Monday, October 25, 2021

තී හා තා

 මහල් නිවාසවල ජීවිතය ඇතුළෙ තියනව වෙනම හැදුණු පොඩි උපසංස්කෘතියක්. කිසිදාක මහල් නිවාස වාසියෙක් නොවුණත් ඒ ගැන අත්දැකීම් කීපයක් මටත් තියනව.  ඔක්කොම එක ගොඩනැගිල්ලක බිත්ති සමූහයකින් වෙන්වුණු අසල්වාසින් අතරෙ තියෙනව යම් සාමුහික බවක්. මේ ගෙදරින් එළියට බහිනකොටම තියෙන්නෙ තවත් ගෙදරක්, එක ගෙදරක පොළව තවත් ගෙදරක වහලක්. එකම පඩිපේළි නැගගෙන බැහැගෙන හැමෝම තමන්ගෙ ගෙවල්වලට යන්නෙ. විශේෂයෙන් තරුණ කොල්ලො කණ්ඩායම් ගැහෙනව ඔහොම තැන්වල. උන් කල්ලි ගැහෙන තැන්වල තියෙන්නෙ විනෝද සාගරයක්. සුරත් ද මැල් ගේ 'තී හා තා" නවකතාවට පසුබිම් වෙන්නෙ මේ ආකාරයෙ සමාජ පරිසරයක්. හරියටම කියනව නම් මොරටුවේ සොයිසාපුර මහල් නිවාස සංකීර්ණය සහ ඒ අවට පරිසරය මුල් කරගෙනයි මේ කතාව ගොඩනැගෙන්නෙ.

"තී හා තා" කියන්නෙ අදරය කරන දෙදෙනෙකුගෙ ප්‍රේම චාරිකාවක්. ගීත් සහ දිව්‍යා, ඒ තමා මේ කතාවට මුල්වෙන පෙම්වත් යුවළ වෙන්නෙ. මේ කතාව යන්තම් හැංගිමුත්තන් කරන වැලිසෙල්ලම් කරන ළමා කාලෙන් මිදිලා කොණ්ඩෙ පැත්තකට පීරන්න හදන, අඳින ඇඳුම පැළඳුම ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන, කණ්නාඩි ඉස්සරහ වරු ගණන් ගතකරන, "කෙල්ලෝ" කොල්ලන්ගෙ කතාබහේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙන තරුණ වයසෙ පටන් ජීවිතේ දිගපළල තේරෙන, කොණ්ඩෙ පැහෙන මැදි වයස දක්වා දිවෙන ප්‍රේම පුරාවෘත්තයක්. ගීත් ගේත් දිව්‍යා ගේත් ආදර කතාව ආදරයත් ආදරය නොවන වෙනත් බොහෝ දේ වලිනුත් පිරුණ එකක්. හරියට අපිට දකින්න ලැබෙන බොහොමයක් ආදර කතා වගේම තමයි. පටන් ගන්න මුල් යුගයෙ යන්තම් අතකින් අල්ලන්නත් බය නුහුරු නුපුරුදු  හිරිමල් ගතිය, වෙරළක කොණක ඈත සිතිජය දිහා බලාගෙන පෙම්බස් දොඩන සුන්දර සැන්දෑවරු වලින් පටන් ගෙන   ටිකෙන් ටික එකිනෙකා රවටා ගැනීම, සමාවදීම, පෙම්වතිය තමන්ට උරුම දේපළක් බවට පත්කරගැනීම, ලිංගික බලහත්කාරය, ඊර්ෂ්‍යාව, අනෙකාව තමන්ගේ පාලනයට යටත් කරගන්න උත්සාහකිරීම ආදී මෙකී නොකී බොහෝ දේවල් මේ කතාවට ඇතුළත්. 

පරම පිවිතුරු පරමාදර්ශී ආදරයක් කියල දෙයක් ලෝකෙ කොහෙවත් නෑ. ජීවිතේ කියන්නෙ නිකම් ඇල් වතුර වීදුරුවක් වගේ දෙයක් නොවෙයි. එකිනෙකට පරස්පර බොහෝ දේවලිනුයි ඒක පිරිල තියෙන්නෙ. ආදරයත් එහෙමයි. නමුත් ආදරය නාමයෙන් අනවශ්‍ය තරම් පීඩාවක් දරාගෙන ඉන්න ඕන නැහැ කිසිම කෙනෙක්. දිව්‍යා සහ ගීත්ට සෑහෙන තරම් කාලය ලැබුණ නැත්නම් කාලය ගත්ත. බැඳීම උපරිම තැනකට ඇවිල්ල ආපහු විනාශය දක්වා ඇදගෙන යන්න තරම් කාලය තිබුණ (කාලය කොතරම් නපුරුද සොඳුරිය?) ඒත් කාලය වැරදිකරු විදිහට නම් කරල උසාවියෙන් අපිට නැගිටල එන්න බැරි වෙන්නෙ නිකම්ම කාලයටත් වඩා ගීත් ලඟ තිබුණු දැඩිම තමා කේන්ද්‍ර කරගත් නාසිස්මය ලක්ෂණත් මේ කතාව මෙහෙම එකක් බවට පත්වෙන්න සෑහෙන බලපෑමක් කල නිසා. ඒ බව ගීත්ම කියනව.. මට මේ තැනදි මෙහෙම කියන්න ඕන වුණා. ඒත් මම කිව්වෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්... වගේ දේවල් ඔහු කියනව. ඒ කියන්නෙ තමන් කියන කරන දේ වරදක් බව අවිඥානිකව ඔහු දන්න නමුත් තමන් පිළිබඳ පාලනයක් හෝ සංයමයක් නැති කම නිසා හුදු ආවේගයන්ට තමන් යටවුණු බව ඔහුගේ හිත දන්නව. ඒ බව පිළිගන්නව. දිව්‍යාගෙ පැත්තෙන් බැලුවොත් ඇයත් ගීත් එක්ක ආදර සම්බන්ධතාව පවත්වන අතරත් අනියමින් වෙනත් ප්‍රේම සම්බන්ධතා ඇතිකරගන්නව. ගීත් තමන්ගැන තියන විශ්වාසය ඈ කඩාබිඳ දමනව. අවසානෙ බැලුවම දෙන්නාම එකිනෙකා රවටාගෙන. බොහෝම වෙලාවට ඛේදවාචකයන් වෙත තල්ලු වෙලා යන ආදර කතා වල ඇතුළෙ තියෙන්නෙ මේ දේවල්. කතුවරයා අමුවෙන්ම නිරාවරණය කරල පෙන්වන්නෙ මේ කාරණා ටික.

මම අහල තියන විදිහට මේක කතුවරයා ගෙ හැබෑ අත්දැකීමක් ආශ්‍රයෙන් ලියවුණු ප්‍රබන්ධයක. විශේෂත්වය තමා සුරත් එතනදි අර නාගරික මධ්‍යමපාන්තික සමාජ පරිසරයක හැදී වැඩුණු ගතානුගතික තරුණයාගේ හැබෑම සිතුවිලි අකුරු කර තිබීම. කොයිතරම් තක්කඩි, ජඩ, අමන ගතිගුණ වුණත් ඒ ආකාරයට පොත් පිටු අතරට අරගෙන ඒම. ලිවීමක් ඇතුළෙ ඒ තරමින් අවංක වෙන එක කොහෙත්ම ලේසි පහසු වැඩක් නොවෙයි. ඒ වෙනුවෙන් කතුවරයාට විශේෂයෙන් ස්තූතියි කියන්න ඕන.

මේ පොතෙන් එක්තරා යුගයක ආදර සම්බන්කම් හැදුණු හැටි ඒව පැවතුණු හැටි නිරාවරණය වෙනව. ස්මාට් ෆෝන්, ෆේස්බුක් වට්සැප් නොතිබ්බ කාලෙක ස්කූල් බස් වල යන එනකොට ඉඟිබිඟි පාන හැටි, පොත් අස්සෙ දාල ලියුම් දෙන හැටි, කොහොම හරි ඉන්න තැනක් හොයාගෙන ඒ අවට සැරිසරන හැටි ඉඳල ඉඳල අමාරුවෙන් ප්ලෑන් කරන් මුණගැහෙන හැටි අපිට අහන්න දකින්න ලැබුණ අපේ කාලෙ ආදර කතාවල නොස්ටැල්ජියානු මතක ආයෙත් තී හා තා සමගින් අලුත් කරගන්න පුලුවන්. පොතට සම්මාන ලැබීම කියන්නෙ මම හිතන විදිහට බෝනස් කාරණාවක්. මොකද ඒ නිසා සෑහෙන අවධානයක් පොතට ලැබුණ නිසා. තී හා තා කියන්නෙ අපේ රටේ ගොඩක් වෙලාවට සම්මානයට ලක්වෙන විදිහෙ ආකෘතියක ලියවුණු පොතක් නෙමේ. නමුත් කොහොමින් හරි මේ ලිවීම ඇගයීමට ලක්වුණානම් ඒක සතුටක්. ඒ ලිවීම දිගුකාලයක් පවත්වාගෙන යන්න කතුවරයාට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතනව.



No comments:

Post a Comment