අංක 72 හිරකාරි
"සින්දු කියන ගෑනි"
උපන් මොහොතෙම
දරුවාගෙන් වෙන් කල
පවුලෙන් පිටමං කල අසරණී
"නවාල් මර්වාන්"
මොකක්ද උඹ කල වැරැද්ද
සමාජ සම්මතය
සංස්කෘතිය
සභ්‍යත්වය
අරව මේව කිසිදෙයක් නොසලකා
හදවතේ නීතියට අනුව ආදරය කිරීමද?
උන් කියනවා
උඹ නැති කලාලු පවුලෙ නම්බුව
විනාස කර දැම්මලු හැම දේම
උන් මරා දැම්ම උඹෙ පෙම්වතාව
වෙන් කලා
උපන් මොහොතෙම දරුවාව..
යුද්ධයේ ගින්දර ඇවිලුනා
හදවතේ ගින්දර මදිවට
ජාති ආගම්වලට
දෙපැත්තට බෙදිලා
උනුන් මරාගත්තා
ගෙවල් දොරවල් ගිනිතිබ්බා
මිනිස්සු
අමු අමුවෙ මැරුම්කෑව
එකම හේතුව උන්
විශ්වාස කල ආගම වෙනස් එකක් වීම
මොනදේ වුණත් නවාල්
උඹ ඇහුවෙ එක ප්‍රශ්නයයි
"කෝ මගේ දරුවා?"
උත්තර තිබුණෙ නෑ කාටවත්
ඒ ප්‍රශ්නෙට
බැරිම තැන උඹ අතට ගත්තා තුවක්කුව
මුදා හැරියා උණ්ඩ උන්ගේ
හිස්කබල් පුපුරා යන්න
ඉතින් උන් උඹව දැම්මා හිරේ..
අවුරුදුම පහළොවක්!
උන් උඹට දුන්නා දස වද
යෙදෙව්වා කුලියට
ස්ත්‍රී දූෂකයෙක්
උඹව නැතිකරන්න
ඒත් නවාල්
උඹ නොවැටී හිටියා
ගලක් වගේ හයියට
නොහඬා හිටියා
සින්දු කියමින්
දුක දරාගත්තා
අවුරුදුම පහළවක්.!
උන් උඹව පිටුවහල් කරා
දරු දෙන්නෙකුත් එක්ක
උඹ උන්ව හැදුවා වැඩුවා
ලොකු මහත් කළා..
ජීවිතේ
අවසාන කෙළවරේ
උඹ ලියනවා අන්තිම කැමැත්ත
"වළදමාපල්ලා මාව
නිර්වස්ත්‍රව
මුහුණ යටපැත්තට
නොදකින්න තවත් මේ ලෝකය
කියන්නෙපා ඔරසන් බොරුවට
ලියන්නෙපා මගෙ නම සොහොන් කොතක
ඒත් මගෙ දරුවනේ
හොයා යා යුතුයි වහාම
නුඹලාගෙ හැබෑ පියා
නොදන්නා සොහොයුරා
හොයා ගන්න උන්
මේ පොළවේ කොතනක හරි
දෙන්න උන්ට
මා ලිව්ව ලියමන
සැතපෙන්න හැකි සමාදානයෙ
ඉන් පසුවයි මට"
ඉතින් නවාල්
උඹ වගෙම ගැහැනුන්
අදත් පොළවේ වැළලෙමින් ඉන්නවා
පූදින්න කලින් කැකුලු මල්
පරවෙලා පොඩිවෙලා
නටු අගින් වැටෙනවා
අද වගේ හෙටත්
වැළලේවි උඹ වගේ තවකෙනෙක්
පොළවෙ කොතන හරි තැනක..
කෑගහල කියපන් උඹෙ කතාව
ලැජ්ජා හිතෙන්න පාපතරයන්ට
කෑලි කෑලිවෙලා යනකන් උන්
කෑගහල කියපන්
උඹෙ කතාව
මුළු ලෝකෙටම..
(Incendies චිත්‍රපටය ඇසුරෙන්)
හරිම ශෝකාන්තයක් වගේනේ! මම මේ වගේ එකක් බැලුව මට දැන් නම හරියට මතක නෙහෙ.. සැමියා විසින් පහරදෙන නිසා මේ බිරිඳ තමන්ගේ අවුරුදු 4 ක ව්තර වයස පුතා එක්ක දෙමවුපියන් ලඟට ආවහම වෙන කරදර. අන්තිමේදී ඇගේ පියාගේ මෙහෙයවීම මත ඇගේම සොයුරා ඇයට පිහියෙන් ඇනලා ඝාතනය කරනවා. සතියක් යනකල් ලොකුවට කම්පනය මට.. තාමත් මතක් වෙනකොට මොකද්දෝ වගේ.
ReplyDeleteනැහැ මේ ඒක නොවෙයි.. මේක බලන්න ලිඛිතා.. මාර සංවේදී කතාවක්! එක පාරක් බැලුවම ජීවිතේට අමතක නොවෙන එකක්!
Delete