ආදරය කියන්නෙ මහ පුදුමාකාර විදිහට ජීවිතයත් එක්ක බැඳිලා තියන දෙයක්. ඒ තරම් අතිශ්‍ය සාමාන්‍ය දෙයක් තවත් නැතුව ඇති. ඒ තරම් සුවිශේෂී දෙයකුත් තවත් නැතුව ඇති. මනුස්සයෙක් තමන් සතු සියලුම දේ අතහැරල අතහැරල අවසානෙ අතහැරගන්න බැරුව ඉතුරුවෙන දෙයක් තියනව නම් ඒ ආදරය ලැබීමට, ආදරය විඳීමට තියන දැඩි ආශාව වෙන්න ඕන. මොන සමාජ තත්ත්වයක හිටියත්, මොන වයසක හිටියත් අපිට ආදරය අවශ්‍යයි. මිනිස්සු කවදාවත්, හීනෙකින්වත් නොහිතන දේවල් කරන්න පෙළඹෙනව මේ ආදරය නිසා. ඒත් ආදරයෙදි මහ ලොකු දේවල් නෙමේ අපිට ඕනැ කරන්නෙ. රාත්‍රී විදුලි එළි මැද්දෙ ඔහේ ඇවිදගෙන යාමක්, ජීවිතේ ගැන මේ ලෝකය ගැන අපේ අදහස් බෙදාහදාගන්න ටිකක් බරසාර දාර්ශනික කතාබහක්, එක මොහොතකට හරි කිසිම සැකයකින් බියකින් තොරව හිස තියාගෙන ඉන්න උරහිසක්. සමහර වෙලාවට මෙන්න මේ වගේ දේවල් ටිකක් විතරයි අපිට ඕන.
ලූෂන් බුලත්සිංහල මහත්මය ලියුව ගීයක තියනව මෙහෙම පදවැල් කීපයක්.
අහස් මාලිගා නැහැ ඔබ නිසා මැවී
සැක සංකා නෑ ඔබ ගැන සිතේ ඇතී
හිමිකම් නොකියමි ඔබට මගේ කිසිදා
උරණ නොවන්නෙමි ඔබ අන්සතු වූ දා.
මේක ආදරය ගැන වඩා දියුණු යෝජනවක් විදිහට ඉදිරිපත් වෙන්නෙ. ඔහු කියනව
"මං හින්දා ඔබෙ නෙතගින් කඳුළක් හෙලන්නෙපා" කියල.
"ගිවිසා ගනිමු අපි, පෙම් යුවළක් සේ කිසිදා එක් නොවෙනා"
ආදරෙයි කියන්නෙ ගිවිසුම් ගහල, කොළයක් අත්සන් කරල, මගෙයි කියල අතින් අල්ලල සීමා වැටකොටු දාල අනෙකාව හිරකරල තැබීම නොවෙයි ඊට එහා ගිය නිදහස් අවකාශයක පවතින දෙයක් බව මේ පදමාලාවෙන් කියන්නෙ. අනෙකා අනෙකා වශයෙන්ම බාර ගැනීම මෙතන තියෙන්නෙ.
ප්‍රේමකීර්ති "තනි තරුවේ" ගීයේ ලියනව
"ඔබත් ඔහොම ඔතැන ඉන්න,
මමත් මෙහෙම මෙතැන ඉන්නවා" කියල.
ඔයා තරුවක් තමයි....මං පොළෝවාසී මිනිසෙක් තමයි.... ඒත් ඔයා ඉන්න ඔයාගෙ තැන ඔයාගෙ විදිහටම.... මං ඉන්නම් මම විදිහටම....අපි මූණ මූණ බලාගෙන ඉන්න අවකාශෙ තමා අපිට පොදු දෙයක් විදිහට තියෙන්නෙ...... ඔයාට බැහැ අහසින් මිදිල මං ඉන්න පොළවට එන්න.....සමහර විට එහෙම ආවොත් මට ඔයාව මෙහෙමවත් නැති වේවි.....අපේ මේ මොහොත අපිට අහිමි වේවි....ඒ නිසා ඔයා ඔතන ඉන්න ඔයා විදිහටම....මම ඉන්නම් මෙතනම....
ඔබ ඔතන ඉන්න පමණයි ඕන. වෙන දෙයක් නොවෙයි. ආදරේ බව නිතර කියන්න අවශ්‍ය නෑ, හරියට අපිට ඒක අමතක වෙලා යන දෙයක් වගේ මතක් කළයුතු නෑ. සමහර විටක ආදරය පවතිනව "මං ආදරෙයි" කියල වචනෙන් වත් නොකියන තැනක. ගැටලු මතු වෙන්නෙ අපි ඒ ආදරේ රාමුගත කරල සමාජ සම්මතයන්ට අනුගත වෙන්න ගියාම. මොකද ඕනෑම බැඳීමක යම් තැනක් තියනව එතනින් එහාට ඒ බැඳීම පැවැත්මක් නැති වෙන. අපි පවතනව මොකද අපි පැවතිය යුතු නිසා. කාලයත් එක්ක ළතෙත් බව වියළිලා කර්කශ වුණ පොළවක කෝ ආදරය දලු දමන්න ඉඩක්?
ඉතින් දුර ඈත රටක, නාඳුනන නගරෙක වෙනස් මිනිස්සු රොත්තක් මැද, ආදරය ගැන සිඳී වියළුණු අත්දැකීමක ඉන්න "එක වගේ වෙනස්" දෙන්නෙකුට බෙදාගන්න කොයිතරම් දේවල් තියෙන්න පුලුවන්ද..එක අතකින් ඔහු. ජීවිතේ මැදියම් වයසේ.. මුදල් .. ජනප්‍රියත්වය මැද්දෙ.. නීරස නමුත් ගෙවාදැමිය යුතු නිසා ජීවිතේ ගෙවා දමමින්.. අනික් අතින් ඇය...තරුණ බව උතුරා යමින්.. රැකියාවම ජීවිතය කරගත්ත සැමියෙක් සමග.. කළ යුතු යමක් නැතිව.. සතුටින් සිනහ වන බව අඟවමින්... එකම නවාතැන්පළක, වෙන වෙනම කුටි දෙකක, එකම ඉරණම විඳින දෙදෙනෙක්, සංගීත නාදය සමග මධු බඳුන් වල මධු පිරෙන අවන්හලක අහම්බෙන් හමුවීමේ අහඹුව කොයිතරම් අපූරු එකක්ද.. මේ අහඹු හමුවීම ඔවුන්ගේ ජීවිත වල කොයිවිදිහක බලපෑමක් කරයි ද..
අවසානෙ නොහිතු දෙයක් වේවි, දැන් වේවි කියල පොඩි ත්‍රිල් ස්වභාවයක් දුන්නත් චිත්‍රපටයෙ අවසානය ඒ ත්‍රිල් එක කුඩුපට්ටම් කරල දාන්නෙ මේක ඉතාම සාමාන්‍ය කතාවක් බවට පත් කරමින්. ඒත් අපි ගතකරන ජීවිතේ ඒක නොවෙයි ද? ඊළඟ මොහොතෙ මොකක් හරි මැජික් එකකින් යම් දෙයක් වේවි කියල බලාපොරොත්තු වුණත් එහෙම නොවීමම නේද ජීවිතේ? හරි සරලයි.. මැජික් නෑ.. ඒත් ඒක ඇත්තක්..! මැජික් නොවී අපි අත්විඳින ජීවිතය එක්ක සමපාත වීමමයි මැජික් එක. ඒක තමා හැබෑම අවසානය. පෙති විහිදල විකසිත වුණ මලක නටුවෙන් නික්ම යෑම...
අන්තිමට කිට්ටු වෙද්දි මම බොබ් හැරිස්ට හිතින් බැන්න. "මොකක්ද මිනිහො ඔය කරන්නෙ. ඔය කාළකන්නි තැනින් ඈතට දුවපන් ! කාත් කවුරුත් නොදන්න නගරෙ ඈතට දුවල අතුරුදහන් වෙයං!" කියල මං බැන්න. ඒත් ඇයි ඔහු එහෙම කළේ? (එහෙම නොකළෙ?)
මේ ගැටලුවට පිළිතුර විදිහට මම තෝරාගන්නෙ කවි පේළි දෙකක්. මේ කවියෙ අයිතිය රන්සර බණ්ඩාර ට. ඒ පේළි දෙකෙන්මයි මේ සටහනත් අවසන් කරන්නෙ.
පෑරෙනා තරමටයි
සමහර මතක මිහිරැති
ඒ නිසාමයි සමහරු
හිත හදා ගන්න අකමැති..
`````
No comments:
Post a Comment