Wednesday, February 19, 2020

The Horn (2020)

2020/02/18 දින මව්බිම Young අතිරේකයේ පළ විය

ඈත පරිණාමික යුගවල පටන් වර්තමානයේ තොරතුරු තාක්ෂණ යුගය දක්වා ම ඉතිහාසය විමසා බැලුවොත් පෘථිවි ග්‍රහයා ඛේදවාචකවලින් පිරී ගිය තැනක්ව තිබුණු බවට සොයා ගන්නට පුළුවන්. 2020 නව වසර පටන් ගත් මොහොතේ සිට මේ දක්වා ම ලෝකය පුරා සිදුවෙච්ච සහ තවමත් සිදුවෙමින් පවතින ව්‍යසනයන් ගැන අහන්න, දකින්න ලැබුණ කෙනෙකුට මොහොතකට හරි මේ ලෝකේට මොකක්ද වෙන්න යන්නේ කියලා හිතුණා නම් ඒක පුදුමයට කරුණක් නෙවෙයි. නමුත් මේක තමා ලෝක ස්වභාවය කියලා පෘථිවියේ සමස්ත ජීවි පද්ධතිය ම විනාශය කරා යන ආකාරය බලන් ඉන්න එක ද අපට ඉතිරි වෙලා තියෙන්නේ? මනසින් උසස් "මනුස්ස" ප්‍රාණීන් විදිහට විනාශය අවම කරගන්න අපි යමක් නොකරන්නේ ඇයි ? දේශපාලනික, ආර්ථිකමය අතින් ඉහළ මට්ටම්වල ඉන්න සහ ගෝලීය වශයෙන් යමක් කළ හැකි රටවල් හුදෙක් තමන්ගේ බලපැවැත්ම ආරක්ෂා කරගන්න වෙර දරනවා වෙනුවට සමස්තයක් විදිහට මිනිසුන් මුහුණ දෙන පාරිසරික, සමාජීය ගැටලු ටික විසඳා ගැනීම වෙනුවෙන් අවධානය යොමු නොකරන්නේ ඇයි ? මේ හැමදේක ම අවසන් ප්‍රතිඵලය මිනිස් ශිෂ්ටාචාරය විනාශය කරා යන ගමන තවත් ඉක්මන් වෙමින් තියෙනවා කියන දේ
අපේ හිත්වලට වඩාත් දැනෙන එක ද ?

පසුගිය හත් වෙනිදා පටන් තිරගත වීම ආරම්භ කරපු "The Horn" චිත්‍රපටය සිංහල සිනමාවට නව මානයක් එක් කළ චිත්‍රපටයක් විදිහට හැඳින්වූවොත් වරදක් නෑ. ප්‍රේක්ෂකයාට Science Fiction/ Horror ගණයේ අත්දැකීමක් ලබාදෙන අතරේ මිනිස් පැවැත්මේ අනාගතය ගැන යම් දැක්මක් ඉදිරිපත් කරන, ඒ හරහා නරඹන්නාට හිතන්න යමක් ඉතිරි කරවන චිත්‍රපටයක් විදිහට The Horn අපිට හඳුනා ගන්නට පුළුවන්.

1993 අවුරුද්දේදී මනෝ වෛද්‍යවරයෙක් වුණ තෝමස් ඔහුගේ බිරිඳව මරා දමලා තමනුත් සියදිවි නසාගන්නවා. මේ යුවළගේ එක ම දරුවා වුණු කෙවින් එතකොට වයස අවුරුද්දක් වුණු කුඩා දරුවෙක්. ඉන්පසුව පුංචි කෙවින් විදේශයක ජීවතය ගෙවන "ක්‍රීස්" නමැති මම ළඟ හැදී වැඩෙනවා. කොහොමහරි අවුරුදු විසිපහකට පස්සේ කෙවින් විවාහ වෙලා තමන්ගේ බිරිඳයි, දරුවයි එක්ක නිවාඩුවක් ගත කරන්න ලංකාවේ තමන්ගේ දෙමව්පියන් වාසය කළ නිවසට එනවා. ඔව්; තමන්ගේ මව්පියන් දෙදෙනාම මියගිය නිවහනට.,

මේ පැරණි පන්නයේ නිවහන බලා කියාගන්නේ "පර්සි" නම් පුද්ගලයෙක්. තමන්ගේ දෙමව්පියන් ජීවත් වුණ සහ මිය ගිය මේ නිවහන කෙවින්ට ලබා දෙන්නේ අමුතු ම ගුප්ත හැඟීමකුයි. ඔවුන් දෙදෙනා මියගිය පසු කිසි කෙනෙක් මේ නිවසේ රාත්‍රිය ගත කර නැති බවත්, සමහර වෙලාවට කවුරුන් හෝ මේ නිවසේ සැරිසරන හැටි තමන්ට දැනෙන බවත් පර්සි කෙවින්ට පවසනවා. නමුත් කෙවින් මේ දේවල් එතරම් විශ්වාස කරන බවක් නම් අපිට පෙන්නේ නෑ. දවසක් වෙනත් වැඩකට ගෙවත්තේ එක්තරා තැනක් හාරන කෙවින්ට සහ පර්සිට හරි පුදුමාකාරයේ භාණ්ඩයක් හමුවෙනවා. ඒ පොළොව යට වළ දමා තිබුණු අමුතු ආකාරයේ නළාවක්. මේ නළාව ගොඩගෙන සුද්ධ පවිත්‍ර කරන කෙවින්ට එය නොපිඹ ඉන්නට හිතෙන්නේ නෑ. ඉතින් එකවර ම ඔහු නළාව පිඹිනවා. නමුත් ඉන්පස්සේ ආරම්භ වෙන්නේ ඇඟ ලොමුදැහැ ගන්වන අත්භූත සිදුවීම් මාලාවකුයි.

අපේ රටේ වෙනත් දේවල් වගේ ම ලාංකේය සිනමාව ගැනත් අපි කතා කරන්නේ බොහෝ විට එතරම් පැහැදීමකින් නෙවෙයි. හොලිවුඩ්, බොලිවුඩ්, මලයාලම් චිත්‍රපට නරඹන ලාංකේය රසිකයා අපේ සිනමාව නිර්මාණාත්මකව තව කොයි තරම් දියුණු වෙන්න ඕන මට්ටමක ද පවතින්නේ කියන කාරණය ගැන දැනුවත්. කර්මාන්තයක් විදිහට තවම අපේ සිනමාව පවතින්නේ "සංවර්ධනය වෙමින් පවතින" තැනකයි. එහෙම වෙන්න ප්‍රායෝගික හේතු කප්පරක් අපට හොයාගන්නට පුළුවන්. නමුත් පහුගිය අවුරුද්දේ අපේ රටේ නිමැවුණු හොඳ චිත්‍රපට ගණනාවක් තිරගත වුණා. ඒ වගේ ම එවැනි චිත්‍රපට ගණනාවක් ම ඉදිරියට තිරගත වීමටත් නියමිතව තිබෙවා. මෙය අපේ ම සිනමාවක් ගැන සුබ බලාපොරොත්තු ඇති කරවන තත්ත්වයක්. Zoom චිත්‍රපටයට පස්සේ Horror සිනමාපටයක අන්තර්ගත විය යුතු සියලු ම මුලිකාංගයන් සපුරා තිරගත වු පළමු චිත්‍රපටය මෙය විය යුතුයි. ඒ නිසා ම The Horn චිත්‍රපටය සිනමා නිර්මාණයක් විදිහට විචාරකයින්ගේ අවධානයට ලක්විය යුතුමයි.

කෙවින්ගේ චරිතය රඟදක්වන කල්හාර වක්වැල්ල ලාංකේය සිනමාවට හොඳ සොයාගැනීමක් බව කිව හැකියි. ඔහු චිත්‍රපටය ඇතුළේ හොඳ රංගනයක නියැළෙනවා. අනාගතයේදී ලාංකේය සිනමාවට ඔහුගෙන් හොඳ වැඩක් ගත හැකිවේවි. ධනංජය සිරිවර්ධන, රොෂාන් පිලිපිටිය හැර අනෙකුත් චරිත නිරූපණය කරන නළු නිළියන්ගේ යම් ආධුනික බවක් දැනුණ ද එය චිත්‍රපටය රසවිඳින්න බාධාවක් වෙන්නේ නෑ. විශේෂයෙන් ම කොළඹ නගරය 2080 වසරට ගැළපෙන ආකාරයට පරිගණක තාක්ෂණයෙන් ගොඩනඟා තිබෙන ආකාරය නම් අගය කළ යුතුමයි. එය අනාගතයේ ලාංකේය සිනමාවට සුබවාදී ලෙස බලපානවා නොඅනුමානයි. The Horn චිත්‍රපටය තිර රචනය කර අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සමීර වක්වැල්ල විසිනුයි. අපි කලින් කතා කෙරු 2016 වර්ෂයේ තිරගත වුණු Zoom චිත්‍රපටයත් ඔහුගේ ම නිර්මාණයක් වෙනවා. ලාංකේය සිනමාව තුළ අනාගතයේ යහපත් වෙනසක් කළ හැකි නිර්මාණකරුවෙක් විදිහට ඔහු ගැන බලාපොරොත්තුවක් ප්‍රේක්ෂකයාට තබාගත හැකි බව මේ චිත්‍රපටයෙන් ඔප්පු කර තිබෙනවා.

ඉතින් ඔබත් මේ ත්‍රාසය සහ කුතුහලය පිරුණු අලුත් ම සිනමා අත්දැකීම නොපමාව ගිහින් විඳගන්න කියලා Lumier's Art කියවන ඔබට මම යෝජනා කරනවා.

හෂාන් රන්දික ඩයස්






2 comments:

  1. will watch!
    thanks for the tip. Si-fi are one of my favorites (as long as they become stupid in the middle)

    ReplyDelete
    Replies
    1. Ma Pleasure.... I dontcompare this with foreign movies we watch..but as a production of Sri Lanka I can say this is a good one..!!

      Delete