Saturday, October 9, 2021

Close up (1990)

මේ ලෝකෙ වැඩියෙන්ම බොරු කියන අය කොටස් දෙකක් ඉන්නව. එකක් දේශපාලකයො. එයාල බොරු කියන්නෙ ඇත්ත වසන් කරන අරමුණෙන්. මොකද මේ දේශපාලකයන් ගැන ඇත්ත මිනිස්සු දැනගත්තොත් කවදාවත් බලයෙ ඉන්න එයාලට හැකියාවක් ලැබෙන්නෙ නැති නිසා. දෙවනි කණ්ඩායම කලාකරුවො. ඒ අය බොරු කියන්නෙ ඇත්ත පෙන්වන්න. කවදාකවත් මෙලොව නොතිබුණු නිර්මාණාත්මක ප්‍රබන්ධයක් ගොඩනැගීම මගින් ඒ අය කරන්නෙ ජීවිතය ගැන ඇත්ත කාරණාවක් ඒ හරහා මතුකිරීම. ව්‍යාජත්වයක, මායාවක සමහර විට ෆැන්ටසියක සළුපිලි පැළඳගෙන ආවත් ප්‍රබන්ධය ඇතුලෙ තියෙන්නෙ බොරුවක් නොවෙයි. යම් ඇත්තක්. සමහර විට මේ ඇත්‍ත දරාගන්න බැරිතරම් කටුක යමක් වෙන්න පුලුවන්. නමුත් අපිට සිද්දවෙනව ප්‍රබන්ධය දිහා සමීපව බලන්න. යම් චරිතයක් අපි අරගම්මු. ඔහු ගැන ඇත්ත දැනගන්න නම් අපිට සිද්දවෙනව ඔහු ගේ ඇස් දෙක දිහා, මූණෙන් ප්‍රකාශ වෙන භාවයන් දිහා උවමනාවෙන් බලන්න. ඔහුගෙ ජීවිත අත්දැකීමකට සමපාත වෙන්න. සමීප රූපයක් එහෙම නැත්නම් closeup එකක් අවශ්‍ය වෙන්නෙ අන්න එතකොට.

1989 අවුරුද්දේ දවසක ඉරානයෙ Sorush සඟරාවෙ පළවෙන හරි අපූරු ප්‍රවෘත්තියක් එරටේ මහා සිනමාකරු අබ්බාස් කියරොස්තාමිට දැකගන්න ලැබෙනව. ඒ හොසේන් සබ්සියාන් නම් පුද්ගලයෙක් තවත් ඉරාන සිනමාකරුවෙක් වුණු මොෂේන් මක්මල්බාෆ් නමින් තමන්ව හඳුන්වාදෙමින් එක් පවුලක් දින කිහිපයක් තිස්සේ රවටා ඇති ආකාරය. සබ්සියාන්ව අත් අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රවෘත්තියේ සඳහන්වී තිබුණෙ. මේ සිදුවීම දුටු සැණින් කියරොත්සාමි තමන් වැඩකරමින් උන් චිත්‍රපටයෙ කටයුතුත් නතර කරල වහාම පිටත් වෙනව මේ සබ්සියාන් මුණගැහෙන්න. සබ්සියාන මුණගැහෙන අවස්ථාවත් ඔහුගෙ නඩු විභාගයත් කියරොත්සාමි රූගත කරනව. Close up චිත්‍රපටය හැදෙන්නෙ මේ සැබෑ සිදුවීමත් ඉන්පසු පිටපතට අනුව රඟදැවුව තවත් දර්ශන කීපයකුත් එකතුවෙන්. මේ නිසා close up අර්ධවශයෙන් වාර්තාමය චිත්‍රපටයක් විදිහටත් නම් කළ හැකියි. 

Close up ප්‍රබන්ධයේත් යථාර්ථයේත් සීමා ඉර සෑහෙන දුරට බොඳ කරනව. මේ කතාපුවත කල්පිතයක් නොවෙයි. එය සැබෑවක්. අදාළ සියළු චරිත නිරූපණය කරන්නෙ ඒ සිදුවීමට මුහුණ දුන් අයමයි. සබ්සියාන්, මක්මල්බාෆ්, කියරොත්සාමි ඇතුලු හැම කෙනෙක්ම තමන්ගේ නමින්ම තම චරිතය රඟදක්වනව. චිත්‍රපටයෙ හමුවෙන ප්‍රබන්ධය තමයි සබ්සියාන්ගේ ගේ චරිතය. ඔහුමයි තමාව වෙනත් කෙනෙක් බවට ප්‍රබන්ධකරණය කරගන්නෙ. ඒ හරහා මතුවෙන ඇත්ත නිරාවරණය වෙන්නෙ ඔහුගේම ජීවිතය දිහා සමීපව දැකගන්න ලැබෙන මොහොතේ යි.

"තමන් ගැන කතාකරද්දි කිසිම කෙනෙක් මුළුමණින්ම අවංක නෑ". ඒ බව කියන්නෙ ජපන් සිනමාකරු අකිරා කුරසාවා. අපි නිතරම සමාජය ඉදිරියෙ පෙනී ඉන්න උත්සාහ කරන්නෙ සමාජය අපිව දකින්න කැමති ස්වරූපයකින්. එතනදි හැමකෙනෙකුම තමන්වටා යම් අන්න්‍යතාවක් ගොඩනගා ගන්නව. ඒ කියන්නෙ යම් ආකාරයකින් තමන්වම ප්‍රබන්ධකරණය කරනව. පුද්ගල පෞරුෂය කියන්නෙ අන්න එහෙම අපි නිර්මාණය කරගත්‍ත පුද්ගලභාවයට. Close up චිත්‍රපටයෙ සබ්සියාන් මේ ස්වභාව තවත් දුරට ගෙනයමින් තමන්ගෙ සැබෑ අනන්‍යතාව සඟවල තමන් වඩා ප්‍රිය කරන චරිතයකට ආරෝපණය වෙන්න උත්සාහ දරනව. සබ්සියාන් සිනමාවට කලාවට හිතඇති චරිතයක්. සරලවම කිව්වොත් චිත්‍රපට පිස්සෙක්. එක් මොහොතකදි ඔහු ගේ සිනමාලෝලීත්වය ඔහුගේ සැබැ අනන්‍යතාව යට කරගෙන ඉහළට මතුවෙනව. ඔහුගේ ආශාව විසින් ඔහුව මෙහෙයවනව. තමන්ගෙ සැබෑ ජීවිතේ කිසිවක් නැති හිස්කම තමන් ආශා කරන දෙයින් වසාගන්න ඔහු උත්සහ දරනව. කිරොත්සාමි ඔහුවටා ගොඩනැගෙන ප්‍රබන්ධයත් ඒ තුළ ඉන්න සැබෑ ඔහුවත් මේ චිත්‍රපටයෙන් අපිට දැකගන්න සලස්වනව. 

අනෙක් අතින් Close up චිත්‍රපටය සිනමාකරුවෙක්, කලාකරුවෙක් වීමේ අර්ථය මොකක්ද කියන කාරණය ඉතාම හොඳින් පැහැදිලි කරනව. හොඳ චිත්‍රපටයකින් කොයිතරම් බලපෑමක් කල හැකි ද කියන කාරණය මේ චිත්‍රපටයෙන් මතුවෙනව. එක් කුඩා සිදුවීම් මාත්‍රයක් අරගෙන සිනමාව කියන්නෙ ඇත්තටම කොයිවගේ දෙයක්ද කියන දෙයත් මනුස්සයෙකුගෙ ඇතුළාන්ත ගැඹුර එයින් නිරුපිත වෙන ආකාරයත් කියරොත්සාමි අපිට පෙන්වා දෙනව. සිනමාලෝලී සබ්සියාන් අවසානයේ සිනමාකෘතියකම බවට  පත්වෙන ආකාරය ප්‍රහර්ශය මුහුවුණු විස්මයක් ඉතිරි කරනව.



6 comments:

  1. මගේ කවි මිණි ආර වැඩසටහන ලගදීම නිමා වෙනවා. ප්‍රචාරය වූ ඔබේ කවි ඇතුලත් යොමුව එවන්න ahasgawwa1@gmail.com එකට ඔබේ විද්‍යුත් ලිපිනය එවන්න . ඔයාගේ පල නොකල කවි ලන්ඩන් කවියට යවන්න. https://londonkavi.com/contact/ . ඔබේ නිර්මාණකරණයට ජය පතනවා.

    ReplyDelete
  2. +++++++++++. බලන්නම වෙනවා. ස්තූතියි.:)

    ReplyDelete
  3. ඔන්නෝකයි කියන්නෙ.. මේකක් කියව්වම ෆිලුමත් බලන්නම වෙනව. 😃😃😃 මරු.

    ReplyDelete
  4. නියම විචාරයක්

    ReplyDelete
  5. අබ්බාස් කියරොස්තාමිට වගේ විශිෂ්ඨ කළාහැකියාවක් හා දැක්මක් තියෙන කෙනෙක් ලංකාවේ නැති එක ගැන මට ඉතා කනගාටුයි. ඉරානයට ඔහුව අගේ නැති උනත් ඔහු ලොවටම සම්පතක්

    ReplyDelete
  6. අපුරු විවරණයක් අයියේ.ස්තුති

    ReplyDelete