නිබඳ සියොතුන් යන එන
වෛරයේ උස ගස් උගුළුවාලූ පසුව
ඉතිරි වන්නේ පඬු පැහැති
ශෝකයේ තැනිතලා බිම පමණි..
අව් වැසි සැඩ මාරුත එක ලෙස
හුරු වූ පසුව විඳගැනුමට
වැළඳ ගත හැක සම සිතින්
හිම පියලි කැටුව එන මඳ පවන..
අනන්තය තෙක් විහිදෙන
පාලු පටු මාවත් වල
ඇවිද අතරමං වනු හැක
නාඳුනන ලෙස..
ශෝකය සේම බොඳ පැහැ ගෙන
තැනිබිම පුරා පිපී එන
මල් ලඟ වැතිර බලා හිස් අහස දෙස
කවි කුරුටුගෑ හැක..
දිනක් වේ නම් සමු ගත යුතු
පවරා සියලුදේ සුළඟට
තෙරක් නොපෙනෙන ඝන මීදුමේ
සැඟවී අතුරුදන් වනු හැක..
නිබඳ සියොතුන් යන එන
වෛරයේ ගස් උගුළුවාලූ පසුව
ඉතිරි වන අන් යමක් වෙද
ශෝකයේ තැනිතලා බිම හැර.
No comments:
Post a Comment