Friday, August 9, 2019

Breaking Bad (2008 - 2013)

ITN එකේ කූඹියෝ නාට්‍යය විකාශය වෙනකාලෙ මේක Breaking Bad ට සමානයි කියල කතාවක් ඇති වුණා මතකයි. ඒ වෙද්දි BB බලල නොතිබුණු නිසා ඒ ගැන අදහසක් තිබුණෙ නෑ. කොහොමිං හරි දැන් තමා BB සීසන් 5 ම සම්පූර්ණයෙන් බලල ඉවර කරන්න ලැබුණෙ. Breaking Bad බලන්න පටන්ගත්තෙ Game of thrones ඉවරවුණු ගමන්ම වගේ ඉතුරුවෙච්ච සාංකාවත් එක්කමයි. GOT වගේම BB එදාමෙදාතුර නිර්මාණය වුණ හොඳම රූපවාහිනී කතාමාලාවන් අතරෙ ඉහළින් ම වැජඹෙන නම් දෙකක් නිසා ලොකු දෙයක් බලාපොරොත්තු වුණා කිව්වොත් හරි. මුල්ම දර්ශන කීපයෙන් ම මේක ගැන මගෙ කැමැත්තක් ඇති වෙන්න පටන් ගත්ත. පළවෙනි කොටසෙම තවත් ඉස්සරහට ගිහින් අවසන් වෙද්දි "ෂා මේක මරුනෙ" තත්ත්වයට ආව. සීසන් එකෙන් සීසන් එකට තවත් ඒ ගතිය වැඩි වුණා මිස අඩු වුණේ නම් නෑ.

කතාවෙ ප්‍රධාන චරිතය Walter White කොයි විදිහකින් වත් පරමාදර්ශී චරිතයක් නෙමෙයි. ඔහු පරමාදර්ශ කුඩු පට්ටම් කරන්නෙක්. මං අහල තියන විදිහට Game of Thrones නිර්මාණය කළ George R R Martin පවා BB වල Ozymandias කියන කොටස නැරඹුවට පස්සෙ කියා තියනව වෝල්ටර් වයිට් තරම් දුෂ්ටයෙක් තමන්ගෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් කතාමාලාවෙ වත් නැති බව.

බොහොම අහිංසක විදිහට ජීවත් වෙන රසායන විද්‍යා ගුරුවරයෙක් පසුව මත් ද්‍රව්‍ය අධිරාජ්‍යයක් බිහි කරන හැටි තමන්ගෙ අධිපතිත්වය රැකගන්න ජීවිත විනාශ කරන හැටි අපි දකිනව. මනුස්සයෙක් ක්‍රම ක්‍රමයෙන් ජීවිතේ කවදාවත් නොහිතන තැනකට පරිණාමය වෙන හැටි මේ කතාමාලාවෙන් පෙන්නා දෙනව. මෙතන සෑහෙන වැදගත් කාරණයක් තියනව. ඔහු නීති විරෝධී ක්‍රමයෙන් මුදල් උපයන්න පටන් ගන්නෙ මගෙ දරුව වෙනුවෙන් මගෙ පවුල වෙනුවෙන් කියන හැඟීම ඉස්සරහට දාගෙන. ඒත් එතන ඇත්තටම තියෙන්නෙ තමන්ගෙම ආත්මාර්ථයට යට වීම මමත්වය ඉස්මතු කරගැනීම බව පැහැදිලියි. ඇයි නීතියට පිටින් මුදල් උපයන්න වෝල්ටර් වයිට් පෙළඹෙන්නෙ? තමන්ගෙ දැනුම සහ හැකියාව පාවිච්චි කරල නීත්‍යානුකූල විදිහට මුදලක් උපයාගන්න ඔහුට බැරි ද? මේ හැම දෙයක්ම යටින් තියෙන්නෙ රසායන විද්‍යාවට ඔහුගෙ තියන ලාලසාවටත්, නීතියට "යටින් ගේම්" ගැසීමේ අමුතුම ත්‍රිල් එකත් සහ එයින් ක්ෂණිකව උපයාගත හැකි අති දැවැන්ත මුදලත්. ඇත්තටම දරුවන් සහ බිරිඳ වෙනුවෙන් වැඩකලා නම් මේ තත්ත්වයට ඔහු වැටෙන්නෙ නෑ. මේ වගේ රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පවුල වෙනුවෙන් කියල මිනිස්සු කරන බොහෝමයක් දේවල ඇතුලෙ තියෙන්නෙ තමන්ගෙ ආත්මාර්ථය තෘප්තිමත් කරගැනීමේ අධික ආශාව මිස වෙන දෙයක් නෙමේ.

කූඹියෝ සහ Breaking Bad එකිනෙකට වෙනස් නිර්මාණයන් දෙකක් වුණත් මේ දෙක අතරෙ සමානකම් නැතුවාම නොවෙයි. මේ නිර්මාණ දෙකම නූතන සමාජෙ අපි ගතකරමින් ඉන්න මේ මොහොත හරස්කඩකට කපල අපිටම නැවත පෙන්වනව. මුදල් සහ දේශපාලනය මිනිස් ජීවිත වල සාරය උරාගනිමින් ඉන්න යුගයකයි අපි ජීවත් වෙන්නෙ. මේ දෙක තමන්ට ඕන විදිහට මිනිස්සුන්ව රූකඩ වගේ නටවන යුගයකයි අපි ජීවත් වෙන්නෙ. පරිභෝජනවාදී තරඟකාරී සමාජ ක්‍රමයත් අධිපතිවාදී දේශපාලනයත් බිහි කළ අඳුරක් අපි වටා තියෙන්නෙ. කලාකෘතියක් කියන්නෙ අන්න ඒ සත්‍ය නැවත ප්‍රතිනිර්මාණය කිරීමකට තමා. BB කියන්නෙ ඉහළින්ම තියන්න පුලුවන් නිර්මාණයක් කියල හඳුන්වා දෙන්න කැමති ඒ නිසා.

තාක්ෂණික පැත්තෙන් ගත්තොත් BB කියන්නෙ නිර්මාණශීලි ව කතාවක් ගොඩ නගන්නෙ කොහොමද, කැමරා කෝණ භාවිතා කරන්නෙ කොහොමද චරිත ගොඩ නැගෙන්න ඕන කොහොමද කියල කෙනෙකුට අවශ්‍යනම් ඉගෙනගන්න පුලුවන් තැනක්. ඒ තරම් නිර්මාණාත්මක අතින් මේක පරිසමාප්තයි..Perfect ඉතින් එතනින් එහාට කියන්න දෙයක් තව නෑ. හැමදාම කැමරාවක් එක තැන හිට්ටවල ඒක වටේ නටන, කටේ තියන්න බැරි දහජරාවල් හදන අපේ බහුතරයක් නිර්මාණකාරයන් කියන අයගෙන් අහන්න තියෙන්නෙ මේව බලල වත් දෙයක් අපිට ගන්න බැරි ඇයි කියල. තව අවුරුදු සීයකින් වත් මෙහෙම දෙයක් අපේ රටේ හැදේවි කියල හිතන්න අමාරුයි.. ඉතින් "අනේ අපි කවදාක පිහිනමුද ඒ ගඟේ" කියන ශෝකයත් එක්කයි මේ සටහන අවසන් කරන්න වෙන්නෙ.






No comments:

Post a Comment