සාතන් ඇදහීම, නොයෙක් ආකාර යක්ෂ වන්දනාවන් සහ ඒ හා බැඳුණු වත්පිළිවෙත් කිතුණු දහම ව්‍යාප්ත වුණ යුරෝපයේ මධ්‍යතන යුගයේදිත් පැවතී තිබෙනවා. මධ්‍යතන යුරෝපයේ සංස්කෘතික , සමාජ පදනම් වල අධිපතිත්වය දරපු කතෝලික පල්ලිය කිතුණු දහමට විරුද්ධ අදහස් දරන්නන් ඉතා දරුණු විදිහට මර්ධනය කලා. ඒ නිසා ඉතා රහසිගතවයි මේ යක්ෂයා ඇදහීම සිදුවුණේ. වතිකානුව මුල්කරගත්ත රෝමානු කතෝලික සභාව පිහිටුවාගැනීමෙන් පස්සෙ සභාව ඇතුලෙන්ම කණ්ඩායමක් මේ කතෝලික පල්ලියෙ අධිපතිත්වයට විරුද්ධව කැරල්ලක් ඇති කරනව. ඔවුන් හඳුන්වන්නෙ ප්‍රොතෙස්තන්තියානුවන් විදිහට (Protestant). කතෝලික සභාවත් ඉන් පස්සෙ නොයෙක් විභේදනයන්ට ලක්වෙනව. මුල් කිතුණුවන් මේ බෙදී ගිය කොටස් හඳුන්වන්න "සාතනික" නම යොදාගන්නව. මේ "සාතනික" යෙදුම බහුලව භාවිතවෙන්න පටන් ගන්නෙ ඉන්පස්සෙ. ඇමරිකානු ජාතික ගත් කතුවරයෙක්, සංගීතඥයෙක් වුණ Anton La Vey විසින් 1966 අවුරුද්දෙ සාතනික සභාවක් පිහිටුවනව. ඔහු සාතනික බයිබලයක් පවා ලියනව. මොවුන්ගෙ මූලික අරමුණ දෙවියන් සහ පල්ලියෙ අධිපතිත්වය ප්‍රතික්ෂේප කිරීම, පුද්ගල නිදහස, නිදහස් කැමැත්ත ඇගයීම වැනි දේවල්. ඉතා කුඩා කණ්ඩායම් අතරේ කල්ට් එකක් විදිහට අද දක්වා සාතන් ඇදහීම පවතිනවා. යටි අතට හැරවූ කොන් පහක තරුව (Pentagram) සහ එලුවෙකුගෙ හිස සහිත බොහිමොත් සලකුණ සාතන් ගේ සළකුණ විදිහට හඳුන්වනව. ඇයි මේ එළුවෙක්ම යොදාගන්නෙ? බයිබලයේ බැටලුවා යහපත, අහිංසකත්වය සංකේතවත් කරන්නත්, එළුවා නපුර, දුෂ්ටකම සංකේතවත් කරන්නත් යොදාගන්නව. ජේසුස් වහන්සෙ ඉපදීමට පෙරත් ජේසුස් වහන්සේ ජීවත්වුණ සමකාලීනවත් බැටළුවන් එළුවන් වගේ සතුන් ඇති දැඩි කිරීම ජුදා ජාතීන් අතර පැවතුණ බව හඳුනගන්න පුලුවන්. එදිනෙදා ජීවිතයට සමීප නිසා මේ එළුවන් උදාහරණයට ගන්න ඇති. (දාවිත්ව නාතාන් දිවැසිවරයාට මුණගැහෙන්නෙ ඔහු පියාගේ බැටලු රැළ බලාගනිමින් ඉද්දි. ආබ්‍රහම් (Abraham) තම පුතා ඊසාක් (Iasac) වෙනුවට දෙවියන්ට පුදකරන්නෙ බැටලුවෙක්ව. ජේසුස් වහන්සේ යහපත් එඬේරා නමින් හඳුන්වනව, බයිබලයේ බොහෝ තැන්වල එඬෙරු සහ බැටලු රැළ උපමාවට අරගෙන තියනව) ඉතින් ඇත්තටම කවුද මේ සාතන් නමින් හඳුන්වන්නෙ?
කිතුදහමේත් ඊට සමකාලීනව බිහිවුණ ජුදා ආගම් වලත් ලෝකය මවා එය පාලනය කරන සර්ව බලධාරී දෙවියන්වහන්සේ කෙනෙක් ගැන කියැවෙනවා. දෙවියන් තමා සියලු යහපත් දේ බිහි කරන්නෙ. විශ්වයෙහි අධිපතිත්වය දරන්නෙ. හැම විටම දෙවියන්ට විරුද්ධව ක්‍රියාකරන යක්ෂ බලවේගයක් ගැන මේ හැම ආගමකම කියැවෙනව. දෙවියන් යහපත නම් මේ යක්ෂයා තමයි සියලු දුෂ්ට කමේ නපුරේ උපත වෙන්නෙ. හරියට සුදු සහ කලු වගේ. (එළුවන් සහ බැටලුවන්) කිතුණු ධර්මයෙ සාතන් නමින් හඳුන්වන්නෙ මේ දෙවියන් වහන්සේ ගේ ප්‍රධාන සතුරා, නපුරට අධිපති යක්ෂයා. හීබෲ බසින් "සාතන්" කියන වචනය අරුත් ගැන්වෙන්නෙ "නපුර ගෙන එන්නා" "පාපිෂ්ටයා" "විවේචනය කරන්නා" විදිහට. නමුත් කිතුණුවන්ගෙ අත්පොත වුණු බයිබලයේ සාතන් කියන්නෙ කවුද ඔහු බිහිවුණේ කොහොමද කියා නිසි පැහැදිලි කිරීමක් නෑ. බයිබලය ඇතුලෙ විවිධ අවස්ථා වල නපුර ගෙන එන්නන් හැඳින්වීමට "සාතන්" යන යෙදුම යොදාගෙන තිබෙනවා.(මතෙව් 12: 24 - 27, මතෙව් 4: 1 - 11, මාක් 1: 12 - 13) මේ නපුරා හැඳින්වීමට "සාතන්" යන යෙදුමට අමතරව "ලුසිෆර්" "බීල්සෙබාබ්" බොහිමොත්" නම් වලිනුත් හඳුන්වනව. සාතන් දෙවියන් වහන්සේගෙ අග්‍ර දේවදූතයෙක් බවත්, තමන්ගෙ බලවත් කමෙන් උඩඟු වුණ ඔහු දෙවියන්‍ට සමාන වීමට උත්සහ කල බවත්, අවසානෙ දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් ඔහු එලවා දැම්ම නිසා දෙවියන්ගේ ප්‍රධාන විරුද්ධවාදීයා බවට පත්වුණ බවත් තමයි කිතුණුවන් අතරෙ තියන මතය. සාතන් බිහිවීම ගැන සඳහන් වෙන බොහෝ තැන්වල තියෙන්නෙ ඒ අදහස (යෙසායා 14: 12 - 17). කොහොම වුණත් සාතන් යනු කවුද ඔහු බිහිවුණෙ කොහොමද කියා නිශ්චිත පැහැදිලි කිරීමක් නෑ. මේ සාතන් ඇදහීම නොයෙක් පොතපත, සිනමා නිර්මාණ වලට වස්තු බීජය සපයල තියනව. Ira Levin නම් ලේඛකයෙක් නූතනයේ සාතන් ඇදහීමේ කල්ට් එකක් පසුබිම් කරගෙන Rosemary's Baby නමින් නවකතාවක් ලියනව. (දිලීප ජයකොඩි මහත්මය මේ නවකතාව "රෝස්මරීට බබෙක්" නමින් සිංහලට පරිවර්තනය කරල තියනව) සුප්‍රසිද්ධ සිනමාකරු Roman Polanski මේ නවකතාව පාදක කරගෙන නිර්මාණය කරන සිනමාපටය Rosemary's Baby.
Rosemary සහ Guy අලුත විවාපත් වුන යුවළක්. මේ දෙන්නා ජීවිතය අලුතෙන් පටන් ගන්න අලුත් වාසස්ථානයක් සොයනවා. එක්තරා මහල් නිවාස සංකීර්ණයක නිවසක් මේ දෙන්නා මිලදී ගන්නවා. ඒ නවාතැන අඳුරු ස්වභාවයක් ගත්තත් අලුතෙන් වර්ණගන්වල දෙදෙනා නිවස කළඑළි කරනව. අසල්වැසි නිවසේ ඉන්නෙ ඉතාම මිත්‍රශීලි මහළු යුවලක්. මේ විදිහට අඩුපාඩුවකින් තොරව සතුටින් ඔවුන්ගෙ ජීවිතය ගතවෙද්දි, අලුතෙන් විවාහ වෙන බෝහෝමයක් යුවළ වගේ රෝස්මෙරි සහ ගයි දරුවෙක් අපේක්ෂා කරනව. ඔවුන්ගේ සිහිනය මල්ඵල ගැන්වෙන බව ලකුණු පහළ කරමින් රෝස්මෙරි ගැබ් ගන්නව. දැන් ඔවුන් දෙදෙනාගෙ කාලය ගත වෙන්න පෙරටත් වඩා සතුටින්. ඒත් බිහිසුණු යමක් සිදුවෙන බව රෝස්මෙරීට ඉවෙන් මෙන් දැනෙනව. ඇගේ කුසෙන් අධික වේදනාවක් හටගන්නව. ඈව පරික්ෂා කරන වෙද්‍යවරයා කියන්නෙ ඈට බියවීමට හේතුවක් නැති බවත් මෙය සාමාන්‍ය තත්ත්වයක් බවත්. ඒත් රෝස්මරි එය විශ්වාසකරන්නෙ නෑ. කුමක් හෝ අබිරහසක් මෙතන ඇති බව ඈට සහතිකයි. ඇත්තටම ඈට සිදුවෙන්නෙ මොකක්ද,?
රෝස්මරි චිත්‍රපටයෙ අපිට Plot twist, සාමාන්‍ය Horror චිත්‍රපටවල වගේ ලේ වැගිරෙන බිහිසුණු මාරාන්තික දර්ශන දකින්න ලැබෙන්නෙ නෑ. එක අවස්ථාවක පමණයි යම් බිහිසුණු බවක් ඇති දර්ශනයක් අපි දකින්නෙ. ඒ Rosemary දකින සිහිනයක්. මේ චිත්‍රපටයෙ ත්‍රාසය සහ භීතිය මතු කරන්නෙ ඉතාම තාත්විකව සහ ඉතාම සියුම් ව. මේ චිත්‍රපටයෙ විශේෂත්වය මතු වෙන්නෙ එතනයි. එය හුදෙක් කම්පනය බිහිසුණු බව මත රදාපවතින චිත්‍රපටයක් නොවෙයි.
අනතුරක් පිළිබද ස්ත්‍රියකගෙ ඉව, යම් කරුණු ඉක්මණින්ම විශ්වාස කිරීමට සහ සැක කිරීමට පෙළඹෙන ඇගේ ස්වභාවය මේ Rosemary ගේ චරිතයෙන් දකින්න පුලුවන්. ඒ වගේම විශේෂම කාරණය මව සහ දරුවා අතර සම්බන්ධතාව. මුහුණ පවා තවම නොදුටු දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙකුට කරන්න බැරි මොනවද,? කරන්න බැරි දෙයක් නෑ. .. Rosemary ගේ චරිතය නිරූපණය කරන Mia Ferrow රගපෑමක් බව නොදැනෙන තරම් ඉතාම තාත්වික රංගනයක යෙදෙනව. චිත්‍රපටය බලපු කෙනෙකුට ඇගේ රඟපෑම් ලේසියන් අමතක වෙන්නෙ නැතිවෙයි. නමුත් පුදුමයට වගේ ඇගේ මේ රංගනය වෙනුවෙන් Oscar සම්මානය සදහා ඇගේ නම නිර්දේශ වෙන්නේ වත් නෑ! නමුත් Golden Globe සම්මානය සදහා ඇගෙ නම නිර්දේශ වෙනව.
නවකතාවක් සිනමාවට අරගෙන එන එක නිර්මාණකරුවෙකුට විශාල අභියෝගයක්. මොකද නවකතාවක් හරියට සාගරයක් වගෙයි. නවකතාවකින් ගොඩනගන පරිකල්පන ලෝකය ඉතා විශාල පරාසයක විහිදෙනව. නවකතාව එක්ක සංසංදනාත්මකව බැලුවොත් සිනමාව සීමාසහිත මාධ්‍යයක්. නවකතාවක් කියවන පාඨකයෙක් කතාව තමන්ගෙ මනස තුල ගොඩනගාගන්නෙ තම අත්දැකීම අනුව. මෙතනදි පාඨකයා ගොඩනගාගන්න රූපය පුද්ගලබද්ධ එකක්. නමුත් සිනමාවෙදි මේ පුද්ගලබද්ධ රූපය පොදු අත්දැකීමක් බවට පත් කරනව. එතනදි විශාල වගකීමක් පැවරෙනව චිත්‍රපටයෙ අධ්‍යක්ෂ වරයාට. Rosemary's Baby චිත්‍රපටයෙ සාර්ථකත්වය තියෙන්නෙ Roman Polanski එය හුදු පැතලි ත්‍රාසයකට සීමානොකර වඩා පරිපූර්ණ සිනමා අත්දැකීමක් විඳගැනීමට සැලැස්වීම නිසා. මේක නවකතාවක් ඉතාම සර්ථකව සිනමාවට නැගුණු අවස්ථාවකට උදාහරණයක් විදිහට අරගන්න පුලුවන්. මුලින් සඳහන් කලා වගේ මේ චිත්‍රපටයෙ, යථාර්ථයට වඩාත් සමීපව සහ සියුම් ව තැවරුණු සංත්‍රාසය horror සිනමාව ප්‍රියකරන්නන් පමණක් නොවෙයි ඕනෑම සිනමා රසිකයෙක් මගහැර නොගත යුතු එකක්.. !
Pentagram
Anton La Vey
යහපත් එඬේරා