මිනිස්සු හරි කැමතියි දේවල් ගැන පරමාදර්ශ ගොඩනගාගන්න. ආදරය, මනුශ්‍ය සම්බන්ධතා ඉඳල වෙනත් බොහෝ දේවල් වලට "ඒක මෙන්න මෙහෙම වෙන්න ඕන" කියල පූර්ව නිශ්චිත "ප්ලෙටෝනික" හැඩතලයක් අපි නිර්මාණය කරගන්නව. ප්ලෙටෝනික කියන්නෙ මොකක්ද ? ප්ලෙටෝ කියන දාර්ශනිකයා කියනව සොබාදහමෙ තියන හැම වස්තුවකටම ඊට අදාල පරමාදර්ශී වස්තුවක් පවතිනව කියන. උදාහරණයක් විදිහට "අශ්වයා" කිව්වම අශ්වයෙකු සතුවිය යුතු කියල සම්මමත සියලු දේවලින් පරිපූර්ණ සංකල්පමය අශ්වයෙක් ඉන්නව. අපි දකින හැම අශ්වයෙක් ම මේ සංකල්පමය අශ්වයගෙ කොපියක්. අශ්වයෙක් අඳින්න කිව්වොත් ඔයා අඳින්නෙ අර ප්ලේටෝ විස්තර කල සංකල්පමය, පරිපූර්ණ අශ්වයව. ඒ තමා ප්ලෙටෝනික අශ්වය. ඉතින් පුද්ගලයන්ට, සම්බන්ධතා වලට, ආදරයට මෙහෙම "ප්ලෙටෝනික" එහෙම නැත්නම් සංකල්පමය වශයෙන් පරිපූර්ණ පරමාදර්ශ තියෙන්න පුලුවන් ද.. අපි එහෙම පරිපූර්ණ මිනිස් සබඳතාවන් ගැන විශ්වාස කරනවනම් අපි අත්විඳින හැම සම්බන්ධතාවක ම කොපියක්, මෙහෙම "ආදර කොපි" පවතින්න පුලුවන්ද , "ඔරිජිනල්" ආදරයක් කොහෙද තියෙන්නෙ එහෙනම්?
අබ්බාස් කිරොස්තාමි ගෙ Certified copy චිත්‍රපටය ඇතුලෙ කතාබහ කරන්නෙ මේ "ඔරිජිනල්" ගැටලුව සම්බන්ධව. ඉංග්‍රීසි ජාතික ලේඛකයෙක් සහ ප්‍රංශ ජාතික ගැහැණියක් අතර ඇතිවෙන සම්බන්ධතාවයක් ආශ්‍රයෙන් මේ කාරණාව අපි ඉදිරියට එන්නෙ. ඔවුන් කවුද, ඔවුන්ගෙ ඉතිහාසය මොකක්ද, මීට කලින් ඉඳන් ඔවුන් දෙදෙනා හඳුනනවද. මේ කිසි දෙයක් අපි දන්නෙ නෑ. නමුත් ඉතා ඉක්මනින් ඔවුන් අතරෙ සමීප ලෙංගතුබවක් ඇතිවෙන බවක් අපි දකින්නෙ. කොහේ යනවද නොදැන වාහනයක නැගිල ඔහේ යන ඔහුත් ඇයත් නතර වෙන්නෙ කොතනද කියන දෙයට වඩා ඒ අතර මැද ඔවුන් අතරෙ කියවෙන දෙබස් ජීවිතය ගැන අලුතෙන් හිතන්න පුංචි කවුලුවක් විවර කර දෙනව. පාර දෙපැතෙතෙ සයිප්‍රස් ගස් වැඩිල. මැවෙන්නෙ හරි සුන්දර දර්ශනයක්. ඒත් ඒ එක සයිප්‍රස් ගහක් තව එකකට සමාන වෙන්නෙ නෑ. හැම ගහකටම ඊටම ආවේණික සුවිශේෂී හැඩයක් තියනව. කලාගාරයක් ඇතුලෙ නොතියා මහපාරෙ තියන නිසා කවුරුත් මේ බව වටහගන්නෙ නෑ. ඉතින් ගහක් නම් ඒක ප්ලෙටෝනික ගහක් වියයුතු නෑ.
ඔහුත් ඇයත් අතරෙ ඇතිවෙන මේ අපූරු බැඳියාව ඉක්මනින් විවිධාකාර ස්වරූප වලට හුවමාරු වෙනව. හරි සුන්දර සුරංගනා සිහින ලෝක මැවෙන ආරම්භක අවධිය, වචනයක් එහෙමෙහෙ වෙනකොට ගැටුම් ඇතිකරගන්න, එකිනෙකා නුරුස්සන්න පටන් ගන්න අහසින් පොළවට වැටෙන අවධිය, දරුණු විදිහට වචන හුවමාරු වෙන සංග්‍රාමික අවධිය, අවසානයෙ එකිනෙකාගෙ පැවැත්මට එකිනෙකා අවශ්‍ය බව වටහගන්න අවබෝධයේ අවධිය. සම්බන්ධතාවක සියලුම යුගයන් පැය කිහිපයකින් අපි ඉදිරියෙ මැවෙනව. ඒ අතරෙ රූපරාමුවක ෆෝකස් වෙන ප්‍රධාන වස්තුවට පසුබිමෙන් විවාහයක යුවළවල් දකින්න ලැබීම මේ උත්ප්‍රාසය තව තීව්‍ර කරනව.
චිත්‍රපටය ගොඩනැගෙන්නෙ ඉතාලියානු පරිසරයක් පසුබිම් කරගෙන. යුරෝපියානු කලාව, ගෘහනිර්මාණ ශිල්පය, සොබාදහම, සංගීතය බොහොම අපූරුවට මේ සිනමාපටය ඇතුලෙ භාවිතා කරල තියනව. ඒ වගේම කැමරාව. සමහර වෙලාවක හැබෑ සිදුවීමක් මැද්දට කැමරාව ගෙනත් තියපු ස්වභාවයක් අපි දකින්නෙ. ප්‍රංශ ගැහැණිය ගෙ චරිතය නිරූපණය කරන Juliet Binoche ගේ රංගනය ඉතාම සිත් ඇදගන්නාසුළු යි. මුහුණේ පළවෙන සියුම් හැඟීම් ඈ ඉතාම හොඳින් ඉදිරිපත් කරනවා. Certified copy, කලාකෘතියක Originality එක ආශ්‍රයෙන් මනුශ්‍ය බැඳීමක පරිපූර්ණත්වය ප්‍රශ්න කරන සහ අවශ්‍ය වෙන්නෙ අපි ඒ මොහොතේ අදාළ පුද්ගලයන්ට විවෘත වීම සහ අපිටම අවංක වීම බව යෝජනා කරන සිනමා නිර්මාණයක් බව මගේ අදහස.
No comments:
Post a Comment