ඇති නොවුණත් මේ සින්දු දෙක නම් ආයෙ ආයෙම වුණත් අහන්න හිතෙන මට්ටමක තියන බව කියන්න ඕන.




Saturday, June 21, 2025

ඇමරිකානු විරාගය - Detachment (2011)

 මාටින් වික්‍රමසිංහ මහත්මයා විරාගය නවකතාව රචනා කරන්නේ අරවින්ද ජයසේන නම් චරිතය මූලික කරගෙන. අරවින්ද බාහිර ලෝකයට සම්බන්ධ දේවල් වලට ඒ තරම් උනන්දු නැති කෙනෙක්. තමන්ගේ ඇතුළු ආත්මයටම බර වුණු හිතක් තියෙන නිහඬ හුදෙකලා දිවිපෙවෙතක් ඇති අමුතු චරිතයක්. අරවින්ද කියන නමම ඔහුගේ පැවැත්ම ගැන ප්‍රබලව සංකේතවත් කරනවා. අරවින්ද කියන්නේ නෙළුමට, නෙළුම මඩෙන් ඉපදුණත් මඩෙන් සාරය උරාගෙන මඩේ නොගෑවී සුවඳම පතුරුවනවා මිස තමන් දූෂිත බවට පත් වෙන්නෙ නෑ. සමානකම් වගේම අසමාන වෙන තැන් තිබුණත්, අරවින්ද වැනි විරාගික තරුණයෙක් වෙන Henry Barthes නම් චරිතය මුල් කරගෙනයි 2011 අවුරුද්දේ Detachment චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. අරවින්ද ටත් හෙන්රි බාත් ටත් පොදු සාධකයක් තිබුණා, ඒ තමා Detachment. 


Detachment කියන්නේ වචනාර්ථයෙන් ගත්තම Attachment වල විරුද්ධ පැත්ත. එනම් වෙන්වීම්, ඈත් වීම, නොබැඳී සිටීම. දාර්ශනික වශයෙන් Detachment යනුවෙන් හැඳින්වෙන්නේ ලෞකික වස්තු, මිනිස්සු, ගැහැනු නැත්නම් ලෝකයට විෂය වෙන කාරණා වලට තදින් නොඇලී පැවතීමට. බටහිර ප්‍රධාන වශයෙන් stoic දර්ශනයේදි සරල අල්පේච්ඡ දිවි පැවැත්ම ගැන කතා කරනවා. සරල නමුත් විනයානුකූල සහ අර්ථවත් ජීවිතය සතුට සැනසුම ළඟා කරදෙන බවට stoic දර්ශනයේ ඉගැන්වෙනවා. පසුව බටහිර බිහිවී ලෝකයේ ප්‍රචලිත වුණු කිතුණු දහමේත් මේ අදහස් අන්තර්ගත වෙනවා. පෙරදිග ප්‍රධාන දාර්ශනික ප්‍රවාහයන් වෙන හින්දු දහම, තාවෝවාදය සහ බුදු දහමේත් මේ නොඇලුණු ජීවිතයක වටිනා කම කියා දෙනවා. විශේෂයෙන් බුද්ධ දර්ශනයෙදී තවත් ගැඹුරට මේ කාරණා විග්‍රහ කරමින්, සියළු දුකට හේතු වන භවය සකස් වීමට මුල් හේතුව විදිහට උපාදානය (Attachment) හෙවත් ලෞකිකත්වයට ඇති තෘෂ්ණාව බව බුදුන් වහන්සේ කියා දෙනවා. බුදු දහමට අනුව පරම විමුක්තිය එනම් නිර්වාණය ලබා ගැනීමේ මාර්ගය වැටිලා තියෙන්නෙ තෘෂ්ණාවෙන් මිදීම හරහා බවයි බුදුන් දේශනා කරන්නෙ.


Detachment චිත්‍රපටියේ එන Henry Barthes අතිරේක ගුරුවරයෙක් විදිහට රැකියාවක් කරන කෙනෙක්. එතනදිත් නිරූපිත වෙන්නේ ඔහුගේ අනිස්ථිර ජීවිත පැවැත්මයි. ඔහු කලින් කලට විවිධ පාසල් වල ගුරුවරුන් පුරප්පාඩු වන විට කෙටි කාල සීමාවකට ඉගැන්වීමේ කටයුතු කරනවා. චිත්‍රපටියේ දැකගන්න ලැබෙන ආකාරයට ඔහුට ස්ථිර වාසස්ථානයක් නැහැ. ඔහු උගන්වන්නේ ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍ය. Detachment චිත්‍රපටියෙන් දැකගන්න ලැබෙන්නේ මේ විදිහට එක පාසලක මාසයක වගේ කාලයක ගුරුවරයෙකු විදිහට වැඩ කරද්දී Henry Barthes මුහුණ දෙන්න සිද්දවෙන අත්දැකීම්. මුල පටන් අග දක්වාම චිත්‍රපටිය නිමැවිලා තියෙන්නේ මහා සංවේගදායක සිදුවීම් මාලාවකින්. Henry Barthes ඒ සියළු දේ මැද පවතිනවා. සමහර විට ජීවිතේ අතහරින්න දහසක් හේතු තිබුණත් ඔහු නොවැටී ඉන්නවා. බාහිර ලෝකයේ තියෙන පීඩාව විසකුරු විදිහට නැවත ලෝකයට මුදාහරින්නෙක් වෙනවා වෙනුවට ඔහු ඒ සියලු දේ විඳ දරා ගෙන ජීවත් වෙනවා. 


චිත්‍රපටිය ඇතුළෙදී එක අතකින් ධනවාදය සහ තරඟකාරී බව මුල්කරගත්ත ඇමරිකානු සංස්කෘතියේ තියෙන හිස්කම සහ වල්මත් වුණු තාරුණ්‍ය අපි දකිනවා. Henry ට උගන්වන්න ලැබෙන පන්තියේ ශිෂ්‍යයින් සාහිත්‍ය ඉගෙන ගන්නා පිරිසක් වුණත් ඒ අය දිහා බැලුවාම පෙනෙන්නේ අදාළ විෂයට තියා කිසිම විදිහක දැනුමක් ලබාගන්න උනන්දුවක් නැති කාණ්ඩයක් විදිහට. ඔවුන්ට අනෙකා ගැන කිසිම සහකම්පනයක් ඇති බවක් පෙනෙන්නේත් නැහැ. ගුරුවරයෙකු ගැන ගරුත්වක් ඔවුන් ළඟ නැහැ. ශිෂ්‍යයන්ට තියෙන අසීමිත නිදහස සහ අයිතිවාසිකම් නිසා ඔවුන්ගේ වරදකටවත් එරෙහි වෙන්නෙ ගුරුවරුන්ට හැකියාවක් නැහැ. විශේෂයෙන් ඇමරිකානු 'තුවක්කු සංස්කෘතිය" මේ පාසල් දරුදැරියන්ට කරලා තියෙන්නෙ ලොකු විනාසයක්. මේ ශිෂ්‍යයන් අතින් Henry සෑහෙන පීඩාවකට පත්වෙනවා. මෙහෙම තැනකදී ඔහු කියන එක දෙබසක් ඇස් දෙකට කඳුළු ගේන තරම් ප්‍රබලයි.


"I dont' have any feelings you can hurt, ok?"


මේ ළමයින් අතරන් මෙරිඩිත් කියන ගැහැනු ළමයා විශේෂ කෙනෙක්. ඇය අනෙක් ළමයි වගේ හොහික්මුණු චරිතයක් නොවෙයි. ඇය ඉතාම සංවේදී කෙනෙක්. මෙරිඩිත්ගේ ආශාව තියෙන්නේ සිතුවම් සහ ඡායාරූපවලට. නමුත් ඇගේ දෙමාපියන් ඇගේ මේ කුසලතාවන් තේරුම් ගන්නේ නෑ. ඇය කරන්නේ තේරුමක් නැති චිත්‍ර ඇඳිල්ලක් සහ ෆොටෝගැහිල්ලක් බව කියමින් ඇගේ පියා ඈට බැණවදිනවා. මෙය මෙරිඩිත්ව සෑහෙන වේදනාවට පත් කරනවා. සමහර ගතනුගතික දෙමව්පියන් වගේ ඇගේ අම්මටත් තාත්තාටත් වැඩක් ඇති දේවල් විදිහට පෙනෙන්නේ සමහර විට හොද මුදලක් ලැබෙන සමාජේ ලොකු තැනක වැජඹෙන්න පුළුවන් සුදු කරපටි රස්සාවල් පමණක් වෙන්න ඇති. උපත්තියෙන් හොඳ කලා කුසලතාවක් ලැබිලා නමුත් ඔහොම හිතන දෙමාපිය යුවළකගේ දරුවෙක් වෙනවා කියන්නේ ලොකු වේදනාවක් තමයි.


අනෙක් අතින් Henry Barthes තමන්ගේ පන්ති කාමරේ ඉන්නා බහුතර ශිෂ්‍යයන්ට සාපේක්ෂව කොයිතරම් වෙනස්ද කියන කාරණේ පිළිබිඹු වෙනවා. කලිනුත් සඳහන් කළා වගේ මුළු සමාජයක්ම මුදල් පස්සේ තරඟෙට වගේ හතිදාගෙන දිව්වත් Henry ඒ කිසි දෙයක නොඇලී නොගැටී ජීවිතය පවත්වාගෙන යනවා. ගුරුවරයෙක් විදිහට ඔහු කරන්නෙ දරුවන්ට අදාළ විෂය කියා දීලා ජීවිතය සම්බන්ධයෙනුත් නිසි මගපෙන්වන්නෙකු වීම මිස ගුරුකම ඔහුට හුදෙක් තමන්ගේ පුද්ගලික ලාභය දියුණු කර ගැනීමේ මාර්ගයක් නොවෙයි. චිත්‍රපටියෙ තැනින් තැන නිරාවරණය වෙන Henry ගේ ආත්ම කථනයන් ඇතුළෙ ඔහු කියනවා මේ තරුණ ළමයි ගැන වැඩිහිටියන් වශයෙන් ඔවුන්ට තියන වගකීම ගැන. ඒ අතින් Henry කියන්නේ පරමාදර්ශී ගුරු චරිතයක් විදිහට නම් කළ හැකි කෙනෙක්. මේක Henry Barthes අරවින්දගෙන් වෙනස් වෙන එක තැනක්. අරවින්ද තමන් ඇතුළටම හැරුණු චරිතයක් වුණත් Henry ගුරුවරයෙක් විදිහට යම් සමාජ වගකීමක් අරන් වැඩ කරන කෙනෙක්.


Henry විවාහ වුණු කෙනෙකුත් නොවෙයි. ලස්සන සුදු (ලංකාවට අනුව) ගෑනු ළමයෙක්ව කසාද බැඳගෙන, දරුවෙක් දෙන්නෙක් හදලා, වාහනයක් අරන් ගෙයකුත් හදලා ලොකු රස්සාවක් කරගෙන ඉන්න පුළුවන්නම් ඒක තමා මනුස්සයෙකුට ලබන්න පුළුවන් දියුණුව කියලා සමාජෙන් මිනිස්සුන්ගේ ඔළුවලට දාන අච්චුවෙන්, විශේෂයෙන්ම දියුණු වීමේ "ඇමරිකානු සිහිනයෙන්", ගැලවිලා තමන් විශ්වාස කරන යම් අරුතක් වෙනුවෙන් ජීවත්වන කෙනෙක් මේ Henry. ඔහුගේ ජීවිතය ඇතුළේ තියන ආදරය කියන්නේ විවාහය කියන රාමුව ඉක්මවා පවතින පැවැත්මක්. Henry මහමග හමුවෙන ළාබාල වීදි ගණිකාවක් තමන්ගේ ගෙදර ගෙනත් නවත්වාගෙන ඇයව රැකබලා ගන්නවා. නමුත් දවසක ඇයට ඔහුව හැරයන්න වෙන බව ඔහු දන්නවා. මේ ආදරය සතුටු දායක අවසානයකින් කෙළවර නොවෙන බව දැන දැන ම ඇගෙන් කිසිමාකාරයේ අයුතු ප්‍රයෝජනයක් නොගෙන ඔහු ඇයට ආදරය කරනවා. 


Henry Barthes නොබැඳි චරිතයක් වුණත් දෙමව්පියන් සහ පවුල කියන තැනදී ඔහු අසරණ වෙනවා. Henry ගේ පියා කුඩා කාලෙම Henry වත් Henry ගේ අම්මාවත් හැර යනවා. Henry ගේ අම්මාත් ඒ ඉක්මණින්ම දිවිනසා ගන්නවා. Henry ට අවසානෙ ඉතිරි වෙන්නේ සීයා පමණයි. වයසට ගිහින් අබල දුබල වුණු සීයාව සත්කාරක මධ්‍යස්ථානයක නවත්වන්න Henry ට සිද්ධවෙලා තියනවා. නමුත් එතනදිත් සීයාට හරි හමන් සාත්තුවක් ලැබෙන්නෙ නෑ. Henryට සීයා සම්බන්ධව ඒ හැර වෙන කරන්න දෙයකුත් නැහැ. දෙමව්පියන් දෙන්නාම නැතිව ලෝකයේ තනිවුණු මුල් ගැලවුණු ළමා වියක් ගත කරන්න සිද්ධ වීම සමහර විට ඔහුව මේ වගේ ලෞකිකත්වයට තදින් නොඇලුණු චරිතයක් බවට පත් කරන්න ඇති. 


නිතරම දුක් මුසු බව තැවරිච්ච ඇස්දෙකකින් ලෝකය දිහා බලා ඉන්න හෙන්රි බාත් නම් කෙට්ටු කෙසඟ තරුණ ගුරුවරයා ගෙ චරිතය රඟපාන්නේ ගිය අවුරුද්දෙ Brutalist චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්කාර් සම්මානය දිනා ගත්ත Adrien Brody. Henry සහ Adrean කියන්නෙ දෙන්නෙක් නොවෙයි එක්කෙනෙක් කියා හිතෙන තරමට ඔහු මේ චරිතය ඇතුළේ ජීවමානයි. අවසානෙදි, එකවරක් හරි මේ මනුස්සයා වැළඳගන්න ඔබට හිතුණොත් මම පුදුම වෙන්නේ නෑ. සිනමා ලෝකය ඇතුළෙ මට මුණගැහුණ සදානුස්මරණීය චරිත අතරේ Henry Barthes ට තැනක් වෙන් වී ඇති බව නම් සහතික වශයෙන් කිවහැකියි.




Wednesday, June 18, 2025

කිසලොව්ස්කිගේ දසපණත හෙවත් Dekalog

 1980 දශකයේ දවසක පෝලන්තයේ එක්තරා නගරයක වීදියක් දිගේ ගමන්ගනිමින් උන්නේ එරටේ කීර්මත් සිනමාකරු ක්‍රිසිස්ටොෆ් කිසලොව්ස්කි (Krzysztof Kieślowski). ටික දුරක් යද්දී ඔහුට අහම්බෙන් වගේ මුණගැහෙන්නේ දන්නා හඳුනන කෙනෙකුව. ඒ තමන්ගේ සහායක තිර පිටපත් රචකයා විදිහට වැඩ කළ නීතීඥ ක්‍රිසිස්ටොෆ් පියෙසිවිච් (Krzysztof Piesiewicz). කිසලොව්ස්කිට පියෙසිවිච් මුලින්ම මුණගැහෙන්නේ ඔහුගේ මිත්‍රයෙකුගේ මාර්ගයෙන්, ඔහුගේ පෙර චිත්‍රපටියකට පෝලන්තයේ පවතින නීති පද්ධතිය ගැන තොරතුරු ලබාගැනීමේ උවමනාවකට. පසුව කිසලොව්ස්කිගේ චිත්‍රපටි ගණනාවකම සහායක පිටපත් රචකයා පියෙසිවිච් බවට පත්වීම දක්වා මේ දැන හැඳුනුම්කම දුරදිග යනවා. ඔහු ගැන සඳහන් කරද්දී, පියෙසිවිච් කියන්නේ ලේඛනයට වඩා කතාවේ දක්ෂයෙක් බවයි කිසලොව්ස්කි කියන්නෙ. පියෙසිවිච් ගේ අදහස් බොහෝවෙලාවට කිසලොව්ස්කිගේ සිනමා නිර්මාණ පෝෂණය කළා. ඇමරිකානු ජාතික මහා සිනමාකරු ස්ටැන්ලි කුබ්රික් මේ දෙදෙනාගෙ සිනමාත්මක සුසංයෝගය ගැන සඳහන් කරමින් කියන්නෙ මේ දෙදෙනාට "සරලවම යමක් ප්‍රකාශ කරනවට වඩා තමන්ගේ අදහසක් නාටකීය ස්වභාවයෙන් ප්‍රතිනිර්මාණය කිරීමෙ දුලබ කුසලතාව" ඇති බව.


පෝලන්තයේ පැවතුණු කොමියුනිස්ට් පාලනය 1980 දශකයේ ආරම්භයේ රටේ පනවා තිබුණ යුධ නීතිය ඉවත් කළ සමයි මේ වෙනකොට ගතවෙමින් තිබුණේ. රට පුරාම විශේෂයෙන් දේශපාලනිකව විරුද්ධ අදහස් දැරූ කණ්ඩායම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වුණු අතර එදිනෙදා ජන ජීවිතය ඇද වැටෙමින් තිබුණේ පීඩාකාරී ස්වභාවයකට. යුධ නීතිය පැවතුණු යුගය නීතිවේදීන්ට වඩාත් වැඩ අධික කාල සීමාවක් බවට පත්වී තිබුණත් යුධ නීතිය ඉවත් කළ පසුව ඔවුන්ට වෘත්තිය වශයන් සෑහෙන ලිහිලක් ලැබුණ කාලසීමාවක් වුණා. සිනමාකරු කිසලොව්ස්කිට පියෙසිවිච් මුණ ගැහෙන්නෙ ඔන්න ඔය නීතිමය රාජකාරි අවම නිදහස් කාලසීමාවේ දි. පියෙසිවිච් සෑහෙන කල්පනාවක ගිලී උන්නු බව තමන්ට පෙනුණා යැයි පසුව ඒ ගැන සඳහන් කරද්දී කිසලොව්ස්කි කියනවා. මේ දෙදෙනාගෙ කතාබහ ඇදී යන අතරේ පියෙසිවිච්  එකවරම කිසලොව්ස්කිට මෙහෙම කතාවක් කියනවා. "කවුරු හරි දසපණත ගැන චිත්‍රපටියක් හදන්නම ඕන, මං හිතන්නෙ ඔයා තමා ඒකට සුදුසුම කෙනා." දසපණත නමින් හැඳින්වෙන්නේ බයිබලයේ පුරාණ ගිවිසුමට අනුව දෙවියන්වහන්සේ තමන් තෝරාගත්තු ජනතාව වුණු ඊශ්‍රායෙල් සෙනගට ලබා දුන්නු විනය නීති මාලාවකට.  


(බයිබලයේ සඳහන් ඊශ්‍රායලය සහ අද ඒ නමින් හැඳින්වෙන රට අතරේ වෙනසක් තියනව. බයිබලයේ ඊශ්‍රායෙල් කියන නම මුලින් භාවිත වෙන්නෙ ආබ්‍රහම් ගේ මුනුබුරෙකු වන ජාකොබ් වෙනුවෙන්. බයිබලයේ පැරණි ගිවිසුමට අනුව දෙවියන් ගැන දැඩි විශ්වාසයකින් ජීවත් ආබ්‍රහම් නම් පුද්ගලයාගේ පරම්පරාවෙන් තමන්ගේ පුත්‍රයා ලෝකයට ගැලවුම් කාරයෙකු විදිහට එවන බවට දෙවියන් වහන්සේ පොරොන්දු වෙනවා. ආබ්‍රහම්ගේ මුණුබුරු ජාකොබ් දවසක් දේවදූතයන් සමග සටන් කර ජය ලැබූ නිසා "දෙවියන් සමග පොරබදා දිනූ තැනැත්තා" කියන අර්ථය ඇති ඊශ්‍රායල් යන නාමය ඔහු ලබනවා. ජාකොබ්ට පුත්‍රයන් 12 ක් ඉන්නවා. මේ අය ගෙන් හට ගන්න ගෝත්‍ර 12  ක සෙනග ඒ අනුව ඊශ්‍රයෙල් සෙනග විදිහට නම් ලබනවා. මිසරයේ පාරාවෝ රජුගෙ වහලුන් බවට පත් වෙන්නෙ මේ අය. පසුව මිසරයෙන් නිදහස ලබලා එන මේ සෙනග මැදපෙරදිග කලාපයේ කානාන් නම් දේශයෙදි සාවුල් නම් රජ කෙනෙක් යටතේ ඊශ්‍රායල් දේශය පිහිටුවනවා. පසුව පර්සියන්, රෝම, තුර්කි ආක්‍රමණ එක්ක මේ දේශයේ සීමාමායිම් බොඳවෙලා යනව. නූතන ඊශ්‍රායලය කියන්නෙ ලෝක යුද්ධ තත්ත්වයන් එක්ක අවතැන් වුණු ලොව පුරා සිටිනා යුදෙව් ජාතිකයන් ඒක රාශි කරමින් 1948 දි එක්සත් ජාතින් ගේ සංවිධානය පිහිටුවපු රාජ්‍යය.)


දෙවියන් ඊශ්‍රායල් සෙනගට දුන් නීති මාලාව කාරණා 10 කින් සමන්විත වෙනවා. දසපණත කියන යෙදුම එන්නේ ඒ අනුව. පියෙසිවිච්ගේ අදහස අපූරු එකක් බව කිසලොව්ස්කි ට දැනුණා. නමුත් දසපණත කිව්වාම බොහෝ දෙනා දන්න සහ ඒ වනවිටත් සිනමාවට නැගී තිබුණ ආගමික, ඓතිහාසික කතා පුවතක් ප්‍රතිනිර්මාණය කරනවා වෙනුවට ඔහුගේ මනස යොමු වුණේ වෙනත් මානයකට. 


80 දශකය කියන්නේ කලිනුත් සඳහන් කළා වගේ පෝලන්ත රාජ්‍යට සෑහෙන පීඩාකාරී කාල පරිච්ඡේදයක් බවට පත් වී තිබුණා. එරටේ පැවතුණු ඒකාධිපති වාමාංශික කොමියුනිස්ට් පාලනය සහ ආර්ථික අස්ථාවරභාවය නිසා පොලන්ත ජන ජීවිතය පත්වී තිබුණේ ව්‍යාකූල තත්ත්වයකට. බොහෝ දෙනා මේ රට අතහැර යමින් හිටියා, ආතතිය සහ බලාපොරොත්තු සුන්වුණු භාවය එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය අත්දැකීම බවට පත්වී තිබුණා. මෙන්න මෙවැනි පසුබිමක දී, දසපණතේ එක් එක් පණත ගැන වෙන වෙනම කෙටි චිත්‍රපටි 10ක් නිර්මාණය කළ යුතු බව කිසලොව්ස්කි කල්පනා කරනවා. (ජීවිතය සම්බන්ධයෙන් තමන්ට තිබෙන්නේ එය දුක්මුසු වේදනාකාරී යමක් ය කියන අසුබවාදී දැක්මක් බව කිසලොව්ස්කි කියා තිබෙනවා. තිත්ත කටුක ජීවිත යථාර්ථයන් බොහෝ විට ඔහුගේ සිනමා නිර්මාණවලින් පිළිබිඹු වෙන ආකාරයක් දැකගන්න ලැබෙනවා) නමුත් මුල පටන් ඔහු අදහස් කළේ කාලීන දේශපාලන හෙවණැල්ලෙන් මිදිලා ජීවිතය සම්බන්ධ ආත්මික පසුබිමක මේ චිත්‍රපටි 10 නිමවිය යුතු බව. එය පෝලන්තයට පමණක් නොවෙයි. සර්ව ලෝකවාසීන්ට තම ජීවිත අත්දැකීම සමග ඒකාත්මික විය හැකි ආකාරයෙන් නිර්මාණයවෙන විශ්වීය නිමැවුමක් බවට පත් විය යුතු වුණා. පසුව කිසලොව්ස්කි සහ පියෙසිවිච් අතර ඇතිවුණු දීර්ඝ සංවාද මාලාවක ප්‍රතිඵලයක් විදිහට දසපණතේ එක් එක් පණතට අදාළව පැයක ධාවන කාලයක් සහිත කෙටි චිත්‍රපටි දහයක පිටපත් ලියැවෙනවා. 1988 සහ 89 අවුරුදුවල පෝලන්ත රූපවාහිනියේ විකාශය වුණ, කොටස් 10 කින් සමන්විත Dekalog නම් කෙටි චිත්‍රපට මාලාව නිර්මාණය වෙන්නේ ඒ අනුව. Dekalog සිනමා ඉතිහාසයේ සම්භාවනීයම කලා කෘතියක් විදිහට අදටත් සැලකුම් ලබනවා.


දෙවියන්වහන්සේ ඊශ්‍රායෙල් ජනතාවට දසපණත දෙන සිද්ධිය අරගත්තාම මෙන්න මේ සිද්ධිය වෙන්නේ ඊශ්‍රායෙල් ජනතාවට අතිශය තීරණාත්මක වුණු කාලසීමාවක. කාලායන්තරයක් තිස්සේ මේ ඊශ්‍රායෙල්වරු ජීවත් වුණේ මිසරයේ, පාරාවෝ රජවරුන්ගේ වහලුන් විදිහට. දෙවියන් මෝසෙස් නම් පුද්ගලයා තෝරාගෙන ඔහුගේ නායකත්වය යටතේ ඊශ්‍රායෙල් වරුන්ව වහල් බවින් මුදාගෙන රතු මුහුදෙන් එතෙර කරවලා මිසර දේශයෙන් පිටමං වෙන්න අවස්ථාවක් හදලා දීලා ඔවුන්ට නිදහස ලබා දෙනවා. නිදහස ලබන ඊශ්‍රායෙල් සෙනග ඉන්පස්සෙදි පත්වෙන්නේ අයාලේ යන තත්ත්වෙකට. වහල් ජීවිතයක් ගතකිරීම එක්තරා ආකාරයකට පහසුයි. උදේ අවදි වුණ වෙලාවේ පටන් රෑ නින්දට යනකම්ම නියමිතව තිබෙන්නේ වහල් හිමියා නියම කරන වැඩ කොටස ඉටුකිරීම පමණයි. ඉන් එහාට අලුතෙන් හිතන්න යමක් නෑ. නමුත් නිදහස් මනුෂ්‍යයෙකුගේ ජීවිතය එහෙම නැහැ. තමන් ගැන වගේම අනුන් ගැනත් වගකීමක් ඔහුට තියනවා. තමන් ගේ ජීවිතය ස්වෝත්සාහයෙන්ම ඔහු ගොඩ නගා ගත යුතු වෙනවා. "මිනිසා නිදහස් අයෙකු වීමේ දණ්ඩනය ලබා ඇත" කියලා දාර්ශනික ෂෝන් පෝල් සාත්‍රේ කියන්නේ ඒ නිසා. වහල් බවින් නිදහස ලැබූ ඊශ්‍රායෙල් සෙනග සාදාචාරයෙන් පිරිහුණු පාපිෂ්ඨ ජන කොට්ඨාශයක් බවට පත්වෙනවා. මේ බව දකින දෙවියන්වහන්සේ ඔවුන් යම් විනය නීති මාලායක් යටතේ නැවත ගොඩනංවන අදහසිනුයි තම අතැඟල්ලෙන්ම ලියන පණත් දහයක් සීනයි කන්ද මුදුනේදි මෝසෙස්ට ලබා දෙන්නේ. වහල් බවින් නිදහස ලැබූ මේ ඊශ්‍රායෙල් සෙනග කියන්නේ වර්තමානයේදි ලෝක යුද්ධ දෙකක් පසු කරලා, රජුන් සහ රදළ සමාජ පංතියක් මුල්කරගත් වැඩවසම් සමාජ ආකෘතිය ඉක්මවලා, නූතනවාදය සහ පශ්චාත් නූතනවාදයෙනු ඉදිරියට ඇවිත් ඉපැරණි සම්ප්‍රදායන් බිද දමලා සෑම කෙනෙකුටම සම අයිතිය සහ නිදහස සහතික වන ප්‍රජාතාන්ත්‍රික සමාජයක ජීවත් වන ඔබ සහ මම විදිහට උපකල්පනය කරන්න පුළුවන්. එහෙනම් මේ නිදහස් නූතනත්වයත් එක්ක වඩාත් විපරීත වගේම සංකීර්ණ සමාජ පැවැත්මක් ඇතුළෙ අපි විසින් ගොඩනගාගත යුතු අර්ථාන්විත සහ සාරවත් ජීවිත පැවැත්ම තියෙන්නේ යම් ශික්ෂාවක් සහ විනයකට අනුගත ජීවන ක්‍රමයක් ඇතුළේ ද කියන පැනයට පිළිතුරු අපි වෙනම සොයා ගත යුතු යමක් වෙනවා. 


Dekalog කතා මාලාවේ හැම කතාවක්ම නිර්මාණය වෙන්නේ එකම මහල් නිවාස සංකීර්ණයක් මුල් කරගෙන. එක් එක් කතාවල අපි දකින්නේ වෙනස් චරිත. සමහර එකම චරිත කොටස් කිහිපයක නැවතත් අපි දකිනවා. (පොඩි කාලේ ආසාවෙන් "මායාබන්ධන" බැලුවානම් ඔබට මතක ඇති, ඒ කතාවේ "කොරියන්" ගේ චරිතය රගපෑ Krzysztof Kumor මේ Dekalog වල සුළු චරිතයකට පෙනී සිටිනවා.) තවත් එක චරිතයක් මේ කතා මාලාවේ කතා අටක පමණ ඔබට දැකගන්න ලැබෙනවා. ඔහු කිසිදෙයක් කියන්නේ නැහැ. ඔහු කරන එකම දේ බලාසිටීම පමණයි. නමුත් ඔහු බලා සිටින්නේ තරමක් දුක්මුසුව. ඔහු කවුදැයි කිසලොව්ස්කි ගෙන් කිහිප වතාවකම බොහෝ අය විමසා තිබෙනවා. නමුත් ඒ හැම විටම කිසලොව්ස්කි පිලිතුරු දෙන්නේ ඔහු කව්දැයි තමන් නොදන්නා බව. ඔහු මිනිස් සමාජය දිහා කලකිරීමෙන් බලා ඉන්නා එක්තරා ආකාරයක දේව දූතයෙක් වන්නට පුළුවන්. ඔහු සාතන්ගේ සහායකයෙක් වෙන්නත් පුළුවන්, නැතිනම් මිනිස් සමාජය දිහා හිස් බැල්මකින් බලා ඉන්නා තවත් එක මනුෂ්‍යයෙක් වන්නටත් පුළුවන්. සමහර විචාරකයින් පවසන්නේ ඔහුගෙන් නිරූපිත වෙන්නේ හුදු බැල්මක් පමණක් බව. එනම් අපේ ක්‍රියාවන් බොහෝ වෙලාවට තවත් කෙනෙකුගේ ඇසට අසුවෙනවා, නැත්නම් අපේම හෘද සාක්ෂිය අපි දිහා බලා ඉන්නවා. තමන් කරන කියන දේ ගැන අවසානේදි කාටත් ගැලවීමක් ලබන්න බෑ. මේ නමක් නැති චරිතයෙන් පිළිබිඹු වෙන්නේ එවැනි දෙයක් වෙන්න බොහෝ දුරට ඉඩ තිබෙනවා. Dekalog කතාමාලාවේ 5 සහ 6 වන කතාංගයන් චිත්‍රපට විදිහට නැවත සංස්කරණය කරලා සිනමා ශාලාවල තිරගත කරන්න කිසලොව්ස්කි කටයුතු කළා. ඒ පිළිවෙලින් A Short Film About Killing සහ A Short Film About Love නම්වලින්. අලුතෙන් ක්ෂේත්‍රයට පිවිසුණු නවක අධ්‍යක්ෂකවරුන් දහ දෙනෙකු යොදවලා Dekalog කතා දහය නිර්මාණය කරන්න මුලින් සැලසුම් කෙරුණත් පිටපත් දහය දුටුවාම ඒවා දහයම තමන්ට අධ්‍යක්ෂණය කරන්න ඇතිවුණු ආශාව වළක්වාගන්න බැරිවුණු බව කිසලොව්ස්කි කියා තිබෙනවා. නමුත් කැමරා ශිල්පීන් දහ දෙනෙක් කොටස් දහය වෙනුවෙන් යොදාගෙන ඔවුන්ට අභිමත ආකාරයට මේ රෑප මාලාව ගොඩනගන්න තමා නිදහස දුන් බව ඔහු කියනවා. 


(Mild spoilers ahead... මින් ඉදිරියට තියෙන්නේ එකින් එක Dekalog කෙටි චිත්‍රපට දහය ගැන සාරාංශයක්. නොබැලූ කෙනෙකුට හැකි තරම් spoil නොවෙන ආකාරයට කෙටියෙන් සහ සංක්ශිප්තව එක් එක් කතාව සටහන් කර තැබීම පමණයි අරමුණ.)

.

.

.

.


බයිබලයේ සඳහන් දස පණතට අනුව කිසලොව්ස්කිගේ Dekalog කෙටි චිත්‍රපට මාලාවේ සංයුතිය සකස් වෙන්නේ මේ ආකාරයට. 


1. කොටස

බයිබලයට අනුව පණත - සැබෑවූ එකම දෙවියන්ට පමණක් වන්දනා කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - විද්‍යාව සහ ආගම අතර නොනිමි අරගලය.


කතා සාරාංශය - විද්‍යාඥයෙක් සහ ඉතාම ඉහළ බුද්ධියක් හිමි ඔහුගේ කුඩා පුත්‍රයා වටායි මේ පළමු කතාව නිර්මාණය වෙන්නේ. පියා තම පුත්‍රයාට පරිගණකයක් ලබා දෙනවා. පුතා තම හැකියාව මෙහෙයවලා කෘත්‍රීම බුද්ධියකින් ඕනෑම ගැටළුවකට විසඳුම් ලබා දෙන පරිඝණක වැඩසටහනක් නිර්මාණය කරනවා. නමුත් ජීවිතය සම්බන්ධයෙන් තීරණාත්මක ගැටළුවකට පරිගණක බුද්ධිය ආශ්‍රයෙන් විසඳුම් සොයන්නට යාමෙන් විශාල ඛේදවාචකයක් සිද්ධවෙනවා. ආගමක් විශ්වාස නොකළ විද්‍යාඥවර පියා අවසානේ පල්ලියේ අල්තාරය පාමුළ වැටිලා සිදුවුණු දේ ගැන දෙවියන්ට දොස් පවරනවා. දෙව් මැදුරේ තිබෙන මරියතුමියගේ පින්තූරය මතට ඉටිපන්දම් දියර වැටිලා ඈ හඬා වැළපෙන ආකාරයක් දිස්වෙනවා. මෙය ඉතාම විශිෂ්ඨ ආකාරයෙන් රූපගත කළ දර්ශනයක්. 


2. කොටස

බයිබලයට අනුව පණත - දෙවියන්ගේ ශ්‍රී නාමය ගැන බොරුවටවත් නිරන්තරයටවත් නොදිව්රව


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - යමෙකුගේ වචනයට සිදුකළ හැකි බලපෑම


Dekalog කතාමාලාවට පසුබිම් වෙන නිවාස සංකීර්ණයේ ඉන්නා එක කන්තාවක් මේ දෙවනි කතාවට මුල්වෙන්නේ. ඇගේ සැමියා බරපතළ විදිහට රෝගාතුර වෙලා රෝහල්ගතවයි ඉන්නේ. ඇය තවත් පෙම්වතෙක් ඇසුරු කරනවා. ඔහුගෙන් ඇයට දරුවෙක් ලැබෙන්න යනවා. රෝහලේදි ඇගේ සැමියාට ප්‍රතිකාර කරනා වෛද්‍යවරයා ඉන්නෙත් මේ නිවාස සංකීර්ණයේ ඇගේ නිවාසය කිට්ටුව. වෛද්‍යවරයා මුණගැහෙන්න යන කාන්තාව රෝගාතුරව ඉන්නා තමන්ගේ සැමියා එයින් මරණයට පත්වෙයිද නැත්නම් සහතිකවම ඔහුට ජීවත් වෙන්න හැකියාවක් තිබෙනවද කියන දේ වෛද්‍යවරයාගෙන් විමසනවා. සැමියා මියයනවා නම් දරුවාව හදාවඩා ගන්නත් ඔහු ජීවත් වෙනවා නම් දරුගැබ විනාශ කරදමන්නත් ඇයට අවශ්‍යයි. නමුත් අවංකවම වෛද්‍යවරයාට මේ ප්‍රශ්නයට ස්ථිර පිළිතුරක් දෙන්න බැහැ. කාන්තාවගේ සැමියා මියයන්න වගේම ජීවත් වෙන්නත් එක වගේම හැකියාව තිබෙනවා. වෛද්‍ය වරයාගෙන් ඉක්මණ් පිළිතුරක් ඇය බලාපොරොත්තු වෙනවා. මේ සංකීර්ණ තත්වය ඔහු විසඳාගන්න ආකාරය මේ කතාවෙන් පෙන්නුම් කෙරෙනවා.


3. කොටස

බයිබලයට අනුව පණත - ඉරුදිනත් ණය මංගල්‍ය දිනත් නිවාඩු වලංගු කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - සමහර විශේෂ කාලසීමාවන් (උදාහරණ - නත්තල..) විශ්ෂාකාරයෙන් අරුත්ගැන්වීම.


නත්තල්දා රාත්‍රිය කියන්නේ කොයි කවුරුත් තමන්ගේ පවුල එක්ක ගත කරන වෙලාවකට. පවුලේ හැම කෙනෙකුම එකතුවෙලා ප්‍රීතිමත්ව සමරන උත්සවාකාර මොහොතකට. නමුත් එක්තරා ටැක්සි රියදුරෙක්ට නම් එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නෑ. ඔහුගේ පැරණි පෙම්වතිය නත්තල් දා රෑ ඔහුව අමතන්නේ හදිස්සි කාරණාවකට ඔහුගෙන් උදව් ලබා ගන්න. ඉක්මණින් එන්න හිතලා ගෙදරට බොරුවක් කියලා එළියට එන ටැක්සි රියදුරාට මුහුණ දෙන්න සිද්ද වෙන්නේ අමුතු අත්දැකීමකට. නත්තල පසුබිමේ තියන් මිනිස් බැඳීම්වල වටිනාකම ගැන සහ අපි එකිනෙකාට එකිනෙකා කොයි තරම් අවශ්‍යද කියන කාරණේ ගැන මේ කොටසින් විස්තර කෙරෙනවා.


4. කොටස

බයිබලයට අනුව පණත - මව්පියන්ට සංග්‍ර්‍රහ කරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - පවුල තුළ මානව සම්බන්ධතා


තමන්ගේ පියා එක්ක ජීවත් වන එක් තරුණ ගැහැනු ළමයෙක් මුල් කරගෙන මේ කොටස නිර්මාණය වෙන්නේ. ගැහැණු ළමයාගේ අම්මා එයා කුඩා කාලෙම මිය ගිහින්. රාජකාරි කටයුත්තකට තාත්තා දින කිහිපයකට රටින් බැහැරව යනවා. ඒ අතරේ තාත්තාගේ කාමරයේ තිබිලා මේ දියණියට හමුවෙනවා තමන්ගේ අම්මා මිය යන්න කලින් තමන්ට ලියූ ලියුමක්. නමුත් මේ ලියුම විවෘත කරන්න ඉල්ලා තිබෙන්නේ දවසක තාත්තාගේ මරණය සිදු වුණායින් පසුවයි. ගැහැණු ළමයා ලියුම විවෘත කරලා කියවා බලනවා. මේ ලියුම ඔවුන්ගේ ජීවිතවලට ලොකු බලපෑමක් කරන්න සමත්වෙනවා. 


5. කොටස - A Short Film About Killing

බයිබලයට අනුව පණත - ජීවිත විනාශ නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - අපරාධය සහ ඊට ලැබෙන දඩුවම.


අහේතුක ආකාරයෙන් දුෂ්ඨකම් කරන්න පෙළඹුණු තරුණයෙක්වයි මේ කතාවෙදි දැකගන්න ලැබෙන්නේ. එක් තැනකදී ඔහු අතින් තවත් මනුෂ්‍යයෙක් මිය යනවා. නීතිය ඉදිරියේ වරදකරු බවට පත්වන ඔහුට මරණීය දණ්ඩනය නියම වෙනවා. මේ නඩුවේදි ඔහු වෙනුවෙන් පෙනී ඉන්නේ ආධුනික නීතීඥවරයෙක්. මේ ඔහුගේත් පළමුවෙනි නඩුව. පළමු නඩුව පරාජය වීම සහ මනුශ්‍යයෙක්ට මරණ දණ්ඩනය දෙන ආකාරය බලාසිටින්න සිදුවීම ඔහුව දැඩිව පීඩාවට ලක්කරනවා. මේ කොටසේ මරණ දඬුවම දෙන අවස්ථාව රූපගත කරද්දී අදාළ නළුවන් සහ කාර්මික ශිල්පීන් පවා සෑහෙන අපහසුතාවට පත්වුණු බව කිසලොව්ස්කි කියනවා. මේ කොටස ඔහු නිර්මාණය කරන්නේ එක්තරා ආකාරයට එවකට පෝලන්තයේ ක්‍රියාත්මක වුණු මරණ දඬුවමට විරුද්ධව. දෛවෝපගත විදිහට මේ කොටස රූපවාහිනියෙන් විකාශය වෙන්නේ මරණ දඬුවම ලබා දීම කොයි තරම් සාධාරණද කියන කාරණය ගැන ප්‍රබල සංවාදයක් සමාජය තුළ ඇතිව තිබුණු මොහොතක. ඒ වසරේම පත්වන පෝලන්ත නව රජය මරණ දඬුවම ලබා දීම වසර 5 කට අත්හිටුවන්න තීරණය කරනවා. 


6. කොටස - A Short Film About Love

බයිබලයට අනුව පණත - කාමමිත්‍යාචාරය නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - ආදරය සහ ආශාව.


Dekalog මහල් නිවාස සංකීර්ණයේ ජීවත්වන තරුණයෙක් සහ මේ නිවාස පෙළට යාබදව ජීවත් වෙන තනිකඩ ගැහැනියක් මේ කතාවට මුල් වෙන්නේ. තරුණයා වැඩ කරන්නේ තැපැල් කන්තෝරුවක. දවසක් අහම්බෙන් දැකගන්න ලැබෙන මේ ගැහැනිය පිළිබද ආශාවක් තරුණයා ඇති කරගන්නවා. ඇයගේ නිවාසය තියෙන තැන දැනගන්න ඔහු දිනපතාම තමන්ගේ කාමරයේ ඉඳන් දුරදක්නයකින් ඇය දිහා බලා ඉන්න පටන් ගන්නවා. ඇයව දැකගැනීමේ ආශාවෙන්ම උපක්‍රමිකව ඇයව තැපැල් කන්තෝරුවට ගෙන්වා ගන්නවා. නමුත් දවසක් මේ තරුණයා තමන්ව ලුහුබඳින බව ගැහැනිය දැනගන්නවා. ඉන්පස්සේ ඔවුන්ගේ ජීවිතවලට මොකක් වේවිද... තරුණයා තුළ තිබුණේ ආශාවද? නැත්නම් ආදරය ද? ආදරය කියන්නේ ආශාවේම ස්වරූපයක් ද? හයවන Dekalog කතාපුවතින් මතුකරන්නේ මෙන්න මේ ප්‍රශ්න.


7. කොටස - 

බයිබලයට අනුව පණත - සොරකම් නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - තමන් ආශා කරන යමක් අයිති කරගන්න ඇති මිනිස් පෙළඹවීම.


පාසල් වයසෙදිම දුරදිග නොබලා කරගන්නා වරදක් නිසා මහල් නිවාසයේ ගැහැනු ලමයෙකුට දරුවෙක් ලබනවා. ගැහැනු ලමයා ගේ අම්මා විදුහල්පති කෙනෙක්. මේ සිද්ධියෙන් වෙන අවමානය වළක්වා ගන්න අම්මා මේ දරුවා තමන්ගේ බවට මවාපෑමක් කරලා තමන්ගේ දරුවෙක් විදිහට ලියාපදිංචි කරනවා. කාලයත් එක්ක දරුවා ලොකුමහත් වෙන්නේ තමන්ගේ ඇත්ත අම්මා තමන්ගේ සහෝදරිය බව සිතමිනුයි. නමුත් එක තැනකදී දරුවාගේ ඇත්ත අම්මාට දරුවාගේ අයිතිය මුළුමණින්ම තමන්ට ලබාගන්න උවමනා වෙනවා. ඇය දරුවා පැහැරගෙන යනවා. ඇත්තටම දරුවාගේ අම්මා වෙන්නේ කවුද?


8 කොටස -

බයිබලයට අනුව පණත - බොරු සාක්ෂි නොකියව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - සමහර වාතාවරණයන් වලදී ඇත්ත ප්‍රකාශ කරන්න ඇති දුෂ්කර බව.


දෙවන ලෝක යුද්ධය පෝලන්තයටත් දැඩිව බලපෑම් කළ බව අපි දන්නවා. නාසිවාදීන් පෝලන්තයේ යුදෙව්වන් හොය හොයා මරා දැමුව යුගයක් තිබුණා. ඒ කාලයේදී අම්මා තාත්තා අහිමි වුණ යුදෙව් දැරියකට පිහිට වෙන්නෙ එක්තරා කතෝලික යුවළකට අවස්ථාව ලැබෙනවා. ඔවුන්ට කරන්න තිබෙන්නේ මේ දරුවා යුදෙව් නොවෙයි කතෝලික බව ප්‍රකාශ කරන්න පමණයි. මුලින් ඔවුන් ඊට කැමති වුණත් අවසාන මොහොතේදි ආගමට බොරු කරන්න බැරි බව කියමින් මේ යුවළ මේ දැරිය ප්‍රතික්ෂේප කරනවා. නමුත් වෙනත් කෙනෙක් ඇගේ ජීවිතය ගලවා ගන්නවා. මේ සිද්ධියෙන් අවුරුදු පණහක් පමණ ගතවෙලා මේ දැරිය දැන් වැඩිමහල් ගැහැනියක් විදිහට තමන් ප්‍රතික්ෂේප කළ යුවළගෙන් දැනට ජීවතුන් අතර ඉන්නා ගැහැනිය මුණගැහෙනවා. 


9 කොටස -

බයිබලයට අනුව පණත - පරදාර ආලය නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - ලිංගික ඊර්ෂ්‍යාව සහ විශ්වාසවන්ත බව.


විවාහ වෙලා වසර ගණනක් ගතවුණු යුවළක් ගැනයි මේ කතාව නිර්මාණය වෙන්නේ. මේ ස්වාමි පුරුෂයා ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන්නෙක්. ඔහු මේ බව කියමින් තමන්ට අහිමි සතුට වෙනත් පුරුෂයෙකුගෙන් හෝ සොයාගන්නැයි තම බිරිඳට ප්‍රකාශ කරනවා. ඇය කියන්නේ තමන්ට එවැනි දෙයක් අනවශ්‍ය බවත් ඔහුගේ ආදරය පමණක් සෑහෙන බවත්. නමුත් ඔහු දැඩිව ඇය ගැන සැකයකින් පෙළෙනවා. ඇය ගැන රහසින් හොයාබලනවා. ඇය යම් තරුණයෙක් සමග මොකක් හෝ සම්බන්ධයක් රහසින් පවත්වන බව ඔහු සොයාගන්නවා. 


10 කොටස -

බයිබලයට අනුව පණත - අන්වස්තු ආශා නොකරව.


කිසලොව්ස්කිගේ අර්ථ නිරෑපණය - අධික තෘෂ්ණාව නිසා ඇතිවන විපත.


එක් මනුශ්‍යයෙක් තමන්ගේ වටිනාම වස්තුව තම පුතුන් දෙදෙනාට පවරලා මරණයට පත්වෙනවා. මේ වස්තුව මොකක්දැයි හොයාබලන පුත්‍ර දෙපළට දැනගන්න ලැබෙන්නේ මේ වස්තුව මුද්දර එකතුවක් බව. මුද්දර ගැන කිසි දැනුමක් නැතත් මේ ගැන වැඩි දුර විමසන පුත්‍ර දෙපළ දැනගන්නේ මේ මුද්දර ඉතාම දුර්ලභ ඒවා බවත් මේ මුද්දර එකතුවේ වටිනාකම හිතාගන්න බැරි තරම් විශාල මුදලක් වෙන බවත්. එතන පටන් මේ දෙන්නාගේ ජීවිත වල තියන සාමකාමී කම නැතිවෙලා යනවා. දෙන්නාගේ ලොකුම වැඩේ එතැන් පටන් මුද්දර ආරක්ෂා කරන එක. නමුත් අනවශ්‍ය තරම් තණ්හාව හැම තිස්සේම අරගෙන එන්නේ විනාසයක්ම තමයි.

.

.

.


ක්‍රිරිසිස්ටොෆ් කිසලොව්ස්කි කියන්නෙ බොහෝ කාලයක් ජීවත් විය යුතුව තිබුණු නිර්මාණකරුවෙක් වුණත් 1996 දී වයස 54 ක් වෙද්දී දිගුකලක් තිස්සෙ පෙළෙමින් සිටිය ස්වසන රෝගී තත්වය නිසා අකාලයේ ජීවිතයෙන් සමුගන්න ඔහුට සිද්ද වෙනවා. කිසලොව්ස්කි කියන්නෙ හරියට කොහේ හෝ දුර ඈත තරුවක ඉඳන් මේ පොළව දිහා බලා ඉඳලා ආව කෙනෙක් වගේ. පොළොවේ ජීවිතේ හැබෑම සත්‍යතාවන් කාව්‍යමය රූප මාලාවක සිතුවම් කරලා නැවතත් ඉක්මණින්ම ඒ තරු ලෝකය බලා නික්මී ගිය මුනිවරයෙක් වගෙයි ඔහු. Dekalog මේ මුනිවර සිනමාවේ අග්‍රතම ඵලයක් බව කිව්වොත් වරදක් නෑ.

.

.

මූලාශ්‍ර - Danusia Stok විසින් සංස්කරණය කළ Kieslowski on Kieslowski නම් කිසලොව්ස්කි චරිතාපදානයේ සිංහල පරිවර්තනය, "විශිෂ්ටය ක්‍රිෂිෂ්‍ටොෆ්" - පරිවර්තනය, දිලීප ජයකොඩි.