Wednesday, August 28, 2019

Leave no trace (2018)


මිනිසා කියන්නෙ කණ්ඩායම්ගත සත්ත්වයෙක්. ඈත පරිණාමීය යුග වල මුල්ම මිනිසුන් පවා කණ්ඩායම් ආකාරයේ ජීවන රටාවකට හුරුවී සිටි බවට සාධක හමුවෙනවා. ශිෂ්ටාචාරය ක්‍රමයෙන් දියුණු වීමත් එක්ක පොදු පැවැත්ම සඳහා එකඟතාවන්, ක්‍රමවේදයන්, සම්මුතීන් ඔහු විසින් නිර්මාණය කරගත්තා. නමුත් පසුව මේ ක්‍රමවේදයන් නැවත ඔහුවම පීඩා කරවන්නක් බවට පත්වුණා. අපි ජීවත්වෙන වර්තමාන යුගය වෙනකොට අපේ දෛනික ජීවිත රටාව ඉතාම තරඟකාරී, වගේම වෙහෙසකාරී එකක් බවට පත්වෙලා තියනව. ජාතීන් වශයෙන් ආගම් වශයෙන් එකිනෙකා පරයා තම බලය විදහාපෑම වෙනුවෙන් ජිවීත විනාශ කරන දරුණු යුධ ගැටුම් ලොව පුරා ඇවිලී ගිහින්. ඇතැම් වෙලාවට යුද්ධය විසින් මිනිසා ඇතුලෙ නිර්මාණය කරන පීඩාව එළියට එන්නෙ හිතාගන්න බැරි තැන් වලින්. 

Peter Rock කියන ලේඛකයාගේ My Abandonment නවකතාව ආශ්‍රයෙන් නිර්මාණය වුණ Leave No Trace චිත්‍රපටයෙ අපි දකින්නෙ PTSD (Post-Traumatic Stress Disorder) තත්ත්වයෙන් පෙළෙන Will නම් සොල්දාදුවෙක් සහ ඔහුගෙ දියණිය Tom ගැන කතාවක්. PTSD කියන්නෙ යම් භයානක අත්දැකීමකට මුහුණ දුන්නු කෙනෙකුට ඇතිවෙන මානසික තත්ත්වයක්. බියකරු සිහින දැකීම, ඒ අත්දැකීම නැවත නැවත ආවර්ජනා කිරීම, නිතර කාංසාවෙන් පසුවීම PTSD තත්ත්වයෙන් පීඩා විඳින කෙනෙකුගෙ ලක්ෂණ . Will මිනිස්සු ගැවසෙන සමාජයෙ ජීවත් වීම ප්‍රතික්ෂේප කරනව. හෙලිකොප්ටර් යානයක සද්දෙන් පවා ඔහු බියට පත්වෙනව. ඔහු තම දියණිය එක්ක වනගතවයි ජීවත්වෙන්නෙ. මේ වනගත පරිසරය ඉතා අපූරුවට කැමරාවට අල්ලගෙන තියනව. මුලින්ම අපි දකිනව කැලෑවෙ ගහක පිනි බින්දු වැටිල හිරු එළියෙ දිදුලන මකුළු දැලක දර්ශනයක්. මිනිසා විසින් නිර්මාණය කරගත්ත විශමාචාරී ක්‍රමයද මේ මකුළු දැලෙන් සංකේතවත් වෙන්නෙ?

මම හිතනව Leave No Trace මූලිකවම යුද්ධය ගැන කතා කරන සිනමාපටයක් කියල. නමුත් යුද්ධය කියන වචනය වත් නොකියා, යුද්ධය එක රූප රාමුවකින් වත් නොපෙන්වා යුද්ධයේ ඵල විපාක අපිට දැනෙන්න සලස්වනව. Leave No Trace ගෝලීය වශයෙන්, සමාජීය වශයෙන් බලපාන ගැටලුවක්, දේශපාලනය වත් යුධ ගැටුම් වත් කිසිවක් නොපෙන්වා මහේශාක්‍ය තත්වයෙන් තොරව ක්ෂුද්‍ර මට්ටමෙන්, පියෙකුගෙ සහ දියණියකගෙ සම්බන්ධතාව ඇසුරෙන් පෙන්වාදෙනව. මේ පවුල් සම්බන්ධතාව කේන්ද්‍රීය තේමාවෙන් වෙන්කරල ගන්න බෑ. ඒක චිත්‍රපටයෙ හරයත් එක්ක අවියෝජනීයව බැඳිල තියෙන්නෙ. Will හෙවත් පියා තමන්ගෙ දියණිය පාසල් යැවුවෙ නැති වුණත් ඈට ලියන්න කියවන්න හොඳහැටි කියාදෙනව. ජීවිතයට අවශ්‍ය ආචාර ධර්ම ඈට හුරු කරනව. හැම දෙමාපියෙක්ම වගේ ඔහු තමන්ගෙ දියණියට ආදරෙයි. ඒත් අපේ රටවල බොහොමයක් මව් පියන් වගේ තමන් ගෙ ආකල්ප, තමන් කැමති අකමැති දේ දරුවන් පිට පටවල තමන්ට ඕන මාර්ගයෙ ඔවුන් බලෙන් දක්කන්න උත්සහ කරන්නෙ නෑ. තමන් සහ තමන්ගෙ දියණිය අතර වෙනස ඔහු අවබෝධ කරගන්නව. මෙතනිනුයි පියෙකු විදිහට Will ගෙ විශිෂ්ඨත්වය මතුවෙන්නෙ.

මිනිසුන්ගෙ කෲරකම් නිසා දුක් විඳින Will සහ Tom සැනසුමක් ලබන්නෙත් වෙනත් මිනිසුන් පිරිසක් ආශ්‍රයෙ ම යි. ඒ තැනින් තැනට යමින් කැලෑබදව ජීවත් වෙන සංගීතය ජීවිතේට සමීප කරගත්ත නිදහස්කාමී මිනිසුන් පිරිසක් අතරෙ. මෙතනින් මතුකර පෙන්වන්නෙ මේ ජීවන ක්‍රමයෙ තියන පීඩාව ඇතුලෙ සුවපත් වීම තියෙන්නෙ අපි අපි අතරෙමයි කියන කාරණාව ද?. කොහොම වුණත් සිස්ටම් චේන්ජ් ගැන කතාවෙන මේ යුගයෙ හැමදේමටම කලින් සිස්ටම් එක විසින් අපිට මොකක්ද කරල තියෙන්නෙ කියල හඳුනාගත යුතුයි කියල මම හිතනව. කලා කෘතියකින් කරන්නෙ මෙන්න මේ දෙය අපේ ඇස් ඉස්සරහපිට නිරාවරණය කර පෙන්වීම. අන්තිම දර්ශන කීපයෙදි මතුවෙන සියුම් කම්පනය අපිට මොකක්ද වුණේ කියන ගැටලුවට හොඳ උත්තරයක් සපයාදෙනව.







No comments:

Post a Comment