Friday, October 29, 2021

They Went Home

ගෙදර ගොස් තම බිරින්දෑවරුනට
කියා තිබුණා ඔවුන් කිසිදාක 
නොදැන සිටි බවක්
මා වැනි ගැහැනියක
නමුත්..... ඔවුහු ගෙදර ගියහ.

පිළිවෙළ ද කොයිතරම් මගෙ නිවස
කොයිතරම් කාරුණිකද මගෙ වචන
කොයිතරම් 
සිත්ගන්නා සුළුද මම
පැවසුවා ඔවුන් මට
නමුත්..... ඔවුහු ගෙදර ගියහ.

නොයෙක් වර්ණනා වීය මා ගැන
බොහෝ පිරිමින් ගේ මුවග
ආශා කළහ උන් හැම
මගෙ සිනහවට, මගෙ බුද්ධිමත්කමට,
මගෙ උකුළුතලයට...
නැවතී සිටියහ මා ළඟ
රැයක් සමහරවිට රෑ දෙකතුනක්
නමුත්........

Maya Angelou ගේ They Went Home පැදිය ඇසුරෙනි.



Monday, October 25, 2021

තී හා තා

 මහල් නිවාසවල ජීවිතය ඇතුළෙ තියනව වෙනම හැදුණු පොඩි උපසංස්කෘතියක්. කිසිදාක මහල් නිවාස වාසියෙක් නොවුණත් ඒ ගැන අත්දැකීම් කීපයක් මටත් තියනව.  ඔක්කොම එක ගොඩනැගිල්ලක බිත්ති සමූහයකින් වෙන්වුණු අසල්වාසින් අතරෙ තියෙනව යම් සාමුහික බවක්. මේ ගෙදරින් එළියට බහිනකොටම තියෙන්නෙ තවත් ගෙදරක්, එක ගෙදරක පොළව තවත් ගෙදරක වහලක්. එකම පඩිපේළි නැගගෙන බැහැගෙන හැමෝම තමන්ගෙ ගෙවල්වලට යන්නෙ. විශේෂයෙන් තරුණ කොල්ලො කණ්ඩායම් ගැහෙනව ඔහොම තැන්වල. උන් කල්ලි ගැහෙන තැන්වල තියෙන්නෙ විනෝද සාගරයක්. සුරත් ද මැල් ගේ 'තී හා තා" නවකතාවට පසුබිම් වෙන්නෙ මේ ආකාරයෙ සමාජ පරිසරයක්. හරියටම කියනව නම් මොරටුවේ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය සහ ඒ අවට පරිසරය මුල් කරගෙනයි මේ කතාව ගොඩනැගෙන්නෙ.

"තී හා තා" කියන්නෙ අදරය කරන දෙදෙනෙකුගෙ ප්‍රේම චාරිකාවක්. ගීත් සහ දිව්‍යා, ඒ තමා මේ කතාවට මුල්වෙන පෙම්වත් යුවළ වෙන්නෙ. මේ කතාව යන්තම් හැංගිමුත්තන් කරන වැලිසෙල්ලම් කරන ළමා කාලෙන් මිදිලා කොණ්ඩෙ පැත්තකට පීරන්න හදන, අඳින ඇඳුම පැළඳුම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන, කණ්නාඩි ඉස්සරහ වරු ගණන් ගතකරන, "කෙල්ලෝ" කොල්ලන්ගෙ කතාබහේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙන තරුණ වයසෙ පටන් ජීවිතේ දිගපළල තේරෙන, කොණ්ඩෙ පැහෙන මැදි වයස දක්වා දිවෙන ප්‍රේම පුරාවෘත්තයක්. ගීත් ගේත් දිව්‍යා ගේත් ආදර කතාව ආදරයත් ආදරය නොවන වෙනත් බොහෝ දේ වලිනුත් පිරුණ එකක්. හරියට අපිට දකින්න ලැබෙන බොහොමයක් ආදර කතා වගේම තමයි. පටන් ගන්න මුල් යුගයෙ යන්තම් අතකින් අල්ලන්නත් බය නුහුරු නුපුරුදු  හිරිමල් ගතිය, වෙරළක කොණක ඈත සිතිජය දිහා බලාගෙන පෙම්බස් දොඩන සුන්දර සැන්දෑවරු වලින් පටන් ගෙන   ටිකෙන් ටික එකිනෙකා රවටා ගැනීම, සමාවදීම, පෙම්වතිය තමන්ට උරුම දේපළක් බවට පත්කරගැනීම, ලිංගික බලහත්කාරය, ඊර්ෂ්‍යාව, අනෙකාව තමන්ගේ පාලනයට යටත් කරගන්න උත්සාහකිරීම ආදී මෙකී නොකී බොහෝ දේවල් මේ කතාවට ඇතුළත්. 

පරම පිවිතුරු පරමාදර්ශී ආදරයක් කියල දෙයක් ලෝකෙ කොහෙවත් නෑ. ජීවිතේ කියන්නෙ නිකම් ඇල් වතුර වීදුරුවක් වගේ දෙයක් නොවෙයි. එකිනෙකට පරස්පර බොහෝ දේවලිනුයි ඒක පිරිල තියෙන්නෙ. ආදරයත් එහෙමයි. නමුත් ආදරය නාමයෙන් අනවශ්‍ය තරම් පීඩාවක් දරාගෙන ඉන්න ඕන නැහැ කිසිම කෙනෙක්. දිව්‍යා සහ ගීත්ට සෑහෙන තරම් කාලය ලැබුණ නැත්නම් කාලය ගත්ත. බැඳීම උපරිම තැනකට ඇවිල්ල ආපහු විනාශය දක්වා ඇදගෙන යන්න තරම් කාලය තිබුණ (කාලය කොතරම් නපුරුද සොඳුරිය?) ඒත් කාලය වැරදිකරු විදිහට නම් කරල උසාවියෙන් අපිට නැගිටල එන්න බැරි වෙන්නෙ නිකම්ම කාලයටත් වඩා ගීත් ලඟ තිබුණු දැඩිම තමා කේන්ද්‍ර කරගත් නාසිස්මය ලක්ෂණත් මේ කතාව මෙහෙම එකක් බවට පත්වෙන්න සෑහෙන බලපෑමක් කල නිසා. ඒ බව ගීත්ම කියනව.. මට මේ තැනදි මෙහෙම කියන්න ඕන වුණා. ඒත් මම කිව්වෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්... වගේ දේවල් ඔහු කියනව. ඒ කියන්නෙ තමන් කියන කරන දේ වරදක් බව අවිඥානිකව ඔහු දන්න නමුත් තමන් පිළිබඳ පාලනයක් හෝ සංයමයක් නැති කම නිසා හුදු ආවේගයන්ට තමන් යටවුණු බව ඔහුගේ හිත දන්නව. ඒ බව පිළිගන්නව. දිව්‍යාගෙ පැත්තෙන් බැලුවොත් ඇයත් ගීත් එක්ක ආදර සම්බන්ධතාව පවත්වන අතරත් අනියමින් වෙනත් ප්‍රේම සම්බන්ධතා ඇතිකරගන්නව. ගීත් තමන්ගැන තියන විශ්වාසය ඈ කඩාබිඳ දමනව. අවසානෙ බැලුවම දෙන්නාම එකිනෙකා රවටාගෙන. බොහෝම වෙලාවට ඛේදවාචකයන් වෙත තල්ලු වෙලා යන ආදර කතා වල ඇතුළෙ තියෙන්නෙ මේ දේවල්. කතුවරයා අමුවෙන්ම නිරාවරණය කරල පෙන්වන්නෙ මේ කාරණා ටික.

මම අහල තියන විදිහට මේක කතුවරයා ගෙ හැබෑ අත්දැකීමක් ආශ්‍රයෙන් ලියවුණු ප්‍රබන්ධයක. විශේෂත්වය තමා සුරත් එතනදි අර නාගරික මධ්‍යමපාන්තික සමාජ පරිසරයක හැදී වැඩුණු ගතානුගතික තරුණයාගේ හැබෑම සිතුවිලි අකුරු කර තිබීම. කොයිතරම් තක්කඩි, ජඩ, අමන ගතිගුණ වුණත් ඒ ආකාරයට පොත් පිටු අතරට අරගෙන ඒම. ලිවීමක් ඇතුළෙ ඒ තරමින් අවංක වෙන එක කොහෙත්ම ලේසි පහසු වැඩක් නොවෙයි. ඒ වෙනුවෙන් කතුවරයාට විශේෂයෙන් ස්තූතියි කියන්න ඕන.

මේ පොතෙන් එක්තරා යුගයක ආදර සම්බන්කම් හැදුණු හැටි ඒව පැවතුණු හැටි නිරාවරණය වෙනව. ස්මාට් ෆෝන්, ෆේස්බුක් වට්සැප් නොතිබ්බ කාලෙක ස්කූල් බස් වල යන එනකොට ඉඟිබිඟි පාන හැටි, පොත් අස්සෙ දාල ලියුම් දෙන හැටි, කොහොම හරි ඉන්න තැනක් හොයාගෙන ඒ අවට සැරිසරන හැටි ඉඳල ඉඳල අමාරුවෙන් ප්ලෑන් කරන් මුණගැහෙන හැටි අපිට අහන්න දකින්න ලැබුණ අපේ කාලෙ ආදර කතාවල නොස්ටැල්ජියානු මතක ආයෙත් තී හා තා සමගින් අලුත් කරගන්න පුලුවන්. පොතට සම්මාන ලැබීම කියන්නෙ මම හිතන විදිහට බෝනස් කාරණාවක්. මොකද ඒ නිසා සෑහෙන අවධානයක් පොතට ලැබුණ නිසා. තී හා තා කියන්නෙ අපේ රටේ ගොඩක් වෙලාවට සම්මානයට ලක්වෙන විදිහෙ ආකෘතියක ලියවුණු පොතක් නෙමේ. නමුත් කොහොමින් හරි මේ ලිවීම ඇගයීමට ලක්වුණානම් ඒක සතුටක්. ඒ ලිවීම දිගුකාලයක් පවත්වාගෙන යන්න කතුවරයාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතනව.



Thursday, October 21, 2021

Kaanekkaane (2021)

ඉන්දියානු කලාපය ඇතුලෙ මලයාලම් සිනමාව මේ තරම් කැපී පෙනෙන්නත් ආකර්ෂණයක් දිනාගන්නත් එක් හේතුවක් වෙන්නෙ මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන්නෙ එදිනෙදා සාමාන්‍ය මනුස්සයාට දැනෙන කරුණු කාරණා ගැන වීම නිසා. බොහෝ වෙලාවට පවුල සහ ඒ ඇතුලෙ තියන මා පිය දූදරු සම්බන්ධතා ගැනයි මේ චිත්‍රපටවලට වස්තුවිෂය වෙන්නෙ. දෙමව්පියෝ දරුවෝ කියන්නෙ ඕනෑම කෙනෙකුට හදවතට දැනෙන්න කතා කරන්න පුලුවන් මාතෘකාවක්. කෙනෙකුගේ ජීවිතයට වැඩිම බලපෑමක් කරන්න පුලුවන් සාධකයක් තමා තමන්ගෙ පවුල කියන්නෙ. මලයාලම් සිනමාකාරයින් අල්ලගන්නෙ අන්න එතනින්. 2021 අවුරුද්දේ අතිශ්‍ය ජනප්‍රසාදයක් දිනාගත්තු Home චිත්‍රපටයෙත් පිටුපස තියන කාරණාව මෙන්න මේකයි. 

Kaanekkaane 2021 අවුරුද්දේ නිකුත්වුණු මේ වගේම ප්‍රේක්ෂකයන්ගේ හදබැඳගත් තවත් චිත්‍රපටයක්. Kaanekkaane ඇතුළෙන් දකින්න ලැබෙන්නෙ පවුල මුල් කරගත් කතාපුවතක් වීම යන පොදු සාධකයමයි. ඒ වගේම හදවතට දැනෙන සිනමා අත්දැකීමක් කියන ගුණාංගයත් මේ චිත්‍රපටයෙ ඉතාම ඉහළයි. යම් thriller ලක්ෂණයකුත් දැකගන්න ලැබුණත් කතාවේ හරය තියෙන්නෙ අඹු දරුවන් අතර තියන සම්බන්ධතාව කියන තැනින්. කතාව හෝ වෙනත් යමක් මම විස්තර කරන්නෙ නැහැ. නමුත් චිත්‍රපට නරඹන කෙනෙක් මග නොහැර නැරඹිය යුතු කතාවක් බව කියන්නම්. ප්‍රධාන චරිත නිරූපණය කල Tovino Thomas ගේ සහ රංගනය සහ Suraj Venjaramoodu ගේ රංගනයන් හොඳින්ම කැපී පෙනුනා. Aishwarya Lekshmi තමන්ගෙ කොටස හොඳින්ම ඉටුකර තිබුණා. Tovino ගේ කඩවසම්ම රූපකාය දැකගන්න ලැබෙන්නෙ මේ චිත්‍රපටයෙන් මට අනුව. Kaanekkaane අවසානෙ වීරයන් හෝ දුෂ්ටයන් ඉතිරි නොවන සැබෑ මිනිසුන්ගේ මිනිස් සබඳතා ගැන කතා පුවතක් බව කියන්නම්. 



Monday, October 18, 2021

The Double Life of Veronique (1991)

අවුරුද්දක් අවසානෙ නත්තල උදාවෙමින් තිබුණු එක හැන්දෑවක පුංචි වෙරෝනිකාට එයාගෙ අම්ම පෙන්නා දුන්න ඈත අහස පායා එමින් තිබුණ නත්තල් තරුව. එයා හරි පුදුමෙන් ඒ දිහා බැලුවෙ ජීවිතේට දුටුව අරුම පුදුම දෙයක් වගේ. ඇත්තට ඒ තරුව පිහිටා තිබුණෙ පෘථිවියට කොයිතරම් ඈතින් ද. ඒ ආලෝකවර්ෂ ගණනාවක දුරක්. හිතාගන්නවත් බැරි පරතරයක්. නමුත් හැම අවුරුද්දේම ඒ තරුව පායා එන කොට නත්තල උදාවෙන්න කිට්ටු බව මිනිස්සු දැනගන්නව. මේ තරම් දුරකින් පිහිටන ග්‍රහවස්තු දෙකක් අතර එකකින් අනෙකට වෙන බලපෑම කොයිතරම් අපූරු ද. විශ්වය කියන මේ අසීමිත අවකාශය ඇතුලෙ පැවැත්ම සිද්දවෙන්න එහෙම. ඕනෑම වස්තුවක් තමන් එක්කමත් තමන් නොවෙන අනෙකා එක්කත් ඇතිවෙන සම්බන්ධකම් අතර. ඒ කාරණේ තේරුම්ගන්න අපිට මේ වායුගෝලෙන් එපිටට යන්න ඕනත් නැහැ.

මේ පෘථිවි ග්‍රහයා ගත්තත් මේක පුරා විසිරී ඉන්න මිනිස් ජීවිත සමූහය පවතින්නෙ එකිනෙකා අතර තියන අන්තර්සම්බන්ධකම්  උඩ නේද කියන දෙය අපිට වටහ ගන්න පුලුවන්. දැන් අපි ගෙවමින් ඉන්නා යුගය ගත්තොත් ලෝකෙ ව්‍යාප්ත අන්තර්ජාලය හරහා, සමාජ මාධ්‍යවලින් මිනිස්සුන්ව අතාත්ත්විකව නමුත් යථාර්ථයෙන් වඩා සමීප කරල තියනව. එකම දූපතක වුණත් අන්ත දෙකක වාසය කරන, කිසිදා දැන අඳුනගන්න ඉඩක් නොතිබුණු දෙන්නෙකුට මිතුරන් බවට පත්වෙන්න ඉඩක් හැදිල තියනව. අපි භෞතිකව ඈත් වුණත් අපේ යථාර්ථයන් ඒ අතින් කොයිතරම් කිට්ටුද. 

පෝලන්ත ජාතික සුප්‍රකට සිනමාකරු Krzysztof Kieślowski ගේ The Double Life of Veronique චිත්‍රපටයෙන් වෙනස් රටවල් දෙකක වාසය කරන, නමුත් පෙනුමෙන් සහ නමින් එක සමාන තරුණියන් දෙදෙනෙකු අතර ඇතිවී තිබෙන අපූර්ව සම්බන්ධකමක් ගැන කියවෙනව. නමුත් ඔහු අපිට මේ කතාව කියන්න ඉදිරිපත් වෙන්නෙ කවියෙකුගෙ ස්වරූපයෙන්. එනම් කිසිවක් නරඹන්නාට පැහැදිලිව විස්තර ඇතිව ඉදිරිපත් නොකිරීමෙන්. එයින් එහා මේ වෙරෝනිකා නමින් හැඳින්වෙන තරුණියන් දෙදෙනාගේ චරිත ස්වභාව, ආශාවන්, මනෝභාවයන් නිරාවරණය වෙන්න ඉඩ හැරීමෙන්. ඒ නිසා The Double Life of Veronique නරඹන්නෙකුට දැකගන්න ලැබෙන්නෙ අසම්පූර්ණ චිත්‍රයක්. තමන්ගේම වර්ණයන්ගෙන් පුරවාගත යුතු හිස් අවකාශයක්. නමුත් මේ හිස් අවකාශය Kieślowski මෙහෙයවාගන්නෙ සිනමාවටම විතරක් කල හැකි කාව්‍යමය සෞන්දර්යකින්. The Double Life of Veronique මෙතෙක් ලොව නිර්මාණය වුණු වඩාත් කාව්‍යාත්මකම සිනමා කෘති අතරට ගැනෙන්නේ ඒ හින්ද. වෙරෝනිකාගේ චරිතය රඟපාන Irène Jacob ගේ රංගනයත් කොහෙත්ම අමතක කල නොහැක්කක්. ඇය වෙරෝනිකා තුලින් මවන්නේ සිනමා තිරයේ දැකගත හැකි සුන්දරතම ස්ත්‍රී රුවක් බව කියන්නම්. නමුත් ඇගේ සුන්දරත්වය යටින් දිවෙන කතා පුවතයි හඳුනාගන්න අවශ්‍ය වෙන්නෙ. Kieślowski මේ චිත්‍රපටය ගැන එක් තැනක තමන්ගේ අදහස ප්‍රකාශ කරනව. චිත්‍රපටය නැරඹූ කෙනෙකුට වුණත් යම් පැටලුමක් ඇත්නම් එය නිරාකරණය කරගන්න මේ අදහස් උදව්වේවි කියා හිතනව.

"මේ චිත්‍රපටයෙ මූලික තේමාව ' වඩා සැලකිලිමත්ව ජීවත්වෙන්න' කියන කාරණයයි. මොකද ඔයාගෙම සමහර ක්‍රියාවල ප්‍රතිවිපාක මොනවද, ඒවයින් අනෙක් මිනිස්සුන්ට වෙන්නෙ මොනවද කියන්න ඔයා දන්නෙ නෑ. ඔයා දන්න නොදන්න ඕනෑම කෙනෙකුට මේ දේවල් බලපාන්න පුලුවන්. ඒ නිසා පරිස්සමෙන් ජීවත් වෙන්න. ඔයා වටා යම් පිරිසක් ඉන්නව. ඒ අයගෙ යහපැවැත්ම රැඳී තියෙන්නෙ ඔයා මත. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව අපේ අරමුණු අපේ මාවත් එකිනෙක මුණගැහෙනව. මට අනුව වගකීම කියන්නෙ මෙන්න මේ කාරණය ගැන දැනුවත්ව සිටීම. සැලකිල්ලෙන් සහ පරික්ෂාකාරීව ජීවත් වීම. අපිට අවබෝධයක් තියෙන්න් ඕන අපි වටා ඉන්න අය ගැන. හැමදේකටම වැඩියෙන් අපිට අවබෝධයක් තියෙන්න ඕන අපි ගැනම"

- Krzysztof Kieślowski 



Monday, October 11, 2021

ඇවිද යමි මම නිතර, ඒ කුඩා වනපෙතට

 Ordinarily, I go to the woods alone..

ඇවිද යමි මම නිතර
ඒ කුඩා වනපෙතට
නොමැතිව කිසිදු මිතුරෙක්
එකදු හෝ ගමන් සගයෙක්..
කතා කරන්නෝය ඔවුන් වැඩිපුර
බොහෝ දේ එකම විලසට
එබැවින් නොයමි මම
එවැනි කිසිවෙකු සමඟ..

උවමනා නැත මට
කිසිවෙකු ඇසට හසුවන්නට
මා කුරුල්ලන් අමතන කළ..
මහා කලු ඕක් ගස
වැළඳ ගන්නාවිට..
එයයි මා ලබන සැනසුම...
දනිමි මම,
ඔබත් සැනසුම ලබනු ඇත
යම් දෙයකින් එලෙසම..

මා තනිව සිටින කල
නොපෙනී සිටිය හැකිවෙයි මට
කුඩා කඳුගැටයක් මත
වල් පැලෑටියක් මෙන් නිසලව..
නොයෙක් සිව්පා සතුන්
අසල ගැවසෙයි වගක් නොමැතිව..
අසා සිටිය හැකිවෙයි මට
කිසිවෙකුට නෑසෙන
රෝසමල් ගයන ගී ගායන...

යම් දිනෙක ඔබ
පැමිණ ඇත්නම් මා සමඟ වනයට
අන් කවරෙකුට හෝ වැඩියෙන්
මම ආදරය කරන කෙනෙකි ඔබ...
.
.
- ඇමරිකානු කිවිඳියක වන Mary Oliver ගේ පැදියක් ඇසුරෙනි...




Saturday, October 9, 2021

Close up (1990)

මේ ලෝකෙ වැඩියෙන්ම බොරු කියන අය කොටස් දෙකක් ඉන්නව. එකක් දේශපාලකයො. එයාල බොරු කියන්නෙ ඇත්ත වසන් කරන අරමුණෙන්. මොකද මේ දේශපාලකයන් ගැන ඇත්ත මිනිස්සු දැනගත්තොත් කවදාවත් බලයෙ ඉන්න එයාලට හැකියාවක් ලැබෙන්නෙ නැති නිසා. දෙවනි කණ්ඩායම කලාකරුවො. ඒ අය බොරු කියන්නෙ ඇත්ත පෙන්වන්න. කවදාකවත් මෙලොව නොතිබුණු නිර්මාණාත්මක ප්‍රබන්ධයක් ගොඩනැගීම මගින් ඒ අය කරන්නෙ ජීවිතය ගැන ඇත්ත කාරණාවක් ඒ හරහා මතුකිරීම. ව්‍යාජත්වයක, මායාවක සමහර විට ෆැන්ටසියක සළුපිලි පැළඳගෙන ආවත් ප්‍රබන්ධය ඇතුලෙ තියෙන්නෙ බොරුවක් නොවෙයි. යම් ඇත්තක්. සමහර විට මේ ඇත්‍ත දරාගන්න බැරිතරම් කටුක යමක් වෙන්න පුලුවන්. නමුත් අපිට සිද්දවෙනව ප්‍රබන්ධය දිහා සමීපව බලන්න. යම් චරිතයක් අපි අරගම්මු. ඔහු ගැන ඇත්ත දැනගන්න නම් අපිට සිද්දවෙනව ඔහු ගේ ඇස් දෙක දිහා, මූණෙන් ප්‍රකාශ වෙන භාවයන් දිහා උවමනාවෙන් බලන්න. ඔහුගෙ ජීවිත අත්දැකීමකට සමපාත වෙන්න. සමීප රූපයක් එහෙම නැත්නම් closeup එකක් අවශ්‍ය වෙන්නෙ අන්න එතකොට.

1989 අවුරුද්දේ දවසක ඉරානයෙ Sorush සඟරාවෙ පළවෙන හරි අපූරු ප්‍රවෘත්තියක් එරටේ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමිට දැකගන්න ලැබෙනව. ඒ හොසේන් සබ්සියාන් නම් පුද්ගලයෙක් තවත් ඉරාන සිනමාකරුවෙක් වුණු මොෂේන් මක්මල්බාෆ් නමින් තමන්ව හඳුන්වාදෙමින් එක් පවුලක් දින කිහිපයක් තිස්සේ රවටා ඇති ආකාරය. සබ්සියාන්ව අත් අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රවෘත්තියේ සඳහන්වී තිබුණෙ. මේ සිදුවීම දුටු සැණින් කියරොත්සාමි තමන් වැඩකරමින් උන් චිත්‍රපටයෙ කටයුතුත් නතර කරල වහාම පිටත් වෙනව මේ සබ්සියාන් මුණගැහෙන්න. සබ්සියාන මුණගැහෙන අවස්ථාවත් ඔහුගෙ නඩු විභාගයත් කියරොත්සාමි රූගත කරනව. Close up චිත්‍රපටය හැදෙන්නෙ මේ සැබෑ සිදුවීමත් ඉන්පසු පිටපතට අනුව රඟදැවුව තවත් දර්ශන කීපයකුත් එකතුවෙන්. මේ නිසා close up අර්ධවශයෙන් වාර්තාමය චිත්‍රපටයක් විදිහටත් නම් කළ හැකියි. 

Close up ප්‍රබන්ධයේත් යථාර්ථයේත් සීමා ඉර සෑහෙන දුරට බොඳ කරනව. මේ කතාපුවත කල්පිතයක් නොවෙයි. එය සැබෑවක්. අදාළ සියළු චරිත නිරූපණය කරන්නෙ ඒ සිදුවීමට මුහුණ දුන් අයමයි. සබ්සියාන්, මක්මල්බාෆ්, කියරොත්සාමි ඇතුලු හැම කෙනෙක්ම තමන්ගේ නමින්ම තම චරිතය රඟදක්වනව. චිත්‍රපටයෙ හමුවෙන ප්‍රබන්ධය තමයි සබ්සියාන්ගේ ගේ චරිතය. ඔහුමයි තමාව වෙනත් කෙනෙක් බවට ප්‍රබන්ධකරණය කරගන්නෙ. ඒ හරහා මතුවෙන ඇත්ත නිරාවරණය වෙන්නෙ ඔහුගේම ජීවිතය දිහා සමීපව දැකගන්න ලැබෙන මොහොතේ යි.

"තමන් ගැන කතාකරද්දි කිසිම කෙනෙක් මුළුමණින්ම අවංක නෑ". ඒ බව කියන්නෙ ජපන් සිනමාකරු අකිරා කුරසාවා. අපි නිතරම සමාජය ඉදිරියෙ පෙනී ඉන්න උත්සාහ කරන්නෙ සමාජය අපිව දකින්න කැමති ස්වරූපයකින්. එතනදි හැමකෙනෙකුම තමන්වටා යම් අන්න්‍යතාවක් ගොඩනගා ගන්නව. ඒ කියන්නෙ යම් ආකාරයකින් තමන්වම ප්‍රබන්ධකරණය කරනව. පුද්ගල පෞරුෂය කියන්නෙ අන්න එහෙම අපි නිර්මාණය කරගත්‍ත පුද්ගලභාවයට. Close up චිත්‍රපටයෙ සබ්සියාන් මේ ස්වභාව තවත් දුරට ගෙනයමින් තමන්ගෙ සැබෑ අනන්‍යතාව සඟවල තමන් වඩා ප්‍රිය කරන චරිතයකට ආරෝපණය වෙන්න උත්සාහ දරනව. සබ්සියාන් සිනමාවට කලාවට හිතඇති චරිතයක්. සරලවම කිව්වොත් චිත්‍රපට පිස්සෙක්. එක් මොහොතකදි ඔහු ගේ සිනමාලෝලීත්වය ඔහුගේ සැබැ අනන්‍යතාව යට කරගෙන ඉහළට මතුවෙනව. ඔහුගේ ආශාව විසින් ඔහුව මෙහෙයවනව. තමන්ගෙ සැබෑ ජීවිතේ කිසිවක් නැති හිස්කම තමන් ආශා කරන දෙයින් වසාගන්න ඔහු උත්සහ දරනව. කිරොත්සාමි ඔහුවටා ගොඩනැගෙන ප්‍රබන්ධයත් ඒ තුළ ඉන්න සැබෑ ඔහුවත් මේ චිත්‍රපටයෙන් අපිට දැකගන්න සලස්වනව. 

අනෙක් අතින් Close up චිත්‍රපටය සිනමාකරුවෙක්, කලාකරුවෙක් වීමේ අර්ථය මොකක්ද කියන කාරණය ඉතාම හොඳින් පැහැදිලි කරනව. හොඳ චිත්‍රපටයකින් කොයිතරම් බලපෑමක් කල හැකි ද කියන කාරණය මේ චිත්‍රපටයෙන් මතුවෙනව. එක් කුඩා සිදුවීම් මාත්‍රයක් අරගෙන සිනමාව කියන්නෙ ඇත්තටම කොයිවගේ දෙයක්ද කියන දෙයත් මනුස්සයෙකුගෙ ඇතුළාන්ත ගැඹුර එයින් නිරුපිත වෙන ආකාරයත් කියරොත්සාමි අපිට පෙන්වා දෙනව. සිනමාලෝලී සබ්සියාන් අවසානයේ සිනමාකෘතියකම බවට  පත්වෙන ආකාරය ප්‍රහර්ශය මුහුවුණු විස්මයක් ඉතිරි කරනව.



Thursday, October 7, 2021

Nude (2018)

කලාව කියන්නෙ මොකක්ද කියල හඳුන්වන්න සම්මත නිර්වචනයක් නැතිවුණත් පොදුවේ ගත්තම එයින් සිදුවෙන්නෙ ලෝකයෙ නැත්නම් මිනිස් ජීවිතයෙ තියෙන යථාර්ථයන් වඩා නිර්මාශීලී ආකාරයකින් ප්‍රතිනිර්මාණය කිරීමක් බවට අපිට හඳුනාගන්න පුලුවන්. වර්ණ, හැඩතල, ශබ්දය, අංගචලනය, භෂාව කලාව ඇතුලේ ප්‍රකාශණ මාධ්‍ය විදිහට භාවිත වෙනව. දෘෂ්‍ය කලාවන් මේ අතරෙ සෑහෙන දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියනව. දැනට මතුකරනගෙන තියෙන සාධක අනුව මේ මුල් පැවත එන්නේ වසර ලක්ෂ තුනකට පමණ එහා ඉදන්. ආදී මානවයින් ගුහාගතව වාසය කල යුගයේ පටන්. අත්ල සටහන්, අවට පරිසරයේ දකින්ට ලැබුණු සතුන් ඉතාම සරලව ගුහා බිත්ති මත සටහන් කරන්න පටන් ගැනීමෙන් මෙය ආරම්භවී තිබුණෙ. සමහරවිට ඊට කලින් පටන්ම ආදි මානවයින්  පොළව මත රූ සටහන් අඳින්න ඇති. ඒවායින් අර්ථවත් යමක් කිවහැකි බව වටහාගන්න ඇති. නමුත් ඒ බව ඔප්පු කරගන්න සාධක කිසිවක් නැහැ. කොහොමින් හරි  මේ විදිහට ශිෂ්ටාචාරයේ පැවත ආව දෘෂ්‍ය කලාවන් නූතන යුගයට කලින් හඳුනා ගැනෙන්නේ හුදු සැරසිලි ශිල්පයක් හැටියට පමණයි. නමුත් ක්‍රමයෙන් විද්‍යා සහ දර්ශණයන්ගෙ දියුණුවත් සමග කලාව නම් ආත්ම ප්‍රකාශනයක තත්ත්වයට දියුණු වුණා. මිනිස් හැඟීම් සහ මනුෂ්‍ය පැවැත්ම ඉතා සියුම්ව වර්ණ රේඛා අතරට පැමිණෙන්න පටන්ගත්තා. 

මේ අනුව දෂ්‍ය කලාව පමණක් නොවෙයි, සියලුම කලාවන් බිහිවෙන්නෙ ඒවායෙ ප්‍රකාශණයන්ට එහා යන යම් චින්තන ධාරාවක් ඇතුළෙ බව හඳුනගන්න පුලුවන්. මෙතැනදි කලාකරැවෙකුට අවශ්‍ය වෙනව මිනිසුන් විසින් බිහිකරගත් පටු සීමාවන් ගෙන් එහා ගිහින් මිනිස් ජීවිතය දකින්න. එතැනදි ඔහු ගතානුකතිත්වය ඉක්මවන්නෙක් විය යුතුයි. ඔහු අලුතෙන් යමක් නිර්මාණය කරන්නෙක් විය යුතුයි. ඒ අනුව කලාකරැවෙක් කියන්නෙ සමාජයේ චින්තනමය පෙරළිකරැවෙකුට. ඔහු හඳුන්වෙදෙන්නෙ අලුත්ම සිතීමේ රටාවක්. ලෝකය දකින්න අලුත් ඇසක්. නමුත් සමාජය බොහෝවිට අල්ලාගන්නෙ ඔහුගෙ ප්‍රකාශණයෙ මතුපිට මිසක් එහි ඇතුළාන්ත දෘෂ්ටියෙන් නොවෙයි. මීට හොඳ උදාහරණයක් අසල්වැසි ඉන්දියාවෙන් අරගන්න පුලුවන්. ඉන්දියාවේ එක් කලා පාසලකට කඩා වදින මැර කණ්ඩායමක් එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහරදී එහි තිබෙන සිතුවම් විනාශ කර දමන්නේ ඔවුන් නිරැවත් කාන්තා රෑප අඳින බවත් ඔවුන් සංස්කෘතිය විනාශ කරන පාපිශ්ටයන් බවත් කියමින්. මිනිස් රෑප සිතුවමට නගන්න නම් නිර්වත්‍ර මිනිස් සිරුර අධ්‍යයනය කිරීම අනිවාර්ය අභ්‍යාසයක් බව ඔවුන් දන්නෙ නෑ. කලාව ගැන අවබෝධයක් ඔවුන්ට නෑ. නිර්වස්ත මනුෂ්‍ය රෑපයක් නම් ඔවුන්ට අනුව පාපයක්. නමුත් කලාකරුවෙක් පටු සීමාවල හිරවන්නෙක් නොවෙයි. ඔහුට නිරුවත් ගැහැනිය රාගය ඇති කරවන හෝ අසීලාචාර යමක් නොවෙයි. එයින් මතු කරගතහැකි ආත්මික ප්‍රකාශණය දිහායි ඔහුගේ අවධානය යොමුවෙන්නෙ. 

මේ සිදුවීම ඇතුළත් වෙන්නෙ 2018 වසරේ ඉන්දියාවේ මරාති භාෂාවෙන් නිර්මාණය වුණු Nude චිත්‍රපටයෙ. Nude චිත්‍රපටයට මුල්වෙන්නෙ සැබෑම කතාපුවතක්. වසර ගණනාවක් තිස්සේ චිත්‍ර විෂය ඉගෙනගන්නා ශිෂ්‍යයින්ට සහ ප්‍රවීණ චිත්‍ර ශිල්පීන්ට ස්‍ත්‍රී සිරුර සිතුවමට නැගීමට හැකි ආදර්ශයක් (Nude model) විදිහට පෙනී ඉන්නා ගැහැනියකගෙ කතා පුවතක්. මේ රැකියාව කරන අය සුලබ නැහැ. ඉතාම දුර්ලභයි. ඒ වගේම අපේ මේ කතානායිකාවටත් සිද්දවෙනව තමන්ගේ රැකියාව රහසක් විදිහට තබාගන්න. විශේෂයෙන් ඉන්දියාව වගේ ගතානුගතිකත්වයෙ ගිලිලා තියන සමාජ පරිසරයක මේ වැනි දෙයක් කොහෙත්ම අනුමත නොකරන නිසා තමන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ඇය මේ රහස්‍යභාවය ගැන විශේෂයෙන් අවධානය දෙන්නෙ. යමුනා, චිත්‍රපටයට පාදක නිරුවත් නිරූපිකාවට මේ වෘත්තිය තෝරාගන්න සිද්දවෙන්නෙ ඇය පීඩා විඳින ආර්ථික දුෂ්කරතා නිසා. ඇගේ සැමියා ඇයව හැරගිහින්. තමන්ගේ එකම පුත්‍රයාගෙ අධ්‍යාපනය වෙනුවෙන් වැය කරන්න ඇය ලඟ මුදල් නැහැ. බොම්බාය නගරයෙ වැඩිමහල් ඥාති සහෝදරියකගෙ මාර්ගයෙනුයි යමුනා මේ වෘත්තිය ගැන දැනගන්නෙ. පහසුවෙන් මුදල් උපයාගතහැකි නිසායි ඇය මෙය කරන්නෙ. Nude එක අතකින් බොලිවුඩ් සිනමාපට වලින් මවාපෙන්වන විසිතුරු සළු ගළවා දමල  ඉන්දියානු සමාජයෙ සැබෑ ස්වභාවය නිරුවත් කර පෙන්වන චිත්‍රපටයක් විදිහට හැඳින්වූවොත් වරදක් නැහැ.

ඉන්දියානු චිත්‍රපට කර්මාන්තය කොයිතරම් දියුණු තාත්ත්වයෙ පවතින එකක්ද යන කාරණය ඔබ දැනටමත් දන්නා යමක්. මේ අතින් බොහෝවිට ඉන්දියාවට එල්ලවෙන චෝදනාවක් වෙන්නෙ ඔවුන් හුදු විනෝදාස්වාදය අරමුණුකරගත්ත චිත්‍රපට වැඩියෙන් නිපදවෙන බව. ඉන්දියානු සිනමාව "සිනමාවක්" විදිහට පවතින්නෙ Nude වැනි චිත්‍රපට නිසා බව කිව්වොත් වරදක් නැති වේවි. Nude අධ්‍යක්ෂණය සහ සම තිර රචනය සිදුවෙන්නෙ සම්මානනීය මරාති සිනමාකරු Ravi Jadhav. ඔහු කලා පාසලක අධ්‍යාපනය ලැබූ කෙනෙක්. ඒ යුගයෙ පටන්ම තමන්ට මේ මාතෘකාව සිනමාවට ගෙන එන්න තමන්ට උවමනා වුණු බවයි ඔහු කියන්නෙ. යමුනා ගෙ චරිතය නිරූපණය කරන Kalyanne Mulay විශේෂයෙන් ඉතාම ඉහළ රංගනයක යෙදෙනව. සුප්‍රකට නළු නස්රුදින් ෂා මෙහි ආරාධිත රංගනයක යෙදෙන ආකාරය ඔබට දැකගත හැකියි. 

තමිල්නාඩු ප්‍රාන්තයේ මේ ආකාරයෙ නිරුවත් නිරූපිකාවක් තමන්ගෙ වෘත්තිය ගැන සඳහන් කරන්නෙ මෙන්න මෙහෙම. "මම මේක කරන්නෙ අවුරුදු 30ක පමණ කාලයක ඉඳන්. මුලින්ම මම මේක පටන්ගත්තෙ මගෙ ස්වාමිපුරුෂයා මිය ගිහින් මට ජීවත්වෙන්න විදිහක් නොතිබුණු හින්ද. ඒත් දැන් මම මේක කරන්නෙ මට ඒක කරන්න ඕන හින්ද". බැලූබැල්මට මේ කටයුත්ත පහසු දෙයක් විදිහට ඔබට පෙනෙන්න පුලුවන්. නමුත් චිත්‍රපටය නැරඹුවොත් එහි තිබෙන අපහසුව ඔබට පෙනේවි. කොයිතරම් කලා කෘතිවලට මේ අය වස්තුවිෂය වෙන්න ඇත්ද. කොයිතරම් පිරිසක් මේ අයගෙ සිරුරු අධ්‍යයනය කරමින් සිතුවම් කලාව ඉගෙනගෙන ඇත්ද. මෙය කිසිසේත්ම අවමන් නොලැබිය යුතු ගෞරවනීය වෘත්තියක් බව ඔබට වැටහේවි.
 


Saturday, October 2, 2021

මම කවුද?

මම කවුද? විමසයි ඔබ
සැදී ඇත්තෙමි මම
මට මුණගැසුණු සෑම කෙනෙකුගෙන්ම..
මෙතෙක් මා අත්විඳි
සියලු දේකින් ම..
මගේ මිතුරන්ගේ සිනහවන්
රැඳවී තිබේ මා තුළ.
මාපියන් සමඟින් මගේ
ඇතිවූ එදිරිවාදීකම්,
නොදන්නා බසකින්
පොඩිඋන් නඟන කෙඳිරුම්
යම් නොදන්නා මිනිසෙකුගෙන්
ලැබූ උණුහුම්,
තවමත් තිබේ මා තුළ 
මේ සියළු දේ සමඟින්..
ඉරිතැලීගොස් ඇත මා හද
මා ඇසූ තිත්ත කටුක වචනවලින්..
සංගීතය ඇසී මා දෙසවනේ
රැගෙන ගියෙය මා මෙතෙක්
කිසිවෙකුට කිවනොහැකි
මිහිරි හැඟුමන් අතරින්..
සැදී ඇත්තෙමි මම
මේ සියලු මිනිසුන්ගෙන්
මේ සියලු මොහොතවලින්
අසන්නේ නම් ඔබ
මම කවුදැයි
කියන්නෙමි මම
මේ සැබවින්ම මම යැයි..

Ming D. Liu



Friday, October 1, 2021

රැය සහ දහවල.....

රෑට ඒ වැලි කතර මැද
මහ සාදයක් පැවැත්වෙයි..

දඩයම නවත්වා ඔරායන්
ඈත් මෑත් කර වළාකුළු
ආකාසයෙන් බැස එයි...
පසෙකින් තබා දුනු කඩු 
වැතිරී සිහිල් වැලි මත
දුමාරය අහුරක් අහසට යවයි..

මහ වලසාද 
කුඩා වලසා කැටුව එයි..
පතොක් මල් කෙමිවල
පැණි උරා බී සතුටුව
මහ හඬින් ගීයක් ගයයි...

කතර මැද
ඉතිරි එක් ක්ෂේම භූමියක
දිය රැඳි කුඩා පොකුණකට
සඳ වේගයෙන් පනියි..
වතාවක් හෝ දෙකක්
ගිලී එහි පතුල තෙක්
තෙත බේරමින් සඳ රැස් කෙඳි
ගොඩට එයි..

උදෑසන වන විට
මේ සියළු සළකුණු මැකෙයි..
සුදුමැලි කරගෙන මුහුණ
දිගහැර කෙට්ටු අතපය
කතර වැතිරී හිඳියි..

පාළු සුළඟක් පමණක් 
අලස වැලි තලය මත
ඔහේ සැරිසමින් සිටියි...

රෑට ඒ වැලි කතර මැද
යළිත් වතාවක්
මහ සාදයක් පැවැත්වෙයි..