අපේ කාලේ සිනමාකාරයෙක් වෙච්ච ටැරන්ටිනෝ මහත්මයා මෑතක දී කියපු එක්තරා කට කැඩිච්ච කතාවක් හින්දා මේ සයිබර් අවකාශේ සිනමා සංවාද ඇතුළේ කතාවට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා තිබුණා. ඒ මහත්මයා ඒ කතාව කියලා තිබුණේ නැගී එන ඇමරිකානු නළුවෙක් වෙච්ච පෝල් ඩේනෝ සම්බන්ධයෙන් සහ ඒ කතාව ඇදිලා එන්නේ 21 වෙනි සියවසේ බිහිවුණු හොඳම චිත්‍රපටි තෝරන එක්තරා වැඩසටහනකදි. එතනදි ටැරන්ටිනෝ කියලා තිබුණ කතාවෙන් කියවුණේ පෝල් ඩේනෝ කියන්නෙ කිසිම කමකට නැති නළුවෙක් සහ දැනට ඇමරිකානු නළුනිලි සමූහයේ (SAG) ඉන්න දුර්වලම නළුවා පෝල් කියන දෙය. There Will Be Blood චිත්‍රපටිය 21 වෙනි සියවසේ හොඳම චිත්‍රපටි අතරේ අඩුවෙන් ස්ථානගත කරන්න වෙන්නේ පෝල් ඩේනෝ ගේ දුර්වල රඟපෑම නිසා බව ටැරන්ටිනෝ කියලා තිබ්බා. ඒක ටැරන්ටිනෝගේ පුද්ගලික අදහසක් වෙන්න ඇති. නමුත් පෝල් ඩේනෝ ගේ රඟපෑම් දැකලා තියෙන කෙනෙකුට කවදාවත් එයා දුර්වල නළුවෙක් කියලා කොහොමත් දැනෙන්නෙ නැති බව සහතිකයි. (උදාහරණ The Batman, Prisoners, Swiss Army Man, Little Miss Sunshine වගේ චිත්‍රපට). පෝල් ඩේනෝ කියන්නෙ සිනමා කර්මාන්තය ඇතුළෙ දි තමන්ට අදාළ වැඩේ කරලා පැත්තකට වෙලා ඉන්න බොරු සෝබන නැති සහ තමන්ව ප්‍රවර්ධනය කරගන්න උත්සාහ නොකරන නිහඬ, නිවුණු චරිතයක් බවයි කියවෙන්නෙ. ඉතින් පෝල් ගේ රසිකයිනුත් සිනමාව ගැන උනන්දු සහ සාධාරණව හිතන්න පුලුවන් කවුරු වුණත් මේ කතාව සම්බන්ධයෙන් ටැරන්ටිනෝ මහත්මයාට සෑහෙන අමතලා තිබ්බා. ඔය අල්ලපනල්ලෙ පෝල් ඩේනෝ වෙනත් රඟපෑම් ගැන හොයමින් ඉන්න අතරේ මගෙ ඇහැ නතර වෙන්නෙ War & Peace කියන නිර්මාණය ලඟ. මේක ලියෝ ටෝල්ස්ටෝයි ගෙ යුද්ධය හා සාමය නවකතාව මුල් කරගෙන BBC යෙන් කළ නිර්මාණයක් බවත්, 2016 අවුරුද්දෙ ආව කොටස් 6 ක රූපවාහිනී නාටකයක් බවත් දැක්කාම හිතුණෙ මෙච්චර කල් කොහොමද මේවා මගඇරුණේ කියලා තමයි.
War & Peace ලෝකෙයෙ මෙතෙක් ලියවුණු අති විශිෂ්ටතම නවකතාවක් විදිහට සැලකෙනවා. ඒ වගේම ප්‍රධාන චරිත ගණනාවක්ම ඇතුළත්වෙන සහ ඒ චරිත ආශ්‍රයෙන් මිනිස් ජීවිතයත් සමාජ දේශපාලන කාරණාත් ගැඹුරට විවරණය කරන ඉතාම දීර්ඝ නවකතාවක්. මේ නවකතාවේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය "යුද්ධය හා සාමය" නමින් අපිට හිටපු අග්‍රගන්‍ය පරිවර්තකයෙක් වෙච්ච සිරිල් සී. පෙරේරා මහත්මයා විසින් කාණ්ඩ තුනක් යටතේ පළකරලා තියනවා. මේ 2016 රූපවාහිනී නාටකය ඇතුළෙ දී ඒ සාහිත්‍යමය බරසාර කම දැනෙනවා. ඒ වගේම කතාවට මුල් වෙන 1800 ගණන් ප්‍රතිනිර්මාණය කරලා තියන ආකාරයෙනුත් ඇහැට සනීප පසුතල සහ රූපරාමු එක්කත් මොහොතක් ඇහැ ඉවතට ගන්න හිතෙන්නෙ නැති රූපමය සෞන්දර්ය පිරුණු classic ගණයේ නිර්මාණයක්.
කතාවේ ප්‍රධානම චරිතයක් වෙච්ච පියරේ ගෙ චරිතය යි පෝල් ඩේනෝ මෙතනදි රඟපාන්නෙ. පියරේ කියන්නෙ රුසියාවේ ධනවත්ම සිටුවරයෙකුගේ අනීතික පුත්‍රයෙක්. පියරේ ඉතාම කාරුණික මෘදු ගතිගුණ ඇති අවංක තරුණයෙක්. සමාජයෙ බහුතර දෙනෙකුට වඩා වෙනස් විදිහට තමා එයා දේවල් දකින්නෙ. ඒ වගේම එයා සමාජයේ පිලිගැනීමක් ලබාගන්න බොරු ප්‍රතිරූපයක් මවාපාන්නෙ නෑ. ඉතින් එයාගෙ මෙන්න මේ වෙනස් දැක්ම සහ අව්‍යාජ ගති ගුණ හින්දා වැදගත් සමාජයෙ කවුරුත් එයාව වැඩියෙ ගණංගන්නෙ නෑ. ගොඩක් වෙලාවට එහෙම චරිත වලට සමාජෙන් ලැබෙන ප්‍රතිචාරය තමා ඕක. කතාවෙ හැටියට පියරේටත් වෙන්නෙ එහෙම. (පෝල් ඩේනෝ මේ චරිතයට තෝරා ගැනෙන්නෙ එයාගෙ ගති ස්වභාවයන් මීට සමපාත වෙන හින්දා වෙන්නත් පුලුවන්). දවසක් නොහිතූ විදිහට පියරේ ලොකු ධනස්කන්ධයක උරුමක්කාරයෙක් බවට පත් වෙනවා. එච්චර ධනයක් ලැබුණාට ඒවයින් මොනවද කරන්න ඕන කියලා එයාට තේරෙන්නෙ නෑ. මොකද එයාට ඒ දේවල් ගැන ලොකු උනන්දුවක් නැති නිසා. නමුත් ඉන් පස්සෙ එයා වටේ ලෝකය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලින් එයාව ගණන් ගත්තෙ නැති වැදගත් සමාජය දැන් එයාව හොයාගෙන එනවා. මංගල යෝජනා දවසට දෙක තුන එන තරමට මොකක්ද වෙනසක් සිදුවෙලා තියනවා කියල දැනෙන්න පටන් ගන්නවා.
පියරේ කියන්නේ මේ කතාවේ එක චරිතයක් පමණයි. තව ගොඩක් දෙනා ඉන්නවා. කතාවට පසුබිම් වෙන යුද්ධය සිද්ධවෙන්නේ ඔය අතරේ දි යි. 1805 දී ප්‍රංශයේ නැපෝලියන් අධිරාජ්‍යයා ඔස්ට්‍රියාව ආක්‍රමණය කරනවා. මේ සිදුවීම එක්ක අසල්වැසි රුසියාවත් දේශපාලනික වශයෙන් අවදානමට ලක්වෙනවා. ඒ නිසා රුසියාවත් ඔස්ට්‍රියාවත් එක්ව පොදු සතුරා වුණු නැපෝලියන්ට එරෙහිව යුධවදින්න තීරණය වෙනවා. රුසියන් තරුණයෝ බොහොම දෙනෙක් යුද්ධයට යනවා. පියරේ ගේ නැදෑ හිත මිත්‍රයින් බොහොම දෙනෙක් ඔය අතරේ ඉන්නවා. අන්ද්‍රේ කියන්නේ ඒ අතරින් එක්කෙනෙක්. හරියටම කිව්වොත් පියරේ ගේ ප්‍රාණසම අතිජාත මිත්‍රයා තමයි අන්ද්‍රේ. අන්ද්‍රේ වැදගත් පවුලකින් එන කඩවසම් තරුණයෙක්. අන්ද්‍රේ විවාහකයෙක්. ඔහුට ඉන්නවා සුරූපී භාර්යාවක්. ඔහුට සමාජයෙ හොඳ පිළිගැනීමක් තියනවා. බැලූ බැල්මට අන්ද්‍රේ ගත කරන්නේ කිසි දෙයකින් අඩුවක් නොවුණු සියල් සපිරි ජීවිතයක් වුණත් ඔහු මහා අතෘප්තියකින් පෙළෙනවා. උසස් සමාජයේ විනෝද සාද, හමුවීම්, උත්සව මේ කිසි දෙයක් අන්ද්‍රේගෙ සිත් ගන්නේ නැහැ. අනෙක් අතින් විවාහ ජීවිතේත් කිසි ප්‍රශ්නයක් නැතත් ඔහුට ඒ ගැන සතුටකුත් නෑ. අන්ද්‍රේ යුධ පෙරමුණට යන්නේ එක්තරා ආකාරයකට ජීවිතේ මේ හිස් කමින් පළායන්න.
War & Peace කතාව ගලා යන්නේ ඔය හැම දෙයක්ම එකිනෙක සම්බන්ධ කරමින් සංකීර්ණ සිද්ධිදාමයන් නිර්මාණය කරමින්. මේකෙ පෝල් ඩේනෝ ට අමතරව ජෙසී බක්ලි, ගිලියන් ඇන්ඩසන් වගේ අපිට හුරු පුරුදු තවත් අය කීපදෙනෙක්ම ඉන්නවා. පොත කියවා නැති නිසා පොතත් එක්ක සංසංදනාත්මකව කොයි තරම් සාධාරණයක් මූලික කතාවට මේ නාටකය කරලා තියනවද දන්නෙ නෑ. පොදු පිළිගැනීම අනුව නම් පොත මූලිකව කළ හොඳම ගණයේ අනුවර්තනයක් මේ නාටකය. Periodic Drama වලට කැමති අයට සැකයක් නැතුවම නිර්දේශ කරන්න පුළුවන් වැඩක්. අනෙක් අතට ටැරන්ටිනෝලා මොන කතා කිව්වත් පෝල් ඩේනෝ කියන්නෙ අපේ කාලේ දක්ෂයෙක් බව ඔප්පු කර පෙන්වන නිර්මාණයක්. එයාට එල්ල වුණු ඒ අපහාසයට මම දන්න තරමින් පෝල් කිසිම ආකාරයක ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඒවට ප්‍රතිචාර දිදී ඉන්න කාලයත් ශ්‍රමයත් නාස්ති කරන්න උවමනාත් නැහැ. අදාල වැඩේ පමණක් කරලා පැත්තකට වෙලා ඉන්න නිහඬ චරිත සාමාන්‍යයෙන් ඔය වැනි දේවල්වලදී ඉස්සරහට එන්නේ නැහැ. ඒක ඒ අයගෙ හැටි. තමන් වැඩ කරන්නේ හදවතට එකඟව නම්, කරන දේ ඇතුළේ තමන්ගේ ආත්ම තෘප්තිමත් නම් එතනින් එහාට තව මොනවද? ඒ සිද්ධිය ඇතුළේ අපිටත් හිතන්න යමක් ඉතිරි වෙලා තියනව කියලා මම හිතනවා.

No comments:
Post a Comment