Monday, August 26, 2019

Cries and Whispers (1972 භාෂාව - ස්වීඩන්)


James Monaco ගේ How to read a film කියන ග්‍රන්ථයෙ Film as an Art (කලා මාධ්‍යක් ලෙස සිනමාව) නම් පරිච්ඡේදයේ ඔහු සඳහන් කරනව කලාව කියන්නෙ අපිට නිර්වචනය කරගන්න බැරි දෙයට කියල. ඔහු මේ අදහස ඉදිරිපත් කරන්නෙ Robert Frost ඇමරිකානු කවියාගෙ කියමනක් උපුටා දක්වමින්. Frost කියනවා කවිය කියන්නෙ අපිට පරිවර්තනය කරගන්න බැරි දෙයට කියල. මිනිස්සු තමන් නිපදවා ගත්ත භාෂාව ගැන කොයිතරම් ආඩම්බර වුණත් කවිය කියන්නෙ මොකක්ද කියල හරි නිර්වචනයක් සපයගන්න තවමත් ඔහු සමත් වෙලා නෑ. කවියක් බවට හැරවෙන්නෙ වෙන කිසිම ආකාරයකින් කියාගන්න බැරි හැඟීමක්. කවියකින් කියවෙන්නෙ හරියටම මෙන්න මේ දෙය කියල අපිට නිශ්චිතවම ඇඟිල්ල දිගුකරල පෙන්නන්න බෑ. T S Eliot කියන විදිහට කවියක් තියෙන්නෙ විඳින්න. ඒක හරියට මලක් විඳිනව වගේ..මලක සියුමැලි පෙති වල පහසින්, පැහැයෙන් සුවඳින් මිස පෙති කඩා බිඳ දමල කෑලි වලට කපල ඒ මල විඳින්න බෑ. මේක සිනමාවටත් පොදුයි. සමහර චිත්‍රපටි තියනව අපිට ඒව රූප රාමුවෙන් රූප රාමුව අරගෙන, මුල මැද අග සිද්ධි ගලපල තාර්කික සම්බන්ධතාවක් ගොඩනගාගන්න බෑ. කිසිම ක්‍රමයකින් අපිට ඒව විස්තර කරන්න බෑ. කරන්න පුලුවන් එකම දේ තමා චිත්‍රපටය විඳීම, තමන් එහි කොටසක්ම බවට පත්වීම, අපි ජීවිතේ අත්විඳින සියුම් සංවේදනාවන් අවස්ථා සිද්ධි එක්ක සමපාත කරගෙන චිත්‍රපටය තමන්ගෙ අත්දැකීමක් බවට පත්කරගැනීම. ලෝකෙ එදා මෙදාතුර බිහිවුණ විශිෂ්ඨතම සිනමාකරුවෙක් විදිහට සලකන Ingmar Bergman ගේ Cries and Whispers කියන්නෙ මේ වගේ සිනමා කවියක්. නමුත් ඒ අත්දැකීම තේමාත්මකවම ඉතාම වේදනා කාරී එකක් බව කියන්න ඕන. 

Maria, Karen සහ Agnes එක පවුලක සහෝදරියන් තුන්දෙනෙක්. මේ අය ජීවත් වෙන්නෙ විශාල වතුයායක් මැද පිහිටල තියන පැරණි පන්නයේ නිවසක. Anna ඔවුන්ගේ දිගුකාලීන විශ්වාසවන්ත සේවිකාව. Agnes පිළිකාවකින් මියයමින් ඉන්නෙ. Maria සහ Karen ඈට සාත්තු කරමින් ඈ බලාගන්නවා. නමුත් Agnes ට අවශ්‍ය ආදරය, උණුහුම ඈට ලැබෙන්න Anna ගෙන් පමණයි. Anna තමන්ගෙ දියණිය කුඩා වයසේදිම මිය යාමේ වේදනාවෙන් පීඩා විඳින ගැහැණියක්. ඇය නිතරම තමා අමතක කර අනෙක් මිනිස්සුන්ට ආදරය දක්වන්න පෙළඹෙන්නෙ එක්කො තමන්ගේ පීඩාවෙන් තාවකාලිකව හෝ මිදීමෙ අදහසින් නැත්නම් ඇය අනික් මිනිසුන්ගෙ වේදනාව ගැන ඇත්තම සහකම්පනයෙන් මේ හැම දෙයක්ම කරන්නෙ. Anna සහ Agnes ගේ චරිත දෙක ගත්තම එක පොදු ලක්ෂණයක් හඳුනාගන්න පුලුවන්. ඒ තමා දෙදෙනාම තුළ පවතින දැඩි ආගම් භක්තිය. ඔවුන් දෙදෙනා අතර සම්බන්ධතාව ගොඩ නැගෙන්න මේ පොදු ගුණාංගය හේතු වෙන්න ඇති. අනෙක් මිනිසුන් ගැන දයාන්විත බව ඔවුන්ට ලැබුණෙ කිතුණු දහමේ බලපෑමෙන් ද කියන ගැටලුව අපිට ඉතිරි වෙනව. කොහොම නමුත් Anna Maria ටත් Karen ටත් එකසේ ආදරය කරන්න පෙළඹෙන නමුත් ඔවුන් Anna ව පිළිගන්න සූදානම් නෑ. මියයමින් ඉන්න Agnes පමණයි Anna ගේ සෙනෙහස විඳින්නෙ. එයින් සැනසුමක් ලබන්නෙ.

අධ්‍යක්ෂවරයා මේ කතාව සරල රේඛීය ස්වභාවයෙන් අපිට කියන්නෙ නෑ. මුහුණෙන් පළවෙන හැඟීම් වලින්, අතීත ස්මරණයන්, සිහින ආශ්‍රයෙනුයි නරඹන්නන් මේ කතාව ග්‍රහණය කරගත්ත යුත්තෙ. මුහුණේ හැඟීම් ප්‍රකාශනයන් ගැන මෙතනදි විශේෂයෙන් සඳහන් කරන්න ඕන. මේ චිත්‍රපටය පුරාම චරිත වල මුහුණු ඉතා සමීපව කැමරාවට හසු කරගත් අවස්ථා ගණනාවක්ම දකින්න ලැබෙනව. රූප රාමුවක කේන්ද්‍රීය වස්තුව (Focal point) බවට පත් වෙන්නෙ බොහෝවිට මිනිස් මුහුණ. මේ බව ඉතාම පැහැදිලිවම දැකගත හැකි වුණ සිදුවීමක් තිබුණා. Karen සහ ඇගේ ස්වාමිපුරුෂයා රාත්‍රී ආහාර ගනිමින් ඉන්න අවස්ථාවෙ. ස්වාමියා ආහාර ගනිමින් ඉන්නා දර්ශනයෙදි ඔහු ගේ මුහුණ ඉතා හොඳින් නිරූපනය වී තිබුණා. ඔහු වචනයක් වත් කතා කරන්නෙ නෑ. ආහාර ගනිමින් සිටියා පමණයි. නමුත් ඒ අවථාවෙ ඔහුගෙ මුහුණේ, ඇස්වලින් සිදුවන හැඟීම් ප්‍රකාශනය ඉතාම තියුණුයි. 

Cries and Whispers නැරඹූ ඕනෑම කෙනෙකුට අමතක නොවෙන දෙයක් තියනව. ඒ තමා තනි රතු පැහැයෙන් වර්ණ ගැන්වුණු නිවස ඇතුලත කාමර සහ ඒ පසුබිමේ තනි සුදු පැහැයෙන් සැරසුණු චරිත. එතනදි මැවෙන දර්ශනය වචනයෙන් කිව නොහැකි තරම් අපූරු එකක්. සිනමා ඉතිහාසයේ සුවිශේෂ සළකුණක් තබන මේ Cinematography නිර්මාණකරුවා Sven Nykvist, ඔහු Bergman ගේ සිනමාපට ගණනාවකටම දායකවී තිබෙනවා. මේ රතුපැහැ බිත්ති ගැන බොහෝ අය විවිධාකාර අදහස් පළකරනවා. මට දැනෙන විදිහට මේ චිත්‍රපටයෙ තේමාව.. ආදරය, අනුරාගය, ආවේගය, පීඩනය, වේදනාව, මේ ආකාරයේ මිනිස් හැඟීම් නිසා ඒ බව හැඟවෙන වර්ණය විදිහට රතු භාවිතා කරන්න ඇති. රතු පැහැ කාමරය හදවතක ඇතුලාන්තය බවත් ඒ තුළ ඉන්න සුදු ඇඳගත් චරිත මිනිස් හැඟීම් නියෝජනය කරන බවත් සමහර විචාරකයින් කියනව...

මුලින්ම සඳහන් කලා වගේ Cries and Whispers කියන්නෙ වේදනාවක්. සමහර දර්ශන නැවත මතක් කරන්න පවා අපහසුයි. මේ චිත්‍රපටය සහමුලින්ම වේදනාව තේමා කරගෙන නිර්මාණය වුණ එකක් බව කෙනෙකුට හිතුණත් ඒක අරුමයක් නෙමේ. අපේ ජීවිතයෙ අපි විඳින සංවේදනා එක්ක ඒ අත්දැකීම අපි විඳිනවා මිස මේ කතාව වෙන විදිහකට පැහැදිලි කරන්න බෑ. මේ තමා Anna ලා ගෙ කතාව. හිත් පිත් නැති Marie ලා Karen ලා ට මැදිවුණ Anna ලා ගෙ කතාව තමා මේ. Cries and Whispers මට දැනෙන්නෙ කොහොමද කියල වචන කිහිපයකින් කිව්වොත් කියන්න වෙන්නෙ අන්න එහෙම.












No comments:

Post a Comment