Monday, July 20, 2020

පළිගැනීමේ සාහිත්‍ය හෙවත් Nocturnal Animals

අඳුර වැටුණාට පස්සේ නිව්යෝර්ක් නගරෙ කොයි වගේද කියන්න අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ. ලෝකෙ තියන ජනාකීර්ණම සහ වඩාත් සංකීර්ණතම නගර අතරින් එකක් නිව්යෝර්ක්. බැලූ බැලූ පැත්තෙන් ඇස් නිලංකාර වෙන නියොන් එළි, පොළවෙන් මතුවෙච්ච යෝධයින් වගේ තැන තැන හිටගෙන ඉන්න ගොඩනැගිලි, තරඟෙට දුවන වාහන, අසීමිතව ගලා යන මිනිස් ගඟ. දස දහස් ගණනාවක මේ මහ මිනිස් ගංගාව ඇතුළෙ සූසන් කියන්නෙ තවත් එක අංශුවක් තරම් කෙනෙක් පමණයි. උසස් පාසල් ශිෂ්‍යාවක් විදිහට ඈ උන්නේ ජීවිතේ නැවුම් තරුණ වයසේ. අත්තටු නැතත් ජීවිතේ පාවි පාවී යන නිදහස් යෞවනයේ. දැනට නිව්යෝර්ක් වල වාසය කළත් ඈ ඉපදී හැදී වැඩී තිබුණෙ ටෙක්සාස් වල. හරියට එඩ්වර්ඩ් වගේ. ඔවුන් දෙදෙනාම එකට හැදී වැඩුණු සමවයසේ අය. ඉතින් මෙහෙම මහ ජනගංගාවක් මැද්දෙ සූසන් සහ එඩ්වර්ඩ් එකිනෙකා මුණගැහීම අපි පැහැදිලි කරගන්නෙ කොහොමද? ජීවිතේ ඇතුලෙ සිද්ද වෙන මේ වගේ අහම්බයන් "දෛවයෝගය" නමින් මිස වෙනත් නමකින් හඳුන්වන්න නම් පුලුවන්කමක් නැහැ. කාලෙක ඉඳන් එකිනෙකා ගැන යම් ආකර්ශණයක් ඇතිකරගනිමින් උන්න දෙදෙනෙක් මේ වගේ රෑක පාරක හමුවීම දෛවයෝගයම මිස වෙන මොකක්ද...

මහ නගරයක මැද වුණු මේ අහඹු මුණගැසීම සූසන් ගේ ජීවිතයට කරන බලපෑම විශාලයි. විශේෂයෙන්ම එඩ්වර්ඩ් එක්ක කරන කතාබහ ඇයට ඉඩක් ලබාදෙනව වටහගන්න ඔවුන් දෙදෙනාම එකිනෙකාට නොකියා වුණත් එකිනෙකාට කොයිතරම් කැමත්තකින් හිටියාද කියන වග. ඔහු බොහෝම සංවේදී හදවතක් තියන කාරුණික මනුශ්‍යයෙක් බව ඈ දැනෙගෙන හිටි කාරණාවක්. දැන් ඔහු හීන දකිමින් ඉන්නව ලේඛකයෙක් වෙන්න. සූසන් කලාවට ඉතාම කැමතියි. එඩ්වර්ඩ් කරමින් ඉන්නා දෙයටත් ඇය කැමතියි. එඩ්වර්ඩ් සහ සූසන් අතරෙ ආදරයක් ලියලන්නෙ ඒක හරියටම වෙන්න නියමිතව තිබුණු දෙයක් වගේ. ඒත් සූසන්ගෙ අම්මා නම් එඩ්වර්ඩ් ට පොඩ්ඩක්වත් කැමති නැහැ. අම්මාව හඳුන්වන්න සූසන් ලස්සන වචන ටිකක් පාවිච්චි කරනව. ඒ හැමදෙයකම අවසාන අදහස තමා අම්මා හරිම ගතානුගතික අදහස් තියන ගැහැණියක් බව.

"ඔය රස්තියාදුකාරයව බැඳගෙන උඹට වෙන්න හැමදාම දුක් විඳින්න. ඌට බැහැ ගෑණියෙක්ව නඩත්තු කරන්න. අනිත් එක ඌ මහ පණ නැති එකෙක්. උංගෙ තාත්ත මැරුණු වෙලාවෙ ඌ අඬපු හැටි දන්නෙ මම නෙ. ඔය රොමෑන්ටික් මිනිස්සු ඔහොමමයි. ලස්සන වචන කතා කතා කලාට උංගෙ හිත දුර්වලයි. විකාර කරන්නෙ නැතුව අපේ පවුලට ගැලපෙන හොඳ වැදගත් මිනිහෙක්ව හොයාගනිං" 

සූසන් ගෙ අම්ම එඩ්වර්ඩ් ගැන දරන අදහස සරලවම ඔහොමයි. ඉතින් සූසන් සහ එඩ්වර්ඩ් විවාහ වෙනව පවුලේ වැදගත්කම අම්මටම තියාගන්න කියල.

විවාහයෙන් පස්සෙ හැම කෙනෙකුම අපේක්ෂා කරන දෙයක් තමා එයා හැමදාටම එහෙමම ආදරණීයව ඉඳීවි කියල. ඒත් අතිශ්‍ය බහුතරය විවාහක යුවලවල කතන්දරය අරගත්තොත් වෙන්නෙ ඒකෙ අනික් පැත්ත. කාලය එක්ක ලබන අත්දැකීම් වල මිහිරියාව අඩු වෙද්දි අර මුලින් තිබුණු ආදරණීයබව පෑල දොරෙන් පලායන්නෙ පැදුරටත් නොකියාමයි. විවාහ ජීවිතේ ගැන ඇත්තම කතාව ඒක. බොහෝමයක් විවාහ බිඳ වැටෙන්නෙ ඔතනින්. ඉතින් ඒ කාරණේ එඩ්වර්ඩ් සහ සූසන්ටත් පොදුයි. ලේඛකයෙක් වෙන්න හීන දැක්කත් ඔහු ලබන්නෙ අසාර්ථකත්වය. ඇයට දරුවෙක් ලැබෙන්න ගියත් ඇය දරුවව ගබ්සා කරගන්නව. එඩ්වර්ඩ් සහ සූසන් මේ වගේ අමිහිරි අත්දැකීම් ගණනාවක් පසු කරනව. දෙදෙනා අතර බැඳීම බිඳීයාමේ මුල් පියවර තබන්නෙ ඇය. ඇය තමන්ට මුණගැහෙන ආකර්ශණීය මිනිසෙක් සමග බැඳෙනව. කිසි අනුකම්පාවකින් තොරව ඇය ඔහුව අතහරිනව. 

මේ කතාවෙ එක පරිච්ඡේදයක් අවසාන වෙන්නෙ එහෙම. කතාව අවසන් කරල සූසන් පොතත් වහල රාක්කයෙනුත් තබල පිටවී ගියත්, "එඩ්වර්ඩ් සහ සූසන් ගෙ ආදර කතාව" කියන පොත ආයෙත් ඇගෙ අතට එන්නෙ නොහිතූ විදිහට. හැබැයි ඒ අවුරුදු විස්සකට පස්සෙ. ජීවිතේ වෙනස්ම ඍතුවක් ඇතුලෙ. (චිත්‍රපටය පටන්ගන්නෙ එතනින්) 

මේ ගෙවෙන්නෙ කලාවට ආදරය කළ සූසන් "කලාගාරයක් හිමි ධනවත් ව්‍යාපාරික" කාන්තාවක් විදිහට රූපාන්තරණය වුණු අවධියක්. දැන් ඇය විවාහ වෙලා ඉන්නෙ ඉතාම කඩවසම්, ගානට නූලට පිළිවෙළට අඳින පළඳින, ව්‍යාපාරික ගමන් යන බව කියමින් වෙනත් ගැහැනුන් එක්ක හෝටල් ගානෙ යන ව්‍යාපාරික මිනිසෙක් සමග. නිව්යෝර්ක් නගරෙ දූවිලි අංශුවක් වගේ සැහැල්ලුවෙන් පාවි පාවි උන්නු සූසන් වෙනුවට දැන් ඉන්නෙ ඉස්තරම් ඇඳුමෙන් පැළඳුමෙන් සැරසුණත් මූණේ හිනාවක් නැති, සැප පහසුකම් අඩුවක් නැති, සියල් සපිරි නවීන පන්නෙ ගෙදරක ඉන්න සතුටක් නැති සූසන් කෙනෙක්. නිව්යෝර්ක් නගරෙදි නම් ඇගෙ ජීවිතේ පෙරළියක් කල ඔහු මුණ ගැහෙන්නෙ දෙනෝදාහක් සෙනග මැද්දෙ. දැන් ඔහු ඇයට දෙවනි වතාවට මුණගැහෙන්නෙ වෙනස්ම විදිහකට. තැපැල් මාර්ගිකව ආපු පාර්සලයකින්. හැබැයි දැන් ඒක අහඹුවක් වෙන්නෙ නැත්තෙ ඒක ඈ වෙනුවෙන්ම ඔහු හිතාමතාම සමහරවිට අවුරුදු විස්සක්ම සැලසුම් කල දෙයක් නිසා. නමුත් ඔවුන් දෙවනි වර මුණගැහෙන්නෙ භෞතිකව නොවෙයි. ප්‍රබන්ධයක් විදිහට.

එඩ්වර්ඩ් සූසන්ට එවනව නවකතාවක්. "Nocturnal Animals" (නිශාචර සත්තු) කතාවෙ නම. ඒ ඔහු ඇයට විහිලුවට වගේ කියන්න පුරුදු වෙලා හිටි නමක්. Nocturnal Animal. පුරුද්දක් විදිහට සූසන් හිතේ මොකක් ප්‍රශ්නයක ඉන්නකොට, දුකක් කරදරයකින් පීඩා විඳිනකොට මුලු රෑම නොනිදා ඉන්නව. ඒ හින්දයි එඩ්වර්ඩ් සූසන්ට ඒ නම පටබඳින්නෙ. මෑතක ඉඳන් තමන්ගෙ ජීවිතේ ගතවෙමින් තියෙන්නෙ නොනිදාම නේද කියල සූසන් කල්පනා කරනව. ඇය නවකතාව කියවනව. ඉන්පසෙ නවකතාවෙ චරිත වල ස්වරූපයන් අපි දකින්නෙ සූසන්ගේ ඇසින්.

නවකතාව ගොඩ නැගෙන්නෙ ටෝනි නම් මිනිසෙක් වටා. ටෝනි විදිහට සූසන් හිතේ මවාගන්නෙ එඩ්වර්ඩ් ගේ රුව. ටෝනිට බිරිඳක් හා තරුණ දියණියක් ඉන්නව. ටෝනි ගේ බිරිඳ ලෝරා තමන්ගෙ රූපයට සමානවත් ඒ දෙදෙනාගෙ දියණිය ඉන්දියා එඩ්වර්ඩ්ට සහ තමන්ට ලැබෙන්න හිටි නමුත් අහිමි කරගත් තමන්ගෙ දරුවා විදිහටත් සූසන් හිතෙන් මවනව. කතාව ගලා යන්නෙ ටෙක්සාස් වල රාත්‍රියක මහ පාරක මේ තුන්දෙනාට (ටෝනි, ලෝරා සහ ඉන්දියා) මුහුණ දෙන්න සිදුවෙන බිහිසුණු අත්දැකීමක් මුල් කරගෙන.

එඩ්වර්ඩ් ගේ Nocturnal Animals නවකතාව ඔහුගේම දුක්බර ජීවිත අත්දැකීම මුල් කරගෙන ලියවුණ එකක් බව ඉඟි කිහිපයක් කතාව ඇතුලෙන්ම හොයාගන්න පුලුවන්. ලේඛකයෙක් විදිහට මුල් කාලීනව ලැබිච්ච අසාර්ථකත්වය යටපත් කරගෙන නැගීහිටින්න සූසන්ගෙන් ලැබිච්ච වේදනාව ඔහුට තහනම් නොවන උත්තේජකයක් වෙන්න ඇති. සමාන්‍යයෙන් විශිෂ්ටම ගණයේ ලේඛකයන්ගේ ජීවිත දිහා බැලුවම ඒ අය ජීවිතේ කෙළවරක් නැතුව දුක් ගැහැට විඳපු අය බව හොයා ගන්න පුලුවන්. ලියන්න නම් කෙනෙකුට ඕන ලියන්න යමක්. වේදනාත්මක අත්දැකීම් ගණනාවක්ම ජීවිතේ විඳපු කෙනෙකුට ලියන්න අමුද්‍රව්‍ය ඒ වේදනාත්මක ජීවන අත්දැකීම තුළම තියනව. 

I guess it's a way of keeping things alive. You know, saving things that will eventually die. If I write it down, then... it'll last forever.

චිත්‍රපටය ඇතුලෙ එඩ්වර්ඩ් කියන මේ කියමන ඒ කරුණ සනාථ කරවනව.

ඉතිං Nocturnal Animals කියන්නෙ හුදු එඩ්වර්ඩ් ගේ වේදනාවේ ප්‍රකාශනයක් පමණයි ද. එහෙනම් ඇයි ඒක සූසන් ට එවන්න හිතන්නෙ ඔහු? මොනව වුණත් ඒ කතාව සූසන් ඇතුලෙ සෑහෙන කම්පනයක් ඇති කරන්න සමත් වුණු බව ඇත්ත. කර්මානුරූපව තමන් ඔහුට කළ කී දේ වල ප්‍රතිවිපාක තමන් දැන් භුක්තිවිදීමින් ඉන්නා බව ඇය කල්පනා කරමින් ඉන්න ඇති. ඒ හැම දේටම තිත තියල එඩ්වර්ඩ් ගේ දෙවනි ආගමනය අවස්ථාවක් කරගෙන සූසන් තමන් ගතකරමින් හිටි සියල් සපිරි වුණත් හදවතින් හිස් ජීවිතෙන් ගැලවී පලා යන්න සැලසුම් කලා වෙන්න පුලුවන්. ඇය අවුරුදු විස්සකට පස්සෙ ඔහුට නැවත ඊ මේල් පණිවිඩයක් යවන්නෙ ඒ හින්ද වෙන්න පුලුවන්. ඔහුගේ පැත්තෙන් ගත්තොත් ඔහු නවකතාව ලියන්නෙ තමන් ජීවිතේ දුක් වින්ද ආකාරය සාහිත්‍යමය ලියවිල්ලක හංගල සූසන්ට කියවන්න සැලැස්වීමෙන් ඇයට තමන් කල දේ ගැන පසුතැවීමක් ඇති කරවන අදහසින් වෙන්න පුලුවන්. මුලු සැලැස්මේම පිටුපස්සෙන් තියෙන්නෙ පළිගැනීමේ චේතනාව වෙන්න පුලුවන්. කාරුණික මනුස්සයෙක් විදිහට මුලින් අපි හඳුනාගන්න එඩ්වර්ඩ් එහෙම පළිගැනීමකට යන්න පුලුවන්ද? වේදනාව මිනිස්සු වෙනස් කරන බව අපි දන්නව. ඇය දුන්නු වේදනාව ඔහු ඇතුළෙ කල වෙනස්කම ද ඒ ? සියුම්ව සාහිත්‍යමය වශයෙන් පලිගන්නෙක් විදිහට !

ජීවිතේ කියන්නෙ ඉතා සංකීර්ණ දාමයක්. මිනිස්සු ආදරේ කරනව. ආදරේ ජීවිතේ ම කොටසක් කරගන්නව. කාලය එක්ක ඒ ආදරයෙ ආදරණීය බව මැකිල ගියාම ජීවිතේ ඒ තැන ඇතිවෙන හිස් කමෙන් පීඩා විඳිනව. ඒ හිස් කම මකාගන්න තාවකාලික සතුට පස්සෙ දුවනව. ඒත් ඇත්තම කතාව කිව්වොත් වඩාත්ම ආදරණීයව හිතට දැනිච්ච ආදරයක් තමයි සදානුස්මරණීයව හදවතේ රැඳෙන්නෙ, කාලය එක්ක මොන දේවල් වෙනස් වුණත්. ඉතින් චිත්‍රපටය අවසානෙ හිස් තැනක් තබල තියනව අපිට හිතන්න. එඩ්වර්ඩ්වත් සූසන්වත් වෙන කිසි කෙනෙක්වත් මුලු කතාවම අපිට කියන්නෙ නෑ. මේ විදිහෙ විවෘත අවසානයන් නොයෙක් පැති වලට හිතන්න සිතුවිලි අවුලවනව. ඇත්තටම ඒ දෙන්නට මොකක් වෙයි ද ? 

Nocturnal Animals (2016) චිත්‍රපටය නිර්මාණය කර තියෙන්නෙ කතාවක් කියවන ගැහැණියකගේ මනසෙ ඇතිවෙන සිතුවිලි ආශ්‍රයෙන් ලියවුණ Tony and Susan නවකතාව පදනම් කරගෙන. පිටපත ලියමින් අද්‍යක්ෂණය කරන්නෙ බොහෝම කතාබහට ලක්වුණ Single Man චිත්‍රපටය අද්‍යක්ෂණය කරමින් හොලිවුඩයට පිවිසුන Tom Ford. මේ Tom ගේ දෙවනි චිත්‍රපටය. මේ චිත්‍රපටය එක්ක Tom සිනමාවේ බොහෝ දුර යා හැකි අද්‍යක්ෂවරයෙකු ගෙ ආගමනය සනිටුහන් කරනව. Nocturnal Animals ප්‍රේක්ෂක විචාරක දෙපාර්ෂ්වයෙන්ම යහපත් ප්‍රතිචාර දිනාගන්න සමත් වෙනව. විශේෂයෙන් චිත්‍රපටයෙ සමහර දේවල් නොකියා හිතන්න ඉඩ විවරකර තියන නිසා ඒ ගැන fan theories ගණනාවක් නිර්මාණය වෙලා තියනව. ඒ වගේම රඟපෑම් ගැන කතා නොකරම බැහැ. Psychological Thriller ගණයේ චිත්‍රපට වල රඟපෑම වෙනුවෙන්ම නම් දරාපු Jake Gyllenhaal ගේ විශිෂ්ට රංගනය මේ චිත්‍රපටයෙ දැක ගන්න පුලුවන්. Jake සම්මාන උළෙල වල වැඩිපුර නොකියවෙන, ඇගයීමට ලක්නොවෙන අති දක්ෂයෙක්. Jake ගේ හොඳම රඟපෑමක් මේ චිත්‍රපටයෙ දැකගන්න පුලුවන්. සූසන් විදිහට Amy Adams සහ රහස් පරීක්ෂකයෙකු විදිහට Michael Shanon සෑහෙන හොඳ මට්ටමේ රංගනයක යෙදෙනව (89 ඔස්කාර් සම්මාන උළලේ හොඳම සහාය රංගනයක් විදිහට Shanon ගේ රඟපෑම නිර්දේශය ලබනව) 

"කෙනෙකුට ආදරය කරද්දි, ඔබ ඔහුව හෝ ඇයව නිකම්ම අතහැර දමන්නෙ නෑ"

මේක තමා චිත්‍රපටයෙ tag line එක. චිත්‍රපටයෙ කතාවත් එක්ක ඒක එක අතකින් මහ භයානක අදහසක්. අනෙක් අතින් කෙනෙකුට ආදරය කරනව කියන්නෙ තමන්ගෙ ජීවිතේ අවදානමේ හෙලීමක්. මොකද තමන්ගෙ ජීවිතේ ඇතුලෙ ඔවුන් නමට කොටසක් වෙන් කර දෙන නිසා. මම හිතනව චිත්‍රපටයෙ හොඳම කොටස තියෙන්නෙ චිත්‍රපටයෙ අපිට නොකියන කතාව ඇතුලෙ කියල.



4 comments:

  1. Replies
    1. නෑ එක කියෙව්වම මහා බරක් වගේ තේරුණා..

      මොකද මේ දවස්වල ඔක්කොම සෙන්ටිමෙන්ටල් ඒවා බලන්නේ?

      Delete
    2. ඒක එක වතාවක් බලල අමතක කරල දාන්න පුලුවන් විදිහෙ එකක් නොවෙයි....හැම ජාතියෙම ඒව බලනවනෙ මම..

      Delete